පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ලබාදුන් වන්දි අඩු බව ජනපති කොමිසමේදී හෙළිවෙයි

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ලබාදුන් වන්දි අඩු බව ජනපති කොමිසමේදී හෙළිවෙයි

*********************************************

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ලබාදුන් වන්දි අඩු බව ජනපති කොමිසමේදී හෙළිවෙයි

(16.12.2020 – 19:53 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සඳහා ලබාදුන් වන්දි ඊට පෙර දිගන හා බේරුවල ප්‍රදේශවල ඇතිවූ නොසන්සුන්‍තාවලදී ලබා දුන් වන්දි හා සැසඳීමේදී ඉතා අඩු බව හානිපූරණය සඳහා වූ කාර්‍යාලයේ වැඩබලන අධ්‍යක්ෂවරයා අද පිළිගත්තා.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම සිදුකළ ප්‍රශ්න කිරීම්වලදියි.

එහිදී ඔහු හෙළිකළේ දිගන සිද්ධියේ වන්දි ලබාදීමේ කටයුතුවලට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් බලපෑම් කළ බවයි.

හානිපූරණය සඳහා වූ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ එස්. එම්. බදියුදීන් මහතා අද (16) ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබුණා.

ඒ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවෙන් ජීවිතක්ෂයට පත් වූ සහ ආබාධිත හෝ තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් ප්‍රදානය කෙරුණු ආකාරය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සදහායි.

ඒ අනුව බෝම්බ පිපිරීම්වලින් මියගිය කටුවාපිටියේ 108 දෙනෙකුටත්, කොච්චිකඩේදී මියගිය 50 දෙනෙකුටත්, මඩකලපුවේදී මියගිය 30 දෙනෙකුත් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැඟින් ලබාදි තිබෙනවා.

කොළඹ ෂැංග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ්, කිංග්ස්බරි සහ දෙහිවල ට්‍රොපිකල් ඉන් යන ස්ථානවල පුපුරා ගිය බෝම්බවලින් මියගිය 21 දෙනෙකු වෙනුවෙන් වන්දි පිරිනැමුණු බව සාක්ෂිකරු පෙන්වා දුන්නා.

මීට අමතරව දෙමටගොඩ මහවිල උද්‍යාන නිවසේ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූ ආරක්ෂක අංශයේ තිදෙනා (3) සහ විවිධ ස්ථානවලදී මියගිය විදේශයකයින් නව දෙනෙකු (9) වෙනුවෙන් එම වන්දි මුදල් පිරිනමා තිබෙනවා.

ඊට අමතරව හදුනානොගත් විදේශිකයින්ගේ සිරුරු 34ක් ද තිබූ බව සාක්ෂිකරු පැවසුවා.

හානිපූරණ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ මරණ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අයදුම් පත් 220 ක් සඳහා රුපියල් මිලියන 220 ක් සහ තුවාලකරුවන් 506 දෙනෙකුට රුපියල් මිලියන 81 ක වන්දි මුදල් ලබාදුන් බවයි.

***************************************

(16.12.2020 – 20:04 +0530 – hirunews.lk/sinhala)

දේශපාලඥයින් සහ පොලිස් නිලධාරීන් එක්ව අධිකරණයට ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් පසුගිය යහපාලන රජය සමයේ සිදු කළ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් අදත් (16) විවිධ අදහස් පළවුණා.

***************************************

වන ගහනය වැඩි කිරීමට ගුවන් හමුදාවෙන් අලුත් වැඩක්

(16.12.2020 – 18:32 +0530 – sinhala.adaderana.lk)

2030 වසර වනවිට ශ‍්‍රී ලංකාවේ හරිත ආවරණය 27% සිට 32% දක්වා වර්ධනය කිරීමේ අරමුණින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනින් බීජ හෙලීමේ ව්‍යාපෘතියක් දියත් කර තිබේ.

එහි තුන්වන අදියර අද (16) ක්‍රියාත්මක විය.

ඒ යටතේ අම්පාර ප‍්‍රදේශයේ ලාහුගල ජාතික වනෝද්‍යානයේ නීති විරෝධිව හෙළි කරන ලද අක්කර 25 ක පමණ භූමි ප‍්‍රදේශයක් ආවරණය වන පරිදි ගුවනින් බීජ හෙලීම සිදුවිය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මගින් ඇහැළ, මී, කුඹුක්, මාර, බුළු, සියඹලා ආදී ශාක බීජ 30,000 ක් පමණ හෙලීම සිදකෙරුණි.

ගුවන් හමුදා විධායක කෘෂි ඒකකය විසින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරයි.

***************************************

දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරය ගැන මහාචාර්ය අර්ජුන කළ අනාවරණය

(16.12.2020 – 16:23 +0530 – sinhala.adaderana.lk)

දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරය සඳහා ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අනුගමනය කරන්නේ LPL සාර්ථක කළ මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ ක්‍රමවේදයම බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති, මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉවත් වුයේ නම් දකුණු අප්‍රිකානු ක්‍රිකට් තවත් වසරක් යනතෙක් කඩාවැටීමකට ලක්වීමට ඉඩ තිබූ බවද ඔහු පැවසීය.

‘ටී වී දෙරණ BIG FOCUS’ වැඩසටහන සමග සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මේ බව පැවසීය.

“LPL එක සාර්ථක කරපු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපිට දීපු මාර්ගෝපදේශ මාලාවම මෙතනදිත් අපි භාවිත කරන්න තීරණය කළා. අපේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ වෛද්‍යවරයෙකුව අපි ඒ රටට යැව්වා. ඒ අය ගිහින් හැම ක්‍රීඩාංගණයක්ම හොඳින් පරීක්ෂා කරලා අපිට වාර්තා එවනවා. ඒ අනුව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයට අපේ මාර්ගෝපදේශ උපදෙස් දීලා තියෙනවා. අපි ක්‍රීඩකයින්ව දැනුවත් කරලා තියෙනවා, ඕනම වෙලාවක ආරක්ෂාව මදියි කියලා හිතුනොත් කියන්න බෝඩ් එකට අපි ආපහු ගේනවා. හදිසියේවත් ක්‍රීඩකයෙකු ආසාදිත වුණොත් එක වෛද්‍යවරයෙක් මේ ක්‍රීඩකයා එක්කම ඉඳලා නිරෝධායනය ඉවර වුණාට පස්සෙ තමයි ආපහු එන්නෙ. සාමාන්‍යයෙන් වෛද්‍යවරු ක්‍රිකට් සංචාරයට යන්නේ නෑ. නමුත් මේ සංචාරයට එක වෛද්‍යවරයෙක් නෙමෙයි කිහිපදෙනෙක් යනවා. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය අපිට දැනුම්දුන්නේ තරගය හැර අනෙක් සියලුදෙයක්ම දෙන්නම් කියලා. මේ වෙලාවේ අපේ වෛද්‍යවරු සහ හමුදාව අපිට ලොකුම ශක්තියයි. මේ තරගාවලියෙන් අපිත් ඉවත් වුණා නම් දකුණු අප්‍රිකාවට තවත් වසරක් යනකම් ක්‍රිකට් ගහන්න ලැබෙන්නේ නෑ. මොකද පාකිස්ථානයට වුණා වගේ කිසිම රටක් එන්නේ නෑ.” යනුවෙන් ද මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැහැදිළි කළේය.

***************************************

(16.12.2020 – 22:14 +0530 – lankadeepa.lk)

බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ ‘ඇල්ල ආරුක්කු නවය පාලම’ නැරඹීමට පැමිණි තරුණියක් බියගන්වා ඇය පැළඳ සිටි රන් මාලය පැහැරගත් බවට සැකපිට යුධ හමුදා සාමාජිකයෙක් බව කියන පුද්ගලයෙකු ඇල්ල පොලීසිය මගින් අද (16) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ ඇල්ල, හල්පෙ පට්ටියකුඹුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 වන පුද්ගලයෙකු වන අතර ඔහු යුධ හමුදා බුද්ධි අංශයේ සේවය කරන අයෙකු බව පැවසේ.

ඇල්ල ආරුක්කු නවය පාලම නැරඹීමට සිය පෙම්වතාද සමඟ පැමිණ සිටි දියතලාව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක් බියගන්වා ඇගේ ගෙල පැළඳි රුපියල් 22,000 ක් පමණ වටිනා රන් මාලයක් සැකකරු විසින් පැහැරගත් බවට ලැබුණු පැමිණිල්ලක් මත ක්ෂණික වැටලීමක් සිදුකළ ඇල්ල පොලීසිය ආරුක්කු නවය පාලමට යාබද පයිනස් වගාව තුළ සැඟව සිටි සැකකරු අදාළ රන් මාලයද සමග අත් අඩංගුවට ගෙන තිබේ.

ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව කුමාර මහතාගේ උපදෙස් මත එම පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුලරත්න මහතා ඇතුළු නිළධාරීන් පොලිස් බුද්ධි අංශ නිළධාරීන්ගේද සහායෙන් අදාළ වැටලීම සිදුකර ඇත. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇත ෴

***************************************

ජනපතිගේ නම විකුණන ලේකම්, අගමැතිව නෝන්ඩි කරයි

(16.12.2020 – theleader.lk)

ජනාධිපතිවරයාගේ නම විකුණමින් මේවනවිට සමස්ත රාජ්‍ය යාන්ත්‍රනය මෙහෙයවන ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දරගේ උද්දච්ච ක්‍රියාකලාපය නිසා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා, බොහෝ අවස්ථාවල දී ආණ්ඩුවේම මැති ඇමතිවරුන් හා නිලධාරීන් ඉදිරියේ බරපතල හැල්ලුවකට හා අවමානයකට ලක්වෙමින් සිටින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මුදල් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ හෝ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ දුරකථන ඇමතුමකට හෝ ජනාධිපති ලේකම්වරයා ගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම නිසා අගමැතිවරයා මෙන්ම රාජ්‍ය ඇමතිවරයා නිලධාරීන් හා ව්‍යාපාරිකයින් හමුවේ පසුගිය කාලයේ අවස්ථා ගණනාවක දීම අන්ත අසරණ තත්වයකට පත්වූ බව මුදල් අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසිය.

පසුගිය සතියේ සිදුවූ එවැනි සිදුවීමක් ඔහු පැහැදිලි කර සිටියේ, අදාල ලිපි ලේඛන ද ඉදිරිපත් කරමිනි.

අදාල සිද්ධිය සැකෙවින් මෙසේය :

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්දේශය හා අනුමැතිය යටතේ, කොවිඩ් නයින්ටින් සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු සඳහා රෝහල් විසින් ද රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හා විශ්ව විද්‍යාල විසින් සිය රසානයනාගාරවල විෂබීජහරණය සඳහා ද යොදාගනු ලබන එතනෝල් ස්ප්‍රිතු (Ethanol, 95%, Laboratory Grade) ලීටර් 5000 ක් මෙරටට ගෙන්වා තිබු අතර එය රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් ලබාදී තිබු අනුමැතියක් මුදල් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ හෝ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ අනුදැනුමකින් තොරව ජනාධිපති ලේකම්වරයා විසින් අවලංගුකර ඇත.

එම එතනෝල් ස්ප්‍රිතු මෙරටට ආනයනය කරන ජර්මනියේ මාර්කස් (Merck & Co) ආයතනයේ දේශීය නියෝජිතයින් වන නියෝ කෙම් (NEO Chem) සමාගමේ නියෝජිතයින් පිරිසක් පසුගියදා අගමැතිවරයා හමුවී ඒ සම්බන්ධයෙන් දැනුවත්කර එම එතනෝල් නිදහස්කර ගැනීමට සහනයක් අපේක්ෂාකර ඇත.

මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා එතනෝල් මෙරටට ගෙන්වීම තහනම් කර ඇති තත්වයක් යටතේ, වෛද්‍යමය ප්‍රයෝජන සඳහා පමණක් යොදාගනු ලබන එම එතනෝල් ස්ප්‍රීතු, කොවිඩ් නයින්ටින් සනීපාරක්ෂක කටයුතු සඳහා මෙරටට ගෙනඒමට අනුමැතිය ඉල්ලා එම පෞද්ගලික සමාගම විසින් මේවසරේ පෙබරවාරි මාසයේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ.

ඒ අනුව, ජනාධිපති අතිරේක ලේකම් ඉන්දික විජේගුණවර්ධන මහතා භාණ්ඩාගාර ලේකම්වරයාට දැනුම්දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් සොයාබලා නිසි පියවර ගන්නා ලෙසයි.

අනතුරුව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එම එතනෝල් ස්ප්‍රීතු මෙරටට ගෙන්වීමට අදාල බලපත්‍රයක් නිකුත්කර ඇත. ඒ ජුනි මස 22 දිනය. එහි වලංගු කාලය ලෙස සටහන් වන්නේ 2020 දෙසැම්බර් 31 යි.

මේ සම්බන්ධයෙන් විරෝධයක් නොමැති බව මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය එම්. කේ.සී. සේනානායක මහතා විසින් නොවැම්බර් මස 19 දා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තු කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම්දී ඇත.

ඒ අනුව සුරාබදු කොමසාරිස් එම්. ඩී.එම්.ඩබ්.කේ. දිසානායක මහතා විසින් මෙසේ එතනෝල් ගෙවීමට අනුමැතිය දෙන බව නොවැම්බර් 20 දා ආනයන – අපනයන පාලක වෙත දැනුම් දී තිබේ.

කෙසේවුවද මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය එම්.කේ.සී. සේනානායක මහතා විසින් නොවැම්බර් 24 දා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තු කොමසාරිස්වරයාට දැනුම්දී ඇත්තේ එතනෝල් ගෙන්වීමට නියෝ කෙම් (NEO Chem) සමාගමට දුන් අනුමැතිය අහෝසි කල බවයි.

ලේකම්ගේ නියෝගයක් !

නියෝ කෙම් (NEO Chem) සමාගමේ නියෝජිතයින් පිරිසක් මුදල් අමාත්‍ය අගමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතා හමුවී පැමිණිලි කර ඇත්තේ ඒ අනුවය.

එහිදී අගමැතිවරයා තම නිලධාරියකු මගින් ජනාධිපති ලේකම්වරයා දුරකතනයට සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් පසු මුදල් අමාත්‍යංශයේ විෂයබාර ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් කළ විමසීමකදී ඔහු බයාදු ලෙස පවසා ඇත්තේ, මෙම එතනෝල් ලීටර් 5000 සම්බන්ධයෙන් මිට පෙර ලබාදුන් අනුමැතිය අහෝසි කරන ලෙස ජනාධිපති ලේකම්වරයා නියෝග කළ බවයි.

ජනාධිපතිවරයා එම දැනුම්දීම සිදුකර ඇත්තේ ජනාධිපතිවරයා දුන් නියෝගයක් බව පවසමිනි.

කෙසේවුවද ඉහත සඳහන් පරිදි එම එතනෝල් මෙරටට ගෙන ඒමට අවශ්‍ය කටයුතු කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත්තේ ද ජනාධිපතිවරයාමය. ඒ අතිරේක ලේකම්වරයකුගේ ලිඛිත ප්‍රකාශයක් මගිනි.

ඥාති සම්බන්ධයක් තිබේද ?

එම සැකය මත මේ සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස අගමැති කාර්යාලයෙන් දුන් දැනුම්දීම මත මුදල් අමාත්‍යංශයේ වගකිවයුතු නිලධාරීන් කිහිප දෙනෙකු විසින් කල සොයා බැලීමකදී වාර්තාවී ඇත්තේ, මෙම වෛද්‍යමය ප්‍රයෝජන සඳහා ද භාවිත කරනු ලබන එතනෝල් ස්ප්‍රීතු මිට ඉහතදී මෙරටට ආනයනය කල දේශීය නියෝජිත සමාගමක බලපෑමක් මත මෙවැනි බාධාකිරීමක් සිදුව ඇති බවයි.

එම දේශීය සමාගම විසින් සිදුකළ බරපතල වංචාවක් හේතුවෙන් එම සමාගමේ මෙරට නියෝජිතභාවය අවලංගු කිරීමට ජර්මනියේ මාර්කස් (Merck & Co) ආයතනය කටයුතු කර තිබේ.

එම සමාගමේ හිමිකාර ජයසුන්දර නැමැත්තා හා අධ්‍යක්ෂ මණ්ඩල පවුලේ සාමාජිකයින් සමග අදාල නිසි බලධාරියාගේ ඥාති සම්බන්ධතාවයක් තිබේදැයි අනාවරණය කර ගැනීම සඳහා අගමැති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙදිනවලදී බලවත්සේ වෙහෙසෙන බව වාර්තාවේ.

ජනාධිපති ලේකම්වරයාගේ ක්‍රියාකලාපය මේවනවිට බොහෝ මැති ඇමතිවරුන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් බරපතල වාචික ප්‍රහාරයක් එල්ල කළේය ෴

***************************************

ප්‍රතිශක්තිය වඩවා කොරෝනා මැඩලන්න ‘කළුදුරු තෙල්’ වලට විශේෂ හැකියාවක් ඇත – ආයුර්වේද වෛද්‍ය, මහාචාර්ය M.H.A තිසේරා

(16.12.2020 – nethnews.lk)

දිනෙන් දින ආසාදිතයන් වැඩිවෙමින්, දේශීය මරණ සංඛ්‍යාව ඉහළ යවමින් ජනතාව වෙත දෙවන වරටත් බලපෑම් කළ කොවිඩ්-19 මාරාන්තික වෛරසයට තවමත් ඖෂධ හෝ එන්නතක් සොයාගෙන නැහැ. එනිසා නිර්දේශිත සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන අතරේ ඉන් මිදෙන්න ඇති හොඳම ක්‍රමය වන්නේ තමන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීම යි.

කොරෝනා මැඩලන්න ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දායකත්වය මෙම අවස්ථාවේදී විශාල වශයෙන් කතාබහට ලක් වී ඇත.දේහ ප්‍රතිශක්තිය වර්ධනයට අපගේ අතීතයේ භාවිතයට ගැනුණු නොයෙකුත් ආයුර්වේද වටිනාකම් ඇති ඖෂධ සහ ශාකසාර වර්තමානයේ දී ද භාවිතයට ගනිමින් පවතී.

ශ්‍රි ලංකාවේ පමණක් නොව විදේශීයවත් මෙවැනි ඖෂධීය වටිනාකමකින් යුක්ත විවිධ දෑ භාවිතයට ගැනුණි. එවැනි පසුබිමක් තුළ ලෝකයේ කොරෝනා මැඩලන්න විශාල වශයෙන් කතාබහට ලක්වුණු ඖෂධයක් ලෙස ‘කළුදුරු තෙල්’ (Black Seed Oil) හැඳින්විය හැක. වර්තමානයේ විද්‍යාත්මක පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් හරහා කළුදුරු වල ඇති ප්‍රතිශක්තිය වර්ධනය කිරිම හැකියාව තහවුරු කර ඇත.

වසර 3000 තරම් පැරණි අතීතයකට හිමිකම් කියන කළුදුරු වර්ථමානයේදී ප‍්‍රතිශක්තිය වර්ධනයට ඇතුළු වෙනත් ලෙඩ රෝග ගණනාවකට ඖෂධයක් ලෙස භාවිතා කරයි. ආයුර්වේද සහ යුනානි වෛද්‍ය ක්‍රමවල ද මෙහි භාවිතය හොඳින් සඳහන් කර ඇත.

කළුදුරුවල අන්තර්ගත ප්‍රධාන සක්‍රිය ඝටකය වන Thymoquinone මගින් සිරුරේ ප්‍රතිශක්තිකරණ හැකියාව වැඩිදියුණු කරන බව ලොකයේ පිළිගත් විශ්ව විද්‍යාල බොහොමයක් මගින් සිදුකරන ලද පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

මෙම සංඝටකය මගින් රුධිරයේ සුදු රුධිරාණු ප්‍රමාණය හා එහි ප්‍රබලත්වය ඉහළ නංවන අතර ශරීරයට ඇතුළු වන බැක්ටීරියා සහ වෛරස් වැනි විෂබීජ එමගින් විනාශ කර දමයි. එම නිසා Covid -19 වැනි මාරාන්තික වෛරසය වලට එරෙහිව සටන් කිරීමට මෙම කළුදුරු සතුව විශාල හැකියාවක් ඇති බවට සඳහන් කිරීමට පුළුවනි.

සොබාදහමින් එල්ලවුණු මේ වෛරස අභියෝගයට කළුදුරු තෙල් තේ හැන්දක් මී පැණි ස්වල්පයක් සමග කලවම් කර උදෑසන කෑමට පසු දිනපතා පානය කළ හොත්, ඔබටත් අටඅනූවක් රෝග දෝස වලින් රැකෙන්නට නිරෝගී, සෞඛ්‍යමත් ජීවිතයකට උරුමකම් කියන්නටත් නිතැතින්ම හැකිවේ ෴

Nigella sativa, generally known as black seed or black cumin, is an annual flowering bush plant from the family Ranunculaceae which is growing in Southwest Asia, North Africa, and southern Europe.

The main compounds that have been isolated from N. sativa seed include proteins, carbohydrates, fixed oils, essential oil, crude fiber, alkaloids, minerals, vitamins, ash, and moisture. The other components are tannins, resin, saponin, carotene, glucosides, and sterols. One of the major components of the essential oil is thymoquinone (TQ).

Based on the use of N. sativa in traditional medicine as a natural treatment for some diseases, researchers have investigated its protective effects against asthma, hypertension, diabetes, and inflammation.

In addition, TQ is known to have antioxidant, analgesic, antipyretic, antischistosomal, antifungal, antibacterial, anticancer, anticonvulsant, hepatoprotective, and neuroprotective activities.

It has been found that TQ has beneficial protective effects against renal diseases through anti-inflammatory, antioxidant, and antiapoptotic activities.

***************************************

කල්පවතින සුව නොවන තුවාල ඇත්නම් රෝහලක චර්ම රෝග සායනයකින් වහාම ප්‍රතිකාර ගන්න

(17.12.2020 – mawbima.lk)

කොරෝනා රෝගය ව්‍යාප්ත වීම නිසා ලිෂ්මනයිසිස් රෝගීන් උතුරු මැද පළාතෙන් වාර්තා වීමේ අඩුවක් පැවැතියත් කල්පවතින සුව නොවන තුවාල ඇත්නම් ප්‍රධාන රෝහලක චර්ම රෝග සායනයකට ගොස් වහාම ප්‍රතිකාර ලබාගන්නා ලෙසත් අභ්‍යන්තර ඉන්ද්‍රීය ආසාදිත ලිෂ්මනයිසිස් රෝගයට ප්‍රතිකාර නොකළහොත් එය මාරාන්තික වන බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනි හේමා වීරකෝන් මහත්මිය පැවැසුවාය.

උතුරු මැද පළාත පුරා ව්‍යාප්ත වන ලිෂ්මනයිසිස් රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් නොවීම හේතුවෙන් උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.සී.ඩී. ආරියරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත සංවිධානය කළ අනුරාධපුර පැවැති උපදේශන වැඩමුළුවට එක්වෙමින් වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය මේ බව පැවැසුවාය.

“ලිෂ්මනයිසිස් රෝගයේ ප්‍රභේද තුනක් (3) අතරින් අභ්‍යන්තර ඉන්ද්‍රීය ආසාදිත ලිෂ්මනයිසිස් මඟින් තමයි අක්මාව, ප්ලීහාව ඇතුළු ඉන්ද්‍රීන්ට හානි සිදුවෙන්නේ. ඒක භයානක තත්ත්වයක් නිසා රෝගය හඳුනාගෙන ප්‍රතිකාර ගන්න ඕන. චර්මගත ලිෂ්මනයිසිස් සමින් එසවුණු රතු පැහැති ලපයක් ලෙස හටගන්නා මෙය පසුව ගැටිත්තක් බවට පත්වී කාලයත් සමඟ ක්‍රමක්‍රමයෙන් විශාල වෙලා තුවාලයක් හට ගන්නවා.

අත් පා මුහුණේ මෙම තුවාල දකින්න ලැබෙනවා. චර්ම ශ්ලේෂ්මල පටලගත ලිෂ්මනයිසිස් රෝගයේදී මුඛ්‍ය, නාසය ආශ්‍රිතව තුවාල ඉදිමුම් දැකිය හැකියි. අභ්‍යන්තර ඉන්ද්‍රීය ආසාදිත ලිෂ්මනයිසිස් අක්මාව හා ප්ලීහාව ඉදිමීම, වසා ගැටිති ඉදිමීම හා රුධිරය හිඟ වීම රෝග ලක්ෂණයි.

මේ ප්‍රභේද තුනටම (3) අයත් රෝගීන් ලංකාවෙන් වාර්තා වෙනවා. පළමු රෝගියා 1992 වසරේදී අම්බලන්තොටින් වාර්තා වෙලා තියෙනවා. 2006 දී තමයි පළමු රෝගියා අනුරාධපුරයෙන් වාර්තා වෙන්නේ” යනුවෙන් වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය පැවැසුවාය.

වැඩමුළුවට එක්වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ චර්ම රෝග වෛද්‍ය බුත්සිරි සුමනසේන මහතා මෙසේ පැවැසීය.

“මේ රෝගයේ හට ගන්නා තුවාල බොහෝමයක් කැසීම හා වේදනාවෙන් තොර නිසා රෝගීන් ප්‍රතිකාරවලට යොමුවීම ප්‍රමාද වෙනවා. මේ රෝගය නිසා හටගන්නා කැළැල් බොහෝ කාලයක් ශරීරයේ දකින්න තියෙනවා. එක් රෝගියකුගේ හටගත් තුවාලයක කැළලක් වසර දහයක (10) කාලයක් නොමැකී තිබිලා තියෙනවා. ඒ නිසා රෝගය වැලඳිලා තියෙනවා නම් ඒ පිළිබඳව දැනුවත් වෙලා ප්‍රතිකාර ලබාගැනීම වැදගත්” ෴

A Comprehensive Review of Cutaneous Leishmaniasis in Sri Lanka and Identification of Existing Knowledge Gaps

Trends in Recently Emerged Leishmania donovani Induced Cutaneous Leishmaniasis, Sri Lanka, for the First 13 Years

================================

කපාටයක් සහිත මුව ආවරණ තහනම් කරන්නැයි ඉල්ලීමක්

(16.12.2020 – 19:00 +0530 – sinhala.adaderana.lk)

මුව ආවරණ භාවිතයේදී කපාටයක් සහිතව නිෂ්පාදනය කර ඇති මුව ආවරණ වර්ගය තහනම් කිරීමට පියවර ගන්නා ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බව මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

‘අද දෙරණ Big Focus’ වැඩසටහනට එක්වෙමින් මහාචාර්යවරයා පැවසුවේ එම මුව ආවරණ විශේෂය කෝවිඩ් වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට අපොහොසත් වන බවය.

++++++++++++++++++++++

‘වැළලෙන්නම ඕනෑ’ යයි පවසමින් බේරුවලදී විරෝධතාවයක්

(16.12.2020 – 16:45 +0530 – lankaleadnews.com)

බේරුවල නගර සභාව ඉදිරියේ දී නිහඬ විරෝධතාවක යෙදෙමින්; කොවිඩ්–19 ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජනතාවගේ මෘතදේහයන් ආදාහනය කිරීමට එරෙහි විරෝධයක් බේරුවල නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් විසින් සිදු කළහ.

වෙනත් රටවල්වල කොවිඩ්–19 මෘතදේහ භූමදානයට අවසර දී තිබියදී ලංකාවේ පමණක් ඊට අවසර දී නැති බවත්, මුස්ලිම් ජාතික මෘතදේහ භූමදානය කිරීමට අවසර ලබා දෙන්නැයි ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඔවුන් ප්‍රකාශ කළේය.

++++++++++++++++++++++++

(16.12.2020 – 19:25 +0530 – lankadeepa.lk)

වහාම ක්‍රියාත්මක වන පරිදි පානදුර හා මොනරාගල ප්‍රදේශ කීපයක් හුදෙකලා කළ බවට කොවිඩ් පාලන මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජන‍‍‍‍‍‍රාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දුන්නද අද (16) සවස් වන විටත් ඒ සම්බන්ධව ලිඛිත පණිවිඩයක් නොලැබුණ බව එම ප්‍රදේශවල සෞඛ්‍ය අංශයේ සහ පොලීසියේ උසස් නිලධාරීහු පැවසූහ.

එම දැනුම්දීම ජංගම දුරකථනවල කෙටි පණිවිඩ හරහා සහ විද්‍යුත් මාධ්‍ය මගින් මෙන්ම මුද්‍රිත මාධ්‍ය මගින් ද ප්‍රචාරය වූ නමුදු මේ දක්වා ක්‍රියාවට නැඟී නොමැත.

පානදුර තොටවත්ත, මොණරාගල බඩාල් කුඹුර හා අලුත පොල ප්‍රදේශ හුදෙකලා කළ ප්‍රදේශ බවට ප්‍රචාරය කෙරිණි.

මෙම පණිවිඩයක් සමගම ඉකුත් දින කීපය තුළ සිට කොරෝනා ආසාදිතයින් වර්ධනය වෙමින් පවතින පානදුර තොටවත්ත ප්‍රදේශයේ සමහර පුද්ගලයන් එම ප්‍රදේශය හැර වෙනත් ප්‍රදේශ කරා මේ වනවිටත් සංක්‍රමණය වීමෙන් අනෙකුත් ප්‍රදේශ කරා ද දැඩි සෞඛ්‍යමය ගැටළුවක් පැන නැගීම වැළැක්වීමට නොහැකි බවත් එම නිලධාරීහු පැවසූහ.

එම දැනුම් දීමත් සමගම අදාළ අංශ වෙත ද එම පණිවිඩය යොමු කර මාර්ග බාධක යොදා ආරක්ෂාව තර කර හුදෙකලා කිරීමට අවශ්‍ය පියවර ගන්නේ නම් තවත් පුද්ගලයකුට සමූහයකට හෝ ප්‍රදේශයකට වෛරසය පැතිරීමේ අවදානම දැඩිව අවම කරගත හැකි වෙතැයි එම උසස් නිලධාරීහු පවසති ෴

පානදුර තොටවත්ත ප්‍රදේශය පැය 24 කට පසු හුදෙකලා කර සංචරණ සීමා පැනවීමට පානදුර උතුර පොලිසිය අද (16) රාත්‍රී 9 ට පමණ කටයුතු කළේය.

ඒ අනුව පානදුර තොටවත්ත ග්‍රාම නිලධාරී වසමට ඇතුළුවන මාර්ග පහක් (5) ආවරණ වන පරිදි ගිනි අවි සහිත පොලිස් මුරකාවල් යොදවනු ලැබීය.

මීට අමතරවශබ්ද විකාශන යන්ත්‍ර මඟින් එම ප්‍රදේශය හුදකලා කළ බවට ප්‍රදේශවාසීන්ට දැනුම් දීමටත් පානදුර උතුර පොලිසියේ ප්‍රචාරක අංශය විසින් කටයුතු යොදනු ලැබීය.

මෙම ප්‍රදේශය සහ මොනරාගල ප්‍රදේශයේ තවත් ප්‍රදේශ දෙකක් (2) හුදකලා කළ බවට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා විසින් ඊයේ (15) රාත්‍රී 9 ට පමණ ප්‍රකාශයට පත් කරනු ලැබිණ ෴

++++++++++++++++++++++

පෘෂ්ඨ මත සක්‍රියව පවතින වෛරස් සහ බැක්ටීරියා විනාශ කරන ‘සැනිටයිසර්’ දියරයක්

(16.12.2020 – aruna.lk)

කොවිඩ්-19 වෛරසය ඇතුලු පෘෂ්ඨ මත සක්‍රියව පවතින සියලුම වෛරස් සහ බැක්ටීරියා විනාශ කළ හැකි නව විෂබීජානුහරණ දියරයක් (sanitizer) හදුන්වාදීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් දෙදෙනෙකු (2) සමත් වී තිබේ.

පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ ආචාර්ය ප්‍රසංග ගයනාත් මන්තිලක මහතා සහ ඖෂධවේදය පිලිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රංග දිසානායක මහතා එක්ව මෙම නව විෂබීජානුහරණ දියරය (sanitizer)හදුන්ව දී ඇත.

එය පරිසර අමාත්‍ය මහින්ද අමරවී මහතා වෙත ඊයේ(15) පිළිගන් වනු ලැබීය.

දැනට භාවිත කරන විෂබීජානුහරණ දියර (sanitizer) සියල්ලම ඇල්කොහොල් මාධ්‍ය කර ගනිමින් සකස් කරන ලද නිෂ්පාදන වන අතර සීග්‍රයෙන් වාෂ්පීකරණයට ලක්වේ.

එහෙත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යයවරුන් දෙදෙනා (2) විසින් හදුන්වාදී ඇති මෙම නව විෂබීජානුහරණ දියරය ඇල්කොහොල් වලින් තොර 90% කම ජලය මාධ්‍ය කර ගත් නිෂ්පාදනයක් බව පරිසර අමාත්‍යංශය සදහන් කරයි.

පරිසර හිතකාමී මෙම නව විෂබීජානුහරණ දියරයේ ඇති විශේෂත්වය වන්නේ එය එක් වරක් කිසියම් පෘෂ්ඨයක් මතට යෙදුවහොත් එය දින 28 ක් සක්‍රියව පවතිමින් කවර විෂබිජයක් වුවද විනාශ කළ හැකි තරම් ක්‍රියාශීලි විමයි.

දැනට භාවිතා කරන විෂබීජානුහරණ දියර වර්ග හෙවත් සැනිටයිසර් වර්ග සියල්ලම සීග්‍ර වාෂ්පීකරණ ද්‍රව්‍යවලින් නිපදවා ඇති බැවින් ඒවායේ සක්‍රියතාවය පවතින්නේ කෙටි කාලයක් පමණයි.

එහෙත් මෙම නව විෂබීජනාශකය යෙදුව පසු අදාල පෘෂ්ඨය අවස්ථා කිහිපයක් සෝදා පිරිසිදු කළ ද පළමුව යෙදු විෂබිජ නාශකයේ ගුණය විනාශ නොවන බව පරීක්ෂණ වලින් තහවුරු වී ඇති බවයි පරිසර අමාත්‍යංශය සදහන් කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • I wonder how many muslims got resurrected and ended up in heaven after their dead bodies were buried. It is extraordinary that in the modern day and age, stupid people hand on to their superstitous and false beliefs. Get real Muslims, and stop this nonsense. Pay more attention to the survival of people that are living and not littering and polluting the land with virus filled dead corps.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *