පාස්කු කොමිසමේදී අදත් හෙළිදරව්වක්

පාස්කු කොමිසමේදී අදත් හෙළිදරව්වක්

*********************************************

පාස්කු කොමිසමේදී අදත් හෙළිදරව්වක්

(05.12.2020 – 19:33 +0530 – hirunews.lk/sinhala)

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සේ සහරාන් හෂීම් ප්‍රකාශ නිකුත් කර තිබූ බව ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය එවකට නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණ ද ඒ සඳහා නිසි නීති උපදෙසක් ලබාදී නැති බව අද (05) හෙළි වුණා.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අදාළ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයි.

කෙසේ වෙතත්, නීතිපති දෙපාර්තමේන්තුව චෝදනා කරන්නේ සහරාන් හෂීම් සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන කොට්ඨාශය සිදුකළ කිසිදු විමර්ශනයක් නීතිපතිවරයා නොදැන සිටි බවටයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි සහ රජයේ අධිනීතිඥ මාලික අසීස් අද (05) කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා.

මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා EER/08/2017 දරන ලිපි ගොනුව සම්බන්ධයෙන් අධිනීතිඥ මාලික් අසීස් ගෙන් ප්‍රශ්න කළ අතර ඔහු කියා සිටියේ එම ලේඛන පරීක්ෂාවේදී නීති උපදෙස් ලබාදීමට තරම් එහිදී කරුණු අනාවරණ නොවුණු බවයි.

කෙසේ වෙතත්, අදාළ ලිපි ගොනුව සම්බන්ධයෙන් කොමිසම දිගින් දිගටම ප්‍රශ්න කළ අතර, එය පරීක්ෂා කිරීමේදී එහි අඩංගු කරුණු ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව වැටහුණේදැයි තවදුරටත් විමසුවා.

සාක්ෂිකරු සඳහන් කළේ එම අවස්ථාවේ එසේ වැටහුණේ නොමැති බවයි.

ත්‍රස්ත මර්දන කොට්ඨාශය ලබාදුන් තොරතුරු සම්බන්ධයෙන් ද කොමිසම කරුණු විමසූ අතර, සාක්ෂිකාර රජයේ අධිනීතිඥ මාලික් අසීස් එහිදී පැවසුවේ වැදගත් කරුණු කිසිවක් අදාළ කාලය තුළ ඔවුන් නීතිපතිවරයාගේ අවධානය යොමුකර නොතිබූ බවයි

***************************************

(05.12.2020 – 20:39 +0530 – hirunews.lk/sinhala)

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සම්බන්ධයෙන් පූජ්‍ය පක්ෂය සහ දේශපාලනඥයින් මෙලෙස අදහස් පල කළා.

***************************************

(05.12.2020 – 20:42 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික දෙවනගල පුදබිම වැනි පුරාවිද්‍යාත්මක උරුමයන් රැක ගැනීමට රජය මැදිහත් වියයුතු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි පවසනවා.

උන්වහන්සේ මේබව සඳහන් කළේ දෙවනගල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් තමන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදීයි.

***************************************

(05.12.2020 – 21:24 +0530 – hirunews.lk/sinhala)

බුදුරජානන්වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කිරීම මෙරට තුළ ජීවත් වන සියලු අන්‍යාගමිකයින්ගේ වගකීමක් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙන්වා දෙනවා.

උන්වහන්සේ මේ බව සඟඳහන් කළේ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින්.

පොළොන්නරුව ඉසිපතන මහා විහාරස්ථානයේ විහාරාධිපති උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය උඩගම ධම්මානන්ද හිමියන්ගේ 81 වන ඡන්ම දිනය නිමිත්තෙන් සංවිධානය කර තිබූ දහවල් දානමය පිංකම සඳහා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ද පැමිණ සිටියා.

***************************************

(05.12.2020 – 22:30 +0530 – hirunews.lk/sinhala)

මාඳුරුඔය ජාතික රක්ෂිතයේ – ඔමුණුගල පුරාවිද්‍ය භුමියේ නිදන් හාරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (3) උපකරණ තොගයක් සමඟ අද (05) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් ඊයේ (04) උදෑසන රක්ෂිතයට ඇතුළු වී නිදන් හෑරීම ආරම්භ කර ඇති බවයි ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් මැදිරිගිරිය සහ හඹරණ ප්‍රදේශ වල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

***************************************

(05.12.2020 – 07:44 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් තවත් 38 දෙනෙකුගෙන් ඊයේ (04) ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔවුන් අතර බන්ධනාගාර නිලධාරීන් 11 දෙනෙකු, වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ රැඳවියන් 25 දෙනෙකු සිටින බවයි ඔහු කියා සිටියේ.

මේ අනුව මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 116 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මේ අතර දැනට රාගම රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති සිද්ධියෙන් මියගිය රැඳවියන් 11 දෙනාගෙන් තවත් හතරදෙනෙකුගේ (4) සිරුරු ඊයේ (04) හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඔවුන් රතුපස්වල, එඬේරමුල්ල, මිනුවන්ගොඩ සහ අඟුරුවාතොට ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

***************************************

(06.12.2020 – 10:23 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍යවරයෙකු වන ටී.බී. ඒකනායක මහතා අද (06) උදෑසන අභාවප්‍රාප්ත වුණා.

කලක් අසනීප තත්ත්වයේ පසුවූ ඔහු කුරුණෑගල සමූපකාර රෝහලේදී මියයන විට 66 වන වියේ පසුවුණා.

1994 වර්ෂයේදී මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ටී.බී. ඒකනායක මහතා, සංස්කෘතික හා කලා කටයුතු කැබිනට් අමාත්‍ය ධුරයේ මෙන්ම සංස්කෘතික, මහාමාර්ග, රාජ්‍ය පරිපාලන, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ධුරවල ද කටයුතු කළා.

එසේම 2015 වසරේ පැවති මහ මැතිවරණය ජයගත් ඔහු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්වූ අතර, මේ වසරේ පැවති මහ මැතිවරණය ජයගැනීමට ඔහුට හැකිවුණේ නැහැ.

දීර්ඝ කාලයක් යාපහුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරය හෙබවූ ටී.බී. ඒකනායක මහතා, එක්දරු පියෙක් ෴

අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍යවරයෙකු වන ටී.බී. ඒකනායක මහතාගේ අවසන් කටයුතු අනිද්දා (08) මහව – දිගන ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතයි.

කලක් අසනීප තත්ත්වයේ පසුවූ ඔහු අද (06) උදෑසන කුරුණෑගල සමූපකාර රෝහලේදී අභාවප්‍රාප්ත වන විට 66 වන වියේ පසුවුණා.

1994 වර්ෂයේදී මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ටී.බී. ඒකනායක මහතා, සංස්කෘතික හා කලා කටයුතු කැබිනට් අමාත්‍ය ධුරයේ මෙන්ම සංස්කෘතික, මහාමාර්ග, රාජ්‍ය පරිපාලන, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ධුරවල ද කටයුතු කළා.

සිනමා සහ ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ හිටපු අමාත්‍ය ටී.බි. ඒකනායක මහතා සම්මානනීය ටෙලි කෘති රැසකටද රංගනයෙන් දායක වී තිබෙනවා.

මේ අතර හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර තිබුණා.

ජනාධිපතිවරයා එමගින් දක්වා තිබුණේ තම දේශපාලන දිවිය තුළ මෙරට බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් ඉමහත් සේවයක් කළ හිටපු අමාත්‍යවරයාගේ වියෝව පිළිබදව තමා සංවේගයට පත්වූ බවයි ෴

=======================================

(05.12.2020 – 00:00 +0530 – hirunews.lk/sinhala)

රුසියාව නිපදවූ කොවිඩ්-19 එන්නත, ස්පුට්නික් 05, එරට සායන 70 ක් ඔස්සේ බෙදා හැරීම අද (05) ආරම්භ වුණා.

ඒ රුසියානු වැසියන්ට මහා පරිමාණ වශයෙන් කොරෝනා එන්නත් ලබාදීම සඳහා ජනපති ව්ලැදිමීර් පූටින් මහතා නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුවයි.

රුසියානු කොවිඩ්-19 එන්නත නම් කර ඇත්තේ සෝවියට් යුගයේ රුසියානු චන්ද්‍රිකා පෙළ සිහි ගන්වමින්.

මේ අතර, ඇමෙරිකානු ෆයිසර් සහ ජර්මානු බයෝ එන්ටෙක් ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් නිපදවනු ලැබූ කොවිඩ් 19 එන්නතට මැදපෙරදිග බහරේන රාජ්‍යය විසින් ද අනුමැතිය ලබාදී තිබෙනවා.

බ්‍රිතාන්‍ය හැරුණු කොට එම එන්නත හදිසි භාවිතයක් ලෙස යොදා ගැනීම සඳහා අනුමැතිය ලබාදුන් දෙවන රට වන්නේ බහරේනයයි.

බහරේනය මීට පෙර චීන සිනොෆාම් කොවිඩ්-19 එන්නත තම සෞඛ්‍ය සේවකයන්ට ලබාදීම සඳහා අනුමැතිය ලබා දුන්නා.

+++++++++++++++++++++++

(05.12.2020 – 20:02 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 168 දෙනෙක් අද (05) දිනයේ හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් සියලු දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

ඒ අනුව අද (05) දිනයේ මේ වනවිට හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 669 ක්.

++++++++++++++++++++

(05.12.2020 – 23:07 +0530 – hirunews.lk/sinhala)

අද (05) දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 07 ක් වාර්තා වනවා.

මෙම මරණ 07 සමඟ මෙරට කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 137 ක් දක්වා ඉහළ ගියා.

අද (05) දිනයේ වාර්තා වූ මරණ අතර කාන්තාවන් සිව්දෙනෙක් (4) සහ පිරිමි පුද්ගලයින් 3 ක් ඇතුළත්.

+++++++++++++++++++++++

(05.12.2020 – 07:32 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (04) දිනයේත් තවත් කොරෝනා මරණ හතක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 137 දක්වා ඉහළ ගියා.

බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 91 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු පසුගිය තුන්වනදා (03) නිවසේදී මියගොස් ඇති අතර, මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ්-19 ආසාදනය වීම නිසා ඇතිවූ හෘද රෝගයක්. එම ප්‍රදේශයේම පදිංචි 81 හැවිරිදි කාන්තාවක්ද පසුගිය මස 28 වනදා නිවසේදීම මියගියා.

කොරෝනා සමඟ ඇතිවූ පපුවේ ආසාදනයක්, උග්‍ර පෙනහළු රෝගී තත්ත්වය සහ හෘද රෝග තත්ත්වය මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා.

බන්ධනාගාර රැඳවියෙකු වන 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද පසුගිය 1 වනදා කොරෝනා වැළඳී මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කොරෝනා ආසාදනය වීමත් සමඟ ඇතිවූ නියුමෝනියා තත්ත්වය මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා. එමෙන්ම වැලිකඩ බන්ධනාගාර රැඳවියෙකු වන 66 හැවිරිදි පුද්ගලයෙකු බන්ධනාගාර රෝහලේදී පසුගිය 02 වනදා මියගියා. මරණයට හේතුව කොවිඩ් නියුමෝනියා තත්වය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක් අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා මියගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙස කොරෝනා නියුමෝනියා තත්වය දක්වා තිබෙනවා.

වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක්ද අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (04) මියගිය අතර, ඇයගේ මරණයට හේතුවී ඇත්තේ දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ කොරෝනා නියුමෝනියා තත්ත්වයත් සමඟ ඇතිවූ බහු ඉන්ද්‍රීය අක්‍රියවීමයි.

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක්ද පෙරේදා (03) නිවසේදී මියගියා. කොරෝනා නියුමෝනියා තත්වය මෙම මරණයට හේතුවී තිබෙනවා.

මේ අතර ඊයේ (04) දිනයේ නව ආසාදිතයන් 669 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 27,000 ඉක්මවා ගියා.

එය දැක්වුණේ 27,228 ක් ලෙසයි. ඊයේ (04) හමුවූ ආසාදිතයන්ගෙන් 487 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන් වන අතර, අනෙක් එකසිය අසූ දෙදෙනා (182) බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 23,674 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවදුරටත් ආසාදිතයන් 7001 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 20,090 ක්.

ඊයේ (04) දිනයේදි ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 50 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් 16 දෙනෙකු කැළණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තාවී ඇති බවයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා කියා සිටියේ. 07 දෙනෙකු දිවුලපිටියෙන්ද, 06 දෙනෙකු බියගම කොට්ඨාසයෙන්ද, 05 දෙනෙකු මීගමුව කොට්ඨාසයෙන්ද වාර්තා වනවා. ඒ අනුව මේ දක්වා ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,611 ක්.

එමෙන්ම, ගාල්ල පොලිස් වසමේ කොරෝනා ආසාදිතයින් වැඩිපුර හඳුනාගෙන ඇති ග්‍රාම සේවා වසම් පහක (5) සංචරණ සීමා කිරිමට පියවර ගන්නා ලෙස ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා, ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට ඊයේ (04) නිර්දේශ කර තිබෙනවා. මෙලෙස සංචරණ සීමා පැනවීමට නිර්දේශ කර ඇත්තේ මකුළුව, දෙද්දුගොඩ උතුර, මිලිද්දුව, ඇත්තිලිගොඩ සහ තලාපිටිය යන ග්‍රාම සේවා වසම් වලටයි.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය කොළඹදී ඊයේ (04) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ දුම්රිය ස්ථානවලින් ආසාදිතයින් වාර්තා වීම සමඟ මගීන්ගෙන් තොරතුරු රැස් කිරිමේ ක්‍රියාවලිය දුම්රිය දෙපාර්තමේන්තුව නිසි පරිදි සිදු නොකරන බවයි.

මේ අතර, නිසි සෞඛ්‍ය උපදෙස් නොමැතිව මගීන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් නිරෝධායන නීතිවලට අනුව නඩු පවරන ලෙසට පොලිස්පතිවරයාට ඊයේ (04) උපදෙස් ලබාදුන් බව වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා. ඒ, මහනුවර ඊයේ (04) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම මැද පෙරදිග රටවල් දෙකක සහ ඕස්ට්‍රේලියාවේ මෙන්ම ජපානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 298 දෙනෙකු අද (05) අලුයම දිවයිනට පැමිණියා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 169 දෙනෙකු, කටාරයේ සිට 41 දෙනෙකු, ඕස්ට්‍රේලියාවේ සිට 38 දෙනෙකු සහ ජපානයේ සිට 50 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා ෴

මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම ඇතුලු නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත තවත් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව එම චෝදනාවලට අදාළව මේ දක්වා 1172 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

ගාල්ල දක්ෂිණ නාවික කඳවුරේ ප්‍රවාහන අංශයේ නාවික සෙබළුන් පස්දෙනෙකුට (5) කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා සඳහන් කළේ අදාළ කඳවුරේ කොරෝනා ආසාදිත බවට මීට පෙර හඳුනාගැනීමෙන් පසු නිරෝධායනයට යොමුකර සිටි නාවික සෙබළෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයන් පිරිසක් අතරින් මෙම නව ආසාදිතයන් හඳුනාගෙන ඇති බවයි ෴

මඩකලපුව, කලවංචිකුඩි පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, එහි රාජකාරියේ නියුතු නිලධාරීයෙකුට කොරෝනා වෛසරය ආසාදනය වීමත් සමඟයි.

කලවංචිකුඩි මූලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුට වෛරසය ආසාදනයවී ඇති බවටයි පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අලකයියා ලතාකරන් කියා සිටියේ.

එම නිලධාරියා ප්‍රතිකාර ලැබු නේවාසිකාගාරය විෂබීහරණය කිරීමට ද කටයුතු කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා.

මේ දක්වා නැගෙනහිර පළාත් තුළ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 332 ක් ෴

+++++++++++++++++++++

(06.12.2020 – 11:56 +0530 – hirunews.lk/sinhala)

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එම්.බී. වීරසේකර මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් වූ හම්බන්තොට බටහිර නගර සභා බල ප්‍රදේශයේ ගොවිජන සේවා කාර්යාලයේ නිලධාරීන් හතරදෙනෙකු (4) ඇතුලු පස්දෙනෙකු (5) නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

පසුගිය 28 වන දා වීරකැටිය – උඩයාල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට ඔහු සහභාගි වී ඇති අතර ඊට එක්වූ නිලධාරීන් පිරිසක් මෙලෙස නිරෝධායනයට යොමු කර ඇති බව සඳහන්.

මේ අතර, ගාල්ල දිස්ත්‍රික්කයෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව ඊයේ (05) වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 20 ක් බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා සඳහන් කළේ. ඊයේ (05) වාර්තා වූ ආසාදිතයින් 20 දෙනා අතර රුහුණු විශ්වවිද්‍යාලයට අනුබද්ධ ගාල්ල – හපුගල ප්‍රදේශයේ පිහිටි ඉංජිනේරු පීඨයේ සිසුන් දෙදෙනෙකු (2) සහ බෝපේ – පෝද්දල ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකු (1) ද වනවා.

ගාල්ල දක්ෂිණ නාවික කඳවුරේ ප්‍රවාහන අංශයේ නාවික සෙබළුන් පස්දෙනෙකු (5)ට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා සඳහන් කළේ අදාළ කඳවුරේ කොරෝනා ආසාදිත බවට මීට පෙර හඳුනාගැනීමෙන් පසු නිරෝධායනයට යොමුකර සිටි නාවික සෙබලෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයන් පිරිසක් අතරින් මෙම නව ආසාදිතයන් හඳුනාගෙන ඇති බවයි.

මේ අතර මඩකලපුව – කලවන්චිකුඩි පොලිසියේ සේවය කල පොලිස් කොස්තාපල්වරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම පොලිස් ස්ථානයේ සේවය කරන සියලු පොලිස් නිලධාරීන් අද (06) දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් කලවන්චිකුඩි මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම කොස්තාපල්වරයාට රෝහලේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදීයි කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත්තේ.

ඊයේ (05) දිනයේත් තවත් කොරෝනා මරණ හතක් (7) වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 137 දක්වා ඉහළ ගියා. මියගිය දෙදෙනෙකු (2) බන්ධනාගාර රැඳවියන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ.

ඊයේ (05) දිනයේ නව ආසාදිතයන් 669 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 27,228 ක් ලෙසයි. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 23,674 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවදුරටත් ආසාදිතයන් 7001 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 20,090 ක්.

ඊයේ (05) වාර්තා වූ ආසාදිතයන් 669 දෙනා අතරින් 204 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් හඳුනාගැනුනේ කොටහේන සහ බ්ලූමැන්ඩල් ප්‍රදේශවලින්. එම සංඛ්‍යාව 48 ක්. එසේම කොළඹ හත ප්‍රදේශයෙන් ආසාදිතයන් 30 දෙනෙකුද ඊයේ (05) අලුතින් හඳුනා ගැනුනා. එමෙන්ම, ඊයේ (05) ආසාදිතයන් 170 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයින් 111 දෙනෙකු වාර්තා වී ඇති අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් ද අලුතින් ආසාදිතයින් 67 දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. මහර බන්ධනාගාරයෙන් නව ආසාදිතයින් 36 දෙනෙකු සහ බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් ආසාදිතයින් 147 දෙනෙකු ද ඊයේ (05) වාර්තා වූ ආසාදිතයින් අතරට ඇතුළත්.

මේ අතර, තවත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 303 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යය, දෝහා සහ මාලදිවයින වෙත කටුනායක ගුවන් තොටුපලෙන් අද (06) පිටව ගියා. එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පමණක් ගුවන් යානා දෙකකින් (2) පිටව ගිය සංඛ්‍යාව 210 ක්.

මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම ඇතුලු නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත තවත් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව එම චෝදනාවලට අදාළව මේ දක්වා 1172 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *