මූලාශ්‍ර සොයා ගත නොහැකි කොරෝනා ආසාදිතයින් වාර්තා වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගෙන් හෙළිදරව්වක්

මූලාශ්‍ර සොයා ගත නොහැකි කොරෝනා ආසාදිතයින් වාර්තා වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගෙන් හෙළිදරව්වක්

*********************************************

මූලාශ්‍ර සොයා ගත නොහැකි කොරෝනා ආසාදිතයින් වාර්තා වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගෙන් හෙළිදරව්වක්

(13.12.2020 – 12:38 +0530 – hirunews.lk/sinhala)

මුලාශ්‍ර සොයාගත නොහැකි කොරෝනා ආසාදිතයින් මේ වනවිට වාර්තා වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඊයේ (12) දිනයේදී මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 760 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් වූ 397 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා.

ඒ අතර බොරැල්ලෙන් ආසාදිතයින් 60 ක්, මට්ටක්කුලියෙන් 46 ක්, දෙමටගොඩින් 36 දෙනෙකු වනවා.

ඒ අනුව කොරෝනා දෙවන රැල්ලේ ව්‍යාප්තිය ආරම්භ වූ ඔක්තෝම්බර් මස 04 වැනිදා සිට මේ දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14,107 ක්.

එසේම, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 136 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 55 දෙනෙකුද ඊයේ (12) මෙරටින් වාර්තා වූ ආසාදිතයින් අතර වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.

මේ වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 28,502 ක්.

ඊයේ (12) දිනයේ තවත් කොරෝනා මරණ 02 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 149 දක්වා ඉහළ ගියා.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 32,135 ක් වන අතර, ඉන් 23,304 ක් මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 8682 දෙනෙකු පමණයි.

මේ අතර, කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට බණ්ඩාරගම – අටලුගම ජනතාවගෙන් ලැබෙන සහය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ.

කෙසේ වෙතත්, පවතින කොරෝනා අවදානම සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යාඥයින් ජනතාව දැනුවත් කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ අතර, ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පාසලක 12 හැවිරිදි සිසුවියකට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඇය ඉගෙනුම ලැබූ පාසලේ සිසුන් 26 දෙනෙකු පමණක් අධ්‍යාපනය ලබන අතර, ඔවුන් සියලුම දෙනා නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා ප්‍රකාශ කළා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු හඳුනාගෙන ඇති බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා කියා සිටියා.

මේ වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු වාර්තා වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එසේම, ගතවූ පැය 24 ක කාලය තුළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් 594 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව කටුනායක හිරු ගුවන් තොටුපල වාර්තා සඳහන් කළා.

එම පිරිස අතර ඩුබායි සිට පැමිණි 144 දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිට පැමිණි 51 ක්, ඕස්ටේ්‍රලියාවේ සිට පැමිණි 75 ක්, මාලදිවයිනේ සිට පැමිණි 31 ක් සහ ජපානයේ සිට පැමිණි 203 දෙනෙකු වනවා.

ඔවුන් සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

මේ අතර, රජයේ ආයූර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රසාද් හෙන්දාවිතාරණ මහතා කියා සිටියේ අලුතින් හඳුන්වාදෙන ඖෂධ නියාමනයකින් යුතුව ජනතාව වෙත ගෙන යා යුතු බවයි.

[ https://www.youtube.com/watch?v=Q5sTwX000Ao ]

+++++++++++++++++++++++

(13.12.2020 – 11:04 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 594 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණ තිබෙනවා.

අද (13) පෙරවරු 08:30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ ගුවන් මෙහෙයුම් 35 ක් කටුනායක ගුවන්තොටුපල තුල සිදුකර ඇති අතර, ඉන් ගුවන් ගමන් 22 ක් මගින් ශ්‍රී ලාංකිකයින් 594 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇති බව සඳහන්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 144 දෙනෙකු, මාලදිවයිනේ සිට 31 දෙනෙකු, කටාර් සිට 51 දෙනෙකු, ඕස්ට්‍රේලියාවේ සිට 75 දෙනෙකු සහ ජපානයේ නරීටා සිට 203 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

එසේම, ගුවන් මගින් 524 දෙනෙකු ඊයේ (12) දිනයේදී විදේශ රටවල් වෙත පිටත්ව ගොස් තිබෙනවා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 489 ක් සුවය ලබා අද (13) දිනයේ රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 23,793 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවදුරටත් ආසාදිතයින් 8193 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 32,135 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 515 දෙනෙකු මේ වනවිට වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ඒ අතර බන්ධනාගාර වලින් වාර්තා වන ආසාදිතයින් 147 දෙනෙකු සිටින බවයි.

[ https://www.youtube.com/watch?v=s9kEG1cKgfg ]

=========================================

(13.12.2020 – 12:44 +0530 – hirunews.lk/sinhala)

උපරිමාධිකරණයන්හි නඩු කටයුතු ඩිජිටල් ක්‍රමයට ද සිදුකිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.

ඒ සඳහා පත් කරන ලද විශේෂ කමිටුවක් මගින් අදාළ නීති රෙගුලාසි මේ වනවිට සම්පාදනය කරමින් සිටින බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ෴

***************************************

(13.12.2020 – 12:47 +0530 – hirunews.lk/sinhala)

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 5 වනදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ පසුගියදා පැවති එම කාරක සභාවේ රැස්වීමේදී මේ බව තීරණය වූ බවයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී රජයේ මුදල් කාරක සභාවේ සාමාජික සංඛ්‍යාව වැඩිකිරීමට ද තීරණය කර තිබෙනවා.

ඒ අනුව, මේ වනවිට එම කාරක සභාවේ පවතින සාමාජිකයින් සංඛ්‍යාව 18 ක් වන අතර එය 21 දක්වා වැඩි කිරීමට නියමිතයි.

අලුතින් එක්වන සාමාජිකයින් 3 දෙනාගෙන් එක් අයෙකු ආණ්ඩු පක්ෂය නියෝජනය කිරීමට නියමිත අතර, ඉතිරි දෙදෙනා (2) විපක්ෂය නියෝජනය කරනු ඇති.

එමෙන්ම, ලබන වසරේ මුල් පාර්ලිමේන්තු රැස්වීමේදී විවාදයට ගනු ලබන කරුණු පිළිබඳව යළි වතාවක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වී තීරණයක් ගැනීමට නියමිතයි ෴

***************************************

(13.12.2020 – 13:00 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකන් ජාතික ගුවන් සේවය කොළඹ සිට සිංගප්පූරුව දක්වා මගී ගුවන් ගමන් වාර සතියකට තුන්වරක් (3) දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, එම මෙහෙයුම් ලබන 18 වනදා සිට ක්‍රියාත්මක වන බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේ.

එමෙන්ම, මැලේසියාවේ – ක්වාලාලම්පුර් සහ කොළඹ අතර සතිපතා ගුවන් මෙහෙයුම් සෑම සිකුරාදා දිනකම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම ගුවන් ගමන් කොවිඩ්-19 ගෝලීය වසංගතයට අදාල ගුවන් ගමන් සීමාවන්ට සහ අදාළ රටවල් විසින් පනවා ඇති දේශසීමා වසාදැමීම් වලට යටත්ව ක්‍රියාත්මක වනු ඇති.

ගුවන්තොටුපලේ සහ ගුවන් යානය තුළ කොවිඩ්-19 වැළැක්වීමේ සේවා සඳහා අමතර ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර, සිය මගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම උදෙසා සැමවිට ප්‍රමුඛත්වය ලබාදෙන බව ද ශ්‍රී ලංකන් ගුවන් සේවය අවධාරණය කළා.

***************************************

(13.12.2020 – 13:40 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජයේ පැවති අඩුපාඩුකම් හේතුවෙන් වඩා හොඳ අනාගතයක් වෙනුවෙන් නව පියවරක් තැබුවද තවමත් බලාපොරොත්තු ඉටුව නොමැති බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

‘සෝමහිමි ගුණ සැමරු පිංකමෙන්’ අනතුරුව මාධ්‍ය වෙත අදහහස් දක්වමින් උන්වහන්සේ මේබව සඳහන් කළා.

අපවත්වී වදාළ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ 17 වන ගුණ සැමරුම වෙනුවෙන් පිංකමක් ශ්‍රී ජයවර්ධනපුර ජයසේකරාරාමයේදී පැවැත්වුණා.

[ https://www.youtube.com/watch?v=OXhCM2cJWCY ]

***************************************

(13.12.2020 – 13:50 +0530 – hirunews.lk/sinhala)

දැනට කල් දමා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ යෝජනාව හෙට (14) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා.

දඹුල්ලේ අද (13) පැවති පොදුජන පෙරමුණු කාන්තා බල මණ්ඩලයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

පසුගියදා මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හමුවූ අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන ලෙස උපදෙස් ලබා දී තිබුණා.

[ https://www.youtube.com/watch?v=OdJyb_kGWQQ ]

***************************************

(13.12.2020 – 13:53 +0530 – hirunews.lk/sinhala)

මසැසින් ලෝකය දකින්නට බැරි මුත් මනසින් අභියෝග ජයගෙන ජීවත්වන්නට වෙර දරණ අසරණ පවුලක් පිළිබඳව අපට මාතර, ගන්දර ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඒ මාතර, ගන්දර ආරියවත්ත ප්‍රදේශයේ පදිංචි සංජීව ප්‍රියංග සහ නිල්මිණී මධුෂිකා යුවලයි.

ඔවුන් දෙදෙනාම ලෝකය දැකීමට වරම් අහිමි වූ අය වීම විශේෂත්වයක්.

32 හැවිරිදි සංජීව මහතාගේ දෑස් පෙනීම මීට වසර 7 කට පමණ ඉහතදී සම්පූර්ණයෙන්ම අහිමිව ගොස් ඇත්තේ ග්ලෝකෝමා රෝග තත්ත්වය හේතුවෙන්.

ඔහුගේ 21 හැවිරිදි බිරිඳ නිල්මිණී මධුෂිකා මහත්මියත් උපතින්ම දෑස් අන්ධ යුවතියක්.

කෙසේ වෙතත් වයස අවුරුදු 2 දී සිදුකළ ශල්‍යකර්මයකින් පසු ඇය අර්ධ වශයෙන් මෙලොව එළිය දැකීමට වරම් ලැබ තිබෙනවා.

දෑස් නොපෙනීම අභියෝගයක් කර නොගත් මේ දිරිය යුවල දිවි සරි කරගනු ලැබුවේ හඳුන්කූරු සහ ඉටිපන්දම් නිෂ්පාදනය කිරීමෙන්.

නමුත් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඔවුන්ගේ එම කර්මාන්තයටද එල්ල වී ඇත්තේ දැඩි අභියෝගයක්.

දෑස් අඳ මෙම යුවලගේ කුඩා දියණියද පසුවන්නේ අසනීප තත්ත්වයෙන්.

ඇයගේද පපුවේ සිදුරක් ඇති බවට හඳුනාගෙන ඇති අතර ඇය උපත ලබා දින 23 කට පසු ඇසේ සුද මතුවීම හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ශල්‍යකර්මයකටද භාජනය කර තිබෙනවා.

තම ස්වයං රැකියාවෙන් උපයන සුළු මුදල සහ දානපතීන්ගේ ආධාර උපකාර මත දියණියගේ ප්‍රතිකාර සිදුකරගෙන ගියත් මේ වන විට එම කටයුතුවලටද දැඩි අසීරුතා මතුව තිබෙන බවයි ඔවුන් පවසන්නේ.

විවිධ දුෂ්කරතා මැද මෙලොව එළිය දකින්නට වෙර දරන මේ අසරණ පවුලට සරණක් වීමට ඔබටත් හැකිනම් එය මහඟු පුණ්‍යකර්මයක් වන බවට සැකයක් නැහැ.

[ https://www.youtube.com/watch?v=c3pMbxvyCtw ]

***************************************

(13.12.2020 – 13:57 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යහපාලන රජය සමග එක්ව සිදුකළ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා.

[ https://www.youtube.com/watch?v=lo2TZu_tiDQ ]

***************************************

(13.12.2020 – 14:06 +0530 – hirunews.lk/sinhala)

වැසි ජලය නිසි පරිදි බැස යාමට ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් පුත්තලම පාලවිය ප්‍රදේශයේ පාසලක දරුවන් දැඩි දුෂ්කරතාවට පත්ව තිබෙනවා.

පුත්තලම පාලවිය සිංහල මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර මෙම පාසලේ ඉගෙනුම ලබන දරුවන් සංඛ්‍යාව 850 ක්.

වැසි සමයේ පාසල මෙලෙස සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී යන්නේ පාසල් භූමියෙන් පිටතට ජලය බැස යාම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැතිවීමෙන්.

මේ හේතුවෙන් පාසලේ දරුවන්ට අධ්‍යාපන කටයුතු මෙන්ම ක්‍රීඩා කටයුතු ද නිසි පරිදි කරගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා.

පාසල් භූමියේ වැසි ජලය දින ගණනක් පුරා පැවතීම හේතුවෙන් වැසිකිලි පවා උතුරා යමින් තිබෙන බව මව්පියන් පවසනවා.

මඩ ගොහොරුවක්ව පවතින පාසලේ අධ්‍යාපන කටයුතු සිදු කිරීම තවත් දුෂ්කරව පවතින්නේ පාසල් භූමියේ පවතින ගොඩනැගිලි මෙන්ම ගස් ද දැඩි අවදානම් තත්ත්වයක පැවතීම හේතුවෙන්.

දරුවන්ට අධ්‍යාපනය සේම ක්‍රීඩාව ද අත්‍යවශ්‍ය වුවද පාලවිය විදුහලේ දරුවන්ට එය සිහිනයක් බවට පත්ව තිබෙනවා.

පාසලේ දරුවන් මෙන්ම මව්පියන් ද අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ දරුවන්ගේ ඉගෙනුම් කටයුතු මෙන්ම ක්‍රීඩා කටයුතු ද කරගෙන යාමට හිතකර පරිසරයක් පාසල තුළ නිර්මාණය කරදෙන ලෙසයි.

[ https://www.youtube.com/watch?v=DSrnVsnkCl0 ]

***************************************

(13.12.2020 – 14:58 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුරය – ඉපලෝගම ඵෙතිහාසික විජිතපුර බලකොටුව පැවති බවට සැලකෙන පුරාවිද්‍යාත්මක භූමියට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 10 දෙනෙකු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් අද කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් උදිත බී.ඒකනායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මුස්ලිම් පල්ලියක් සහ ඊට යාබද සුසාන භූමිය වෙන් කිරීම සඳහා අනවසරයෙන් තාප්පයක් ඉදිකිරීමට කිසියම් පිරිසක් පියවර ගෙන තිබුණේ එහි තිබූ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත නටඹුන් විනාශවන ලෙසයි.

කෙසේ වෙතත් පුරාවිද්‍යා නටඹුන් සහිත භූමිය විනාශ කිරීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වා ඊයේ (12) දිනයේදී පුද්ගලයින් දසදෙනෙකු (10) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට අදාළ පල්ලියේ සභාපතිවරයාද අයත් වන බවයි පොලීසිය සඳහන් කළේ ෴

***************************************

(13.12.2020 – 17:01 +0530 – hirunews.lk/sinhala)

කල්ලාරු තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී රුපියල් කෝටියකට අධික කහ තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් තුන්දෙනෙකු (3) නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (13) අලුයම කල්ලාරු තුඩුවේ සිට සැතපුම් 27 ක් මුහුදු සීමාවේදී ඉන්දීය යාත්‍රාවකින් අදාළ කහ තොගය මෙරටට රැගෙන එමින් තිබියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එම යාත්‍රාවේ තිබී කහ කිලෝ 2404 යි ග්‍රෑම් 300 ක් සොයා ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් තුන්දෙනා (3) 37, 40 සහ 49 හැවිරිදි වයස්වල පසුවන්නන් ෴

***************************************

(13.12.2020 – 20:32 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යහපාලන රජය සමග එක්ව සිදුකළ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා.

[ https://www.youtube.com/watch?v=5GRsbRmAKKA ]

***************************************

(13.12.2020 – 22:30 +0530 – hirunews.lk/sinhala)

යළි හිස එසවූ සේනා දළඹු උවදුර බඩඉරිඟු වගාවට අමතරව ප්‍රදේශ කිහිපයක තල, කුරක්කන් සහ රටකජු වගාවටද ව්‍යාප්ත වී ඇතැයි අද (13) වාර්තා වුණා.

ඒ අනුව ගොවීන් රජයෙන් ඉල්ලා සිටින්නේ තම වගා හානී වෙනුවෙන් කිසියම් වන්දි මුදලක් ලබාදෙන ලෙසයි.

සේනා දළඹු උවදුර යළි මෙරට තුළ හිස ඔසවමින් පවතින බවට අප හිරු ප්‍රවෘත්ති හරහා අනාවරණ කළේ එප්පාවල, ගලෙන්බිදුණුවැව, කරුවලගස්වැව, දඹුල්ල, අනුරාධපුරය, පොතුවිල්, ලග්ගල සහ ගල්ගමුව යන ප්‍රදේශවලින් වාර්තා වූ වගා හානි පිළිබඳවද පෙන්වා දෙමින්.

මේ වනවිට තවත් පළාත් රැසකටම සේනා දළඹුවන් ව්‍යාප්තව ඇති බවට කෘෂිකර්ම බලධාරීන් සඳහන් කරනවා.

ඒ අනුව බකමූණ සහ දිඹුලාගල ප්‍රදේශවලින්ද සේනා දළඹු උවදුර පිළිබඳව අද (13) වාර්තා වුණා.

සේනා දළඹු ආක්‍රමණයට ලක්ව ඇති පොළොන්නරුව , බකමූණ ගඟේ යාය ප්‍රදේශයේ ජනතාව සිය වගාවන් ආරක්ෂා කර ගැනීම සදහා පලිබෝධනාශක ඉසින ආකාරයද දක්නට ලැබුණා.

මේ, සේනා උවදුරට ලක්වු බකමූණ ගඟේ යාය ප්‍රදේශයේ ගොවීන්ගේ රට කජු වගාව ගලවා විනාශ කරන අයුරුයි.

මේ අතර, දිඹුලාගල ප්‍රදේශයේ බඩඉරිඟු වගාවද සේනා දළඹු උවදුර හේතුවෙන් විනාශ වී තිබෙනවා.

එම ප්‍රදේශයේ බඩබරිඟු වගාවට මෙන්ම කුරක්කන් සහ තල වගාවටද සේනා දළඹුවා ව්‍යාප්ත වී ඇති අයුරුයි මේ.

[ https://www.youtube.com/watch?v=3D80_UE3SFY ]

***************************************

(13.12.2020 – 22:37 +0530 – hirunews.lk/sinhala)

විවිධ වර්ණවලින් යුත් උල්කාපාත වර්ෂාවක් අද සහ හෙට ලෝකවාසී ජනතාවට දැක ගැනීමට හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ අභ්‍යාවකාශ හා තාරකා විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ ග්‍රහ සුසංයෝගයක්ද ලබන 21 වැනිදා දර්ශනය වනු ඇති බවයි.

‘ජෙමිනිඩ්’ ලෙස නම් කර ඇති මෙම උල්කාපාත වර්ෂාව ජෙමිනි හෙවත් මිථුන තාරකා රාශිය දෙසින් නිරීක්ෂණය කළ හැකි වනවා.

මෙම උල්කාපාත වර්ෂාව සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ උල්කාපාත වර්ෂාවන්හී රජ දැක්ම ලෙසයි.

එය ඉතාමත් දර්ශනීය ලෙස දැකගත හැකිවීම ඊට හේතුවී තිබෙනවා.

ඒ අනුව පැයකට කඩාවැටෙන උල්කා සංඛ්‍යාව 120 ක් පමණ වනු ඇති බවයි අනුමාන කෙරෙන්නේ.

මෙම උල්කාපාත වර්ෂාව අද (13) රාත්‍රියේත් හෙට (14) අලුයම් කාලයේත් වඩාත් හොඳින් දර්ශනය වනු ඇති අතර එය පියවි ඇසින් වඩාත් පැහැදිලිව නැරඹීමේ හැකියාව පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ අභ්‍යාවකාශ හා තාරකා විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළා.

මේ අතර සෞරග්‍රහ මණ්ඩලයේ විශාලත්වයෙන් වැඩිම ග්‍රහලෝක දෙක වන බ්‍රහස්පති සහ සෙනසුරු ගහයන්ගේ ග්‍රහ සුසංයෝගයක් එළඹෙන 21 වැනිදා ලෝකවාසී ජනතාවට දැක බලාගැනීමේ අවස්ථාව හිමිවන බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවා.

ඉතා විරල අවස්ථාවක් වන මෙම ග්‍රහ සුසංයෝගය අවසන්වරට සිදුවී ඇත්තේ ක්‍රි.ව. 1623 වර්ෂයේ ජූලි මස 16 වැනිදායි.

නැවතත් මෙම විරල අවස්ථාව උදාවන්නේ 2080 දී බවටයි විද්‍යාඥයින් මත පළ කරන්නේ.

[ https://www.youtube.com/watch?v=4ZgprR3BlZI ]

=======================================

(13.12.2020 – 18:05 +0530 – hirunews.lk/sinhala)

හෙට (14) උදෑසන 5 සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව, වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස, කෙරවලපිටිය ග්‍රාම නිලධාරි වසමේ නයිදූව ප්‍රදේශය සහ වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරි වසමේ දූවේ වත්ත ප්‍රදේශය මෙන්ම, කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය උතුර ග්‍රාම නිලධාරි වසමේ වැදිකන්ද ප්‍රදේශය, මෙලෙස හුදකලා කෙරෙනු ඇති.

එසේම, නිට්ටඹුව පොලිස් වසමේ තිහාරිය උතුර සහ තිහාරිය නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම් මෙන්ම, වාරණ පන්සල පාර, කත්තොට පාර සහ හිද්‍රා මාවත මෙලෙස හුදකලා කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, වේගන්ගල්ල නැගෙනහිර සහ බටහිර ග්‍රාම නිලධාරි වසම් සහ කුඩා හීනටියන්ගල ග්‍රාම නිලධාරි වසමේ මරික්කාර් වීථිය ද හෙට (14) අලුයම 5 සිට හුදකලා කෙරෙනවා.

මීට අමතරව, හෙට (14) අලුයම 5 සිට ප්‍රදේශ කිහිපයක හුදකලාභාවය ඉවත් කිරීමට ද නියමිතයි.

ඒ අනුව සිරිසඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය, සිරිමුතු උයන, ලක්හිරු සෙවණ දුම්රිය මහල් නිවාස සහ සිරිසර උයන මෙලෙස හුදකලා බවින් ඉවත් කෙරෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, වත්තල – කෙරවළපිටිය ග්‍රාම නිලධාරි වසම, හේකිත්ත ග්‍රාම නිලධාරි වසම, කුරුදුහේන ග්‍රාම නිලධාරි වසම, ඇවරිවත්ත ග්‍රාම නිලධාරි වසම සහ වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරි වසම හුදකලාභාවයෙන් ඉවත් කෙරෙනවා.

ඊට අමතරව, පෑලියගොඩ පොලිස් වසමේ පට්ටිය උතුර ග්‍රාම නිලධාරි වසමේ ද හුදකලාභාවය හෙට (14) අලුයම 5 සිට ඉවත් කෙරෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව, මෝදර, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, ආදුරුප්පු වීදිය, වේල්ල වීදිය, කෙසෙල්වත්ත, මාලිගාවත්ත, දෙමටගොඩ, මරදාන පොලිස් වසම් සහ, කොම්පඤ්ඤ වීදිය – වෑකන්ද , බොරැල්ල – වනාතමුල්ල, වැල්ලම්පිටිය – සාලමුල්ල ග්‍රාම නිලධාරි වසම් සහ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය, මට්ටක්කුලිය -ෆර්ගසන් පාරේ දකුණු කොටස, කොම්පඤ්ඤවීදියේ – හුණුපිටිය ග්‍රාම සේවා වසම, කුරුඳුවත්ත පොලිස් වසමේ හැටේ වත්ත යන ප්‍රදේශවල තවදුරටත් හුදකලාභාවය ක්‍රියාත්මකයි.

එමෙන්ම, පෑලියගොඩ – පෑලියගොඩවත්ත, ගඟබඩ, මීගහවත්ත සහ කිරිබත්ගොඩ – වෙලේගොඩ උතුර යන ග්‍රාම සේවා වසම් ද , මීගමුව – තලදූව ග්‍රාම නිලධාරි වසමේ එම් සී නිවාස සංකීර්ණය සහ වේයන්ගොඩ පොලිස් වසමේ හිරිපිටිය දකුණ ග්‍රාම නිලධාරි වසමේ නිදහස් මාවත යන ප්‍රදේශ තවදුරටත් හුදකලා කර පවතිනවා.

මේ අතර, ආසාදිතයින් 489 දෙනෙකු අද (13) දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ සම්පූර්ණයෙන්ම සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගිය කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 23,793 දක්වා ඉහළ ගියා.

එසේම, අද (13) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 515 දෙනෙකු හඳුනාගත් අතර, ඔවුන්ගෙන් 147 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 32,650 ක් වන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 8,708 ක්.

ඔක්තෝම්බර් 04 වැනිදායින් පසු මෙරටින් වාර්තා වූ කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාවක් මේ වනවිට වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 14,107 ක්.

එසේම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 7,451 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1,804 ක් එම කාලය තුළ වාර්තා වී තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 1,033 ක්.

යාපනය – උඩුවිල් ප්‍රදේශයේ 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් උඩුවිල් අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට පියවර ගත් බව උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාර්ල්ස් මහත්මිය ප්‍රකාශ කළා.

මේ අතර, සීතාවක අපනයන සැකසුම් කලාපයේ පිහිටි කර්මාන්ත ශාලා තුනකින් (3) තවත් කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වූ අතර, ඔවුන් ඇහැලියගොඩ, කුරුවිට, ගැටහැත්ත, දෙහිඕවිට සහ බුලත්කොහුපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් :

[ https://www.youtube.com/watch?v=SCl0cb7F2UI ]

[ https://www.youtube.com/watch?v=s9kEG1cKgfg ]

++++++++++++++++++

මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන දේශීය ඖෂධ විද්‍යාත්මක පදනමක් හරහා ඉදිරිපත් විය යුතු බවත්, එසේ නොවුනහොත් භයානක ප්‍රතිඵල නිර්මාණය විය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

[ https://www.youtube.com/watch?v=g6XXClH-m30 ]

+++++++++++++++++++++

(13.12.2020 – 22:45 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා වෛරස් ආසාදිත මරණ 152 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (13) දිනයේදී තවත් මරණ තුනක් වාර්තාවීමත් සමගයි.

මියගොස් ඇත්තේ කොළඹ 10 සහ වත්තල යන ප්‍රදේශයවල පදිංචි කාන්තාවන් දෙදෙනෙක් සහ මාතලේ ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙක්.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *