කෑගල්ල නගරයේ පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමයි

කෑගල්ල නගරයේ පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමයි

*********************************************

කෑගල්ල නගරයේ පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමයි

(11.12.2020 – 08:59 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල නගරයේ පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමා එහි සිටි සේවකයින් සහ රෝගීන් නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ඒ, කෑගල්ල – බල්ලපාන ප්‍රදේශයේ පදිංචි අයෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟයි.

එම පුද්ගලයා පෙරේදා දිනයේදී මෙම පෞද්ගලික රෝහලට පැමිණ ඇති බවයි කෑගල්ල නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක බණ්ඩාර අත්තනායක සඳහන් කළේ.

එමෙන්ම, ගම්පහ අංක 1 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර ඇතුළු එම කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු නිවෙස් නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියා කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමත් සමඟයි ඔවුන් මෙලෙස නිරෝධායනයට යොමු කර ඇත්තේ.

මේ අතර, විදේශ රටවල රැකියා සඳහා ගොස් යළි මෙරටට පැමිණීමට නොහැකිව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 197 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා.

ඔවුන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 107 දෙනෙකු, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට පැමිණි 78 දෙනෙකු, ජපානයේ නරීටා සිට පැමිණි 12 දෙනෙකු සිටි බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර තවත් කොරෝනා මරණ දෙකක් ඊයේ මෙරටින් වාර්තාවීමත් සමඟ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 146 දක්වා ඉහළ ගියා.

කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක් සහ වැලිගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් මෙලෙස මිය ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි කාන්තාව හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගොස් තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ සිට ඇය මෙලෙස මෙම රෝහලට මාරු කර යවා ඇති අතර කොරෝනා නිසා ඇති වූ හෘද වස්තුවේ ආසාදනයක් මෙම මරණයට හේතු වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, වැලිගම ප්‍රදේශයේ පදිංචි ඩුබායි සිට මෙරටට පැමිණි කාන්තාවක්ද හෝමාගම මූලික රෝහලේදී ඊයේ මියගියා.

ඇය නිරෝධායන මධ්‍යස්ථානයක සිට මෙම රෝහලට ඇතුළත් කර ඇති අතර වකුගඩු රෝගී තත්ත්වය උත්සන්න වීම සහ කොවිඩ් නිව්මෝනියාව මරණයට හේතු වී තිබෙනවා.

මේ අතර, ඊයේ දිනයේදීත් කොරෝනා ආසාදිතයින් 538 දෙනෙකු වාර්තා වුණා. ඔවුන්ගෙන් 21 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන අතර තවත් 448 දෙනෙකු පෑලියගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වනවා.

එමෙන්ම, තවත් 69 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණ කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙලෙස විදේශයන් හි සිට පැමිණි කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් 69 දෙනා අතර දකුණු සුඩානයේ සිට පැමිණි 41ක්, ඕමානයේ සිට පැමිණි 11 ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 10ක් සිටින බව සඳහන්.

එමෙන්ම, ඒ අතර ඉන්දියාව, මාලදිවයින සහ එක්සත් රාජධානියේ සිට පැමිණි එක් අයෙකු බැගින් මෙන්ම තවත් නාවිකයින් 4 දෙනෙකු ද සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 30,613 දක්වා ඉහළ ගියා ෴

++++++++++++++++++++++++

(11.12.2020 – 09:06 +0530 – hirunews.lk/sinhala)

ඉතාලියේ මෙරට කොන්සල් ජනරාල් කාර්යාලය අද (11) සිට ලබන 15 වන දා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, එම කාර්යාලයට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව දැන ගැනීමත් සමඟයි.

පසුව කාර්යාලය විෂබීජ හරණය කර ඇති අතර, කාර්ය මණ්ඩලය ඉදිරියේදී පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමටයි නියමිතව ඇත්තේ.

ඒ අනුව කොන්සල් ජනරාල් කාර්යාලය විවෘත කිරීම සම්බන්ධයෙන් 15 වන අඟහරුවාදා දිනයේ නිවේදනය කරනු ඇති.

වසා දැමෙන කාලය තුළ මරණ හෝ ඉතාමත් හදිසි කන්සියුලර් කටයුතු වේ නම් උදෑසන 09:30 සිට 04:30 අතර කාලය තුළ 388 724 90 16 යන දුරකථන අංකයට අමතන ලෙසටයි එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙන්නේ ෴

++++++++++++++++++++++

(11.12.2020 – 09:27 +0530 – hirunews.lk/sinhala)

මුව ආවරණ නෙපැළදීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගත් 41 දෙනෙකු ගතවූ පැය 24 ක කාළය තුළ අත්ඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඔක්තෝම්බර් 30 සිට මේ දක්වා කාළය තුළ අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 1256 ක් බවයි ෴

වේයන්ගොඩ – නිදහස් මාවතට ඊයේ (10) සිට සංචරණ සීමා පනවා තිබෙනවා. එම ප්‍රදේශයේ පිහිටා ඇති නගර සභා නිවාසවලින් කොරෝනා ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් එම පියවර ගත් බවයි පොලීසිය සඳහන් කළේ ෴

තාවකාලිකව වසාදැමුණු මහනුවර නගර සීමාවේ පාසල් 45 න් 42 ක් ලබන සඳුදා (14) සිට යළි විවෘත කෙරෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++

(11.12.2020 – 12:15 +0530 – hirunews.lk/sinhala)

හුදෙකළා කර ඇති ප්‍රදේශවල ජනතාව ඉන් පිටතට යාම සම්බන්ධ පුවත් රැසක් පසුගියදිනවල අපට අසන්න ලැබුනා.

කෙසේ වෙතත් එසේ හුදෙකලා ප්‍රදේශවලින් වෙනත් ප්‍රදේශවල සිදුවන සංචරණයන් අවම කිරීම සඳහා ආරක්ෂක අංශ මහත් පරිශ්‍රමයක් ගනු ලබනවා.

එවැනි පසුබිමක් තුල තම ප්‍රදේශයේ ජනතාව වෙනත් ප්‍රදේශවලට යාම නැවත්වීම සඳහා ආරක්ෂක රැකවල් යෙදූ ගම්වාසීන් පිළිබඳව පුවතක් අපට වාර්තාවන්නේ වේයන්ගොඩ ප්‍රදේශයෙන්.

වේයන්ගොඩ නගර සභා නිවාස සංකීර්ණය තුලින් කොරෝනා රෝගීන් 20 දෙනෙකු වාර්තාවීමෙන් අනතුරුව ඊයේ (09) සිට එම නිවාස සංකීර්ණයේ ජනතාව සිය නිවෙස් තුලම නිරෝධායනයට යොමුකර තිබෙනවා.

කෙසේ වෙතත් එලෙස නිරෝධායනය කර ඇති ඇතැම් නිවාසවල පුද්ගලයන් වෙනත් ප්‍රදේශවලට සංචරණය කිරීමට උත්සහ ගන්නා බවට සැලවීමත් සමඟ එය වැලැක්වීමට ප්‍රදේශවාසීන් ද පොලිසියට සහයෝගය ලබාදෙන අයුරු අපට දැකගත හැකි වූවා.

එම ඡායාරූපය පහතින් :

+++++++++++++++++++++

(11.12.2020 – 13:15 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (10) හඳුනා ගැණුනු ආසාදිතයන් 538 දෙනා අතරින් 254 දෙනෙකු වාර්තාවී ඇත්තේ බොරැල්ල ප්‍රදේශයෙන් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

මේ දක්වා කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් ස්ථානයකින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවූ පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (10) ආසාදිතයන් 304 දෙනෙකු වාර්තාවී තිබූ අතර, මහනුවර දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැණුනු ආසාදිත සංඛ්‍යාව 38 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 28 දෙනෙකු හඳුනාගෙන තිබුණා.

දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට විරෝධතාවල නිරත නොවී තවදුරටත් සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

නාවලපිටිය ප්‍රදේශයේ පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

පසුගිය 07 වනදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඇය කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් පසුව පැණිදෙණිය ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළේ.

නාවලපිටිය නගරයේ වෙළඳසැලක සේවය කළ, මෙම සිසුවියගේ පියා කොරෝනා ආසාදිතයෙකු බවට පළමුව හඳුනා ගැණුනා.

පසුව ඔහුගේ පවුලේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර ඇති අතර එලෙස නිරෝධායනගේ නිරත වන අතරතුරු සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙනුයි ඇය ආසාදිතයෙකු බවට තහවුරු වුණේ.

මෙම සිසුවියගේ ආශ්‍රිතයන් වන පාසල් ගුරුවරුන් 4 දෙනෙකු සහ ළමයින් 14 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන්ගේ පී.සී.ආර්. වාර්තා අද (11) ලැබීමට නියමිතයි.

එමෙන්ම, ඇහැලියගොඩ ප්‍රදේශයෙන් අලුතින් ආසාදිතයන් 21 දෙනෙකු අද (11) හඳුනාගැනීමත් සමඟ මේ වනවිට එම ප්‍රදේශයෙන් වාර්තාවන මුළු රෝගීන් සංඛ්‍යාව 244 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ ඉන් 193 දෙනෙකුම වාර්තාවී ඇත්තේ දියුරුම්පිටිය ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවකින් බවයි.

මෙම ආසාදිතයන් මින්නාන, මොරගල, ගැටහැත්ත, මාහින්ගොඩ, උතුරු කරදන සහ විලේගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි අවිසාස්වේල්ල – බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කරන තවත් 15 දෙනෙකුද ආසාදිතයන් ලෙස අලුතින් හඳුනාගෙන තිබෙනවා.

අදාළ ආසාදිතයන්ගේ පළමුපෙළ ආශ්‍රිතයන් 290 ක් මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇති බව ඇහැලියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.

============================================

(11.12.2020 – 09:12 +0530 – hirunews.lk/sinhala)

මෙරට ආර්ථික වර්ධනය සිදුවිය යුත්තේ සමාජයේ සෑම ස්ථරයක්ම ආරක්ෂා වන අයුරින් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ, පෞද්ගලික ව්‍යවසායකයින් පිරිසක් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ (10) පස්වරුවේ පැවති සාකච්ඡාවකදියි.

සියළු දේ ආනයනය කොට අලෙවි කිරීමට පහසු වුවද එසේ කළහොත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට නොහැකි බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා. ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය සහ නව ප්‍රවේශයන් ඉතාමත් වැදගත් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

මෙම සාකච්ඡාව පැවැත්වීමට ප්‍රධාන හේතු වී ඇත්තේ කොවිඞ් 19 ව්‍යාප්තිය හේතුවෙන් අඩාල වූ ආර්ථිකය යළි සක්‍රිය කොට දිගුකාලීන ආර්ථික සංවර්ධනයක් අත් කර ගැනීම බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

එමෙන්ම, ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටළු අධ්‍යයනය කොට විසදුම් සපයන බවටද ජනාධිපතිවරයා එහිදී පොරෝන්දු වී තිබෙනවා.

***************************************

(11.12.2020 – 10:03 +0530 – hirunews.lk/sinhala)

පන්නල – ලිහිරියාගම – දංකොටුව ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී ජීව උණ්ඩ 303 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (10) සිදුකළ මෙම වැටලීමේදී සොයා ගත් ජීව උණ්ඩ අතර බෝර 12 වර්ගයේ උණ්ඩ 211 ක් වනවා.

එමෙන්ම බෝර 16 වර්ගයේ ජීව උණ්ඩ 14 ක් මෙන්ම ජීව උණ්ඩ 78 ක් ද ඔහු සතුව තිබී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු බලපත්‍ර නොමැතිව මෙම උණ්ඩ තොගය ළඟ තබාගෙන සිට ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා පන්නල පොලිස් ස්ථානයට භාර දී තිබෙනවා ෴

***************************************

(11.12.2020 – 10:18 +0530 – hirunews.lk/sinhala)

වික්ටෝරියා වේල්ල සියයට සියයක් ආරක්ෂිත තත්ත්වයේ පවතින බව අනාවරණ වී තිබෙනවා.

මහනුවර නගරය තුළ මෑතකාලීනව ඇති වූ භූ චලන සම්බන්ධයෙන් මහනුවර ඊයේ (10) පැවති විශේෂ සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය වූ බවයි පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා කියා සිටියේ.

එම සාකච්ඡාවට එක්වූ වික්ටෝරියා ජලාශයේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ආර්.ඒ. අරුප්පොල මහතා කියා සිටියේ සමාජයේ ඇතැම් ප්‍රචාර දියත් වුවද වික්ටෝරියා වේල්ල කිසිදු අවදානම් තත්ත්වයක නොපවතින බවයි.

එමෙන්ම සෑම විටම වේල්ල පරීක්ෂාව සඳහා කටයුතු කරමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම, කිසියම් ආකාරයකින් වේල්ලේ අනාරක්ෂිත තත්ත්වයක් මතුවුවහොත් ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සකස් කර ඇති බව ද ඔහු එම සාකච්ඡාවේදී කියා සිටියා.

මෙම සාකච්ජාවට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා මහතා ද එක්ව සිටි අතර, එහිදී ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව තුළ මේ වන විට භූ කම්පන මාන 4 ක් ස්ථාපිත කර ඇති අතර ඒ හරහා වඩාත් නිවැරදි තොරතුරු ලබා ගනිමින් යම් ආපදා තත්ත්වයක් සම්බන්ධයෙන් දැනුම් දීමේ හැකියාවක් පවතින බවයි.

ඒ අනුව වික්ටෝරියා වේල්ල නිරීක්ෂණ චාරිකාවක් මේ මස 22 වන දා සිදු කිරීමට නියමිතයි.

මේ අතර, පරිසර අමාත්‍යාංශය විසින් වික්ටෝරියා ජලාශය අවට විටින් විට සිදුවූ භූ කම්පන පිළිබද විමර්ශනය කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා ෴

***************************************

(11.12.2020 – 11:09 +0530 – hirunews.lk/sinhala)

14 හැවිරිදි පාසල් දැරියක් පැහැරගෙන ගොස් රඳවාගෙන සිටි සැකකරුවෙකු ලුණුගම්වෙහෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට, බෝලාන ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු බවටයි වාර්තාවන්නේ.

සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 24 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

අදාළ බාලවස්කාර දැරිය හම්බන්තොට අධිකරණ වෛද්‍ය නිළධාරී වරයා හමුවට ඉදිරපත් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ.

සැකකරු මෙම දැරිය ‘මුහුණුපොත’ ඔස්සේ හඳුනාගැනීමෙන් අනතුරුව දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

සිය දියණියන් නිවසින් අතුරුදන්ව ඇති බව පසුගිය 08 වනදා දැරියගේ පියා විසින් ලුණුගම්වෙහෙර පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි දැරිය සොයා විමර්ශන ආරම්භ කර ඇත්තේ.

අනතුරුව පොලිසිය විසින් සැකකරුගේ දුරකථන දත්ත වාර්තා හරහා විමර්ශන ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව දින 10 කට පසුව සැකකරු අදාළ දැරිය සමඟ අම්බලන්තොට බෝලාන ප්‍රදේශයේ පිහිටි වගාබිමක ගසක් උඩ ඉදිකර තිබූ පැලක සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණ වී ඇත්තේ දැරියගේ සොහොයුරා අදාළ සම්බන්ධයට විරුද්ධ වී අවවාද කිරීමත් සමඟ එයට උරණ වූ දැරියගේ ඉල්ලීම මත අදාළ සැකකාර තරුණයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට පැමිණ දැරිය හමුවී මෙම ස්ථානයට පැමිණ වාසක කළ බවයි.

ඒ අනුව අදාළ දැරියද පෑන් දෙකක් රැඟෙන ඒම සඳහා වෙළඳසැලට යන බව දන්වා නිවසින් පිටතට පැමිණ මෙලෙස සැකකරු සමඟ පැමිණ ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ලුණුගම්වෙහෙර පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ ෴

***************************************

(11.12.2020 – 11:30 +0530 – hirunews.lk/sinhala)

වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු වීමේ ප්‍රතිශතයට සියයට 7 කින් පහත බැස තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ පවතින කොරෝනා තත්ත්වය හමුවේ ලොව සියලු රටවල කර්මාන්තශාලා ක්‍රියාකාරීත්වයේ සහ වාහන ධාවනයේ අඩු තත්ත්වයක පැවතීම මීට හේතුව බවයි.

ඒ අනුව කලාපීය වශයෙන් යුරෝපයෙන් වායුගෝලයට සියයට 11 නුත් ඇමරිකාවෙන් සියයට 12 කි නුත් කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට එක්වීමේ පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ෴

***************************************

(11.12.2020 – 12:04 +0530 – hirunews.lk/sinhala)

ජලයෙන් පිරී ගිය වගුරු බිමක් වූ පාසලක අකුරු කරන දරුවන් පිරිසක් පිළිබඳව පුවතක් අපට ඇහෙන්නේ පාලවිය ප්‍රදේශයෙන්.

පාලවිය සිංහල මහා විද්‍යාලයේ මේ වනවිට අකුරු කරන දරුවන් සංඛ්‍යාව 850 ක්.

එම පාසලේ පළමු වසරේ සිට 13 වන වසර දක්වා අධ්‍යාපනය ලැබීමද විශේෂත්වයක්.

සෑම වර්ෂාවක් සමගම පාසල් භූමියට ගලා එන මහා ජලකඳ එම භූමින් පිටතට ගමන්කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් එය විශාල මඩ වගුරක් බවට පත්වනවා.

දැඩි ආර්ථික අපහසුතා මැද අනාගතය ජයගන්න පාසල වෙත පැමිණෙන එම ප්‍රදේශයේ පදිංචි දරු දැරියන් මේ හේතුවෙන් පත්ව ඇත්තේ මහත් පීඩාවකටයි ෴

***************************************

වෛද්‍ය සාෆි, අත්අඩංගුවට ගත් නිසා, තමන්ව ස්ථාන මාරු කළ බවට, නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගෙන් පාස්කු කොමිසමට ප්‍රකාශයක්

(11.12.2020 – 13:10 +0530 – hirunews.lk/sinhala)

වන්ද්‍යාකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය සාෆි සහබ්ඩීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම නිසා තමාට පුත්තලමට ස්ථාන මාරුවීමක් ලබා දුන් බව එවක කුරුණෑගල දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ප්‍රකාශ කළා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (10) සාක්ෂි ලබාදෙමින් ඔහු ප්‍රකාශ කළේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමඟ සබඳතා පැවැත්වූ සාෆි සහබ්දීන්ට තව්හිද් ජමාත් සංවිධානයෙන් මුදල් ලැබුණු බවට බුද්ධි තොරතුරු මගින් අනාවරණ වූ බවයි.

+++++++++++++

වෛද්‍ය සාෆි ව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියාට වුණු දේ

(11.12.2020 – 13:14 +0530 – sinhala.adaderana.lk)

වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වු කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් අත්අඩංගුවට ගැනීම තමන් ස්ථාන මාරු කිරීමට මූලික වශයෙන් හේතු වු බව කුරුණෑගල දිසා භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (10) සාක්ෂිදෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිට සාෆි ෂියාබ්දින්ට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා සමග දේශපාලනික සම්බන්ධතාවයක් පැවති බවත් තව්හිද් ජමාත් සංවිධානයකින් මුදල් ගලා ආ බවටද තොරතුරු ලැබි තිබු බවත් ය.

එහිදි ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින් ඔහු කියා සිටියේ, නැගෙනහිර පළාතට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ද ඉස්ලාම් අන්තවාදින් බලවත්ව සිට ඇති අතර අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු ඊට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වු සැකකරුවන් 226 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අත්අඩංගුවට ගත් බවය.

එහිදී ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ, ඔබ යටතේ තිබු කුරුණෑගල දිස්ත්‍රික්කයේ කැකුණුගොල්ල ග්‍රාමය සහරාන් හෂීම්ගේ බිරිඳගේ ගම බව ඔබ යටතේ සිටි බුද්ධි අංශ විසින් වාර්තා කර තිබුණේ ද යන්නය.

එයට පිළිතුරු දෙමින් කිත්සිරි ජයලත් මහතා කියා සිටියේ, බුද්ධි අංශ විසින් එවැනි කිසිදු දැනුවත් කිරීමක් සිදුකර නොතිබු බවත් තමන් සහරාන් හෂීම් පිළිබඳ දැනගත්තේ ද අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව බවත් ය.

එහිදි කොමිසම යළි ප්‍රශ්න කළේ, කැකුණුගොල්ල ප්‍රදේශය ආශ්‍රීතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සිදුකළ මෙහෙයුම් පිළිබඳ පාස්කු ප්‍රහාරයට පෙර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඔබ දැනුවත් නොවුණේ ද යන්නය.

එයටද සාක්ෂිකරු පිළිතුරු දුන්නේ, “නැහැ ස්වාමිනි එම කිසිඳු විමර්ශනයක් පිළිබඳ මා දැන සිටියේ නැහැ,” යනුවෙනි.

එහිදි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සිදුකළ විමර්ශන සහ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් සාක්ෂිකරු මෙලෙස අදහස් පළ කළේය.

“අප්‍ර්ල් 21 ප්‍රහාරයෙන් පස්සේ ඊට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වු සැකකරුවන් හය දෙනකු (6) අත්තඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ තොරතුරු ප්‍රසිද්ධ වුණා. එයින් දෙදෙනෙකු (2) කඩිනමින් අත්තඩංගුවට ගැනිමට මා ඇතුළු නිලධාරින්ට පුළුවන් වුණා. ඉතා වැදගත් බුද්ධි තොරතුරු 45 කට ආසන්න සංඛ්‍යාවක් මට ඒ වෙද්දි ලැබිලා තිබුණා. ඒ අතර එක්තරා සුවිශේෂී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට මම ක්‍රියා කළා. කොහොමවුනත් එම සැකකරු අත්අඩංගුවට ගත්ත ගමන් මට සමාජ මාධ්‍ය ඔස්සේ වගේම වෙනත් මාර්ගවලිනුත් විවිධ බලපැම් එල්ල වුණා. එම බලපැම් හමුවේ මාව පුත්තලමට මාරු කලා,” යැයි කොමිසම හමුවේ සාක්ෂිදෙමින් කිත්සිරි ජයලත් මහතා කියා සිටියේය.

එහිදි කොමිසම විමසා සිටියේ අදාළ සුවිශේෂී සැකකරු කවුරුන්ද යන්නය.

“සාෆි ෂිහාබ්දීන්. කුරුණෑගල මහ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරපු පුද්ගලයා,” යැයි සාක්ෂිකරු එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අනාවරණය කළේය.

එහිදි ජනාධිපති කොමිසම යළිත් ප්‍රශ්න කළේ අදාළ වෙද්‍යවරයාට කිසියම් දේශපාලන සබඳතාවයක් පැවතියේ ද යන්නය.

“ඔව් ස්වාමිනි, එම වෛද්‍යවරයාට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග සම්බන්ධතා පැවති බවට මාහට තොරතුරු අනාවරණය වෙලා තිබුණා. ඒ වගේම තවුහිත් ජමාත් සංවිධානයකින් මෙම සැකකරුට මුදල් ගලාගෙන ආපු බවටත් බුද්ධි තොරතුරු තිබුණා. ඒ නිසයි මම උපදෙස් ලබා දුන්නේ පරික්ෂණ මෙහෙයවලා මොහුට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. කොහොම නමුත් සැකකරු අත්අඩංගුවට ගත්තට පස්සේ මාව ස්ථාන මාරු කළා,” යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කරුණු පැහැදිලි කළේය.

***************************************

(11.12.2020 – 13:14 +0530 – hirunews.lk/sinhala)

ආර්. සම්බන්ධන්, සී.වී. විග්නේෂ්වරන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ පක්ෂවල මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගේ අත්සන් සහිත ලිපියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දී තිබෙනවා.

ඊයේ (10) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අදාළ ලිපිය භාර දුන් බවයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ත්‍රස්ත විමර්ශන පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සිරකරුවන් කඩිනමින් නිදහස් කරන ලෙස මෙමගින් ඉල්ලා තිබෙනවා.

මෙම ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා හරහා ජනාධිපතිවරයා වෙත ද යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, අධිකරණ අමාත්‍ය අලි සබ්රිට ද මෙම ලිපිය භාර දී තිබෙනවා.

එහිදී ඔහු සදහන් කර ඇත්තේ අදාළ ලිපිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කරවන බවයි.

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලන්, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් ද අදාළ ලිපියට අත්සන් කර ඇති බව සඳහන් ෴

***************************************

(11.12.2020 – 13:17 +0530 – hirunews.lk/sinhala)

පසුගිය කාලසීමාවේ බඩඉරිඟු වගාව විනාශ කළ සේනා දළඹු ව්‍යාප්තිය මෙම කන්නයේ බඩඉරිඟු වගාවට ද ව්‍යාප්තවීම හේතුවෙන් ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.

අම්පාර දිස්ත්‍රික්කයෙන් මෙන්ම තවත් ප්‍රදේශ රැසකට මෙම උවදුර දැඩිව බලපා ඇති අතර, එප්පාවල – නල්ලමුදාව සහ කරුවලගස්වැව – මූණමල්ගස්වැව යන ප්‍රදේශවල ගොවීන් සඳහන් කරන්නේ මේ හේතුවෙන් අක්කර 250 කට වැඩි බඩඉරිඟු වගාවක් විනාශ වී ඇති බවයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනුර විජේතුංග මහතා සඳහන් කළේ මේ වන විට උතුරුමැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වල සේනා දළඹු උවදුර වාර්තා වී ඇති බවයි.

***************************************

(11.12.2020 – 13:25 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව – හබරණ නගරය ආසන්නයේ පිහිටි රජයේ ඉඩමක් රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ මැදිහත්වීම මත ඩෝසර් කර ඇති බවට පවසමින් ප්‍රදේශවාසීන් පිරිසක් එම ස්ථානයේ විරෝධතාවක නිරතවුණා.

පොළොන්නරුව – හබරණ නගරය ආසන්නයේ ඇති මෙම ඉඩම අක්කර 9 ක පමණ වපරිසයකින් යුක්තයි.

මෙම ඉඩමේ හිමිකරු මියයාමත් සමඟ එය රජයට පවරා ගෙන ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

පසුව පළුගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මෙම ඉඩමේ කාර්යාලයක් පවත්වාගෙන ගිය බවද ඔවුන් සඳහන් කළා.

එවන් පසුබිමකයි පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ අනුගාමිගකයින් පිරිසක් එම ඉඩම හෙළිපෙහෙළි කිරීමට කටයුතු කර ඇති බවයි ජනතාව චෝදනා කළේ ෴

***************************************

(11.12.2020 – 13:27 +0530 – hirunews.lk/sinhala)

වත්මන් රජය දූෂිතයින්ට එරෙහිව ක්‍රියාකරන්නේ නීතියට අනුකූලව මිස පසුගිය රජය අධිකරණ විනිසුරුවරුන්ට බලපෑම් කරමින් නඩු කටයුතු මෙහෙය වූ ආකාරයට නොවන බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ ‘හිරු බලය’ වැඩසටහනට ඊයේ (10) එක්වෙමින්.

***************************************

(11.12.2020 – 13:30 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ නව මැනිං වෙළඳ පොළේ වෙළඳ සැල් ලබාදීමේ ගැටලුවක් ඇති බව පවසමින් වෙළෙඳුන් පිරිසක් අද (11) උද්ඝෝෂණයක නිරත වුණා.

සිය ගැටලුවට විසඳුමක් ඉල්ලා ඔවුන් මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ ඊයේ (10) රාත්‍රියේදී.

***************************************

(11.12.2020 – 13:32 +0530 – hirunews.lk/sinhala)

ලබන වසරේ (2021) වෙසක් උත්සවය යාපනයේදී පැවැත්වීම මෙරට සංහිඳියාව වර්ධනය කර ගැනීමට පිටිවහලක් වන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අභිනව මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ බුද්ධ ශාසන ශාසන අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා උන්වහන්සේ බැහැ දකිමින් ඒ පිළිබඳව දැනුවත් කළ අවස්ථාවේදී.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *