‘හොර PHI කල්ලිය’ ප්‍රසිද්ධ නර්තන ශිල්පියාටත් ගේමක් දීලා

‘හොර PHI කල්ලිය’ ප්‍රසිද්ධ නර්තන ශිල්පියාටත් ගේමක් දීලා

*********************************************

‘හොර PHI කල්ලිය’ ප්‍රසිද්ධ නර්තන ශිල්පියාටත් ගේමක් දීලා

(16.12.2020 – mawbima.lk)

රූපවාහිනි නාළිකාවක් විසින් පවත්වාගෙන යන ලද නැටුම් තරගාවලියක ජයග්‍රාහක පුහුණුකරු බවට පත්වී ජනාදරයට පත් නර්තන ශිල්පියකු රවටා ඔහු සතුව තිබූ ලක්‍ෂ ගණනක් වටිනා රන්බඩු ගලවාගත් කල්ලියක් කුරුණෑගල අපරාධ විමර්ශන අංශය විසින් කොටුකරගෙන ඇත.

රත්තරන් මුදු 7 ක්, මාල තුනක් (3), රත්තරන් කරාබුවක්, අත්පලඳනාවක්, පෙන්ඩන් දෙකක් (2) හා ඔරලෝසුවක් මෙම කල්ලිය විසින් ගලවාගෙන ඇති අතර එම රන් භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්‍ෂ 22 ක් පමණ වන බව අපරාධ විමර්ශන අංශය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙතෙක් කල් අබිරහසක්ව පැවැති මහව ප්‍රදේශයේ නිවෙසකට පී.එච්.අයි.ලාගේ වෙස්ගෙන පැමිණ නිවැසියන්ට පෙති වර්ගයක් දී ඔවුන් මත්කොට ඔවුන් සතු රන් අභරණ ගලවාගෙන පලාගිය කල්ලියද මොවුන් බව පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මත්පෙති දී පුද්ගලයන් සිහිසුන්කොට රන් අභරණ ගලවා ගෙන පලායන මෙම කල්ලිය කොටුකර ගැනීමට නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, මහව පොලිසිය, බුද්ධි අංශ ඇතුළු කණ්ඩායම් ගණනාවක් මාස දෙක තුනක් තිස්සේ පුළුල් විමර්ශනයක් ඇරැඹුවද ඔවුන් කොටුකර ගත නොහැකිව තිබිණි.

පසුව ජනප්‍රිය නැටුම් ශිල්පියා තමාට අත්වූ ඉරණම සම්බන්ධයෙන් කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ජී.වයි.බී. ක්‍රිෂාන්ත මහතා වෙත පැමිණිලි කිරීමත් සමඟ ඒ මහතා මීට සම්බන්ධ සැකකරුවන් අල්ලා ගැනීම සඳහා කුරුණෑගල පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැවැරුවේය.

ඉන් අනතුරුව කළ විමර්ශනයේදී සී.සී.ටී.වී. කැමරා දර්ශන හා දුරකථන විශ්ලේෂණ හා දුරකථන කුලුනු ආශ්‍රිතව කරන ලද පුළුල් විමර්ශනයකින් පසුව සැකකරුවන් කොටුකර ගැනීමට අපරාධ විමර්ශන නිලධාරීන් සමත් විය.

ඉකුත් දිනෙක හොරණ ප්‍රදේශයේ පදිංචි ජනප්‍රිය නර්තන ශිල්පියාට එක්තරා පුද්ගලයකු තමා කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රබල ඇමැතිවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකු බව සඳහන් කරමින් දුරකථන ඇමතුමක් ලබාදී ඇත.

එම ඇමැතුමෙන් ඔහු පවසා ඇත්තේ ඇමැතිවරයාගේ දියණියගේ උපන් දිනය වෙනුවෙන් කුරුණෑගල හෝටලයක සාදයක් පැවැත්වෙන බවත් එම සාදයේදී ඇමැතිවරයාගේ දියණියට නර්තන ශිල්පියා සමඟ නැටුමක් කිරීමට ආශාවක් ඇති බවය.

පසුව ඇමැතිවරයාගේ දියණියද නර්තන ශිල්පියාට ඇමතුමක් ලබාදී ඇය කැමැතිම රංගන ශිල්පියා ඔහු බවත් තමාගේ උපන් දින උත්සවයේදී ඔහු සමඟ නැටුමක් කරන්නට ආශාවක් ඇති බවත් දිනයක් වෙන්කරගෙන පුහුණුවක් සඳහා කුරුණෑගලට පැමිණෙන ලෙසත් ඇය ඉල්ලීමක් කර ඇත.

පසුව ඇමැතිවරයාගේ ලේකම්වරයා දිගින් දිගටම නර්තන ශිල්පියාට ඇමතුම්දී ඔහු කැමැති කරවාගෙන කුරුණෑගල ප්‍රදේශයට ඔහු ගෙන්වා ගෙන ඇත.

නර්තන ශිල්පියා කුරුණෑගලට පැමිණ ඇත්තේ මෙවර එම රංගන වැඩසටහනේ තවත් නර්තන ශිල්පියකුද සමඟය.

පසුව ඇමැතිවරයාගේ ලේකම් ඇතුළු ඇමැතිවරයාගේ ගෝලයකු බව කී දෙදෙනකු (2) මොවුන් පිළිගෙන ආහාර ලබාගැනීම සඳහා කුරුණෑගල වැව රවුමේ හෝටලයකට රැගෙන ගොස් තිබේ.

එහිදී රංගන ශිල්පියා නිතර නිතර කහින්න පටන්ගෙන ඇති අතර කොරෝනා වසංගතය නිසා කැස්ස එතරම් හොඳ නැති බවත් ඒ සඳහා හොඳ බව කියමින් පෙති 8 ක් 4 බැගින් දෙදෙනාටම ලබාදී ඇත.

ඒ සමඟ මොවුන් තද නින්දකට වැටී ඇති අතර පසුව මේ සැකකරුවන් දෙදෙනා මොවුන්ගේ කනකර, අත්පලඳනා ගලවාගෙන ඇති අතර මොවුන් මත්වතුර බී නින්දට වැටී ඇති බව කියමින් ඒ නිසා හිසට දැමීම සඳහා හෝටල් සේවකයකු ලවා පොල්තෙල් කුප්පියක් රැගෙන ගොස් නින්දට වැටී සිටි රංගන ශිල්පියාගේ ඇඟිලිවල පොල්තෙල් තවරා ඇඟිලිවල තිබූ රන් මුදු පවා ගලවාගෙන ගොස් ඇත.

කොල්ලකරුවන් පලාගොස් ඇත්තේ රංගන ශිල්පියාගේ හා ඔහුගේ ගෝලයාගේ කලිසම් පවා පහතට ගලවා ඒ ගැන පොලිසියට නොකියන ලෙසත් එසේ පැමිණිලි කළහොත් කලිසම් නැතිව සිටියදී ගත් ඡායාරූප මාධ්‍යවල පළ කරන බවට සඳහන් දැන්වීමක් කාමරයේ කණ්ණාඩියක අලවා දැමීමෙන් අනතුරුවය.

සිද්ධිය සම්බන්ධයෙන් අල්ලාගත් පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව මහව ප්‍රදේශයේ නිවෙසකට සෞඛ්‍ය නිලධාරීන් සේ ඇතුළු වී නිවැසියන්ට මත්පෙති පොවා රන් අභරණ පැහැරගත් සිද්ධියත්, මිනුවන්ගොඩ ප්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයකු රවටා ඔහුටද මත්පෙති ලබාදී රන් අභරණ ගලවා ගැනීමේ සිද්ධියක් හා දේශීය වෛද්‍යවරයකුට කැඳ කෝප්පයකට මත්පෙති මිශ්‍රකර ඔහුගේ රන් මාලය ගලවා ගැනීමේ සිද්ධිය ඇතුළු තවත් සිද්ධීන් 6 ක් පමණ මේ වන විටත් අනාවරණය කරගෙන ඇත.

කුරුණෑගල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්‍ෂක සමන්ත කුමාර මහතාට ලැබුණු තොරතුරක් මත දීර්ඝ ලෙස කළ විමර්ශනයකින් පසු මෙම සැකකරුවන් අල්ලාගෙන තිබේ.

අල්ලාගත් සැකකරුවන් අතර ඇමැතිවරයාගේ ලේකම් හා ගෝලයා ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා (2) ද ඇමැතිවරයාගේ දියණිය ලෙස පෙනී සිටි කාන්තාවක ඇතුළු තවත් කාන්තාවන් තිදෙනකුත් (3) වන බව පොලිසිය කියයි. ඒ අතර මවක් හා දියණියක්ද වන බව කියන පොලිසිය ඇමැතිවරයාගේ ලේකම් ලෙස රඟපෑ පුද්ගලයාම මහව ප්‍රදේශයේ නිවෙසට ගොස් සෞඛ්‍ය නිලධාරියා ලෙසද පෙනී සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.

කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත හා කුරුණෑගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ජී.වයි.බී. ක්‍රිශාන්ත යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක, කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂක කපිල අධිකාරි යන මහත්වරුන්ගේ උපදෙස් මත කුරුණෑගල පොලිස් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පුෂ්පලාල් ප්‍රමුඛ පොලිස් පරීක්‍ෂක සුජීව සමන්ත කුමාර, සැරයන්වරුන් වන හේරත් (5910), අශෝක (8522), තුෂාන්ත (38086), රාජපක්‍ෂ (55101), බාලසූරිය (58187), අධිකාරි ප්‍රියන්ත (58188), බස්නායක (58064) හා කොස්තාපල් රසික (74342) යන මහත්වරු මේ පිළිබඳ විමර්ශනවලට එක්ව සිටිති ෴

***************************************

ජපන් කෝටිපති දියණිය පැහැරගෙන ඒම පිටුපස තවත් සංවේදී කතා රැසක් – ජපන් පෙම්වතියගේ ජීවිතය බේරාගත් හැටි හෙළි කරයි

(14.12.2020 – 17:00 +0530 – truenews.lk)

ජපන් කෝටිපති දියණිය ලංකාවට රැගෙන පැමිණියේ ඇයගේ ජීවිතය බේරා ගැනීමට බව ශ්‍රී ලාංකික තරුණයා අද (14) අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව සඳහන් කළා.

මාධ්‍ය අමතමින් ඔහු හෙළිදරව්වක් කරමින් බොහෝ සංවේදී කරුණු රැසක් අනාවරණය කළා.

එම අනාවරණය පහතින් නැරඹිය හැකියි :

=

***************************************

මහරගම සැරිසැරූ කුඩ්ඩා කොළඹ කඩවල් 75 ක් සුද්ද කරලා

(16.12.2020 – 07:00 +0530 – mawbima.lk)

සැකකටයුතු ලෙස පුද්ගලයෙක් මහරගම නගරයේ සැරිසරන බවට ලද තොරතුරක් මත එම පුද්ගලයා පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් දෙකයි (2) මිලිග්‍රෑම් සියයක් (100) සොයා ගැනීමෙන් අනතුරුව මහරගම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් කළ විමර්ශනවලදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වෙළෙඳසැල් හැත්තෑපහකට (75) අධික සංඛ්‍යාවක් රාත්‍රි කාලයේදී කඩා ලක්ෂ හැටකට (60) ආසන්න මුදල් හා භාණ්ඩ සොරාගෙන ඇති බවට අනාවරණය වූ පසු එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවැසීය.

මෙම පුද්ගලයා රැකියාව වශයෙන් සැණකෙළිවල මාරක ළිඳේ බයිසිකල් පැදීමට දක්ෂතාවක් ඇති පුද්ගලයකු බවත් කොරෝනා වසංගතය හේතුවෙන් රටේ සැණකෙළි පවත්වන්නේ නැති වාතාවරණය මත මෙම පුද්ගලයාට හෙරොයින් පානයට මුදල් නොමැතිවීමෙන් මුදල් සොයාගැනීම සඳහා මෙලෙස සොරකමේ නියැළී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පැවැසීය.

වයස අවුරුදු 25 ක් වන සැකකරු හිඟුල, ගනේතැන්න, මාවනැල්ල ලිපිනයේ පදිංචිකරුවකු බවත් මෙම පුද්ගලයාගේ පියා කොළඹ ප්‍රදේශයේ නාට්ටාමිවරයකු වශයෙන් රැකියාව කරන අතර පියා සමඟ කොළඹට පැමිණ පියා මඟහැර ගම්පහ, කඩවත, කිරිබත්ගොඩ, නවගමුව, වැනි ප්‍රදේශවල වෙළෙඳසල් බිඳ දුරකථන කාඩ්පත්, දුම්වැටි, ගෑස් සිලින්ඩර්, විදුලි උපකරණ රාශියක් සොරාගෙන විකුණා එම මුදලින් හෙරොයින් පානය කර ඇති බවට අනාවරණය වූ බවත් පොලිසිය පැවැසීය.

වැඩිදුර විමර්ශනවලදී ගල්කිස්ස, මහරගම, බොරලැස්ගමුව, වැලිකඩ, මිරිහාන, කොට්ටාව වැනි ප්‍රදේශවල රාත්‍රි කාලයේදී නිවාස හා ‘කුලියට උපකරණ ලබා දෙන වෙළෙඳ ආයතන’ බිඳ මුදල් සහ විදුලි යන්ත්‍ර රැසක් සොරකම් කර තිබියදී සොයාගත් බවත් පොලිසිය පැවැසීය.

සොයාගත් භාණ්ඩ අතර ගෑස් සිලින්ඩර් තුනක් (3), විදුලි අත්විදුම් යන්ත්‍ර 15, විදුලි කැපුම් යන්ත්‍ර (Grinder) 05 ක්, එල්.ඊ.ඩී. ටී.වී. යන්ත්‍රයක්, දුරකථන කාඩ්පත්, දුම්වැටි අටසීයක් (800), වායු ආධාරයෙන් වාහනවලට තීන්ත ආලේප කිරීමට යොදා ගන්නා උපකරණ රැසක් තිබූ බවත් සොරකම් කළ ලක්ෂ තිහකට (30) අධික මුදලකින් දිනපතා හෙරොයින් පානය කර ඇති බවත් මූලික විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිසිය පැවැසීය.

ප්‍රදේශයේදී සොරකම් කරන ලද රුපියල් 180,000 ක මුදලකින් දින තුනක් (3) ඇතුළත සම්පූර්ණ මුදල වියදම් කර හෙරොයින් පානය කර ඇති බවත්, සැකකරු පදිංචි මාවනැල්ල ප්‍රදේශයෙන් කොළඹට එන විට කොළඹ ආයතනයක උසස් නිලධාරියෙක් වශයෙන් රැකියාව කරන ආකාරය මිනිසුන්ට ඒත්තු ගැන්වෙන ආකාරයෙන් ඇඳුම් පැලඳුම්වලින් සැරසී පැමිණෙන බවත් පොලිසිය විසින් සිදුකළ පරීක්ෂණවලදී හෙළි කර ගත් බවද පොලිසිය පැවැසීය.

සැකකරු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබාගෙන සැකකරු විසින් පුද්ගල ඝාතන හෝ වෙනත් අපරාධ සිදුකර ඇත්දැයි විමර්ශනය කරන බවද පොලිසිය පැවැසීය.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි 04 කුමාර වීරසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්. ජනකාන්ත මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රන්ජන් එදිරිසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ උපපොලිස් පරීක්ෂක චින්තක දසනායක, පොලිස් සැරයන් සුරංජිත් (43672), ගාමිණි (55871), රත්නායක (8105), කාන්තා පොලිස් සැරයන් දීපානී (5497), පොලිස් කොස්තාපල් ලක්ෂාන් (84742), එරංග (88199), සරත් (65283) යන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි ෴

***************************************

විත්තිකරුවන් නිදහස් කරගන්න කුමන්ත්‍රණයක් ඇති බවට සැකයි – සුරාබදු කොමසාරිස්

(16.12.2020 – mawbima.lk)

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉකුත් දින හලාවත, තොඩුවාවේදී අල්ලා ගත් හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් නොයෙකුත් මත ප්‍රචාරය වීම නිසා මේ පිළිබඳ ස්වාධීන හා අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පවත්වන ලෙස සුරාබදු කොමසාරිස්වරයා මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාගෙන් ඊයේ (15 දා) ඉල්ලීමක් කළේය.

එලෙසම මෙම මත්ද්‍රව්‍ය ග්‍රහණය ඉතා නිවැරැදිව විනිවිදභාවයෙන් යුතුව කළ බවත් මෙම ග්‍රහණය තුළ කිසිදු අක්‍රමිකතාවක් නොවූ බවත් වගකීමෙන් දන්වා සිටින බවද සුරාබදු කොමසාරිස්වරයා කියයි.

මෙම මත්ද්‍රව්‍ය ග්‍රහණය සඳහා මුල් තොරතුරු ලැබුණු අවස්ථාවේ සිට ග්‍රහණය අවසන් කර අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාව දක්වා මෙහි ඍජු අධීක්‍ෂණය සිදුවූයේ බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලේකම්වරයාගෙන් බවද කොමසාරිස්වරයා කියයි.

මෙම ග්‍රහණය සඳහා නාවික බුද්ධි අංශයද එක්වූ අතර මුල් තොරතුරේ සිට ග්‍රහණය දක්වා හා සාක්‍ෂි භාණ්ඩ රැගෙන යෑම දක්වා සියලු අවස්ථා සඳහා නාවික හමුදා බුද්ධි අංශයේ අධීක්‍ෂණයක් තිබූ බවද කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

එහෙත් මෙම ග්‍රහණය තුළ අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රධාන පෙළේ සැකකරුවන් නොවන බව පවසා පොලිස් ඒකකයක් මඟින් සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හෑල්ලුවට ලක්කර ඇති බවත් විත්තිකරුවන් නිදහස් කර ගැනීම සඳහා මෙවැනි කුමන්ත්‍රණයක් කරන බවට සැකයක් ඇති බවත් හෙතෙම පෙන්වාදී තිබේ.

ග්‍රහණය කර පැය 24 ක් ගතවීමටත් පෙර මෙම ග්‍රහණයට අදාළව සියලු සාක්‍ෂි භාණ්ඩ මාරවිල අධිකරණයට භාරදුන් බව කියන හෙතෙම එම භාණ්ඩ රජයේ රසපරීක්‍ෂක කාර්යාලය වෙත යොමු කළේ සාක්‍ෂි භාණ්ඩ තුළ ලී කුඩු මිශ්‍රවී ඇත්දැයි දැන ගැනීමට නොව එම සාක්‍ෂි භාණ්ඩවල ඇති ශුද්ධ මත්ද්‍රව්‍ය ප්‍රමාණය සොයා ගැනීමට බවද අවධාරණය කරයි.

මෙවැනි පසුබිමක් තුළ විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් රටට ඇතුළුවීමට තිබූ අවස්ථාව ව්‍යාර්ථ කර දැමූ නිලධාරීන්ගේ ජීවිත අවදානමට පවා ලක් කරමින් ඇති බවත් මෙම ග්‍රහණයට සම්බන්ධ ප්‍රධාන නිලධාරියාගේ පවුලේ ඥාතීන් පවා දැඩි අසීරුතාවකට පත්ව ඇති බවත් මීට අමතරව මෙම ග්‍රහණය සම්බන්ධයෙන් ඔත්තුව සැපයූ නිලධාරියා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරන අතර මේ නිසා ඔහුගේ දේශපාලන ජීවිතයට දැඩි බලපෑම් සිදුව ඇති බවත් කියයි.

මෙම නඩුවට අදාළ තොරතුරු සැපයූ පුද්ගලයන් මාධ්‍ය මඟින් රටටම හෙළිකිරීමෙන් මින් ඉදිරියට පුද්ගලයන් මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු සැපයීමට ඉදිරිපත් නොවන නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රිසිසේ ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යෑමට හැකිවන බවද කොමසාරිස්වරයා පවසයි.

මෙම ග්‍රහණයට සම්බන්ධ වූ නිලධාරීන් හට මේ වන විට ජීවිත අවදානමකට සහ අපහාසයකට ලක්වෙමින් දැඩි අපහසුතාවට පත්ව ඇති බව පෙන්වා දෙන සුරාබදු කොමසාරිස්වරයා මේ සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් කරන ලෙසද ඉල්ලා සිටියි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා, ආරක්‍ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයාත් දැනුවත් කරන බවද කියා සිටී ෴

***************************************

බීපු වතුරට තිනර් මුසුවී සිසුවියෝ 04 ක් රෝහලේ

(16.12.2020 – mawbima.lk)

පානය කළ ජලයට ‘තිනර්’ මුසුවී තිබීම නිසා ඒවා විස වීමෙන් රෝගී තත්ත්වයට පත් හබරාදුව, ලණුමෝදර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවියන් 04 දෙනකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට

ඇතුළත්කොට ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

මෙම සිසුවියන් සිවුදෙනා (4) පෙරේදා 14 දා දින පාසල් කාලය තුළදී දිවා ආහාරය ගැනීමෙන් පසු නිවෙස්වලින් රැගෙන විත් තිබූ බෝතල්වල තිබූ ජලය පානය කිරීමත් සමඟ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙසේ රෝහල්ගත කරනු ලැබීය.

මෙම සිසුවියන් විසින් ජලය රැගෙන ආ බෝතල්වලට කිසියම් අයකු විසින් තිනර් දැමුවාද යන්න පිළිබඳ පොලිසිය මේ වනවිටත් පුළුල් විමර්ශනයක් ආරම්භකොට ඇත. එක් සිසුවියකගේ බෑගයේ තිනර් බෝතලයක් තිබුණු බව පොලිසිය පවසයි. පොලිසිය විසින් මෙකී සිසුවියගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඇගේ බෑගයට කිසිවකු විසින් තිනර් බෝතලයක් දමා ඇති බවය.

මෙම සිසුවියන් සිවු දෙනාගෙන් දෙදෙනකු රෝහලින් නිදහස් වී ගොස් ඇති අතර තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන සිසුවියන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් සිසුවියක සැක කරන බව හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත උදය කුමාර මහතා පැවැසීය.

එම සිසුවියගේ පොත් බෑගය පරීක්ෂා කිරීමට ගුරුවරුන් උත්සාහ කළ අවස්ථාවේදී බෑගය පරීක්ෂා කිරීම සම්බන්ධව ඇය විරෝධය පා ඇතැයිද මෙම සිසුවිය එම පාසලේ ශිෂ්‍ය නායිකාවක් බවද පොලිසිය කීය.

සිසුවියන් පානය කළ ජලයට මිශ්‍රව තිබූ තිනර් ද්‍රාවණය මිනිස් සිරුරට අහිතකර බව කරාපිටිය රෝහල් ප්‍රකාශකයකු පැවැසීය.

හබරාදුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත උදයකුමාර මහතා ඇතුළු නිලධාරීහු විසින් පරික්ෂණ පවත්වති ෴

***************************************

සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් එක්ක වැඩ කරන්න බැහැ – චිත්‍රපට සංස්ථා සභාපති ජයන්ත ධර්මදාස

(16.12.2020 – epaper.aruna.lk)

විෂය පිළිබඳ අවබෝධයකින් තොරව කිහිප දෙනකුගේ අවශ්‍යතාව මත කටයුතු කරන සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග තමන්ට වැඩ කළ නොහැකි බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පවසයි. එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන ප්‍රවීණ නළු රවින්ද්‍ර රන්දෙණිය මහතා සහ දමිත් ෆොන්සේකා මහතා ද ඒ බව තහවුරු කර සිටිති.

ජාතික චිත්‍රපට සංස්ථා ශ්‍රවණාගාරයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සංස්ථා සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ප්‍රකාශ කළේ කොවිඩ් වසංගතය මැද සිනමාවේ දියුණුව වෙනුවෙන් තමන් කටයුතු කරමින් සිටිද්දී අමාත්‍යාංශ ලේකම්වරයා තමන්ට දූෂණ චෝදනා එල්ල කරමින් සිටින බවයි.

වසර හතළිහකට (40) අධික කාලයක පටන් ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරන තමා අවස්ථා පහකදී (5) චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරයට පත්වූවත් දූෂිත චෝදනාවක් එල්ල කරන පළමු අවස්ථාව මෙය බව කී ජයන්ත ධර්මදාස මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට තමන් පිළිබඳ විශ්වාසයක් නොමැති බවද කීය.

සභාපති ධුරයෙන් ඉවත් කළොත් මිස තමන් ඉල්ලා අස්නොවන බව කී හෙතෙම චිත්‍රපට සංස්ථාව සතු බලතල සියල්ල ලේකම්වරයා විසින් අයිතිකරගෙන ඇතැයිද, මෙතෙක් කලක් ඉවසා සිටි තමන් අවසානයේ මාධ්‍ය හමුවේ සියල්ල හෙළි කිරීමට තීරණය කළ බවද කීය.

තමන් දූෂිතයෙක් බවට බලධාරීන් ප්‍රසිද්ධියේ පැවසීමෙන් දැඩි සංවේගයක් ඇතිවූ බව කී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික රවින්ද්‍ර රන්දෙණිය මහතා කිසිදු වරදක් නැති අවංක නිලධාරීන් දෙදෙනකු (2) වූ සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා සහ ගණකාධිකාරීවරයාද අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉවත්කර ඇතැයි කීවේය. දළුගම සරසවි චිත්‍රාගාරයේ ශබ්දාගාරය නවීකරණය කිරීම රුපියල් කෝටි හතරකට (4) තක්සේරුකර තිබියදී තමන් එය රුපියල් මිලියන තුනහමාරකින් (3½) නිම කළ බව කී දමිත් ෆොන්සේකා මහතා එහි මුදල් අක්‍රමිකතාවක් සිදුව ඇති බවටද ලේකම්වරයා විසින් චෝදනා එල්ලකර ඇතැයි කීය. වෘත්තීය සමිතිවල කිහිප දෙනෙකුගේ අවශ්‍යතාව මත ලේකම්වරයා කටයුතු කරන බව ඔහු කියයි.

චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනා (2) ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන ගෙන්ද අපි විමසා සිටියෙමු. “ඒ අය ඕනෑ දෙයක් කියපුවාවේ.. මම ඕවාට උත්තර දෙන්න අවශ්‍ය නැහැ..” යැයි ලේකම්වරයා එහි දී කියා සිටියේය ෴

***************************************

(16.12.2020 – 08:27 +0530 – hirunews.lk/sinhala)

මාදිවෙල – බටහිර නාගරික කෘෂිකර්මාන්ත හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කෙරුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පස්වරුවේ මෙය ජනතා අයිතියට පත් කෙරුණු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළා.

‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අක්කර 23 ක ප්‍රදේශයක් පුරා විහිදී ඇති මෙම ව්‍යාපෘතිය ආරම්භ වුයේ පසුගිය අප්‍රේල් 21 වනදායි.

කොවිඩ්-19 පළමු රැල්ල පැතිර යන අවස්ථාවේ විවිධ බාධක මැද ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මාස අටක (8) පමණ ඉතා කෙටි කාලයක් තුළ නිමා කිරීමට හැකි වී ඇති අතර, එහි යල-මහ කන්න දෙකම වගාකිරීමට ජලය සපයා දිය හැකි වැව් දෙකක් (2) තිබීම විශේෂත්වයක්.

ව්‍යාපෘතියට අදාළ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කර ඇති අතර, එහි මුළු පිරිවැය රුපියල් මිලියන 390 ක්.

එමෙන්ම, කිලෝමීටර් 1.5 ක දිගින් යුත් ඇවිදීමේ මංතීරුවක් සහ පාපැදි මංතීරු දෙකක් (2), මෙන්ම ළමා උද්‍යානයක්, මෙයට අයත් වනවා. අංග 08 කින් සමන්විත එළිමහන් ව්‍යායාම් ප්‍රදේශයක්, එකවර රථ 40 ක් ගාල් කළ හැකි රථගාලක් මෙම ව්‍යාපාතියට ඇතුළත් බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

***************************************

(16.12.2020 – 11:56 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් මියගිය රැඳවියන් 4 දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා ඇතුළත් රහසිගත වාර්තාවක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන පංච පුද්ගල (5) විශේෂඥ කමිටුව විසින් අද (16) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

ඒ ඊට අදාළ නඩුව වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. එහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ මෙන්ම, මියගිය රැඳවියන්ගේ පාර්ශවයේ නීතිඥයින් ද අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

රැඳවියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ රැඳවියන් 4 දෙනාගේ දේහ භූමදානය සඳහා ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දෙන ලෙසයි.

කෙසේ වෙතත්, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ඊට විරෝධය පළ කළා.

ඇය සඳහන් කළේ අදාළ මළ සිරුරු භූමදානය කිරීම සමාජයට හානිකර විය හැකි බවයි. අයි.ඩී.එච්.රෝහලේ පවතින පහසුකම් අනුව, අදාළ මෘත දේහ තවදුරටත් රඳවා තැබීම ගැටලු සහගත බව ද සඳහන් කළ ඇය, ඒවා භූමදානය කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ක්‍රමවේදයක් ද සකස් කර නොමැති බැවින්, ඒවා නියමිත උෂ්ණත්වය යටතේ ආදාහනය කළ යුතු බවයි කියා සිටියේ.

කෙසේ වෙතත්, දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ වත්තල මහේස්ත්‍රාත්වරයා මෙම මෘත ශරීර සම්බන්ධයෙන් ගනු ලබන තීරණය අද (16) දහවල් දැනුම් දෙන බවට ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මහර ගැටුමට සම්බන්ධ රැඳවියන් කණ්ඩායම මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.

***************************************

(16.12.2020 – 12:56 +0530 – hirunews.lk/sinhala)

2015 – 2019 කාල සීමාවේ ලංකා සතොස ආයතනයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන හිටපු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ් සහ මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ෆාරුක් මොහොමඞ් අස්ලාම් හෙට (17) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට අනුව පෙරේදා මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ කින්නියා හා මාතලේ ප්‍රදේශවලදීයි ෴

=======================================

සල්ලි අල්ලන්න එපා!

(16.12.2020 – am.lk)

මුදල් වෙනුවට ඩිජිටල් බැංකු සේවා උපකරණ භාවිත කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පොදුජන බැංකු සේවක පෙරමුණ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

එම බැංකු සේවක පෙරමුණේ ලේකම් සංජය රත්මනගොල්ල මහතා කියා සිටියේ මුදල් ලබාගැනීමට ඩිජිටල් මෙවලම් පාවිච්චි කරන ලෙසයි.

ඒ.ටී.එම්. (ATM) , සී.ඩී.එම්. (Cash deposite Mechine ), Online Banking වැනි ක්‍රම භාවිත කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිති.

මැනිං වෙළඳපොලේත් මත්ස්‍ය වෙළෙඳ පොළේ කොරෝනා ව්‍යාප්ත වුණේ මුදල් මඟින් බව ඔවුන් සිහිපත්කරති ෴

+++++++++++++++++++++

(16.12.2020 – 08:21 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 දෙවන රැල්ල හේතුවෙන් වසා දැමුණු පෑළියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය දින 55 කට පසුව තොග වෙළදාම සඳහා අද (16) යළි විවෘත කෙරුණා.

ඒ අනුව අද (16) සිට අළුයම 2 සිට පෙරවරු 8 දක්වා එය තොඟ වෙළදාම සඳහා විවෘත පවතිනවා.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 50 දෙනෙකුට ආසන්න පිරිසකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය ඔක්තෝබර් මස 21 වනදා හඳුනාගැනීමත් සමගයි මෙම වෙළෙඳ සංකීර්ණය තාවකාලිකව වසා දැමිමට කටයුතු කෙරුණේ.

ඒ අනුව මත්ස්‍ය වෙළඳ පොළට පැමිණෙන විට සෞඛ්‍යාරාක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසටයි පෑළියගොඩ මත්ස්‍ය වෙළද සංගමයේ සභාපති ජය ශ්‍රී වික්‍රමආරච්චි මහතා සහ එහි ලේකම් ජයන්ත ගුරුගේ මහතා තොඟ වෙළදුන්ගෙන් සහ ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටියේ.

මත්ස්‍ය වෙළඳපොළ නිරික්ෂණය කිරිම සඳහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ද අද (16) අළුයම එම ස්ථානයට පැමිණියා.

ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ද අද (16) එහි නිරික්ෂණ චාරිකාවකට එක් වු අතර, එහිදි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ පසු මත්ස්‍ය වෙළඳපොල සති තුනකින් (3) පමණ සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි.

+++++++++++++++++++

(16.12.2020 – 09:02 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිත මරණ 03 ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (16) නිවේදනය කළා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 157 ක්.

එලෙස මියගිය අය අතර කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවක, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙන්ම මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි පුද්ගලයෙකුද සිටිනවා.

ඔවුන් සියලු දෙනාගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ‘කොවිඩ් නියුමෝනියා’ තත්ත්වයයි.

මේ අතර, වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙකු ඊයේ (15) පස්වරුවේ රෝහලෙන් පැන ගොස් ඇති බව වාර්තා වනවා.

ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු වන ඔහුගේ තොරතුරු සහ ඡායාරූපයක් පොලිසිය මාධ්‍ය වෙත නිකුත් කළා.

ඔහු පිළිබඳව තොරතුරක් වෙතොත් දැනුම් දෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

ඊයේ (15) දිනයේද දේශීය වශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් හයසිය විසි දෙදෙනා (622)අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා.

එම සංඛ්‍යාව 309 ක්.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 69 ක්, මට්ටක්කුලියෙන් 62 ක්, මරදානෙන් 25 ක් සහ බොරැල්ලෙන් 24 ක් ඊයේ (15) වාර්තා වූ ආසාදිතයින් අතර වනවා.

එසේම, කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (15) හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 119 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 104 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 28 දෙනෙකුද ඊයේ (15) හඳුනාගත් ආසාදිතයින් අතර සිටිනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ සෞඛ්‍ය බලධාරීන්ගේ පරමාර්ථය මහා පරිමාණ කොරෝනා පොකුරු ඇතිවීම වැළැක්වීම බවයි.

වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය කොරෝනා ආසාදිතයා මරදාන ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා.

ඊයේ (15) පස්වරුවේයි ඔහු රෝහලෙන් පැන ගොස් තිබුණේ.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු වන ඔහුගේ තොරතුරු සහ ඡායාරූප ද පොලිසිය මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා ෴

++++++++++++++++++++

(16.12.2020 – 10:05 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා වෛරස් මරණ 3 ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 157 ක් දක්වා ඉහළ යනවා.

එලෙස මියගිය අය අතර කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවක ද සිටින අතර, කොළඹ පෞද්ගලික රෝහලකදී ඇය මියගොස් ඇත්තේ ‘කොවිඩ් නියුමෝනියාවෙන්’.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද ‘කොවිඩ් නියුමෝනියාව’ හේතුවෙන් නිවසේදී මියගොස් තිබෙනවා.

එමෙන්ම මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි පුද්ගලයෙකු ද ‘කොවිඩ් නියුමෝනියාවෙන්’ මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *