පාස්කු ප්‍රහාරය විදෙස් බලවේග මත ක්‍රියාත්මක වීමක් – දයාසිරි ජයසේකර

පාස්කු ප්‍රහාරය විදෙස් බලවේග මත ක්‍රියාත්මක වීමක් – දයාසිරි ජයසේකර

*********************************************

පාස්කු ප්‍රහාරය විදෙස් බලවේග මත ක්‍රියාත්මක වීමක් – දයාසිරි ජයසේකර

(09.12.2020 – 13:08 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිළිබඳව විදෙස් බුද්ධි අංශ පළමුව දැනුවත්ව සිටීම හරහා එම ප්‍රහාරය පිටුපස ඇති විදෙස් බලවේගවල ක්‍රියාත්මක වීම පැහැදිලි වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

+++++++++++++++

***************************************

(09.12.2020 – 13:07 +0530 – hirunews.lk/sinhala)

ගලෙන්බිදුනුවැව – හිඹුටුගොල්ලෑව විද්‍යාලයේ ගුරුවරයෙකු පහර දීම හේතුවෙන් එහි සිසුවියක් රෝහල ගතකර තිබෙනවා.

ඊයේ (08) මෙම පහර දීම සිදුකර ඇත්තේ සිසුවිය නිවසේ දී සිදු කිරීමට දුන් අභ්‍යාස සම්පූර්ණ නොකල බවට පවසමින්.

පහර දීම සම්බන්ධයෙන් 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියගේ මව්පියන් ඊයේ (08) පස්වරුවේ ගලෙන්බිදුනුවැව පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

එම සිසුවිය ගලෙන්බිදුනුවැව ප්‍රාදේශිය රෝහලට ඊයේ (08) පස්වරුවේ ඇතුලත් කර ඇති අතර, පහර දීම සිදුකළ ගුරුවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බවයි ගලෙන්බිදුනුවැව පොලීසිය සඳහන් කළේ ෴

***************************************

(09.12.2020 – 13:10 +0530 – hirunews.lk/sinhala)

මැලේරියා රෝගය සඳහා ලබාදුන් ඖෂධයක් හේතුවෙන් පූර්ණ අන්ධභාවයට පත් වූ යුද හමුදා මේජර්වරයෙකුට වන්දි ගෙවන ලෙස අභියාචනාධිකරණය යුද හමුදාපතිවරයාට නියෝග කර තිබෙනවා.

දෙහිවල – දුම්රිය පාරේ පදිංචි මෙම මේජර්වරයා ගොනුකළ පෙත්සම් විභාගය අවසන් කර එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මෙම නියෝගය කරනු ලැබුවේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඇතුළු තුන්දෙනෙකු (3) නම් කර තිබෙනවා.

උතුර – නැගෙනහිර ප්‍රදේශයේ සේවයේ නිරතව සිටියදී මැලේරියා රෝගය සඳහා ලබාදුන් ඖෂධයක අතුරු ප්‍රතිඵලයක් ලෙස තමන් අන්ධභාවයට පත් වූ බව 2016 වසරේ නොවැම්බර් මාසයේදී මොහු ගොනු කළ පෙත්සමේ දැක්වෙනවා.

මෙම තත්ත්වය මත පෙත්සම්කරු පූර්ණ අන්ධභාවයට පත්වූ බව නිර්දේශ කර සේවයෙන් විශ්‍රාම ගන්වා ඇති අතර ඒ අනුව මොහු රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇති නමුත් හදිසි අනතුරකින් සිදුවූ අන්ධභාවයක් නොවන බව සඳහන් කරමින් පෙත්සම්කරුට වන්දි ගෙවීමට එවකට සිටි යුද හමුදාපති ප්‍රතික්ෂේප කර ඇති බව පෙත්සමේ සඳහන්.

පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයට තවත් පරීක්ෂණ මණ්ඩලයක් පත් කෙරුණු අතර එහි නිර්දේශය වූයේ මොහුට වන්දි ගෙවිය යුතු බවටයි.

එහෙත් 2018 වසරේ අප්‍රේල් මාසයේ එවකට ආරක්ෂක ලේකම්වරයා විසින් හඳුන්වා දුන් නව වන්දි ගෙවීමේ චක්‍ර ලේඛය හේතුවෙන් මොහුට වන්දි ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.

ඒ අනුව කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ අදාළ චක්‍ර ලේඛය, පෙත්සම්කරු මෙම පෙත්සම ගොනු කර වසර දෙකකට (2) පසුව නිකුත් කර ඇති බවයි.

ඒ අනුව මොහු සිය පෙත්සම මඟින් ඉල්ලා ඇති වන්දිය ලබාදීමට කටයුතු කරන ලෙස නියෝග කර තිබෙනවා ෴

***************************************

(09.12.2020 – 13:11 +0530 – hirunews.lk/sinhala)

දූෂණය යනු සංවර්ධනයට ඇති විශාලම බාධකය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අදට යෙදී ඇති අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින්.

***************************************

(09.12.2020 – 13:14 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු පුනරුත්ථාපන මෙන්ම විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් මේ වන විට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙමින් පවතිනවා.

විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරල අද (09) විවාදය ආරම්භ කළ අතර, එම කරුණු දැක්වීම්වලට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ද මැදිහත්වුණා.

***************************************

(09.12.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට රැගෙන එන ලද රුපියල් ලක්ෂ 77 ක් පමණ වටිනා කහ කිලෝග්‍රෑම් 1110 ක් සමඟ සැකකරුවන් 7 දෙනෙකු, හලාවත – කාවාටියාවත්ත ප්‍රදේශයේදී හලාවත කොට්ඨාශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේවා ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරුවන් කටුගම්පොළ, බංගදෙනිය සහ මන්නාරම යන ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

***************************************

(09.12.2020 – 13:31 +0530 – hirunews.lk/sinhala)

උතුරුමැද හා නැගෙනහිර පළාත් යා කෙරෙන පොළොන්නරුව අම්පාර ප්‍රධාන මාර්ගය පළාත් 2 හි පවුල් 5000 කට පමණ ආසන්න පිරිසක් සිය දෛනික කටයුතු ඉටු කර ගැනීමට භාවිත කරනු ලබනවා.

නමුත් වසර කිහිපයක සිට එම මාර්ගය දැඩි ලෙස අබලන්වීම හේතුවෙන් ජනතාව මේ වන විට දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා.

පිබිදෙමු පොළොන්නරුව ජනාධිපති විශේෂ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 2049 ක් මෙම මාර්ගයේ ඉදි කිරීම් සඳහා වෙන් කෙරෙමින් වැඩ ආරම්භ කෙරුණේ 2017 වසරේදීයි.

කෙසේ වුවත් ඉන් කිලෝමීටර් 15 කට ආසන්න ප්‍රමාණයක වැඩ අවසන් කෙරී ඇති අතර 2019 වසරේදී අනෙක් කොටසේ වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණා.

එම පිළිසකර කිරීම් මේ වන විට අතරමග නතර වී ඇත්තේ ගම්වාසීන් දුෂ්කරතා රැසකට පත් කරමින්.

මේ හේතුවෙන් හමුදා කඳවුරු 3 කට ,මාදුරුඔය වනෝද්‍යානයට පිවිසීම සදහාද බාධා එල්ල වී තිබෙනවා.

ප්‍රදේශවාසීන් විසින් මේ පිළිබඳ දැනුවත් කිරීම් සිදු කෙරුණද මේ දක්වා ඊට විසඳුම් ලැබී නැහැ.

පළාත් 2 ක් යා කෙරෙමින් ජන ජීවිත රැසකට සෙත සැළසෙන මෙම මාර්ගය කඩිනමින් පිළිසකර කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු කරන තෙක් ‘රතු මිනිත්තුව’ විමසිල්ලෙන්.

***************************************

(09.12.2020 – 14:01 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ දෙසැම්බර් මාසයෙන් අවසන් වූ වසර පහ (5) තුළ සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 2376.2 ක මුදලක් බදු ලෙස ගෙවා නොමැති බව පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවේදී අනාවරණ වුණා.

එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) එය රැස්වූ අවස්ථාවේදී දැනුම්දී ඇත්තේ අදාළ මුදල් හැකි ඉක්මණින් අයකරගන්නා ලෙසයි.

එසේම රටට ආදායම් ලබාදෙන සුරාබදු දෙපාර්තමේන්තුවට නීති නිලධාරියෙක් මේ දක්වා බඳවාගෙන නොමැති බවට එහිදී හෙළිවී තිබෙනවා.

නීති හා පර්යේෂණ ඒකකයක් ස්ථාපිත කර ඇති බැවින් නීති නිලධාරියෙකුද බඳවාගන්නා ලෙසයි ගිණුම් කාරක සභාව බලධාරීන්ට එහිදී දැනුම්දී ඇත්තේ ෴

***************************************

(09.12.2020 – 14:03 +0530 – hirunews.lk/sinhala)

ලබන සඳුදා (14) සිට පෑලියගොඩ නව මැනිං වෙළඳපලෙහි කටයුතු ආරම්භ කරන ලෙස ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

අරලියගහ මන්දිරයේ ඊයේ (08) පැවති සාකච්ජාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ සෞඛ්‍ය අංශ ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කරමින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලද විවෘත කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොළ සහ මැනිං වෙළඳපොළ වසා තැබීම ගොවීන්ගේ සහ ධීවරයින්ගේ ආර්ථිකයට මෙන්ම ජීවනෝපායටද සෘජුව බලපාන බවද බැසිල් රාජපක්ෂ මහතා බලධාරින්ට අවධාරණය කර ඇත්තේ ෴

***************************************

(09.12.2020 – 15:28 +0530 – hirunews.lk/sinhala)

යාපනය, නුනාවිල් ප්‍රදේශයේදී අද (09) දහවල් සිදුවු රිය අනතුරකින් කාන්තාවක් සහ කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

චාවකච්චේරි පොලිසිය පැවසුවේ මෝටර් රථයක් මාර්ගය අසළ නවතා තිබු බවුසරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 30 හැවිරිදි කාන්තාවක් සහ පස් (5) හැවිරිදි පිරිමි දරුවෙක්.

අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර, මිය ගිය අයගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහල වෙත යොමුකර තිබෙනවා.

මෝටර් රථයේ ටයරයක් පිපිරී එය පාලනය කර ගැනීමට නොහැකිවීම මෙම අනතුරට හේතුවී තිබෙනවා ෴

***************************************

(09.12.2020 – 17:04 +0530 – hirunews.lk/sinhala)

දොඩන්දූව – රත්ගම කළපුවේ පාවෙමින් තිබියදී සොයාගත් පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩසිටි නෙදර්ලන්ත ජාතික හිමිනම අපවත්වීම පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (09) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් සිදුකරනු ලැබුවා.

56 හැවිරිදි මෙම හිමිනමගේ දේහය කළපුවේ තිබී පෙරේදා පස්වරුවේ සොයාගැනුනු අතර, එහිදී දෙපාවල ගළක් ද ගැටගසා එල්ලා තිබූ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් පසු ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙසයි.

***************************************

(09.12.2020 – 17:43 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ගබඩා සංකීර්ණයේ තිබූ ආනයනය කළ පරිභෝජනයට නුසුදුසු ලොකු ලූණු කිලෝ 60,000 ක් සොයාගෙන තිබෙනවා.

ඒ, දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදියි.

වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙම පරිභෝජනය නුසුදුසු ලූණු හොඳ තත්ත්වයේ පවතින ලූණු සමග මිශ්‍ර කර අලෙවි කර ඇති බවයි ෴

==========================================

(09.12.2020 – 13:05 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (08) දිනයේදී ආසාදිතයින් 28 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මහනුවර – මහයියාව ප්‍රදේශය යළි හුදෙකලා කිරීමට කටයුතු කළ බව මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් අමිල නවරත්න කියා සිටියා.

ඊයේ (08) බන්ධනාගාරවලින් ආසාදිතයන් 230 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් 175 දෙනෙකුම වාර්තා වී ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයෙන්.

මේ අතර, පළමු කොරෝනා රැල්ලේ දී නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රත්ගම පොලීසිය විසින් පවරා තිබු නඩුවකට අදාළව අධිකරණය මගහරිමින් සිටි පුද්ගලයෙකු අත්ඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඇල්පිටිය – තෙලිකඩ ප්‍රදේශයේ රැදී සිටියදියි. ඊයේ (08) අත්අඩංගුවට ගත් 29 හැවිරිදි වයසේ පසුවන මොහු මත්කුඩු වලට ඇබ්බැහි වූ අයෙකු බවයි පොලිසීය සඳහන් කළේ.

එමෙන්ම, රුහුණ විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 7 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වී ඇති අතර, මේ හේතුවෙන් සිය ආරක්ෂාව තහවුරු කරන්නැයි ඉල්ලා රුහුණු වෛද්‍ය පීඨයේ කාර්ය මණ්ඩලය සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා ෴

++++++++++++++++++++++

(09.12.2020 – 14:48 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන් 11 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර එහි වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහර මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඒ සම්බන්ධයෙන් පත් කර ඇති පංච (5) පුද්ගල විශේෂඥ කමිටුවට නියෝග කර තිබෙනවා.

ඒ, මීට අදාළ නඩුව අද (09) කැඳවූ අවස්ථාවේදියි.

එමෙන්ම මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අදාළ සිරුරු පොලිස් ආරක්ෂාව යටතේ සහ කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් අයි.ඩී.එච්. රෝහලට රැගෙන යන ලෙසද මෙහිදී නියෝග කෙරුණා.

පශ්චාත් මරණ පරීක්ෂණවල වාර්තාව ලැබෙනතුරු එම මරණ භූමදානය කරන්නේද ආදහනය කරන්නේද යන්න පිළිබඳව තීන්දුවක් ලබාදිය නොහැකි බවයි මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(09.12.2020 – 14:57 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 542 ක් සුවය ලබා අද (09) දිනයේ රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වනවිට මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 21,800 දක්වා ඉහළ ගියා.

තවදුරටත් රෝගීන් 7,436 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා ෴

+++++++++++++++++++++++

(09.12.2020 – 15:07 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයෙන් මියගිය ඥාතීන් විසින් භාර නොගත් පුද්ගලයන්ගේ සිරුරු වහාම ආදාහනයට කිරීමට පියවර ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

නීතිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරිපත් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින්.

කොරෝනා වසංගතයෙන් මියගිය, ඥාතීන් විසින් භාර නොගත් මළ සිරුරු 19 කට ආසන්න ප්‍රමාණයක් දිවයිනේ රෝහල් කිහිපයක මෘත ශරීරාගාරවල තැන්පත් කර තිබෙනවා.

එය සෞඛ්‍ය සංරක්ෂණයට බරපතල හානියක් බව පෙන්වා දෙමින් ඒ පිළිබඳව ගතයුතු පියවර සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(09.12.2020 – 16:16 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය සමඟ උත්සව සමයේ ජනතාව විසින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

උත්සව සමයේ සාප්පු සවාරි සීමා කළ යුතු බවයි එමඟින් දැනුම්දී ඇත්තේ.

එසේම අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පවුලෙන් එක් අයෙකු පමණක් පිටව යාම යෝග්‍ය වන අතර හැකි සෑම අවස්ථාවකම නිවස අසළම ඇති වෙළඳසැලෙන් පිරිස අඩුවෙන් ගැවසෙන අවස්ථාවලදී භාණ්ඩ මිලදී ගත යුතු බව අදාළ මාර්ගෝපදේශන මාලාවේ ඇතුළත්.

විශේෂයෙන් පිරිස ඒකරාශී වන ප්‍රියසම්භාෂණ වෙනදා මෙන් උත්සව සමය තුළ නොපැවැත්විය යුතු අතර, පවුලේ සාමාජිකයන් අතර පමණක් සතුට බෙදාගැනීම සිදුකළ යුතු බවයි එමඟින් අවධාරණය කර ඇත්තේ.

++++++++++++++++++++++

(09.12.2020 – 18:35 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 359 දෙනෙක් අද (09) දිනයේ හඳුනාගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් 316 දෙනෙක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිතයින් වන අතර අනෙක් 43 දෙනා බන්ධාගාරවලින් වාර්තා වන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *