පොලිස් වසම් කිහිපයක් හෙට (07) අලුයම හුදකලා බවින් නිදහස් වෙයි

පොලිස් වසම් කිහිපයක් හෙට (07) අලුයම හුදකලා බවින් නිදහස් වෙයි

බුද්ධි තොරතුරු නිසි පාර්ශ්වවලට නොලැබීම පාස්කු ප්‍රහාරය ඇතිවීමට බලපෑ බවට හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සාක්ෂි දෙයි

*********************************************

පොලිස් වසම් කිහිපයක් හෙට (07) අලුයම හුදකලා බවින් නිදහස් වෙයි

(06.12.2020 – 12:19 +0530 – hirunews.lk/sinhala)

හෙට (07) උදෑසන පහේ (05:00) සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොම්පඤ්ඥ වීථිය පොලිස් බල ප්‍රදේශයේ හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම, කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයේ හැටේ වත්ත සහ වැල්ලවත්ත පොලිස් බල ප්‍රදේශයේ කෝකිලා පාර ප්‍රදේශය එලෙස අලුතින් හුදකලා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ බ්ලූමැන්ඩල් පොලිස් වසම සහ වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ විජයපුර ග්‍රාම නිලධාරී වසම හෙට (07) අලුයම පහේ (05:00) සිට හුදකලා බවින් නිදහස් කරන බවයි.

මීට අමතරව වත්තල පොලිස් බල ප්‍රදේශයේ – කෙළවරපිටිය, හේකිත්ත, කුරුඳුහේන, ඇවරිවත්ත, වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරී වසම් හැර අනෙකුත් ප්‍රදේශ හෙට (07) උදෑසන පහේ (05:00) සිට හුදකලා කිරීමෙන් ඉවත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. තවද පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශයේ – පෑලියගොඩවත්ත, පෑලියගොඩ ගඟබඩ, මීගහවත්ත, පට්ටිය – උතුර යන ග්‍රාම නිලධාරී වසම් හැර අනෙකුත් ප්‍රදේශද හුදකලා බවින් නිදහස් වනු ඇති.

එසේම කැළණිය පොලිස් බල ප්‍රදේශයද හෙට (07) අලුයම පහේ (05:00) සිට හුදකලා බවින් නිදහස් කෙරෙන අතර, කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ වෙලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසම හෙට (07) උදෑසන පහේ (05:00) සිට අලුතින් හුදකලා කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

+++++++++++++++++++++

(06.12.2020 – 14:03 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 370 ක් අද (06) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලබා ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20,460 ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

කොරෝනා වෛරසය වැලදී මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6631 ක් ෴

++++++++++++++++++++

(06.12.2020 – 17:45 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 362 ක් හඳුනාගෙන තිබෙනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ ආශ්‍රිතයින් 285 දෙනෙකු සහ බන්ධනාගාර ආශ්‍රිතව 77 දෙනෙකු ඒ අතර සිටින බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 27,590 දක්වා ඉහළ ගියා ෴

++++++++++++++++++++

(06.12.2020 – 18:04 +0530 – hirunews.lk/sinhala)

අද (06) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයන් 362 කු අලුතින් හඳුනාගෙන තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ඉන් 285 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් බවයි.

ඒ අනුව පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 23,959 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම අද (06) මේ දක්වා වාර්තාවූ ආසාදිතයන් 362 ගෙන් සෙසු 77 දෙනා බන්ධනාගාරවලින් වාර්තාවී ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.

ඒ අනුව මේ වනවිට බන්ධනාගාරවලින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව දෙදහස (2000) ඉක්මවා ගොස් මේ වනවිට දැක්වෙන්නේ 2,051 ලෙසයි.

අදත් (06) ආසාදිතයන් 370 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 20,460 දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

++++++++++++++++

(06.12.2020 – 19:57 +0530 – hirunews.lk/sinhala)

හෙට (07) උදෑසන පහේ (05:00) සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගන්නා බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව කොම්පඤ්ඤ වීථිය පොලිස් බල ප්‍රදේශයේ හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම, කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයේ හැටේ වත්ත සහ වැල්ලවත්ත පොලිස් බල ප්‍රදේශයේ කෝකිලා පාර එලෙස අලුතින් හුදකලා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, බ්ලූමැන්ඩල් පොලිස් වසම සහ වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ විජයපුර ග්‍රාම නිලධාරී වසම හෙට (07) අලුයම පහේ (05:00) සිට හුදකලා බවින් නිදහස් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, ආදුරුප්පු වීථිය, වේල්ලවීථිය, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, දෙමටගොඩ, මරදාන පොලිස් වසම්වලට මෙන්ම කොම්පඤ්ඤ වීථිය පොලිස් බල ප්‍රදේශයේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම, බොරැල්ල වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම, වැල්ලම්පිටිය, සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය තවදුරටත් හුදකලා කර තැබෙනවා.

එසේම මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගසන් පාරේ දකුණු කොටසද තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතිනු ඇති.

මීට අමතරව වත්තල පොලිස් බල ප්‍රදේශයේ, කෙළවරපිටිය, හේකිත්ත, කුරුඳුහේන, ඇවරිවත්ත, වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරී වසම් හැර අනෙකුත් ප්‍රදේශ හෙට (07) උදෑසන පහේ (05:00) සිට හුදකලා බවින් නිදහස් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

තවද පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශයේ පෑලියගොඩවත්ත, පෑලියගොඩ ගගබඩ, මීගහවත්ත, පට්ටිය – උතුර යන ග්‍රාම නිලධාරී වසම් හැර අනෙකුත් ප්‍රදේශ ද හුදකලා බවින් නිදහස් වනු ඇති.

එසේම කැළණිය පොලිස් බල ප්‍රදේශයද හෙට (07) අලුයම පහේ (05:00) සිට හුදකලා බවින් නිදහස් කෙරෙන අතර, කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ වෙලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසම හෙට (07) උදෑසන පහේ (05:00) සිට අලුතින් හුදකලා කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වන විට හුදෙකලා කර ඇත්තේ ග්‍රාම නිලධාරී වසම් 10 ක් පමණයි.

කිරිබත්ගොඩ පොලිස් වසමේ වෙලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කිරීම හේතුවෙන් හෙට (07) සිට හුණුපිටිය දුම්රිය ස්ථානයේ දුම්රිය නතර නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මීට අමතරව මරදාන, දෙමටගොඩ, කැළණිය හා බේස්ලයින් පාර යන දුම්රිය ස්ථානවල ද තවදුරටත් දුම්රිය නතර කිරීම සිදුවන්නේ නැහැ.

+++++++++++++++++++++

(06.12.2020 – 20:01 +0530 – hirunews.lk/sinhala)

හුදකලා කර ඇති මෝදර මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පිරිසක් සහ සත්හිරු සෙවණ නිවාස සංකීර්ණයේ පිරිසක් අද (06) විරෝධතාවක නිරතවුණා.

ඒ, හුදකලා කිරීම හේතුවෙන් ඔවුන්ගේ ආදායම් අහිමිවී ඇති බව සහ රජයෙන් ලැබෙන සහනාධාර ප්‍රමාණවත් නොවන බව පවසමින්.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ සේවයේ නිරත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 27 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා සඳහන් කළා.

ඔහු කියා සිටියේ වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ රාජකාරියේ නිරත ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමඟ එම පිරිස නිරෝධායනය සඳහා යොමුකළ බවයි ෴

++++++++++++++++++

(06.12.2020 – 20:16 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – කරන්දෙණිය – පනාපිටිය ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනීමත් සමඟ ඔහුගේ ආශ්‍රිත පවුල් විස්සක් (20) නිරෝධායනය සඳහා යොමු කෙරුණා.

කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක යූ.කේ.ආර්.ඩී. ලසන්ත මහතා සඳහන් කළේ අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සහෝදරයා ද හදිසියේ ඇතිවූ රෝගී තත්වයකින් රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති අතර, පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී ඇති බවයි.

නුවරඑළිය – අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් වැලිඔය වත්ත – දඬුකැලේ පහළ කොටසට ඊයේ (05) සිට සංචරණ සීමා පැනවීමටත්, බගවන්තලාව – බොගවාන – ලින්ස්ටන්ඩ් වතුයායේ පහළ කොටස සම්පූර්ණයෙන් හුදකලා කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

ඒ, එම ප්‍රදේශවලින් පිළිවෙලින් ආසාදිතයන් විසි පහක් (25) සහ අටදෙනෙකු (8) හඳුනාගැනීමත් සමගයි.

එමෙන්ම කොවිඩ් ආසාදිත ගුරුවරියක් වාර්තාවීමත් සමඟ නෝවුඩ් දෙමළ මහා විද්‍යාලය හෙට (07) සහ අනිද්දා (08) වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර, රත්නපුර නගරයේ පිහිටි මැණික් වෙළඳපොළ තාවකාලිකව වසා දැමීමට රත්නපුර මහ නගර සභාව පියවර ගත්තා.

ඒ, වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන මැණික් ව්‍යාපාරිකයන් හේතුවෙන් කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම සලකායි.

එමෙන්ම, අවිස්සාවේල්ල – සීතාවක අපනයන සැකසුම් කලාපයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 71 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් සියලුම පාසල් හෙට (07) සිට දින 03 ක් වසා තබන බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 286 ක් හඳුනාගෙන තිබෙනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ ආශ්‍රිතයින් 166 දෙනෙකු සහ බන්ධනාගාර ආශ්‍රිතව 120 දෙනෙකු ඒ අතර සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

තවත් කොරෝනා රෝගීන් තිදෙනෙකු (3) මියගොස් තිබෙනවා.

එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 70, 80, 98 යන වසස්වල පසුවන්නන් තිදෙනෙකු (3) යි.

ඒ අනුව මෙරට සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 140 ක් දක්වා ඉහළ ගියා.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් :

==============================================

(06.12.2020 – 13:47 +0530 – hirunews.lk/sinhala)

සහරාන් හෂීම් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට 2017 දී නීතිපති උපදෙස් පතා එවා තිබූ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයේ ගොණුව සම්බන්ධයෙන් අවධානය යොමු වුණේ පාස්කු ප්‍රහාරය එල්ල වී සති තුනකට (3) පමණ පසුව බව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා පවසනවා.

කෙසේ වෙතත් එම පමාව පාස්කු ප්‍රහාරයට හේතුවක් ලෙස නොසැලකිය යුතු බවයි ඔහු ජනාධිපති කොමිසමට සඳහන් කළේ.

මේ අතර, පොලිස් නිලධාරින්ට සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුණේ දේශපාලන බලපෑමක් මත බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබාදීමට ඊයේ (05) කැඳවා තිබුණේ, සහරාන් හෂීම් සම්බන්ධයෙන් නීති කටයුතු සිදුකළ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක්.

ඒ අනුව රජයේ අධිනීතිඥ මාලික් අසීස් මහතා ඊයේ (05) පෙරවරුවේ සාක්ෂි ලබාදුන් අතර පස්වරුවේ සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතායි.

එහිදී ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණ විනිසුරුවරයා විමසුවේ සහරාන් හෂීම් සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කළ ගොණුව සම්බන්ධයෙන් ගත් පියවර කුමක්ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා සඳහන් කළේ 2017.06.07 වෙනි දින තමන් වෙත ලද එම ගොණුව තම කණිෂ්ඨ නිලධාරී මාලික් අසීස් රජයේ අධිනීතිඥවරයා වෙත වැඩිදුර කටයුතු සඳහා යොමුකළ බවයි.

***************************************

(06.12.2020 – 14:19 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධ පොලිස් විමර්ශන කටයුතු සියයට 90 ක් අවසන් කර ඇති අතර එහිදී පුද්ගලයින් 37 දෙනෙකුට මනුෂ්‍ය ඝාතන කිරීම සහ ත්‍රස්තවාදයට සහය වීම සම්බන්ධයෙන් නඩු පවරා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

***************************************

(06.12.2020 – 14:36 +0530 – hirunews.lk/sinhala)

කටාර් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එම්. මොහොමඩ් මහතා පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිළතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. එමෙන්ම, අමාත්‍යාංශ ලේකම්වරුන් 4 දෙනෙකුගේ පත්වීම් සඳහා ද මෙහිදී අනුමැතිය හිමි වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එලෙස අනුමැතිය හිමි වූ ලේකම්වරුන් වන්නේ පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියාත් බන්දු වික්‍රම, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සහ අධිකරණ අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ යන මහත්වරුයි ෴

***************************************

(06.12.2020 – 15:06 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ පාරිසරික හානිය වළක්වා ගැනීම සඳහා බලධාරීන් කටයුතු නොකිරීමට එරෙහිව හෙට (07) දිවයින පුරා යළි සංකේත වැඩවර්ජනයක නිරතන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමය පවසනවා.

පසුගිය දා ඔවුන් සංකේත වැඩ වර්ජනයක නිරත වූයේ ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සිදුවන පාරිසරික හානිය සහ එහි ගවයින් ගාල් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක දැනුවත් කිරීමට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා වනජීවි නිලධාරීන්ට බැන වැදුණු බව පවසමින්.

කෙසේ වෙතත්, තවමත් වනෝද්‍යානයේ පාරිසරික හානිය වළක්වා ගැනීම සඳහා බලධාරීන් පියවර ගෙන නොමැති බවයි සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත්, තමා කැබිනට් අමාත්‍යවරයා ලෙස වනජීවි ආඥා පනත උල්ලංගණය කර කටයුතු කිරීමට ඉඩ ලබානොදෙන බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා ප්‍රකාශ කළා.

ඒ, මහනුවර දී අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර, පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වෙහෙරගොඩයාය ප්‍රදේශයේ ඉදිකර ඇති ගව මඩු, භික්ෂූන් වහන්සේ සහ පිරිසක් පැමිණ කඩා ඉවත් කර දැමීමට අද (06) කටයුතු කරනු ලැබුවා.

++++++++++++++++

***************************************

(06.12.2020 – 16:00 +0530 – hirunews.lk/sinhala)

රථ වාහන තදබදය අවම කිරීම සඳහා ඉදිරියේදී පාසල් අසළ උමං මාර්ග හෝ කුඩා ගුවන් පාලම් ඉදිකිරීමට පියවර ගන්නා බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

පාසල් අසළින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාර මාරුවීම හේතුවෙන් කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල වාහන තදබදයක් හටගෙන ඇති බැවින් ඒ සඳහා විසඳුමක් ලෙස මෙම පියවර ගන්නා බවටයි අමාත්‍යවරයා පසුගිය දා සිය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ ෴

***************************************

(06.12.2020 – 16:11 +0530 – hirunews.lk/sinhala)

රැකව ධීවර නැංගුරම්පළ ඉදිකිරීමේ කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) ආරම්භ වුණා.

තංගල්ල සහ හම්බන්තොට ධීවර වරාය අතර පිහිටා ඇති මෙම යෝජිත ධීවර නැංගුරම්පළ තුළ මීටර් 300 ක දිගින් යුත් ප්‍රධාන දියකඩනය සහ මීටර් 75 කින් යුත් වැලිකඩනය හා නාවික ගමනාගමනය පහසුකිරීම සඳහා පිවිසුම් ඇලක් ද ඉදිකිරීමට නියමිතයි.

ඒ සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 379 ක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

***************************************

(06.12.2020 – 18:40 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 86 ක මුදලකට විකිණීම සඳහා ගෙන ගිය මුතු ඇට 1070 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (3) අම්බලන්ගොඩ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අද (06) හම්බන්තොට නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි.

මුතු ඇට මිලදී ගැනීමට බව පවසා අදාළ සැකකරුවන් තිදෙනාව උපාය දුතයෙකු මාර්ගයෙන් හම්බන්තොට නගරය ආසන්නයේ අවන්හලකට ගෙන්වා ගෙන එලෙස අත්අඩංගුවට ගත් බවයි අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කළේ.

එම මුතු ඇට තොගයේ බර කිලෝග්‍රෑම් 650 ක් පමණ වන බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අලවතුගොඩ සහ ඌරාපොළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 සහ 28 යන වයස් වල පසුවන්නන්.

ඔවුන් පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා හම්බන්තොට ධිවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා.

*********************************************

බුද්ධි තොරතුරු නිසි පාර්ශ්වවලට නොලැබීම පාස්කු ප්‍රහාරය ඇතිවීමට බලපෑ බවට හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සාක්ෂි දෙයි

(06.12.2020 – 22:51 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිළිබඳ ලැබුණු බුද්ධි තොරතුරු නිසි පාර්ශ්වවලට නොලැබීම පාස්කු ප්‍රහාරය ඇතිවීමට බලපෑ බව හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබාදීමට ඊයේ (05) කැඳවා තිබුණේ, සහරාන් හෂීම් සම්බන්ධයෙන් නීති කටයුතු සිදුකළ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක්.

ඒ අනුව රජයේ අධිනීතිඥ මාලික් අසීස් මහතා ඊයේ (05) පෙරවරුවේ සාක්ෂි ලබාදුන් අතර පස්වරුවේ සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතායි.

එහිදී ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණ විනිසුරුවරයා විමසුවේ සහරාන් හෂීම් සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කළ ගොණුව සම්බන්ධයෙන් ගත් පියවර කුමක්ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා සඳහන් කළේ 2017.06.07 වෙනි දින තමන් වෙත ලද එම ගොණුව තම කණිෂ්ඨ නිලධාරී මාලික් අසීස් රජයේ අධිනීතිඥවරයා වෙත වැඩිදුර කටයුතු සඳහා යොමුකළ බවයි.

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු :

“මේ සහරාන් හෂීම් සම්බන්ධ ගොණුව මාලික් අසීස් මහතාටම යොමු කරන්න විශේෂ හේතුව මොකක්ද ?”

සාක්ෂිකාර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි – නීතිපති දෙපාර්තමේන්තුව :

“බැලු බැල්මට එය එම්. සී. එම්. සහරාන් සහ එම්. සී. එම්. සෙයිනි යන දෙදෙනෙකු (2) සම්බන්ධව ද්‍රවිඩ භාෂාවෙන් තිබූ එකක් නිසා ඒ ගොණුව ඔහුට යොමු කළා.”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු :

“ඒ ගොණුව සම්බන්ධයෙන් යළිත් ඔබේ අවධානයට යොමු වුණේ කවදාද ?”

සාක්ෂිකාර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි – නීතිපති දෙපාර්තමේන්තුව :

“පාස්කු ප්‍රහාරය සිදුවී සති තුනකින් (3) පසු ජනාධිපති ලේකම් කාර්‍යාලයේ පැවති රැස්වීමකදී එවකට ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාස අධ්‍යක්ෂ විසින් සඳහන් කළා මෙවැනි ගොණුවක් සම්බන්ධයෙන් නීති උපදෙස් ලැබීමට නියමිතව තිබුණා කියලා. මට ඒ වෙනකල් මතකයක් තිබුණේ නැහැ එවැනි ගොණුවක් තිබුණා කියලා. ඉන්පසුව මම ඒ ගැන ඒක භාරව හිටපු මාලික් අසීස්ගෙන් විමාසුවාම ඔහු ඒ තත්ත්වය පැහැදිලි කළා.”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු :

“ඔබ මේ ගොණුව මුස්ලිම් නිලධාරියකුටම භාර කළේ ඇයි ?”

සාක්ෂිකාර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි – නීතිපති දෙපාර්තමේන්තුව :

“මෙය ඉස්ලාමීය තත්ත්වයක් නිසා මුස්ලිම් කෙනෙකුට භාර දීම සුදුසුයි කියල හිතුවා ස්වාමීනි”

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා :

“අප්‍රේල් 21 ට පෙර 2017 දීම ඔබ මේ ගොණුව ගැන ක්‍රියාකළානම් මේ බෝම්බ ප්‍රහාරය වළක්වාගන්න පුලුවන් වෙනවා නේද ?”

සාක්ෂිකාර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි – නීතිපති දෙපාර්තමේන්තුව :

“ඉතාම කරුණාවෙන් මා එය පිළිගන්නේ නැහැ ස්වාමීනි. මීට පෙර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාක්ෂි දීමෙන් පසු තමයි මේ තත්ත්වය සමාජගත වුණේ. මේ ගොණුව නිසා තමයි පාස්කු ප්‍රහාරය සිදුවෙන්න පුලුවන් වුණේ කියලා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය තරම් විමර්ශකයන්ට තොරතුරු තිබියදී ඔවුන් ඒ ගැන නීතිපති දෙපාර්තමේන්තුව දැනුම්වත් කළේ නැහැ ස්වාමීනි. මේ ගොණුවේ ප්‍රමාදයක් හා පාස්කු ප්‍රහාරය අතර සබඳතාවක් ඇති කිරීම ඒ නිසා සුදුසු නැහැ. අවුරුදු 2 ක් වරෙන්තු තියාගෙන අත්අඩංගුවට ගන්න බැරි වුණානම් අපිට දෝෂාරෝපණය කිරීම සුදුසු නැහැ ස්වාමීනි”

අනතුරුව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතායි.

2017 මාර්තු 10 වෙනි දින අලියාර් මංසන්ධියේ දෙපිරිසක් අතර ඇතිව තිබූ ගැටුමේදී ඊට සම්බන්ධ වූ සහරාන් හෂීම්ගේ පාර්ශවයෙන් පීඩාවට පත් අනෙක් පාර්ශවයට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් මවුලවිවරයෙකු නීතිපති දෙපාර්තමේන්තුවට ලිපියක් ගෙනැවිත් භාරදුන් බව දිලීප පීරිස් මහතා සඳහන් කළා.

ඒ වනවිටත් වරෙන්තු ලැබ සහරාන් ඇතුළු පිරිසක් අතුරුදන්ව සිටි බව තමන් දැනගත් පසු නීතිය කරවන නිලධාරින් කුමක් කරන්නේදැයි සොයා බැලීම සඳහා කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපතිවරයාව 2019 නොවැම්බර් 9 වෙනි දින සාකච්ඡාවක් සඳහා කැඳවූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එම ප්‍රශ්න කිරීමේදී ස්ථානාධිපතිවරයා යම් දේශපාලන බලපෑමකට යටත්ව ඇති බව තමන්ට හැඟී ගිය බවත් එම ගැටුම ආගමික ගැටුමක් නිසා ඊට මැදිහත්වීමට ස්ථානාධිපතිවරයා පැකිලීමකින් සිට තිබූ බවයි සාක්ෂි ලබාදෙමින් දිලීප පීරිස් මහතා පැවසුවේ.

මේ අතර හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (05) සාක්ෂි ලබාදුන්නා.

විශ්‍රාමික නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න – හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී :

“සහරාන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරපු බුද්ධි අංශ නිලධාරියා පසුකාලිනව අවුරුදු 05 ක් රිමාන්ඩ් ගත කර තිබුණා. බුද්ධි අංශ දුර්වල කළා. ඔවුන්ගේ කොදු නාරටිය කඩලා තිබුණේ. බුද්ධි අංශ ආරක්ෂා කරන්න ගිහින් තමයි මම අදටත් ඇප මත ඉන්න චූදිතයෙක් වෙලා ඉන්නේ. ස්වාමිනි, මාවනැල්ල බුදු පිළිම කැඩීම, වව්නතිව් පොලිස් නිලධාරින් ඝාතනය, වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම යන සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිවැරදි මාර්ගයේ ගමන් නොකිරීම නිසා තමයි විමර්ශන නොමග යාමක් සිදුවුණේ. ඒ නිසා තමයි මෙවැනි ප්‍රහාරයක් සිදුවීම වළක්වා ගන්න බැරි වුණේ. ස්වාමිනි, ප්‍රහාරයක් එල්ලවෙනවා කියලා රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂවරයාව සිටි නිලන්ත ජයවර්ධන මහතාට අප්‍රේල් 04 ලැබුණු තොරතුර ත්‍රිවිධ හමුදා ප්‍රධානින්ට දැනුම් දුන්නේ නැහැ. බුද්ධි තොරතුරක් ලැබුනම Credit එක යන්නේ කාටද කියලා බලාගෙන වැඩකරන්න බැහැ. ඒ තොරතුර ලැබී තිබුනේ ඉන්දියාවෙන්. අපිට ඒ තොරතුර දැනුම් දුන්නානම් අප්‍රේල් 08 ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා ලංකාවට පැමිණි අවස්ථාවේ අපි ඒ ගැන යම් වැඩිදුර තොරතුරක් දැනගන්නවා. ඒ නිසා විදෙස් බුද්ධි අංශයකින් ලද ඒ තොරතුර වගකිවයුතු නිසි බලධාරින්ට දැනුම් නොදීම නිලන්ත ජයවර්ධන අතින් සිදුවුන බරපතල අඩුපාඩුවක්. බුද්ධි තොරතුරු ලැබිය යුතු නිසි පාර්ෂවවලට ඒවා නොලැබීම නිසයි මෙහෙම තත්ත්වයක් ඇතිවුනේ ස්වාමීනි”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“අප්‍රේල් 20 දින හෙට හෝ ඊට පෙර ප්‍රහාරයක් එල්ල වන බවට වු බුද්ධි තොරතුර ගැන ඔබ දැනුම්වත් වුණාද ?”

විශ්‍රාමික නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න – හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී :

“නැහැ. මම එදා කොළඹින් පිට හිටියේ. යුධ, නාවික, ගුවන් කිසිම හමුදා ප්‍රධානියෙක් ඒ තොරතුර ගැන දැන සිටියේ නැහැ. නමුත් ඒක අපිට දැනුම්දෙන්න ඕනෑ තරම් සන්නිවේදන ක්‍රම තිබුණා ස්වාමීනි. ස්වාමිනි කාන්තන්කුඩියේ යතුරුපැදිය පුපුරුවා හරිමින් කළ පෙර පුහුණුවයි, කොච්චිකඩේ වෑන් රථයක් තුළ සකස් කර තිබුණු බෝම්බයයි දැක්කාම පේනවා මේක කොතරම් සැලසුම් සහගතවද කරේ කියලා. ඒ වගේම මේකට සම්බන්ධ වුනෙත් විදෙස් රටවල අධ්‍යාපනට ලබපු දැන උගත් පිරිසක්. මේක ලංකාවේ Plan කරපු දෙයක් නෙමේ. විදෙස් රටක ත්‍රස්තවාදි කණ්ඩායමක පුර්ණ අධීක්ෂණය යටතේ සිදුවුන ප්‍රහාරයක්. අයි.එස්. ටාර්ගට් එක මේ ප්‍රහාර මාලාව තුළත් ඉතාම පැහැදිලි. ඕනෑම ත්‍රස්තවාදි කණ්ඩායමක නායකයෙක් මරාගෙන මැරෙන්නේ නැහැ. ඔහු පිටුපසයි ඉන්නේ. සහරාන් කියන්නේ මෙරට මේ ප්‍රහාර මාලාව මෙහෙයවපු අනුගාමිකයෙක් විතරයි. ඔහු නායකයෙක් නෙවෙයි.”

ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරිය :

“සිලාවතුර නාවික හමුදා කදවුර ඉවත් කරන ලෙස කිසියම් බලපෑමක් තිබුණා ද?”

විශ්‍රාමික නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න – හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී :

“හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාට එම කදවුරු ඉවත් කිරීමට විශාල වුවමනාවක් තිබුණා නමුත් එහි තිබු වැදගත්කම නිසාම එය ඉවත් කිරීමට අපි ඉඩ දුන්නේ නැහැ ස්වාමීනි “

***************************************

සර්ව බලධාරියා අපේ ආයතන ගලවා දමනවා.. කැබිනට් ඇමතිලා පුලන්නන් කරලා..- ඇමති බන්දුලගෙන් ප‍්‍රහාරයක්..

(06.12.2020 – 22:01 +0530 – lankacnews.com)

කැබිනට් අමාත්‍යවරුන් යටතේ ඇති ආයතන ඔවුනටද නොදන්වා ගලවා දමන සර්ව බලධාරි නිලධාරීන් සිටිනා බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඔවුන් විසින් අද වන විට කැබිනට් ඇමතිවරුන් පුලන්නන්ගේ තත්ත්වයට ඇද දමා ඇතැයි ද ඔහු පැවසීය.

තමන්ගේ අමාත්‍යාංශ වැය ශීර්ෂයේදී තමන් විසින් පළකරන ලද අදහස් පළ නොකර රජයේ දිනමිණ පුවත්පතින් කාටුන් මගින් තමනට පමණ පහර දීමට තරම් මෙම සර්වබලධාරී නිලධාරීන් ප්‍රබල යයිද ඔහු කියා සිටියේය.

මෙම නිලධාරීන් විසින් ජනාධිපතිගේත් අගමැතිගේත් පාර්ලිමේන්තුවේත් බලතල අභියෝගයට ලක්කරමින් ඇතැයිද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී ඔහු මේ අදහස් පල කරන ලදී.

++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *