CID ශානිට පිට පිට උසස්වීම් ලැබුණු හේතුව

CID ශානිට පිට පිට උසස්වීම් ලැබුණු හේතුව

*********************************************

CID ශානිට පිට පිට උසස්වීම් ලැබුණු හේතුව

(14.12.2020 – 13:30 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට පිට පිට උසස්වීම් ලබා දීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළේ ඔවුන්ට අවශ්‍ය පරිදී දේශපාලන පලිගැනිම් සිදුකර ගැනීමට බව රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ වාද්දුව ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

[ https://www.youtube.com/watch?v=jwUNsca_UPI ]

***************************************

(14.12.2020 – 11:41 +0530 – hirunews.lk/sinhala)

තම නිවෙසට යාමට මාර්ගයක් නොමැති බව පවසමින් මාතර නගර සභාව ඉදිරිපිට පිහිටි විදුලි පහන් කණුවකට නැඟ පුද්ගලයෙකු අද (14) උදෑසන විරෝධතාවයක නිරතව තිබෙනවා.

මාතර, පොල්හේන ප්‍රදේශයේ පදිංචි වයස 45 ක පමණ පුද්ගලයෙකු මෙලෙස විරෝධතාවයේ නිරත වූ බවයි වැලිගම අප වාර්තාකරු සඳහන් කළේ.

පසුව මාතර නගර සභාවේ ගිනි නිවීමේ රථයක් මඟින් එම පුද්ගලයා බිමට ගැනීමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව අදාල පුද්ගලයා මාතර පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ ෴

***************************************

(14.12.2020 – 12:26 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මාස කිහිපයේ මාතලේ දිස්ත්‍රික්කය තුල සිදුකළ විශේෂ වැටලීම් වලින් වන සත්ව හා රුක්ෂලතා ආරක්ෂණ පනතේ අධි ආරක්ෂිත පක්ෂීන් සහ වන සතුන් 48 දෙනෙකු සන්තකයේ තබාගත් පුද්ගලයින් 10 දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් හය ලක්ෂ අසූදහසක (6,80,000) දඩ මුදලක් අයකරගෙන ඇති බව මාතලේ වනජීවි කාර්යාලය පවසනවා.

පසුගිය සමයේ වැටලීම් 36 ක් සිදුකරමින් අළු ගිරවුන් 11 දෙනෙක්, කොන්ඩ කුරුල්ලන් දෙදෙනෙක් (2), ලබු ගිරවුන් 17 ක්, කහ කුරැල්ලන් 02 ක්, සැලළිහිණියන් පස්දෙනෙක් (5), කලවැද්දන් දෙදෙනෙක් (2), මයිනන් 04 ක්, අධි ආරක්ෂිත වන සතුන්වන මීමින්නෙක්, වළි කුකුළන් දෙදෙනෙක් (2) තාරකා ඉබ්බෙක් සහ අළු කෑදැත්තෙක් වනජීවි භාරයට ගැනුණු බවයි එම නිලධාරීන් පැවසුවේ.

මෙම වන සතුන් සන්තකයේ තබාගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන මාතලේ සහ නාඋල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි අදාල දඩ මුදල් අයකරගෙන ඇත්තේ.

මෙම සැකකරුවන් සියලුම දෙනා නකලස් අධි සංවේදී කළාපයට මායිම්ව පිහිටි මාතලේ ප්‍රදේශය අවට පදිංචිකරුවන් බවයි වනජීවි දෙපාර්තමේන්තුව පැවසුවේ ෴

***************************************

(14.12.2020 – 12:41 +0530 – hirunews.lk/sinhala)

ජෙමිනිඩ් උල්කා වර්ෂාව දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව ඊයේ (13) නිරීක්ෂණය කර ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.

එහි තාරකා විද්‍යාඥ ජනක අඩස්සූරිය මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පැයක් තුල උල්කා 15 ක් පමණ දර්ශනය වූ බවයි.

ඇතැම් උල්කා විශාල දීප්තියකින් යුක්ත වූ බව ද ඔහු සඳහන් කළා.

[ https://www.youtube.com/watch?v=hcyxypvXoZI ]

***************************************

(14.12.2020 – 13:26 +0530 – hirunews.lk/sinhala)

රට තුළ වෙනසක් ඇතිකිරීමට නම් ජනතාවටද අවශ්‍යතාවයක් තිබිය යුතු බව බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් පවසනවා.

ජනාධිපතිවරයා තමන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මෙම අදහස් පළකළා.

[ https://www.youtube.com/watch?v=3zHUBwbLUus ]

***************************************

(14.12.2020 – 13:34 +0530 – hirunews.lk/sinhala)

යළි හිස එසවූ සේනා දළඹු උවදුර තවත් ප්‍රදේශ කිහිපයකට ව්‍යාප්ත වී තිබෙනවා.

ගොවීන් රජයෙන් ඉල්ලා සිටින්නේ දළඹු උවදුරෙන් සිදුවූ වගා හානී සඳහා කිසියම් වන්දි මුදලක් ලබාදෙන ලෙසයි.

සේනා දළඹු උවදුර යළි ව්‍යාප්ත වෙමින් ඇති බව අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප පසුගිය දින කිහිපයේදීම අනාවරණ කළා.

මෙම දළඹුවන් අද (14) දිනයේද තවත් ප්‍රදේශ කිහිපකය ව්‍යාප්තව තිබුණා.

ඒ අනුව මේ වන විට බලංගොඩ, අනුරාධපුර සහ වලස්මුල්ල යන ප්‍රදේශවලින්ද සේනා දළඹු උවදුර පිළිබඳව වාර්තා වුණා.

[ https://www.youtube.com/watch?v=NoLQnB2pCzM ]

***************************************

(14.12.2020 – 13:38 +0530 – hirunews.lk/sinhala)

ඉතා සුන්දර වටපිටාවකින් සමන්විත ශිව දෙවියන්ට කැප කළ ත්‍රිකුණාමලය – ශ්‍රී කෝනේෂ්වරම් කෝවිල කොවිඩ්-19 වසංගතය හමුවේ හුදෙකලා තත්ත්වයට පත්ව තිබෙනවා.

ඒ ආශ්‍රිතව ජීවිකාව ගෙන ගිය ජනතාව මේ වනවිට පත්ව ඇති අසීරු තත්ත්වය පිළිබඳවයි මේ විමසා බැලීම.

[ https://www.youtube.com/watch?v=9Vv-QEhYWgs ]

***************************************

(14.12.2020 – 13:43 +0530 – hirunews.lk/sinhala)

විශාල මුදලක් වැය කරමින් ඉදිකළ පාදුක්ක පොදු ක්‍රීඩාංගණයේ ඇවිදින මං තීරුවේ විදුලි පහන් නොමැතිවීමෙන් එය භාවිත කරන්නන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා. අද (14) ‘රතු මිනිත්තුව’ ඒ පිළිබඳවයි.

[ https://www.youtube.com/watch?v=HxrPT_Ji9s8 ]

***************************************

(14.12.2020 – 14:54 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල, රනවණ, එගොඩවත්ත වෙල්යායේ තිබූ වගා ළිඳක් තුළ සිටි කිඹුලෙකු දැඩි පරිශ්‍රමයක් දරා ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන තිබෙනවා.

පසුව කළ දැනුම්දීමකට අනුව මහව වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පැමිණියද ඔවුන් කිඹුලා ඇල්ලීමට හෝ රැගෙන යාමට කටයුතු නොකිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් සහ වනජීවී නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති බව සඳහන්.

[ https://www.youtube.com/watch?v=RI-Vzb11AUc ]

***************************************

(14.12.2020 – 15:11 +0530 – hirunews.lk/sinhala)

අන්තවාදීන්ට ආධාර අනුබල ලබා දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා හමුවී උපදෙස් ලබා ගැනීමට ඔහුගේ නීතිඥවරුන්ට ඉඩ ලබා දෙන්නැයි නියෝග කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බැලීම හෙට (15) දක්වා කල් දැමීමට අභියාචනාධිකරණය අද (14) නියෝග කළා.

ඒ අභියාචනාධිකාරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සහ සෝභිත රාජකරුණා මහතා හමුවේ අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි.

නීතිඥ චලන පෙරේරා විසින් මෙම පෙත්සම ගොනුකර තිබෙනවා ෴

***************************************

(14.12.2020 – 15:48 +0530 – hirunews.lk/sinhala)

ලොකුලූණු බවට පවසා පිටකොටුවේ ව්‍යාපාරිකයෙකු ඩුබායි සිට ගෙන්වූ රුපියල් ලක්ෂ 190 ක් පමණ වටිනා කහ කැබලි අඩංගු බහාලුම් 4 ක් රේගු භාරයට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ කහ කැබලි තොගය කිලෝග්‍රෑම් 25,000 කට අධික බරකින් යුක්ත වන අතර, ඒවා රාජසන්තක කිරීමට පියවර ගන්නා බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

මේ වනවිට මෙරටට කහ ආනයනය තහනම් කර තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ ලොකුලූනු ගෙන්වන මුවාවෙන් ජාවාරම්කරුවන් වෙනත් භාණ්ඩ මෙරටට ගෙන්වීමට උත්සාහ කරන බැවින් ඒ පිළිබඳව සිය අවේක්ෂණ සීමා පුළුල් කර ඇති බවයි.

මේ අතර, ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබූ තවත් කහ කිලෝ ග්‍රැම් 700 ක් සමඟ සැකකරුවෙකු අද (14) මීගමුව – කොච්චිකඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදීයි.

මන්නාරම – පේසාලේ ප්‍රදේශයේදී ද රුපියල් කෝටි දෙකහමාරකට (2½) අධික වටිනාකමකින් යුත් කහ කිලෝග්‍රෑම් 4300 ක් සහ එනසාල් කිලෝ 80 ක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු යුද හමුදාව අත්අඩංගුවට ගෙන තිබුණා.

======================================

(14.12.2020 – 11:10 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන් සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 175 දෙනෙක් කටුනායක ගුවන්තොටුපල හරහා අද (14) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

එලෙස පැමිණි අයට සෞදි අරාබියේ රියාද් සිට පැමිණි 50 දෙනෙකු සහ කටාර් සිට පැමිණි 42 දෙනෙකු ද ඇතුළත් බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

අද (14) පෙරවරු 08:30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ කටුනායක ගුවන්තොටුපලෙන් විදේශ රටවල් වෙත ගුවන් ගමන් 08 ක් පිටත්ව ගොස් ඇති අතර ඒවා මගින් 221 දෙනෙකු විදේශ රැකියා සහ අධ්‍යාපන ව්‍යාපාරික කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙනවා ෴

++++++++++++++++++++

(14.12.2020 – 12:49 +0530 – hirunews.lk/sinhala)

ලෝකයට සමානුපාතිකව ශ්‍රී ලංකාවේ කොරෝනා අවදානමද දිනෙන් දින ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (14) මේ බව කියා සිටියා.

මේ අතර, මෙරටින් ඊයේ (13) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 655 දෙනා අතරින් වැඩිම පිරිස වූ 444 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා.

ඉන් වැඩිම සංඛ්‍යාවක් වූ 156 ක් වාර්තා වූයේ බොරැල්ලෙන්. එසේම, මට්ටක්කුලියෙන් ආසාදිතයින් 53 ක්, කොම්පඤ්ඤවීථියෙන් ආසාදිතයින් 49 ක් සහ අවිස්සාවේල්ලෙන් ආසාදිතයින් 37 ක් ඊයේ (13) හඳුනාගෙන තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 75 දෙනෙකු සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 41 දෙනෙකු වාර්තා වුණා.

කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (13) හඳුනාගෙන තිබුණේ ආසාදිතයින් 19 දෙනෙකු පමණයි.

ඒ සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 29,152 ක්.

එම පිරිසෙන් 20,385 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා.

මෙරටින් මේ දක්වා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 32,790 ක් වන අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 8,845 දෙනෙකු පමණයි.

එසේම, ඊයේ (13) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ 03 ත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත රෝගී මරණ 152 දක්වා ඉහළ ගියා.

මේ අතර, වතුපිටිවල මූලික රෝහලේ 10 වන වාට්ටුවේ සේවය කළ හෙද නිලධාරීන් දෙදෙනෙකුට (2), එම වාට්ටුවේ පවිත්‍රතා අංශයේ සේවකයෙකුට සහ බාහිර රෝගී අංශයේ පවිත්‍රතා සේවකයෙකුට ද, කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එසේම, කුරුණෑගල – වැල්ලව – සීරාදුන්න ගම්මානයේ පුද්ගලයින් 18 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නාරද රණසිංහ මහතා කියා සිටියා.

පසුගියදා පැවති මල්වර උත්සවයකට එක්වූ පිරිසක් අතරින් මෙම පිරිස හඳුනාගෙන ඇති බව ප්‍රකාශ කළ ඔහු සඳහන් කළේ මේ වනවිට ප්‍රදේශයට සංචරණ සීමා පනවා ඇති බවයි.

මේ අතර, බඩල්කුඹුර අලු‍පොතගම ප්‍රදේශයේ කොරෝනා රෝගය වැළදී මියගිය 60 හැවිරිදි කාන්තාවගේ සුවදුක් බැලීම සදහා පැමිණි පුද්ගලයින්ගේ කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ ජල ටැංකිය මත නැග පුද්ගලයෙකු අද (14) විරෝධතාවක් ආරම්භ කර තිබුණේ කොරෝනා වෛරසය වැළදී මියයන පුද්ගලයන්ගේ මෘතදේහ ආදාහනය කිරීමට විරෝධය පළ කරමින්.

මේ අතර, මඩකලපුව – පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා පිටව යෑමේදී එහි තිබූ භාණ්ඩ කිහිපයක් සොරාගත් පුද්ගලයින් 04 දෙනෙකු වාලච්චේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ මෙම පුද්ගලයන් පසුගිය 12 වැනිදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටවීමේදී එහි තිබූ භාණ්ඩ කිහිපයක් සොරකම් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

මෙම පුද්ගලයන්ගෙන් තුන් දෙනෙකු (3) කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අනෙක් පුද්ගලයා මස්කෙලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සියලුම කාර්යල දුම්රිය අද (14) සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන අතර අද (14) දිනයේ දුම්රිය ගමන්වාර 206 ක් ක්‍රියාත්මක බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පිටකොටුව – මැනිං වෙළඳපොල සංකීර්ණය පෑලියගොඩ නව මැනිං වෙළඳපොලට රැගෙන යාමෙන් අනතුරුව එය අද (14) සිට තොග වෙළඳාම සඳහා විවෘත කෙරෙනවා.

මැනිං පොදු වෙළඳ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ කියා සිටියේ අද (14) දිනයේදී එළවළු තොග වෙළඳාම පමණක් සිදු කෙරෙන අතර හෙට සිට පළතුරු තොග වෙළඳාමද සිදු කෙරෙන බවයි.

[ https://www.youtube.com/watch?v=uov8WPC8uQw ]

+++++++++++++++++++++

(14.12.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු පෙර පාසල් සහ පාසල් ප්‍රාථමික අංශ විවෘත කිරීම සම්බන්ධයෙන් සති දෙකකින් තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළා.

ඒ කොළඹදී අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් :

[ https://www.youtube.com/watch?v=pcorqTWCaVg ]

+++++++++++++++++++

(14.12.2020 – 13:21 +0530 – hirunews.lk/sinhala)

අවිස්සාවේල්ල – සීතාවක අපනයන සැකසුම් කලාපයේ නව ආසාදිතයින් 41 ක් ඊයේ (13) හඳුනා ගැනීමත් සමඟ එහි සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (13) වාර්තා වූ ආසාදිතයින් හංවැල්ල – දෙහිඕවිට, ඇහැලියගොඩ සහ රුවන්වැල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශවල පුද්ගලයින් බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, ඇහැලියගොඩ ප්‍රදේශයෙන් ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 09 දෙනෙකු ඊයේ (13) හඳුනාගෙන ඇති අතර, මේ වනවිට එම ප්‍රදේශයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 250 කට ආසන්නයි ෴

++++++++++++++++++++

(14.12.2020 – 14:07 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයන් 3087 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (14) දිනයේදී නව ආසාදිතයින් 122 ක් හඳුනා ගැනීමත් සමඟයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (14) හමුවූ ආසාදිතයින් 122 දෙනාම පිරිමි රැඳවියන් බවයි.

මේ වනවිට බන්ධනාගාර ගත කර සිටින පිරිමි රැඳවියන් 2414 කට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර, කාන්තා රැඳවියන් 189 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වූ බන්ධනාගාර නිලධාරින් සංඛ්‍යාව 103 ක් ෴

++++++++++++++++++++

(14.12.2020 – 15:02 +0530 – hirunews.lk/sinhala)

සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද (14) 24,000 සීමාව ඉක්මවා ගියා.

රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ආසාදිතයින් 516 දෙනෙකු අද (14) දිනයේදී සුවය ලබා නිවෙස් වෙත පිටත්ව යෑමත් සමඟ සුවය ලැබූ සමස්තය සටහන් වන්නේ 24,309 ක් ලෙසින්.

මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 33,146 ක් වන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 8,329 ක්.

වැඩි වශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වූ උතුරු කොළඹ සහ මැද කොළඹ ප්‍රදේශවලින් ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් මේ වනවිට දක්නට ලැබෙන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කළා.

එසේම, උත්සව සමයේදී සංචරණයේ යෙදෙන්නේ නම් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව එය සිදුකරන ලෙස කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියා.

කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකදී වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනතාවට දැනුම් දුන්නේ කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව සාම්පල ලබාදීම සඳහා බිය නොවන ලෙසයි.

මේ අතර, බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,087 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අද (14) හඳුනාගත් නව ආසාදිතයින් 122 ක් සමඟයි.

එසේම, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගියේ අද (14) දිනයේදී තවත් ආසාදිතයින් 04 දෙනෙකු ඉන් වාර්තා වීමත් සමඟයි.

මේ අතර, ගාල්ල පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 14 කින් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු අද (14) දිනයේදී හඳුනාගෙන තිබෙනවා.

[ https://www.youtube.com/watch?v=TOjPHw7Q-t8 ]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *