හෙරොයින් සහ අයිස් කිලෝග්‍රෑම් 200 යේ ඩුබායි මත්ද්‍රව්‍ය ජාවාරමේ සැකකරුවන් රිමාන්ඩ්

හෙරොයින් සහ අයිස් කිලෝග්‍රෑම් 200 යේ ඩුබායි මත්ද්‍රව්‍ය ජාවාරමේ සැකකරුවන් රිමාන්ඩ්

*********************************************

හෙරොයින් සහ අයිස් කිලෝග්‍රෑම් 200 යේ ඩුබායි මත්ද්‍රව්‍ය ජාවාරමේ සැකකරුවන් රිමාන්ඩ්

(08.12.2020 – 07:20 +0530 – hirunews.lk/sinhala)

මාරවිල – තොඩුවාව ප්‍රදේශයේදී හෙරොයින් සහ අයිස් කිලෝග්‍රෑම් 200 සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා (4) මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔවුන් මාරවිල අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඊයේ (07) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙමටගොඩ සහ ගනේමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.

පසුගිය ඉරිදා හෙරොයින් කිලෝග්‍රෑම් 100 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය භාරයට ගනු ලැබුවේ දකුණු තොඩුවාව ප්‍රදේශයේදීයි.

එහි වටිනාකම රුපියල් කෝටි 200 කට අධිකයි.

ඊයේ (07) මීට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුම් දුන්නේ මාසයකට අධික කාලයක් පුරා සිදුකළ මෙහෙයුමකින් පසුව මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණ කරගත් බවයි.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික පොලීසියේ සහය අපේක්ෂා කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

***************************************

(08.12.2020 – 07:34 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් මේ වනවිට 145 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ බන්ධනාගාර නිලධාරීන් 54 දෙනෙකු, වෛද්‍යවරුන් 12 දෙනෙකු, හෙද නිලධාරීන් හත්දෙනෙකු (7) සහ රැඳවියන් 73 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි ෴

මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන් 11 දෙනාගෙන් හත්දෙනෙකු (7) මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ඉන් සිරුරු හතරක (4) පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර අවසන් බවයි.

කෙසේ වෙතත් එම සිරුරු ආදාහනය හෝ භූමදානය කිරීමක් සිදු නොකරන බවත්, ඒ සඳහා අධිකරණ නියෝගයක් ලැබෙන තෙක් ඒවා රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ අධිශීතකරණවල තැන්පත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා ෴

***************************************

(08.12.2020 – 13:34 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී තිබෙනවා.

අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එම වාර්තාව භාර දී ඇත්තේ එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසින්.

වෙළුම් තුනකින් (3) යුත් මෙම වාර්තාව පිටු 2,000 කින් සමන්විත වන අතර කොමිසන් සභාව හමුවට ඉදිරිපත්වූ පැමිණිලි 198 කට අදාළ විමර්ශන ඊට ඇතුළත් වනවා.

පසුගිය ජනවාරි මස 16 වන දා දේශපාලන පළි ගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ පැමිණිලි විභාගය ආරම්භ වූ අතර, එය අවසන් වුණේ ඔක්තෝම්බර් මස 31 වන දායි ෴

***************************************

(08.12.2020 – 07:48 +0530 – hirunews.lk/sinhala)

මෙරට රජයට අයත් පළමු සුළං බලාගාරය වන මන්නාරම සුළං බලාගාරය අද (08) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි.

මෙගාවොට් 100 ක ධාරිතාවක් ඒ යටතේ ජාතික විදුලිබල පද්ධතියට මුදාහැරෙන බවයි සූර්යබල, සුළං, ජලවිදුලි ජනන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ.

මෙරට තුළ සුළං බලාගාර පැවතුණද ඒවා පෞද්ගලික අංශයට අයත් වන අතර, ලංකා විදුලිබල මණ්ඩලය සතුවන පළමු සුළං විදුලි බලාගාරය මෙය වනවා.

සුළං කුළුණු 33 කින් සමන්විත මෙම බලාගාරය හරහා විදුලි ඒකකයක් නිෂ්පාදනය කරගැනීමට වැයවන්නේ රුපියල් 10 කටත් වඩා අඩු මුදලක් බව සඳහන්.

අද (08) ජනතා අයිතියට පත්වන මන්නාරම සුළං බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (07) එක්වූ සූර්යබල, සුළං, ජලවිදුලි ජනන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා ෴

(08.12.2020 – 10:57 +0530 – hirunews.lk/sinhala)

2015 වසරෙන් පසු ජනතාවට විදුලිබලය ලබාදීම සඳහා කිසිදු සැලැස්මක් නොතිබුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ, ශ්‍රී ලංකාවේ විශාලතම සහ රජයට අයත් ප්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය වන ‘මන්නාරම තම්බපවනී බලාගාරය’ විවෘත කිරීමේ අවස්ථාවට අද (08) පෙරවරුවේ එක්වෙමින්.

මෙමඟින් මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 103 ක ධාරිතාවක් එක් කෙරෙනවා. එමෙන්ම මෙම බලාගාරය මඟින් විදුලි ඒකකයක් රුපියල් අටත් නවයත් (8.00 – 9.00) වැනි අඩු මුදලකට උත්පාදනය කිරීමට හැකියාව පවතිනවා. මෙම ව්‍යාපෘතිය සඳහා වැයකර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 141 ක්.

එහිදී අදහස් දැක්වූ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ එල්.එන්.ජී බලාගාරයට එළඹෙන ජනවාරි මාසයේදී මුල්ගල තබන බවයි.

***************************************

(08.12.2020 – 09:47 +0530 – hirunews.lk/sinhala)

ජාතික පාසල් සංඛ්‍යාව දහස (1000) දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

දැනට මෙරට තුළ ජාතික පාසල් 350 ක් පවතින අතර, අදියර තුනක් (3) යටතේ මෙම සංඛ්‍යාව දහස (1000) දක්වා ඉහළ නංවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ.

පළමු (1) අදියර යටතේ මේ වනවිට කිසිදු ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 123 ක එක් පළාත් සභා පාසලක් බැගින් තෝරාගෙන ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමට නියමිතයි ෴

***************************************

(08.12.2020 – 11:01 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල ප්‍රදේශ කිහිපයකට පැය විසි හතරක (24) ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (09) පෙරවරු 9 සිට පැය විසි හතරක (24) කාලයක් කුරුණෑගල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව කෑගල්ල පාර, කුරුණෑගල – කොළඹ පාර ඇතුලු සියලු අතුරු මාර්ගවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති ෴

***************************************

(08.12.2020 – 12:40 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස දුම්රිය ස්ථානයේ චීන භාෂාව සහිත කාලසටහන් පුවරු සවිකර තිබීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය තුළ කථාබහක් ඇතිවීමත් සමඟයි.

මීට වසර හයකට (6) පෙර අදාළ පුවරු සවිකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පැමිණිලිද ලැබී ඇති බවයි ඔහු කියා සිටියේ. ඉංග්‍රීසි සහ චීන භාෂාවෙන් පමණක් අදාළ කාලසටහනේ තොරතුරු සටහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් එය මෙරට භාෂා ප්‍රතිපත්තියට පටහැනි වන අතර, දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියා සඳහන් කළේ චීන භාෂාව සහිත පුවරු ඉවත් කර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ඇතුළත් කර අදාළ පුවරු සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි ෴

***************************************

(08.12.2020 – 13:16 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. සහ ද ෆිනෑන්ස් යන මූල්‍ය ආයතන කඩාවැටීම හේතුවෙන් එහි තැන්පත්කරුවන් මුහුණදී ඇති ගැටළුවට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළා.

ඒ, ඊයේ (07) රාත්‍රියේ ‘හිරු ටී වී’ ඔස්සේ විකාශය වූ ‘සළකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින්.

***************************************

(08.12.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් මියගිය රැඳවියන්ගේ මෘතදේහ ආදහනය කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීම සඳහා ලබන 11 වනදා කැඳවීමට නියමිතව තිබූ නඩුව අද කැඳවන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමින්. ඒ අනුව එම නඩුව අද (08) පස්වරුවේ සළකා බැලීමට නියමිතයි.

පසුගියදා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මහර බන්ධනාගාරයේ සිදුවූ මරණ සියල්ල ස්වභාවික හේතු මත සිදු නොවූ සැකසහිත මරණ වන බැවින් පවත්නා කොරෝනා මර්දන රෙගුලාසි අනුව මෘත දේහ ආදහනය කළහොත් එම මරණ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට බාධාවක් විය හැකි බවයි.

ඒ අනුව ඊට අදාළ තීන්දුව ලබන 11 වනදා ලබාදීමටයි වත්තල මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කරනු ලැබුවේ.

කෙසේ වෙතත් ඒ දක්වා වූ කාලය දීර්ඝ බවට පවසමිනුයි නීතිපති දෙපාර්තමේන්තුව මෙම මෝසම ඉදිරිපත් කර ඇත්තේ.

මෙම ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් හත්දෙනෙකුගේ (7) සිරුරු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

ඉතිරි සිරුරු මේ වනතෙක් හඳුනාගෙන නොමැති අතර, ඇඟිලි සළකුණු සහ ඩී.එන්.ඒ. පරීක්ෂණ මගින් එම සිරුරුවල අනන්‍යතාව හඳුනාගැනීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත් ගැටුමෙන් මියගිය රැඳවියන් 11 දෙනාගේ සිරුරු අධිකරණ නියෝගයක් ලැබෙන තෙක් රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. අදාළ ගැටුම සම්බන්ධයෙන් මේ වනවිට 145 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ෴

***************************************

(08.12.2020 – 13:20 +0530 – hirunews.lk/sinhala)

අධික වේගයකින් සහ විවිධ නළා භාවිත කරමින් යතුරුපැදි ධාවනය කළ පුද්ගලයින් 20 දෙනෙකු ඊයේ (07) රාත්‍රියේ සිට දියත් කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම, එන්ජින් ධාරිතාව 450 ට වැඩි යතුරුපැදි කිසිදු ආකාරයකින් ධාවනය සහ ලියාපදිංචි කළ නොහැකි බවත් එවැනි යතුරුපැදි විශේෂ අවස්ථාවන් හි පමණක් ධාවනය කිරීමට අවසර ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

පසුගියදා මොරටුව – එගොඩඋයන ප්‍රදේශයේදී කුඩා දැරියන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත් කරමින් ගැබිණි මවකට බරපතල තුවාල සිදුවූ රිය අනතුර හේතුවෙනුයි මෙලෙස අධික වේගයෙන් සහ අපරික්ෂාකාරී ලෙස ධාවනය කරන යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ.

ඒ අනුව මිරිහාන පොලිස් වසමට අයත් කිඹුලාවල ප්‍රදේශයේදී පෙරේදා රාත්‍රියේ ද යතුරුපැදි තරඟයක් පැවැත්වීමට සූදානම් කර ඇති බවට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී යතුරුපැදි 24 ක් සමඟ තරුණයින් පිරිසක් පොලිස් භාරයට ගැනුනා ෴

***************************************

(08.12.2020 – 13:54 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල කළුගල්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන අබලි ද්‍රව්‍ය එක් රැස්කරන ස්ථානයක් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් පාරිසරික ගැටලු රැසක් මතුව ඇති බවයි.

මේ බදුල්ල කළුගල්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන අබලි ද්‍රව්‍ය එක්රැස් කිරිමේ ස්ථානයක දර්ශන කිහිපයක්.

වසර ගණනාවක තිස්සේ මෙම ස්ථානයේ අබලි ද්‍රව්‍ය එක්රැස්කෙරුණද එම කාර්යය කිසිදු ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ සිදු නොවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධයෙන් බදුල්ල මහ නගර සභාව දැනුවත් කළ ද කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

***************************************

(08.12.2020 – 14:03 +0530 – hirunews.lk/sinhala)

මේ කුරුණෑගල අධ්‍යාපන කොට්ඨාසයේ ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයේ ගොඩගම මංගල විද්‍යාලයයි.

1978 වසරේ ඉදි වූ මෙම පාසල වසර කිහිපයක සිට වසා දමා තිබෙනවා.

පාසල ආරම්භ කළ කාලයේ මෙහි සාමාන්‍යපෙළ දක්වා පංති පැවැත්වුණු නමුත් පසුව මෙය ප්‍රාථමික විදුහලක් බවට පත්කර ඇති අතර වසර කිහිපයකට ඉහතදී මෙහි පෙර පාසලක්ද පැවති බව ප්‍රදේශවාසීන් පවසනවා.

මෙම පාසල වසා දැමීම නිසා ගමේ දරුවන්ට දුරකතර ගෙවා පාසල් යාමට සිදුව ඇති අතර වසා දමා ඇති පාසල් ගොඩනැගිල්ල මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ රජ දහනක් බවට පත්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

පාසල් ලිදට සවිකර තිබූ වතුර මෝටරය සහ වතුර ටැංකියද සොරාගෙන ගොස් ඇති අතර ළමා උයනේ ක්‍රීඩා භාණ්ඩද ගලවාගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මෙහි පාසල් ගොඩනැගිල්ල, ලිඳ සහ වැසිකිලි පද්ධතිය ඇතුළු භෞතික පහසුකම් තවමත් පවතින්නේ භාවිතයට ගතහැකි මට්ටමකයි.

එබැවින් මෙම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර පාසලක් ලෙස හෝ ගමේ තරුණ පිරිසට ඵලදායීවන ආකාරයෙන් රැකියා මධ්‍යස්ථානයක් ලෙස හෝ ඵලදායි ආකාරයට සකසා දෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මහජන මුදල් මිලියන ගණනින් අපතේ ගන්නට ඉඩහැර දමා ඇති මෙම ගොඩනැගිල්ල සම්පූර්ණ කර ජනතාවට යහපතක් සළසන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

(08.12.2020 – 14:11 +0530 – hirunews.lk/sinhala)

රැඳවියන්ගේ තදබදය අවම කිරීමට බන්ධනාගාර ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය වුවත් ඒ සඳහා අධික වියදමක් වැය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත බණ්ඩාර මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කලා.

======================================

(08.12.2020 – 07:32 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ දෙකක් (2) ඊයේ වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගියා.

නිශ්චිත පදිංචි ස්ථානයක් අනාවරණය වී නොමැති කොළඹ ප්‍රදේශයේ අවුරුදු 62 ක් වයසැති පිරිමි පුද්ගලයෙකු හෝමාගම මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (07) මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මොහු කොළඹ ජාතික රෝහලේ සිට මෙලෙස හෝමාගම මූලික රෝහලට මාරුකර යවා තිබෙනවා.

කොවිඩ් නියුමෝනියා තත්වය මරණයට හේතුව බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ.

කොළඹ 13 – ජම්පටා වීථියේ පදිංචි අවුරුදු 77 ක් වයසැති පිරිමි පුද්ගලයෙකු ඊයේ (07) මියගොස් ඇත්තේ හෝමාගම මූලික රෝහලේදිමයි. මොහු කොළඹ ජාතික රෝහලේ සිට මෙලෙස මාරුකර යවා ඇති අතර, කොරෝනා ආසාදනය සහ දියවැඩියාව සමඟ ඇතිවූ ලේ විෂවීමක් මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා.

ඊයේ (07) දිනයේදී නව ආසාදිතයන් 703 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඒ අනුව මෙරට කොරෝනා රෝගීන් 28,580 දක්වා ඉහළ ගියා. නව ආසාදිතයන්ගෙන් 466 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, තවත් 237 දෙනෙකු බන්ධනාගාර කොවිඞ් පොකුරේ ආසාදිතයන් වනවා. ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඞ් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 25,025 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොරෝනා ආසාදිතයන් 7,634 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 20,804 ක්.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 11,077 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 6,521 දෙනෙක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 1,333 දෙනෙක් ද වාර්තාවී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර ගම්පහ – තිහාරිය ප්‍රදේශයේ ජනතාව පී.සී.ආර්. පරීක්ෂණ මගහරිමින් ඒවා ප්‍රතික්ෂේප කරන බවට දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය චෝදනා කරනවා. එසේ වුවහොත් තිහාරිය ප්‍රදේශය හුදකලා කිරීමටද සිදුවනු ඇති බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මෙම තත්ත්වයම අටළුගම ප්‍රදේශයෙන්ද මීට පෙර වාර්තාවූ අතර, ඒ පිළිබඳව අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහති ඊයේ (07) ඉල්ලා සිටියේ ඒ සඳහා ආරක්ෂක අංශවල සහය අපේක්ෂා කරන බවයි.

මැදපෙරදිග රටවල් තුනක (3) රැඳි සිටි ශ්‍රී ලාංකිකයන් 481 දෙනෙකු අද (08) අලුයම දිවයිනට පැමිණියා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට 44 දෙනෙකු, කටාරයේ දෝහා හි සිට 147 දෙනෙකු මෙලෙස පැමිණි පිරිස අතරට ඇතුළත්. ඊට අමතරව බහරේනයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට මුහුණදී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි 290 දෙනෙකුද අද (08) අලුයම දිවයිනට පැමිණියා.

මේ අතර කොවිඩ්-19 අර්බුදය විසඳීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් සාකච්ඡා කෙරෙන ආසියානු පැසිෆික් මහජන සෞඛ්‍ය සමුළුවේ සමාරම්භක සැසිය කොළඹදී අද (08) ආරම්භ වනවා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එය ආරම්භ වන අතර, මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහ රටවල් 40 ක මහජන සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විශේෂඥයින් මෙන්ම වෛද්‍යවරුන් ඊට එක්වීමට නියමිතයි. ඔවුන් අන්තර්ජාලය ඔස්සේ සජීවීව සම්බන්ධ වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් මෙය සංවිධාන කර තිබෙනවා ෴

++++++++++++++++++++++

(08.12.2020 – 09:01 +0530 – hirunews.lk/sinhala)

මුඛ ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම යන නිරෝධායන නීති කඩකළ පුද්ගලයන් 40 දෙනෙකු ගතවූ පැය විසි හතරක (24) කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා එම චෝදනා යටතේ පුද්ගලයන් 1,151 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(08.12.2020 – 12:46 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියළු පාසල් ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින දෙකෙහි (2) ද වසා තැබීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමඟ මීට පෙර තීරණය කර තිබුණේ ඊයේ (07), අද (08) සහ හෙට (09) එම කොට්ඨාශයේ පාසල් වසා තැබීමටයි.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සතිය පුරාම ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් වසා තැබීමට තීරණය කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතා කියා සිටියා ෴

++++++++++++++++++++++

(08.12.2020 – 13:13 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (07) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 703 දෙනා අතරින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඞ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ කොළඹින් වාර්තා වූ ආසාදිතයන් 371 දෙනෙකු අතරින් 192 ක්ම වාර්තා වී ඇත්තේ බොරැල්ල ප්‍රදේශයෙන් බවයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ (07) දිනයේ ආසාදිතයින් 102 කු අලුතින් හඳුනාගෙන තිබෙනවා. ඉන් 49 දෙනෙකු වාර්තා වී ඇත්තේ මහර ප්‍රදේශයෙන්. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගීන් 46 දෙනෙකු ගතවූ පැය 24 දි හඳුනා ගෙන තිබෙනවා.

කොරෝනා දෙවන රැල්ල ඇතිවූ පසුගිය ඔක්තොම්බර් 04 වනදා සිට මේ දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 11,706 දෙනෙකු වාර්තා වී ඇති අතර එය දෙවන කොවිඞ් රැල්ලේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවයි.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 6776 දෙනෙකු වාර්තා වී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 1339 ක්. මහනුවරින් ද රෝගීන් 784 දෙනකු හඳුනාගෙන තිබෙනවා.

කුරුණෑගලින් 373 දෙනකු, ගාල්ලෙන් 308 දෙනෙකු, පුත්තලමින් 271 දෙනකු, අම්පාරෙන් 230 දෙනෙකු, නුවරඑළියෙන් 154 දෙනෙකු, අනුරාධපුරයෙන් 109 දෙනෙකු සහ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 78 දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටියේ.

එමෙන්ම ගම්පොල රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහලේ ප්‍රසව වාට්ටුව හා කාන්තා වාට්ටුව වසා දැමීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය 38 ක්, හෙද නිලධාරින් 19 ක් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් 17 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ. අකුරණ ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයාගේ බිරිඳ කරාපිටිය වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවක්. එම පීඨයේ සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයන් කිහිපදෙනෙකු හඳුනා ගැණුනු අතර අදාළ වෛද්‍යවරයාගේ බිරිඳ ද ඒ අතර වනවා. ඒ හේතුවෙන් අදාළ වෛද්‍යවරයාට ද පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී වෛද්‍යවරයා ආසාදිතයෙකු බවට හඳුනා ගෙන තිබෙනවා. මෙම වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමට පෙර ඔහු විසින් සිය සීමාවාසික පුහුණුව අවසන් කර පිටව යාම නිමිත්තෙන් සාද දෙකක් (2) පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර අටළුගම ප්‍රදේශයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම ඊයේ (07) සිට ආරම්භ කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සිය රාජකාරි සඳහා පොලිස් හා හමුදා ආරක්ෂාව ලබාදීමට තීරණය කිරීමත් සමඟයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *