අමරදේවයන්ගේ අතර මග නතර වූ සිහිනය

අමරදේවයන්ගේ අතර මග නතර වූ සිහිනය

*********************************************

අමරදේවයන්ගේ අතර මග නතර වූ සිහිනය

(07.12.2020 – 13:36 +0530 – hirunews.lk/sinhala)

හෙළයේ මහා ගාන්ධර්වයා ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේවයන් ජීවමානව සිටියදී දුටු සිහිනයක් නම් දැයේ දූ දරුවන් වෙනුවෙන් පරිපූර්ණ සංගීත ආශ්‍රමයක් ඉදිවනවා දැකීමයි.

මේ මහා යුග පුරුෂයාගේ වියෝවෙන් අනතුරුව ‘අමරදේව අසපුව’ට මුල්ගල තැබුණේද එය යථාර්ථයක් කරනු අපේක්ෂාවෙන්.

නමුත් අද වන විට අමරදේවයන්ගේ සිහිනය සිහිනයකටම සීමා වී තිබෙනවා.

මේ බත්තරමුල්ල – අපේගම ආසන්නයේ ඉදිකිරීමට යෝජිත අමරදේව අසපුවයි.

2018 අගෝස්තු 28 වැනි දින මුල්ගල් තබමින් වැඩ අරඹන්නට යෙදුණු මෙම සංගීත ආශ්‍රමයේ ඉදිකිරීම් මාස 9 කින් අවසන් කරන්නට සැළසුම් කර තිබුණා.

ඒ සඳහා වෙන්කොට තිබූ මුදල රුපියල් මිලියන 225 ක්.

ආරම්භයේදී සැළසුම් කළ පරිදි පුද්ගලික කොන්ත්‍රාත් සමාගමක් මඟින් මෙහි ඉදිකිරීම් සිදුවුණද අද වන විට එය අතරමග නතර වී තිබෙනවා.

හෙළයේ මහා ගාන්ධර්වයා ජීවමානව සිටියදී දුටු සිහිනය මෙලෙස බොඳ වී යාමට හේතු වූයේ කවරක්ද?

මහජන මුදල් විශාල ලෙස වැයකරමින් මාස 9 කින් අවසන් කිරීමට යෝජිත වූ ව්‍යාපෘතිය ඔහුගේ අභාවයෙන් වසර 4 ක් ගතවන තුරුත් නිමකිරීමට නොහැකිවීම ජාතියක් ලෙස කණගාටුවට කරුණක් නොවේද?

***************************************

(07.12.2020 – 14:27 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ඉදිරියේදී සංචාරකයින් මෙරටට ගෙන්වන අතුරතුර විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම ද අඛණ්ඩව සිදුකෙරෙන බව සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මාර්තු 10 වන දා සිට පසුගිය 30 වන දා දක්වා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 45,509 ක් මෙරටට ගෙන්වාගෙන ඇති අතර, තවත් ශ්‍රී ලාංකිකයින් 58,892 ක් පැමිණීමට අපේක්ෂාවෙන් විදේශ රටවල තානාපති කාර්යාලවල ලියාපදිංචි වී ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

මෙරටට ගෙන්වා ගත් පිරිසෙන් 30,000 කට අධික පිරිසක් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බව ද එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා ෴

***************************************

(07.12.2020 – 16:42 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇතිවූ සිද්ධියට අදාළව කරුණු විමර්ශනය සඳහා පත්කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව අද (07) අධිකරණ අමාත්‍යාංශයේදී විෂයභාර අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි වෙත භාරදෙනු ලැබුවා.

අධිකරණ අමාත්‍යවරයා විසින් පසුගිය 30 වනදා පත්කළ මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියයි.

වාර්තාව භාරදීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එම කමිටුවේ සාමාජික ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා මහතා කියා සිටියේ ගැටුම සිදුවූ අවස්ථාවේ රැඳවියන් පිරිසක් ඇතැම් ඖෂධ අධි මාත්‍රාවලින් ලබාගෙන ඇති බවට සාක්ෂි පවතින බවයි.

මේ අතර සිදුවීමෙන් දින අටක් (8) ගතවුවද මිය ගිය රැදවියන්ගේ දේහයන් ඥාතීන් වෙත භාර නොදීම සහ හඳුනා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කළා.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ සිද්ධියෙන් මියගිය රැදවියන් 11 දෙනාගෙන් 7 දෙනෙකුගේ මෘත ශරීර මේ වන විට හඳුනාගෙන ඇති බවයි.

එලෙස හඳුනා ගත් 3 දෙනෙකුගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද (07) සිදුකිරීමට නියමිතව තිබුණා.

මියගිය ඉතිරි සිව් (4) දෙනාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ඩී.එන්.ඒ. හෝ ඇගිලි සලකුණු පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

මේ අතර බන්ධනාගාර ගතව සිටින රැඳවියන් අවම වශයෙන් අටදහසක් (8000) පමණ කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී ප්‍රකාශ කර තිබෙනවා.

සිව් (4) අවුරුදු සමාව ලබාදීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර, එය අනුමත වුවහොත් දඬුවම් කාලය වසර විස්සකට (20) වඩා ගෙවා ඇති සිරකරුවන් නිදහස් වනු ඇති.

එමෙන්ම මරණ දඬුවම හිමිවූවන්ගේ දඬුවම් කාලය වසර විස්සකට (20) අඩුවන බවත්, රජ්‍ය අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

***************************************

(07.12.2020 – 16:58 +0530 – hirunews.lk/sinhala)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 34 වන කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්වූ එච්.එම්.ඩබ්ලිව්.සී. බණ්ඩාර මහතා, අද (07) එම දෙපාර්තමේන්තුවේදී රාජකාරී කටයුතු ආරම්භ කළා.

1987 වසරේදී ආදායම් දෙපාර්තමේන්තුවේ සේවයට එක්වූ ඔහු නීතීඥවරයෙකුද වනවා.

මේ අතර අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාව සිටි ප්‍රභාෂ් සුබසිංහ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම තනතුරට සුරේෂ් ද මෙල් මහතා පත්කර තිබෙනවා.

අපනයන ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන ඔහු සමාගම් කිහිපයක සභාපතිවරයෙකුද වනවා.

***************************************

(07.12.2020 – 17:15 +0530 – hirunews.lk/sinhala)

වැඩ සමඟ යළි ගමට නව ව්‍යාපෘතිය ලබන 14 වනදා සිට රට පුරා ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව අද (07) රැස්වූ අවස්ථාවේදියි.

කොරෝනා වසංගතය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය දැඩි අසීරුතාවන්ට මුහුණපා ඇති බවත්, ඊට මුදල් අමාත්‍යාංශයේ සහයෝගය ලබාදිය යුතු බවටයි මෙහිදී යෝජනා වී ඇත්තේ.

සියයට 72 ක් වූ ග්‍රාමීය සහ අර්ධ නාගරිකයන්ගේ ජීවන මට්ටමේ සාධනීය වෙනසක් ඇති කිරිමට නම් නිලධාරිවාදයට නොව ජනතාවගේ අත්‍යවශ්‍ය ප්‍රමුඛතාවන්ට මුල්තැන දිය යුතු බවටද එහිදී යෝජනා වී තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ෂෙහාන් සේමසිංහ මහතාගේ සහයෝගය ඇතිව ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කිරීමට මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා එකඟතාව පළ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා ෴

***************************************

(07.12.2020 – 19:45 +0530 – hirunews.lk/sinhala)

මැනිං වෙළඳපල පෑලියගොඩ ප්‍රදේශයට රැගෙන යාමේදී අසාධාරණයක් සිදුවූ බව පවසමින් එහි වෙළඳුන් පිරිසක් ජනාධිපති කාර්යාලය අසළ විරෝධතා සිදුකිරීම සඳහා ලබාදී ඇති ස්ථානයේ අද (07) සිදුකළ උද්ඝෝෂණයක් අසළට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැමිණීමත් සමඟ උණුසුම් තත්වයක් හටගත්තා.

හිටපු අමාත්‍යවරයාට විරෝධය පළ කරමින් වෙළඳුන් සඳහන් කළේ තම ඉල්ලීම් මුවාවෙන් දේශපාලනය සිදුකිරීමට කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බවයි.

කොළඹ මැනිං වෙළඳපොල, පෑලියගොඩ ප්‍රදේශයට රැගෙන යාමේ සැළසුම කළක පටන් පැවතියද, ඒ පිළිබඳව අවධානය ඉහළ ගියේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මැනිං වෙළඳපොල වසා දැමීමත් සමඟයි.

පසුගියදා කුසපත් ඇදීමකින් වෙළඳුන් සඳහා පෑලියගොඩ වෙළඳපොලේ කඩකාමර ලබාදී තිබුණද වෙළඳුන් චෝදනා කළේ වෙළඳ සංගමයේ සභාපතිවරයා, නාගරික සංවර්ධන අධිකාරිය සමඟ එක්ව අත්තනෝමතිකව කටයුතු කරන බවයි.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැමිණීමත් සමඟ උණුසුම් තත්වයක් හටගත්තා.

***************************************

(07.12.2020 – 19:56 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ පුරාවිද්‍යා පරිශ්‍රය ආශ්‍රිතව අනවසරයෙන් ඉදිකර තිබූ ගව මඩු ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ගව පට්ටි හිමියන් අද (07) දහවල් විරෝධතාවක නිරත වුණා. ඒ, තම ගවයන් ද රැගෙන තබාල නගරයේ මාර්ගය ද අවහිර කරමින්.

පුරාවිද්‍යා පරිශ්‍රය ආශ්‍රිතව ඉදිකර තිබූ ගව මඩු ඉවත් කිරීමට ‘සිංහලේ අපි’ සංවිධානයේ හිමිවරුන් ඇතුළු පිරිසක් ඊයේ (06) කටයුතු කළා.

කෙසේ වෙතත්, ඊට විරෝධය පළ කරමිනුයි අද (07) ගව පට්ටි හිමියන් විරෝධතාවයේ නිරත වූයේ.

මේ අතර වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ පසුගිය දා කළ චාරිකාවේදී වනජීවි නිලධාරීන්ට බැන වැදීමේ සිද්ධිය මුල් කර ගනිමින් වනජීවී නිලධාරීන් අද (07) දිනයේත් සංකේත වැඩවර්ජනයක නිරතවනවා.

මේ හේතුවෙන් අද (07) රාත්‍රියේ වන අලි පළවා හැරීමේ මෙහෙයුම් සිදු නොකරන බවයි සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

***************************************

(07.12.2020 – 19:58 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා තිබූ තවත් විදෙස් ගමන් තහනමක් මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (07) ඉවත් කරනු ලැබුවා.

මාතර බ්‍රවුන්ස් හිල්හි අක්කර එකහමාරක පොල් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ මොහුට විරුද්ධව නඩු පවරා තිබුණා.

හිටපු අමාත්‍යවරයාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කර තිබූ නඩුවකට අදාළව පනවා තිබූ විදෙස් ගමන් තහනමක් පසුගිය 23 වනදා ඉවත් කරනු ලැබුවා.

ඒ 2015 ජනාධිපතිවරණ සමයේ දිවි නැගුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු ඇතුළු නිවාස උපකරණ බෙදා දෙමින් දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 2991 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහණය යන චෝදනාව යටතේ ගොනු කර තිබූ නඩුවකට අදාළවයි ෴

***************************************

(07.12.2020 – 20:57 +0530 – hirunews.lk/sinhala)

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සම්බන්ධයෙන් පූජ්‍ය පක්ෂය සහ දේශපාලනඥයින් මෙලෙස අදහස් පල කළා.

***************************************

(07.12.2020 – 21:14 +0530 – hirunews.lk/sinhala)

2019 වසරේ විශ්වවිද්‍යාලයට තෝරා පත් කරගන්නා කඩඉම් ලකුණු ගැටළුවෙන් අසාධාරණයට ලක්වූ සියලුදෙනා විශ්වවිද්‍යාලවලට බඳවාගන්නා ලෙස ඉල්ලමින් අද (07) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණා.

නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසින් මෙය සංවිධාන කර තිබූ අතර, ඊට එක්ව සිටි පිරිස් අධ්‍යාපන අමාත්‍යාංශයට පිවිසීමට උත්සාහ දැරීමත් සමඟ ඇතිවුණේ උණුසුම් තත්වයක්.

=====================================

(07.12.2020 – 14:29 +0530 – hirunews.lk/sinhala)

මුව ආවරණ නොමැතිව හබරාදූව ප්‍රදේශයේ සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් 9 දෙනෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් අද (07) දඩ නියම උනා.

එහිදී එක් අයෙකුට රුපියල් 3000 බැගින් වූ රුපියල් 27,000 ක දඩ මුදල් නියමවූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

මුව ආවරණ පැළදීමකින් තොරව හබරාදූව නගරයේ, හරුමල්ගොඩ සහ මීපේ යන ප්‍රදේශවල ගමන් කරමින් සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබූ අතර නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත අනුවයි සැකකරුවන් අද (07) අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ ෴

+++++++++++++++++++++

(07.12.2020 – 14:47 +0530 – hirunews.lk/sinhala)

අද (07) දිනයේදීත් කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 344 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 20,804 දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

තවදුරටත් පුද්ගලයින් 6,933 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

අද (07) වනවිට මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 27,877 ක් ෴

+++++++++++++++++++++++

(07.12.2020 – 16:15 +0530 – hirunews.lk/sinhala)

දර්ගා නගරය සහ අලුත්ගම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් අලුත්ගම සඳුදා සතිපොල තවදුරටත් වසා තැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද (07) එහි වෙළඳාම් කිරීම සඳහා පැමිණි වෙළඳුන් යළි හරවා යැවීමට පියවර ගත් බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

අලුත්ගම – වැලිපැන්න මාර්ගයේ බෙන්තොට ගඟට සමීපව මෙම සති පොල පවත්වනු ලබනවා ෴

+++++++++++++++++++

(07.12.2020 – 17:48 +0530 – hirunews.lk/sinhala)

අද(07) දිනයේ මේ දක්වා කාලය තුළ අලුතින් ආසාදිතයන් 326 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඉන් 154 දෙනෙකු බන්ධනාගාරවලින් වාර්තා වී ඇති බවයි.

සෙසු ආසාදිතයන් 172 පෙර ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව අද (07) විසිඅට දහස (28,000) ඉක්මවා ගිය අතර, එය මේ වනවිට සටහන් වන්නේ 28,203 ලෙසයි.

බන්ධනාගාරවලින් වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද මේ වනවිට 2,200 ඉක්මවා තිබෙනවා.

වීරවිල බන්ධනාගාරයේ රැදවියන් 74 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ බන්ධනාගාරවලින් වාර්තාවන මුළු කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 2202 ක් ලෙසයි.

මේ අතර, ඊයේ (06) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 669 දෙනා අතරින් 204 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ඉන් වැඩි පිරිසක් කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා.

ඉන් 48 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොටහේන සහ බ්ලූමැන්ඩල් ප්‍රදේශවලින්.

බොරැල්ලෙන් ආසාදිතයන් 31 දෙනෙකු, කොළඹ 07 – කුරුඳුවත්ත ප්‍රදේශයෙන් ආසාදිතයන් 30 දෙනෙකු, කොම්පඤ්ඤවීදියෙන් සහ මරදානෙන් ආසාදිතයන් 18 දෙනෙකු බැගින් වාර්තා වී තිබෙනවා.

දෙමටගොඩින් ද ආසාදිතයින් 16 දෙනෙකු වාර්තා වී ඇති අතර, මට්ටක්කුලියෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 11 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ (06) දිනයේ ආසාදිතයින් 111 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

එම දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ (06) දිනයේ වාර්තා වී ඇත්තේ මීගමුව ප්‍රදේශයෙන් වන අතර, එම සංඛ්‍යාව 45 ක්. මහරින් ද ආසාදිතයින් 36 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

+++++++++++++++++++++

(07.12.2020 – 20:15 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන උත්සව සමය තුළ කොරෝනා ව්‍යාප්තියේ වැඩිවීමක් අපේක්ෂා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ මේ වනවිට සෑම පැය 8 කට වරක් මෙරට තුළ කොරෝනා මරණයක් වාර්තා වන බවයි.

එමෙන්ම, අද (07) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා උත්සව සමය තුළ සංචරණය සීමා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියා ෴

++++++++++++++++++++

(07.12.2020 – 20:19 +0530 – hirunews.lk/sinhala)

කළුතර දිස්ත්‍රික්කයේ අටළුගම ප්‍රදේශයේ රාජකාරී කිරීම සඳහා යොදවන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හමුදා ආරක්ෂාව ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ අටළුගම ප්‍රදේශවාසීන් සෞඛ්‍ය උපදෙස් නොතකමින් හැසිරෙන බවයි.

මේ අතර ගාල්ල නාගරික බල ප්‍රදේශයේ සංචරණ සීමා පනවා ඇති ග්‍රාම නිලධාරී වසම් 5 ක ඊයේ (06) සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් අද (07) උදෑසන වන විට ලැබී තිබූ ප්‍රතිඵල වාර්තා අනුව කොරෝනා ආසාදිතයන් 4 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ගාල්ල, කෝන්ගහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 4 දෙනෙකුයි මෙලෙස ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත්තේ.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වන මුස්ලිම් ජනතාවගේ දේහයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති ඉල්ලීම පිළිබදව අවසන් තීන්දුව ගනු ලබන්නේ තාක්ෂණ කමිටුවේ නිර්දේශ මත පදනම්ව පමණක් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් ඉෂාක් රහුමාන් මන්ත්‍රීවරයා අද (07) පාර්ලිමේන්තුවේදී යළි සිහිපත් කළ අවස්ථාවේදියි ෴

++++++++++++++++++++++

(07.12.2020 – 21:10 +0530 – hirunews.lk/sinhala)

අද (07) දිනයේ මේ දක්වා කාලය තුළ අලුතින් ආසාදිතයන් 377 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඉන් 83 දෙනෙකු බන්ධනාගාරවලින් වාර්තා වී ඇති බවයි.

සෙසු ආසාදිතයන් 294 පෙර ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව අද (07) විසි අටදහස (28,000) ඉක්මවා ගිය අතර, එය මේ වනවිට සටහන් වන්නේ 28,580 ලෙසයි ෴

++++++++++++++++++++

(07.12.2020 – 22:24 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙකු (2) මියගොස් තිබෙනවා.

එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 62,72 යන වසස්වල පසුවන්නන් දෙදෙනෙකුයි (2).

ඒ අනුව මෙරට සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 142 ක් දක්වා ඉහළ ගියා.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Amaradewa Asapuwa. Why the work has not been completed? We don’t need to look too far to find that it is the greed and corruption of the people that was managing this project and the top people of the contractors are the only and primary reasons. No doubt some deshapaaluwos are at the head of this. Money has been sipphoned out with all sorts of pretexts. It is always the same story, the same reasons why this country and nation is unable to develop. Lip service Buddhists but deep down their hearts and minds are as black as a moonless night. Scamming public funds is the dhobhi mark of our leaders and managers. Nobody is stopping it, not even JVPers whose leaders are just as corrupt when they see money.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *