SLAF PT-6 පුහුණු ගුවන් යානයක් අනතුරට ලක්වෙයි

SLAF PT-6 පුහුණු ගුවන් යානයක් අනතුරට ලක්වෙයි

*********************************************

SLAF PT-6 පුහුණු ගුවන් යානයක් අනතුරට ලක්වෙයි

(15.12.2020 – 14:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT-6 වර්ගයේ ගුවන් යානයක් සමඟ පැවති සන්නිවේදන සම්බන්ධතා බිඳ වැටී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

++++++++

ත්‍රිකුණාමලය – චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් නික්මුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT 6 වර්ගයේ පුහුණු ගුවන් යානයක් කන්තලේ – සූරියපුර – ජනරංජන වැව ආසන්නයේදී අනතුරට ලක්ව ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

එම අවස්ථාවේ එක් නියමුවෙකු (1) පමණක් යානයේ රැදී සිට ඇති බවයි යානය අනතුරට ලක්වූ ස්ථානයේ සිටින ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

(15.12.2020 – 15:40 +0530 – hirunews.lk/sinhala)

කන්තලේ සූරියපුර ජනරංජන වැව ආසන්නයේදී අනතුරට ලක්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT-6 වර්ගයේ පුහුණු ගුවන් යානයේ නියමුවා ඉන් පිටතට ගැනීම සඳහා මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පවසනවා.

අද (15) දහවල් මෙලෙස අනතුරට ලක්වුණේ ත්‍රිකුණාමලය – චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් ගතවූ PT-6 වර්ගයේ පුහුණු ගුවන් යානයක්.

අදාළ අනතුර සිදුවූ ස්ථානයේ දර්ශන අප වෙත ලැබී තිබෙනවා.

+++++++++++++++++++

SLAF PT-6 CRASH IN KANTALE

(15.12.2020 – 17:32 +0530 – airforce.lk)

A PT-6 trainer aircraft belonging to the No. 1 Flying Training Wing at SLAF Academy China Bay crashed today (15) near the Janaranjana Tank in Sooriyapura, Kantale. The site is approximately 14 nautical miles away from SLAF Academy China Bay and the pilot of the aircraft was a trainee Officer Cadet who was on a solo training mission. The aircraft which took off from the China Bay airfield at around 1305 Hrs today (15) had lost radio communication with the air traffic control tower at China Bay at approximately 1315 Hrs before being reported to have crashed. There was no damage to public property or any other persons due to the crash.

Further, on the instructions of the Commander of the Air Force, Air Marshal Sudarshana Pathirana a Board of Investigation has been appointed to carry out an investigation into the incident.

An SLAF Bell 212 helicopter with medical and rescue personnel was deployed immediately to the crash site. Officer Cadet Amarakoon KRSVB who was the trainee pilot on this training flight was airlifted to the District General Hospital Trincomalee, where it was proclaimed that he had succumbed to injuries sustained during the crash.

Officer Cadet Amarakoon was a past pupil of Kegalle Maha Vidyalaya and had joined the Sri Lanka Air Force in January 2019. He had commenced his flying training in July of the same year.

++++++++++++++++

කන්තලේ – සූරියපුර – ජනරංජන වැව ආසන්නයේදී අනතුරට ලක්වූ ගුවන් යානයේ සිරවූ නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ත්‍රිකුණාමලය රෝහලේ අධ්‍යක්ෂ ජගත් චන්ද්‍රරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අදාළ නියමුවා රෝහල් ගතකරන විටත් මියගොස් සිටි බවයි.

ත්‍රිකුණාමලය – චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් නික්මුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පී.ටී.සික්ස් වර්ගයේ පුහුණු ගුවන් යානයක් වන මෙය කඩා වැටෙන අවස්ථාවේදී එහි රැදී සිටියේ පුහුණුවෙමින් සිටි අදාළ නියමුවා පමණයි.

කන්තලේ – සූරියපුරදී සිදු වූ ගුවන් අනතුර ගැන සෙවීමට ගුවන් හමුදාපති විසින් කමිටුවක් පත් කර තිබෙනවා ෴

+++++++++++++++

(15.12.2020 – 19:10 +0530 – hirunews.lk/sinhala)

කන්තලේ – සූරියපුර – ජනරංජන වැව ආසන්නයේදී අද (15) පස්වරුවේ අනතුරට ලක්වූ ගුවන් යානයේ සිරවී සිටි පුහුණු වන නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ත්‍රිකුණාමලය රෝහලේ අධ්‍යක්ෂ ජගත් චන්ද්‍රරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අදාළ නියමුවා රෝහල් ගතකරන විටත් මියගොස් සිටි බවයි.

ත්‍රිකුණාමලය – චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයෙන් මෙම ගුවන් යානය අද (15) පස්වරුවේ ගුවන් ගත වී තිබුණේ පුහුණු ගුවන් සැසියක් සඳහායි.

පුහුණුවන කැඩෙට් නිලධාරි ශාලින්ද අමරකෝන් මහතා විසින් එම ගුවන් යානය පදවා තිබෙනවා. අදාළ යානය ගුවන් ගත වී කන්තලේ සූරියපුර ප්‍රදේශයට ඉහළින් පියාසර කරමින් තිබියදී ගුවන් යානය සහ පාලක මැදිරි අතර සියලු සබඳතා බිඳ වැටී ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා කියා සිටියේ.

ඒ වනවිට ගුවන් යානය ගුවන් ගත වී මිනිත්තු 15 ක් පමණ ගත වී තිබෙනවා.

පසුව ගුවන් යානය කන්තලේ – සූරියපුර – ජනරංජන වැව ආසන්නයේදි මෙලෙස අනතුරට ලක්වුණා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පී.ටී.සික්ස් වර්ගයේ පුහුණු ගුවන් යානයක් වන මෙය කඩා වැටෙන අවස්ථාවේදී එහි රැදී සිටියේ පුහුණුවෙමින් සිටි අදාළ නියමුවා පමණයි.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුහුණුවන කැඩෙට් නිලධාරියා රුවන්වැල්ල – මාපිටිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙක්.

චීනයේ නිෂ්පාදිත පී.ටී.සික්ස් වර්ගයේ මෙම ගුවන් යානය ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීම සඳහා භාවිත කිරීමට හඳුන්වා දී ඇත්තේ 2001 වසරේදීයි.

මේ අතර, මෙම අනතුර සැලවී එම ස්ථානයට පැමිණි ගුවන් හමුදා ගිනි නිවන රථයක් ද අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴

+++++++++++++++

++++++++++++++++++++

ගුවන්ගත වී මිනිත්තු 15 කින් නොපෙනී ගියා – ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ

(16.12.2020 – epaper.aruna.lk)

චීන වරාය ගුවන් පථයෙන් ගුවන් ගතවී මිනිත්තු පහළොවකින් පමණ ගුවන් හමුදාවට අයත් පී.ටී.-6 (PT-6) ගුවන් යානය රේඩාර් තිරයේ නොපෙනී ගොස් අනතුරට ලක්ව ඇතැයි ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ‘අරුණ’ට පැවැසීය.

මෙම යානය 2018 දී චීනයෙන් මිලදී ගත් අලුත්ම පුහුණු යානයක් බවද හෙතෙම අවධාරණය කළේය.

ඊයේ (15) පස්වරු 01:05 ට යානය ගුවන්ගත වීමෙන් පසු මිනිත්තු දහයෙන් දහයට ගුවන් යානයේ පුහුණු වන නියමුවා පාලක මැදිරිය සමග සම්බන්ධ වී පණිවුඩ හුවමාරු කළත් එක්වරම යානය රේඩාර් තිරයේ නොපෙනී ගොස් ඇති බවද හෙතෙම සඳහන් කළේය.

අනතුරට හේතුව නිශ්චිතවම තහවුරු කළ නොහැකි බැවින් එම පරීක්ෂණයට පස් දෙනකු​ගෙන් යුත් විශේෂ මණ්ඩලයක් පත් කළ බව ගුවන් හමුදාපතිවරයා සඳහන් කළේය.

අනතුරින් මියගිය ගුවන් නියමු ශාලින්ද අමරකෝන් පියාසර පුහුණුවේ ‘සොලෝ ටෙස්ට්’ නමැති පුහුණුව සඳහා තනිවම පියාසර කරද්දී අනතුරට ලක්ව තිබේ. මෙම නිලධාරියා පියාසර පැය අනූවක් (90) පියාසර කර පුහුණුවේ අවසන් අදියරේ සිටි අයෙකි.

මෙම ගුවන් යානය එකවරම කැරකෙමින් පහතට වැටෙන අයුරු අසල සිටි ගොවි මහතෙකු දැක ඇති බව ගුවන් හමුදාපතිවරයා කියා සිටී.

අනතුරට හේතුව සොයාගන්නා තුරු ගුවන් හමුදාව සතු පී.ටී.-06 ගුවන් යානා ගුවන් ගත කිරීම නැවත්වීමට නියෝග කර ඇත ෴

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කෑගල්ල රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි ශාලින්ද අමරකෝන් නමැති විසිතුන් හැවිරිදි ගුවන් හමුදා කැඩෙට් නිලධාරියෙකි.

ත්‍රිකුණාමල චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ගුවන් පථයෙන් පියාසර පුහුණුවක් සඳහා යන අතර ඊයේ (15) පස්වරු 01:15 ට පමණ කඩා වැටී ඇති මෙම යානයේ ගමන් කර ඇත්තේ මියගිය නියමුවා පමණි.

යානය තුළ සිරවී තිබූ කැඩේට් නිලධාරිවරයා ගේ සිරුර පිටතට ගැනීමට ගුවන් හමුදා නිලධාරීහු මහත් වෙහෙසක් ගනිමින් සිටියහ. පැයක පමණ උත්සාහයකින් පසු යානයේ කොටස් ද කපා පිටතට ගත් සිරුර ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් ත්‍රිකුණාමල රෝහලට රැගෙන ගොස් ඇත. ඒ වන විටත් ඔහු මිය ගොස්ය.

ගුවන් යානය කඩාවැටී ඇත්තේ මහවැලි ගඟේ වම් ඉවුරේ පිහිටි ඇළමාර්ගයකට වන අතර නියමුවා අවම හානියකින් යානය ගොඩබෑමට උත්සාහ දරා ඇති බව එමගින් පැහැදිලි වන්නේ යැයි එම ස්ථානයේ සිටි නිලධාරීහු පැවැසූහ. එම අනතුර සිදු ව ඇති ස්ථානයට ළඟාවීමට පැමිණි ගුවන් හමුදාවට අයත් ගිනිනිවීමේ රථයක් ද මාර්ගයේ සිරවී අනතුරට ලක්ව ඇත.

ගුවන් යානය කඩා වැටී ඇති ස්ථානයට මීටර් පහළොවක (15) පමණ දුරකින් පිහිටි කුඩා තේ කඩයක් පවත්වාගෙන යන ඩී. වීරසිංහ මහතා සිද්ධිය ගැන මෙසේ කියයි. “මම කඩේ හිටියේ නෑ. වැවට ගිහින් ඉන්නකොට රේසර් සද්දයක් වගේ ලොකු සද්දයක් ආවා. ඊට පස්සේ කඩේ පැත්තට එනකොට තව කෙනෙක් මගදී හමුවෙලා කීවා කඩේ ළඟට ප්ලේන් එකක් කඩා වැටිලා කියලා. ඇවිත් බලන කොට ඇතුළේ එක්කෙනෙක් මියගොස් හිටියා. ඩිංගක් හරි පණ තිබුණා නම් අපි ගෙනියන්න තමයි බැලුවේ.”

මිය ගිය පුහුණු ගුවන් නියමුවා කෑගලු මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවෙකි.

උසස් පෙළ ගණිත අංශයෙන් සමත් ශාලින්ද මහතා 2016 වර්ෂයේ පාසල් මාතාවගෙන් සමුගෙන 2019 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්ව පුහුණු ගුවන් නියමු පාඨමාලාව හදාරා ඇත. මෙම පුහුණු ගුවන් නියමුවා කෑගල්ලේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් වන දිවංගත සමන් අමරකෝන් මහතාගේ බාල පුතාය. මිය ගිය ශාලින්ද මහතාට වැඩිමහල් සොයුරියන් දෙදෙනෙකි. ශාලින්ද මහතා තම මව සහ එම සොහොයුරියන් සමග රුවන්වැල්ල මාපිටිගම පදිංචිව සිට ඇත. මෙලෙස කඩා වැටී ඇත්තේ 2018 වර්ෂයේ දී ගුවන් හමුදාවට ගත් අලුත්ම ගුවන් යානයකි ෴

***************************************

(15.12.2020 – 13:14 +0530 – hirunews.lk/sinhala)

අන්තවාදීන්ට ආධාර අනුබල ලබා දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා හමුවී උපදෙස් ලබා ගැනීමට ඔහුගේ නීතිඥවරුන්ට ඉඩ ලබාදෙන්නැයි අභියාචනාධිකරණය අද (15) නියෝග කළා.

ඒ, එවැනි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව එහි තීන්දුව අද (15) ප්‍රකාශයට පත්කරමින්.

අභියාචනාධිකාරණ විනිසුරුවන් වන ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සහ සෝභිත රාජකරුණා මහතා හමුවේ අදාළ පෙත්සම කැඳවූ අතර, තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ හෙට (16) පස්වරු 02:30 ට හිජාස් හිස්බුල්ලාට ඔහුගේ නීතිඥවරුන් හමුවීමට අවස්ථාව ලබාදෙන ලෙසයි ෴

***************************************

(15.12.2020 – 13:31 +0530 – hirunews.lk/sinhala)

කිතුල් බෝගය ශ්‍රී ලංකාවේ ප්‍රධාන වැවිලි බෝගයක් ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එමෙන්ම, කිතුල් සංවර්ධන මණ්ඩලය ස්ථාපිත කිරීම සඳහා වැවිලි අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට ද එලෙස අනුමැතිය හිමිවුණා.

කිතුල් ආශ්‍රිත නිෂ්පාදන ශ්‍රී ලංකාවට ආවේණික කර්මාන්තයක් වශයෙන් විදේශ විනිමය ඉපයීම සඳහා ඉහළ විභවතාවක් සහිත කර්මාන්තයක් ලෙසයි හඳුනාගෙන ඇත්තේ ෴

***************************************

(15.12.2020 – 13:35 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට බලධාරින් කටයුතු කළ යුතු බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති මහාචාර්ය බී.එම්. බැන්නැහැක මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයා සහ සාමාජිකයින් සිව් දෙනෙකු (4) සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෑතකදී ඉවත් කරන ලද ක්‍රමවේදය පිළිගත නොහැකි බවයි.

මේ අතර, තමන් තනතුරුවලින් ඉවත් කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති ඇතුළු සාමාජිකයින් තුන් දෙනෙකු (3) ගොනුකර තිබූ පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන 18 දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය ඊයේ (14) තීරණය කළා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණයට පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ පනත යටතේ වෛද්‍ය සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් පත් කිරීමේ බලය සෞඛ්‍ය අමාත්‍යවරියට ඇතත්, ඉවත් කිරීමේ බලයක් නොමැති බවයි.

කෙසේ වෙතත්, පෙත්සම්කරුවන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යවන බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මෙහිදී සඳහන් කළේ ෴

***************************************

(15.12.2020 – 13:49 +0530 – hirunews.lk/sinhala)

හේකිත්ත මාර්ගයේ ජල නල පද්ධතිය වැඩි දියුණු කිරීම නිසා ප්‍රදේශ කිහිපයකට හෙට (16) උදෑසන 10 සිට පසුදින (17) පෙරවරු 4 දක්වා පැය 18 ක් ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදූව, මරදාන පාර, ඇල කන්ද සහ හැඳල යන ප්‍රදේශවලටයි ෴

***************************************

(15.12.2020 – 13:58 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික විජිතපුර බලකොටුවට අයත් පුරාවිද්‍යා නටඹුන් වනසමින් සිදුකළ ඉදිකිරීම් වහාම ඉවත් කිරීමට උපදෙස් ලබා දුන් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පවසනවා.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන පුද්ගලයින්ට එරෙහිව උපරිම දඬුවම් ලබාදීමට හැකිවන පරිදි නීති සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි.

අනුරාධපුර – අලහප්පෙරුමාගම පිහිටි මුස්ලිම් පල්ලියක් සහ සුසාන භූමියක් වෙන් කිරීම සඳහා තාප්පයක් ඉදිකිරීමේදී විජිතපුර බලකොටුවට අයත් බවට පැවසෙන පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක නටඹුන්වලට දැඩි ලෙස හානි සිදුව තිබූ අයුරු හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප පසුගියදා රටට අනාවරණ කළා.

මෙම පුරාවිද්‍යා නටඹුන් විනාශ කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර පුරාවස්තු විශේෂ පොලිස් ඒකකය විමර්ශන ආරම්භ කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 10 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

වැලි කැනීම් හේතුවෙන් සිදුවන දැවැන්ත පරිසර විනාශයට එරෙහිව මාදම්පේ සුදුවැල්ල ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත වුණා.

මාදම්පේ ප්‍රාදේශිය ලේකම්වරයා පවසන්නේ එම වැලි කැනීම් සඳහා අවසර ලබා දී ඇත්තේ සිය විරෝධය නොතකමින් බවයි.

***************************************

(15.12.2020 – 14:22 +0530 – hirunews.lk/sinhala)

‘සිලෝන් තව්හිද් ජමාත්’ සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් ගෙන් ජනාධිපති කොමිසම ඊයේ (14) පළමුවරට විමසුවා.

කටුවාපිටිය බෝම්බකරුගේ බිරිද වූ මේවනවිට රටින් පළාගොස් ඇති බවට සැක කෙරෙන සාරා ජෙස්මින් නමැත්තිය කටුවාපිටිය බෝම්බකරුට බලහත්කාරයෙන් විවාහ කර දුන් බවට චෝදනා එල්ල වී ඇත්තේ ද අබ්දුල් රාසික්ටයි.

එමෙන්ම සහරාන් හෂීම්ට කාත්තන්කුඩියේ තව්හිද් ජමාත් සංවිධානයේ කාර්‍යාලයක් ස්ථාපිත කිරීමට පවා උදව් කළේ අබ්දුල් රාසික් නැමැත්තා බවට ජනාධිපති කොමිසම හමුවට මේ වනවිට සාක්ෂි ඉදිරිපත්ව තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට සිලෝන් තව්හීද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් නමැත්තා ඊයේ (14) කැඳවා තිබුණා.

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :
“මේ කොමිසම පත්වුණාට පසු ඔබ විසින් සියලු තව්හිද් සංවිධානවලට ලිපියක් යොමුකරලා තිබුණා නේද සියලු සංවිධාන එක්වෙලා මේ කොමිසමට සාක්ෂි දෙන්න යමු කියලා ?”

අබ්දුල් රාසික් – ලේකම් – සිලෝන් තව්හීද් ජමාත් :
“ඔව් පණිවිඩයක් යොමුකළා.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :
“ලංකාවේ දැනට තව්හිද් සංවිධාන කීයක් විතර තියෙනවා ද ?”

අබ්දුල් රාසික් – ලේකම් – සිලෝන් තව්හීද් ජමාත් :
“ලංකාවේ විවිධ ප්‍රදේශවල තව්හිද් සංවිධාන 14 ක් හෝ 15 ක් තිබෙනවා.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :
“ඇයි ඔබ ඒ සංවිධානවල නායකයින්ට ලිපි නොයවා ප්‍රසිද්ධියේ ෆේස්බුක් දැම්මේ ඔබේ ඔය පණිවිඩය ?”

අබ්දුල් රාසික් – ලේකම් – සිලෝන් තව්හීද් ජමාත් :
“ඒ සංවිධානවල යම් යම් වෙනස්කම් නිසා සන්නිවේදනය කරගන්න බැරි වුණා. ඒකයි ෆේස්බුක් දැම්මේ.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :
“එයින් ඔබ උත්සහ කළේ තව්හිද් සංවිධාන අතර තිබෙන යම් යම් වෙනස්කම් කිසිවක් කොමිසමට හෙළිනොකරන්නයි. එහෙනම් මේකට පිළිතුරු දෙන්න. 2017 නොවැම්බර් 12 කාත්තන්කුඩි හිස්බුල්ලා ශාලාවේ ඔබ රැස්වීමක් පැවැත්වූවා නේද ?

අබ්දුල් රාසික් – ලේකම් – සිලෝන් තව්හීද් ජමාත් :
“මට එහෙම මතකයක් නැහැ ස්වාමිනි.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :
“කොමිසමට සාක්ෂි තියෙනවා. ඔබ ඒ රැස්වීමේදි කියලා තියෙනවා ‘අපි පවසන්නේ බෞද්ධ ආගමට මුල් තැන දී සෙසු ආගම්වලට සමතැන දීම වළකා සියලු ආගම්වලට සර්ව ආගමිකව රට ගෙන යා යුතුයි’ කියලා..”

අබ්දුල් රාසික් – ලේකම් – සිලෝන් තව්හීද් ජමාත් :
“නැහැ ස්වාමිනි, වෙනත් තැනක තිබුණ රැස්වීමකදී මැතිවරණ පනත හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වියයුතු ආකාරය ගැනනම් කතා කළා.”

අනතුරුව සාක්ෂිකාර අබ්දුල් රාසික්ගෙන් සාක්ෂි විමසීම කල් තැබුණා.

ඒ අනුව දෙවන දිනටත් සාක්ෂි ලබාදීමට ඔහු අද (15) පෙරවරුවේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමුවීම සඳහා හෙට (16) පස්වරු 02:30 ට ඔහුගේ නීතිඥවරුන්ට ප්‍රවේශය සලසා දිය හැකි බව නීතිපතිවරයා අද (15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුසන්ත බාලපටබැඳි මහතා දැනුම් දුන්නේ අවම වශයෙන් පැය භාගයක් (½) සැකකරු හමුවී උපදෙස් ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවයි.

එම අවස්ථාවට නීතිඥවරු දෙදෙනෙකුට (2) සහභාගී විය හැකි බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.

***************************************

(15.12.2020 – 15:24 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ යෝජනාව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.

මේ අතර පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව මෙලෙස අදහස් පළ කළා.

***************************************

(15.12.2020 – 15:27 +0530 – hirunews.lk/sinhala)

වැලි කැනීම් හේතුවෙන් සිදුවන දැවැන්ත පරිසර විනාශයට එරෙහිව මාදම්පේ සුදුවැල්ල ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත වුණා.

මාදම්පේ ප්‍රාදේශිය ලේකම්වරයා පවසන්නේ එම වැලි කැනීම් සඳහා අවසර ලබා දී ඇත්තේ සිය විරෝධය නොතකමින් බවයි.

දීර්ඝ කාලයක් පුරා සිදුවන මහා පරිමාණ වැලි කැපීමට එරෙහිව මාදම්පේ – සුදුවැල්ල ගම්මානයේ ජනතාව මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට පා ගමනින් පැමිණ විරෝධතාවක නිරතවුණා.

වැලි කැනීම් නිසා දැවැන්ත පාරිසරික හානියක් සිදුව ඇති බව විරෝධතාකරුවන් පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් ජල උල්පත් සිඳී ගොස් තමන් උග්‍ර පානීය ජල හිඟයකටද මුහුණ දී සිටින බව ඔවුන් සඳහන් කළා.

විරෝධතාකරුවන් අතරට පැමිණි මාදම්පේ ප්‍රාදේශීය ලේකම්වරයා පැමිණ කරුණු පැහැදිලි කරන අවස්ථාවේදී ඇතිවුයේ ද උණුසුම් තත්ත්වයක්.

මේ අතර එහි පැමිණි පුද්ගලයෙක් විරෝධතාවට එක්ව සිටින ඇතැමුන් වැලි ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ලබා ගන්නා බවට චෝදනා කිරීමත් සමග ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිසියද මැදිහත් වුණා.

වැලි කැණීම් කිරීම සඳහා අවසර දී ඇත්තේ තම විරෝධය නොතකමින් බව මාදම්පේ ප්‍රදේශීය ලේකම්වරයා මෙහිදී කියා සිටියා.

ප්‍රදේශයේ ජනතාවගේ විරෝධයක් පවතින බැවින් වැලි කැපීම සඳහා ලබා දී ඇති බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන ලෙස ප්‍රදේශීය ලේකම්වරයා විසින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් හා කැණීම් කාර්යංශය වෙත දැනුම්දීම සඳහා සකස් කරන ලද ලිපියේ පිටපතක් ලබාදීමෙන් අනතුරුව විරෝධතාවය අවසන් කෙරුණා.

====================================

(15.12.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස ව්‍යාප්තිය තවදුරටත් සෞඛ්‍ය සේවාවට අවශ්‍ය ආකාරයට පාලනය කරගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මේ නිසා එළැඹෙන උත්සව සමයේදී වගකීමෙන් කටයුතු නොකළහොත් කොරෝනා ව්‍යාප්තිය ඉහළ යා හැකි බවටද එහි සභාපති උපුල් රෝහණ මහතා අනතුරු අඟවා සිටියා.

මෙරටින් ඊයේ (14) හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 688 දෙනා අතරින් 200 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා.

ඒ අතර වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ ආසාදිතයින් 58 දෙනෙකුද සිටින අතර, මට්ටක්කුලියෙන් ආසාදිතයින් 38 දෙනෙකු සහ අවිස්සාවේල්ලෙන් ආසාදිතයින් 17 දෙනෙකුද ඒ අතර වනවා.

කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (14) හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 117 ක් වන අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 113 ක්.

ඊට අමතරව මුලතිව් දිස්ත්‍රික්කයෙන් 55 ක්, ගාල්ලෙන් 48 ක්, නුවරඑලියෙන් 38 ක් සහ අම්පාරෙන් 28 ක් වශයෙන් කොරෝනා ආසාදිතයින් ඊයේ (14) හඳුනාගෙන තිබෙනවා.

මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 33,478 ක් වන අතර, සම්පූර්ණයෙන්ම සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 24,309 ක්.

තවදුරටත් ආසාදිතයින් 9,015 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන කොරෝනා එන්නතක් මෙරටට ලැබීමෙන් අනතුරුව ඉලක්කගත කණ්ඩායම්වලට පළමුවෙන් එන්නත ලබාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

මේ අතර, බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 3,212 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, නව ආසාදිතයින් 125 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

වැලිකඩ බන්ධනාගාරයෙන් ආසාදිතයින් 784 ක්, මැගසින් බන්ධනාගාරයෙන් ආසාදිතයින් 754 ක් සහ මහර බන්ධනාගාරයෙන් ආසාදිතයින් 588 දෙනෙකු මේ දක්වා වාර්තා වී තිබෙනවා.

බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වූ ආසාදිතයින් අතරින් මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 1,011 ක්.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ අනු පොකුරු ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, උත්සව සමයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමෙන් ලබන වසරේදී කොරෝනා අවධානම අවම කරගත හැකි බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා කියා සිටියේ.

++++++++++++++++++++++

(15.12.2020 – 14:01 +0530 – hirunews.lk/sinhala)

පොදු ප්‍රවාහන සේවා වලින් මගීන් ප්‍රවාහනය කිරීමේදී සැලකිලිමත්විය යුතු උපදෙස් ඇතුළත් නිර්ණායක කිහිපයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, පොදු ප්‍රවාහනයේදී අසුන් ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යාම අනිවාර්ය කර ඇති අතර කිසිදු මගියෙකුට සිටගෙන ගමන් කළ නොහැකි බවයි එහි සඳහන් වන්නේ.

එලෙස කටයුතු නොකරන පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතු බව ද අදාළ නිර්ණායකවල ඇතුළත් ෴

++++++++++++++++++++

(15.12.2020 – 15:48 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 558 ක් සුවය ලබා අද (15) දිනයේ රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 24,867 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවදුරටත් ආසාදිතයින් 8457 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 33,478 ක් ෴

+++++++++++++++++++++

(15.12.2020 – 15:56 +0530 – hirunews.lk/sinhala)

පාරජම්බුල ආලෝක කිරණ නිකුත් කරන ඩයෝඩ හෙවත් යූ.වී. – එල්.ඊ.ඩී. (UV-emitting LED lights) මගින් නව කොරෝනා වෛරසය කාර්යක්ෂමව, ක්ෂණිකව සහ අඩු වියදමකින් විනාශ කළ හැකි බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

මේ නිසා එලෙස පාරජම්බුල කිරණ නිකුත් කරන උපාංග, වායු සමීකරණ සහ ජල පද්ධතීන් වලට සම්බන්ධ කළ හැකි බවයි එම සොයා ගැනීම සිදුකළ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ එක්සත් ජනපද ටෙල් – අවීව් මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක්.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් විෂබීජානුහරණය පිළිබඳ ලොවේම අවධානය යොමුවී ඇති මොහොතක මෙම සොයා ගැනීම විශේෂ වැදගත්කමකින් යුක්ත බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙමගින් බස් රථ, ගුවන් යානා, දුම්රිය, ක්‍රීඩා ශාලා වැනි විශාල ප්‍රදේශ රසායනික ඉසීමෙන් විෂබීජානුහරණයට විශාල ශ්‍රමයක් අවශ්‍ය වන අතර, පාරජම්බුල කිරණ නිකුත් කරන එල්.ඊ.ඩී. විදුලි පහන් ඒ සඳහා ඊට වඩා පහසුවෙන් යොදා ගත හැකිවනු ඇති ෴

UV-emitting LED lights found to kill coronavirus

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *