20 දෙවැනි ඉනිම ඇරඹෙයි.. ‘ආණ්ඩුව ජනවරමට පිටුපානවා.. ජනතා අපේක්‍ෂා බිද වැටෙනවා.. අපේ දැඩි විරෝධය..’ – ජාතික සංවිධානවලින් ජනපතිට රතු ලිපියක්..

20 දෙවැනි ඉනිම ඇරඹෙයි.. ‘ආණ්ඩුව ජනවරමට පිටුපානවා.. ජනතා අපේක්‍ෂා බිද වැටෙනවා.. අපේ දැඩි විරෝධය..’ – ජාතික සංවිධානවලින් ජනපතිට රතු ලිපියක්..

*********************************************

20 දෙවැනි ඉනිම ඇරඹෙයි.. ‘ආණ්ඩුව ජනවරමට පිටුපානවා.. ජනතා අපේක්‍ෂා බිද වැටෙනවා.. අපේ දැඩි විරෝධය..’ – ජාතික සංවිධානවලින් ජනපතිට රතු ලිපියක්..

(17.12.2020 – 16:07 +0530 – lankacnews.com)

රටට නව ව්‍යවස්ථාවක් කඩිනමින් සම්මත කරන බවට ලබාදී ඇති පොරොන්දුව එසේම තිබියදී පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම මගින් ජනවරමේ අපේක්ෂා බිඳ වැටෙන බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

එහි කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු සියළු මහජන නියෝජිතයන් වෙත ලිපියක් යොමු කරමින් මේ බව පෙන්වා දී ඇත.

අදාල ලිපිය මෙසේය :

අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ සියලුම මහජන නියෝජිතයන් වෙත,

ගෞරවණීය මහජන නියෝජිතයිනි,

රටට නව ව්‍යවස්ථාවක් කඩිනමින් සම්මතකරන බවට ලබාදී ඇති පොරොන්දුව එසේම තිබියදී පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම මගින් ජනවරමේ අපේක්ෂා බිඳ වැටෙන බව පෙන්වාදීම

පසුගියදා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන අවස්ථාවේදී ජනාධිපතිතුමා සහ ආණ්ඩුවේ සෙසු පාර්ශ්ව විසින් මහජනයාට සුවිශේෂි පොරෝන්දුවක් ලබාදුනි. ඒ ඉතා කඩිනමින් රටට සුදුසු නව ව්‍යවස්ථාක් සම්පාදනය කොට සම්මත කරන බවය. ඇත්ත වශයෙන්ම එම පොරොන්දුව ජනාධිපතිතුමා විසින් ජනාධිපතිවරණයට පෙර රටට ඉදිරිපත් කළ ප්‍රත්පත්ති ප්‍රකාශනය වූ සෞභාග්‍යයේ දැක්ම ලේඛනයේ සඳහන් වූ සුවිශේෂි දේශපාලන උපාය මාර්ගික ප්‍රවේශයකි. එදා ජනාධිපතිවරණයට පෙර 20 වැනි සංශෝධනයක් පිළිබඳ යෝජනාවක් හෝ පොරොන්දුවක් ඉදිරිපත් නොවුනද නව ව්‍යවස්ථක් සම්මත කිරීමේ උවමනාව සෞභාග්‍යයේ දැක්ම තුළ ඉතා ප්‍රබල ලෙස අවධාරණය කෙරිණි.

ඒ නිසා පසුගිය නොවැම්බර් 16 වැනිදා මේ රටේ ඉරණම වෙනස් කළ ජනාධිපතිවරණ ජනවරම තුළ නව ව්‍යවස්ථාවක් පිළිබඳ අපේක්ෂාව ගැඹුරින් සටහන් වී ඇත. විශේෂයෙන්ම ජනාධිපතිවරණයේදී මෙන්ම ඊට පසුවද නව ව්‍යවස්ථාවට අදාළ සමාජ සංවාදය තුළ ශ්‍රී ලංකාවේ ඉරණම වෙනස් කරන බරපතළ උපායමාර්ගික යෝජනා ඉදිරිපත් විය. ඒ තුළ ‘එක් රටක් එක් නීතියක්’ නැමති දාර්ශණික පදනමමට යටත්ව ‘ඉස්ලාම් ආගමික අන්තවාදය’ සහ ‘දෙමළ ඊළාම් බෙදුම්වාදය’ තීරණතාමකව දේශපාලන වශයෙන් පරාජය කිරීම සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන අවශ්‍ය බවට ප්‍රබල යෝජනා ඉදිරිපත්වේ. එහිදී බෙදුම්වාදයට ගොදුරු නොවන ආකාරයට පළාත් හෝ දිස්ත්‍රික් මට්ටමට පරිපාලන බලතල විමධ්‍යගත කිරීම සඳහා නව බලව්‍යුහයක් අවශ්‍ය බවට විවිධ යෝජනා ඉදිරිපත් වේ. එ බලව්‍යුහයේ හැඩතල නිර්මාණය වන්නේ නව ව්‍යවස්ථාවක් තුළිනි. ඒ නිසා එම නව ව්‍යුහය ස්ථාපිත කිරීමට පෙර පැරණි ව්‍යුහය ස්ථාපිත කිරීම සඳහ මැතිවරණයක් පැවැත්වීම කිසිසේත්ම සාදාරණීකරණය කළ නොහැක.

ඊට අමතරව පසුගිය වසර 03 කට අධික කාලය තුළ රටපුරා පළාත් සභා නොමැතිව පළාත් මට්ටමේ පරිපාලන කටයුතු අර්බුදයකින් තොරව ක්‍රියාත්මක විය. ඊට අදාලව උතුරු නැගෙනහිර පළාත්වල ජනයා හෝ කිසිදු විරෝධයක් දක්වා නැත. ඒ වෙනුවට රජයේ අරමුදල් ඉතිරි වූ බවට රජයට ප්‍රසාදය පලකරන අවස්ථා දැකගත හැක. ඉන්දියාව විසින් ඉන්දු ෆැසිපික් කලාපීය උපාය මාර්ගික උවමනාවන්ට අනුව ශ්‍රී ලංකාව බෙදා වෙන්කිරීමේ දිර්ඝකාලීන අරමුණු සහිතව අප මත පැටවූ පළාත් සභා ක්‍රමමය නැමති විකෘති බල ව්‍යුහය රැකගත යුතුයැයි කිසිදු මහජන හඩක් පැනනැගී නැත. පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට සිහින් හඩින් හෝ මත ඵලකරන්නේ එම බලව්‍යුහය නොමැතිවීම නිසා වරප්‍රසාද අහිමිව ඇති පුද්ගලයින් විසින් බව පැහැදිලිව පෙනේ.

එවැනි තත්වයක් තුළ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමේදී පවතින පළාත් සභා බල ව්‍යුහය තුළ කුමක් හෝ වෙනස්කම් කිරීමට සිදුවේ.ඊට අදාළ මහජන මතය පළාත් සභා සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමේ සිට ව්‍යවස්තාදායක බලය නොමැතිව විධායක බලය පමණක් විමධ්‍යගත කිරීම ආදී වශයෙන් වන පුළුල් පරාසයක පැතිරී ඇත. ඒ අනුව පළාත් සභාව වෙනසකට භාජනය විය යුතු බවට ප්‍රබල මහජන අපේක්ෂාවක් තිබෙන තත්වයක් තුළ පැරණි බල ව්‍යුහුය නැවත පිහිටුවීම සඳහ මැතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුවේ සැබෑ අපේක්ෂා පිළිබඳව මහජනයා තුළ අවිශ්වාසයක් ජනිත වේ. එනම් නව ව්‍යවස්ථාවක් පිළිබඳව ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන පොරොන්දුව ව්‍යාජයක් බවට මහජන මතයක් ඇතිවීමට සාධාරණ ඉඩක් ඇත. එම තත්වය ආණ්ඩුවේ ප්‍රතිරූපයට සහ අනාගත පැවැත්මට අනර්ථකාරී වන බව කිව යුතු නැත.

ඒ නිසා දැන් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ආණ්ඩුවට තිබෙන උවමනාව සහ නව ව්‍යවස්ථාවක් පිළිබඳ පොරොන්දුව අතර පවතින පරස්පරය නිවැරදි කළ යුතුය. එය නිවැරදි කළ හැක්කේ නව ව්‍යවස්තාව සම්මත කිරීමෙන් පසුව පළාත් බල ව්‍යුහයන්ට අදාළ මැතිවරණය පවත්වන බව සහ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් සිදුකරන බව මහජනයාට විවෘතව ප්‍රකාශ කිරීම මගිනි. එසේ නොවන තත්වයක් තුළ ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා අවංක උවමනාවක් නොමැති බවට සහ බෙදුම්වාදීන් සහ ආගමික අන්තවාදීන් සමඟ ආණ්ඩුව දේශපාලන ඩීල් දමන බවට විවිධ පාර්ශ්ව වලින් එල්ල වන චෝදනා සනාථ වනු ඇත.

ඒ නිසා මහා සංඝරත්නය ප්‍රමුඛ මහජන විරෝධය මැද සුළු පිරිසකගේ උවමනාවන්ට අනුව පළාත්සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සහ ඒ මගින් නව ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන අපේක්ෂා බිඳ හෙලීම බලවත් දේශපාලන වරදක් බව ජනාධිපතිතුමා ප්‍රමුඛ සියලුම මහජන නියෝජිතයන්ට පෙන්වා දීමට කැමැත්තෙමු. ඒ ආකාරයට ආණ්ඩුව ජනවරමට පිටුපාමින් බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී කල්ලි කණ්ඩායම් සතුටු කිරීම සඳහා පළාත්සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට තීන්දු කරන්නේනම් ජාතික සංවිධාන ලෙස ඊට එරෙහිව අපගේ බරපතළ විරෝධය මෙසේ ප්‍රකාශ කරමු.

සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර
කැඳවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව

***************************************

ඩොලර් මිලියන 480 ශ්‍රී ලංකාවට ලබාදීම අත්හිටුවීමට MCC තීරණය කරයි

(17.12.2020 – 06:46 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකානු සහශ්‍ර අභියෝගතා සංවර්ධන වැඩසටහන හෙවත් එම්.සී.සී. වැඩසටහන ශ්‍රී ලංකාව සඳහා යෝජිත වැඩසටහන අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ, වොෂින්ටනයේදී ඊයේ (16) පැවති එම්.සී.සී. පාලක මණ්ඩල රැස්වීමේදීයි.

එහිදී ඉදිරි පස් වසර (5) සඳහා සිය ආධාර වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු නව රටවල්ද ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව අප්‍රිකානු සියෙරා ලියොන් සහ පැසිෆික් සාගරයේ පිහිටි කුඩා දිවයිනක් වන කිරිබතී රාජ්‍යය එම්.සී.සී. නව ආධාර වැඩසටහන සඳහා තෝරාගෙන තිබෙනවා.

දුප්පත්කම දුරුකොට ආයෝජන තුළින් ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සිය අරමුණ බවයි එම්.සී.සී. වැඩසටහන සඳහන් කරන්නේ.

නව රටවල් සමඟ තිරසාර ආර්ථික සංවර්ධනය තුළින් එම රටවල වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා කැපවන බව එම්.සී.සී. ප්‍රධාන විධායක නිලධාරී ෂෝන් කේන් ක්‍රොස් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව සමඟ යෝජිත සංයුක්ත වැඩසටහන තවදුරටත් ඉදිරියට රැගෙන නොයන බවයි සිය රැස්වීම අවසානයේ එම්.සී.සී. අධ්‍යක්ෂ මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ෴

***************************************

(17.12.2020 – 08:27 +0530 – hirunews.lk/sinhala)

රේස් පැදීමට යොදා ගන්නා යතුරුපැදි 130 ක් පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

පොලිස් මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එවැනි යතුරුපැදි සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බවයි ෴

***************************************

(17.12.2020 – 08:42 +0530 – hirunews.lk/sinhala)

රජයේ සංවර්ධන ක්‍රියාවලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය නියෝජිතයින් සම්බන්ධ කර නොගැනීම බරපතල ගැටලු‍වක් බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් රැසක් මේ වනවිට කණස්සල්ලෙන් පසුවන බවයි.

ඒ, තම ඡන්දදායකයින්ට සේවය සැපයීමේදී ප්‍රදේශයේ ආණ්ඩු පාර්ශවයේ දේශපාලනඥයින්ගෙන් නිසි සහයෝගය නොලැබීම හේතුවෙන්.

එවැනි තත්ත්වයක් තුළ ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැරයාමේ අවදානමක් මතුව ඇති බවයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එහිදී පෙන්වා දුන්නේ.

එම තත්ත්වය සැලකිල්ලට ගෙන රජය අදාළ ගැටළුව විසඳීම සඳහා පියවර ගත යුතු බවයි ඔහු කියා සිටියේ ෴

***************************************

සඳෙන් බිඳක් ගෙන චීන සඳ දෙවඟන යළි පොළොවට

(17.12.2020 – 08:46 +0530 – hirunews.lk/sinhala)

සඳ දෙවඟන යන අරුත් ඇති චීන ‘චාන්ගි පහ’ අභ්‍යවකාශ යානය චන්ද්‍ර පාෂාණ සහ පස් රැගෙන ඊයේ (16) නැවතත් පෘථිවියට ළඟා වුණා.

අභ්‍යවකාශ මෙහෙයුමේ අවසන් අදියරේ යානා කොටස ඉනර් මොංගෝලියා ප්‍රදේශයට චීන වේලාවෙන් අද (17) අලුයම 01:30 ට ළඟා වී තිබෙනවා.

අමෙරිකානු ඇපලෝ සහ රුසියානු ලූනා යානා මගින් චන්ද්‍ර පාෂාණ පොලොවට රැගෙන ඒමෙන් වසර 40 කට පසුවයි චීනය මෙලෙස සඳේ පස් රැගෙනවිත් තිබෙන්නේ.

චීන මෙහෙයුම අමෙරිකානු නාසා ආයතනයද ප්‍රසාදයට ලක් කළේ එම පාෂාණ ගවේෂණයට එක්වීම පිළිබඳ අපේක්ෂා පළ කරමින්.

චීනය විසින් රැගෙන ආ චන්ද්‍ර පාෂාණ සඳේ ගිනි කඳු සහිත ප්‍රදේශයෙන් රැගෙන ආ ඒවා වන අතර, එම පාෂාණ අමෙරිකානු හා රුසියානු යානාවලින් රැගෙන ආ පාෂාණවලට වඩා මෑතකාලීන ඒවා වීම විශේෂත්වයක්.

එමඟින් සඳේ මෙන්ම සූර්යග්‍රහ මණ්ඩලයේ පරිනාමය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට හැකිවනු ඇති.

එමෙන්ම, මෙතෙක් කිසිදු සඳ ගමනකින් රැගෙන ඒමට නොහැකි වූ තරම් එනම්, කිලෝග්‍රෑම් දෙකත්, හතරත් අතර (2 – 4) චන්ද්‍ර පාෂාණ ප්‍රමාණයක් චීන ‘චාන්ගි පහ’ මෙහෙයුම මගින් පොලොවට රැගෙනවිත් තිබෙනවා.

‘චාන්ගි පහ’ මෙහෙයුමේදී චීනය සිය රතු ධජය සඳ මත සිටුවීමටද සමත් වුණා ෴

***************************************

(17.12.2020 – 08:53 +0530 – hirunews.lk/sinhala)

දේශීය කර්මාන්තයන්ට මුල්තැන දෙමින් විදුලිබල උපාංග රට තුළ නිෂ්පාදනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) විදුලිබල අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

ඒ, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන්.

විදුලිය බෙදා හැරීමේ පද්ධතිය සඳහා අවශ්‍ය පරිවාරක දේශිය වශයෙන් නිෂ්පාදනය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.

ඒවා ආනයනය කිරීම සඳහා මේ වනවිට විශාල මුදලක් වැය වනවා.

ඊට අදාළව සය පුද්ගල (6) කමිටුවක් පත් කර ඇති අතර, එහි වාර්තාව මසකින් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත ලබාදීමට නියමිතයි ෴

***************************************

(17.12.2020 – 09:51 +0530 – hirunews.lk/sinhala)

සිය අනියම් බිරිඳ වන ගුරුවරියක කැබ් රථයක හප්පා බරපතල තුවාල සිදුකර ඝාතනය කිරීමට තැත් කළ සිද්ධියකට අත්අඩංගුවට ගත් රියදුරෙකු මුදා හැරීම කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා ඊයේ (16) ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව, සැකකරු ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියම කළේ.

අදාළ සැකකරුගේ නීතිඥවරුන් විසින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ ඕනෑම ඇප කොන්දේසියක් මත සිය සේවාදායකයාට ඇප ලබා දෙන ලෙසටයි.

සිය අනියම් බිරිද වන ගුරුවරිය යතුරු පැදියක ගමන් ගන්නා අවස්ථාවේදී එය පසුපස ලුහුබැඳවිත් ඇය කැබ් රථයේ හප්පා ඇති බව ද පොලීසිය අධිකරණයට සඳහන් කර තිබුණා.

අනතුරෙන් තුවාල ලබා දැනට වව්නියාව මහරෝහලේ ප්‍රතිකාර ලබන මෙම ගුරුවරියගේ අක්මාවට රුධිරය කාන්දුවන බවත් ඇයගේ තත්ත්වය බරපතල බවත් අධිකරණයේදී කරුණු හෙලිව තිබෙනවා.

ඒ අනුව, සැකකරුට ඇප ලබා දීම සම්බන්ධයෙන් පොලීසිය විරෝධය පළ කර තිබුණා.

මෙම ගුරුවරිය සැකකරු සමග තිබූ සබඳතාව නතර කිරීම නිසා ඔහු මෙම අනතුර සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණ වී තිබුණා ෴

***************************************

(17.12.2020 – 11:08 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය මහරෝහලේ තැන්පත් කර තිබූ ගුවන් නියමු අමරකෝන් මහතාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව දේහය රුවන්වැල්ල මාපිටිගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන විත් තිබෙනවා.

කන්තලේ – සූරියපුර දී පී.ටී.-සික්ස් වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක්වීම සම්බන්ධයෙන් සොයා බැලීමට එයාර් කොමදෝරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල (5) පරීක්ෂණ මඩුල්ලක් පත්කර තිබෙනවා.

ඊට ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරුවරුන් දෙදෙනෙකු (2) ද ඇතුළත් බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පුහුණු ගුවන් සැසියක් සඳහා ත්‍රීකුණාමලය – චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයෙන් ගුවන්ගත වූ පී.ටී.-සික්ස් වර්ගයේ ගුවන් යානය කන්තලේ, සූරියපුර, ජනරංජන වැව ආසන්නයේදී අනතුරට ලක් වුණේ ඊයේ (16) පස්වරුවේදීයි.

පැය කිහිපයක් තිස්සේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ගුවන් යානයේ නියමු, පුහුණු වන කැඩෙට් නිලධාරී ශාලින්ද අමරකෝන් මහතා ත්‍රිකුණාමලය මහරෝහලට රැගෙන ගියද ඒ වන විටත් ඔහු මියගොස් සිටියා.

මේ අතර අනතුර සිදු වූ ස්ථානය අද (17) දිනයේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් පරීක්ෂා කළ අතර ගුවන් හමුදාවේ ගුවන් යානා දෙකක් (2) මගින්ද එම ස්ථානය නිරීක්ෂනය කළේ මෙලෙසින්.

පොලිසිය සඳහන් කළේ විශේෂ අපරාධ සම්බන්ධ තවත් පොලිස් කණ්ඩායමක්ද එම ස්ථානය පරීක්ෂාවට ලක් කළ බවයි.

ත්‍රිකුණාමලය මහරෝහලේ තැන්පත් කර ඇති ගුවන් නියමු අමරකෝන් මහතාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අද (17) පස්වරුවේ ලැබීමෙන් අනතුරුව දේහය රුවන්වැල්ල මාපිටිගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ඒමට නියමිතයි.

කෙසේ වෙතත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ සූරියපුර ජනරංජන වැව ආසන්නයේදී අනතුරට ලක්ව ඇත්තේ 2018 වසරේදී චීනයෙන් මිලදී ගත් නියමුවන් දෙදෙනෙකුට (2) ගමන්කළ හැකි නවතම ‘පී.ටී.-සික්ස් නන්චැන්ග්’ වර්ගයේ ගුවන් නියමුවන් පුහුණු කිරීමේ යානා 6 න් එකක් බවයි.

***************************************

(17.12.2020 – 11:31 +0530 – hirunews.lk/sinhala)

නත්තල් දේව මෙහෙයන් සෞඛ්‍ය නිර්දේශ යටතේ සිදුකරන ලෙසට අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සියලුම මීසම් භාර පියතුමන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

අද (17) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අගරදගුරු හිමිපාණන් සඳහන් කළේ හුදකලා කර නොමැති ප්‍රදේශවල දේව මෙහෙයන් 50 කට නොඅඩු බැතිමතුන් පිරිසක් සමඟ කාණ්ඩ වශයෙන් සිදුකිරීමට අවසර ලබාදී ඇති බවයි.

එමෙන්ම, නත්තල් දේව මෙහෙයන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට ද සියලු කටයුතු සූදානම් කර ඇති බව අගරදගුරු හිමිපාණන් වැඩිදුරටත් එහිදී සඳහන් කළා.

***************************************

(17.12.2020 – 12:55 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ක එම්.සී.සී. (MMC) ආධාර ප්‍රදානය අත්හිටුවීමට තීරණය කළ ද, ශ්‍රී ලංකාවේ මිතුරෙකු සහ හවුල්කරුවෙකු ලෙස තවදුරටත් කටයුතු කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසනවා.

අමෙරිකානු ‘සහශ්‍ර අභියෝගතා සංවර්ධන වැඩසටහන’ හෙවත් එම්.සී.සී. වැඩසටහන ශ්‍රී ලංකාව සඳහා යෝජිත වැඩසටහන අත්හිටුවීමට තීරණය කළේ වොෂින්ටනයේදී ඊයේ (16) පැවති එහි පාලක මණ්ඩල රැස්වීමේදීයි.

එහිදී ඉදිරි පස් වසර (5) සඳහා සිය ආධාර වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු නව රටවල්ද ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව අප්‍රිකානු සියෙරා ලියොන් සහ පැසිෆික් සාගරයේ පිහිටි කුඩා දිවයිනක් වන කිරිබතී රාජ්‍යය එම්.සී.සී. නව ආධාර වැඩසටහන සඳහා තෝරාගෙන තිබෙනවා.

කෙසේ නමුත්, කොළඹ එක්සත් ජනපද කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී සහ මෙරට ආර්ථිකය ගොඩනැංවීමේදී ඉදිරියටත් අඛන්ඩව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බවයි.

දුප්පත්කම දුරුකොට ආයෝජන තුළින් ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සිය අරමුණ බවයි එම්.සී.සී. වැඩසටහන සඳහන් කරන්නේ.

නව රටවල් සමඟ තිරසාර ආර්ථික සංවර්ධනය තුළින් එම රටවල වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා කැපවන බව එම්.සී.සී. ප්‍රධාන විධායක නිලධාරී ෂෝන් කේන් ක්‍රොස් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව සමඟ යෝජිත සංයුක්ත වැඩසටහන තවදුරටත් ඉදිරියට රැගෙන නොයන බවයි සිය රැස්වීම අවසානයේ එම්.සී.සී. අධ්‍යක්ෂ මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

හවුල්කාර රටක් ලෙස ශ්‍රි ලංකාවේ සම්බන්ධවීම අඩු බව හේතුකොට ගෙන මෙරටට ලබාදීමට යෝජනා වී තිබූ ඩොලර් මිලියන 480 ක එනම්, රුපියල් බිලියන 89 ක් පමණ වන සංවර්ධන ආධාර ප්‍රදානය නතර කල බව කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හි පර්යන්ත වැඩසටහනට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවේ 2015 වසරේදීයි.

2016 වසරේදී එහි සංයුක්ත වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබූ අතර, 2017 වසරේදී ඊට අදාළ ව්‍යාපෘති යෝජනා ශ්‍රී ලංකාව විසින් එම්.සී.සී. ආයතනය වෙත ඉදිරිපත් කළා.

2018 වසරේදී එම්.සී.සී. කළමනාකාරිත්වය ශ්‍රී ලංකාව විසින් ලබා දුන් ව්‍යාපෘති යෝජනා අනුමත කළ අතර, 2019 වසරේදී එහි පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 480 ක් ලබාදීම සඳහා වූ ප්‍රදාන ගිවිසුම අනුමත කරනු ලැබුවා.

2019 වසරේදීම අමාත්‍ය මණ්ඩලය විසින් එම්.සී.සී. ගිවිසුම අනුමත කළ අතර, එහි ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡාවක් මේ වසර මුලදී පවත්වනු ලැබුවා.

එලෙස, එම්.සී.සී. ආධාර ගිවිසුමේ අවසන් අදියරට පැමිණ තිබියදී මෙලෙස එය අත්හිටුවීමට එම්.සී.සී. පාලක මණ්ඩලය තීරණය කර ඇත්තේ.

=====================================

(17.12.2020 – 07:08 +0530 – hirunews.lk/sinhala)

අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ.

අද (17) පෙරවරු හයේ (06:00) සිට ක්‍රියාත්මක වන පරිදි අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.

ඒ අනුව අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශයේ අක්කරෙයිපත්තු 03, අක්කරෙයිපත්තු 14 සහ නගර බල ප්‍රදේශ අංක 03 මෙලෙස හුදෙකලා කර ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම, අඩ්ඩාලච්චේනයි පොලිස් බල ප්‍රදේශයේ පලමුනෙයි 01, ඔලුවිල් 02 සහ අඩ්ඩාලච්චේනයි අට (8) ප්‍රදේශ මෙන්ම අලයාඩිවෙම්බු පොලිස් බල ප්‍රදේශයේ අලයාඩිවෙම්බු අංක අටෙන් එක (8-1), අලයාඩිවෙම්බු අටෙන් තුන (8-3) සහ අලයාඩිවෙම්බු 09 ප්‍රදේශ මෙලෙස අද (17) පෙරවරුවේ සිට හුදෙකලා කර තිබෙනවා.

++++++++++++++++++++++

(17.12.2020 – 08:22 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 616 දෙනෙකු හඳුනා ගැනිමත් සමඟ මෙරට මුළු අසාදිතයින් සංඛ්‍යාව 34,737 දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින් අතර බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් 51 දෙනෙකු සිටින බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

ඒ ,අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 31,070 ක්.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 8,925 දෙනෙකු වන අතර ඊයේ (16) දිනයේදි ආසාදිතයින් 785 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව අද (17) 25,000 සීමාව ඉක්මවා ගියා.

මේ අතර, ඊයේ (16) දිනයේදී කොරෝනා ආසාදිත මරණ 03 ක් වාර්තා වුණා.

ඉන් එක් මරණයක් වාර්තා වුණේ කොලොන්නාව ප්‍රදේශයෙන්.

වයස අවුරුදු 50 ක කාන්තාවක් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එලෙස මියගොස් ඇති අතර, වකුගඩු අක්‍රීය වීම සහ කොවිඩ් ආසාදිත නියුමෝනියා තත්ත්වය මරණයට හේතුව බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොළඹ 09 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පුද්ගලයෙකුද ඊයේ (16) මියගියා.

ඔහු අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර, ලේ විෂ වීම, බහු ඉන්ද්‍රිය අක්‍රීය වීම සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මියගොස් ඇති බව සඳහන්.

බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක කාන්තාවක්ද කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ඊයේ (16) මියගියා.

ඇයද හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර, කොවිඩ් නියුමෝනියා තත්ත්වයත් සමඟ ඇති වූ ලේ විෂවීම නිසා ඇති වූ කම්පනය සහ බහු ඉන්ද්‍රිය අක්‍රීය වීම මරණයට හේතුව ලෙස දැක්වෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

++++++++++++++++++++

(17.12.2020 – 09:14 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ලබාදිය යුතු තොරතුරු වසන් කරන පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඇතැමුන් එලෙස ලබාදිය යුතු තොරතුරු වැරදි ලෙස සටහන් කරන බවයි ෴

+++++++++++++++++++++

(17.12.2020 – 10:50 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (16) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 616 දෙනා අතුරින් වැඩිම සංඛ්‍යාවක් වූ ආසාදිතයින් 266 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව, බොරැල්ලෙන් ආසාදිතයින් 65 ක් මට්ටක්කුලියෙන් ආසාදිතයින් 62 ක් සහ කොම්පඤ්ඤවීදියෙන් ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඊට අමතරව, මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ (16) දිනයෙන් ආසාදිතයින් 99 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගත් ආසාදිතයින් සංඛ්‍යාව 94 ක් ෴

+++++++++++++++++++++++

(17.12.2020 – 12:11 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 234 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල හරහා අද (17) අලුයම දිවයිනට පැමිණියා.

අද (17) පෙරවරු 08:30 න් අවසන් වු පැය 24 තුළ කටුනායක ගුවන්තොටුපලෙහි ගුවන් මෙහෙයුම් 8 ක් මගින් මෙම පිරිස පැමිණ ඇති අතර, ඉන් 54 දෙනෙකු ඕමානයේ – මස්කට් සිට පැමිණි ශ්‍රී ලාංකිකයින්.

එමෙන්ම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 40 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ සිට 42 ක් දිවයිනට පැමිණ තිබෙනවා.

එසේම, තවත් ගුවන් මගීන් 388 දෙනෙකු අද (17) අලුයම වනවිට විදේශ රටවල් බලා කටුනායක ගුවන්තොටුපල හරහා පිටත්ව ගොස් ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *