දිනෙන් දින විනාශ වන පුරාවිද්‍යා නටඹුන්

දිනෙන් දින විනාශ වන පුරාවිද්‍යා නටඹුන්

*********************************************

දිනෙන් දින විනාශ වන පුරාවිද්‍යා නටඹුන්

(12.12.2020 – 13:41 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික යාපහුව රාජධානී සමයට අයත් කිරි ඉතුරුම් මැඩිල්ල ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් නටඹුන් විනාශයක් සිදුව තිබෙනවා.

අදාළ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ප්‍රකාශකළේ මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුත්තන් දැනුවත් කළද මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි.

***************************************

(12.12.2020 – 12:48 +0530 – hirunews.lk/sinhala)

සේනා දළඹු ව්‍යාප්තිය බඩඉරිඟු වගාවට අමතරව කුරක්කන් වගාවට ද ව්‍යාප්ත වී ඇති බව ගොවීන් පවසනවා.

මාතලේ – ලග්ගල ප්‍රදේශයේ කුරක්කන් වගාව සඳහා සේනා දළඹු උවදුර ව්‍යාප්ත වී ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

දැනට සේනා දළඹු උවදුර දිවයිනේ උතුරුමැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලට බලපා ඇති අතර, මේ හේතුවෙන් බඩඉරිඟු වගාවන් රැසකට හානි වී තිබෙනවා.

පසුගිය වසරේ ද සේනා දළඹු උවදුරෙන් බඩඉරිඟු ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්වූ අතර, ඇතැම් ගොවීන් සිය වගාවන් ගිනි තැබීමට ද පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත් එවන් පසුබිමකයි බඩඉරිඟු වගාවට අමතරව කුරක්කන් වගාවට ද සේනා දළඹු උවදුර බලපා ඇත්තේ.

කෙසේ වෙතත්, බඩඉරිඟු වගාව සඳහා සේනා දළඹු ව්‍යාප්තිය සිදුවුවද ගොවීන් ඒ සඳහා කිසිදු බියක් ඇතිකර නොගත යුතු බවයි මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණායතනය සඳහන් කළේ.

***************************************

(12.12.2020 – 12:57 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජය සමයේ අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා එවකට කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරුන් සතු සමාගම්වලට අධික මිල ගණන් යටතේ කොන්ත්‍රාත් ලබාදීමෙන් විශාල මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කඩවත සිට මීරිගම දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සොයාබැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (11) එක්වෙමින්.

***************************************

(12.12.2020 – 13:05 +0530 – hirunews.lk/sinhala)

වැලිමැස්සාගෙන් ව්‍යාප්ත වන ලිස්මනයිසිස් නම් චර්ම රෝගය හේතුවෙන් අනුරාධපුරය, කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ජනතාවගේ සෞඛ්‍යයට බලපෑම් එල්ලවී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.

ලෝකයේ රටවල් 97 ක පමණ ව්‍යාප්තව පවතින ලිස්මනයිසිස් චර්ම රෝගය වැළඳුණු 500 දෙනෙකු පමණ මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සොයාගෙන ඇති බව ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ තේජන සෝමතිලක මහතා කියා සිටියා ෴

***************************************

(12.12.2020 – 13:20 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 41 ක් වැය කර අධිකරණ අමාත්‍යාංශය පෞද්ගලික ගොඩනැගිල්ලකට ගෙන යෑමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව අද (12) ජනතා නීතීඥ සංගමය විරෝධතාවක නිරතවුණා.

ඒ, අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදියි.

ඒ සඳහා සිවිල් සංවිධාන ඇතුලු පිරිසක් එක්ව සිටි අතර, ඔවුන් පෙන්වා දෙන්නේ අධිකරණ අමාත්‍යාංශය අසළ නව ගොඩනැගිල්ලක් ඉදිකර තිබියදී මෙලෙස පෞද්ගලික ආයතනයකට අධිකරණ අමාත්‍යාංශය රැගෙන යාමට තීරණය කර ඇති බවයි.

මේ අතර, නීතිපති දෙපාර්තමේන්තුව අද (12) දිනයේදී අධිකරණ අමාත්‍යාංශය ආසන්නයේ පවතින නව ගොඩනැගිල්ලක ස්ථාපිත කර ඇති අතර, ඒ අනුව එහි වැඩ කටයුතු ලබන සඳුදා (14) සිට ආරම්භ කරන බවයි නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ.

***************************************

(12.12.2020 – 13:35 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා සම්මත වූ අය වැය මගින් රටේ කිසිදු ගැටලුවකට පැහැදිලි පිළිතුරක් ලබා දී නැතැයි විපක්ෂය චෝදනා කරනවා.

කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂය පවසන්නේ කොවිඩ් තත්ත්වය අතිරේක අභියෝගයක් ලෙස භාර ගනිමින් රට ඉදිරියට මෙහෙයවීම අයවැයේ අරමුණ බවයි.

මේ අය වැය සම්බන්ධයෙන් පළ වූ පක්ෂ විපක්ෂ අදහස් කිහිපයක්.

***************************************

(12.12.2020 – 13:59 +0530 – hirunews.lk/sinhala)

ගල්ගමුව, මීගලෑව, හුරිගස්වැව, රාජාංගනය, පැරකුම්පුර ආදී ප්‍රදේශ රැසක ජන ජීවිතවල සෞඛ්‍ය රැක ගැනීමට අනුරාධපුර තඹුත්තේගම මූලික රෝහලෙන් ඉටු වන්නේ අමිල මෙහෙයක්.

උතුරුමැද පළාතේ ජනතාවට එල්ල වී ඇති දැඩි සෞඛ්‍ය තර්ජනයක් බවට වකුගඩු රෝගය පත්ව තිබෙන්නේ කලක සිටයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන තඹුත්තේගම රෝහලට මීට වසර 4 කට පමණ පෙර වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කෙරුණේ ජනතා සුබසිද්ධිය අරමුණු කරගනිමින්.

නමුත් මේ වනතුරුත් අදාළ ඒකකය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවයකටයි.

වකුගඩු ඒකකය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මිනිස් ශ්‍රමය නොමැතිවීම ඊට ප්‍රධාන හේතුවයි.

***************************************

(12.12.2020 – 16:18 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩට රැගෙන ගිය මැනිං වෙළඳපලේ කටයුතු ලබන සඳුදා නව වෙළඳ සංකීර්ණයේ සිට ආරම්භ කරන නමුත් එහි වෙළඳාම් කටයුතු සිදුකරන්නේ පස්වරු හතරේ (4) සිට රාත්‍රී 12 දක්වා පමණක් බව මැනිං පොදු වෙළඳ සංගමය ප්‍රකාශ කළා.

එම කටයුතු ද තොග වෙළඳාම සඳහා පමණක් සීමාවන බවයි එහි සභාපති ලාල් හෙට්ටිගේ මහතා කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ෴

***************************************

(12.12.2020 – 16:30 +0530 – hirunews.lk/sinhala)

තාවකාලික සංචාරක වෙළඳුන්ට නගරයේ වෙළඳාම් කිරීමට ඉඩ ලබාදීමට විරෝධය පළ කරමින් හලාවත නගරයේ සියලු වෙළඳසැල් වසා දමා වෙළඳුන් අද (12) පෙරවරුවේ විරෝධතාවක නිරතවුණා.

මෙහිදී විරෝධතාකරුවන් හලාවත නගරයේ පෙළපාලියකද නිරතවූ අතර, විරෝධතාව පැවැත්වුණේ හලාවත නගර සභාව ඉදිරිපිටදියි.

එහිදී අදහස් දැක්වූ හලාවත වෙළඳ සංගමයේ සභාපති ජාන්ස් සමරනායක මහතා කියා සිටියේ බදු ගෙවන වෙළඳුන් අසරණව සිටියදී පුද්ගලයින් කිහිපදෙනෙකුට තාවකාලික වෙළඳාම් කිරීමට නගර සභාව අවසර ලබාදීම අසාධාරණ බවයි.

එම ස්ථානයට හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර මහතා ඇතුලු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් ද පැමිණි අතර සභාපතිවරයා සඳහන් කළේ මේ සඳහා තමන් අවසර ලබාදුන් නමුත් මේ වනවිට එය අවලංගු කර ඇති බවයි ෴

============================================

(12.12.2020 – 13:16 +0530 – hirunews.lk/sinhala)

මෙතෙක් හුදෙකලා කර තිබූ කොළඹ මහල් නිවාස සංකීර්ණ 6 ක් හුදෙකලාභාවයෙන් අද (12) සිට ඉවත් කෙරුණා.

ඒ, මාස දෙකකට (2) ආසන්න කාලයකට පසුවයි.

ඒ අනුව මට්ටක්කුලිය – රන්දිය උයන, මෝදර – මෙත්සඳ සෙවන සහ මිහිජය සෙවන යන නිවාස සංකීර්ණ මෙන්ම ග්‍රෑන්ඩ්පාස් මෝදර උයන සහ සමගිපුර නිවාස සංකීර්ණ, දෙමටගොඩ මිහිදුසෙන්පුර නිවාස සංකීර්ණද හුදෙකලාභාවයෙන් ඉවත් වනවා.

එහෙත් මීට පෙර හුඳකලා කෙරුණු නිවාස සංකීර්ණ 7 ක තවදුරටත් එම හුදකලාභාවය ක්‍රියාත්මක වනු ඇති.

කොරෝනා වෛරසයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟ අදාළ මහල් නිවාස හුදකලා කිරීමටයි පියවර ගැනුනේ.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත එම ජනතාවගේ ජන ජීවිතය යථාවත් කිරීම සඳහා මහල් නිවාස ආශ්‍රිත කොරෝනා රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ පුළුල් කෙරුණු අතර, සෑම මහල් නිවාසයකම එක් ගෘහ ඒකකයකින් පුද්ගලයෙකු බැගින් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කළා.

එම පරීක්ෂණවලට භාජනය කළ මහල් නිවාස හයකින් (6) පමණක් කොරෝනා ආසාදිතයන් 264 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රෑන්ඩ්පාස්, ආදුරුප්පු වීථිය, වේල්ල වීථිය, කෙසෙල්වත්ත, මාලිඟාවත්ත, මරදාන, දෙමටගොඩ සහ කොටහේන යන පොලිස් බල ප්‍රදේශ මෙන්ම වෑකන්ද, වනාතමුල්ල, සාලමුල්ල, හුණුපිටිය, හැටේ වත්ත, කෝකිලා පාර යන ග්‍රම සේවා වසම් තවදුරටත් හුදකලා කර තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ කෙරවලපිටිය, හේකිත්ත, කුරුදුහේන, ඇවරියවත්ත, වැලිකඩමුල්ල, පෑලිගොඩවත්ත, ගගබඩ, මීගහවත්ත, පට්ටිය උතුර, වෙල්ගොඩ උතුර යන ග්‍රාමසේවා වසම් සහ තලාදූව කම්කරු නිවාස සංකීර්ණය ද තවදුරටත් හුඳකලා තත්ත්වයේ පවතින බවයි කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මීට අමතරව කළුතර, මහනුවර, පුත්තලම, අම්පාර සහ මාතර දිස්ත්‍රික්කවල පොලිස් වසම් සහ ග්‍රාමසේවා වසම් කිහිපයක් ද දැනට හුදකලා තත්ත්වයේම පවතිනවා.

+++++++++++++++++++

(12.12.2020 – 14:09 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පනවා ඇති ගිනිගත්හේන – කෙනිල්වත්ත – බ්ලැක්වෝටර් වතුයායේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මීට පෙර එම වතු යායෙන් ආසාදිතයින් 35 ක් හමුවී ඇති අතර, වතු කම්කරුවන් 800 දෙනෙකුගෙන් 475 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති බව සඳහන්.

ඒ අනුව ගිනිගත්හේන – කෙනිල්වත්ත – බ්ලැක්වෝටර් වතුයායෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 47 දෙනෙකු හමුව තිබෙනවා.

සංචරණ සීමා පනවා ඇති එම වතුයායේ කටයුතු යුද හමුදාව සහ පොලීසිය දැඩි ආරක්ෂාව යටතේ සිදුවන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++

(12.12.2020 – 14:26 +0530 – hirunews.lk/sinhala)

මිලියන 16 කට අධික වටිනාකමකින් යුත් වෙන්ටිලේටර්, පී.සී.ආර්. කට්ටල ඇතුළු සෞඛ්‍ය උපකරණ තොගයක් චීනයේ බිජීං මහ නගර සභාව විසින් කොළඹ මහනගර සභාවට ප්‍රදානය කර තිබෙනවා.

කටාර් ගුවන් සේවයට අයත් යානයකින් එම සෞඛ්‍ය උපකරණ තොගය අද (12) මෙරටට එවා ඇති අතර, තවත් සෞඛ්‍ය උපකරණ තොගයක් අනිද්දා සහ ලබන 17 වන දින දිවයිනට ලැබීමට නියමිත බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.

ෂැංහයි, චෙංඩු සහ තායිපේ නගර සභාවලින්ද ඉදිරියේදී කොළඹ මහ නගර සභාවට අවශ්‍ය කොරෝනා මර්දනයට අවශ්‍ය උපකරණ ලබාදීමට සැළසුම් කර ඇති බව එහි සඳහන් ෴

++++++++++++++++++++

(12.12.2020 – 15:14 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 473 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සමස්ත සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව අද (12) 23,000 ඉක්මවා ගියා.

ඒ අනුව මේ වනවිට සුවය ලැබූ සමස්ත ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 23,304 ක් ලෙසයි.

කෙසේ වෙතත් තවදුරටත් ආසාදිතයන් 7,924 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 31,375 ක් ෴

මෙතෙක් දෛනිකව සිදුකළ වැඩිම පී.සී.ආර්. සහ ‘ඇන්ටිජන් පරීක්ෂණ’ සංඛ්‍යාව ඊයේ (11) දිනයේදී සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.

අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ඊයේ (11) දිනයේදී පමණක් පරීක්ෂණ 17,000 කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති බවයි ෴

කොරෝනා වෛරසය හේතුවෙන් ගුවන් තොටුපල වසා දැමීමෙන් පසු මේ දක්වා කාලය තුළ විදෙස්ගතව රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 56,600 ක් පමණ මෙරටට ගෙන්වා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ ෴

++++++++++++++++++++

(12.12.2020 – 18:35 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 632 ක් හමුවී තිබෙනවා.

ඉන් 81 දෙනෙකු බන්ධනාගාර තුලින් හමුවී ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේ.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 32007 ක්.

ඉන් 8556 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 23,304 ක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 147 ක් ෴

+++++++++++++++++++++++

(12.12.2020 – 19:12 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව නැවත ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා ලබන 26 වනදා සිට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

එහි සභාපති උපුල් ධර්මදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කටුනායක, මත්තල, යාපනය සහ මඩකලපුව යන ගුවන් තොටුපළ වෙත වාණිජමය ගුවන් යානා (Commercial Flights) සහ ස්ථිර කාළ සටහනකින් තොරව ගමන් ගන්නා (Charter Flights) ගුවන් යානා සදහා සිය මෙහෙයුම් කටයුතු කිරීමට මේ අනුව අවසර හිමි වීමට නියමිත බවයි.

එහිදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් පසුව නිකුත් කිරීමට නියමිතයි.

එමෙන්ම මෙලෙස යළිත් ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා ශ්‍රී ලංකාව යළි විවෘත කිරීම පිළිබඳ ස්ථිර දින වකවානු ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *