නිදහසට කරුණු දක්වන්නැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේට නීතිපති දෙපාර්තමේන්තුව දන්වයි ?

නිදහසට කරුණු දක්වන්නැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේට නීතිපති දෙපාර්තමේන්තුව දන්වයි ?

*********************************************

නිදහසට කරුණු දක්වන්නැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේට නීතිපති දෙපාර්තමේන්තුව දන්වයි ?

(08.12.2020 – 15:56 +0530 – hirunews.lk/sinhala)

දූෂණ විරෝධී කමිටුවෙන් මුදල් ලබාගත් බවට හෙළිවී ඇති කරුණු සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව, රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේට දන්වා ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේ අගමැති කාර්යාලය යටතේයි මෙම දූෂණ විරෝධී කමිටුව ක්‍රියාත්මක කෙරුණේ.

එම කමිටුව නියෝජනය කරමින් තුසිත් මුදලිගේ, කමිටුවෙන් මුදල් ලබාගත් බවට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ කරුණු හෙළිවී ඇතැයි සඳහන්.

ඒ පිළිබඳ නිදහසට කරුණු දක්වන ලෙසටයි ඔහුට දන්වා ඇත්තේ.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ යහපාලන රජය සමයේ ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී කමිටුවේ කටයුතු කරමින් දීමනා ලබාගෙන තිබූ බව දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ පසුගියදා හෙළිවී තිබුණා.

දූෂණ විරෝධී කමිටු කාර්යාලයේ වියදම් පියවීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා වී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බවත් ඒ සඳහා වෙන් කර තිබූ මුදල රුපියල් මිලියන 7.5 ක් බවත් පසුගියදා කොමිසම හමුවේ ප්‍රකාශ කෙරුණා.

එහෙත් එම කාර්යාලයේ නීති උපදේශකවරයා වශයෙන් ක්‍රියා කළ එවක රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥයෙකු ලෙස කටයුතු කළ වත්මන් නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු වන තුසිත් මුදලිගේ මහතාට දීමනා ගෙවා ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාල වැය ශීර්ෂයෙන් බව ද කොමිසම හමුවේ අනාවරණය වුණා.

ඒ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ මහතා සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයි.

අදාළ දීමනා ගෙවා ඇත්තේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ හිටපු ලේකම්වරයා නිකුත් කළ වවුචරයක් මගින් බවයි කොමිසමට පෙන්වා දුන්නේ.

එමෙන්ම අධිකරණ කොමිෂන් සභාවේ අනුමැතිය මත නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කාලසීමාවෙන් පසුව දූෂණ විරෝධී කමිටුවේ කටයුතු කිරීමටද තුසිත් මුදලිගේට අවසර ලැබී තිබූ බවද පියදාස කුඩාබාලගේ මහතා අනාවරණ කර තිබුණා.

එම පැමිණිල්ලට අදාළව කරුණු සලකා බැලූ කොමිසමේ සභාපති විනිසුරුවරයා දූෂණ විරෝධී කමිටුවේ සමාජිකයින් ලෙස කටයුතු කල හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක,මංගල සමරවීර, රවුෆ් හකීම් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක සහ එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් ඇතුළු දූෂණ විරෝධි කමිටුවේ සාමාජිකයින්ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි ද නිකුත් කළා.

මීට අමතරව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් සහ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාට ද කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කෙරුණා ෴

***************************************

(08.12.2020 – 15:12 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මහජන සම්බන්ධතා හා පොලිස් මාධ්‍ය කොට්ඨාශයන්හි වැඩබලන අධ්‍යක්ෂ ලෙස පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පත් කර තිබෙනවා.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති අතර, ඒ අනුව ඔහු අද (08) දින පොලිස් මාධ්‍ය කොට්ඨාශයේදී වැඩ භාර ගත් බවයි එම කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

කෙසේ වෙතත්, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා තවදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කරන බව පොලිස් මූලස්ථානය කියා සිටියා ෴

***************************************

(08.12.2020 – 16:16 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් නව වැඩපිළිවෙලක් යටතේ ඖෂධ බෙදා හැරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ප්‍රාදේශීය වශයෙන් පත් කරනු ලබන නියෝජිතයෙකුගේ මාර්ගයෙන් රෝගීන්ගේ බෙහෙත් වට්ටෝරුව රාජ්‍ය ඖෂධ නීතිපති සංස්ථාව වෙත ‘වට්ස්අප්’ කිරීම මගින් ඖෂධ නිවසටම ලබාදීම ඒ යටතේ සිදුවනු ඇති.

ඊට අදාළ මූලික සාකච්ඡාවක් විෂය භාර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර එහිදී අදාළ නියෝජිතයන්ට වට්ටමක් ද ලබාදීමටයි තීරණය වී ඇත්තේ.

එමෙන්ම දැනට දිවයිනේ ඔසුසැල් 45 ක් ක්‍රියාත්මක අතර ඉදිරියේදී සෑම නගරයක් පාසාම ඔසුසැල් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා ෴

***************************************

(08.12.2020 – 16:27 +0530 – hirunews.lk/sinhala)

දකුණු ඉන්දියාවේ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීමට ඉන්දියාව පූර්ණ සහයෝගය ලබාදෙන බව මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහතික වී තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සහ ඉන්දීය මහකොමසාරිස්වරයා අතර හමුවක් ඊයේ (07) විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති අතර ඊට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ ෴

***************************************

ඇ.ඩො. මිලියන 250 ක ආයෝජනයකින් ඇරඹෙන ටයර් කම්හලෙන් මෙරට අපනයන නැංවීමට දැවැන්ත අත්වැලක් : රැකියා 3,000 ක් නිර්මාණය කරමින් එළඹෙන ජනවාරි මාසයේ මෙහෙයුම් ඇරඹේ

(24.11.2020 – citizen.lk)

ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ආයෝජනයක ප්‍රතිඵලයක් ලෙස ඉදිවුණු රිජිඞ් ටයර් කෝපරේෂන් (පුද්.) සමාගම (Rigid Tyre Corporation (Pvt) Ltd) 2021 ජනවාරි මාසයේදී විවෘත වීමට නියමිතව තිබේ. කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය සතියේදී මෙම කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ඇමරිකානු ඩොලර් මිලියන 100 ක වියදමකින් සිදුකෙරෙන එහි ප්‍රථම අදියරේ ඉදිකිරීම් මේ වනවිට සම්පූර්ණ වී ඇති අතර දෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතු 2022 මාර්තු මාසය වනවිට අවසන් වීමට නියමිත වේ.

පූර්ණ හා අතිනවීන තාක්ෂණය හා පහසුකම් සහිත මෙම කර්මාන්තශාලාව මෙරට එම වර්ගයේ ප්‍රථම හා එකම කර්මාන්ත ශාලාව ලෙස සැලකෙන අතර, දේශීය කාර්මික කුසලතාවන් සහ දියුණු යුරෝපීය තාක්ෂණයන් එක්තැන් කරමින් එය අග්නිදිග ආසියාවේ එම වර්ගයේ විශාලතම කර්මාන්ත ශාලාව බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම කර්මාන්ත ශාලාව තුළ SUV රථ සඳහා විශේෂ වූ ටයර් ඇතුළුව මගී මෝටර් රථ සඳහා වන ටයර්ද, මෝටර්සයිකල් ත්‍රිරෝද රථ, ට්‍රක් රථ හා බස් රථ සඳහා වන ටයර්ද, බර වාහන ටයර්ද (Solid Tyres) නිෂ්පාදනය කිරීමට නියමිත ය.

පුළුල් නිෂ්පාදන ධාරිතාවක් සහිත, අපනයනය ඉලක්ක කරගත් මෙම කර්මාන්තශාලාව රටේ අපනයන ක්ෂේත්‍රය පුළුල් කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වනු ඇත. ගෝලීය වසංගත තත්ත්වයක් හමුවේ දේශීය විනිමය ශක්තිමත් කිරීම සඳහා රජය දරන උත්සාහයට එය මනා ශක්තියක්ද වනු නිසැක ය. එමෙන්ම ලබන ජනවාරි මාසයේදී එහි මෙහෙයුම් කටයුතු පූර්ණ වශයෙන් ආරම්භ වූ විට එමගින් සෘජු හා වක්‍ර රැකියා හා ජීවනෝපාය අවස්ථා දහස් ගණනක් නිර්මාණය වනු ඇත.

රිජිඞ් ටයර් කෝපරේෂන් හි විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ධම්මික ලොකුවිතාන මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙසේ ය :

“රිජිඞ් ටයර් යනු පසුගිය වසර 10 ක කාලය මෙරට තුළ සිදුවුණු විශාලතම සෘජු විදේශ ආයෝජනයයි. එමෙන්ම නිෂ්පාදන කටයුතු ආරම්භ වූ විට එය රටේ ප්‍රමුඛතම අපනයන සමාගමක් බවට පත්වේවි. පසුගිය කාලය තුළ ඇතිවූ විවිධ අර්බුද නිසා බලපෑමට ලක්වී තිබෙන අපනයන ක්ෂේත්‍රය නගාසිටුවීමට අමතරව මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවට අතීතයේ ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කරදුන් දේශීය රබර් කර්මාන්තය නැවත පණගැන්වීමටත් විශාල දායකත්වයක් ලබාදේවි.”

“දේශීය රබර් වගාකරුවන් සවිබල ගන්වමින් අපට අවශ්‍ය සියලුම රබර් දේශීයව සපයා ගැනීමටත්, නව රැකියා අවස්ථා දහස් ගණනක් නිර්මාණය කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. එමෙන්ම, මෙහිදී තවත් අතිශයින් වැදගත් කරුණක් වන්නේ ක්‍රියාකාරීත්වය, කාර්යක්ෂමතාව හා පරිසර හිතකාමීත්වය වැනි සාධක අතින් ගත්විට වෙළඳපොළේ ඉදිරියෙන්ම සිටින යුරෝපීය තාක්ෂණය භාවිතයට ගැනීමට අපට අවස්ථාව ලැබීමයි.”

රිජිඞ් ටයර් සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා පෙන්වා දුන්නේ, මෙතරම් විශාල ආයෝජනයක් සිදුවීම මගින් වෙනත් ආයෝජකයන් තුළද විශ්වාසය ගොඩනැංවී ඔවුන් රට තුළ ආයෝජනයන් සිදුකිරීමට පෙළඹෙනු ඇති බවයි. “මෙවැනි ආයෝජන ඉතා හොඳ පූර්වාදර්ශයක් වෙමින්, ශ්‍රී ලංකාව ආයෝජනයට හිතකර රටක්ය යන මතය ලොව තුළ ප්‍රචලිත කිරීමට උපකාරී වේවි. එමෙන්ම මෙම ව්‍යාපෘතිය, අනාගතයේදී ශ්‍රී ලංකාව කාර්මික කේන්ද්‍රයක් බවට බවට පත්කිරීම සම්බන්ධයෙන් රජය සතු දැක්මට සමගාමී වන ව්‍යාපෘතියක් බවත් කියන්නට පුළුවන්.” ඒ මහතා අවධාරණය කළේ ය.

ව්‍යාපාරික ලොවේ ප්‍රමුඛයෙකු වන නන්දන ලොකුවිතාන මහතා සිලෝන් ස්ටීල් කෝපරේෂන් සමාගමේ මෙන්ම එක්සත් අරාබි එමීර් රාජධානියේ ඔනික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධානියාද වන අතර, වානේ සැකසුම් සමාගමක් ඇතුළුව පුළුල් පරාසයක පැතිරුණු සමාගම් එකතුවක් එම සමූහ ව්‍යාපාරය යටතේ පවතී. ඔහුගේ අනෙකුත් ආයෝජන අතරට ඩුබායි හි පිහිටි මැරියට් අල් ජඩාෆ් හෝටලය මෙන්ම හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ ඉදිවන, 2021 මැයි මාසයේ ආරම්භ වීමට නියමිත අතිනවීන සිමෙන්ති ඇඹරුම් කම්හලක්ද, Marangoni Industrial Tyres Lanka සමාගමද ඇතුළත් වේ ෴

++++++++++++++

(Photos from truenews.lk)

+++++++++++++++

20-11-2020

***************************************

ඩුබායි ගොඩනැගීමට සහය වූ ලාංකිකයා ලංකාව හැර යයි. අපේ රට හදන සැලසුම කුණු කූඩයේද?

(05.12.2020 – YouTube : Truth with Chamuditha)

===========================================

(08.12.2020 – 14:48 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 454 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 21,258 ක්.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 7180 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

++++++++++++++++++

පී.සී.ආර්. ජාවාරම සම්බන්ධයෙන් බුද්ධි අංශ ජනාධිපතිවරයාට තොරතුරු දීලා

(08.12.2020 – aruna.lk)

කොරෝනා වයිරසයට මුවා වී කරගෙන ගිය බව කියන පී.සී.ආර්. ජාවාරම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයුම් අංශයේ ඉහළ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගෙන ඇත.

මේ වන විට එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් පමණක් එක දිගට දින තුනක් (3) මෙලෙස ප්‍රශ්න කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අනාවරණය කළේය.

එවැනි මිලකට ජර්මානු සමාගමකින් පමණක් පී.සී.ආර්. කට්ටල මිලදී ගැනීමට සෞඛ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් කටයුතු කර ඇතැයි බුද්ධි අංශ ජනාධිපතිවරයාට වාර්තාවක් ලබා දී තිබිණි.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් ඒ පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කළ අඩු මිලට පී.සී.ආර්. කට්ටල තිබියදී දෙගුණයක් වැඩිපුර ගෙවා පී.සී.ආර්. කට්ටල මාෆියාවක් කරගෙන යන බව හෙළි වී තිබිණි.

ඒ අනුව පී.සී.ආර්. ජාවාරමට සම්බන්ධ වූවන් සොයා විමර්ශන අරඹා ඇත.

මෙම විමර්ශනවල දී පී.සී.ආර්. මාෆියාවට සම්බන්ධ ප්‍රධාන පෙළේ වෛද්‍යවරුන් සිවුදෙනකු (4) හා රසායනාගාර නිලධාරීන් ගැනද අනාවරණය වී ඇත. මාෆියාවට සම්බන්ධ සමාගමෙන් ලැබෙන වරදාන සැලකිල්ලට ගෙන හිතවත්කම් මත මෙම ජාවාරම කරගෙන ගොස් ඇතැයි දැනට තොරතුරු අනාවරණය වී තිබේ.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

++++++++++++++++++

‘ඇවිගන්’ යළි ජපානයට !

(08.12.2020 – theleader.lk)

සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග පවසන්නේ, මෙරට කොවිස්-19 වෛරසය ආරම්භක අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නිර්දේශය මත ඖෂධ නීතිගත සංස්ථාව (SPC) විසින් ජපානයෙන් මෙරටට ගෙන්වා ඇති ‘ඇවිගන්’ ඖෂධය යලී එරටට බාර ගැනීමට එකඟත්ව පළකර ඇති බවයි.

කොරෝනා වෛරසය සඳහා ලොව ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක්ම ඖෂධ සහ එන්නත් පිළිබදව පර්යේෂණ කරමින් සිටින අතර කිසිදු ඖෂධයකට හෝ එන්නතකට මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධාන නිල අනුමැතිය හිමි වී නොමැත.

ජපානයේ ‘ඇවිගන්’ ඖෂධය ද භාවිතයට ගන්නේද? නැද්ද? යන්න ගැන තවමත් පර්යේෂණ පවත්වමින් සිටින අතර එය මිනිසුන් වෙනුවෙන් යොදා ගැනීමට ජපාන සෞඛ්‍ය බලධාරීන් හෝ අනුමැතිය ලබා දී නොමැත.

තත්වය එසේ තිබියදී, මෙම ඖෂධය මෙරටට ගෙන්වා තිබෙන්නේ කුමන අවශ්‍යතාවයකට දැයි සෞඛ්‍ය අංශ වල කතාබහක් ඇතිවී තිබේ ෴

***************************************

මගේ පිළිකාව ගැන දැනගෙනත් කිසිම කලාකරුවෙකු මට කතා කරලා නෑ අද වනතුරු.. – රංගන ශිල්පිනී මියුරි සමරසිංහ (09.12.2020)

https://www.youtube.com/watch?v=5bNZPj4Cyuk

***************************************

All you need to know about the lunar sample taken back by Chang’e-5

(08.12.2020 – news.cgtn.com)

======================================

(08.12.2020 – 17:07 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වැළඳුනු පුද්ගලයින් එය සැඟවීමට උත්සාහ කරන බවත්, එම තත්වය මගහරවා ගැනීමට උපාය මාර්ග සැළසුමක් අවශ්‍ය බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොරෝනා රෝගය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

කොරෝනා වෛරසය පිළිබඳ විශ්ලේෂණ කමිටුව අද (08) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රැස්වූ අතර, ඊට එක්වෙමිනුයි අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ.

ඊට අමතරව දෛනිකව සිදුකරන පී.සී.ආර්. පරික්ෂණ වැඩි කිරීම සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමුකර තිබෙනවා.

කොරෝනා ආසාදිත රෝගීන් වාර්තාවන ප්‍රදේශවල පවතින ගිලන් රථ හිඟය පිළිබඳවද මෙහිදී අවදානය යොමුව තිබෙනවා ෴

++++++++++++++++++++++

(08.12.2020 – 19:32 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 20 ක් වයසැති කුඩා බිළිදෙකු කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද (08) අලුයම 4 ට පමණ මෝදර ප්‍රදේශයේ පදිංචි මෙම බිළිදා රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ බිළිදාට කොරෝනා ආසාදනය වී ඇති බවටයි.

පසුව ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර එහිදී බිලිදා ජීවිතක්ෂයට පත්වූ බව තහවුරු රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළා.

(08.12.2020 – 19:51 +0530 – hirunews.lk/sinhala)

මැදකොළඹ ඇතැම් ප්‍රදේශවල ඇතිවූ ආකාරයේ රෝගී පොකුරු වතුකරය තුළ ද නිර්මාණය වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

මේ නිසා අදාළ ප්‍රදේශවල සංචරණය සීමා කර රෝගීන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය උපරිමයෙන් ක්‍රියාත්මක කළ යුතු බවයි අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ.

මේ අතර, කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ රෝගීන් හඳුනාගැනීම සඳහා සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ තීව්‍ර කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

ඊයේ (07) දිනයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 371 දෙනෙකු වාර්තාවී තිබූ අතර, දෙවන කොවිඩ් පොකුර ආරම්භ වීමෙන් පසු මේ දක්වා කාලය තුළ කොළඹින් වාර්තාවී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 11,706 ක් ෴

+++++++++++++++++++++++

(08.12.2020 – 19:54 +0530 – hirunews.lk/sinhala)

පසුගිය පැය විසි හතරක (24) කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 12 දෙනෙකු වාර්තාවී ඇති අතර, දෙවන කොවිඩ් පොකුර ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා ගාල්ලෙන් වාර්තාවී ඇති මුළු ආසාදිත සංඛ්‍යාව 308 ක්.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියළු පාසල් ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින දෙකෙහි ද වසා තැබීමට තීරණය කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා මහතා ප්‍රකාශ කළා.

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමඟ මීට පෙර තීරණය කර තිබුණේ ඊයේ (07), අද (08) සහ හෙට (09) එම කොට්ඨාශයේ පාසල් වසා තැබීමටයි.

ගාල්ල – කරාපිටිය වෛද්‍ය පීඨයේ සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලදී අලුතින් වෛද්‍ය සිසු සිසුවියන් 4 දෙනෙකු ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති අතර, මේ දක්වා එම පීඨයෙන් සොයාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 6 ක්.

කරාපිටිය වෛද්‍ය පීඨයෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් අතර සිටි වෛද්‍ය ශිෂ්‍යාවකගේ ස්වාමි පුරුෂයෙකු වන ගම්පොල රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහලේ ප්‍රසව වාට්ටුව හා කාන්තා වාට්ටුව වසා දැමීමට කටයුතු කළා.

මෙම වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමට පෙර ඔහු විසින් සිය සීමාවාසික පුහුණුව අවසන් කර පිටව යාම නිමිත්තෙන් සාද දෙකක් පවත්වා තිබෙන බවයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය 38 ක්, හෙද නිලධාරින් 19 ක් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.

මේ අතර බන්ධනාගාරවලින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 2339 දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඉන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 685 දෙනෙකු සුවය ලබා ඇති බවයි.

තවත් කොරෝනා ආසාදිතයින් 454 දෙනෙකු අද (08) සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 21,258 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, පී.සී.ආර්. පරීක්ෂණ සඳහා පෙනී සිටිමින් සෞඛ්‍ය අංශවලට ඊයේ (07) සහය ලබානොදුන් බවට වාර්තා වූ තිහාරිය ප්‍රදේශයේ ජනතාව අද (08) දිනයේ කිසිදු විරෝධතාවකින් තොරව සාමකාමීව ඒ සඳහා සහය දුන් බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා සඳහන් කළා.

ප්‍රදේශයේ මවුලවිවරුන් 14 දෙනෙකු එම ප්‍රදේශයේ ජනතාවට පී.සී.ආර්. පරීක්ෂණවල වැදගත්කම පිළිබදව දැනුවත් කිරීමෙන් පසුව මෙම සාමකාමී වටපිටාව නිර්මාණය වී ඇති බවයි ඔහු කියා සිටියේ ෴

++++++++++++++++++++

(08.12.2020 – 20:58 +0530 – hirunews.lk/sinhala)

අද (08) දිනයේ මේ දක්වා කාලය තුළ අලුතින් කොරෝනා ආසාදිතයන් 797 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඉන් 230 දෙනෙකු බන්ධනාගාරවලින් වාර්තා වී ඇති බවයි.

සෙසු ආසාදිතයන් 567 පෙර ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවයි ඔහු කියා සිටියේ.

=================================

(08.12.2020 – 17:20 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ රැඳවියන් සම්බන්ධ තොරතුතුරු ලබා ගැනීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 011 267 8600 යන අංකය ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකි බවයි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය ප්‍රකාශ කළේ ෴

***************************************

(08.12.2020 – 18:41 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාර ගැටුමෙන් මිය ගොස් දැනට හඳුනා නොගත් රැදවියන් 4 දෙනෙකුගේ සිරුරුවල ඡායාරූප ඉදිරියේදී ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ගැටුමෙන් මිය ගිය 11 දෙනාගෙන් 7 දෙනෙකුගේ සිරුරුවල අනන්‍යතාව මේ වන විට හෙළි කරගෙන ඇති අතර, අධිකරණ නියෝගවලට අනුව ඒවායේ අවසන් කටයුතු සිදුකරන බවයි කොළඹ අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේ මහර බන්ධනාගාරයේ රැදවියන් සම්බන්ධයෙන් තොරතුරු 011 267 8600 යන දුරකථන අංකය හරහා ලබා ගත හැකි බවයි.

මේ අතර, මහර බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය රැදවියන්ගේ දේහයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා බහුවිධ විද්වත් මණ්ඩලයක් පත් කරන ලෙස නීතිපතිවරයා වත්තල මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (08) ඉල්ලා සිටියා.

ඒ, නීතිපති දෙපාර්තමේන්තුව ගොනු කර තිබූ මෝසමකට අනුව මීට අදාළ නඩුව මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ කැදවූ අවස්ථාවේදියි.

පොලීසිය, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් සහය ඉල්ලා තිබූ අතර ඒ අනුවයි ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවශ්‍ය බවට දැනුම් දෙමින් නීතිපති දෙපාර්තමේන්තුව අදාළ මෝසම ගොනු කර තිබුණේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය කරුණු දක්වමින් කියා සිටියේ ගැටුමෙන් මිය ගිය රැදවියන් 11 දෙනාගෙන් 8 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බැවින් ඔවුන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන රෙගුලාසිවලට අනුව සිදුකරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නීතිපතිවරයා වෙත දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත්, එහිදී අගතියට පත් පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.

ඒ අනුව දේහයන් විමර්ශනය කිරීම සඳහා බහුවිධ විද්වත් මණ්ඩලයක් පත් කරන ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, ඊට රජයේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍යවරුන් 3 දෙනෙකු සහ ගිනි අවි සම්බන්ධයෙන් විශේෂඥයෙකු පත් කරන ලෙස ද ඉල්ලා සිටියා.

එම නියෝජිතයින්ගේ නම් ද අද (08) දිනයේදී රජයේ අධිනීතිඥවරිය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

කෙසේ වෙතත්, අගතියට පත් පාර්ශවය මෙහිදී සඳහන් කළේ අදාළ විද්වත් මණ්ඩලය සඳහා තවත් එක් අධිකරණ වෛද්‍යවරයෙකු පත් කරන ලෙසයි.

ඊට ඇති හැකියාව පිළිබඳව හෙට (09) දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නා.

එමෙන්ම, දැනට බන්ධනාගාර ගැටුමෙන් මිය ගොස් සිටින රැදවියන් 11 දෙනාගේ දේහයන් රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර, ඔවුගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීම සඳහා එහි පහසුකම් නොමැති බැවින් අදාළ සිරුරු අයි.ඩී.එච්. රෝහලට මාරු කර යවන ලෙසට ද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා ෴

***************************************

(08.12.2020 – 19:23 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 103.5 ක විදුලි ධාරිතාවක් එක්කෙරෙන ශ්‍රී ලංකාවේ විශාලම සුළං බලාගාරය වන ‘තම්බපවනී’ විදුලි බලාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) විවෘත කෙරුණා.

මන්නාරම වෙරළ තීරයේ කිලෝමීටර් 13 ක් දුරට හෙක්ටයාර් 150 ක භූමියක ඉදිකර ඇති මෙම බලාගරයෙන් වසරකට නිෂ්පාදනය කෙරෙන විදුලි ඒකක සංඛ්‍යාව මිලියන 400 ක්.

එමගින් පවුල් දෙලක්ෂයකට වැඩි පිරිසකට විදුලිබලය සැපයෙනවා.

***************************************

(08.12.2020 – 19:34 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සියළුම සාමාජිකයින් ඉල්ලා අස්වී තිබෙනවා.

එම කොමිසමේ සාමාජිකයෙකු සඳහන් කළේ තමන් ඇතුළු සාමාජිකයින් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කළ බවයි.

කොමිසම් සභාවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය කිත්සිරි ලියනගේ මහතා කටයුතු කළා.

මහජන උපයෝගීතා කොමිසම් සභාව සඳහා පත් කරන සාමාජිකයින්ගේ ධුර කාලය වසර 5 ක් දක්වා බල පැවැත්වෙනවා.

විදුලිබල ක්ෂේත්‍රයේ නියාමන වගකීම පැවරී ඇති මහජන උපයෝගීතා කොමිෂන් සභාව අක්‍රිය කරමින් ජනාධිපති ලේකම්වරයා යොමු කළ ලිපියක් සම්බන්ධයෙන් ද පසුගිය දා පාර්ලිමේන්තුවේදී සංවාදයට බදුන් වුණා ෴

***************************************

(08.12.2020 – 19:58 +0530 – hirunews.lk/sinhala)

රාජගිරිය සුවසැරිය පදනම ඉදිරිපිට එහි සේවකයින් පිරිසක් අද (08) විරෝධතාවක නිරත වුණා.

ඊට පසුගිය දා මාධ්‍ය හමුවක් කැදවීම සම්බන්ධයෙන් වරදකරු වී සේවයෙන් පහ කළ සුවසැරිය සේවක සංගමයේ සභාපතිනිය ඇතුළු සේවකයින් දෙදෙනෙකු (2) ද එක්ව සිටි අතර, එහිදී අදහස් දැක්වූ සුවසැරිය සේවක සංගමයේ සභාපතිනී මයුමි ප්‍රියංගිකා මහත්මිය සඳහන් කළේ සුවසැරිය රජයට පවරා ගත යුතු බවටයි.

***************************************

(08.12.2020 – 20:18 +0530 – hirunews.lk/sinhala)

මහාමාර්ග සංවර්ධනයේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී අවධානය යොමුවුණා.

ඒ, මහාමාර්ග හා ප්‍රවාහන යන අමාත්‍යාංශ පිළිබඳ වැය ශීර්ෂයන්ට අදාළ විවාදයේදියි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක, හිටපු මහාමාර්ග අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ලට චෝදනා කළ අතර, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුද ඊට මැදිහත්වුණා.

***************************************

(08.12.2020 – 21:03 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ප්‍රදේශයේ පසුගිය දින කිහිපයේදී විටින් විට සිදු වූ භූ කම්පනයන්ගෙන් වික්ටෝරියා වේල්ලට කිසිඳු බලපෑමක් සිදුවී නොමැති බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා පවසනවා.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම භූ චලන සම්බන්ධයෙන් මෙතෙක් බලධාරීන්ගෙන් නිසි අවධානයක් යොමු වී නොමැති බවටයි.

මහනුවර දිස්ත්‍රික්කයේ දිගන, අලුත්වත්ත‍, අඹේකොටේ, අනුරගම, ගොනාවත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයකට පසුගිය දිනවල විටින් විට සුළු භූ කම්පනයන්ගේ බලපෑම් එල්ල වී තිබුණා.

පසුගිය අගෝස්තු මස 29 වැනිදා පළමුවරට මෙම භූ කම්පන තත්ත්වයක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වූ අතර ඉන් අනතුරුව සිදු වූ භූ කම්පන අතුරින් එක් කම්පනයක් පමණක් මහකනදරාව හා පල්ලෙකැලේ භූ කම්පන මානයන්ගේ සටහන් වී තිබුණා.

එම කම්පන හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ගම්මාන කිහිපයකට බලපෑම් එල්ල කර තිබුණේ මෙලෙසින්.

නමුත් වාර්තා වූ කම්පන අතුරින් කිහිපයක් වික්ටෝරියා ජලාශයේ වේල්ලෙහි සවිකර ඇති සංවේදක මාපකවල සටහන් වූ අතර මෙය පෘථිවි අභ්‍යන්තරයේ ඇති වූ කම්පනයක් නොව පෘථිවි පෘෂ්ඨය මත සිදු වූ ඒවා බවට ඉංජිනේරුවන් විශ්වාසය පළ කරනවා.

මේ සම්බන්ධයෙන් මේ වන විට පේරාදෙනිය විශ්වවිද්‍යාලය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මෙන්ම මහවැලි අධිකාරියද එක්ව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *