‘මහා ලක්ෂ්මි’ දේවතාවියගේ අනුහසින් විස්කම් කළ මහා ගණිතඥයා රාමනුජාන්

‘මහා ලක්ෂ්මි’ දේවතාවියගේ අනුහසින් විස්කම් කළ මහා ගණිතඥයා රාමනුජාන්

*********************************************

‘මහා ලක්ෂ්මි’ දේවතාවියගේ අනුහසින් විස්කම් කළ මහා ගණිතඥයා රාමනුජාන්

(09.12.2020 – 10:44 +0530 – lankaleadnews.com)

ශ්‍රීනිවාස රාමනුජාන් 1887 වසරේ දකුණු ඉන්දියාවේ දුගී පවුලක උපන්නේය.

කුඩා කල හරිහමන් විදිමත් අධ්‍යාපනයක් ලබා නොගත් රාමනුජාන් හින්දු ආගමට සහ එහි ඉගැන්වීම් වලට දැඩි සේ ප්‍රිය කළ අතර දැඩි ආගමානුකූල දිවියක් ගත කළේය. ආගම් භක්තිය නිසාම නිර්මාංශ දිවියක් ගෙවූ ඔහුට සෑම උදෑසනකම සිය කුල දෙවි වන්දනා කිරීමේ පුරුද්දක් විය.

විධිමත් ගණිතය ඉගෙන නොගත් දකුණු ඉන්දියාවේ රාමනුජාන් ගණිත ලෝකයට දායාද කළ න්‍යායන්ගේ සංඛ්‍යාව 4000 කට වැඩිය.ඒ සියල්ල ඔහු විසින් සිදු කළේ සිය දෙවියන් වන්දනා කිරීමෙන් පසුවය.

හරිහමන් ගණිතයක් නොදැන සිටි, දැඩි ආගමානුකූල, දකුණු ඉන්දියාවේ මේ කුඩා මිනිසා ලංඩනයේ ප්‍රකට විශ්ව විද්‍යාල වල මහාචාර්යවරුන් විශ්මයට පත් කිරීමට සමත් ගණිත න්‍යායන් සොයාගත්තේය.

ඒ සියල්ල සිදු කළේ කෙසේදැයි ඔහුගෙන් ප්‍රශ්න කළ විට රාමනුජාන් පැවසූවේ ‘මහා ලක්ෂ්මි’ දේවතාවියගේ අනුහසින් තමා මේ විස්කම් කළ බවය.

එය ඇසූ ඉපැරණි ඉන්දියානුවන් රාමනුජාන් පිස්සෙක් යැයි සැලකීය. නමුත් ලංඩනයේ මහා ගණිතඥයන් තමන්ට අවබෝධ කරගැනීමට අපහසූ න්‍යායන් බිහි කළ මහා මිනිසා ලංඩනයට ගෙන්වා ගෙන ඔහුගේ දැනුම ලබා ගැනීමට නිරහංකාර විය.

වර්තමාන ලෝකයේ ගණිතඥයන් අතර ඉහළින්ම සිටිනා රාමනුජාන් වෙනුවෙන් සෑදුනු අනන්තය දුටු මිනිසා (The Man Who Knew Infinity – Official Trailer – Warner Bros. UK) චිත‍්‍රපටය නැරඹීමෙන් ඔහු පිළිබඳ ඔබට ඉගෙන ගත හැක. ( https://youtu.be/NP0lUqNAw3k )

අප පෙරදිග දැනුම ඉන්ද්‍රීය ගෝචර දැනුමකින් එහා ගිය දැනුමකි. අධ්‍යාත්මික දියුණුව පෙරදිග මිනිසුන්ගේ ඉලක්කයකි.

දෙවිවරුන්, අමනුෂ්‍යයන් යැයි සඳහන් කෙරෙන ජීවි කොට්ඨාස සමග ගණුදෙනු කිරීම සහ ඒ ඔස්සේ දැනුම උකහා ගැනීම පෙරදිග මිනිසුන් දැනුම රැස් කරනා ක්‍රමයකි.

එය අවිද්‍යාත්මක, විහිලුවක් සේ දකින්නේ බටහිර විද්‍යාවද හරි හැටි ඉගෙන නොගත්, අනන්‍යතා අර්බුධ සහිත මේ රටවලම ඉපදී හැදී වැඩුනු හීනමාන තක්කඩීන්ය.

බටහිර විද්‍යාඥයන්ට ඒ ගොබ්බ චින්තනය නැත. ඔවුන් පෙරදිග දැනුම මිත්‍යාවක් සේ බැහැර කරන්නේ නැත. ඔවුන් ඒ පිළිබඳ උනන්දුය. එම දැනුම උකහා ගැනීමට ඔවුන්ට අවශ්‍යය.

මහා ලක්ෂ්මී දේවතාවියගේ අනුහසින් ගණන් හැදු රාමනුජාන් ලංඩන් ගණිත්‍යඥයන් සමග එක්ව ගණිත න්‍යායන් 4000 ක් ලෝකයට බිහි කරන්නේ එබැවිනි.

මෙරට හෙළ වෙදකම අධ්‍යාත්මික දියුණුව සමග බද්ධ වී තිබේ. ඉපැරණි හෙළ වෙදකමේදි ඖෂධයේ ක්‍රියාකාරීත්වය වෛද්‍යවරයාගේ අධ්‍යාත්මික දියුණුව සමග අනුලෝමව සමානුපාතිකය.

ඒ ක්‍රම බටහිර විද්‍යාව මනිනා පරීක්ෂණ නිර්නායක වලින් මැනිය නොහැක.

අධ්‍යාත්මික දියුණුව ලැබූ මෙරට වෙද මහතෙක් සාදන ඖෂධයක්, මන්ත්‍රයක් ජප කර ලබා දීමත්, එම ඖෂධයම බටහිර විද්‍යාගාරයක සාදා රෝගීන්ට ලබා දීම අතරත් වෙනසක් පවති.

ඉන්ද්‍රීයන්ට ගෝචර වන බටහිර විද්‍යාවේ පරීක්ෂණ වලින් එය මැනිය නොහැක.

ඉන්ද්‍රීය ගොචරවීමෙන් එහා යන දැනුමක් සහ විද්‍යාවක් මත ගොඩනැගෙන අපගේ දැනුම බටහිර විද්‍යාත්මක ක්‍රම වලින් මැනිය නොහැක. මේ බව බුද්ධියක් පවතින පුද්ගලයෙකුට වැටහිය යුතුමය.

අධ්‍යාත්මික දියුණුව, ඉන්ද්‍රීය ගෝචර නොවන බලවේග සමග ගණුදෙනු කර දැනුම ලබා ගැනීම අප අතරම සිටිනා සාමාන්‍ය පෙළ දක්වා බටහිර විද්‍යාව උගත්, ඉන්පසුව උසස් පෙළට ‘ආර්ට්ස්’ කෙරු නවකතා ලියන, චිත්‍රපට හදන, කවි ලියන ගොබ්බයන්ට ‘මිත්‍යාවක්’ වන්නේ ඔවුන් මෙම මූලික සංකල්පය තබා බටහිර විද්‍යාව පවා නිසිලෙස අවබෝධ කර නැති බැවිනි.

මෙරට රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බව සොයාගත් විද්‍යාත්මක කණ්ඩායමට මූලාරම්භය ලැබී තිබුනේ අධ්‍යාත්මික ඉහළ දියුණුවක් ලැබූ, නාථ දෙවියන් සමග ගණුදෙනු කරනා කාන්තාවකගෙනි.

මහාචාර්ය නලීන් ද සිල්වා, මහාචාර්ය චන්න ජයසුමන ඇතුලු කණ්ඩායම බටහිර විද්‍යාත්මක පර්යේෂණ මගින්ද එය තහවුරු කර පෙන්වූයේය. එනමුත් අර ඉහත කී ‘ආට් කෑලි’ ගොබ්බයන්ට ‘නාථ දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීම’ නිසා ඔප්පු කළ සමස්ත පර්යේෂණයම විහිලුවක් විය. නමුත් වසරකට පසුව ඇමෙරිකානු විද්‍යාඥයන්ගේ සංගමයෙන් මහාචාර්ය චන්න ජයසුමනට ‘නාථ දෙවියන්ගෙන් අදහසක් ලබා’ සිදු කළ එම විද්‍යාත්මක පර්යේෂණය සඳහා ‘වසරේ හොදම විද්‍යාත්මක පර්යේෂණය’ ලෙසට සම්මානයක් හිමි විය.

ඔබ හොදින් නිරීක්ෂණය කළහොත් මෙම පෙරදිග දැනුම පද්ධතිය මිත්‍යාවක් සේ බැහැර කරන්නේ බටහිර විද්‍යාව නූගත් හෝ බටහිර විද්‍යාව තේරුම් ගැනීමට හැකියාවක් නැති මෝඩයන්ය. ඔවුන් සිය මෝඩකම වසා ගැනීමට භාවිතා කරන උපක්‍රමය මෙම දැනුමට පහර දීමයි. එවිට තමන් බුද්ධිමත් යැයි පෙනේ යැයි ඔවුන් විශ්වාස කරයි.

බටහිර විද්‍යාව පරතෙරට උගත් පුද්ගලයන් පෙරදිග දැනුම සහ පෙරදිග දැනුම උකහා ගන්නා ක්‍රමය වර්ණනා කිරීම සුලභය. එය මෙරට භෞතික විද්‍යාවේ ඉහළම මහාචාර්ය නලීන් ද සිල්වාගේ සිට GMOA සභාපති වෛද්‍ය පාදේනිය දක්වා එලෙසය.

සිය ඉන්දීය සංචාරයෙන් පසුව 21 වන සියවසයේ විශිෂ්ඨතම නිර්මාණකරු ස්ටීව් ජොබ්ස් කීවේ “ඉන්දියානුවන්ගේ දැනුම ඉන්ද්‍රීය ගෝචරත්වයෙන් එහා ගිය එකකි. ඔවුන් පරිසරය සහ ස්වභාව ධර්මය සමග බද්ධ වී සිටිති. ඔවුන්ට ඒ සම්බන්ධයෙන් ඉවක් තිබේ. මෙය අපේ දැනුමෙන් වෙනස් වූ ඉන් එහාට ගිය තත්ත්වයෙකි” යනුවෙනි.

IQ මට්ටම ඉතා වැඩි, බටහිර විද්‍යාව පරතෙරට උගත් ස්ටීව් ජොබ්ස් එසේ කීවත් ලංකාවේ සාමාන්‍ය පෙළට විද්‍යාව කෙරූ පණ්ඩිතයෙක් ඉන්දියාවේ සංචාරය කළා නම් කියන්නේ “ඉන්දියානුවන් මෝඩයන්ය. ඔවුන් තවමත් ගල්, කිරි වලින් නාවති. නිර්මාංශව සිටිති. ඔවුන්ට විද්‍යාව ඉගැන්විය යුතුය.” යනුවෙනි.

මින්පසුවට හෝ අප ජාතියක් ලෙස අපගේ දැනුම මත පදනම් වූ ඖෂධ හෝ ඕනෑම දෙයක් මැනිය යුත්තේ අපගේ දැනුම් පද්ධතියෙනි. ඉන්ද්‍රීය ගෝචරත්වයෙන් එහා ගිය දැනුමක නිෂ්පාදනයක්, ඉන්දීය ගෝචරව බටහිර විද්‍යාව තුලින් මැනිය නොහැක. ඒ බව අවබෝධ කරගත යුතුය.

නමුත් නිෂ්පාදනය සත්‍ය වූ විටෙක, ලංකාවේ ගොබ්බයන් මිත්‍යාව යැයි ප්‍රතික්ෂේප කළද බටහිර විද්‍යාවෙන් ලැබෙන පිළිගැනීම ලැබෙන බවද මතක තබා ගත යුතුය.

මහා ලක්ෂ්මි දේවතාවියගේ අනුභාවයෙන් ගණන් හැදූ රාමනුජාන්ගේ ගණිත න්‍යායන් 4000 ක් ඔක්ස්ෆර්ඩ් සරසවියේ උගන්නන්නේත්, නාථ දෙවියන්ගෙන් ලැබූ දැනුමක් මත පදනම්ව සිදු කළ පර්යේෂණයට ඇමෙරිකාවෙන් සම්මාන ලැබෙන්නේත් එබැවිනි. අතරමග සිට ගල් ගසනා නූගත්, අනන්‍යතා හිඟන්නන් ගණන් ගත යුතුම නැත.

– ඉෂාන් ජයසූරිය

***************************************

(10.12.2020 – 07:22 +0530 – hirunews.lk/sinhala)

රුපියල් එක්කෝටි හත්ලක්ෂයකට (1,07,00,000) අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 898 ක් සමඟ සැකකරුවෙකු සහ සැකකාරියක වැලිසර ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහබාගේ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය සඳහන් කළේ.

26 හැවිරිදි වියේ පසුවන මොවුන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴

***************************************

(10.12.2020 – 07:42 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන උදුවප් පොහොය දිනයෙන් ආරම්භ වන සිරිපා වන්දනා සමය රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ විසින් ලබාදී ඇති උපදෙස්වලට අනුව එය පැවැත්වීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා සහ සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ගේ සහභාගීත්වයෙන්.

ඒ අනුව සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව ශ්‍රී පාද උඩමළුවේ වරකට සිටිය හැකි උපරිම බැතිමතුන් සංඛ්‍යාවන මෙවර 200 කට සීමා කර තිබෙනවා.

එමෙන්ම මේ 27 වනදා පස්වරුවේ යෙදෙන විශේෂ නැකතකට අනුව ශ්‍රී පාද රජමහා විහාරයේ විශේෂ කුටියක තැන්පත් කර තිබෙන සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව 28 වනදා උදෑසන ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සිට ශ්‍රීපාදස්ථානය දක්වා මාර්ග හතරක් (4) ඔස්සේ වැඩම කරවීමට නියමිතයි.

ඒ අනුව පලාබද්දල මාර්ගය, බලංගොඩ මාර්ගය, කුරුවිට මාර්ගය සහ හැටන් – නල්ලතන්නි යන මාර්ග හතර ඔස්සේ සෞඛ්‍ය රීතීන්ට අනුව විශේෂ පෙරහරකින් නොනවත්වා ගමන් කිරීම සිදු කෙරෙනවා.

පෙරහර පවත්වන අවස්තාවේ පඬුරු දැමීමට ද හැකියාවක් ලැබෙන්නේ නැහැ.

දන්සල් පැවැත්වීමද තහනම් කර ඇති අතර, අවශ්‍ය පුද්ගලයින්ට මුව ආවරණ හෝ විෂබීජනාශක දියර දන්සල් පැවැත්විය හැකියි ෴

***************************************

(10.12.2020 – 07:49 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිසම් සභාවේ නව සාමාජිකයින් මෙන්ම පොලිස් කොමිසමේ සාමාජිකයින්ද අද (10) සිය රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නිමල් ජී. පුංචිහේවා මහතා පත් කළ අතර, එහි සෙසු සාමාජිකයන් ලෙස එම්.එම්. මොහොමඩ්, එස්.බී. දිවාරත්න, කේ.පී.පී. පතිරණ සහ ජීවන් ත්‍යාගරාජා යන මහත්වරු කටයුතු කරනු ඇති ෴

***************************************

(10.12.2020 – 07:56 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා කොළඹ – කිංග්ස්බරි හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් මුබාරක් නැමති සැකකරුගේ බිරිඳ වන අයේෂා සිද්ධික් මොහොමඩ් වසීම් ඇතුලු සැකකරුවන් තුන්දෙනා මේ මස 22 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඔවුන් ඊයේ (09) අධිකරණයට ඉදිරිපත් නොකළ අතර, ස්කයිප් තාක්ෂණය ඔස්සේ සැකකරුවන් නිරික්ෂණය කරමින් නඩුව කැඳවනු ලැබුවේ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ යි.

අදාළ සැකකාරිය පාස්කු ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ වී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (09) දැනුම්දී තිබෙනවා ෴

***************************************

(10.12.2020 – 08:18 +0530 – hirunews.lk/sinhala)

ලබන වසරේ අයවැයට අදාළව අවසන් ඡන්ද විමසීම අද (10) පස්වරු පහට (05:00) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතයි.

පසුගිය නොවැම්බර් 21 වනදා අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවති අතර, එහිදී වැඩි ඡන්ද 99 කින් දෙවන වර කියවීම සම්මත වුණා.

මෙහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 52 ක් පමණයි.

විසිවන ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩුවට සහය දුන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඩයනා ගමගේ ආණ්ඩුවට සහයෝගය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කළා.

මේ අතර ඊයේ (09) අයවැය කාරක සභා අවස්ථාවේදී අධිකරණ, කම්කරු, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් සංශෝධන රහිතව සම්මත වුණා ෴

***************************************

(10.12.2020 – 09:12 +0530 – hirunews.lk/sinhala)

අක්කරෙයිපත්තුව පොලිස් වසමේ පාලමුන ප්‍රදේශයේ දී පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.

කාන්තන්කුඩි පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුයි රාජකාරියේ නිරතව සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ.

සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

***************************************

(10.12.2020 – 09:26 +0530 – hirunews.lk/sinhala)

මාරවිල මූදුකටුව වෙරළ තීරයේ සිට ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කහ තොගයක් සමඟ තුන්දෙනෙකු (3) අද (10) උදෑසන අත්ඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ සිට නීති විරෝධි ලෙස මෙරටට මුහුදු මාර්ගයෙන් මෙම කහ තොගය ගෙනවිත් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පොලිස් භාරයට ගන්නා විට ලොරි රථයේ කහ කිලෝ 1,350 ක් තිබූ අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් මාදම්පේ, තොඩුවාව සහ බරුදැල්පොල ප්‍රදේශවල පදිංචිකරුවන්.

[ සේයාරූ ]

***************************************

(10.12.2020 – 13:10 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (11) පැය හයක (6) කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ, අනුව හෙට (11) රාත්‍රී 10 සිට පසුදා අලුයම හතර (4) දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ ඩීන්ස් පාර සහ ඩාලි පාර ඇතුලු සියලු අතුරු මාර්ගවලටයි.

මීට අමතරව වොක්ෂෝල් වීථිය, වොක්ෂෝල් පටුමග, ඉබ්බන්වල හන්දියේ සිට කොම්පඤ්ඤ වීථීය සහ යූනියන් පෙදෙසේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මාවත හා සියලු අතුරු මාර්ගවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ෴

=================================

(10.12.2020 – 08:12 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – මහයියාව ප්‍රදේශයේ කොරෝනා ආසාදනය වී පෙරේදා මියගිය 63 හැවිරිදි කාන්තාවගේ සැමියා ඊට සතියකට පමණ පෙර මියගොස් ඇති අතර, ඔහුටද වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ සැක පළ කරනවා.

පසුගිය 28 වනදා මියගිය අදාළ පුද්ගලයාගේ දේහය සාමාන්‍ය මළ සිරුරක් භූමදානය කරන ආකාරයෙන් ග්‍රාම නිලධාරී දැනුවත්ව මහයියාව පොදු සුසාන භූමියේදී භූමදාන කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ දේහය භූමදානය කිරීම සම්බන්ධයෙන් අද (10) දිනයේ මහනුවර පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම රට තුළ පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ මරණයක් සිදුවන ඕනෑම අවස්ථාවක ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර නිරෝධායන නීතීන්ට යටත්ව අවසන් කටයුතු සිදුකළ යුතුව තිබුණද අදාළ දේහය පිළිබඳ අවසන් කටයුතු එලෙස සිදු නොකිරීම සම්බන්ධයෙන් මහනුවර පොලීසිය මේ වනවිට විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා.

ඊයේත් (09) නව ආසාදිතයන් 697 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තිස්දහස (30,000) ඉක්මවා ගියා.

ඒ අනුව මුළු ආසාදිත සංඛ්‍යාව දැක්වුණේ 30,075 ක් ලෙසයි.

ඊයේ (09) වාර්තාවූ ආසාදිතයන්ගෙන් 651 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයන් 43 දෙනෙකුද හඳුනාගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 26,516 දක්වා ඉහළ යනවා.

එමෙන්ම කැනඩාවේ සිට පැමිණි දෙදෙනෙකු (2) සහ පාකිස්ථානයේ සිට පැමිණි අයෙකු (1) ද කොවිඩ් ආසාදිතයන් ලෙස ඊයේ (09) හඳුනාගැනුනා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 8,131 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 21,800 ක්.

එමෙන්ම නව මරණ දෙකක් (2) සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 144 දක්වා ඉහළ ගියා.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි දින විස්සක් (20) වයසැති බිළිඳෙකු, රිජ්වේ ආර්යා ළමා රෝහලේදී පෙරේදා (08) මියගියේ ලේ විසවීම, බහුඉන්ද්‍රීය අක්‍රියවීම සහ කොවිඩ් නියුමෝනියා තත්වයෙන්.

කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 62 ක පිරිමි පුද්ගලයෙකුද මුල්ලේරියාව මූලික රෝහලේදී ඊයේ (09) මියගියා.

කොළඹ පෞද්ගලික රෝහලක සිට මොහු මෙම රෝහලට මාරුකර යවා ඇති අතර, මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ ‘කොවිඩ් නියුමෝනියා’ තත්වයයි.

මේ අතර වැලිගම නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ 319 ක් අතරින් කොරෝනා ආසාදිතයන් 18 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ ආසාදිතයන් වාර්තාවූ ප්‍රදේශවලට සංචරණ සීමා පැනවීම සඳහා සෞඛ්‍ය අංශ විසින් ආණ්ඩුකාරවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර භාවිත කිරිමන් පසු ඉවතලන මුව ආවරණ අවිධිමත් ලෙස බැහැර කිරීම හේතුවෙන් ඉදිරියේදී කොරෝනා වසංගත තත්වය ඉහළ යාමටත්, එම වෛරසය ජලමූලාශ්‍රවලට එක්වීමෙන් අනතුරුදායක තත්ත්වයක් ඇතිවිය හැකි බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

සිය අමාත්‍යාංශයේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙම වසරේ මාර්තු 17 වනදා සිට ඔක්තෝම්බර් 31 වනදා දක්වා කාලය තුළ මුව ආවරණ ටොන් 495 ක් මෙරටට ආනයනය කර ඇති බවයි.

එමෙන්ම රට තුළ මේ වනවිට මුව ආවරණ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලා ගණනාවක් පිහිටුවා ඇති අතර, මේ සියල්ලෙන්ම පරිසරයට එක්වන මුහුණු ආවරණ ඉදිරියේදී බරපතල පාරිසරික ගැටළු නිර්මාණය කළ හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම මැදපෙරදිග රටවල් තුනක (3) සිට ශ්‍රී ලාංකිකයන් 119 දෙනෙකු අද (10) අලුයම දිවයිනට පැමිණියා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 40 දෙනෙකු, කටාරයේ සිට 29 දෙනෙකු සහ ඕමානයේ සිට 50 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණි බවයි කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

++++++++++++++++++++

(10.12.2020 – 11:06 +0530 – hirunews.lk/sinhala)

තෝරාගත් පුද්ගලයින් 150 දෙනෙකු ආරච්චිකට්ටුව සතිපොල භූමියේදී අද පෙරවරුවේ පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කර තිබෙනවා.

දංකොටුව ප්‍රදේශයේ ඉස්සන් වගා කිරීමේ නිරතවන පිරිසක් සහ බිංගිරිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක කිහිපදෙනෙකු මෙලෙස පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය පස්වනදා ද පුද්ගලයන් 100 දෙනෙකු සඳහා ආරච්චිකට්ටුව ප්‍රදේශයේ සිදුකළ පී.සී.ආර්. පරික්ෂණවලදී කොරෝනා ආසාදිතයන් 31 දෙනෙකු හඳුනා ගැනුනා ෴

+++++++++++++++++++++

(10.12.2020 – 11:12 +0530 – hirunews.lk/sinhala)

විදේශවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට නිවෙස් තුළ සිදුකරන නිරෝධායනයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ වනවිට විදෙස් ගතව සිට පැමිණෙන සියලුදෙනා ගුවන් තොටුපලේදී පී.සී.ආර්. පරික්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානවල දින 14 ක් සහ ඉන් පසු නිවෙස් තුළ දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් කිරීම සිදුවනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *