වත්තලින් නව ආසාදිතයන් 53 ක් – ළමා රෝහලේදී මිය ගිය දින 20 ක් වයසැති බිළිදාගේ මරණය ගැන විශේෂ විමර්ශනයක්

වත්තලින් නව ආසාදිතයන් 53 ක් – ළමා රෝහලේදී මිය ගිය දින 20 ක් වයසැති බිළිදාගේ මරණය ගැන විශේෂ විමර්ශනයක්

*********************************************

වත්තලින් නව ආසාදිතයන් 53 ක් – ළමා රෝහලේදී මිය ගිය දින 20 ක් වයසැති බිළිදාගේ මරණය ගැන විශේෂ විමර්ශනයක්

(09.12.2020 – 18:59 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයෙන් මියගිය, ඥාතීන් විසින් භාර නොගත් පුද්ගලයන්ගේ සිරුරු වහාම ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කර තිබූ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින්.

කොරෝනා වසංගතයෙන් මියගිය, ඥාතීන් විසින් භාර නොගත් මළ සිරුරු 19 කට ආසන්න සංඛ්‍යාවක් රෝහල් මෘත ශරීරාගාරවල මේ වනවිට තැන්පත් කර තිබෙනවා. එය සෞඛ්‍ය සංරක්ෂණයට බරපතල හානියක් බව පෙන්වා දෙමින් ඒ පිළිබඳව ගතයුතු පියවර සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නීතිපතිවරයාගෙන් ඉල්ලා තිබුණේ.

මේ අතර, කොරෝනා ආසාදනයෙන් මියයන පුද්ගලයින් ආදාහනය කිරීම රජයේ වියදමින් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ සඳහා වැයවන මුදල් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයෙන් පියවා ගන්නා ලෙසයි ජනාධිපතිවරයා දැනුම්දී ඇත්තේ.

මේ අතර අද (09) දිනයේ මේ දක්වා කාලය තුළ ආසාදිතයන් 359 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබෙනවා.

ඉන් 316 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට සම්බන්ධ කොරෝනා පොකුරෙන් වාර්තාවී ඇති අතර, සෙසු 43 දෙනා බන්ධනාගාරවලින් වාර්තාවී ඇති බවයි යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් කොරෝනා ආසාදිතයන් 542 කු සුවය ලබා අද (09) දිනයේ රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 21,800 ක් දක්වා ඉහළ ගියා.

මේ දක්වා මෙරටින් කොරෝනා ආසාදිතයන් 29,737 ක් වාර්තාවී ඇති අතර, සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 142 ක්.

මේ අතර, වැල්වත්ත ප්‍රදේශයෙන් පසුගිය දිනවල කොරෝනා ආසාදිතයන් බහුලව වාර්තාවීම හේතුවෙන් දෛනිකව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ සහ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණවලදී තවත් ආසාදිතයන් 19 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබෙනවා.

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලදී හඳුනා ගත් කොරෝනා ආසාදිත කාන්තාවකගේ ආශ්‍රිතයන් 30 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කෙරුණා.

මේ දක්වා කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් පමණක් මේ දක්වා වාර්තා වී ඇති මුළු ආසාදිත සංඛ්‍යාව 64 ක්.

එමෙන්ම, පිළියන්දල – සිද්ධමුල්ල ප්‍රදේශයෙන් ද ආසාදිතයන් වාර්තා වීමේ වැඩි ප්‍රවනතාවක් ඇති වීම හේතුවෙන් එම ප්‍රදේශයේ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා.

අහඹු පී.සී.ආර්. පරික්ෂාවකට ලක් කළ කළුතර – වෙට්ටුමකඩ – කුරේ පාරේ පදිංචි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසු ඔහු රෝහල් ගත කිරීම සඳහා සෞඛ්‍ය අංශ නිවෙස් වෙත ගිය අවස්ථාවේ එම පුද්ගලයා නිවසේ රැඳී නොසිට කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික පාසලක සේවය සඳහා ගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව අදාළ පුද්ගලයා අද (09), කොළඹ – මොරවක බස් රථයකින් සේවයට ගොස් නැවත පැමිණෙමින් සිටියදී කළුතර නගර මධ්‍යයේදී බස් රථය නවතා ඔහු රෝහල් ගත කිරීමට අවශ්‍ය පියවර ගත්තා.

මේ අතර, බොරැල්ල – රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ඊයේ (08) මිය ගිය දින 20 ක් වයසැති බිළිදාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ මෙම බිළිඳු දරුවා කඩිනමින් රෝහල් ගත කළේ නම් මෙම මරණය වළක්වා ගැනීමට හැකියාව තිබූ බවයි.

සීතාවක අපනයන සැකසුම් කලාපයෙන් තවත් ආසාදිතයන් 3 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමඟ එම කලාපයෙන් වාර්තා වන සමස්ත ආසාදිත සංඛ්‍යාව මේ වන විට 79 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ අද (09) දිනයේදී කොරෝනා ආසාදිතයන් 53 දෙනෙකු අලුතෙන් හඳුනාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළා.

මෙලෙස ආසාදිතයින් වාර්තා වීමට හේතුව වත්තල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලා වෙත කොළඹ සහ අනෙකුත් තදාසන්න ප්‍රදේශවල සිට පුද්ගලයින් පැමිණීම බවයි ඔහු කියා සිටියේ.

ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් ආගරපතන – ඇල්බියන් – ක්‍රොන්ෆීල්ඩ් කොටසට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබෙනවා.

එම ප්‍රදේශයේ නිවසකින් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගෙන ඇති අතර, ඔහුගේ නිවසේ පසුගිය දා පැවති පිංකමක් සඳහා අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් පැමිණි ඥාතියෙකුගෙන් ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම පිංකමට එම වතුයායේ විශාල පිරිසක් සහභාගිවීම හේතුවෙන් මෙලෙස සංචරණ සීමා පැනවීමට කටයුතු කෙරුණා.

++++++++++++++++++++++

(09.12.2020 – 18:50 +0530 – hirunews.lk/sinhala)

විද්වත් කමිටුවේ වාර්තාව ලැබෙනතුරු මහර රැඳවියන් 11 දෙනාගේ අවසන් කටයුතු නොකරන ලෙස වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළා.

ඒ, මෙම මෘත දේහවලට කොවිඩ් ආසාදනය වී ඇති බැවින් සමාජයට වන අහිතකර බලපෑම් මඟහරවා ගැනීමට මෘතදේහ ආදාහනය කළ යුතු බවට පවසමින් නීතිපති දෙපාර්තමේන්තුව කරුණු දැක්වූ අවස්ථාවේදියි.

ඒ අනුව මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මිය ගිය 11 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස ඒ සම්බන්ධව පත් කළ පංච පුද්ගල කමිටුවට වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (09) නියෝග කළා.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ඊයේ (08) සහ අද (09) අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලා සිටියේ සිද්ධියෙන් මිය ගිය රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ රජයේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍යවරුන් තිදෙනෙකු (3) ගෙන් හා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගිනි අවි පිළිබඳ විශේෂඥවරයෙකුගෙන් සමන්විත බහුවිධ විද්වත් මණ්ඩලයක් මගින් සිදුකිරීමට අවසර දෙන ලෙසයි.

මේ වන විට මෘත ශරීර 04 ක් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා තිබුණද යළි විශේෂඥ මණ්ඩලය මගින් මුල සිට පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කළ යුතු බවට නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා රහස්‍ය වාර්තා ලෙස ඉදිරිපත් කරන්නැයි නියෝග කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මියගිය රැඳවියන්ට කොවිඩ් ආසාදනය වී ඇති බැවින් දේහයන් රාගම රෝහලේ සිට අයි.ඩී.එච්. රෝහල වෙත ප්‍රවාහනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බවද මෙහිදී රජයේ අධිනීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නා.

බන්ධනාගාරයේ ගොඩනැගිලි රැසකට කෝටි ගණනක අලාභයක් සිදුව ඇති බැවින් ඉදිරි විමර්ශන කටයුතු සඳහා එම දේපළ හානිය සම්බන්ධයෙන් රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ වාර්තාව ලබාගැනීම සදහා හෙට (10) සිට ස්ථානීය පරීක්ෂණ සිදුකිරීමට අවසර දෙන ලෙසද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම්වලට අවසරය ලබාදුන්නා.

මෙම සිද්ධියට අදාලව පැතිකඩ දෙකකින් විමර්ශන සිදුකරන ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට වාචිකව උපදෙස් දී ඇති බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය අධිකරණයට කරුණු දැක්වූවා.

ඒ අනුව කැරැල්ල, බන්ධනාගාර රැඳවියන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස සිදුවී ඇත්ද, එයට බාහිර පුද්ගලයන් සම්බන්ධ වී තිබේ ද? කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් වශයෙන් සිදු වූ මහා අනර්ථයට වගකිව යුතු පුද්ගලයන් කවුද යන්න සොයා බලන ලෙසයි නීතිපතිවරයා විමර්ශකයන්ට උපදෙස් දී ඇත්තේ.

එමෙන්ම කැරැල්ල සිදු වූ අවස්ථාවේදී වෙඩි ප්‍රහාරය සිදු කළේ කවුද? කුමන අවස්ථාවකදීද? මිනීමැරුමක්ද? විටින් විට සිදු වූ වෙඩි ප්‍රහාරය පැවැති තත්ත්වය යටතේ යුක්තිසහගතද? පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ඉක්මවා යාමක්දැයි සොයා බලන ලෙසත් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත උපදෙස් දී තිබෙනවා.

මෙම නඩුව ලබන 16 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

මේ අතර, මහර බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශනයට අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ අලි සබ්‍රි විසින් පත් කළ පංච පුද්ගල කමිටු වාර්තාව අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

එසේම පසුගිය 29 වැනිදා මහර බන්ධනාගාරයේ ගැටුම්කාරී තත්ත්වය හටගැනීමට ඇතිවීමට පෙර දින බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් රැඳවියන් සමඟ සාකච්ඡා කළ ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට නිකුත් වී ඇති අතර එහි ඇතැම් රැඳවියන් නිලධාරීන්ගේ ඉල්ලීම්වලට එකඟවන අයුරුද දැකගත හැකියි.

+++++++++++++++++++++++

(09.12.2020 – 19:06 +0530 – hirunews.lk/sinhala)

මින්නේරිය ජාතික වනෝද්‍යානයට අයත් 35 කණුව ප්‍රදේශයේ මාර්ගයක් අසළ ස්ථාන දෙකකදී කොරෝනා ඇඳුම් කට්ටල 10 ක් අනාරක්ෂිත ලෙස බැහැර කර තිබියදී වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

වනෝද්‍යාන භාරකරු භාතිය මඩුගල්ල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මෙලෙස භාවිත කළ කොරෝනා ඇඳුම් කට්ටල වනෝද්‍යාන ප්‍රදේශ තුළ බැහැර කිරීමෙන් වන සතුන්ට ද වෛරසය ආසාදනය වීමේ අවදානමක් මතු වන බවයි ෴

+++++++++++++++++++++++++

(09.12.2020 – 20:45 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 335 දෙනෙකු අද (09) දිනයේදී හඳුනාගෙන තිබෙනවා.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයි 30,000 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව මේ වනවිට මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 30,072 ක් ලෙසයි.

අද (09) දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 694 ක් ෴

+++++++++++++++++++++++

(09.12.2020 – 22:20 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් මරණ දෙකක් (2) වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 144 දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවද අද 30,000 සීමාව ඉක්මවා ගියේ අද (09) දිනය තුළ අලුතින් ආසාදිතයින් 694ක් වාර්තාවීමත් සමඟයි.

මේ අතර ගත වූ පැය 24 තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 526 ක් වාර්තාවීමත් විශේෂත්වයක්.

=====================================

(09.12.2020 – 19:34 +0530 – hirunews.lk/sinhala)

යහපාලන ආණ්ඩු සමයේ අධිකරණයට සිදුකළ බලපෑම් සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවේදී දැඩි විවේචන එල්ල වුණා.

එහිදී විනිසුරුවරුන්ට බලපෑම් කර තිබූ ආකාරය ද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දුන් අතර ඒ සඳහා උදාහරණ ලෙස දුරකථන සංවාද ඇතුළත් හඬපටද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

***************************************

(09.12.2020 – 20:22 +0530 – hirunews.lk/sinhala)

පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සම්පාදිත සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී කොවිඩ් බාධාවක් කර නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ ජනාධිපති කාර්යාලයේ අද (09) පැවති සාකච්ඡාවකදීයි.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති සියලු රාජ්‍ය අමාත්‍යාංශ අපේක්ෂිත ඉලක්ක ළඟා කර ගැනීමට ගෙන ඇති පියවර සමාලෝචනය කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කර ඇත්තේ, රටේ අනාගත පරපුර නව දැනුමෙන්, කුසලතාවයෙන් සහ නිපුණත්වයෙන් සන්නද්ධ කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පවතින වාතාවරණය හේතුවෙන් අඩාළ නොවිය යුතු බවයි.

ඉලක්ක සපුරා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ගෙන ඇති සැලසුම් පිළිබඳව මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වෙන් වෙන්ව විමර්ශනය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

***************************************

(09.12.2020 – 21:26 +0530 – hirunews.lk/sinhala)

ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස මෙතෙක් එහි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ සංජය මොහොට්ටාල මහතා ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා.

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවරයෙකු වන ඔහු ලොව කීර්තිමත් බොස්ටන් උපදේශක සමාගමේ කළමනාකරණ අධ්‍යක්‍ෂ මෙන්ම එහි හිමිකාරත්ව සහකරුවෙකු ලෙසද කටයුතු කරනවා ෴

***************************************

අසාර්ථක වූ ‘ගූගල් ලූන්’ ව්‍යාපෘතිය ගැන තොරතුරු

(09.12.2020 – 22:45 +0530 – sinhala.adaderana.lk)

මුළු දිවයිනටම අන්තර්ජාල පහසුකම් ලබාදීමේ අරමුණින් පසුගිය ආණ්ඩුව සමයේ ආරම්භ කළ ‘ගූගල් ලූන්’ ව්‍යපෘතිය සඳහා විශාල මුදලක් වැයකර තිබූණද එම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති බව කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබේ.

මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) කොප් කමිටුව රැස් වූ අවස්ථාවේ දී මෙම කරුණු අනාවරණය වී ඇත.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසා සිටියේ, ‘ICTA ව්‍යාපෘති ගොඩක් ෆේල්’ යනුවෙනි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යම් ශානක්‍ය මහතා ප්‍රශ්න කර සිටියේ, ‘ගූගල් ලූන්’ ව්‍යාපෘතියට ගිය වියදම කෙසේද ? යන්නය.

ඊට පිළිතුරු දෙමින් ICTA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහින්ද හේරත් මහතා පැවසුවේ, “මේ ව්‍යාපෘතිය අනුමැතියක් නැතුව පරීක්ෂණයක් විදියට කරලා. TRC එකෙන් මේකට අවශ්‍ය සංඛ්‍යාත දෙන්න බෑ කියලා. ඊට පස්සේ පරීක්ෂණය එතනින් නවත්වලා” යනුවෙනි.

“ව්‍යාපෘතිය නතර වුණාම වෙන මුදලක් වැය වෙලා නැද්ද?” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යම් ශානක්‍ය මහතා ප්‍රශ්න කර සිටියේය.

“ආනයනික භාණ්ඩ නිදහස් කරගන්න ලක්ෂ 18 ක් වැය වෙලා. ලක්ෂ 64 ක් WIFI LAUNCH එකට වියදම් කරලා” යනුවෙන් ICTA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහින්ද හේරත් මහතා පැවසීය.

කෝප් කමිටුවේදී හෙළිවූ ICTA අසාර්ථක ව්‍යාපෘති

(09.12.2020 – 12:12 +0530 – sinhala.adaderana.lk)

සීමාසහිත ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) ආරම්භ කර තිබූ ‘ඉ-විශ්‍රාමවැටුප්’ නම් ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 278.54 ක් වියදම්කර තිබුණ ද මෙය සම්පූර්ණ අසාර්ථක ව්‍යාපෘතියක් බව කොප් කමිටුවේදී අනාවරණය වී තිබේ.

රජය ලබාදුන් මුදල් යොදාගනිමින් ICTA ආයතනයට එම ව්‍යාපෘතිය සඳහා වන දෘඩාංග සහ මෘදුකාංග නිර්මාණය කිරීමේ වගකීම පවරණු ලැබුවේ පළමුව බස්නාහිර පළාත් සභාව ආවරණය වන පරිදිය.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ආවරණය වන පරිදි අන්තර්ජාලය ඔස්සේ විශ්‍රාමවැටුප ලබා දීමට සැලසුම් කෙරිණි.

නමුත් මෘදුකාංග සහ දෘඩාංග ගැටලුවක් හේතුවෙන් මෙම ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක නොකොට 2013 නොවැම්බර් 01 දින සිට අතහැර දමා තිබේ.

මේ නිසා රුපියල් මිලියන 278.54 ක් ප්‍රයෝජන රහිතව යොදවා ඇති බවත් තවත් මෙවැනි අසාර්ථක ව්‍යාපෘති ගණනාවක් සඳහා එම ආයතනය නිකරුණේ මුදල් යොදවා ඇති බවත් කෝප් කමිටුවේදී ඊයේ (08) හෙළිවිය.

එමෙන්ම මුළු දිවයිනටම අන්තර්ජාල පහසුකම් ලබාදීමේ අරමුණින් ආරම්භ කළ ‘ගූගල් ලූන්’ ව්‍යාපෘතිය සඳහා උපකරණ රේගුවෙන් නිදහස් කර ගැනීමට රු. 1,851,322 ක් (මිලියන 1.8 ක්) හා ව්‍යාපෘතියේ ප්‍රවර්ධනය සඳහා රු. 6,427,941 ක් (මිලියන 6.4 ක්) වැයකර තිබූණී.

නමුත් එයද අසාර්ථක ව්‍යාපෘතියක් බව කෝප් කමිටුවේ දී අනාවරණය විය.

රාජ්‍ය ආයතන ජාලයක් ලෙස සම්බන්ධ කරමින් කාර්යක්ෂමව සේවාවන් ස්ථාපනය කිරීම සඳහා ICTA ආයතනය 2016 වර්ෂයේදී ආරම්භ කළ ‘ලංකා රාජ්‍ය ජාලය’ නම් ව්‍යාපෘතිය සඳහා 2016 වර්ෂයේ රුපියල් මිලියන 850.47 ක් අනුමත වී තිබුණ බවත් ඉන් රුපියල් මිලියන 148.33 ක් වියදම්කර තිබූ බවත් කෝප් කමිටුවේදී හෙළිවිය.

නමුත් එම ව්‍යාපෘතියේ ප්‍රගතිය 17% බව කමිටුවේදී අනාවරණය විය.

ජාතික බුද්ධිමය දේපල කාර්යාලය මගින් ‘ඉ-නිපො’ නමින් ආරම්භ කළ ව්‍යාපෘතියේ ප්‍රසම්පාදනය සඳහා 2016 වර්ෂයේ දී රු. මිලියන 32.5 ක් ලබා ගෙන තිබු බව කමිටුවේ දී අනාවරණය වූ අතර එය ICTA ආයතනයේ සේවක වැටුප් ගෙවීමට යොදා ඇති බව මෙහිදී නිලධාරීන් විසින් හෙළිකරන ලදි.

එබැවින් මූල්‍යමය කටයුතු සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාවය කෝප් කමිටු සභාපතිවරයා විසින් පෙන්වාදුනි.

එසේම ‘ඉ-පළාත් පාලන ආයතන’ නමින් ආරම්භ කර තිබු ව්‍යාපෘතිය අසාර්ථක වී තිබුණ ද නැවත 2016 දී එය නැවත ආරම්භ කර තිබුණි.

2017 දෙසැම්බර් 31 දින වන විට ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 39 ක් වැයකර තිබුණ ද ඉන්පසු කාර්යසාධන වාර්තාවල එය ඇතුලත් කර නොතිබුණු බව කමිටුවේදී අනාවරණය වූ අතර මේ පිළිබඳව කෝප් කමිටුවේ දැඩි අප්‍රසාදය පළවිය.

තවද 2003 වසරේ සිට ICTA ආයතනය සංයුක්ත සැලැස්මක් සකස්කර නොතිබූ බවත් 2017 වර්ෂයේ රු. 2,737,000 ක වියදමින් සකස් කළ සංයුක්ත සැලැස්ම ක්‍රියාත්මක කර නොතිබූ බවත් කෝප් සභාපතිවරයා පැවසීය.

එම නිසා 2003 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා හැකි ඉක්මනින් මේ සියලු කාරණා සම්බන්ධයෙන් වාර්ථාවක් ලබා දෙන ලෙස කෝප් කමිටුව විසින් නිර්දේශ කරන ලදි.

එසේම ICTA ආයතනයේ ඉහළ තනතුරු සඳහා කොන්ත්‍රාත් පදනම මත නිලධාරීන් බඳවාගැනීම පිළිබඳව කෝප් කමිටුවේ අප්‍රසාදය පළවිය. එබැවින් ස්ථාවර පදනම යටතේ මූලික තනතුරු කිහිපයක් ඇතිකිරීමේ අවශ්‍යතාවය කෝප් කමිටුව පෙන්වාදුන් අතර නිවැරදි නිලධාරීධූරාවලියක් ICTA ආයතනය තුළ ඇතිකිරීමේ අවශ්‍යතාවය කමිටුව විසින් පෙන්වා දෙන ලදි.

මේ දක්වා සිටි නිලධාරීන් හරහා යම් අක්‍රමිකතාවක් සිදුවී ඇත්නම් වහාම ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ද කෝප් සභාපතිවරයා මෙහිදී නිර්දේශ කළේය ෴

***************************************

‘අපට කඩුවලින් පහර දුන්නා’ – මහර බන්ධනාගාර රැඳවියෙක්

(09.12.2020 – 20:34 +0530 – sinhala.adaderana.lk)

මහර බන්ධනාගාරයේ ගැටුම සිදුවූ දිනට පසු දින එම පරිශ්‍රය තුළ සිදුවූ සිද්ධි දාමයක දර්ශන පෙළක් ‘අද දෙරණ’ට ලැබී තිබේ.

එහි සටහන්ව තිබු‍ණේ මහර බන්ධනාගාර අධිකාරීවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රැඳවියන් හමුවූ අවස්ථාවකි.

මේ අතර ගැටුම සම්බන්ධයෙන් රැඳවියෙකු පැවසුවේ කලහකාරී ලෙස හැසුරුණු සමහර රැඳවියන් සතුව ‘කඩු’ ද තිබු බවය.

https://www.youtube.com/watch?v=yKItmLsxiOQ#t=6
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *