*********************************************
නාමල් කුමාරගේ හඬ පට ගැන අද (08) ලැබුනු සාක්ෂිය
(08.12.2020 – 23:03 +0530 – hirunews.lk/sinhala)
හිටපු සහ වත්මන් ජනපතිවරු ඝාතන කුමන්ත්‍රණයක් ගැන හෙළි කළ නාමල් කුමාර නැමැත්තා තොරතුරු කරුවෙකු ලෙස පාවිච්චි කිරීම හැරෙන්නට ඔහු සමඟ කිසිදු කුමන්ත්‍රණයක නොයෙදුණු බව ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පවසනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ නාමල් කුමාර නැමැත්තා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇත්තේ තමා හා ඔහු අතර සිදු වූ දුරකථන සංවාදවල සංස්කරණය කරන ලද හඬපට බවයි.
එමෙන්ම සහරාන් හෂීම්ගේ පරීක්ෂණ ගොනු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකළ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපෑම් හේතුවෙන් මේ වන විට අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබන තත්ත්වයකට පත්ව ඇතැයි ඔහු කියා සිටියා.
ඔහු පැවසුවේ එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර එලෙස විමර්ශන කොට්ඨාසයේ කටයුතුවලට යම් යම් බලපෑම් එල්ල කළ බවයි.
විවිධ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් නිරන්තරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳී සිටි බවද නාලක සිල්වා මහතා සාක්ෂි දෙමින් වැඩිදුරටත් සදහන් කළා.
+++++++++++++++
සහරාන්ගේ ලිපිගොනු භාරව සිටි නිලධාරියෙක් දැන් පිස්සන් කොටුවේ – පාස්කු කොමිසමේදී හෙළිවේ
(08.12.2020 – 21:40 +0530 – sinhala.adaderana.lk)
තමන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව කටයුතු කළ අවදියේ එල්ල වු දේශපාලනික බලපෑම් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපෑම් හේතුවෙන් විමර්ශනවලට බාධා එල්ල වු බව වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පවසයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයකරන ජනාධිපති කොමිසම හමුවේ අද (08) සාක්ෂි ලබාදෙමින් ඔහු වැඩිදුරටත් කියාසිටියේ තමා සහ නාමල් කුමාර නැමැත්තා අතර ඇතිවු සංවාදයන්හි හඬපට සියල්ල සංස්කරණයකට ලක්කර ඇති බවය.
නාලක ද සිල්වා මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි ලබාදීම සඳහා අද පෙරවරුවේ පැමිණියේය.

එහිදී නාමල් කුමාර නැමැත්තා සහ නාලක ද සිල්වා මහතා අතර පැවති සංවාදයන්හි හඬපට සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණි.
අදාළ හඬපට විවෘත කොමිසම හමුවේ වාදනය කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් නාලක ද සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළේය.
“නාමල් කුමාර කියන තැනැත්තාව මා සමග සම්බන්ධ කළේ එවකට පොලිස්පතිව සිටි පූජිත් ජයසුන්දර මහතායි. යම් යම් කරුණු සම්බන්ධයෙන් ඔහු සතුව තොරතුරු තියෙනවා කියලයි ඔහු සම්බන්ධ වුණේ. මේ සංවාදවල ඇතුළත් හඬපට සියල්ලේම මුල මැද අග නැහැ. නාමල් කුමාර කතාකරපුවා විතරයි තියෙන්නේ මම කතාකරපුවා නැහැ. තොරතුරුකරුවෙක් තොරතුරුකරු විදිහට ඉන්න ඕනේ. ඔහු මෙහෙයවන්නෙක්, පාලනය කරන්නෙක් වෙන්න බැහැ. මේ හඬපටවල මම කියන දේවල් මම කිව්වේ තොරතුරුකරුවෙක් ලෙස ඔහුගේ විශ්වාසනීයත්වය තහවුරු කරගන්න. නමුත් පසුව මට තහවුරු වුණා නාමල් කුමාර කියන දෙවල් අමූලික බොරු කියලා. ඔහු මුදල් ලබා ගැනීමට තමයි මේ දේවල් කියන්නේ කියලත් පැහැදිළි වුණා. මේ හඬපට අහන තෙවැනි පාර්ශ්වයකට හිතෙන්න පුළුවන් මම තව කෙනෙක්ට එරෙහිව කුමන්ත්‍රණය කරනවා හෝ අපහාස කරනවා කියලා. නමුත් මම කළේ සිද්ධින්වලට අදාළ සත්‍ය තොරතුරු හෙළි කරගන්න මෙහෙයුමක්. තොරතුරුකරුවෙක්ව පරික්ෂා කළ යුතුයි. එහෙම අවස්ථාවලදි ඔහු කියන දේවල්වලට සරිලන විදිහටම මාත් ප්‍රතිචාර දක්වන්න ඕනේ. ඔය හඬපටවල තියෙන කිසිදු නමක් මා පළමුවෙන් කිව්ව ‘නම්’ නෙමේ. නාමල් කුමාර කිව්ව දේවල්වල සත්‍ය අසත්‍ය සොයාගන්න මම ප්‍රතිචාර දක්වද්දි කියපු දේවල් ,” යනුවෙන් සඳහන් කළේය.
මෙහිදී කොමිසම හමුවේ වාදනය කෙරුණු එක් හඬපටයක නාමල් කුමාර විසින් පොලිස් විශේෂ කාර්යය බලකායේ හිටපු අණදෙන නිලධාරී එම්.අර්. ලතීෆ් මහතාව ඝාතනය කිරීමට යෝජානා කරන අකාරයක් අනාවරණය වු අතර කොමිසමේ සමාජිකයින් ඒ සම්බන්ධයෙන් නාලක ද සිල්වා මහතාගෙන් ප්‍රශ්න කරන්නට විය.
“මම නැවතත් කියනවා, මේ හඬපට සියල්ලම සංස්කරණය කරලා තියෙන්නේ. නිසි අගක් මුලක් නැහැ. ඔය සංවාදය අන්තිමට, මම නාමල් කුමාරට කණ පැලෙන්න දෙකක් ගහලා කාර් එකෙන් එළියට දැම්මා. ඒ කිසිම හඬක් මේ හඬපට තුළ නැහැ. ඒ වෙලාවෙම මම පොලිස්පතිට කතා කරලා කිව්වා, ‘සර් මූත් එකක වැඩ කරන්න බැහැ. මූ මහ පණ්ඩිතයෙක්’ කියලා,” යනුවෙන් නාලක ද සිල්වා මහතා පිළිතුරු දුනි.
මෙහිදී ජනාධිපති කොමිසමේ සමාජික විශ්‍රාමික අභියාචනාධිකරණය විනිසුරුවරයා ප්‍රශ්න කරසිටියේ, “ඔබ තොරතුරුකරුවෙකු ලෙස නාමල් කුමාර නැමැත්තාව භාවිත කළ අයුරින්ම වෙනත් පාර්ශ්වයක් ඔහුව තොරතුරුකරුවෙකු ලෙස භාවිතා කළේද?,” යන්නය.
“මම ඔහුව භාවිත කළේ සිද්ධීන් දෙකකට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගන්න. ඉන් එහාට වෙනත් පාර්ශ්වයක් ඔහුව භාවිත කළාද කියන එක මම දන්නේ නැහැ,” යනුවෙන් එයට පිළිතුරු දෙමින් නාලක ද සිල්වා මහතා පැවසීය.
එහිදී, ජනාධිපති කොමිසමේ සමාජික විශ්‍රාමික අභියාචනාධිකරණය විනිසුරුවරයා යළි ප්‍රශ්න කළේ, “නාමල් කුමාර නැමැත්තාට විදෙස් සම්බන්ධතා තිබුණාද?,” යන්නය.
“පැරිස්වල ඉන්න තුෂාර පිරිස් කියලා පුද්ගලයෙක් එක්ක සම්බන්ධකම් තිබ්බා කියලා නාමල් කුමාරම කියනවා. නමුත් ඇත්තටම එහෙම සම්බන්ධයක් තියෙනවාද? නැද්ද? මම දන්නේ නැහැ. ඔහු බොරුකාරයෙක්. එකම එක තොරතුරයි හරියට දුන්නේ. ඊට පස්සේ ඉල්ලුවේම මුදල් විතරයි,” යනුවෙන් නාලක ද සිල්වා මහතා පැහැදිළි කළේය.
කෙසේවෙතත් ජනාධිපති කොමිසම තවත් හඬපට කිහිපයක් වාදනය කරමින් සාක්ෂි විමසීමත් සමග නාලක ද සිල්වා මහතා ජනාධිපති කොමිසමෙන් මෙලෙස විමසා සිටියේය,
“ස්වාමිනි, මම මෙහෙම ඇහැව්වට වැරදියට හිතන්න එපා. මේ හඬපටවලයි පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙයි තියෙන සම්බන්ධය මොකක්ද ?,” යන්නය.
එයට පිළිතුරු දෙමින් ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා කියා සිටියේ, “නිලන්ත ජයවර්ධන මහතා මේ කොමිසමේ සාක්ෂි දෙද්දි සඳහන් කරලා තියෙනවා ඔහු සහ ඔබ අතර විරසකයක් තිබුණා කියලා. ඒ හින්දා බුද්ධි තොරතුරු ගලායාම නිසි පරිදි සිදුවුණේ නැහැ කියලත් නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියා. ඒ විරසකය තහවුරු කරන්න නිලන්ත ජයවර්ධන මහත්මයා ඉදිරිපත් කරපු හඬපට තමයි අපි ඔබට මේ පෙන්වන්නේ,” යැයි පැහැදිළි කළේය.
එහිදී නාලක ද සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළේය,
“ස්වාමිනි, මේ හඬපට තිබුණේ නාමල් කුමාර ගාව. ඔහු තමයි රූපවාහිනියේ ප්‍රචාරය කර කර ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේ. ඒක එහෙමනම් මට ප්‍රශ්නයක් එනවා නිලන්ත ජයවර්ධනගේ අතට මේ හඬපට පත්වුණේ කොහොමද කියලා,” යැයි නාලක ද සිල්වා මහතා පැවසීය.
මෙහිදී නාලක ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රශ්න කරසිටියේ, “ඔබේ සේවා කාලය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා සහ එහි අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ඔබේ විමර්ශනවලට බලපෑම් එලල කළේද?,” යන්නය.
එයට පිළිතුරු දෙමින් නාලක ද සිල්වා මහතා කියා සිටියේ,
“රවී සෙනෙවිරත්නයි ශානි අබේසේකරයි යම් යම් බලපෑම් කළා. ඒ බලපෑම් දේශපාලනය දක්වාම ගියා. ඒක පෞද්ගලික න්‍යාය පත්‍රයක්ද දන්නේ නැහැ. යහපාලන රජය අපෙනුත් බලාපොරොත්තු වුණා සී.අයි.ඩී. එක වගේ වෙන වෙන තොරතුරු දෙන්න අපිත් ක්‍රියා කරයි කියලා. නමුත් මම එහෙම කළේ නැහැ. අපි ටී.අයි.ඩී. එක හැටියට විවිධ වැඩ පෙන්නුවා. කොහොමහරි මම වැඩ තහනමකට ලක්වුණාට පස්සේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගත්තා. ප්‍රසිද්ධ රාජ්‍ය නොවන සංවිධානයක නියෝජිතයින් ඒ කාලේ සී.අයි.ඩී. එකේ හිටියේ. එක නියෝජිතයෙක් ඉන්නවා අවශ්‍ය නම් මම ඒ නම ලියලා දෙන්නම්. අපි කරපු අත්අඩංගුවට ගැනීම්වලට මානව හිමිකම් සංවිධානය ප්‍රබල බලපෑම් කළා. සැකකරුවන්ව අත්අඩංගුවට ගත්තාම ඒ සැකකරුගේ අම්මා තාත්තා එන්නත් කළින් මානව හිමිකම් සංවිධාන ඇවිල්ලා සැකකරුවන් එක්ක කතා කරලා ඔවුන් ප්‍රකාශ දෙන එක නැවැත්තුවා. පොලිස්පතිගෙන් මම ආධුනික කණ්ඩායමක් ඉල්ලුවා විමර්ශන කරන්න. පස්සේ මාව අත්අඩංගුවට ගත්තා. මාව අත්අඩංගුවට ගත්තට පස්සේ ඒ කණ්ඩායමෙන් ප්‍රශ්න කරලා තිබ්බා. ප්‍රශ්න කරලා ප්‍රශ්න කරලා ඒ කණ්ඩායමේ ඉඳපු සහරාන් ගැන ලිපි ගොනු භාරව හිටපු ප්‍රධාන නිලධාරියෙක් දැන් ඉන්නේ පිස්සන් කොටුවේ,” යැයි නාලක ද සිල්වා මහතා වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් සඳහන් කළේය.
***************************************
(09.12.2020 – 06:52 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය අදට (09) යෙදී තිබෙනවා.
ඊට සමගාමීව නාවික හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (09) මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී දානමය පුණ්‍යකර්මයක් ද පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම, ප්‍රථම වතාවකට නාවික හමුදා නිලධාරීන් සහ සෙසු නිළයන් 1729 කට උසස්වීම් ද ලබාදෙනවා.
70 වන සංවත්සරයට සමගාමීව අද (09) සිට 13 වනදා දක්වා ගාලුමුවදොර ඉදිරිපිට මුහුදු තීරයේදී නාවික හමුදා නෞකා පෙළ සංදර්ශනයක් ද පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුහුදු මාර්ගයට මැදිව පිහිවීම හේතුවෙන් නාවිකයින්ගේ නිබද අවධානයට යොමුවූවා.
ඒ අනුව 1937 දී Ceylon Naval Volunteer Force ආරම්භ කර ඇති බවයි නාවික හමුදා ඉතිහාසයේ සඳහන් වන්නේ.
කෙසේ වෙතත් දෙවන ලෝක යුද්ධය අවසානයත් සමගම රාජකීය නාවික හමුදාව විසින් CNVF බ්‍රිතාන්‍ය නාවික හමුදාව යටතට ගනු ලැබුවා.
එතැන් පටන් එය හැදින්වූයේ Ceylon Royal Naval Volunteer Reserve (CRNVR) ලෙසයි.
බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලබා ගැනීමත් සමගින් ස්ථිර නාවික හමුදාවක් පිහිටුවීමේ මූලික අවධානය යොමුවූවා.
ඒ අනුව 1950 වසරේ දෙසැම්බර් 09 වන දින නාවික පනත් නීති ගත කළ අතර, එමගින් Ceylon Royal Navy පිහිටුවනු ලැබුවා.
1950 දෙසැම්බර් මස 09 වන දින නාවික පණතේ 358 වන වගන්තිය සම්මත කර ගත් අතර ප්‍රථම රාජකීය ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපති ලෙස කපිතාන් ඩබ්.ඊ. බෑන්ක් වසරක කාලයකට පත්වූ අතර අනතුරුව කපිතාන් ජේ.ආර්.එස්. බ්‍රවුන්, කොමදෝරු ජී.එම්.බී. චාවාස් එම පදවියට පත් වූවා.
පළමු ශ්‍රී ලාංකික නාවික හමුදාපති වීමේ වාසනාව හිමිවූයේ රියර් අද්මිරාල් ජී.ආර්.එම්. ද මෙල් මහතාටයි.
ඉන්පසු රියර් අද්මිරාල් ආර්. කදිරගාමර්, රියර් අද්මිරාල් ඩී.වී. හන්ටර් නාවික හමුදාපති ධුරය හෙබවූවා.
1972 හදුන්වා දුන් නව ව්‍යවස්ථාවත් සමගම Royal Ceylon Navy නම ඉවත් කර, ඒ වෙනුවට ශ්‍රී ලංකා නාවික හමුදාව (Sri Lanka Navy) ලෙස නාමය වෙනස් කරනු ලැබූ බවයි නාවික හමුදා ඉතිහාසයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
1983 වසරේ සිට දේශයේ භෞමික අඛණ්ඩතාවය මෙන්ම රටේ ඒකීයභාවය සහ ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීමේ උදාර ප්‍රයත්නයේදී දේශයේ නාමයෙන් තම පන නළ පූජා කළ නාවික විරුවන් අතර අද්මිරාල් ඩබ්.ඩබ්.ඊ.සී. ප්‍රනාන්දු හිටපු නාවික හමුදාපති ඇතුළු නාවික විරුවන්ගේ ගණන 1181 කට අධිකයි.
***************************************
(09.12.2020 – 07:27 +0530 – hirunews.lk/sinhala)
ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි මස 5 වන දා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.
ඊයේ (08) එම කාරක සභාව රැස්වූ අතර, එහිදී තීරණය වී ඇත්තේ ලබන වසරේ මුල් පාර්ලිමේන්තු රැස්වීමේදී විවාදයට ගනු ලබන කරුණු පිළිබදව යළිත් වරක් රැස්වී තීරණයක් ගන්නා බවයි.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී රජයේ මුදල් කාරක සභාවේ සාමාජිකයින්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට ද තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම කාරක සභාවේ සාමාජිකයින් සංඛ්‍යාව 18 සිට 21 දක්වා වැඩි වන අතර ආණ්ඩු පක්ෂයට එක් සාමාජිකයෙකු සහ විපක්ෂයට සාමාජිකයන් දෙදෙනෙකු (2) එක්වනු ඇති.
මේ අතර, මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශවල වැය ශීර්ෂ ඊයේ (08) විවාදයට ගැනුණා ෴
***************************************
(09.12.2020 – 07:46 +0530 – hirunews.lk/sinhala)
රජය විසින් පාසල් සිසුන්ට ටැබ් පරිගණක නොමිළේ ලබාදීමට කටයුතු කරන බවත්, ඒ සඳහා ලියාපදිංචි වීමට සිසුන්ට අවස්ථාව පවතින බවත්, පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එලෙස ටැබ් පරිගණක ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
සිසුන්ගේ ඉගැන්වීමේ ක්‍රියාවලිය පහසුවෙන් පවත්වාගෙන යාම වෙනුවෙන් ඩිජිටල් ඉගෙනුම් ආධාරකයක් වශයෙන් ටැබ් පරිගණක ලබාදීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට පසුගියදා කැබිනට් අනුමැතිය ද හිමිවුණා.
ඒ අනුව දිවයිනේ දුෂ්කර සහ ග්‍රාමීය පාසල්වල 6 සිට 11 දක්වා ශ්‍රේණිවල පාසල් දරුවන්ට හා ගුරු භවතුන්ට ටැබ් පරිගණක ලබාදීමේ පළමු අදියර දැනටමත් ආරම්භ කර තිබෙනවා.
නිර්ණායක මත පදනම්ව පාසල් 1401 ක් සඳහා පළමු අදියරේදී ටැබ් පරිගණක ලබාදීමට පියවර ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
ජාතික පාසල් 184 ක් සහ පළාත් පාසල් 1218 ක් ඊට අයත් වනවා.
පළමු අදියරේදී 6 ශ්‍රේණියේ සිසුන් 83,086 කට සහ ගුරු භවතුන් 9941 කට ටැබ් පරිගණක ලබාදෙනු ඇති.
ටැබ් පරිගණක ලබාදීම සම්බන්ධයෙන් ඉදිරියේදී සියලු තොරතුරු දැනුම් දෙන බවට ද එම අමාත්‍යාංශය සඳහන් කළා ෴
***************************************
(09.12.2020 – 07:52 +0530 – hirunews.lk/sinhala)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා නීතිපතිවරයා නීතිඥවරුන් 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළා.
මොහු ඇතුළු පිරිසක් ඊයේ (08) නීතිපතිවරයා හමුවූයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහායි.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ෴
***************************************
(09.12.2020 – 10:00 +0530 – hirunews.lk/sinhala)
මිරිහාන කිඹුලාවල ප්‍රදේශයේදී පොලිස් භාරයට ගනු ලැබූ යතුරුපැදි 26 න් 10 ක චැසි අංක වෙනස් කොට ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ඊයේ (08) මේවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරුන්ගේ විමර්ශණයට ලක් වූ බවයි.
මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ දැරියන් දෙදෙනෙකුට (2) මරු කැදවමින් සිදුවූ අනතුරෙන් පසු පසුගිය ඉරිදා මිරිහාන පොලිසිය සිදුකළ වැටලීමකදී මෙම යතුරුපැදි සොයාගනු ලැබුවා ෴
***************************************
ප්‍රදීප්ගේ අණසකට කීකරු වූ දැවැන්ත නාගයා
(09.12.2020 – 11:19 +0530 – hirunews.lk/sinhala)
රද්දොලුව උදම්මිට හන්දිය අසල පිහිටි නිවසකට පැමිණි දරුණු ගණයේ දැවැන්ත නාගයෙකු ආරක්ෂිතව අල්ලා ඉවත් කිරීමට සත්වවේදියෙකු සමත්ව තිබෙනවා.
මෙලෙස නාගයා එම ස්ථානයෙන් ඉවත්කර ඇත්තේ රද්දොළුව ප්‍රදේශයේ පදිංචි ප්‍රදීප් සංජය නමැති පරිසරවේදියා විසින්.
ඔහු මීට පෙර නාගයින් 37 දෙනෙකු ආරක්ෂිතව මුදාගැනීමත් සමග බොහෝදෙනෙකුගේ කතාබහට ලක්වූවා.
Pradeep Sanjaya – Nature and Wildlife ( https://www.facebook.com/pradeepsanjayaatapattu ) නමැති සමාජ මාධ්‍ය ගිණුම හරහා ඔහු හා සම්බන්ධවන පුද්ගලයන් විසින් ලබාදෙන තොරතුරු අනුව කලක් තිස්සේ ඔහු සත්වයන් මුදාගැනීම සිදුකරනු ලබනවා.
ඒ සඳහා ඔහු කිසිදු මුදලක් අය නොකිරීමද විශේෂත්වයක්.
මේ වනවිට ඔහු විසින් අල්ලා ඉවත්කරන ලද නාගයන් සංඛ්‍යාව 300 කට අධික බවයි ඔහු පවසන්නේ.
නාගයින් 37 දෙනෙකු ඇල්ලූ අවස්ථාවේ දර්ශන :
***************************************
(09.12.2020 – 12:09 +0530 – hirunews.lk/sinhala)
ඇල්පිටිය නාරංඕවිට – වෑකඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී රක්ෂිතවලින් කපන ලද වෙනිවැල් ගැට කිලෝග්‍රෑම් 1284 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයට ලද තොරතුරකට අනුව ඊයේ (08) රාත්‍රියේ සොයාගත් මෙම වෙනිවැල්ගැටවල වටිනාකම රුපියල් ලක්ෂ පහකට (5) අධික බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම පුද්ගලයා කාලයක් තිස්සේ රක්ෂිතවලින් මෙලෙස වෙනිවැල්ගැට රැස්කරගෙන මහ පරිමාණයෙන් විකිණීමේ ජාවාරමක් ද සිදුකරගෙන ගොස් ඇති බවට සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
සැකකරු අද (09) ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
***************************************
(09.12.2020 – 12:12 +0530 – hirunews.lk/sinhala)
අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමඟ යැවීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂකවරයා ගොනු කර තිබු ඇප ඉල්ලීම ගම්පහ මහාධිකරණය අද (09) ප්‍රතික්ෂේප කළා.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩුවකට අදාළව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ජූලි මස 31 වනදායි.
ඊට අදාළ නඩුව මේ වනවිට විභාගයට ගැනෙමින් පවතින්නේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදියි.
මෙම සිද්ධියට අදාළව ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක සුගත් මෝහණ මෙන්ඩිස් යන සැකකරුද මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.
ශානි අබේසේකර සහ අදාළ උප පොලිස් පරීක්ෂකවරයා ගොනු කර තිබූ ඇප ඉල්ලීම අද ගම්පහ අංක එක මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා සැකකරුවන් ඇප ලබාදීමට එරෙහිව විරෝධතා ඉදිරිපත් කළා.
මීට පෙර නඩුව කැදවූ අවස්ථාවේ මොවුන්ගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් තීරණය අද දැනුම් දෙන බව මහාධිකරණය දැනුම් දී තිබුණා.
ඒ අනුව මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.
මේ අතර ශානි අබේසේකර මෙහෙයවූ නඩු කටයුතුවලින් අසාධාරණයට ලක්වූවන් සම්බන්ධයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තු විවාදයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේ.
***************************************
(09.12.2020 – 12:32 +0530 – hirunews.lk/sinhala)
මොරටුව යතුරු පැදි අනතුරෙන් තුවාල ලැබූ ගැබිණි කාන්තාවගේ තත්වය මේවනවිට තරමක් සුව තත්වයට හැරෙමින් පවතින බව ජාතික රෝහලේ ආරංචි මාර්ග පවසනවා.
මෙම අනතුරින් ඇයගේ හිසට බරපතල හානි සිදුවී ඇති අතර එක් අතක් සහ පාදයක්ද කැඩී තිබෙනවා.
මේ වනවිට ඇයට යන්ත්‍රයක ආධාරයෙන් කෘතිම ශ්වසනය ලබාදෙන අතර හෙට (10) හෝ අනිද්දා (11) වන විට එම යන්ත්‍රය ඉවත්කර සාමාන්‍ය ලෙස හුස්ම ගැනීමට ඇයට හැකිවනු ඇති බව වෛද්‍යවරුන්ගේ විශ්වාසයයි.
කෙසේ වෙතත් ඇයගේ බරපතළ රෝගී තත්වය පිළිබඳව වෛද්‍යවරු තව දුරටත් දැඩි අවධානයෙන් පසුවන බවයි වාර්ථා වෙන්නේ.
ඊට හේතුව ලෙස වෛද්‍යවරු පෙන්වා දෙන්නේ ඇයගේ හිසෙහි අභ්‍යාන්තරයේ ලේ ගැලීමක් සිදුවී තිබීමයි.
මේ වනවිටත් ඒ සම්බන්යෙන් අවශ්‍ය ශල්‍යකර්ම කිහිපයක්ම සාර්ථකව සිදුකර ඇති බවද සඳහන්.
මෙලෙස හිසට බරපතළ තුවාළ සිදුවූ පුද්ගලයින් බොහෝ අවස්ථාවලදී සුව වී ඇති බවයි සෞඛ්‍ය අංශවල මතය වී ඇත්තේ.
අදාළ මාරක අනතුරින් ඇයගේ දරු කළලය ද ඇයට අහිමි වූ අතර අනතුරින් මිය ගිය ඇයගේ සිඟිත්තන් දෙදෙනා (2) ගේ අවසන් කටයුතු ඊයේ (08) සිදු කෙරුණා ෴
***************************************
(09.12.2020 – 12:39 +0530 – hirunews.lk/sinhala)
මැතිවරණ කොමිසම් සභාවේ නව සාමාජිකයින් හෙට (10) සිය රාජකාරී ආරම්භ කිරීම සිදුකරන බව එම කොමිසම ප්‍රකාශ කළා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නිමල් ජී. පුංචිහේවා මහතා පත් කළ අතර, එහි සෙසු සාමාජිකයන් ලෙස එම්.එම්. මොහොමඩ්, එස්.බී. දිවාරත්න, කේ.පී.පී. පතිරණ සහ ජීවන් ත්‍යාගරාජා යන මහත්වරු පත් කිරීමටයි කටයුතු කළේ.
මීට පෙර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද දේශප්‍රිය පසුගිය දා විශ්‍රාම ගනු ලැබුවා ෴
=====================================
(09.12.2020 – 07:13 +0530 – hirunews.lk/sinhala)
ඊයේ (08) දිනයේදී කොරෝනා ආසාදිතයින් 798 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 30,000 කට ආසන්න වී තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 29,379 ක් දක්වා ඉහල යන බවයි.
අවසන් වරට වාර්තා වූ ආසාදිතයින් 798 දෙනාගෙන් 230 දෙනෙකු බන්ධනාගාර පොකුරේ ආශ්‍රිතයින් වන අතර තවත් ආසාදිතයින් 567 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් වනවා.
එමෙන්ම ජෝර්දානයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු ද කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැණුනු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර, ඊයේ (08) වාර්තා වූ 230 දෙනා සමගින් බන්ධනාගාර පොකුර 2569 දක්වා ඉහළ යනවා.
ඒ අනුව තවදුරටත් කොරෝනා ආසාදිතයන් 7979 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 21,258 ක්.
ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධනය කිරීමේ කටයුතු විධිමත්ව සිදුකර ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ හා තාක්ෂණික උපකරණ තොගයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ස් විසින් කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ඊයේ (08) භාර දෙනු ලැබුවා ෴
+++++++++++++++++++++++
(09.12.2020 – 07:15 +0530 – hirunews.lk/sinhala)
මැදපෙරදිග රටවල් 3 ක රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් 655 දෙනෙකු අද (09) අලුයම දිවයිනට පැමිණියා.
සෞදි අරාබියේ සිට 293 දෙනෙකුත්, කටාර් රාජ්‍යයේ සිට 111 දෙනෙකුත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 191 දෙනෙකුත් මෙලෙස දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.
මීට අමතරව මාලදිවයිනේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 60 දෙනෙකුත් අද (09) අලුයම දිවයිනට පැමිණියා ෴
+++++++++++++++++++++
(09.12.2020 – 08:39 +0530 – hirunews.lk/sinhala)
මුව ආවරණ නොපැළදි සහ සමාජ දුරස්ථභාවය තබා නොගත් 30 දෙනෙකු ගෙවුණු පැය 24 ක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඔක්තෝම්බර් 30 වන දා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩ කළ 1181 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴
+++++++++++++++++++++++++
(09.12.2020 – 09:37 +0530 – hirunews.lk/sinhala)
කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවය කළ 14 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කිරීමට පියවර ගෙන තිබෙනවා.
ආසාදිත සේවකයින් ඊයේ (08) දින නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර, ඔවුන්ගේ ආශ්‍රිතයින් ද මේ වන විටත් හඳුනාගෙන ඇති බවයි ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මීට අමතරව මුළුතැන්ගෙයි කටයුතු පවත්වාගෙන යාම සඳහා අද සිට වෙනත් පිරිසක් යෙදවීමට ද පියවර ගෙන තිබෙනවා ෴
++++++++++++++++++++++
(09.12.2020 – 10:24 +0530 – hirunews.lk/sinhala)
පළමු කොරෝනා රැල්ලේ දී නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රත්ගම පොලීසිය විසින් පවරා තිබු නඩුවකට අදාළව අධිකරණය මගහරිමින් සිටි පුද්ගලයෙකු අත්ඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඇල්පිටිය – තෙලිකඩ ප්‍රදේශයේ රැඳී සිටියදියි.
ඊයේ (08) අත්අඩංගුවට ගත් 29 හැවිරිදි වයසේ පසුවන මොහු මත්කුඩු වලට ඇබ්බැහි වූ අයෙකු බවයි පොලිසීය සඳහන් කළේ.
සැකකරු අද (09) බද්දේගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
+++++++++++++++++++++++
(09.12.2020 – 11:36 +0530 – hirunews.lk/sinhala)
කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ දේහයන් රජයේ වියදමින් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ අවසන් කටයුතු සඳහා වැය වන මුදල් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයෙන් පියවා ගැනීමට උපදෙස් ලබා දී ඇති බවයි.
කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය සඳහා ඔවුන්ගේ ඥාතීන් අවශ්‍ය පහසුකම් ලබා නොදීම හේතුවෙන් සිරුරු ගොඩගැසීම නිසා කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට තවදුරටත් මළ සිරුරු තැන්පත් කිරීමට ගැටළු මතු වී තිබෙනවා.
එහි සිරුරු 22 ක් පමණක් තැන්පත් කළ හැකි නමුත් මේ වන විට එය උපරිම සීමාව ඉක්මවා ගොස් ඇති බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය සඳහා ඔවුන්ගේ ඥාතීන් විසින් මිනී පෙට්ටි රෝහල් බලධාරීන් වෙත හෝ කොළඹ නගර සභාව වෙත ගෙනවිත් දිය යුතු වනවා.
නමුත් ඇතැම් පිරිස් ආර්ථික අපහසුතා ඇති බවට පවසමින් මිනී පෙට්ටි ලබා නොදෙන බවටයි වාර්තා වන්නේ.
එමෙන්ම, කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවය කළ 14 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඔවුන්ගේ ආශ්‍රිතයින් ද මේ වන විට හඳුනාගෙන ඇති අතර, මුළුතැන්ගෙයි කටයුතු පවත්වාගෙන යාමට වෙනත් පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, පොලිස් මූලස්ථානයේ නිලධාරීන් 150 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ජාතික පුවත්පතක් අද පළ කර තිබූ ප්‍රවෘත්තිය අසත්‍යයක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළා.
මේ වන විට පොලිස් මූලස්ථානයට අනුයුක්ත නිලධාරීන්ගෙන් කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන්නේ නිලධාරීන් 3 දෙනෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴
++++++++++++++++++++++
(09.12.2020 – 13:03 +0530 – hirunews.lk/sinhala)
ඊයේ (08) දිනය තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 798 දෙනා අතරින් වැඩිම පිරිසක් වන 526 දෙනෙකු වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
බොරැල්ල ප්‍රදේශයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, ඊයේ (08) දිනය තුළ පමණක් ආසාදිතයන් 176 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මට්ටක්කුලියෙන් ආසාදිතයන් 89 දෙනෙකු, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙන් ආසාදිතයන් 85 දෙනෙකු, මරදාන ප්‍රදේශයෙන් 74 දෙනෙකු සහ වැල්ලවත්ත ප්‍රදේශයෙන් ආසාදිතයන් 54 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ (08) දිනයේ ආසාදිතයන් 97 දෙනෙකු වාර්තා වුණා.
කළුතරින් 53 දෙනෙකු, අම්පාරෙන් ආසාදිතයින් 44 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 40 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴