සහරාන් හෂීම් ගැන ඔත්තුව දුන් නුවරඑළියේ තොරතුරුකරුගේ හෙළිදරව්ව

සහරාන් හෂීම් ගැන ඔත්තුව දුන් නුවරඑළියේ තොරතුරුකරුගේ හෙළිදරව්ව

*********************************************

සහරාන් හෂීම් ගැන ඔත්තුව දුන් නුවරඑළියේ තොරතුරුකරුගේ හෙළිදරව්ව

(11.12.2020 – 22:05 +0530 – hirunews.lk/sinhala)

සහරාන් හෂීම් ඇතුළු පිරිසක් නුවරඑළියේ ලැඟුම්හලක සිටින බව තමන් පොලිසියට දැනුම් දුන්නද ඒ සම්බන්ධයෙන් කිසිවක් හෙළි නොකරන ලෙසට නුවරඑළිය පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙකු පාස්කු ප්‍රහාරයෙන් පසුව තමන්ට තර්ජනය කළ බව එම තොරතුරුකරු අද (11) ජනාධිපති කොමිසමේදී හෙළි කළා.

ඒ, ස්කයිප් තාක්ෂණය ඔස්සේ ජනාධිපති කොමිසම සමග සම්බන්ධවෙමින්.

නුවරඑළිය, ශාන්තිපුර ප්‍රදේශයේ පිහිටි තක්ෂිල නම් ලැගුම්හලේ සහරාන් හෂීම් ඇතුළු කන්ඩායමක් අවස්ථා 2 කදී පමණ රැඳී සිට ඇති අතර ඒ ආසන්නයේ පිහිටි නිවසක පදිංචි වී සිටින ඩී.ටී. ඉලේසිංහ මහතා විසින් සැකකටයුතු පුද්ගලයින් පිරිසක් මෙලෙස රැඳී සිටින බව නිරීක්ෂණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් තමන් නුවරඑළිය පොලිසියට 2018 වසරේ මැයි මස 05 වැනිදා දැනුම් දුන් බව ජනාධිපති කොමිසම සමඟ ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් සාක්ෂිකාර ඉලේසිංහ මහතා සඳහන් කළා.

***************************************

(11.12.2020 – 20:05 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ – කොටදෙණියාව ප්‍රදේශයේ කළුගල් කොරියකට අවසර ලබාදීමට භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පියවර ගෙන ඇති බවට පවසමින් ප්‍රදේශවාසීන් අද (11) දියගම්පොල ප්‍රදේශයේදී විරෝධතාවක නිරතවුණා.

ඉකුත් මාසයක කාලය තුළ මෙම කළුගල් කොරිය හේතුවෙන් පුද්ගලයින් හයදෙනෙකු (6) මියගොස් ඇති බවයි විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ.

විරෝධතාව පැවති ස්ථානයට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් ද පැමිණි අතර, එම අවස්ථාවේ උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස් සහ නිලධාරීන් අතර උණුසුම් සංවාදයක් ද ඇතිවුණා ෴

***************************************

(11.12.2020 – 20:47 +0530 – hirunews.lk/sinhala)

අපවත්වී වදාළ නෙදර්ලන්ත ජාතික හිමිනමගේ දේහය අද (11) රත්ගම, කිරිමැටිය සුසාන භූමියේදී භුමදාන කෙරුණා.

ඒ, පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඊට අදාළව විවෘත තීන්දුවක් ලබාදී තිබීම හේතුවෙන්.

උන්වහන්සේගේ දේහය පසුගියදා සොයා ගනු ලැබුවේ රත්ගම කලපුවේ පාවෙමින් තිබියදීයි.

***************************************

(11.12.2020 – 21:44 +0530 – hirunews.lk/sinhala)

2021 අයවැය සම්මත වීමත් සමඟ මෙරට ජනතාවට සහන රැසක් හිමිවීමට නියමිතයි.

මෙම සහන ලබා දීම සඳහා මුදල් ඉපයීමට රජයට ඇති වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් අපි අද (11) විමසා බැලීමක් සිදු කළා.

***************************************

(11.12.2020 – 22:45 +0530 – hirunews.lk/sinhala)

වාහන ආනයනයට පනවා ඇති තහනම ලබන වසර තුළත් ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

මේ අතර 2021 අයවැය සම්මත වීමත් සමඟ මෙරට ජනතාවට සහන රැසක් හිමිවීමට නියමිතයි.

මෙම සහන ලබා දීම සඳහා මුදල් ඉපයීමට රජයට ඇති වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් අපි අද විමසා බැලීමක් සිදු කළා.

***************************************

(12.12.2020 – 07:57 +0530 – hirunews.lk/sinhala)

වේවැල්දෙණිය – තිත්තවැල්මංකඩදෙණිය ප්‍රදේශයේ වෙළඳසැලක් අසළදී ඉතා අමානුෂික අන්දමින් පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධිය පිළිබඳව හිරු ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා කිරීමත් සමඟ එම පහරදීම සිදුකළ තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළා.

පහරකෑමට ලක්වූ 23 හැවිරිදි තරුණයා තිත්තවැල්මංකඩදෙණිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

***************************************

(12.12.2020 – 08:07 +0530 – hirunews.lk/sinhala)

යළිත් බඩඉරිඟු වගාව සඳහා සේනා දළඹු ව්‍යාප්තිය සිදුවුවද ගොවීන් ඒ සඳහා කිසිදු බියක් ඇතිකර නොගත යුතු බව මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණායතනය පවසනවා.

මේ අතර ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ වගා කර ඇති හෙක්ටයාර විසි දහසකට (20,000) වැඩි බඩඉරිඟු වගාවක් ද සේනා දළඹු උවදුර හේතුවෙන් විනාශ වී ඇති බවයි ගොවීන් සඳහන් කළේ.

අම්පාර දිස්ත්‍රික්කයෙන් මෙන්ම තවත් ප්‍රදේශ රැසකට මෙම උවදුරෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, එප්පාවල – නල්ලමුදාව සහ කරුවලගස්වැව – මූණමල්ගස්වැව යන ප්‍රදේශවල ගොවීන් සඳහන් කළේ මේ හේතුවෙන් අක්කර 250 කට වැඩි බඩඉරිඟු වගාවක් විනාශ වී ඇති බවයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වනවිට උතුරුමැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලින් සේනා දළඹු උවදුර වාර්තා වී ඇති බවයි.

මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂිකා නිශාන්ති ගුණවර්ධන මහත්මිය කියා සිටියේ සේනා දළඹු ව්‍යාප්තිය සිදුවුවද යළිත් බඩඉරිඟු වගා කිරීම සඳහා ගොවීන් කිසිදු බියක් ඇති කර නොගත යුතු බවයි ෴

***************************************

(12.12.2020 – 08:10 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා සමයේ උසස් පෙළ විභාගයේ රාජකාරි සඳහා පැමිණි ගුරු භවතුන්ට ලබාදිය යුතු ගමන් වියදම් දීමනාව විභාග දෙපාර්තමේන්තුව මෙතෙක් ගෙවා නොමැති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.

කොළඹ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා මේ බව කියා සිටියේ ෴

***************************************

පුරාවිද්‍යාත්මක නටඹුන්වලට හානිකරමින් ඉදි වූ තාප්පය

(11.12.2020 – 21:03 +0530 – sinhala.adaderana.lk)

ඓතිහාසික විජිතපුර බලකොටුව සීමාවට අයත් ප්‍රදේශයක පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක නටඹුන්වලට දැඩි හානි පමුණුවමින් මුස්ලිම් පල්ලියක තාප්පයක් ඉදිකර ඇති බව වාර්තා වේ.

අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලය පැවසුවේ සිය අවසරයකින් තොරව අදාළ තාප්පය ඉදිකිරීමට එම පල්ලිය කටයුතු කර ඇති බවය.

අනුරාධුපර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අලහප්පෙරුමාගම පිහිටි මුස්ලිම් පල්ලියේ තාප්පයක් ඉදිකිරීමට කටයුතු කර ඇත්තේ මීට දින කිහිපයකට පෙරය.

එම ප්‍රදේශය විජිතපුර බලකොටුවට අයත් බවට පැවසෙන අතර අදාළ තාප්පයේ ඉදිකිරීම් හේතුවෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක නටඹුන්වලට දැඩි හානි සිදුව තිබේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ මුස්ලිම් පල්ලිය සහ ඊට යාබදව පිහිටි සුසාන භූමිය වෙන් කරමින් අදාළ තාප්පයේ ඉදිකිරීම් සිදුකර ඇති බවය.

අදාළ ප්‍රදේශවල ඉදිකිරීම් සිදුකිරීමේදී අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලයේ අවසරය මත සිදුකළ යුතු බවට දැනුම් දී තිබුණද එම ඉදිකිරීම සිදුකර ඇත්තේ එවැනි අවසරයකින් තොරවය.

එමඟින් සිදුව ඇති හානිය පිළිබඳ පූර්ණ වාර්තාවක් මේ වන විටත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර ඇති බව අනුරාධපුර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් ඉපලෝගම පොලීසියට මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද දැනුම් දී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

කෙසේවෙතත් අප කළ විමසීමකදී ඉපලෝගම පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන බවත් මේ දක්වා කිසිවෙක්ව අත්අඩංගුවට ගෙන නොමැති බවත්ය.

මෙම තාප්පය ඉදිකිරීම සඳහා ඩෝසර් කර ඇති ප්‍රදේශයට යාබදව විජිතපුර බලකොටුවට අයත් බැලුම්ගල නම් පුරාවිද්‍යා ස්ථානයද පිහිටා තිබේ.

එම බැලුම්ගල පුරාවිද්‍යා භූමියද 2017 වසරේ දී සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ නිවාස ව්‍යාපෘතියකට ඩෝසර් යොදා එළිකිරීම නිසා එහි නටඹුන් රැසකට හානි සිදුවුණි.

ඒ සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇතිවුවද මේ දක්වා පුරාවිද්‍යා හානි සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

අනවසරයෙන් ඉදිකිරීම් සිදුකරමින් පුරාවිද්‍යාත්මක වටිනාකම්වලට හානි පමුණුවන පාර්ශ්වයන් සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණකි.

++++++++++++++++++

ඉපලෝගම මුස්ලිම් පල්ලියකින් පුරාවිද්‍යා සංහාරයක්. දායක සභාවේ කිසිවෙකුත් තවමත් අත්අඩංගුවට ගෙන නෑ.

(11.12.2020 – colombotoday.com)

අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අලහප්පෙරුමාගම මුස්ලිම් පල්ලිය විසින් විජිතපුර බලකොටුවට අයත් පුරාවිද්‍යා ස්මාරකවලට හානි සිදුකරමින් දින කිහිපයකට පෙර තාප්පයක් ඉදිකිරීමට කටයුතු කර තිබෙනවා.

මුස්ලිම් පල්ලිය සහ සුසානභූමිය වෙන්කරමින් මෙම තාප්පය මීට දින කිහිපයකට පෙර ඉදිකර ඇති අතර ඒ හේතුවෙන් පුරාවිද්‍යා වටිනාකමක් ඇති ගොඩනැගිල්ලක නටබුන්වලට දැඩි හානි සිදුවී ඇත.

අදාළ ප්‍රදේශයේ ඉදිකිරීම් සිදුකිරීමේදී අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලයේ අවසරය ඇතුව කලයුතු බවට දැනුම්දී තිබියදී මෙම ඉදිකිරීම් සිදුකර ඇත්තේ කිසිදු අවසරයකින් තොරවයි.

මෙම පුරාවිද්‍යා සංහාරයට පල්ලියේ දායක සභාව සහ පල්ලියේ සභාපතිවරයා සෘජුවම වගකිව යුතු උවද තවමත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම ඉපලෝගම පොලිසියට පැමිණිලි ඉදිරිපත්වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙම සිද්ධිය හේතුවෙන් සිදුවී ඇති විනාශය පිළිබඳව සම්පුර්ණ වාර්තාවක් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත යොමු කර ඇති බව අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලය පවසයි.

++++++++++++++++

(12.12.2020 – 21:02 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – ඉපලෝගම ඓතිහාසික විජිතපුර බලකොටුව පැවති බව සැලකෙන පුරා විද්‍යාත්මක භූමියේ සිදුකර ඇති නටඹුන් විනාශය පිළිබඳව සොයාබැලීම සදහා උතුරු මැද පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ඇතුළු පිරිසක් අද පැමිණියා.

එහි ඇති මුස්ලිම් පල්ලිය හා ඊට යාබද සුසාන භූමිය වෙන්කිරීම සදහා අනවසරයෙන් තාප්පයක් ඉදිකිරීමට කිසියම් පිරිසක් පියවර ගෙන තිබුණේ එහි තිබූ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත නටඹුන් විනාශ වී යන ලෙසයි.

අනුරාධපුරල ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අලහප්පෙරුමාගම පිහිටි මුස්ලිම් පල්ලිය හා කනත්ත වෙන් කිරීම සදහා මෙම තාප්පය ඉදිකිරීමට කිසියම් පිරිසක් පසුගියදා පියවර ගෙන තිබුනා.

++++++++++++++++

(12.12.2020 – 21:08 +0530 – sinhala.adaderana.lk)

අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අලහප්පෙරුමාගම පිහිටි මුස්ලිම් පල්ලියේ තාප්පයක් ඉදිකිරීමට කටයුතු කිරීම හේතුවෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැඟිල්ලක නටඹුන්වලට දැඩි හානි සිදුව ඇති ආකාරය ‘අද දෙරණ’ ඊයේ (11) අනාවරණය කළේය.

විජිතපුර බළකොටුවට අයත් බවට පැවසෙන ප්‍රදේශයක මෙම ඉදිකිරීම සිදුකර තිබුණේ අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලයේ අවසරයකින් තොරවය.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අද (12) සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

ඒ අතර අලහප්පෙරුමාගම මුස්ලිම් පල්ලි සංගමයේ සභාපතිවරයා, තාප්පය ඉදිකිරීමේදී කටයුතු කළ බැකෝ රථ රියදුරු ඇතුළු සහාය දැක්වූ පිරිසක් වන බව පොලීසිය පැවසුවේය.

එමෙන්ම තාප්පය ඉදිකළ පල්ලියට යාබද නිවසක තිබී ඇඹරුම්ගලක් සොයාගත් අතර එය පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත සෙල්ලිපියක් බවට සැකකෙරන බව පොලීසිය පවසයි.

එම නිවසේ හිමිකරුද අත්අඩංගුවට පත් පිරිස අතර වේ.

එම සැකකරුවන් හෙට (13) කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

***************************************

අද (11) රාත්‍රියේ කොළඹට පැය 6 ක ජල කප්පාදුවක්

(11.12.2020 – 18:15 +0530 – sinhala.adaderana.lk)

කොළඹ, මරදාන සහ කොම්පඤ්ඤවීදිය අවට ප්‍රදේශ කිහිපයකට අද (11) රාත්‍රියේ පැය 06 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද (11) රාත්‍රී 10:00 සිට හෙට (11) අලුයම 04:00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව ඩීන්ස්පාර, ඩාලි පාර ඇතුළු සියලු අතුරු මාර්ග, මීට අමතරව වොක්ෂෝල් වීදිය, වොක්ෂෝල් පටුමග, ඉබ්බන්වල හංදියේ සිට කොම්පඤ්ඤවීදිය දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන් වේ.

එමෙන්ම යුනියන් පෙදෙසේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මාවත සහ ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ග සඳහා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

මහ කොළඹ ජල හා අපජලය කළමනාකරණ වැඩි දියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ බෙදාහැරීමේ පද්ධතියේ අත්‍යාවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය ෴

***************************************

Z-score අභියෝගයට ලක්කළ පෙත්සම සලකා බැලීම තවදුරටත්

(11.12.2020 – 15:39 +0530 – sinhala.adaderana.lk)

මෑතකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කරන ලද විශ්වවිද්‍යාල Z-score ලකුණු අනුව විශ්වවිද්‍යාල ඉන්ජිනේරු සහ භෞතික විද්‍යා පීඨ සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (11) දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම සිදුකෙරිණි.

2019 වසරේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශය යටතේ පෙනී සිට සමත් වූ සිසුන් 40 දෙදෙනෙකු විසින් එම පෙත්සම් ගොනුකර තිබුණි.

මෙම පෙත්සම් බුවනෙක අළුවිහාරේ, එස්.තුරයි රාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (11) යළි සලකා බැලුණි.

එහිදී පෙත්සම්කාර සහ අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම අවසන් කෙරුණි.

අනතුරුව පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 16 වනදා තෙක් කල් තැබුණි.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා, එම අමාත්‍යාංශ ලේකම් වරයා, විභාග කොමසාරිස් වරයා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ එහි සභාපතිවරයා, නීතිපතිවරයා නම් කර තිබේ.

තමන් ගණිතය, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යා විෂයයන් යටතේ 2019 වසරේ පැවති අ.පො.ස. උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශය යටතේ පෙනී සිට සමත් වූ බව පෙත්සම්කරුවන් කියා සිටී.

විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන Z-score ලකුණු පසුගිය දා ප්‍රකාශයට පත්කළ අතර එහිදි නව විෂය නිර්දේශය යටතේ පෙනී සිටි සහ පැරණි විෂය නිර්දේශය යටතේ පෙනී සිටි සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන Z-score ලකුණු අතර විශාල පරතරයක් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

මේ හේතුවෙන් තමන්ට විශාල අසාධාරණයක් සිදු වී ඇති බැවින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීරණය කරන ලෙසත්, විෂය නිර්දේශ දෙක සඳහා සමාන හෝ සාධාරණ Z-score ලකුණු ප්‍රමාණයක් නිකුත් කරන ලෙසට වගඋත්තරකරුවන්ට නියෝගයක් කරන ලෙස ද පෙත්සම්කරුවෝ සිය පෙත්සම මඟින් ඉල්ලා තිබේ ෴

***************************************

පෙර ආත්මය ගැන විස්තර කියන, බහ තෝරන වයසේ සිටම භාෂා 3 ක් චතුර ලෙස කතාකරන, සත්ව විද්‍යාව සහ තාරකා විද්‍යාව පිළිබඳ විස්මිත දැනුමකින් සපිරි සත් හැවිරිදි සෙනුර වීරසිංහ දරුවාගේ කතාව !

මෙම දරුවාට නොමිලේ අධ්‍යාපනය ලබාදීම සඳහා ගම්පහ ප්‍රදේශයේ ඉංග්‍රිසි මාධ්‍ය පාසලකට මැදිහත් විය හැකිනම් පමණක් ඉහත description හි දක්වා ඇති දුරකථන අංක වෙත අමතා දැනුම්දීමට කාරුණිකවන්න. මේ දරුවා වෙනුවෙන් කළ හැකි උතුම්ම මෙහෙවර එයයි. ස්තුතියි !

මෙම දරුවා වෙනුවෙන් ඉංග්‍රීසි මාධ්‍ය පාසැලක් ලබාදීමට හෝ ඔවුන්ගේ නිවෙස සාදාදීමට සහයෝගය ලබාදිය හැකි කණ්ඩායමක් හෝ පිරිස් සිටීනම් පහත දුරකතන අංකවලට අමතන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

077 198 5740 / 077 650 1029

Harindra Jayalal (11.12.2020)

===========================================

(11.12.2020 – 19:54 +0530 – hirunews.lk/sinhala)

අද (11) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයන් 226 දෙනෙකු වාර්තාවී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව අද (11) දිනයේ හඳුනාගත් ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 762 ක් ලෙසයි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 31,000 සීමාව ඉක්මවා ගියා.

මේ වනවිට මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 31,375 ක් ලෙස දැක්වෙනවා ෴

+++++++++++++++++++++

(12.12.2020 – 06:34 +0530 – hirunews.lk/sinhala)

මෙරට 147 වන කොවිඩ් ආසාදිත මරණය ඊයේ (11) වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ ඊයේ (11) දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වීමත් සමඟයි.

මෙලෙස මියගොස් ඇත්තේ 82 හැවිරිදි කොළඹ 13 ප්‍රදේශයේ පදිංවි කාන්තාවක්.

කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අදාල කාන්තාව පසුගිය 10 වනදා මියගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙස අධික රුධිර පීඩනය සහ කොවිඩ් නියුමෝනියාව බවයි සෞඛ්‍ය අංශ දැනුම් දුන්නේ ෴

+++++++++++++++++++++++

(12.12.2020 – 07:18 +0530 – hirunews.lk/sinhala)

මෙතෙක් හුදෙකලා කර තිබූ කොළඹ මහල් නිවාස සංකීර්ණ 6 ක හුදෙකලාභාවය මේ මොහොතේ සිට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මට්ටක්කුලිය – රන්දිය උයන, මෝදර – මෙත්සඳ සෙවන සහ මිහිජය සෙවන යන නිවාස සංකීර්ණ මෙලෙස හුදෙකලා භාවයෙන් ඉවත් කෙරෙනු ඇති.

එමෙන්ම ග්‍රෑන්ඩ්පාස් මෝදර උයන සහ සමගිපුර මෙන්ම දෙමටගොඩ මිහිදුසෙත්පුර නිවාස සංකීර්ණ ද හුදෙකලා භාවයෙන් ඉවත් කෙරෙන බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ ෴

++++++++++++++++++++++

(12.12.2020 – 07:31 +0530 – hirunews.lk/sinhala)

අටළුගම ප්‍රදේශයේ ඊයේ (11) ගැබිණි මාතාවන් අසූ දෙනෙකුට (80) ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණය සිදුකර ඇති අතර, ඉන් අටදෙනෙකුට (8) වෛරසය වැළඳී ඇතැයි තහවුරු වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පරිබාහිර දිස්ත්‍රික්ක කිහිපයක අනුපොකුරු ආකාරයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවෙමින් පවතින බවයි.

අනුරාධපුර – කහටගස්දිගිලිය නගරයෙන්ද කොරෝනා ආසාදිතයෙකු හමුවී තිබෙනවා.

අහඹු ලෙස සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙම රෝගියා හමුවී බවයි කහටගස්දිගිලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

එම ආසාදිතයා අකුරණ ප්‍රදේශයේ සිට කහටගස්දිගිලිය නගරයට පැමිණ ඇත්තේ වෙළඳසැලක සේවය කිරීම සඳහායි ෴

+++++++++++++++++++++

(12.12.2020 – 08:17 +0530 – hirunews.lk/sinhala)

ගතවූ සති තුනක (3) කාලසීමාව තුළ ආසන ගණනට වඩා මගීන් රැගෙන ගිය බස් රථ 30 ක බලපත්‍ර අවලංගු කර තිබෙනවා.

බස් රථ ප්‍රවාහන සේවා හා වාහන නියමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ පොලීසිය සහ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන කාර්යාල ඒකාබද්ධව මේ සම්බන්ධයෙන් තවදුරටත් වැටලීම් ක්‍රියාත්මක බවයි.

පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ප්‍රවාහනය කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා මාර්ගෝපදේශ නිකුත් කළා.

එමෙන්ම ප්‍රවාහන අමාත්‍යාංශය සියයට 1.2 කින් ගාස්තු වැඩිකිරීමක් සඳහා අවසර ලබාදුන්නා.

කෙසේ වෙතත් බස් සංගම් පවසන්නේ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු වන ලෙස මගී ප්‍රවාහන සේවා පවත්වාගෙන යෑම සඳහා රජයට ඉදිරිපත් කළ ඉල්ලීම් ඉටු නොවූ බවයි.

ලබාදී ඇති ගාස්තු වැඩිවීමද කර්මාන්තයේ කඩාවැටීම කළමනාකරණය කිරීම සඳහා ප්‍රමාණවත් නොවන බව ඔවුන් පෙන්වා දුන්නා.

එවැනි පසුබිමක් තුළ මාර්ග බලපත්‍ර අහෝසි කිරීමටද බලධාරින්ට නීතිමය හැකියාවක් නොමැති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ.

කෙසේ වෙතත් බස් රථ ප්‍රවාහන සේවා හා වාහන නියමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ සෞඛ්‍ය අවදානම පහව යන තුරු කිසිදු ලෙසකින් පමණ ඉක්මවා මගීන් ගෙන යාමට අවසර ලබා නොදෙන බවයි ෴

++++++++++++++++++++

(12.12.2020 – 08:52 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 තුළ මුව ආවරණ පැළදීම සහ සමාජ දුරස්ථභාවය පිළිබඳ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ අදාළ නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා 1289 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ෴

++++++++++++++++++++++

(12.12.2020 – 09:27 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 07 කට දැඩි සංචරණ සීමා පනවා තිබෙනවා.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ පසුගිය දිනෙක සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 1768 කින් ඊයේ (11) ලැබුණු වාර්තා අනුව ආසාදිතයින් 20 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙම පියවර ගත් බවයි.

ඒ අනුව ගාල්ල – මිලිද්දුව, කෝන්ගහ, දෙද්දුගොඩ – උතුර, දෙද්දුගොඩ – දකුණ, තලාපිටිය, දංගෙදර – නැගෙනහිර සහ මකුළුව යන ග්‍රාම සේවා වසම්වලට මෙලෙස දැඩි සංචරණ සීමා පනවා තිබෙනවා ෴

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා ෴

විදේශගතව සිටි ශ්‍රී ලාංකිකයින් 884 දෙනෙකු අද (12) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියා.

එම පිරිස අතර විදෙස් රැකියා සඳහා ගොස් මෙරටට පැමිණීමට නොහැකිව රැදී සිටි 570 දෙනෙකු ද සිටි බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු කියා සිටියේ.

මෙම පිරිස ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල සිට මෙරටට පැමිණ තිබෙනවා.

මේ අතර, ගත වූ පැය 24 තුළ 495 දෙනෙකු දිවයිනෙන් පිටත්ව තිබුණා.

ඔවුන් රැකියා, ව්‍යාපාරික සහ අධ්‍යාපන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාව, ජපානය, කටාර්, ඩුබායි සහ අබුඩාබි යන රටවල් සඳහා පිටත්ව ගොස් ඇති බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

ජනප්‍රිය සිනමා නළු විජය කුමාරණතුංග සහ තවත් 43 දෙනෙකු ඝාතනය කළ බවට චෝදනා ලැබූ ලයනල් රණසිංහ විසින්ම වෙඩි තබා ඝාතනය කළ කොළඹ නාගරික මන්ත්‍රී ජයන්ත මල්ලිමාරච්චි මහතාගේ සොයුරු ප්‍රවීණ මාධ්‍යවේදී ජනක මල්ලිමාරච්චි මහතා විසින් සිදුකරන වගකීම්සහගත අනාවරණය ! (07.12.2020)

***************************************

සුදු හාමුදුරුවන්ගේ මරණය දිවිනසාගැනීමක්ද?

(12.12.2020 – gossiplankanews.com)

රත්ගම පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩවිසූ නෙදර්ලන්ත ජාතික ජිනවංශ හිමි අසාමාන්‍ය ආකාරයට මරණයට පත්වීමෙන් පසුව එය ඝාතනයක් ලෙස සැකකරමින් මාධ්‍ය වාර්තා පළවූ පසුව තවත් මතයක් පහළව ඇත්තේ උන් වහන්සේ සියදිවිනසාගන්නට ඇති බවකි. මීට වසර 21 කට පමණ පෙර උන් වහන්සේ විශාදය රෝග ලක්ෂණ සහිතව සිටි බවට කරුණු පහළවීමද මෙම සැකයට එක් හේතුවක් වී තිබේ.

කෙසේ වෙතත් එම කරුණ සනාථවීම සඳහා මරණ පරීක්ෂකවරුන් තවම ඉක්මණ්වී නැත්තේ මරණය සිදුවූ ආකාරය ඝාතනයක් වන්නට සැකකරන ආකාරයට සිදුව තිබීම නිසාය.

උන් වහන්සේගේ පාද දෙකේ ගල් ගැටගසා තිබීමත් එක් පාදයක ගැටගැසූ ගලක් හැලී තිබීමත් මුල් සාක්ෂි වලදී කියැවුණ අතර තමන් විසින්ම එවැන්නක් සිදු කරගන්නට යාම තරමක ගැටලුවකි.

පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (10) ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වූයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිණි ජානකී වර්ෂාහැන්නදි මහත්මියයි. ඇය විවෘත තීන්දුවක් ලබාදුන් අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත සහ රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යැවීමටද පියවර ගෙන තිබුණි.

පොල්ගස්දුව ආරණ්‍යය ආදි කර්තෘ ලෙස සැලකෙන්නේ ජර්මන් ජාතික හිමිනමක වන ඥාණාතිලෝක හිමියන්ය. රත්ගම කළපුවේ පිහිටි මෙම දුපත ආරණයක් බවට පත් කරන්නට කලකට ඉහත ස්විස් ජාතික ධනපතියෙකු අදින් වසර 100 කට පෙර රන්පවුම් 75 ක් ලබාදුන් බව ප්‍රකට කතාවකි. ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමි පවා වැඩසිටි මෙම භූමියේ දෙස් විදෙස් භික්ෂුන් වහන්සේලා භාවනායෝගිව වැඩවසති.

වයස 19 දී තායිලන්තයේදී පැවිදි දිවිය ඇරඹූ අපවත්වූ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියෝ මෙහි වාසයට එන්නේ වයස 51 දී මීට වසර 9 කට පෙරයි.

‘සුදු හාමුදුරුවන්’ නමින් ප්‍රකට මෙම හිමි නම සිංහල වචන දන්නේ ටිකකි. ජර්මන් බස හා තායි බස උන් වහන්සේට හොඳහැටි උච්චාරණය කළ හැකිය.

ආරණ්‍යයේ බොහෝ හිමිවරුන් මෙන් තමන්ගේ පාඩුවේ භාවනානුයෝගීව වැඩි කතාබහක් නැතිව සිටින එම හිමියන් එළිපහළියට බසින්නේ පිඩුසිඟාවැඩීමට පමණි. එක් තොටුපොළකට වැඩම කරන්නේ සතියකට එක් දිනකි.

උන්වහන්සේ සතියේ දින බෙදාගෙන තොටුපොළවල් වලට ගොස් පිඩු සිඟා වඩිති. උදේ පිඩු සිඟාවැඩමවීමෙන් පසු නැවත සිය කුටියට උදේ 7-8 වන විට ගමන් කිරීම සිරිතකි. කළපුව හරහා ගමන් කිරිම සඳහා උන්වහන්සේට ඔරුකදක් තිබු අතර ඒ ඔරුකඳ කුටිය අසල ගැටගසා ඇත. පිහිනීමටද හොදින් දන්නා බව කියන හිමි නම ඇතැම් අවස්ථාවල ඔරුව ගැටෙන් ලිහී ගඟ මැදට ගිය අවස්ථාවල එය රැගෙන ඒමට පිහිනා ගමන් කර ඇති බව තතු දන්නෝ පවසති.

මළ සිරුර හමුවන්නට ආසන්න අවසන් අවස්ථාවේ සුදු හාමුදුරුවෝ පිණ්ඩපාත චාරිකාවේ ගොස් තිබුනේ හෝටලයක් ආසන්න තොටුපළට බව කියැවේ. එම හෝටලයේ කළමනාකරු සමග කතාබහක නිරතවි ඇති බවද සාක්ෂි ලැබී ඇති අතර එම අවස්ථාවේ මේ දිනවල පැතිරෙන කොරෝනා රෝගය ගැන අලුත්ම විස්තර අසාදැනගත් බවත් එම රෝග ලක්ෂණ මොනවාද ආදී ප්‍රශ්න හෝටල් කළමනාකරුගෙන් උන් වහන්සේ විමසූ බවද පැවසිණි.

සුදු හාමුදුරුවන්ගේ මෘත දේහය පසුගිය අගහරුවාදා පරක්කුදුව දුපත අසල තිබි සොයාගන්නා අවස්ථාව වනවිට සිරුර තරමක් නරක්වී තිබුණි. මෘතදේහය ගොඩගන්නා අවස්ථාවේ පාද දෙකේ ලණුවකින් ගල්දෙකක් ගැට ගසා තිබු අතර එක් පාදයක ගැට ගසා තිබු ගලක් ගැලවි ගොස් තිබුණි.

මෙම මරණය සම්බන්ධයෙන් ආරණ්‍ය සේනාසන අධිපති විවෙකවිහාරි හිමියෝ මෙසේ තියා තිබේ.

“මට හිතාගන්න බැහැ මොකක්ද මේ හාමුදුරුවන්ට වුනේ කියලා. මේ සුදුහාමුදුරුවෝ කුටියට වෙලා බණ භාවනාකරමින් විවේකිව ගතකළ හිමිනමක්. උන්වහන්සේ අපිට හමුවන්නේ පෝය දිනවලදි නැතිනම් විනයකර්මයක් සිදුකොට ආරෝචන කරන අවස්ථාවකදි පමණයි.

විදුලිය නැති ඇතැම් අවස්ථාවලදි උණුවතුර රැගෙන යන්න සංඝාවාසය වෙත වැඩම කරනවා. මේ හාමුදුරුවන්ගේ ඔරුව කළපුවේ පාවෙමින් තිබෙන බව මට දැන ගන්නට ලැබුනා. පසුව ආණ්‍යසේනාසනයේ ඉන්න ළමයෙකුට මා කිවා උන්වහන්සේගේ කුටිය වෙත ගොස් මේ ගැන දැනුම් දෙන්න කියලා. නමුත් උන්වහන්සේ ප්‍රතිචාර දක්වලා තිබුණේ නැහැ. අපි හිතුවා උන්වහන්සේ එගොඩට වැඩම කරන්න ඇති කියලා. පසුදින විනයකර්මයක් තිබුනා සිමාවේ. සිමාවට ගොස් අපි විනයකර්මය කළා. විනයකර්මය කළවිට ආරණ්‍යයේ වැඩවසන භික්ෂුන්ට දන්වන්න අවශ්‍යයි නේ. මේ සුදු හාමුදුරුවන්ට විනයකර්මය ගැන දැන්විමට ගිය විටදිත් කුටිය තුළ ඉඳලා නැහැ.

ඔරුව ගැන සොයා බලනවිට එහි හබල තිබුනා. පසුව මේ ගැන මා රත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා දුරකථනයෙන් දැනුවත් කොට පැමිණිල්ලක් දැමිමට කටයුතු කළා. උන්වහන්සේ වැඩහිටපු කුටියේ පාත්තරය විසිවෙලා තිබුණා. පසුව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් ආවා. ඇවිත් උන්වහන්සේ වැඩසිටි කුටිය පරික්ෂා කළා.

පිණ්ඩාපාතය සඳහා උන්වහන්සේ අසල දුපතක පිහිටි හෝටලයක් වෙත වැඩම කරණවා. අපි ඒ පොලිස් නිලධාරින් සමග එම ස්ථානයට ගිහින් සුදු හාමුදුරුවන් ගැන සොයා බැලුවා. උන්වහන්සේ මිට දින තුනකට පෙර පිණ්ඩපාතය සදහා වැඩම කර පිණ්ඩපාතය කරගෙන යලි බොට්ටුව වැඩම කරලා ආපසු හැරිලා ඇවිත් කොරෝනාවල රෝග ලක්ෂණ ඇසුවා කියලා හෝටලයේ මහත්තයා කිවා.

පසුව අපි සුදුහාමුදුරුවන්ගේ ඔරුව තියෙන තැනට ආවා. ඔරුව අසල උන්වහන්සේගේ දේහය පාවෙලා තිබෙනු දැක්කා. එක් පාදයක ගලක් ගැට ගසා තිබුනා. අනික් පාදයේ ගැට ගසා තිබු ගල ගැලවි තිබුනා. අත්දෙක ගුලිකරගෙන හිටියේ.

මා වසරක් පාසා උන්වහන්සේගේ විසා බලපත්‍රය අත්සන් කරලා දුන්නා. මේ සිද්ධියෙන් පසු උන්වහන්සේගේ සමකාලින හිමිනමක් වන නෙදර්ලන්ත ජාතික අසාන්මේදි නෝ හිමියන් ආරණ්‍යයට වැඩම කළා. උන්වහස්සේ අපේ හාමුදුරු කෙනෙක් සමග කිවා මිට වසර 20 කට පෙර මේ හාමුදුරුවන් විශාදය නැමති අසනිප තත්වයකින් පෙළුනා කියලා. එකත් අපි දැන ගත්තේ ඒ හාමුදුරුවන්ගෙන්”

සුදුහාමුදුරුවන්ගේ සිරුරේ අභ්‍යයන්තරයේ තුවාල නොතිබු බව ද පශ්චාත් මරණ පරික්ෂණයේ දිඅනාවරණය වි ඇත. උන්වහන්සේ මියගිය ආකාරය පිළිබද සොයාගැනිම සදහා සිරුරේ ඉන්ද්‍රයන් හා අක්මා කොටස් මෙන්ම රුධිර සාම්පල් රජයේ රසපරික්ෂක වරයා වෙත යොමුකිරිමට කටයුතු කර ඇත. පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරිමට පෙර පි.සි.ආර්. පරික්ෂණයක් ද සිදුකොට ඇති අතර උන්වහන්සේට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට අනාවරණය වි තිබේ.

මේ අතර නෙදර්ලන්ත ජාතික මෙම භික්ෂූන් වහන්සේගේ අපවත්වීම සියදිවි නසා ගැනීමක් බව අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහ නිකායේ මහ නායක ත්‍රිකුණාමලයේ ආනන්ද මහ නාහිමියන් නිවේදනයක් නිකුත් කරමින් පවසති. පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙය තහවුරු වූ බවත් එහිදී එය සෘජුව ප්‍රකාශ නොකර විවෘත තීන්දුවක් ලබා දී තිබෙන බවත් උන් වහන්සේගේ නිවේදනය කරති. එසේ තිබියදී මෙය ඝාතනයක් බව හුවා දැක්වීමට ප්‍රවෘත්ති නිර්මාණය කරමින් සිටින බවටද ත්‍රිකුණාමලයේ ආනන්ද මහ නාහිමියෝ සිය නිවේදනය මගින් ජනමාධ්‍ය ආයතන වෙතද බරපතල චෝදනාවක් කරති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *