ඝාණ්ඨාර ලණුවේ අවසන් ගමන් ගිය පාසල් සිසුවා

ඝාණ්ඨාර ලණුවේ අවසන් ගමන් ගිය පාසල් සිසුවා

*********************************************

ඝාණ්ඨාර ලණුවේ අවසන් ගමන් ගිය පාසල් සිසුවා

(11.12.2020 – 15:25 +0530 – hirunews.lk/sinhala)

ඝාණ්ඨාර ලණුවක එල්ලී සෙල්ලම් කරමින් සිටි පාසල් සිසුවෙකු එම ලණුවට ගෙල සිරවීමෙන් අද (11) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නොර්වුඩ් පොලිසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අට (8) හැවිරිදි පිරිමි දරුවක් බවයි.

අදාල සිසුවා තම නිවස ආසන්නයේ පිහිට කොවිලේ ඝාණ්ඨාර ලණුවේ එල්ලී සෙල්ලම් කරමින් සිට ඇති අතර එහිදී එම ලණුව ගෙල ප්‍රදේශය සිරවී එහි එල්ලෙමින් සිටින අවස්ථාවේ වතු අධිකාරිවරයා දැක සිසුවා ඉන් මුදාගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් රෝහල් ගත කරන විටත් සිසුවා මියගොස් සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මිය ගිය පාසල් සිසුවාගේ සිරුර මේ වනවිට මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

හැටන් දිසා අධිකරණයේ මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොමු කරන බව නොර්වුඩ් පොලිසිය පැවසුවා.

***************************************

(11.12.2020 – 14:27 +0530 – hirunews.lk/sinhala)

අපනයනය සඳහා පළතුරු වගා කිරීම වෙනුවෙන් පවුල් 2,000 ක් වෙත රුපියල් මිලියන 700 ක ප්‍රතිපාදන ලබාදීමට තීරණය කර තිබෙනවා.

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක නව්‍යකරණ ව්‍යාපෘතිය ඔස්සේ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය, ගම්පොල, උඩුනුවර සහ හේවාහැට ප්‍රදේශයේ දිළිඳු පවුල් සඳහා මෙම මුදල් ලබාදීම සිදුකරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ.

කෙසෙල්, පේර, අන්නාසි සහ අලිගැටපේර ඒ යටතේ අපනයනය ඉලක්ක කරගනිමින් වගා කිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය දිස්ත්‍රික්ක 12 ක් ආවරණය වන පරිදි සිදු කෙරෙන අතර, මේ වනවිටත් දිස්ත්‍රික්ක පහක කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා ෴

***************************************

(11.12.2020 – 14:38 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර ගුවන් හමුදා කඳවුර ආසන්නයේ ඩ්‍රෝන කැමරාවකින් අනවසරයෙන් රූපගත කිරීම් සිදුකළ තරුණයන් පස්දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් ඊයේ (10) ලබාදුන් තොරතුරක් මත පොලීසිය අත්අඩංගුවට ගත් තරුණයින් ප්‍රකාශ කර ඇත්තේ ඒ ආසන්නයේ පිහිටි රජයේ පාසලක් සම්බන්ධයෙන් සිදුකරන වාර්තා වැඩසටහනක් සඳහා ඩ්‍රෝන කැමරාව යොදාගනිමින් රූපගත කිරීම් සිදුකළ බවයි.

කෙසේ වෙතත් අදාළ රූපගත කිරීම් සඳහා ඩ්‍රෝන කැමරාව යොදාගැනීම සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අවසර ගෙන නොමැති බව සිදුකළ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණයන් පස්දෙනා බොරලැස්ගමුව, ගනේමුල්ල, කිරිඳිවැල, ඇල්විටිගල සහ මොරගහහේනේ පදිංචිකරුවන් බවයි පොලීසිය ප්‍රකාශ කළේ ෴

***************************************

(11.12.2020 – 15:56 +0530 – hirunews.lk/sinhala)

පැරණි හෝ නව ක්‍රමයට කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, එම කොමිසමේ නව සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා ඇතුලු සාමාජිකයින් අද (11) විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිළ නිවසේදී අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදියි.

මෙහිදී මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සඳහන් කර ඇත්තේ මැතිවරණ පැවැත්වීමේ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන අමාත්‍යාංශ මට්ටමින් සිදුකළ යුතු බවයි.

ඒ හේතුවෙන් මෙවර පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය ඔස්සේ පවත්වා ඉදිරියේදී අවශ්‍ය නීති සම්පාදනය කිරීමෙන් අනතුරුව නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම වඩා පහසු බව කොමිසමේ සාමාජිකයින් පෙන්වා දී තිබෙනවා.

මෙහිදී දැනට පවතින මැතිවරණ නීතිවලට සංශෝධන අවශ්‍ය බව පැවසූ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක අවශ්‍යතාවද පෙන්වා දුන්නා.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ දැනටමත් ඒ පිළිබඳව කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි ෴

***************************************

(11.12.2020 – 17:06 +0530 – hirunews.lk/sinhala)

මෙරට සිට බෝට්ටුවකින් නීතිවිරෝධී ලෙස රත්‍රං කිලෝග්‍රෑම් 09 ක් ඉන්දියාවට රැගෙන යමින් සිටි සැකකරුවන් පස්දෙනෙකු (5) ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අද (11) අලුයම තූත්තුකුඩි මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් හතර දෙනෙකුම (4) ශ්‍රී ලාංකිකයන් වන අනෙක් පුද්ගලයා ඉන්දීය ජාතිකයෙකු බව සඳහන් ෴

***************************************

(11.12.2020 – 17:27 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 12,600 ක අල්ලස් මුදලක් ලබාගත් ‘මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ’ මිනුම් සේවා හා උපක්‍රම පරීක්ෂකවරියක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බලංගොඩ නගරයේදියි.

ලබන වසර සඳහා විද්‍යුත් තරාදි 42 ක බලපත්‍ර අලුත් කිරීමට නියමිත මුදලට වඩා එක් තරාදියකට රුපියල් 300 බැගින් අදාළ මුදල ලබාගැනීමට තැත් කිරීමේදියි ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

***************************************

(11.12.2020 – 17:41 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වැඳපුදා ගත්තා.

ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරයා, බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති අති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

උන්වහන්සේගේ සුව දුක් විමසා බැලූ අග්‍රාමාත්‍යවරයා, කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ වුවද ජන ජීවිතය නගා සිටුවීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නාහිමියන් දැනුවත් කළා.

රටේ ආර්ථික, සමාජීය හා දේශපාලන ක්‍රියාදාමයන්ට අදාළ ධර්මානුකූල පිළිවෙත් ගැන නාහිමියන් මෙහිදී අග්‍රාමාත්‍යතුමාට අනුශාසනා කර තිබෙනවා ෴

***************************************

(11.12.2020 – 19:45 +0530 – hirunews.lk/sinhala)

පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදන සඳහා වැඩි වශයෙන් යොදා ගැනෙන මාගරින් සඳහා පනවා ඇති බදු රුපියල් 400 කින් ඉහළ නැංවීම හේතුවෙන් එම නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ආනයනික මාගරින් සඳහා මෙතෙක් පැවති රුපියල් 200 ක බද්ද රජය විසින් රුපියල් 600 දක්වා ඉහළ නංවා ඇති බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ ෴

==========================================

(11.12.2020 – 13:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු පාසල් 45 න් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, තක්ෂිලා විද්‍යාලය සහ කලෙයිමගල් විද්‍යාලය තවදුරටත් වසා තැබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා ප්‍රකාශ කළා.

අද (11) මහනුවර දී ඔහු මාධ්‍ය වෙත කියා සිටියේ සෙසු පාසල් 42 ක ලබන සඳුදා (14) සිට යලි විවෘත කරන බවයි ෴

++++++++++++++++++++++

(11.12.2020 – 15:16 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 570 දෙනෙකු අද (11) දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සමස්ත සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 22,831 ක්.

කොරෝනා රෝගීන් 7636 ක් තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර, මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 30,613 ක් ෴

+++++++++++++++++++++

(11.12.2020 – 15:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන් තුන්දෙනෙකු (3) හමුවීම හේතුවෙන් ගාල්ල තැපැල් කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබෙනවා.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ අහඹු ලෙස සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 110 කින් මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇති බවයි.

ගාල්ල තැපැල් කාර්යාලයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය භාරව කටයුතු කළ නිලධාරියාද මෙම ආසාදිතයන් අතරට ඇතුළත්.

ඒ හේතුවෙන් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය රෝගයට ලක්වීමේ වැඩි අවදානමක පසුවන අතර, තැපැල් කාර්යාලයේ සියලු සේවකයන් තාවකාලිකව නිවාස නිරෝධායනයට යොමුකර තිබෙනවා ෴

++++++++++++++++++++++

(11.12.2020 – 15:50 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් වෙත සායනික පුහුණුව ලබන අවස්ථාවේදී භාවිත කිරීමට සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ලබා දෙන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (11) උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙත සංදේශයක් ලබා දුන්නා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් සඳහන් කළේ මේ හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන්ටද කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවදානමක් මතුවිය හැකි බවයි ෴

++++++++++++++++++++

(11.12.2020 – 16:13 +0530 – hirunews.lk/sinhala)

වැඩි කළ බස් ගාස්තුව අඩු කිරීමක් සිදුකරන්නේ කොවිඩ් වසංගත තත්ත්වයෙන් රට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවට සෞඛ්‍ය අංශ දැනුම් දුන් පසුව බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

මේ වන විට බස් රථවල මගී ජනතාව වැඩි වශයෙන් ගමන් කිරීම හේතුවෙන් බස් ගාස්තුව නැවත පෙර පැවති ගණනට අඩු කරන ලෙස බස් මගී සංගම් විසින් මේවන විට ඉල්ලීම් කර තිබෙනවා.

කෙසේ වෙතත් එම ඉල්ලීම සාධාරණ වුවත් එය ඉටු කළ හැක්කේ රට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දුන් පසුව බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

බස් රථවලට කිසි ලෙසකින් මගීන් ආසන සීමාව ඉක්මවා රැගෙන යාමට අවසර දී නොමැති බව පෙන්වා දෙන අමාත්‍යවරයා එවැනි බස් රථවලට පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ වන විට කොවිඩ් නීති උල්ලංගනය කරමින් මගී ප්‍රවාහනයේ නිරත වූ බස්රථ 30 ක මාර්ග බලපත්‍රය අත්හිටුවීමට ද කටයුතු කර තිබෙන බවයි දිලුම් අමුණුගම අමාත්‍යවරයා සඳහන් කළේ.

එවැනි බස් රථ පිළිබඳව 1955 දුරකථන අංකය ඔස්සේ දැනුම් දිය හැකි බවද ඔහු පැවසුවා ෴

++++++++++++++++++++

(11.12.2020 – 18:00 +0530 – hirunews.lk/sinhala)

තාවකාලිකව වසා දමා ඇති ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියළුම පාසල් ලබන සඳුදා 14 සිට 18 වනදා සිකුරාදා දක්වා තවදුරටත් වසා තැබෙන බවයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය අද (11) ප්‍රකාශ කළා.

මේ අතර කොරෝනා ආසාදිතයන් තුන්දෙනෙකු (3) හමුවීම හේතුවෙන් ගාල්ල තැපැල් කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසා දැමුණා.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු මහනුවර නගර සීමාවේ පාසල් 45 න් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, තක්ෂිලා විද්‍යාලය සහ කලෙයිමගල් විද්‍යාලය හැර සෙසු පාසල් 42 ලබන සඳුදා සිට යළි විවෘත කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා කියා සිටියා ෴

+++++++++++++++++++++

(11.12.2020 – 19:00 +0530 – hirunews.lk/sinhala)

අද (11) දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයන් 536 දෙනෙකු වාර්තාවී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඉන් ආසාදිතයින් 75 දෙනෙකු බන්ධනාගාර වලින් වාර්තා වන බවයි ඔහු සඳහන් කර සිටියේ.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 570 දෙනෙකු අද (11) දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සමස්ත සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 22,831 ක්.

කොරෝනා රෝගීන් 7636 ක් තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර, මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 31,149 ක්.

මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමෙන් පසු එම රෝගියා කොරෝනා ප්‍රතිකාර රෝහලක් වෙත මාරුකර නොයැවීම සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලය අතර ඊයේ (10) නොසන්සුන්තාවයක් හටගත්තා.

කෙසේ වෙතත් පසුව මෙම රෝගියා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත මාරු කර යැවීමටයි අද (11) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී රෝහල් පරීපාලනය තීරණය තීරණය කර ඇත්තේ.

වයස අවුරුදු 38 වන මෙම රෝගියා දුනුවිල පදිංචිකරුවෙක් වන අතර පෙරේදා (09) රාත්‍රියේ මොහු රෝහලට ඇතුලත් වී තිබුණේ නියුමෝනියා රෝග තත්ත්වයක් හේතුවෙන්.

රෝහල් ගත කරන අවස්ථාවේ සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිතයෙකු නොවන බවට හඳුනාගෙන ඇති අතර, ඒ හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය ද එම රෝගියාට නිරාවරණය වී ඇති බවයි සමස්ත ලංකා හෙද සංගමයේ සංවිධායක ලේකම් රවීන්ද්‍ර කහදවආරච්චි මහතා සඳහන් කළේ ෴

+++++++++++++++++++

(11.12.2020 – 19:16 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර පළාතේ පළමු කොරෝනා මරණය කල්මුණේ පෞද්ගලික රෝහලකින් වාර්තා වී ඇති බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඒ. ලදාගරන් මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ සමන්තුරේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙකු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි ෴

++++++++++++++++++++

(11.12.2020 – 19:23 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයේ වැඩිම බලපෑමකට ලක්ව ඇති කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 14,116 ක් නිවාස නිරෝධායනයට ලක් කර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ප්‍රකාශ කළා.

කොළඹ වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ කොළඹ – තිඹිරිගස්යාය, කොළොන්නාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බවයි ඔහු කියා සිටියේ.

මෙම ප්‍රදේශවල පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ පන්දහසක් (5000) පමණ මේ වනවිට සිදුකර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.

පසුගිය දින කිහිපය තුළම හුදෙකලා කර ඇති ඇතැම් ප්‍රදේශවල ජනතාව සහන ලබාදෙන ලෙස ඉල්ලා විරෝධතාවල නිරත වුණා.

ඒ, සෞඛ්‍ය අංශ ලබාදී ඇති නිර්දේශ ද නොතකමින්.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා සිටියේ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට විරෝධතාවල නිරත නොවී තවදුරටත් සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි.

+++++++++++++++++++

(11.12.2020 – 19:41 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයට ගොදුරුවී ඇති පුද්ගලයින් නිට්ටාවටම සුව කිරීම සඳහා දේශීය ඖෂධ නිෂ්පාදනය කර ඇති බව පවසමින් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අද (11) මාධ්‍ය හමු කැඳවමින් ප්‍රකාශ කළා.

ඒ කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර නැමති පුද්ගලයෙකු නිෂ්පාදනය කළ දේශීය ඖෂධය පිළිබඳව සමාජයේ දැඩි කථාබහක් පවතින මොහොතකයි.

ඔහුගේ උඩුකුඹුරේ පිහිටි නිවස වෙත අදාළ පැණිය ලබාගැනීමේ අපේක්ෂාවෙන් අදත් ඇතැම් පිරිස් පැමිණ සිටි අතර, නිරෝධායන නීති ද එහිදී කඩවන ආකාරය දක්නට ලැබුණා.

ධම්මික බණ්ඩාර මහතා ඊයේ (10) තමන් නිෂ්පාදනය කළ ඖෂධය කථානායකවරයා ඇතුලු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුටද පිළිගන්වනු ලැබුවා.

කෙසේ වෙතත් තමන්ද මෙවැනි දේශීය ඖෂධ නිෂ්පාදනය කර ඇති බව පවසමින් තවත් තුන්දෙනෙකු (3) අද (11) ස්ථාන කිහිපයකදී මාධ්‍ය හමු කැඳවමින් ප්‍රකාශ කළා.

රිටිගල සූර්යවංශ සිහංක්කාර පරම්පරාවේ දේවේන්ද්‍ර ගුරුතුමා, සහ වටවන ඩබ්ලිව්.එස්. කුරේරා යන පුද්ගලයින් එම මාධ්‍ය හමුවලට එක්ව සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *