කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ ගින්නක්

කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ ගින්නක්

*********************************************

කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ ගින්නක්

(15.12.2020 – 16:51 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ ගින්නක් හට ගෙන ඇති අතර මේ වනවිට එය මැඩපවත්වා තිබෙනවා.

කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 8 ක් ඒ සඳහා පිටත් කර යැවූ බවයි.

කොළඹ – අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ හට ගත් ගින්න පිළිබඳ සොයාබැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් තුනක් (3) යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා ෴

++++++++++++++++++

(15.12.2020 – 19:33 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – අලුත්කඬේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ අද (15) පස්වරුවේ ගින්නක් හට ගත්තා. කෙසේ වෙතත්, පසුව කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවන රථ 9 ක් පමණ යොදා ගින්න මැඩපවත්වනු ලැබූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් අනාවරණ වී නොමැති අතර, ගින්න ඇති වීමට හේතුව ද තවම තහවුරු නැහැ.

යුද හමුදාව සහ පොලීසිය ද ගින්න පාලනය කිරීම සඳහා කඩිනමින් එම ස්ථානයට පැමිණි බවයි එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

+++++++++++++++++

***************************************

(15.12.2020 – 16:01 +0530 – hirunews.lk/sinhala)

ප්‍රාදේශීය සභාව විසින් අනුරාධපුර මිහින්තලය ප්‍රදේශයේ අලුතින් ඉදිකළ වෙළඳ සංකීර්නයේ කඩ කාමර ඒම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් විසින් තම හිතවතුන්ට ලබා දෙන බවට වෙළෙඳුන් චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ බලධාරීන්ගේ කඩිනම් අවධානය මේ සම්බන්ධයෙන් යොමු විය යුතු බවයි.

මිහින්තලය බස්නැවතුම්පළ අසල ප්‍රාදේශීය සභාව විසින් අලුතින් ඉදි කළ වෙළඳ සංකීර්ණයයි මේ.

පසුකාලීනව දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස නිමවූ මෙහි පහළ මහලේ කඩ කාමර 10 ක් සහ ඉහළ මහලේ කඩ කාමර 9 ක් නිමවීමට යෝජනා වි තිබියදී ඒහි ඉහළ මහලේ කඩ කාමර 10 ක් ඉදිකර ඇති ආකාරයයි මේ.

මෙම ගොඩනැගිල්ලේ ඉහළ මහලේ ඉදිකර ඇති ඒම කඩ හේතුවෙන් පිවිසුම් මාර්ගය අවහිර වන බව වෙළෙඳුන්ගේ චොදනාවයි.

ගොඩනැගිල්ලේ වහලයද නිසි ප්‍රමිතියකින් තොරව ඉදි කර ඇති බවට වෙළෙඳුන් පෙන්වා දෙනවා.

කඩකාමරයන් ලබා ගැනීම සඳහා වන ඉල්ලුම් පත්‍රයටද රුපියල් 50,000 ක මුදලක් ගෙවිය යුතු අතර කිසියම් හේතුවක් නිසා කඩ කාමරයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් ඔවුන්ට ලැබෙන්න‌ේ ඒම මදුලෙන් අඩක් පමණයි.

දීර්ඝ කාලයක් මග දෙපස වෙළඳාමේ නිරතවන වෙළෙඳුන් චොදනා කරන්නේ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් විසින් තම හිතවතුන්ට මෙම කඩා කාමර බෙදා දීමට ක්‍රියා කිරීම අසාධාරණ බවයි.

ඒල්ලවන චෝදනා සම්බන්ධයෙන් අප මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයානේගෙන් කළ විමසීමේදී ඔහු ඊට ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කළා.

***************************************

(15.12.2020 – 16:19 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ නව සමෘද්ධි ප්‍රතිලාභීන්ට හිමිකම්පත් ලබාදීමේදී සිදුවූ අක්‍රමිකතා සෙවීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශයේ සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් සමන්විත මෙම කමිටුව පත් කර ඇති බවයි වාර්තා වන්නේ ෴

***************************************

(15.12.2020 – 17:40 +0530 – hirunews.lk/sinhala)

අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් මත සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ කළමනාකරණ සහකාරවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගොඩකවෙල ප්‍රදේශයේ බස් රියදුරෙකු විසින් 1954 යන කෙටි දුරකථන අංකයට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවුණා.

සැකකරු බස් රථයක් සඳහා මාර්ග බලපත්‍රයක් සකස් කර දීමට අල්ලස් වශයෙන් රුපියල් 2,50,000 ක මුදලක් ඉල්ලා ඇති ඉන් පළමුව රුපියල් ලක්ෂයක (1,00,000) මුදලක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදීයි අත්අඩංගුවට පත්ව ඇත්තේ ෴

***************************************

(15.12.2020 – 18:12 +0530 – hirunews.lk/sinhala)

සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ශාසන දිවියට ඇතුළු වී වසර 25 ක් සපිරීම නිමිත්තෙන් සෙත් පිරිත් දේශනාවක් සහ ගිලන්පස දානමය පුන්‍යකර්මයක් ඊයේ පස්වරුවේදී මිරිහාන සමාධි විහාරස්ථානයේදි පැවැත්වූණේ අමාත්‍යවරුන් වන සරත් වීරසේකර, මහාචාර්ය චන්න ජයසුමන, වෛද්‍ය සිතා අරඹෙපොල යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්.

***************************************

(15.12.2020 – 19:23 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ හෙට (16) දිනයේ ප්‍රකාශයක් ලබා දෙන ලෙස නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය වෙත එම කොමිසම අද (15) නියෝග කළා.

එසේම, අනිද්දා කොමිසම වෙත ද, සාක්ෂි ලබාදෙන ලෙසට ඇයට නියෝග කර ඇත්තේ පසුගිය දිනක නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීම සඳහායි.

සහරාන් හෂීම් සම්බන්ධයෙන් වන නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපිගොනු භාරව එවකට කටයුතු කළ, රජයේ අධිනීතිඥ මලීක් අසීස් හා ඔහුගේ අධීක්ෂණ නිලධාරියා වූ වත්මන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි කොමිසම හමුවේ අදාළ විමර්ශන සම්බන්ධයෙන් පසුගියදා දීර්ඝ ලෙස සාක්ෂි ලබාදුන්නා.

එහිදී ඔවුන් සඳහන් කළේ අදාළ ලිපි ගොනු එවකට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයෙන් නිසියාකාරව නීතිපති දෙපාර්තමේන්තුවට ලබා නොතිබූ බවයි. ඔවුන් එලෙස ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට චෝදනා එල්ල කළ ද එම සිදුවීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශය භාරව, වර්තමානයේ කටයුතු කරන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන ගෙන් අද (15) දිනයේ සාක්ෂි විමසීමක් සිදුකළා.

මීට පෙර මතුවූ ඇතැම් කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් විමසීම සඳහායි ඇය මෙලෙස කොමිසමට සහ එහි පොලිස් ඒකකය වෙත කැඳවා ඇත්තේ ෴

+++++++++++++++++++

පාස්කු කොමිසම – නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් දෙදෙනෙක්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම පමාවීමට හේතුව

(15.12.2020 – 21:25 +0530 – sinhala.adaderana.lk)

නීතිපති දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශ ප්‍රධානි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා Skype තාක්ෂණය ඔස්සේ ජනාධිපති කොමිසම හමුවේ අද (15) සාක්ෂි ලබාදුන්නේය.

එහිදී ඔහුගෙන් කොමිසමේ සභාපති විනිසුරුවරයා පළමුව ප්‍රශ්න කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව ඔබ පුර්ණ වශයෙන් පරිශීලනය කළේද යන්නය.

ඊට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පිළිතුරු දෙමින් පැවසුවේ, “මම එය සම්පුර්ණයෙන් පරිශීලනය කළේ නැහැ ස්වාමිනි. නමුත් තේරිම්කාරක සභාව හමුවේ මම දුන්න සාක්ෂියට අදාළ කොටස පරිශීලනය කළා. 2020 පෙබරවාරි 24 හෝ ඊට ප්‍රථම මම නීතිපතිවරයාව දැනුවත් කළා තේරිම් කාරක සභා වාර්තාවේ සඳහන් වු නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥ මලික් අසීස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි යන නිලධාරින්ට අදාළ කරුණු සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් කරන්න කියලා. ඒ අනුව නීතිපතිවරයා විසින් ත්‍රීපුද්ගල කමිටුවක් පත්කළා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන්. නමුත් පස්සේ ජයමාන්න මහත්මයා පෞද්ගලික හේතුවක් මත ඒ කමිටුවෙන් ඉවත් වුණු නිසා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා එම කමිටුවේ ප්‍රධානියා ලෙස පත්කළා. එම කමිටුවේ වාර්තාව 2020 ජුලි මස 20 වනදා වෙලුම් දෙකකින් (2) සමන්විතව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළා,” යනුවෙනි.

එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේ එම කමිටු වාර්තාව කුමන නිර්දේශ ඉදිරිපත් කර තිබුනේද යන්නය.

“ස්වාමිනි, ආයතනික සංග්‍රහයේ දෙවන ජේදයේ 13 (2) වගත්තියේ විධිවිදාන ප්‍රකාරව මේ නිලධාරින් දෙදෙනාට (2) විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න කියලා එහි සඳහන් වෙලා තිබ්බා. එහි එම නිලධාරින් දෙදෙනාට (2) අදාළ ව චෝදනා පත්‍ර ආකෘති දෙකකුත් (2) ඉදිරිපත් කරලා තිබ්බා. පස්සේ නීතිපති දප්පුල ද ලිවේරා මහතා එක අධ්‍යයනය කරලා වැඩිදුර අධ්‍යනයට වැඩබලන සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතාට එම මුලික විමර්ශන වාර්තාව යොමු කළා. පස්සේ ඔහුත් නිර්දේශ කළා නොපමාව විනය ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා. පස්සේ නීතිපතිවරයා 2020 නොවැම්බර් මස 12 මා වෙත ගොනුව යොමුකළා ඉදිරි පියවර ගන්න කියලා. මම 2020 නොවැම්බර් මාසේ 27 වෙනිදා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් හරහා මුලික විමර්ශන කමිටුවේ නිර්දේශයි, කෙටුම්පත් කළ චෝදනා පත්‍රයි රාජ්‍ය සේවා කොමිසමට යොමුකළා විනය පියවර ගන්න කියලා නමුත් මේ වන තෙක් ඊට රාජ්‍ය සේවා කොමිසමෙන් පිළිතුරු ලැබිලා නැහැ”.

“2017 කාලේ වෙද්දි අසාද් නවාවි මහතා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. ඒ වගේම ඒ වෙද්දි ඔහු නැගෙනහිර පළාතේ අංශ දෙකක්, EER සහ TR යන ත්‍රස්‍ත විමර්ශන ගොනු සම්බන්ධයෙන් කටයුතු කරන කණිෂ්ඨ අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කර තිබෙනවා .”

එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා පෙරළා ප්‍රශ්න කළේ ඒ වන විට නවාවි මහතාගේ ජ්‍යෙෂ්ඨ අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ කවුරුන්ද යන්නය.

“ස්වාමිනි ඒ කාලේ වෙද්දි අපරාධ අංශය භාර ජ්‍යෙෂ්ඨ අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කරලා තියෙන්නේ එවකට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකුව සිටි වත්මන් නීතිපති දප්පුල ද ලිවේරා මහතායි,” යැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පිළිතුරු දුනි.

“හරි, ඒ අනුව මේ ප්‍රශ්නගත EER 08 / 2017 ගොනුව එය භාර නිලධාරියා හෝ අධීක්ෂණය නිලධාරින් 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට කළින් නීතිපතිවරයාගේ අවධානයට යොමු කරලා තියෙනවාද?,” යැයි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසීය.

“ස්වාමිනි සටහන් වල දැක්වෙන විදිහට ගොනුව භාර නිලධාරියා, අධීක්ෂණ නිලධාරියාව දැනුවත් කරලත් නැහැ, කනිෂ්ඨ අධීක්ෂණ නිලධාරියා ජ්‍යෙෂ්ඨ අධීක්ෂණය නිලධාරියා වන අපරාධ අංශයේ ප්‍රධානියාව දැනුවත් කරලත් නැහැ. ඒ අනුව නීතිපතිවරයා දැනුවත් වෙලත් නැහැ.” යැයි සුමති ධර්මවර්ධන මහතා පිළිතුරු දුන්නේය.

මෙහිදි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසම හමුවේ විශේෂ ඉල්ලීමක් කළේය.

“ස්වාමිනි නීතිපතිවරයා විසින් 2019 ජුනි 18 වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය තමන් ළඟ තිබු ප්‍රමාණවත් තොරතුරු උපදෙස් සඳහා නීතිපතිවරයාට යොමු කරලා නැහැ. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියෙක්ට මේ සම්බන්ධයෙන් වගකීම ගන්න බැහැ කියලා. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියෙක්ගේ වරදක් නැත්තම් මගේ සේවාදායකයාගෙත් වරදක් තිබෙන්න බැහැ. මේ ලිපියට අදාළව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ නිසා මාහට අවශ්‍යයි ඒ සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට ඇයව මේ කොමිසම හමුවේ සාක්ෂි විමසීමට කැදවන්න.” යැයි සදහන් කළේය.

එම ඉල්ලීම පිළිබද සලකා බැලු ජනාධිපති කොමිසම නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවියට හෙට (16) දින ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසත්, මෙ මස 17 වනදා බ්‍රහස්පතින්දා සාක්ෂි ලබාදීම සදහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසත් නියෝග කළේය.

***************************************

(15.12.2020 – 19:24 +0530 – hirunews.lk/sinhala)

සුළං, සූර්ය තාපය සහ ස්වභාවික වායු වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලිබල පද්ධතියට කඩිනමින් එක් කර ගැනීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විමර්ශනය කර තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේ අද (15) පැවති සාකච්ඡාවකදීයි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 2030 වනවිට මෙරට විදුලි අවශ්‍යතාව සියයට 70 ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම රජයේ අපේක්ෂාවයි.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී පෞද්ගලික ව්‍යවසායකයන්ට ඇති වන බාධා ඉවත් කොට ඒ සඳහා සියලු දිරිගැන්වීම් රජය මගින් ලබාදිය යුතු බවට ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී සඳහන් කළ බවයි.

***************************************

(15.12.2020 – 19:56 +0530 – hirunews.lk/sinhala)

සිය මවගේ අවමගුලට සහභාගී වී මත්පැන් පානය කිරීමෙන් පසු ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු (2) අද (15) ජීවිතක්ෂය පත් වුණා.

ඔවුන් සමඟ මත්පැන් පානය කළ තවත් පුද්ගලයෙක් රෝහල් ගත කර ඇති අතර අදාළ මත්පැන් ලබා දුන් පුද්ගලයා මීරිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර පසුගිය වසරේ මෙවැනිම මත්පැන් විෂවීමකින් මීරිගම, පල්ලේවෙල ප්‍රදේශයේ පුද්ගලයන් පිරිසක් මියගිය ද ඔවුන්ට මත්පැන් විකුණූ පුද්ගලයන්ට මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මීරිගම – මොට්ටෑවවත්ත – කීනදෙනිය ප්‍රදේශයේ සිය මවගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු (2) මත් පැන් පානය කිරීමෙන් ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය ගිය පුද්ගලයින් දෙදෙනා (2) සමඟ පෙරේදා (13) රාත්‍රියේ පුද්ගලයින් සිව් දෙනෙක් (4) මත්පැන් පානය කර ඇති බවට තොරතුරු අණාවරණ වූ බව පොලිසිය සඳහන් කළා.

වැඩිදුරටත් හෙළිවී ඇත්තේ අසල්වැසි නිවසක පුද්ගලයකු ලබා දුන් ස්ප්‍රීතු පානය කිරීමෙන් පසු මෙම අසාත්මිකතා මතු වී ඇති බවයි.

මත් පැන් පානය කල සිව් දෙනා (4) ගෙන් තිදෙනෙකු මීරිගම සහ වරකාපොළ රොහල්වලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඉන් එකම පවුලේ සහෝදරයින් දෙදෙනා (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එළෙස ජීවිතක්ෂයට පත් වුණේ 47 හැවිරිදි සහ 54 හැවිරිදි අනුරාධපුර – ගල්නෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් (2).

ඔවුන්ගේ මෘත ශරීර මීරීගම සහ වරකාපොළ රෝහල් වල තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණ අද (15) සිදු කෙරුණා.

මෙම පුද්ගලයින්ට පානය කිරීම සඳහා ස්ප්‍රීතු ලබා දුන් පුද්ගලයා ගෙන් මීරිගම පොලිසිය වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරික්ෂණය සිදු කිරීම සඳහා අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සිතාරා මීමන මහත්මිය එම ස්ථානයට පැමිණියා.

මේ අතර පසු මීරිගම – පල්ලේවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මත්පැන් නිශ්පාදනාගාරයකින් මත්පැන් පානය කළ පුද්ගලයින් පිරිසක් පසුගිය වසරේ ජීවිතක්ෂයට පත්ව තිබුණේ ද ආසාද්මිකතා ඇති වීම හේතුවෙන්.

එළෙස මිය ගිය ඇතැම් පිරිසකගේ සිරුරු විවිධ ස්ථාන වල තිබී හමුවී තිබුණේ හදිසියේ ඇති වූ ආසාත්මිකතා සමග ඔවුන් මියයාම හේතුවෙන්.

එම සිද්ධියෙන් වසරකටත් වැඩි කාලයක් ඉක්ම ගොස් තිබුද අදාල මත්පැන් නිශ්පාදන කළ පුද්ගලයින්ට මෙතෙක් නීතීය ක්‍රියාත්මක වී නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

එම මත් පැන් පානය කර අතුරු ආබාධ සහිතව දිවි බේරා ගත් පිරිස් අදටත් සිය ජීවිකාව පවා කර ගත නොහැකි තරමට අසරණ වී සිටිනවා.

***************************************

(15.12.2020 – 20:05 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා මැතිවරණය ලබන මාර්තු මාසයට පෙර පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ අද (15) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.

එම අවස්ථාවට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතාද එක්වුණා.

***************************************

(15.12.2020 – 20:24 +0530 – hirunews.lk/sinhala)

ජනබලය මර්දනය කිරීම සඳහා යහපාලන රජය විසින් අධිකරණයට බලපෑම් කර සිරගත කළ පුද්ගලයින්ට සාධාරණයක් ඉටුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා පවසනවා.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ යහපාලන රජය සමයේ පෞද්ගලික අවශ්‍යතා‍ වෙනුවෙන් අධිකරණයට බලපෑම් සිදුකළ පුද්ගලයින් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීම කනගාටුදායක බවයි.

***************************************

(15.12.2020 – 20:48 +0530 – hirunews.lk/sinhala)

වැඩ කිරීමේ කාර්යයේදී වෙනස් ආකාරයකින් සිතා කටයුතු කිරීමට දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරීන් බිය නොවිය යුතු බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව පැවසූවේ කුලියාපිටිය ප්‍රදේශයේදී ගම සමග පිළිසඳර වැඩසටහනකට එක් වෙමින්.

කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති ‘ගම සමග පිළිසඳර’ වැඩසටහන සඳහා දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.

***************************************

මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට බලපෑම් කරන සර්වබලධාරියා ගැන ඇමති බන්දුල කී දේ

(15.12.2020 – 14:21 +0530 – sinhala.adaderana.lk)

2015ට පෙර මුදල් අමාත්‍යංශයේ සිටි සර්වබලධාරී නිලධාරියකු විසින් මෙහෙයවන පිරිසක් තවමත් මුදල් අමාත්‍යංශයේ සිටින බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

‘දෙරණ 360’ වැඩසටහනට ඊයේ (14) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“අපි කාටවත් ණය නැති බය නැති බොහොම උපේක්ෂා සහගතව මේ දේවල් දකින අය. ඒ නිසා කවුරුහරි කකුලෙන් ඇද්දාම එයා ශක්‍රයාගේ පුතා වයිමා වුණත්, මට ඇති වෙන්න පුළුවන් කවර ඉරණම ඇති වුණත් මම ඒ හෙළිදරව් කිරීම කරනවා. ශ්‍රී ලාංකීය නිදහස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂය කුමක්ද?, තාක්ෂණවේදය. මේ විෂයධාරාව හඳුන්වා දෙනකොට මට තරම් මුදල් අමාත්‍යාංශය වද දුන්න වෙන කිසිම අධ්‍යාපන ඇමතිවරයෙක් නෑ. මේ පළවෙනි වතාවට තමයි හෙළිදරව් කරන්නේ. මේ ව්‍යාපෘතිය කරනකොට මුදල් අමාත්‍යාංශය මට කියනවා, අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලික වගකීම ගැන. අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලික වගකීම මට උගන්වන්නේ මුදල් අමාත්‍යාංශය. මේකට අත්සන් කරන්නේ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා. අත්සන් කරන්න එතුමට මේක ලියලා දෙන්නේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්නේ. මුදල් අමාත්‍යාංශයේ ඉන්න නිලධාරීන්ට හිතෙන්නේ නැත්නම් මොකක් හරි කරන්න, ඇමතිට මොන එක හිතුනත් කරන්න බෑ. සර්වබලධාරියා. ආණ්ඩු වෙනස් වුණාට ඔහු විසින් මෙහෙයවන විශාල පිරිසක් මුදල් අමාත්‍යාංශය ඇතුළේ ඉන්නවා. කවුරුහරි බය කරගෙන ඉන්න කෙනෙක් ඇති නේ. නැත්නම් මෙහෙම වෙන්න බෑනේ,” යනුවෙන් ද වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

***************************************

Made in Sri Lanka ‘යුගයක ඇරඹුම’ – ඇමති විමල් වීරවංශ

========================================

(15.12.2020 – 18:16 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 420 ක් වාර්තා වනවා.

එම ආසාදිතයින් අතරින් 68 දෙනෙකු බන්ධනාගාරගත කර සිටින රැඳවියන් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ ෴

++++++++++++++++++++

(15.12.2020 – 19:37 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ සමාජගත වී නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, අද (15) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 420 දෙනෙකු හඳුනාගත් අතර, එම පිරිසෙන් 68 ක් බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

අද (15) දිනයේදී කොරෝනා ආසාදිතයින් 558 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව යෑමත් සමඟ සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 24,867 දක්වා ඉහළ ගියා. මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 33,898 ක් වන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 8,877 ක් පමණයි.

මේ අතර, කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු (4) හඳුනා ගැනීමත් සමඟ බම්බලපිටිය – යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණය තාවකාලිකව වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා.

එසේම, අවිස්සාවේල්ල – සීතාවක අපනයන සැකසුම් කලාපයෙන් නව ආසාදිතයින් 18 ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව එම කලාපයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 160 ක් දක්වා ඉහළ ගියා.

වවුනියාව නගරයේ ප්‍රධාන පාසැලක දැරියකට කොරෝනා වෛරසය වැලඳී ඇති බව තහවුරු වීමත් සමඟ එම නගරයේ ප්‍රධාන පාසැල් හතරක් (4) අද (15) පෙරවරුවේ සිට තාවකාලිකව වසා දැමීමට මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් කටයුතු කළා.

කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන නීතිඥවරයකුට කොරෝනා ආසාදිත බව හඳුනා ගැනීමත් සමඟ කෑගල්ල අධිකරණ සංකීර්ණයේ සියළු කටයුතු තාවකාලිකව නවතා දමා විෂබීජහරණයට පියවර ගැණුනා. හෙට (16) සිට එහි නඩු විභාග යලි ආරම්භ කිරීමට නියමිතයි.

එසේම, බේරුවල දුම්රිය ස්ථානයේ දුම්රිය සේවකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් බේරුවල දුම්රිය ස්ථානයේ සේවය කළ දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු (2) සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 04 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පොදු ප්‍රවාහන සේවා වලින් මගීන් ප්‍රවාහනය කිරීමේදී සැලකිලිමත්විය යුතු උපදෙස් ඇතුළත් නිර්ණායක කිහිපයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, පොදු ප්‍රවාහනයේදී අසුන් ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යාම අනිවාර්ය කර ඇති අතර කිසිදු මගියෙකුට සිටගෙන ගමන් කළ නොහැකි බවයි එහි සඳහන් වන්නේ. එලෙස කටයුතු නොකරන පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතු බව ද අදාළ නිර්ණායකවල ඇතුළත්.

මේ අතර, කොරෝනා ආසාදිත මවක් මුල්ලේරියාව මූලික රෝහලේදී අද (15) නිවුන් දරු ප්‍රසූතියක් සිදුකළා. පසුගිය 11 වැනිදාද කොරෝනා ආසාදිත මවක් එම රෝහලේදී නිවුන් දරු ප්‍රසූතියක් සිදුකළා.

මේ අතර, බන්ධනාගාරවල වීඩියෝ තාක්ෂණ සන්නිවේදන ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයෙන් ආරම්භ කෙරුණා. බන්ධනාගාර රැඳවියන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සිදුවන අපහසුතා වළක්වා ගැනීමට මෙන්ම රැඳවියන් හමුවීමට පැමිණීමේදී වේලාවක් වෙන්කරගෙන පැමිණීමටද ඊට අදාළ යෙදවුම්වලින් අවස්ථාව සලසා දී තිබෙනවා. මෙම ක්‍රමයේ කොටසක් ලෙස ඥාතීන්ට වීඩියෝ ඇමතුම් තාක්ෂණය හරහා රැඳවියන් දැකබලා ගැනීමට සහ අදහස් හුවමාරු කර ගැනීමටද පහසුකම් ලබාදී තිබෙනවා.

මේ අතර කොරෝනා මර්දනය සඳහා සක්‍රීයව දායක වී සිටින තමන්ට ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් ලැබී නොමැති බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරි සංගමය පවසනවා.

මේ අතර, කොරෝනා වෛරසයට එරෙහිව දේශීය ඖෂධයක් නිෂ්පාදනය කළ දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා අද (15) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ අදාළ ඖෂධය දළඳා සමිඳුන් වෙත පූජා කළා. අනතුරුව ඔහු අස්ගිරි මහා නාහිමියන් මෙන්ම අනුනාහිමියන් ද බැහැදුටුවා.

තවත් පුද්ගලයින් 202 කට කොරෝනා ආසාදනය වී ඇති බව හමුදාපතිවරයා පවසනවා ෴

(15.12.2020 – 20:56 +0530 – hirunews.lk/sinhala)

පානදුර, තොටවත්ත ප්‍රදේශය සහ මොණරාගල බඩල්කුඹුර, අළුපොත යන ප්‍රදේශ මේ මොහොතේ සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *