ජපන් තරුණියගේ පෙම්වතා මුල්වරට මාධ්‍යට හෙළිකළ කතාව

ජපන් තරුණියගේ පෙම්වතා මුල්වරට මාධ්‍යට හෙළිකළ කතාව

*********************************************

ජපන් තරුණියගේ පෙම්වතා මුල්වරට මාධ්‍යට හෙළිකළ කතාව

(14.12.2020 – 15:55 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් ජපානයට ගිය 23 හැවිරිදි තරුණයෙකු කෝටිපති පවුලක 15 හැවිරිදි තරුණියක පැහැරගෙන ආ බවට මීට සති කිහිපයකට පෙර තොරතුරු වාර්තා වුණා.

අදාළ තරුණයා මෙරට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට ඇප නියම වූ අතර පසුව පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කාලසීමාව නිමකළ ඔහු අද (14) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

එම ප්‍රකාශය පහතින් :

[ https://www.youtube.com/watch?v=SJp6D-VSXM8 ]

මේ අතර තරුණයාගේ නැඟණිය විවාහ වීමට සිටි තරුණයට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහරදී කැපුම් තුවාල සිදු කර තිබෙනවා.

ඔහු මෙම පහර කෑමට ලක්ව ඇත්තේ ජපන් තරුණියගේ සිද්ධියට අදාළව අත්අඩංගුවට පත්ව ඇප මත සිටියදීයි.

ඥාතීන් චෝදනා කරන්නේ ජපන් තරුණියගේ මවගේ ශ්‍රී ලාංකික පෙම්වතා වන කොස්තා නැමැත්තා විසින් මෙම පහරදීම සිදුකළ බවටයි.

ඒ සම්බන්ධයෙන් ඊයේ දිනයේ අප ගෙන ආ වාර්තාව පහතින් :

[ https://www.youtube.com/watch?v=DcsHqjC0WD8 ]

***************************************

(14.12.2020 – 16:46 +0530 – hirunews.lk/sinhala)

නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු සදහා ඉදිකළ නව ගොඩනැගිල්ල අද (14) පෙරවරුවේ විවෘත කෙරුණා.

ඒ නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගේ ආරාධනයෙන් අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන්.

එම ගොඩනැගිල්ල මහල් 12 කින් සමන්විත වන අතර ඒ සදහා රුපියල් බිලියන 12 ක මුදලක් වැය කර තිබෙනවා.

+++++++++++

(14.12.2020 – 20:07 +0530 – hirunews.lk/sinhala)

පොලීසිය තම උපදෙස් පිළිපැද්දේ නම් බන්ධනාගාර තුළ තදබදයක් ඇති නොවන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ප්‍රකාශ කළා.

ඒ අධිකරණ අමාත්‍යාංශය ආසන්නයේ ඉදිකළ නීතිපති දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එම අවස්ථාවට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මෙන්ම, අගවිනිසුරුවරයා ද එක්ව සිටියා.

[ https://www.youtube.com/watch?v=1sCIGKHVRvU ]

***************************************

(14.12.2020 – 17:05 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිවරිය ලෙස රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පත්වී තිබෙනවා.

ඊට අමතරව, එම සංසදයේ සම උප සභාපතිවරියන් ලෙස රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පත්වී ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ ෴

***************************************

(14.12.2020 – 17:09 +0530 – hirunews.lk/sinhala)

තමන් තනතුරුවලින් ඉවත් කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති ඇතුළු සාමාජිකයින් තුන් දෙනෙකු (3) ගොනුකර තිබූ පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන 18 දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (14) තීරණය කළා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණයට පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ පනත යටතේ වෛද්‍ය සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් පත් කිරීමේ බලය සෞඛ්‍ය අමාත්‍යවරියට ඇතත්, ඉවත් කිරීමේ බලයක් නොමැති බවයි.

කෙසේ වෙතත්, පෙත්සම්කරුවන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යවන බවයි, සෞඛ්‍ය අමාත්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මෙහිදී පෙන්වා දුන්නේ.

එම නිසා මෙම පෙත්සම් ඉවත දමන ලෙස ඔහු ඉල්ලා සිටියා ෴

***************************************

(14.12.2020 – 17:35 +0530 – hirunews.lk/sinhala)

යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලය ලොවපුරා යම් බිඳවැටීමකට ලක්ව ඇති බව තොරතුරු වාර්තාවෙමින් පවතිනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එම සමාජ මාධ්‍ය ජාලය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඇතැම් පුද්ගලයන් විසින් සිය පෞද්ගලික ට්විටර් ගිණුම් හරහා ප්‍රකාශ කර ඇත්තේ gmail හරහා සිය යූ ටියුබ් ගිණුම් වෙත පිවිසීම මේ වනවිට අවහිර වී ඇති බවයි.

ඒ අනුව මේ වනවිට 9000 ක් පමණ යූ ටියුබ් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් අදාළ අවහිරතාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා ෴

***************************************

(14.12.2020 – 19:30 +0530 – hirunews.lk/sinhala)

සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කළ එම්.ටී.වී. වෛරසය ඉදිරි දින කිහිපය තුලදී බෙදා හරින බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ මීට වසර එකහමාරකට පෙර එම්.ටී.වී. වෛරසය මෙරටට ගෙන්වා සිදුකළ පරීක්ෂණවලදී එය සාර්ථක ප්‍රතිඵල ලබාදුන් බවයි.

මේ අතර, අද (14) දිනයේත් ප්‍රදේශ කිහිපයක ගොවීන් සේනා දළඹු උවදුර හේතුවෙන් තම වගාවන් විනාශ වී ඇති බව සඳහන් කළා.

අනුරාධපුරයේ ගම්මිරිස්ගස්වැව ප්‍රදේශයේ ගම්මාන කිහිපයක බඩඉරිඟු වගාව සේනා දළඹු උවදුරු හේතුවෙන් විනාශ වී තිබූ අතර එය සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (14) එක්වුණා.

සේනා දළඹු උවදුර මර්දනය කිරීම සඳහා බලධාරින් මේ වනවිටත් නිසි විසඳුම් ලබා දී නොමැති බවට අම්පාර – උහන ප්‍රදේශයේ සහ මිද්දෙණිය – හෙල්වල ප්‍රදේශයේ බඩඉරිඟු ගොවීන් ද චෝදනා කරනවා.

බලංගොඩ ප්‍රදේශයේ ද බඩඉරිඟු වගාවන් රැසක් සේනා දළඹු උවදුර හේතුවෙන් විනාශ වී තිබෙනවා.

පොළොන්නරුව ප්‍රදේශයේ ගම්මාන රැසක බඩඉරිඟු වගාවන් ද සේනා දළඹු උවදුර හේතුවෙන් ද විනාශ වී ඇති අතර, ගොවීන් පවසන්නේ 2017 වසරේ තම වගා විනාශ වුවත්, බලධාරින් කිසිදු විසඳුමක් ලබා දී නොමැති බවයි.

[ https://www.youtube.com/watch?v=Ppo69aZRRUM ]

***************************************

(14.12.2020 – 19:35 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ නව මැනිං වෙළඳපොල තොග වෙළඳාම සඳහා අද (14) පස්වරුවේ විවෘත කෙරුණා.

පසුගිය ඔක්තෝම්බර් 22 වනදා පිටකොටුව මැනිං වෙළඳපොල වසා දැමීමත් සමඟ දින 52 කට පසුවයි අද එය පෑලියගොඩ නව මැනිං වෙළඳපොල සංකීර්ණයේ තොග වෙළඳාම සඳහා විවෘත කෙරුණේ.

පස්වරු 4 සිට රාත්‍රී 12 දක්වා මෙලෙස එය තොග වෙළඳාම සඳහා විවෘත කෙරෙනවා.

මීට පෙර තොග වෙලඳාම සඳහා මැනිං වෙළඳපොල විවෘත කර තැබුණේ අලුයම 4 සිට පෙරවරු 10 දක්වායි.

කෙසේ වෙතත්, මෙලෙස තොග වෙළඳාම සඳහා වේලාව වෙනස් කිරීම හේතුවෙන් තම අස්වනු ප්‍රවාහනය කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවට උඩරට එළවළු ගොවීන් චෝදනා කළා.

මේ අතර, ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳ කටයුතු සඳහා වෙන්කර ඇති වෙළඳසැල්වල වෙනත් වෙළඳාම් සිදුකිරීම සහ විවිධ අයට බදු දීම නතර කිරීමට අවශ්‍ය චක්‍රලේඛ ජනවාරි මුල් සතියේ නිකුත් කරන ලෙසට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් සමඟ අමාත්‍යාංශයේ අද (14) පැවති සාකච්ඡාවකදීයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ද තොග වෙලඳාම සඳහා අනිද්දා අලුයම 2 ට විවෘත කෙරෙන අතර ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරිය අද මත්ස්‍ය වෙළඳපොල නිරීක්ෂණ චාරිකාවකට ද, එක්වුණා ෴

***************************************

(14.12.2020 – 20:01 +0530 – hirunews.lk/sinhala)

රටේ ජාතික උරුමයන් සෑම ජනකොටසකටම අයිති බැවින් ඒවා විනාශ කරන අයට එරෙහිව දැඩි දඬුවම් ලබාදෙන බව ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලාශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

[ https://www.youtube.com/watch?v=WxxsjTluJJI ]

***************************************

(14.12.2020 – 20:40 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට උසස්වීම් ලබාදීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළේ ඔවුන්ට අවශ්‍ය පරිදි දේශපාලන පළිගැනීම් සිදු කර ගැනීමට බව රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසනවා.

එමෙන්ම පසුගිය රජය සමයේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙය වූ බව අමාත්‍ය සී.බී.රත්නායක මහතා චෝදනා කරනවා.

[ https://www.youtube.com/watch?v=iYy536t8cNo ]

***************************************

(14.12.2020 – 23:14 +0530 – hirunews.lk/sinhala)

2021 යනු මෙරටට තීරණාත්මක වසරක් බව ආර්ථික පුනර්ජීවන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ 2021 අයවැය යෝජනා යටතේ ග්‍රාම සංවර්ධනයට හඳුන්වා දුන් වැඩ සමඟ යළි ගමට ව්‍යාපෘතිය ඇරඹීම වෙනුවෙන් මාතරදී පැවති උත්සවයකට එක්වෙමින්.

[ https://www.youtube.com/watch?v=yt_qBdVrpq4 ]

***************************************

රියාජ් බදියුදීන් පාස්කු කොමිසම හමුවේ දුන් සාක්ෂිය

(14.12.2020 – 20:37 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා අද කැඳවා තිබුණේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන්වයි.

ඒ, ඔහු අවස්ථා ගණනාවකදි සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු සමග සබඳතා පවත්වා ඇති බවට මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි ඉදිරිපත්ව තිබීම හේතුවෙන්.

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු සමග සබඳතා පවත්වා ඇති බවට ජනාධිපති කොමිසමට ඉදිරිපත්ව තිබූ සාක්ෂි විමර්ශනය සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට අද කැඳවා තිබුණා.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා :
රිෂාඩ් බදියුදීන්ගේ සම්බන්ධීකරණ සහ මාධ්‍ය ලේකම්වරයා විදිහට කවුද කටයුතු කළේ..?

රියාජ් බදියුදීන් :
මම තමයි ස්වාමීනි කටයුතු කළේ.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා :
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබ දැනුවත්ද..?

රියාජ් බදියුදීන් :
ඔව් මම ඒක ටී.වී. එකෙන් තමයි දැනගත්තේ.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා :
සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු වූ ඉන්ෂාෆ් අහමඩ්ව ඔබ හඳුනනවාද?

රියාජ් බදියුදීන් :
ඔව් මම ඒක ටී.වී. එකෙන් දැක්කේ.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා :
ඉන්ෂාෆ් අහමඩ් විවාහවී සිටියේ කා සමගද..?

රියාජ් බදියුදීන් :
මගේ දුරින් ඥාතිවරයෙක් වන අලව්දීන් කියන පුද්ගලයාගේ දියණිය සමග තමයි ඔහු විවාහවෙලා සිටියේ. මමත් විවාහ මංගල උත්සවයට සහභාගී වුණා. එතනදී තමයි මම ඉන්ෂාෆ්ව පළමුවරට දැනගත්තේ.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා :
ඔහුගේ විවාහයෙන් පසු ඔබ ඔහු සමග දුරකථනයෙන් සම්බන්ධවී තිබෙනවාද..?

රියාජ් බදියුදීන් :
ඔව්.. හැබැයි මිතුරෙක් ලෙස නම් ඔහුව ළඟින් ආශ්‍රය කළේ නැහැ.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා :
ඉන්ෂාෆ් මොනවද කළ ව්‍යාපාර?

රියාජ් බදියුදීන් :
මම මුලින්ම දැනගෙන සිටියේ ඔහු කුළුබඩු ව්‍යාපාර කරනවා කියලා. නමුත් පසුව මම දැනගත්තා ඔහු තඹ කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යනවා කියලා. පස්සේ දවසක ඉන්ෂාහෙමඩ් මාහට අවස්ථා කිහිපයකදී දුරකථන ඇමතුම් ලබාදුන්නා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සමග සම්බන්ධ වෙන්න වේලාවක් අවශ්‍ය බව පවසමින්. නමුත් මම ඒ බව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට පැවසු අවස්ථාවේදී ඔහු එය ප්‍රතික්ෂේප කළා. මම ඒබව ඉන්ෂාහෙමඩ්ට කිව්වා.

සභාපති විනිසුරු :
ඔබේ සහෝදර රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සාක්ෂි ලබාදෙමින් සඳහන් කරලා තියෙනවා අහමඩ් 2017 වසරේදී ඔහුට දුරකථනයෙන් කතා කරලා තියෙනවා කියලා. අහමඩ් ගාව රිෂාඩ් බදියුදීන්ගේ දුරකථන අංකය තිබුණානම් ඇයි වේලාවක් වෙන්කරගන්න ඔබට ඔහු කතා කළේ..?

රියාජ් බදියුදීන් :
ඒක ඉතින් එයා තමයි දන්නේ.

සභාපති විනිසුරු :
ඉදිරිපත්ව ඇති ප්‍රකාශවල සඳහන් වෙනවා 2015 වසරෙන් පසු ඔබ අමාත්‍යාංශයේ කිසිදු තනතුරක් දැරුවේ නැහැ කියලා.

රියාජ් බදියුදීන් :
ඉන්ෂාෆ් අහමඩ් මට කියලා තිබුණා ඔහුගේ තඹ කර්මාන්ත ශාලාවේ අපනයන කටයුතු රජය විසින් අහෝසි කරලා තියෙනවා කියලා. ඉතින් ඒ ගැන විමසන්න සහ ඒ ගැන අවස්ථාව උදාකරගන්න එවකට කර්මාන්ත අමාත්‍යවරයාව සිටි රිෂාඩ් බදියුදීන් සමග සම්බන්ධවෙන්න උත්සාහ කළා. ඉතින් මම අතරමැදිකරුවෙක් වුණා. නැතිව වෙන සබඳතාවක් මට ඔහු සමග නැහැ. අනික මම ඇමතිතුමාගේ සහෝදරයානේ. මහජනතාව එන දවස්වලට මම යනවා මගේ සහෝදරයාගේ නම කැත වෙනවා නම් ඒවා නැති කරන්න.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා :
අර මඟුල් ගෙදරින් පස්සෙද ඔබට ඉන්ෂාෆ්ව හමුවෙන්නේ 2017 වසරේදී අමාත්‍යාංශයේදීද..?

රියාජ් බදියුදීන් :
නැහැ ස්වාමිනී. ඊට කලින් අවස්ථා දෙක තුනකදි මට ඉන්ෂාෆ්ව හමුවෙලා තියෙනවා. හැබැයි 2019 වසරේදී මම ඔහුව දැක්කේ දීර්ඝ කාලයකින්. මම ඔහුව හඳුනාගත්තා ඔහුත් මාව හඳුනාගත්තා. එතනදී ඔහු මට කිව්වා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඔහුට අසාධාරණයක් වෙලා තියෙනවා කියලා. ඒ ගැන කතා කරන්න තමයි ඔහු ඇමතිතුමාගෙන් වෙලාවක් ඉල්ලුවේ. ඇයි ඇමතිතුමා ඔහුට වෙලාවක් ලබා නොදෙන්නේ කියලා ඔහු මගෙන් ඇහුවා. මම ඉතින් එතකොට හේතුව පැහැදිලි කළා. මට එතකොට ඉන්ෂාෆ් අනිත් පැත්තට කිව්වා ඔහුගේ සහෝදරයට විරුද්ධව මම නඩුවක් දානවා කියලා. අනික ඉන්ෂාෆ් මගෙ දුරකථන අංකය කොහොම ගත්තද කොහෙන් ගත්තද කියලා මම දන්නේ නැහැ ස්වාමීනි.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා :
සාක්ෂිකරු මම ඔබට යෝජනා කරනවා දැනට ඉදිරිපත්ව ඇති සාක්ෂි අනුව සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු වූ ඉන්ෂාෆ් අහමඩ් ඔබ සමග ඉතාමත් සමීපව හොඳ මිතුරෙක් ලෙස ඇසුරු කරලා තියෙනවා කියලා.

රියාජ් බදියුදීන් :
මම ගොඩක් ළඟින් ඔහුව ආශ්‍රය කරලා නැහැ. අලව්දීන්ගේ බෑණා නිසා තමයි මම කතා කළේ. අනික මම දැනගෙන හිටියේ නැහැ ඔහුට තිබෙන තඹ කර්මාන්ත ශාලා කොහෙද තිබුණේ කියලාවත්.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා :
LTTE යුද සමයෙන් පසු ඔබ පුත්තලම ප්‍රදේශයේ අනාථ කඳවුරුවලනේ රැඳී සිටියේ. එවැනි ඉතිහාසයක් තිබෙන ඔබලා ඉතා කෙටි කාලයක් තුළ කොහොමද මෙතරම් දියුණු වුණේ.

රියාජ් බදියුදීන් :
මම එකපාරට දියුණු වුණේ නැහැ ස්වාමීනි. අවුරුදු 20 ක් 25 ක් විතර රැකියාවක් කරලා තමයි මේ තත්ත්වයට ආවේ.

මේ අතර, පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් දේවස්ථාන ආශ්‍රිතව සොයාගත් කඩු තණකොළ කැපීමට යොදාගත් ඒවා බවට ප්‍රකාශ කළේ තමන් කැත්ත සහ කඩුව අතර වෙනස වටහා නොගැනීමෙන් බව හමිටපු මුස්ලිම් කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා පවසනවා.

[ https://www.youtube.com/watch?v=t59S2YGM3fo ]

========================================

(14.12.2020 – 18:43 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 356 දෙනෙකු මේ වනවිට වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඒ අතර බන්ධනාගාර වලින් වාර්තා වන ආසාදිතයින් 54 දෙනෙකු සිටින බවයි.

ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යව 33,146 දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

+++++++++++++++++++++++

(14.12.2020 – 19:48 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය තුළ සංසරණය වන දේශීය වෙදකම තුළ භාවිත වන අමුද්‍රව්‍ය සහිත වට්ටෝරු භාවිත නොකරන ලෙස දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයූර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ආයූර්වේදය හා දේශීය වෙදකම තුළ රෝගයක් සඳහා ඖෂධ සකස් කිරීමේදී ඊට යොදාගනු ලබන අමුද්‍රව්‍ය පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.

ඒ පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව යම් ඖෂධ වට්ටෝරු භාවිත කිරීමෙන් වළකින ලෙසයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

එම නිවේදනය පහතින් :

++++++++++++++++++++++

(14.12.2020 – 21:08 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 329 දෙනෙකු අද (14) වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අතර බන්ධනාගාර වලින් වාර්තා වන ආසාදිතයින් 04 දෙනෙකු සිටින බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යව 33,478 දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

මෙරට කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 154 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (14) දිනයේදී තවත් මරණ දෙකක් (2) වාර්තාවීමත් සමගයි.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *