ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරද්දී, තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලාවෙන් ඉවතට

ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරද්දී, තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලාවෙන් ඉවතට

*********************************************

ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරද්දී, තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලාවෙන් ඉවතට

(07.12.2020 – 07:51 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක මෙතෙක් පැවති හුදෙකලා තත්ත්වය අද (07) අලුයම 5 සිට ඉවත් කෙරුණා. ඒ අනුව කොළඹ – බ්ලූමැන්ඩල් පොලිස් බල ප්‍රදේශය සහ වැල්ලම්පිටිය – විජයපුර ග්‍රාම නිලධාරී වසම අද (07) අලුයම 5 සිට මෙලෙස හුදකලා තත්ත්වයෙන් ඉවත් වනු ඇති.

මීට අමතරව ගම්පහ – වත්තල පොලිස් බල ප්‍රදේශයේ, කෙළවරපිටිය, හේකිත්ත, කුරුඳුහේන, ඇවරිවත්ත, වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරී වසම් හැර අනෙකුත් ප්‍රදේශද හුදකලා බවින් නිදහස් කෙරුණා. පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශයේ පෑලියගොඩවත්ත, පෑලියගොඩ ගගබඩ, මීගහවත්ත, පට්ටිය – උතුර යන ග්‍රාම නිලධාරී වසම් හැර අනෙකුත් ප්‍රදේශ ද හුදකලා බවින් නිදහස් කිරීමටයි පියවර ගැනුණේ.

කැළණිය පොලිස් බල ප්‍රදේශයද අද (07) අලුයම 5 සිට හුදකලා බවින් ඉවත් කෙරෙනවා.

අද (07) උදෑසන 5 සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගැනුණා. කොම්පඤ්ඤ වීථිය පොලිස් බල ප්‍රදේශයේ හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම, කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයේ හැටේ වත්ත සහ වැල්ලවත්ත පොලිස් බල ප්‍රදේශයේ කෝකිලා පාර එලෙස අලුතින් හුදකලා කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ වෙලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසම ද මෙලෙස අලුතින් හුදකලා කෙරෙනු ඇති.

කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, ආදුරුප්පු වීථිය, වේල්ලවීථිය, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, දෙමටගොඩ, මරදාන පොලිස් වසම්වලට මෙන්ම කොම්පඤ්ඤ වීථිය පොලිස් බල ප්‍රදේශයේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම, බොරැල්ල වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම, වැල්ලම්පිටිය, සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය තවදුරටත් හුදකලා කර තිබෙනවා. එසේම මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගසන් පාරේ දකුණු කොටසද තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතිනු ඇති.

මේ අතර, අලුතින් හුදකලා කර ඇති ප්‍රදේශ හේතුවෙන් අද (07) සිට හුණුපිටිය දුම්රිය ස්ථානයේ දුම්රිය නතර නොකර ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මීට අමතරව මරදාන, දෙමටගොඩ, කැළණිය හා බේස්ලයින් පාර යන දුම්රිය ස්ථානවල ද තවදුරටත් දුම්රිය නතර කෙරෙන්නේ නැහැ.

එමෙන්ම තවදුරටත් හුදෙකලා කරන ලද බණ්ඩාරගම – අටළුගම – බමුණුමුල්ල ප්‍රදේශයේ නිවසක දී සිය සහෝදරිය විසින් සහෝදරයාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ පුවතක් ද ඊයේ (06) වාර්තා වුණා. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 31 හැවිරිදි අයෙකු වන අතර, දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් ඊට හේතු වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් සහෝදරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

++++++++++++++++++++++

(07.12.2020 – 08:25 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී මිය ගිය 3 දෙනෙකු ඊයේ (06) වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 140 දක්වා ඉහළ ගියා.

කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 98 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඊයේ (06) ඔහු මිය ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වයි.

මිය ගිය අනෙක් පුද්ගලයා කහතුඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 80 ක පිරිමි පුද්ගලයෙකු වන අතර, ඔහු පෙරේදා හෝමාගම මූලික රෝහලේදී මිය ගොස් තිබෙනවා. කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් වකුගඩු අක්‍රිය වීම එම මරණයට හේතුව ලෙසයි දැක්වෙන්නේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (06) වාර්තා කළ මරණ අතර 71 හැවිරිදි මග්ගොන ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකු ද සිටින අතර, පෙරේදා හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී ඔහු මිය ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. ඔහුගේ මරණයට ද හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වයයි.

මේ අතර, ඊයේ (06) දිනයේත් කොරෝනා ආසාදිතයන් 649 දෙනෙකු අලුතින් හඳුනා ගැනුණු අතර ඉන් 451 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වනවා. එමෙන්ම, තවත් 197 දෙනෙකු බන්ධනාගාරවලින් වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයෙකු ද කොවිඩ් ආසාදිතයෙකු බවට ඊයේ (06) හඳුනා ගැනුණා.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 27,877 ක් වන අතර තවදුරටත් ආසාදිතයන් 7272 කු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 20,460 ක්.

මේ අතර, මහර බන්ධනාගාරයේ විශේෂ රාජකාරී සඳහා යොදවා නැවත වටරැක බන්ධනාගාරය වෙත පැමිණ නිරෝධායන නීති කඩ කරමින් හැසිරුණු ජේලර්වරයාගේ වැඩ තහනම් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම, ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් විනය පියවර ද ගන්නා බවයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එමෙන්ම, මැදපෙරදිග රටවල් දෙකක (2) රැකියා සඳහා ගොස් යලි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 96 දෙනෙකු අද (07) අලුයම දිවයිනට පැමිණියා. මෙලෙස පැමිණි පිරිසෙන් 48 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිටත්, තවත් 48 දෙනෙකු සෞදි අරාබියේ සිටත් දිවයිනට පැමිණ තිබෙනවා. එමෙන්ම තවත් ශ්‍රී ලාංකිකයන් 114 දෙනෙකු විදේශ රැකියා සඳහා රටවල් 03 ක් වෙත අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් නික්ම ගිය බවයි ගුවන්තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ. මොවුන්ගෙන් 72 කු කටාර් රාජ්‍ය වෙත පිටත්ව ගොස් ඇති අතර ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය සංඛ්‍යාව 28 ක්. එමෙන්ම සිංගප්පූරුව බලා 14 දෙනෙකුද ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් තිබෙනවා.

+++++++++++++++++++++

(07.12.2020 – 08:27 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතෙන් පිටත වැඩි ජන ඝනත්වයක් සහිත ප්‍රදේශවල කොරෝනා පැතිර යාමේ වර්ධනයක් දක්නට ලැබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තුරු විවිධ ප්‍රදේශ වෙත සංචරණය කිරීමෙන් වළකින ලෙසයි ෴

++++++++++++++++++

(07.12.2020 – 09:42 +0530 – hirunews.lk/sinhala)

මුහුණු ආවරණ පැළද නොසිටීම සහ මීටරේ දුර පවත්වා නොගැනීම හේතුවෙන් අද (07) උදෑසන 6 න් අවසන් වූ ගත වූ පැය 24 රේ 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 1111 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

++++++++++++++++++++

(07.12.2020 – 10:35 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාරවලින් වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 2,200 ඉක්මවා තිබෙනවා. වීරවිල බන්ධනාගාරයේ රැදවියන් 74 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ බන්ධනාගාරවලින් වාර්තාවන මුළු කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 2202 ක් ලෙසයි.

අලුතින් ආසාදිතයන් පස්දෙනෙකු (5) හඳුනාගැනීමත් සමඟ අවිස්සාවේල්ල – සීතාවක අපනයන සැකසුම් කලාපයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ද මේ වනවිට 76 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අවිස්සාවේල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ අවිස්සාවේල්ල – පුවක්පිටිය, එගොඩගම, ප්‍රගතිපුර, කිරිවන්දල උතුර සහ උක්වත්ත ග්‍රාමසේවා වසම්වලින් ඊයේ (06) දිනයේදී අලුතින් ආසාදිතයන් 28 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

නාවලපිටිය – කැටඹුලාව තේ වතුයායේ මැද කොටසේ පදිංචි තරුණියකට කොරෝනා ආසාදනය වී තිබෙනවා. කොළඹ 12 ප්‍රදේශයේ රැකියාවක නිරත වන ඇය පසුගිය 28 වනදා නාවලපිටියේ පිහිටි තම නිවසට පැමිණිමෙන් පසු සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයෙන් කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බව සඳහන්.

මේ අතර ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සහ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණවලට යොමුකරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමට නව ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දී තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා පළඳින උපකරණ ඇතුලත් ඇඳුම් කට්ටල කිහිපයක් ගිරිතලේ ජලාශයට සම්බන්ධ වන ගිරිතලේ – බකමූණ ප්‍රධාන මාර්ගයේ දියබෙදුම පහේ කණුව ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී සොයාගෙන තිබෙනවා ෴

+++++++++++++++++++

(07.12.2020 – 11:39 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි මස පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මස 1 වන දා සිට 11 වන දා දක්වා පැවැත්වීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද (07) පෙරවරුවේ හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කළ අතර, තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමට පියවර ගැනුණා.

කෙසේ වෙතත්, පොදු ප්‍රවාහනයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසට දැනුම් දුන්න ද බස් රථවල එලෙස සිදුකරන ආකාරයක් දක්නට ලැබුණේ නැහැ.

ඇතැම් මගීන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසට දැනුම් දුන්න ද මගීන්ගෙන් දෝෂාරෝපණ එල්ල වන බවයි බස් රථ රියදුරන් මෙන්ම කොන්දොස්තරවරුන් සඳහන් කළේ.

මුහුණු ආවරණ පැළද නොසිටීම සහ මීටරේ දුර පවත්වා නොගැනීම හේතුවෙන් අද (07) උදෑසන 6 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 1111 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මේ අතර සංචරණ සීමා පනවා ඇති පෑලියගොඩ – පෝරනුකොටුවත්ත සහ පිටිකඩේවත්ත ප්‍රදේශවාසීන් තමන්ට මෙතෙක් කිසිදු සහනයක් ලැබී නොමැති බව පවසමින් අද (07) විරෝධතාවක නිරතවුණේ නවලෝක වටරවුම අසළදීයි.

මාස 5 කට පසු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට ජාත්‍යන්තර මගී ගුවන් යානයක් ළඟා වී තිබෙනවා.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ ඉකුත් ජුනි මාසයේ සිට වසා තැබුණු එරට තුලාමරි ගුවන් තොටුපළට මෙලෙස ළඟා වී ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානයක් වීම විශේෂත්වයක් ෴

+++++++++++++++++++++

(07.12.2020 – 12:47 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ කර්මාන්තශාලාව ආශ්‍රිතව කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, ස්ථාවර නියෝග විසි තුන දෙක යටතේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මේ අතර ලබන වසරේ අයවැයට අදාළව පරිසර හා වනජීවි අමාත්‍යාංශවල වැය ශීර්ෂ මේ වනවිට විවාදයට ගැනෙමින් පවතිනවා.

=====================================

(07.12.2020 – 08:03 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ප්‍රදේශ කිහිපයක පසුගිය දිනවල ඇති වූ භූ චලන සිද්ධීන් සම්බන්ධයෙන් ඉදිරි දින 4 ක කාලසීමාව තුළ පූර්ණ වාර්තාවක් සකස් කරන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.

ඒ අනුව මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මූලික නිගමනයකට එළඹීමට බලාපොරොත්තු වන බවයි එම කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ඩී. සජ්ජන ද සිල්වා මහතා සඳහන් කළේ.

මහනුවර ප්‍රදේශ කිහිපයකට පෙරේදා (05) ඇති වූ භූ චලන සම්බන්ධයෙන් ද අඛණ්ඩව විමර්ශන සිදුකරන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ප්‍රකාශ කළා. පෙරේදා (05) පස්වරු 5 සිට 8 දක්වා කාල සීමාව තුළ මෙලෙස ප්‍රදේශ කිහිපයක සුළු භූ කම්පන කිහිපයක් හටගත් බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ. කෙසේ වෙතත් මෙම කම්පන භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ භූ කම්පන මානවල සටහන් වී නැහැ.

මේ අතර, අමාත්‍ය සී.බී. රත්නායක මහතා මහනුවර දී ඊයේ (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ මෙම භූ කම්පන පිළිබද නිසි වාර්තාවක් ලබා ගැනීමෙන් පසුව අවසන් නිගමනයකට පැමිණිය හැකි බවයි.

මෙම ප්‍රදේශවලින් අවසන් වරට භූ කම්පනයක් වාර්තා වූයේ පසුගිය 4 වන දා අලුයම 05:42 ට පමණයි. එය රික්ටර් මාපක 2 ට අඩු සංඛ්‍යාවක සටහන්ව තිබුණා. පසුගිය අගෝස්තු 29 වන දා සිට පෙරේදා (05) දිනය දක්වා මහනුවර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් භූ කම්පන 7 ක් වාර්තා වී තිබෙනවා.

අගෝස්තු 29 වන දින අවස්ථා 4 කදීත්, සැප්තැම්බර් මස 2 වන දා එක් අවස්ථාවකදීත්, නොවැම්බර් මස 18 වන දා තවත් අවස්ථාවකදීත් මෙම භූ කම්පන වාර්තා වූ බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ. මීට පෙර භූ කම්පන ඇති වූ අවස්ථාවේදී ඒ පිළිබදව සොයා බැලීම සඳහා කමිටුවක් ද පත් කළා ෴

(07.12.2020 – 12:41 +0530 – hirunews.lk/sinhala)

පෙරේදා (05) දිනයේදී මහනුවර අවටින් සුළු භූ කම්පන හතරක් (4) වාර්තාවී ඇති බවට ප්‍රකාශ වුවද ඉන් පොළොව අභ්‍යන්තරයෙන් සිදුවූ බවට වාර්තාවන්නේ එක් (1) සුළු භූ කම්පනයක් පමණක් බව පරිසර අමාත්‍යාංශය පවසනවා.

මෙම භූ කම්පන පෙරේදා වාර්තා වූයේ මහනුවර – දිගන, අලුත්වත්ත සහ අඹකොටේ යන ප්‍රදේශවලින්.

ඉන් එක් කම්පනයක් පමණක් මහකනදරාව සහ පල්ලෙකැලේ භූකම්පන මධ්‍යස්ථානවල සටහන් වී තිබෙනවා.

පරිසර අමාත්‍යාංශය නිවේදනය කළේ පෘථවි අභ්‍යන්තරයේ සිදුවන කම්පන සටහන් වන්නේ භූ කම්පන මධ්‍යස්ථානවල ස්ථාපිත කර ඇති භූ කම්පන මානවල පමණක් බවයි.

වික්ටෝරියා ජලාශයේ වේල්ලෙහි සවිකර තිබෙන සංවේදකවල පෘථිවි අභ්‍යන්තරයේ කම්පන සටහන් නොවන බව අදාළ නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත්, සෙසු කම්පන තුන (3) වික්ටෝරියා ජලාශයේ සංවේදකවල සටහන් වී තිබෙනවා.

එම නිසා කම්පන පොළොව අභ්‍යන්තරයේ සිදුවූ ඒවා නොව, පෘථිවි පෘෂ්ඨය මත සිදුවූ කිසියම් කම්පන තත්වයක් නිසා ඇතිවිය හැකි ඒවා විය හැකි බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත් වරින්වර මහනුවර වික්ටෝරියා ජලාශය අවටින් වාර්තාවන සුළු භූ කම්පන සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකිරීමට පියවර ගන්නා ලෙසට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාද අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

මීට පෙර අවස්ථා හයකදී (6) මහනුවර ප්‍රදේශයෙන් භූකම්පන වාර්තාවූ අතර, මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් විද්වත් කමිටුවක් ද පත් කළා. එහි අඩංගු නිර්දේශ ද අනුව ඩොලමයිට් කැණීම් හා ඒ ආශ්‍රිතව සිදුවන පිපිරීම් පිළිබඳව ද අවධානය යොමු කරන බවයි පරිසර අමාත්‍යාංශය නිවේදනය කළේ.

මේ අතර, වලස්මුල්ල ප්‍රදේශයේ ඊයේ (06) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් මහනුවර ප්‍රදේශයේ වරින්වර හටගන්නා භූකම්පන සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගෙන් විමසීමක් කළා ෴

***************************************

(07.12.2020 – 08:29 +0530 – hirunews.lk/sinhala)

අපරික්ෂාකාරී ලෙස ප්‍රධාන මාර්ගවල මෙන්ම අතුරු මාර්ගවල රිය ධාවනය කරන පුද්ගලයින් සොයා අද (07) සිට විශේෂ මෙහෙයුම් දියත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටී මොරටුව – එගොඩඋයන ප්‍රදේශයේදී දැරියන් දෙදෙනෙකු (2) මිය ගොස් ගැබිණි මවක් බරපතල තුවාල සිදුකිරීම සහ ඇයගේ කලලය ද විනාශ වීමේ සිද්ධිය මුල් කර ගනිමින් මෙලෙස වැටලීම් ක්‍රියාත්මක කරන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, කිඹුලාවල ප්‍රදේශයේ ඊයේ (06) රාත්‍රියේ එලෙස යතුරුපැදි තරඟයක් පැවැත්වීමට සූදානම් කර ඇති බවට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී යතුරුපැදි 24 ක් සමඟ තරුණයින් පිරිසක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම, ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට ද කටයුතු සූදානම් කර තිබෙනවා. ඉදිරියේදී මෙලෙස තවදුරටත් ධාවන තරඟ පවත්වන්නේ නම්, ඔවුන් අත්අඩංගුවට ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

(07.12.2020 – 09:34 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් මිය ගිය රැදවියන් 11 දෙනාගෙන් 7 දෙනෙකුගේ මෘත ශරීර මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ මෙලෙස හඳුනා ගත් 3 දෙනෙකුගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද (07) සිදුකෙරෙන බවයි.

4 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ දැනට සිදුකර තිබෙනවා. මිය ගිය ඉතිරි සිව් දෙනාගේ (4) අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණ හෝ ඇගිලි සලකුණු පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ෴

***************************************

(07.12.2020 – 10:12 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල තිත්තවැල්ල ප්‍රදේශයේ නිවසකට (06) දින අලුයම 04:30 ට පමණ පුද්ගලයෙකු ඇතුලුවී දේපළ සොරාගෙන ගොස් ඇති බව කුරුණෑගල පොලිසියෙන් වාර්තාවනවා.

නිවසට ඇතුලුවන පුද්ගලයා ගේට්ටුවකින් පැන කම්බි වැටකින් රිංගා උදැල්ලක් බිත්තියට හේත්තුකර පොල් පිහියකින් ජනෙල් පියනක් ඇර නිවස තුලට ඇතුලුවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසියේ නිළ සුනඛ අංශයේ සුනඛයන්ද ගෙන්වා පරීක්ෂණ පැවැත්වූ අතර කුරුණෑගල පොලිසියේ ඇගිලි සළකුණු අංශයද මේ සඳහා සහයෝගය දක්වා තිබෙනවා.

නිවසට ඇතුලුවන සැකකරු නිරුවත්ව නිවසට ඇතුලුවන අයුරු CCTV වල ඇතුලත්.

කුරුණෑගල පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

***************************************

(07.12.2020 – 12:53 +0530 – hirunews.lk/sinhala)

මාරවිල – තොඩුවාව ප්‍රදේශයේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් හෙරොයින් සහ මත්ද්‍රව්‍ය සොයාගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික පොලීසියේ සහය අපේක්ෂා කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ, ඊයේ (06) සුරාබදු දෙපාර්තමේන්තු භාරයට ගැනුනු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 100 සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

***************************************

(07.12.2020 – 12:55 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් මිය ගිය රැදවියන් 11 දෙනාගෙන් 7 දෙනෙකුගේ මෘත ශරීර මේ වන විට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මෙලෙස හඳුනා ගත් 3 දෙනෙකුගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද (07) සිදුකිරීමට නියමිතයි.

මියගිය ඉතිරි සිව් (4) දෙනාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ඩී.එන්.ඒ. හෝ ඇගිලි සලකුණු පරීක්ෂණ සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

එමෙන්ම මහර බන්ධනාගාරයේ සිද්ධියට අදාළව කරුණු විමර්ශනය සඳහා පත්කළ කමිටුවේ අතුරු වාර්තාව අද (07) පස්වරු තුනට (03:00) අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි වෙත භාරදීමට නියමිතයි.

++++++++++++++++++

(07.12.2020 – 12:47 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ කර්මාන්තශාලාව ආශ්‍රිතව කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිදෙනෙකුට (22) කොරෝනා ආසාදනය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, ස්ථාවර නියෝග විසි තුන/දෙක (23/2) යටතේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මේ අතර ලබන වසරේ අයවැයට අදාළව පරිසර හා වනජීවි අමාත්‍යාංශවල වැය ශීර්ෂ මේ වනවිට විවාදයට ගැනෙමින් පවතිනවා.

***************************************

(07.12.2020 – 12:53 +0530 – hirunews.lk/sinhala)

මාරවිල – තොඩුවාව ප්‍රදේශයේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් හෙරොයින් සහ මත්ද්‍රව්‍ය සොයාගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික පොලීසියේ සහය අපේක්ෂා කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ, ඊයේ (06) සුරාබදු දෙපාර්තමේන්තු භාරයට ගැනුනු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 100 සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

***************************************

(07.12.2020 – 12:55 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් මිය ගිය රැදවියන් 11 දෙනාගෙන් 7 දෙනෙකුගේ මෘත ශරීර මේ වන විට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මෙලෙස හඳුනා ගත් 3 දෙනෙකුගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද (07) සිදුකිරීමට නියමිතයි.

මියගිය ඉතිරි සිව් (4) දෙනාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ඩී.එන්.ඒ. හෝ ඇගිලි සලකුණු පරීක්ෂණ සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

එමෙන්ම මහර බන්ධනාගාරයේ සිද්ධියට අදාළව කරුණු විමර්ශනය සඳහා පත්කළ කමිටුවේ අතුරු වාර්තාව අද (07) පස්වරු තුනට (03:00) අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි වෙත භාරදීමට නියමිතයි.

***************************************

(07.12.2020 – 12:57 +0530 – hirunews.lk/sinhala)

මෙවර අයවැය යෝජනා තුළින් ධීවරයින් ආදායම් බදුවලින් නිදහස් කිරීමට කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ, ගන්දර ධීවර වරායේ නැංගුරම්පළේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්.

***************************************

(07.12.2020 – 13:09 +0530 – hirunews.lk/sinhala)

වනජීවි නිලධාරීන් අද (07) දිනයේ දියත් කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් අලි පලවා හැරීමේ මෙහෙයුම්වලට බාධා මතු වී තිබෙනවා.

සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක සඳහන් කළේ යාල වනෝද්‍යානයට ද කිසිදු සංචාරකයෙකු ඇතුළත් කිරීමක් සිදුනොවූ බවයි.

වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ පසුගිය දා කළ චාරිකාවේදී වනජීවි නිලධාරීන්ට බැන වැදීමේ සිද්ධිය මුල් කර ගනිමින් ඔවුන් මීට පෙර ද සංකේත වැඩ වර්ජනයක නිරත වුණා ෴

***************************************

(07.12.2020 – 13:31 +0530 – hirunews.lk/sinhala)

මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේ පදික මාරුවක් මතදී යතුරු පැදියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ දැරියන් දෙදෙනාගේ (2) දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරිමට නියමිතයි.

මේ වනවිට එම දේහයන් තැන්පත් කර ඇත්තේ ඔවුන්ගේ ඥාතියෙකුගේ නිවසකයි.

පානදුර, මොරටුව, එගොඩඋයන, නව ගාලු පාරේ පදික මාරුවේදී යතුරු පැදියක ගැටීමෙන් වයස අවුරුද්දක (1) සහ අවුරුදු 7 ක දැරියන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වූ අතර, ඔවුන්ගේ මව බරපතළ තුවාල ලබා මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

23 හැවිරිදි සිව් (4) මස් ගැබිණි කාන්තාවක් වූ ඇයගේ දරු ගැබද අනතුර හේතුවෙන් විනාශ වී තිබුණා.

මියගිය දැරියන් දෙදෙනාගේ (2) දේහයන් සහ එම කලලයද මේ වනවිට තැන්පත් කර ඇත්තේ ඥාතියෙකුගේ නිවසේයි.

දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ මොරටුව ශාන්ත මරියා දේවස්ථාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණේ මීට දින කිහිපයකට පෙර මහ මග තරගයට යතුරු පැදි ධාවනය කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව මුදාහැරුණු 20 හැවිරිදි තරුණයෙක්.

මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ, කොළඹ, ගම්පහ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ඇතැම් තරුණයින් රාත්‍රී කාලයේ පුරුද්දක් ලෙස මෙලෙස වේගයෙන් යතුරු පැදි ඇතුළු රිය පැදවීමේ නිරත වන බවයි.

ඊයේ (06) පස්වරුවේද කිඹුලාවල සිට නවරෝහල පාර ප්‍රදේශයේ එලෙස අධික වේගයෙන් යතුරු පැදි ධාවනය වන බවට ලද තොරතුරක් මත මිරිහාන පොලීසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.

එහිදී යතුරුපැදි කරුවන් 40 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවේ විවිධ මාදිලිවල යතුරු පැදි 23 ක්ද සමගින්.

පොලීසිය පැවසුවේ, මෝටර් රථ ආඥා පනත උල්ලංඝනය කර තිබූ යතුරු පැදි සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි.

අනාරක්ෂිත ආකාරයෙන් රාත්‍රී කාලයේදී සිදුවන මෙවැනි යතුරුපැදි ධාවන තරග වැටලීමට අද (07) සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ආජිත් රෝහණ මහතා පැවසුවා.

+++++++++++++++

(07.12.2020 – 19:52 +0530 – hirunews.lk/sinhala)

මොරටුව – එගොඩඋයන ප්‍රදේශයේ පදික මාරුවක් මතදී යතුරුපැදියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ දැරියන් දෙදෙනා (2) ගේ දේහයන් පිළිබඳව අවසන් කටයුතු සිදු කෙරුණා.

ඒ, මොරටුව – එගොඩඋයන ශාන්ත මරියා දේවස්ථාන පොදු සුසාන භූමියේදියි.

ඒ, දේහයන් එගොඩඋයන – ජයමාවත ප්‍රදේශයේ ඔවුන්ගේ ඥාති නිවසක තැන්පත් කර තැබීමෙන් අනතුරුවයි.

යතුරුපැදියේ ගැටීමෙන් අවුරුද්දක (1) සහ අවුරුදු හතක (7) දැරියන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වූ අතර, ඔවුන්ගේ මව කොළඹ ජාතික රෝහලේ දැඩි ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අනතුරෙන් මවගේ සිව්(4)මස් දරු ගැබටද හානි වී තිබුණා. පසුව සිද්ධිය සම්බන්ධයෙන් විසි හැවිරිදි (20) යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර, ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල බොහෝ විට රාත්‍රී කාලයේදී ධාවන තරඟ පවත්වන පුද්ගලයින් ඉදිරියේදී අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ වැටලීම් දිවයින පුරා අද සිට ක්‍රියාත්මක කරන බවයි ඔහු කියා සිටියේ. පෙරේදා (05) දිනයේ මොරටුව – එගොඩඋයන ප්‍රදේශයේදී කුඩා දැරියන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත් කරමින් ගැබිණි මවකට බරපතල තුවාල සිදුවූ රිය අනතුර හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

එවන් තත්ත්වයක් තුළ කිඹුලාවල ප්‍රදේශයේ ඊයේ (06) රාත්‍රියේ යතුරුපැදි තරඟයක් පැවැත්වීමට සූදානම් කර ඇති බවට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී යතුරුපැදි 24 ක් සමඟ තරුණයින් පිරිසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාළ යතුරුපැදිවල හිමිකරුවන් මිරිහාන පොලීසියට කැඳවීමෙන් පසු ඒවායේ අයිතිය තහවුරු කෙරෙන ලියකියවිලි පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *