පාස්කු ප්‍රහාරය ගැන ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයෙන් නිවේදනයක්

පාස්කු ප්‍රහාරය ගැන ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයෙන් නිවේදනයක්

*********************************************

පාස්කු ප්‍රහාරය ගැන ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයෙන් නිවේදනයක්

(16.12.2020 – 13:01 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී මාස 20 ක් ගතවී ඇතත් එය සැලසුම්කළ මහ මොළකරුවන් නීතිය හමුවට ගෙන ඒමට වගකිව යුත්තන් මෙතෙක් අපොහොසත් වී ඇතැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරන එම සම්මේලනය පෙන්වා දෙන්නේ දැනට සිදුකෙරෙන පරීක්ෂණවලට බාධාවක් සිදු නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

ජීවිත 250 කට වඩා අහිමි කරමින් කිතුණු දේවස්ථාන සහ අනෙකුත් ස්ථාන වෙත එල්ල කෙරුණු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා පැවති ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සමුළු වාරයේදී අවධානයට යොමුව තිබෙනවා.

ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ වහා නිමා කිරීමේ අවශ්‍යතාව ද, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය අවධාරණය කළා.

ඔවුන් විශ්වාසය කරන්නේ ප්‍රහාරය පිළිබඳ වැදගත් තොරතුරු මේවන විටත් රැස්කරගෙන ඇති බවටයි.

ඒ අනුව මානව වර්ගයාට එරෙහිව එල්ලවූ මෙම ප්‍රහාරයට වගකිව යුතු සියලු‍දෙනාට එරෙහිව සුදුසු නීතිමය පියවර ගනු ඇති බවට කතෝලික රදගුරු සම්මේලනය විශ්වාසය පළකරනවා.

එම සම්මේලනයේ සභාපති බදුල්ල රදගුරු අතිඋතුම් ජේ. වින්ස්ටන් එස්. ප්‍රනාන්දු හිමිපාණන් අදාළ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ ප්‍රහාරයෙන් දිවි අහිමිවූ සහ ශාරීරික මෙන්ම මානසික වශයෙන් පීඩාවට පත්වූ සියලු‍ වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීම සඳහා එය අත්‍යවශ්‍ය කරුණක් බවයි.

ජාතිය හෝ ආගම පිළිබඳ නොසලකා ජාතික ආරක්ෂාව පිළිබඳ අවධානය යොමුකරමින් වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කළ යුතුයි.

ඒ අනුව රජයේ, අධිකරණ ක්‍රියාවලියේ නීතිය බලාත්මක කරන්නාවූ බල අධිකාරියේ මෙන්ම වගකිවයුතු සමස්ත ජනතාවගේද අභිප්‍රාය විය යුත්තේ දේශයේ ආරක්ෂාව තහවුරු කිරීම බවයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

***************************************

(16.12.2020 – 13:06 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට රටින් පලා ගොස් ඇතැයි සැක කෙරෙන සාරා ජෙස්මින් නැමැත්තියට කටුවාපිටිය බෝම්බකරු බලහත්කාරයෙන් විවාහ කර දුන් බවට චෝදනා එල්ල වූ සිලෝන් තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් නැමැත්තාගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඊයේ (15) දෙවන දිනටත් ප්‍රශ්න කළා.

එහිදී හෙළි වුණේ නිසි ක්‍රමවේදයකින් තොරව අබ්දුල් රාසික් නැමැත්තා විසින් එම විවාහය සිදුකර දී ඇති බවටයි. රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසනු ලැබුවේ කටුවාපිටිය දේවස්ථානයේ ස්වයං ඝාතක බෝම්බකරු වන හස්තූන්ව ඔබ දැන සිටියාද යන්නයි. ඊට පිළිතුරු දෙමින් අබ්දුල් රාසික් සඳහන් කළේ ඔහු දැන සිටි බවයි.

ඔහු විවාහ වී සිටියා කියන පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ව ඔබ දැන සිටියා ද යන්න රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසුවා.

2015 වර්ෂයේ අගොස්තු 07 වනදින ඇයව මුලින්ම දුටු බවත් එදිනම, නැගෙනහිර පළාතේ සිට හස්තූන් සමඟ ඇය මාළිගාවත්තේ පිහිටි අපේ ප්‍රධාන කාර්යාලයට පැමිණ සිටි බව සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

එහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කරුනු ලැබුවේ හස්තූන් ඒ වනවිට ඇය සමඟ විවාහ වී සිටියාද යන්නයි.

“නැහැ.. පුලස්තිනිව මුස්ලිම් ආගමට convert කරගන්න ඕනෙයි කියලා හස්තූන් කිව්වා. ඇය ඔහුගේ හොඳම යාළුවෙක් බවත්, පුලස්තිනි මුස්ලිම් ආගමට එන්න කැමැත්තෙන් ඉන්න බවත් අපිට කිව්වා. අපි ඒ කටයුත්ත කරලා දීලා පුලස්තිනිව මුස්ලිම් ආගමට හරවලා ‘සාරා ජෙස්මින්’ කියන නම දාලා ඇයට සහතිකයකුත් ලබා දුන්නා.” සාක්ෂිකාර අබ්දුල් රාසික් ඊට පිළිතුරු දෙමින් සඳහන් කළා.

රාසික් මහත්මයා හස්තූන් සහ පුලස්තිනි එකට නොපැමිණි බවත්, පුලස්තිනි තනිව පැමිණි බවත් ඒ වනවිට හස්තූන් ඔබේ කාර්යාලයේ සිටියා නේද යනුවෙන් ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු සාක්ෂිකරුගෙන් විමසුවා.

“නැහැ ස්වාමිණි, දෙන්නා එකටයි ආවේ. අපි ඔවුන්ට කරුණු කියලා දීලා මුස්ලිම් ආගම වැළඳ ගන්න අවස්ථාව උදා කරලා දුන්නා” සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළා.

මීට පෙර කොමිසම හමුවේ දීර්ඝ ලෙස සාක්ෂි දුන්, පුලස්තින් මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ මව පැවසුවේ අබ්දුල් රාසික් විසින් පුලස්තිනිව බලහත්කාරයෙන් හස්තූන්ට විවාහ කර දුන් බවයි.

ඉන්පසුව සාරා ජෙස්මින් වන තම දියණිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් දැන ගැනීමට හැකියාවක් නොලැබුණු බව එදින සාරාගේ මව ජනාධිපති කොමිසම හමුවේ හඬමින් සාක්ෂි ලබා දුන්නා. මේ වනවිට වාර්තා පළ වන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසු සයින්දු මර්දු නිවසක් තුළ සිදුවූ බෝම්බ ප්‍රහාරය සිදුවන විටත් සාරා ජෙස්මින් එම නිවසේ සිට ඇති බවයි. කෙසේ වෙතත් මේ වනවිට ඇය රටින් පළා ගොස් ඇති බවට සැක පළ කෙරෙනවා.

ඉන් පසු රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරයා ‘පුලස්තිනි දැන් කොහෙද?’ යන්න සාක්ෂිකරුගෙන් විමසුවා. “පුලස්තිනි දැන් කොහෙද ඉන්නේ කියලා මම දන්නේ නැහැ” යනුවෙන් අබ්දුල් රාසික් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළා.

රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරයා එහිදි සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කරුනු ලැබුවා : “මම ඔබට යෝජනා කරනවා සාරා සහ හස්තූන් අතර විවාහය ඔබ විසින් බලහත්කාරයෙන් කරන ලද විවාහයක් කියලා ඔබ එය පිළිගන්නවද?”

ඊට පිළිතුරු දෙමින් අබ්දුල් රාසික් සඳහන් කලේ : “එවැන්නක් කිසි ලෙසකවත් පිළිගන්නේ නැහැ ස්වාමිණි. මේ විවාහයේ කටයුතුවලින් පස්සේ හස්තූන්වත් සාරාවත් මට මුණ ගැසීවත්, සම්බන්ධයක්වත් තිබිලාවත් නැහැ ස්වාමිණි. පාස්කු ප්‍රහාරයෙන් පසුවයි මා මේ සිද්ධීන් දැන ගත්තේ.”

++++++++++++++

***************************************

(16.12.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala)

දේශීය ව්‍යවසායකයින් සහ නිෂ්පාදකයින් දිගු කලක සිට මුහුණ දුන් ගැටලුවලට පිළියම් ලබාදෙමින් ඔවුන් දිරිමත් කිරීම අරමුණු කරගත් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය එළිදැක්වීමේ උත්සවය ඊයේ (15) කොළඹදී පැවැත්වුණා.

කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය එක්ව මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන්නේ ගුණාත්මක තත්ත්වයෙන් යුත් දේශීය නිෂ්පාදන දෙස් විදෙස් වශයෙන් අලෙවි කිරීමට පහසුකම් රැසක් සලසමින්.

එහිදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කියා සිටියේ දේශීය ව්‍යවසායකයින් දිරිමත් කිරීමද මෙහි අරමුණ බවයි.

දේශීය නිෂ්පාදන රැක ගැනීමට නම් ආදේශන ආනයනය නතර කළ හැකි වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව මෙහිදී රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළා.

***************************************

(16.12.2020 – 13:20 +0530 – hirunews.lk/sinhala)

ජාතික සම්පත් විකිණීමට එරෙහි බව පවසා බලයට පැමිණි ආණ්ඩුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදෙස් සමාගමකට විකිණීමට කටයුතු කර ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති චෝදනා කළා.

ඒ, කොළඹ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

***************************************

(16.12.2020 – 13:37 +0530 – hirunews.lk/sinhala)

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා අමාත්‍ය ධුරය දැරූ පසුගිය රජය සමයේ සිදුකළ දූෂණයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතු බව ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ ඒකාබද්ධ සේවක වෘත්තිය සමිතිය පවසනවා.

කොළඹ දී අද (16) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔවුන් මේ බව සඳහන් කළා.

***************************************

(16.12.2020 – 13:50 +0530 – hirunews.lk/sinhala)

ආහාරවේලට රසය මෙන්ම ගුණයත් එක්කරන ගොටුකොළ සඳහා නිසි මිලක් නොලැබීම හේතුවෙන් තමන් පාඩු ලබමින් සිටින බවට හලාවත ප්‍රදේශයේ ගොටුකොළ වගාකරුවන් මැසිවිලි නගනවා.

මේ අතර දිවයිනට බලපෑ බුරවි සුළිකුණාටුව හේතුවෙන් කල්පිටිය අර්ධද්වීපයේ රතු ලූණු අස්වැන්න සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව වගාකරුවන් පවසනවා.

ශ්‍රී ලංකාවේ රතු ළුණු අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් සපයන්නේ කල්පිටිය වගාබිම් වලින්.

නමුත් පසුගිය දිනවල දිවයිනට බලපෑ බුරවි සුළිකුණාටුව හේතුවෙන් මෙවර වෙළෙඳ පොළට එවීමට තිබූ කල්පිටි‍යේ රතු ළුණු අස්වැන්න සම්පුර්ණයෙන් විනාශ වී ඇති ආකාරයයි මේ.

ඇතැම් කාලවලදී ගොවීන් රතු ලූණු අක්කර 1000 කට වැඩි ප්‍රමාණයක් වගා කළද කල්පිටිය අර්ධද්විපයට අයත් දළුව, මාම්පුරිය, ඉලන්තඩිය, එත්තාල, පනිඅඩිය, තලවිල, නොරොච්චෝල, කන්දකුලිය ඇතුළු ප්‍රදේශ රැසක ගොවීන් සුළිකුණාටුවේ බලපෑමෙන් පත්ව ඇත්තේ දැඩි අසිරුතාවකටයි.

වගාකරුවන් පවසන්නේ වගාබිමක් නඩත්තු කිරීමට රුපියල් ලක්ෂ ගනණනින් වැය කර අස්වැන්න ලබා ගැනීමට ආසන්නව තිබිය දී සිදුවු මෙම හානියත් සමග තමන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බවයි.

ලූනු වගාකරුවන් පවසන්නේ වී වගාව ඇතුළු මෙරට බොහෝ බෝග වලට ස්භාවික විපත් වලදී වන්දි ගෙවිම් සිදුවන නමුත් කල්පිටිය අර්ධද්විපයේ වගාකරුවන්ට මෙම වන්දි ක්‍රම අහිමි වී ඇති බවයි.

මේ අතර හලාවත උතුරු ආරියගම ප්‍රදේශයේ පවුල් 800 ක් පමණ තම දිවි සරි කරගන්නේ ගොටුකොළ වගාවෙන්.

අක්කර 500 ට ආසන්න භූමි ප්‍රමාණයක මහා පරිමාණයෙන් වගා කර ඇති මෙම ගොටුකොළ ලංකාවේ සෑම පළාතකටම පාහේ අලෙවි කරන අතර, දැනට ඔවුන් මුහුණපා ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ නිෂ්පාදන සදහා ඉහළ මිලක් නොලැබීමයි.

පවතින අයපත් කාලගුණ තත්ත්වයත් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වසංගතයත් සමඟ තම කර්මාන්තය පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇති බවට ගොවීන් මැසිවිලි නගනවා.

මෙම වගාව පිළිබඳව වගකිව යුතු බළධාරින්ගේ අවධානය යොමු නොවන්නේ නම්, රටේ ජනතාවට අවශ්‍ය පෝෂ්‍යදායී පලා වර්ග සපයාගැනීම අර්බුදකාරී තත්ත්වයක් බවට පත්වනු ඇති බවට ගොවීන් පෙන්වා දෙනවා.

***************************************

(16.12.2020 – 13:56 +0530 – hirunews.lk/sinhala)

සේනා දළඹු උවදුර මැඩපැවැත්වීම සඳහා අකමැත්තෙන් වුවද වගාවන් සඳහා සෞඛ්‍යාරක්ෂිත නොවන රසායන ද්‍රව්‍ය යෙදීමට සිදුව ඇතැයි ගොවීන් පවසනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ වගා හානි සිදුවීමෙන් දුෂ්කරතාවට පත් ගොවීන් පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවයි.

දින කිහිපයක පටන් යළි ව්‍යාප්තිය ඇරඹි සේනා දළඹු උවදුර මෙරටින් පළමුවරට වාර්තා වූයේ 2018 වසරේ ඔක්තෝබර් මාසයේදී.

බඩ ඉරිගු වගාවට අමතරව කුරක්කන්, වී, කෙසෙල්, එළවළු ඇතුළු බෝග වගාවන්ට මේවන විට සේනා දළඹුවන් ව්‍යාප්තවී තිබෙනවා.

දළඹු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඇතැම් ගොවීන් සිදුකරන්නේ වගාවන් ගිනි තබා විනාශ කිරීමයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම – කුකුල්කටුව ප්‍රදේශයේ වගාවන්ටද සේනා දළඹුවන් ව්‍යාප්ත වී ඇති ආකාරයයි මේ.

දහසකුත් එකක් බලාපොරොත්තු තබාගෙන මෙම කන්නයේ බඩඉරිගු වගා කළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවින් මෙම දළඹු උවදුර හේතුවෙන් අද වන විට පත්ව ඇත්තේ දැඩි ආර්ථික දුෂ්කරතාවකටයි.

මේ ගල්ගමුව – හේන්වලගම, මකුලෑව, දිවුල්ගනේ ඇතුළු ප්‍රදේශවල බඩඉරිඟු වගාවන්ද සේනා දළඹුවන්ගේ ග්‍රහණයට නතුවී තිබෙනවා.

***************************************

(16.12.2020 – 14:38 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි සිදු කළ මෙහෙයුමකින් කේරළ ගංජා කිලෝ 39 කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවන් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයඹ, නැගෙනහිර, දකුණ සහ උතුරු මැද නාවික විධානයන්හි නිලධාරීන් සිලාවතුර, කල්පිටිය, කලවංචිකුඩි, මුලතිව්, හම්බන්තොට, මන්නාරම සහ ජයපුරම් පොලිස් ස්ථාන සමග ඒකාබද්ධවයි වැටලීම් සිදුකර ඇත්තේ.

මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී අලෙවි කිරීම සඳහා කේරළ ගංජා ළග තබාගත් මෙන්ම ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී මෝටර් රථයක් මෙන්ම යතුරුපැදි දෙකක් සහ කේරළ ගංජා කිලෝ 39 යි ග්‍රෑම් 197 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 24 ත් 26 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් සිලාවතුර, පානදුර, වීරකැටිය, කොළඹ 12, කොළඹ 14, මඩකළපුව, පුදුනගර්, පුල්මුඩේ, උදයර්කට්ටු, ඇඹිලිපිටිය සහ තණමල්විල ප්‍රදේශවල පදිංචිකරුවන්.

එම පුද්ගලයන් සහ නඩු භාණ්ඩ ඉදිරි පරීක්ෂණ සඳහා සිලාවතුර, නොරොච්චෝල, කල්පිටිය, මඩකළපුව, පුල්මුඩේ, මුලතිව්, ඇඹිලිපිටිය, මන්නාරම සහ ජයපුරම් පොලිස් ස්ථාන වෙත භාරදී තිබෙනවා ෴

***************************************

(16.12.2020 – 15:09 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කර්මාන්තයේ නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රා 5 ක් සමග ඉන්දීය ජාතිකයන් 36 ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් ධීවරයන් මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් සිදු කරන ධීවර කටයුතු වැටලීමේ මෙහෙයුම්, කොරෝනා වෛරසයේ බලපෑම් හමුවේ පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා සීමාවී තිබුණා.

කෙසේවෙතත් අඛණ්ඩව විදෙස් ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හමුවේ දේශීය ධීවර ප්‍රජාවට සිදුවන බලපෑම සැලකිල්ලට ගනිමින් සහ මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීමේ අරමුණ සහිතවයි විදෙස් ධීවර යාත්‍රා මුහුදු සීමා උල්ලංඝණය කර සිදුකරන ධීවර කටයුතු වැටලීමේ මෙහෙයුම් නැවත ආරම්භ කෙරුණේ.

ඒ අනුව උතුරු නාවික විධානය මගින් ඩෙල්ෆ්ට් දුපත ආසන්න මුහුදු සීමාවේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මගින් මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය යාත්‍රා 3 ක් සමග ඉන්දීය ජාතිකයන් 22 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම උතුරු මැද නාවික විධානය මගින් මන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේත් වයඹ නාවික විධානය මගින් කුදිරමලේ තුඩුවට බරහිර මුහුදේදීත් සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ජාතිකයන් 14 ක් සහ යාත්‍රා දෙකක් (2) නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් සහ ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුම් සිදුකළ බවයි නාවික හමුදාව කියාසිටියේ.

සැකකාර ඉන්දීය ධීවරයන් සහ යාත්‍රා සම්බන්ධ විමර්ශණ සිදුකෙරෙමින් පවතින අතර ඔවුන් දින 14 ක කාලයක් නිරෝධායනය සඳහා යොමු කිරීමට නියමිතයි ෴

***************************************

(16.12.2020 – 15:59 +0530 – hirunews.lk/sinhala)

වටවල ප්‍රදේශයේ ගල් කොරියක ‘වීල් ලෝඩර්’ යන්ත්‍රයක් අනතුරට ලක්වීමෙන් එහි ක්‍රියාකරු ජීවිතක්ෂයට පත තිබෙනවා.

අද (16) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙක්.

කළු ගල් තොගයක් ගල් කඩන යන්ත්‍රයට දැමීම සඳහා ලෝඩර් යන්ත්‍රයෙන් රැගෙන යමින් සිටින අවස්ථාවේ එහි ක්‍රියාකරුට එය පාලනයකර ගැනීමට නොහැකිව අඩි 25 ක් පමණ ප්‍රපාතයට පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වර්තා වන්නේ.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ යන්ත්‍ර ක්‍රියාකරුගේ සිරුර මේ වනවිට පශ්චාත් මරණ පරික්ෂණය සදහා වටවල රෝහලේ තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

***************************************

(16.12.2020 – 16:28 +0530 – hirunews.lk/sinhala)

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (16) නිට්ටඹුව පොලිස් ස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

එහිදී එම පොලිස් ස්ථානයේ ඇති අඩුපාඩු පිළිබදව සොයා බැලූ අමාත්‍යවරයා එහි ඇති අඩුපාඩු සකසා ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

***************************************

(16.12.2020 – 17:03 +0530 – hirunews.lk/sinhala)

පැවති ආණ්ඩුව පොරොන්දු ලබාදීම පමණක් සිදුකළත්, වත්මන් ආණ්ඩුව අවශ්‍ය කටයුතු නිසි පරිදි ඉටු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, කාදිනල් හිමිපාණන් හමුවේ අවධාරණය කළා.

ඒ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූ පවුල්වල ගැටලු නිරාකරණය කිරිම සහ දේවස්ථානවල ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ අද (16) පැවති සාකච්ඡාවකදීයි.

අදාළ ගැටලු නිරාකරණය කිරීම පිළිබඳව කාදිනල් හිමිපාණන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයට ප්‍රශංසා කළ බව ද, අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.

ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට කටුවාපිටිය ප්‍රදේශයේ ඉදිවන නිවාස ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට උපදෙස් දුන්නා.

එසේම, පීඩාවට පත්ව කොළඹ අවට කුලී නිවාස වල සිටින පවුල් 33 ක් සඳහා ද නිවාස වෙන් කෙරෙනු ඇති ෴

***************************************

(16.12.2020 – 17:25 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසුන් තුළ ඉංග්‍රීසි ඉගෙනීමේ හැකියාවන් ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, නවීන තාක්ෂණය සමඟ එක්ව සකස් කරන ලද දීප ව්‍යාප්ත ‘ඉංග්‍රීසි සුහුරු පන්ති ව්‍යාපෘතිය’ යටතේ දකුණු පළාතේ පාසල් 200 කට සුහුරු පන්ති ලබාදීම සම්බන්ධව විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පැවැත් වුණා.

ගාල්ල, ලබුදූව දක්ෂිණපාය පරිශ්‍රයේදී මෙම වැඩසටහන පැවැත් වූ බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ.

ඉංග්‍රීසි භාෂාව හැදෑරීම හුදෙක් විදෙස් භාෂාවක් හැදෑරීමකට පමණක් සීමා නොවන බවත්, ජාතීන් අතර සහ සම්බන්ධතා පවත්වා ගැනීමටත්, ඔවුන්ගේ සිතුම් පැතුම් අදහස් උදහස් අවබෝධ කර ගැනීමටත් සම්බන්ධීකරණ භාෂාවක් ලෙස ඉංග්‍රීසි අත්‍යවශ්‍ය භාෂාවක් වන බවත් මෙහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

තුන්වන (3) ශ්‍රේණියේ සිට අට (8) ශ්‍රේණිය දක්වා පාසල් විෂය මාලාව තුළ ඉංග්‍රීසි විෂයට අදාළ පෙළ පොත් ඇසුරින් සකස් කරන ලද පාඩම් මාලා ඇතුළත් ReadToMe නම් අන්තර්ජාල යෙදවුමක් මගින් මෙම ඉංග්‍රීසි සුහුරු පංති ක්‍රියාත්මක වනවා.

2022 වර්ෂය වන විට දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි ඉංග්‍රීසි සුහුරු පන්ති වැඩසටහන ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩි දුරටත් පවසන්නේ.

මීට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ පාසල් 100 කට සුහුරු ඉංග්‍රීසි පන්ති ලබාදීම ද ඊයේ (15) අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

මේ වන විට දිවයින පුරා පාසල් 852 ක සිසුන් 500,000 කට අධික පිරිසක් මෙම වැඩසටහන සමග සම්බන්ධ කරගෙන තිබෙනවා.

උතුර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාතේ පාසල් තුළ මේ වන විටත් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇති බව එම අමාත්‍යංශය සඳහන් කර සිටියේ ෴

***************************************

(16.12.2020 – 17:31 +0530 – hirunews.lk/sinhala)

නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් සෑම පවුලකටම සහන පොළියට පරිපූරක මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කර තිබෙනවා.

ණය සම්පාදනය කාණ්ඩ 03 ක් යටතේ සිදු කෙරෙන අතර මසකට රුපියල් 50,000 ට වැඩි වැටුප් හෝ ආදායම් ලාභීනට රුපියල් 50,000 ක ණයක් ගැනීමට හැකියාව පවතිනවා.

මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000 සහ 50,000 අතර පිරිසට රුපියල් 25,000 ක ණය ලබාදීමට නියමිතයි.

මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000 ට අඩු නම් ණය මුදල රුපියල් 10,000 ක්.

ණය ලබාදෙනු ලබන්නේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ සමෘද්ධි බැංකුව මගින් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

පරිපූරක සහන මූල්‍ය පහසුකම් ලබා ගැනීමට කැමති රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකෙහිම සේවකයන් සිය ප්‍රධානීන්ට ඒ බව දැනුම් දිය යුතුයි.

ආයතන ප්‍රධානියා තම සේවකයන්ගේ සහතික කළ නාම ලේඛනය සේවා ස්ථානය අසළ රාජ්‍ය බැංකුව වෙත ඉදිරිපත් කළ විට එම බැංකු ශාඛාව විසින් සේවකයන්ගේ ගිණුම්වලට නියමිත මුදල නොපමාව බැර කරනු ඇති.

ණය මුදල මාස 10 ක් ඇතුළත ගෙවා නිම කළ යුතු අතර අය කෙරෙන මාසික පොලිය සියයට 0.625 ක්.

2021 ජනවාරි සිට ඔක්තෝබර් 31 දක්වා කාලය ඇතුළත සේවකයාගේ වැටුපෙන් ණය මුදල අය කර ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

රජයේ විශ්‍රාමලාභීන්ට සහ සමෘද්ධිලාභීන්ට ණය සම්පාදනය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සහ සමෘද්ධි බැංකුවට පවරා තිබෙනවා.

ත්‍රීරෝද රථ, පාසල් වෑන්, බස් රථ හිමියන්ට සහ පෞද්ගලික බස් රථ සේවකයන් වැනි අයට සිය බැංකු ගිණුම පවත්වාගෙන යන රාජ්‍ය බැංකුව වෙත ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කොට සහන ණය මුදල ඉල්ලුම් කිරීමට හැකියි.

මෙම කාණ්ඩයට අයත් නොවන එහෙත් රාජ්‍ය බැංකුවල ගිණුම් ඇති දෛනික රැකියාවන්හි නිරතවූවනට ද සිය බැංකුවෙන් මූල්‍ය පහසුකම් ඉල්ලුම් කිරීමේ හැකියාව පවතිනවා.

කොවිඩ්-19 අභියෝගය හමුවේ අඩාල වූ ආර්ථිකය සහ ජන ජීවිතය මුළුමනින්ම යථා තත්ත්වයට පත් කර 2020 දී අහිමි වූ ප්‍රගතිය ද සමගින් 2021 වසරේ රට ඉදිරියට ගෙන යාම රජයේ අරමුණයි.

වසංගත සමයේ මාස 02 ක පමණ සංචරණ සීමා කාලය තුළ අපනයන, සංචාරක, ඉදිකිරීම් සහ වෙනත් නිෂ්පාදන හා සේවා කෙමෙන් යථා තත්ත්වයට පත් කර ගැනීමට වැඩ කරන ජනතාව සහ ව්‍යාපාරික ප්‍රජාව මහත් කැපකිරීම් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.

සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස් සහ රාජ්‍ය සේවා වෙතින් ඒ සඳහා ඉමහත් සහයක් ලැබුණු අතර ඒ හේතුවෙන් 2020 වසරේදී කෘෂිකාර්මික, නිෂ්පාදන ක්ෂේත්‍රයේ පුනර්ජීවනයකට පිවිසීමට හැකි වී තිබෙනවා.

නාගරික ජන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය ආහාර සැපයුම ඉන් තහවුරු කෙරුණු අතර එසේ දායක වූ ජනතාවට පිරිනැමෙන දිරි ගැන්වීමක් ලෙස උත්සව සමයේ පරිපූරක මූල්‍ය පහසුකම් සැලසුම් කරනු ලැබූ බවයි අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

***************************************

(16.12.2020 – 19:03 +0530 – hirunews.lk/sinhala)

අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ හටගත් ගින්න සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි පරීක්ෂණ සිදුකරන බව අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළා.

පොලීසිය පැවසුවේ ගින්නෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛනාගාරයට, නඩු ගොනුවලට හෝ ලිපි ලේඛනවලට හානි සිදුව නොමැති බවයි.

එසේම, ක්ෂේත්‍රයට අදාළ විශේෂඥයින් එම ස්ථානයට කැඳවා විශේෂඥ මත ලබා ගැනීමටද පොලීසිය අපේක්ෂා කරනවා.

***************************************

(16.12.2020 – 19:10 +0530 – hirunews.lk/sinhala)

මෙවර නත්තලේ ප්‍රධාන දේව මෙහෙය බතික් සැරසිලි සහිතව සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, ලබන 24 වනදා පැවැත්වෙන රාත්‍රී දේව මෙහෙයන් වලට දේශීය රෙදිවලින් නිර්මාණය කළ ඇඳුම් වලින් සැරසී සහභාගි වන ලෙසයි බතික් අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සියලු කිතුනුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර රජයේ සංවර්ධන ක්‍රියාවලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය නියෝජිතයින් සම්බන්ධ කර නොගැනීම බරපතළ ගැටලුවක් බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඔහු මේබව සඳහන් කළේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්.

***************************************

(16.12.2020 – 19:15 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය, දැනට පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ මෘත දේහ 4 තවදුරටත් අපරාධ විමර්ශනය සඳහා රදවා තබා ගැනීම අවශ්‍ය නොවන බැවින් ඒවා රජයේ වියදමින් අද (16) ආදාහනය කරන ලෙස වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කළා.

ඒ ඊට අදාළ නඩුව අද (16) විභාගයට ගත් අවස්ථාවේදීයි.

සිද්ධියෙන් මියගිය රැඳවියන් 4 දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා ඇතුළත් රහසිගත වාර්තාවක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන පංච පුද්ගල විශේෂඥ කමිටුව විසින් අද (16) නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයට ඉදිරිපත් කළා.

ඔවුන්ගේ සිරුරුවල ගිනි අවි වලින් සිදුවූ තුවාල තිබුණු බවද එහි සඳහන්ව තිබෙනවා.

එහිදී රැඳවියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ රැඳවියන් 4 දෙනාගේ දේහ භූමදානය සඳහා ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දෙන ලෙසයි.

ඊට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය විරෝධය පළ කළ අතර, පසුව දහවල් 12 ට අදාළ තීන්දුව ලබාදෙන බව විනිසුරුවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව, මෘතදේහ ආදාහනය කරන ලෙස නියෝග කෙරුණු අතර, මියගිය සෙසු රැඳවියන්ගේ දේහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට ලැබෙනතුරු ආදාහනය නොකරන ලෙස ද නියෝග කෙරුණා.

***************************************

(16.12.2020 – 19:26 +0530 – hirunews.lk/sinhala)

2016-2018 වසරවල ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පාඨමාලා හැදෑරූ ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් සඳහා අයදුම් කළ හැකි දිනය ලබන 20 වනදා දක්වා කල් දමා තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට ලබන 20 වනදා දක්වා ඒ වෙනුවෙන් අයදුම් කළ හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.

ගුරු පත්වීම් ප්‍රදානය කිරීම සඳහා මාර්ගගත (online) ක්‍රමයට තොරතුරු රැස්කෙරෙන අතර ඒ සඳහා https;//ncoe.moe.gov.lk වෙත පිවිස තොරතුරු ඇතුලත් කරන ලෙසට ද අයදුම්කරුවන්ට දැනුම්දෙනවා ෴

***************************************

(16.12.2020 – 19:29 +0530 – hirunews.lk/sinhala)

මාරවිල – තොඩුවාව ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගැනුණු රුපියල් කෝටි 200 කට අධික මත්ද්‍රව්‍ය තොගය වැටලීමේදී කිසිදු අක්‍රමිකතාවයක් සිදුවී නොමැති බව සුරාබදු කොමසාරිස් වසන්ත දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ නව සුරාබදු කොමසරිස් ජනරාල් එම්.ජී.ගුණසිරි මහතා වැඩභාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින්.

අදාළ රුපියල් කෝටි 200 කට අධික හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගනු ලැබුවේ පසුගිය 6 වනදායි.

සුරාබදු දෙපාර්තමේන්තුව භාරයට ගත් මත්ද්‍රව්‍යවලට ලීකුඩු මිශ්‍ර වී ඇති බවට විවිධ වාර්තා පළ වුණා ෴

===================================

(16.12.2020 – 14:11 +0530 – hirunews.lk/sinhala)

වැඩි පිරිසකට ප්‍රතිකාර සහ පහසුකම් ලබාදිය හැකි රෝහල් ක්ෂණිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරාගෙන එම රෝහල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙසට කඩිනමින් පරිවර්තනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන කාර්ය සාධක ක්‍රියාකාරි සමාලෝචන කමිටුව අද (16) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රැස්වු අවස්ථාවේදීයි.

එම අමාත්‍යාංශය නිවේදනය කළේ දැනට පවතින තත්ත්වය අනුව, සෑම දිනක් තුලම, නව ආසාදිතයින් 500 ත් 600 ත් අතර, ප්‍රමාණයක් වාර්තා වන බැවින්, එම ආසාදිතයින් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන කඩිනමින් සැකසීම පිළිබඳව මෙහිදී අවධානය යොමුවූ බවයි.

ඒ අනුව, අදාළ තීරණය ගෙන ඇති අතර, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෙන් කිරීමට සහ අමතර ප්‍රතිපාදන ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකු අරමුදල් වලින් ලබා ගැනීම පිලිබඳවත් සාකච්ඡා වී තිබෙනවා ෴

++++++++++++++++++++

(16.12.2020 – 15:19 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 785 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව අද (16) 25,000 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව මේ වනවිට සුවය ලැබූ සමස්ත ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 25,652 ක් ලෙසයි.

තවදුරටත් ආසාදිතයන් 8312 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 34,121 ක් ෴

තවත් කොවිඩ් ආසාදිතයින් 326 දෙනෙක් අද (16) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *