අටළුගමට පොලිස් ඇඳිරි නීතිය පනවන්නැයි – රජයේ වෛද්‍ය නිලධාරින් ඉල්ලයි

අටළුගමට පොලිස් ඇඳිරි නීතිය පනවන්නැයි – රජයේ වෛද්‍ය නිලධාරින් ඉල්ලයි

*********************************************

අටළුගමට පොලිස් ඇඳිරි නීතිය පනවන්නැයි – රජයේ වෛද්‍ය නිලධාරින් ඉල්ලයි

(05.12.2020 – 13:36 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමත් සමඟ හුදෙකලා කෙරුණු බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයට සීමිත දින ගණනකට හෝ නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.

සෞඛ්‍ය වෘත්තිකයින්ට සිය අවේක්ෂණ කටයුතු නිසි පරිදි ඉටු කර ගැනීම සඳහා එය ඉවහල් වනු ඇති බවයි එම සංගමයේ සංස්කාර වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ.

මේ අතර, ඊයේ (04) දිනයේදී මෙරටින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් අතරින්ද තුන්සිය හතලිස් දෙදෙනෙකු (342) වූ වැඩිම සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ඉන් 318 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ මහ නගර සභා සීමාවෙන්.

එසේම, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් ආසාදිතයින් අසූ දෙදෙනකු (82), වැලිකඩින් 73 දෙනෙකු, දෙමටගොඩින් 59 දෙනෙකු, මරදානෙන් 38 දෙනෙකු සහ මට්ටක්කුලියෙන් 31 දෙනෙකුද ඒ අතර වනවා.

හුදෙකලා කිරීමට ලක් කර ඇති බොරැල්ල – සිසිර උයන මහල් නිවාස සංකීර්ණයේ ජනතාව අද (05) පෙරවරුවේ විරෝධතාවකද නිරත වුණේ තමන් දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බව පවසමින්.

එසේම, හුදෙකලා කර ඇති පෑලියගොඩ – මීගහවත්ත ප්‍රදේශවාසීන්ද ඊයේ (04) පස්වරුවේ විරෝධතාවක නිරත වුණා.

එසේම, ඊයේ (04) දිනයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 91 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 44 දෙනෙකුද වනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (04) වාර්තා වී තිබුණේ ආසාදිතයින් 11 දෙනෙකු පමණයි.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ කොරෝනා ආසාදිත සෙබළුන් 265 දෙනා අතරින් 230 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවයි.

++++++++++++++++++++++

(05.12.2020 – 14:09 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගතය ලොවපුරා මිනිස් ජීවිතවලට එල්ල කර ඇති බලපෑම කිසිසේත් සුළු පටු එකක් නොවේ.

මහා ධනපතියාගේ සිට දුගී දුප්පත් පැල දක්වා මේ බලපෑම රේඛියව ඇදි යනවා.

මෙරට කුඩා කර්මාන්තවල යෙදුණු කර්මාන්තකරුවන්ට මේ වසංගතය මරු පහරක් එල්ල කළා.

මේ සිය කර්මාන්තය කරගෙන යා නොහැකිව අසරණව ඇති පිරිසක් පිළිබඳව වාර්තා වන පුවතක්.

මීගමුව – කිඹුලාපිටිය ප්‍රදේශය මෙරට ප්‍රචලිතව ඇත්තේ ගිනි කෙළි කර්මාන්තය සම්බන්ධයෙන්.

මේ ඔවුන්ගේ කර්මාන්තය අද වැටී ඇති තත්ත්වයේ පිළිබිඹුවක්.

+++++++++++++++++++

(05.12.2020 – 14:14 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 හමුවේ තම අස්වනු අලෙවිකර ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින දේශීය ගොවීන් පිළිබඳව හිරු ප්‍රවෘත්ති වෙත නිරන්තරයෙන් වාර්තාවනවා.

දිවයිනට බලපා ඇති මේ අයහපත් කාලගුණික තත්ත්වය එම පිරිස් පත් කර ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි.

පවතින වත්මන් තත්ත්වය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින වනාතවිල්ලුව කජුකර්මාන්තයේ නියැලෙන්නන් පිළිබඳවයි මේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ පිරිසකගේ ජීවනෝපාය මාර්ගය බවට පත්ව ඇත්තේ ගෘහාශ්‍රිත කර්මාන්තයන්.

නමුත් පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වයත් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් මේ කර්මාන්තකරුවන්ට උදාකර ඇත්තේ සෝචනීය කාල පරිච්ඡේදයක්.

කජු ඉතා රසවත් වුවත් මේ කර්මානතයේ නියැලෙන්නන්ගේ ජීවිත නීරස වී ඇත්තේ මිල ශීඝ්‍රයෙන් පහළ යෑම හේතුවෙන්.

මිලදී ගැනීම් අවම මට්ටමක පැවතීමත්, අපනයන වෙළද පොළ මන්දගාමී තත්ත්වයක පැවතීමත් නිසා මේ කර්මාන්තකරුවන්ට ජීවන අරගලයට මුහුණ දීම අභියෝගයක් වී තිබෙනවා

+++++++++++++++++++

(05.12.2020 – 14:58 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා හේතුවෙන් වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන සංචාරක නිවාස හා කඳවුරු බිම් වෙන් කර ගෙන සිටි සංචාරකයින්ට ඔවුන් විසින් වෙන් කර ගත් දිනයන් වෙනුවට මේ මස 11 වනදා සිට ලබන වසරේ මාර්තු 31 දක්වා කාලය අතරතුර දිනයන් වෙන් කර ගැනීමට අවස්ථාව ලබාදෙන බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

එලෙස යළි දින වෙනකර ගැනීම ලබන 10 වනදා සිට වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී ඉටු කර ගැනීමට අවස්ථාව සලසා දෙන බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.

අදාළ සංචාරක නිවාස හා කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු ඊයේ (04) සිට සංචාරකයින් සඳහා නැවත විවෘත කෙරුණා ෴

++++++++++++++++++++++

(05.12.2020 – 15:17 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 652 ක් අද (05) දිනය තුල රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

සුවය ලැබූ මෙම පිරිස සමඟ මෙරට කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 20,000 සීමාව ඉක්මවා ගිය බවයි සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ.

ඒ අනුව මේ වනවිට සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 20,090 ක් ලෙසයි.

මේ අතර දිවයිනේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 26,559 ක් ලෙස සටහන් වනවා.

ඉන් තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6339 ක් ෴

+++++++++++++++++

(05.12.2020 – 18:22 +0530 – hirunews.lk/sinhala)

රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගිය සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද (05) විසිදහසේ (20,000) සීමාව ඉක්මවා ගියා.

ඒ, අද (05) දිනයේදී ආසාදිතයින් 652 ක් සුවය ලැබීමත් සමඟයි.

එසේම අද (05) දිනයේදී නව ආසාදිතයින් 501 දෙනෙකු හඳුනා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔවුන්ගෙන් 319 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති අතර, අනෙකුත් ආසාදිතයින් එකසිය අසූ දෙදෙනා (180) බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වී තිබුණා.

ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 27,060 ක් වන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 6,840 ක් පමණයි.

මේ අතර, රුසියානු ස්පුට්නික් – ෆයිව් කොරෝනා එන්නත සම්බන්ධයෙන් නිල වශයෙන් සාකච්ඡා අරඹන ලෙස රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාට දැනුම් දී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

එසේම, ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබාදෙන කොවිඩ්-19 එන්නතක් ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා යොදා ගත හැකිවනු ඇත්තේ ලබන පෙබරවාරි මාසයේදී බවද ඔහු කියා සිටියා.

කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවකයින් දෙදෙනෙකුට (2) සහ එහි නිරීක්ෂිකාවකට (1) කොරෝනා වෛරසය ආසාදනය වූ බව පසුගියදා තහවුරු වූ අතර, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකරගත යුතු නොමැති බවයි.

==========================================

මහනුවර – දිගන ප්‍රදේශයේ සුළු භූ කම්පනයක්

(05.12.2020 – 13:51 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – දිගන ප්‍රදේශය ආශ්‍රිතව අද (05) දිනයේත් සුළු භූ කම්පනයක් සිදුවූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම ප්‍රදේශයේ අද (05) අලුයම 05:42 ට පමණ රික්ටර් මාපක දෙකට (2) අඩු සුළු භූ කම්පනයක් සිදුවී ඇති බවට පල්ලෙකැලේ මධ්‍යස්ථානයේ වාර්තා වී තිබූ වාර්තා වී තිබූ බවයි.

එමෙන්ම, මීට පෙර පසුගිය මස 18 වනදා ද රික්ටර් මාපක 2 ක සුළු භූ කම්පනයක් සිදුවුණා.

ඊට පෙර අවස්ථා කිහිපයකදී ද එම ප්‍රදේශයේ සුළු භූ කම්පන සිදුවූ අතර, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ පොළොව අභ්‍යන්තරයේ හුණුගල් ස්ථරයන් හි පීඩනය නිදහස් කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් මෙම භූ කම්පන සිදුවන බවයි ෴

***************************************

(05.12.2020 – 14:05 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ තීන්දු සඳහා බලපෑම් එල්ලකළ පිරිස් මේ වනවිට කලබලයට පත්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා.

මේ අතර දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අපරාධ පරීක්ෂණදෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළවුණා.

***************************************

(05.12.2020 – 16:08 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික අනුරාධපුර නගරයට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) පෙරවරුවේ ජය ශ්‍රීමහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරතව තිබෙනවා.

ජනාධිපතිවරයා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අනතුරුව, ජනාධිපතිවරයා රුවන්වැලි මහාසෑ පුදබිමට ගොස් එහි විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක සුහද පිළිසඳරක නිරත වී තිබෙනවා.

එහිදී රුවන්වැලි මහාසෑ රඳුන් අභියස ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා අනුරාධපුර පූජා භූමි සංවර්ධන මහා සැලැස්ම ද විමර්ශනය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

එහි ඉදිකිරීම් 2024 වසරේ දෙසැම්බර් මාසයට පෙර අවසන් කිරීමට නියමිත අතර, රුපියල් මිලියන 450 ක වියදමින්, කලාප 3 ක් යටතේ ව්‍යාපෘති 28 ක් ලෙස සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නංවනු ඇති.

***************************************

(05.12.2020 – 16:23 +0530 – hirunews.lk/sinhala)

කළුතර දිස්ත්‍රික්කයට අයත් කෙලින්කන්ද ග්‍රාමයට 4G ආවරණය සහිත සන්නිවේදන පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කෙලින්කන්ද විදුහල් භූමියේදී ඊයේ (04) මෙම සන්නිවේදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බවයි.

කෙලින්කන්ද ග්‍රාමයේ දරුවන් පිරිසක් පාරක සිට ඔන්ලයින් තාක්ෂණයෙන් අධ්‍යාපනයේ නිරත වන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වල පසුගියදා සැරිසැරුවා.

ඒ පිළිබඳ අවධානය යොමු වූ විදුලි සංදේශ නියාමන කොමිසම අදාළ ප්‍රදේශයට සති දෙකක් (2) තුළ 4G තාක්ෂණය සහිත සන්නිවේදන පහසුකම් ලබාදීමටයි පියවර ගත්තේ.

***************************************

(05.12.2020 – 17:46 +0530 – hirunews.lk/sinhala)

2020 වසරට අදාළව පැවැත්වූ කොරියානු භාෂා විශේෂ පරීක්ෂණයෙන් සමත් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව සියයට 20 ක වැඩි වීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා විදෙස් සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එම කාර්යාංශය සඳහන් කළේ පසුගිය වසරේ කොරියානු භාෂා විශේෂ පරීක්ෂණයෙන් රැකියා අපේක්ෂකයන් 464 දෙනෙකු සමත් වී ඇති අතර, මේ වසරේදී 561 දෙනෙකු සමත්වී ඇති බවයි.

කොරියානු භාෂා විශේෂ පරීක්ෂණයෙන් සමත් වූවන් සඳහා සම්මුඛ පරීක්ෂණ ලබන 14 වනදා සිට 18 දක්වා පැවැත්වෙනවා ෴

***************************************

(05.12.2020 – 18:47 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ආකාරයේ සිදුවීම් වැළැක්වීම සඳහා බන්ධනාගාරයේ තදබදය අඩු කිරීම වහා සිදුකළ යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කරනවා.

ඒ සඳහා රිමාන්ඩ් සිරකරුවන්ට ඇප ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ අනෙකුත් රැඳවියන්ගේ ඇප අයදුම් කඩිනමින් විභාග කිරීම අවශ්‍ය බවයි ඔවුන් සඳහන් කරන්නේ.

එමෙන්ම, ඇප ලබාදිය හැකි වරද සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් රක්ෂිත බන්ධනාගාර ගත නොකළ යුතු අතර, රැඳවියන් කලින් මුදා හැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙම යෝජනා ඉදිරිපත් කළේ මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් 30 වනදා සහ මේ මස පළවනදා බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුවයි.

එය 1996 වසරේ අංක 21 දරණ මානව හිමිකම් කොමිෂන් සභාව පනත යටතේ පැවරී ඇති වගකීමක් ලෙසයි එමගින් හැඳින්වූයේ.

එමෙන්ම, එහි ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් රැඳවියන්ගේ ඥාතීන් විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉල්ලීම් කිහිපයක් ද ඉදිරිපත් කර තිබෙනවා.

සිය නිරීක්ෂණයෙන් පසුව කොමිෂන් සභාව මගින් හදිසියේ සිදුකළ යුතු මෙන්ම, කෙටි කාලීන, මැදිකාලීන සහ දීර්ඝ කාලීන නිර්දේශ පෙළක් ද ඉදිරිපත් කරනු ලැබුවා.

බන්ධනාගාරයේ තදබදය අඩු කිරීම හැරුණුකොට අලුතින් ඇතුළත් කරන රැඳවියන් සියල්ල පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම, නව රැඳවියන් දැඩි නිරෝධායනයට ලක් කිරීම මෙන්ම, ඔවුන්ට වෙන් වූ පහසුකම් සැලසීම ද ඇතුළත්.

මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ මහර බන්ධනාගාර නොසන්සුන්තාවයේදී මියගිය සහ තුවාල ලැබූ රැඳවියන් පිළිබඳව ඔවුන්ගේ ඥාතීන් වෙත තොරතුරු ලබාදීමට කටයුතු කළ යුතු බවයි.

මේ අතර, මහර බන්ධනාගාරයේ පසුගිය ඉරිදා රාත්‍රියේ ඇති වූ කලහකාරි සිද්ධියෙන් මියගිය රැඳවියන් දෙදෙනෙකුගේ මෘත ශරීර ඔවුන්ගේ ඥාතීන් විසින් හඳුනාගෙන තිබෙනවා.

එලෙස මියගිය එක් රැඳවියෙකු ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු ජා ඇල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

හඳුනා ගැණුනු අනෙක් රැඳවියා වත්තල – හුනුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මොවුන් දෙදෙනාම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයින් 78 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

මේ අතර, බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද (05) වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

ඉන්පසුව ඔහු මාධ්‍ය වෙත සඳහන් කළේ වැලිකඩ බන්ධනාගාරයේ වහලයක් මත නැග විරෝධතාවක නිරත වූ රැඳවියන් එය අද (05) දිනයේදී අවසන් කළ බවයි.

***************************************

(05.12.2020 – 18:58 +0530 – hirunews.lk/sinhala)

එගොඩඋයන – නව ගාලුපාරේ පදික මාරුවකදී යතුරුපැදියක ගැටී කුඩා දැරියන් දෙදෙනෙකු (2) ජිවිතක්ෂයට පත්වී ඔවුන්ගේ ගර්භණී මව තුවාල ලැබූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යතුරුපැදිකරු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ මොරටුව වැඩබලන මහේස්ත්‍රාත් චරිත ද සිල්වාගේ නියෝගයකට අනුවයි.

ඊයේ (04) රාත්‍රි 10 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, මියගිය දැරියන් දෙදෙනාගේ (2) වයස අවුරුදු 01 ක් සහ අවුරුදු 07 ක්.

බරපතල තුවාල ලැබූ මව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. සිව් (4) මස් ගැබිණියගේ කළලය සැත්කමකින් ඉවත් කළ බවයි රෝහල් ප්‍රකාශයෙකු සඳහන් කළේ. මේවනවිට මව කොළඹ ජාතික රෝහගේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

ජීවිතක්ෂයට පත්වූ දැරියන් දෙදෙනාගේ (2) දේහ තවමත් පානදුර රෝහලේ තැන්පත් කර ඇති අතර ඥාතීන් පවසන්නේ ඔවුන්ගේ ඒවා රැගෙනවිත් තැන්පත් කිරීමට නිවසේ ඉඩ පහසුකම් ද නොමැති බවයි.

අනතුර සිදුකළ 20 හැවිරිදි එගොඩඋයන ප්‍රදේශයේම පදිංචි මෙම යතුරුපැදිකරු මීට සති දෙකකට (2) පෙර ද, මාර්ගයේ අධික වේගයෙන් යතුරුපැදි ධාවනයේ යෙදී සිටියදී පානදුර පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 15,000 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ රාත්‍රී කාලයේදී මෙලෙස අධික වේගයෙන් රථ වාහන ධාවනය කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

***************************************

(05.12.2020 – 19:13 +0530 – hirunews.lk/sinhala)

අද (05) පැවති අයවැය කාරක සභා විවාදයේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබඳව ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අදහස් පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් මතුවුණා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා, අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි, ලක්ෂ්මන් කිරිඇල්ල, මනූෂ නානායක්කාර, රංජිත් මද්දුම බණ්ඩාර සහ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙන්ම කතානායක මහින්ද යාපා අබේවර්ධන ද අදහස් පළ කළා.

එසේම, පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් වෙනුවෙන් ගොඩනැගීමට නියමිත ‘අමරදේව අසපුව’ පිලිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද (05) අදහස් දක්වා සිටියා.

***************************************

(05.12.2020 – 19:23 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් බෙදාදීම සඳහා අංක නිකුත් කිරීම අද (05) නාගරික සංවර්ධන අධිකාරියේදී සිදු කෙරුණා.

එහිදී වෙළඳසැල් හිමියන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මැනිං වෙළඳපොල වෙළඳසැල් 1,192 කින් සමන්විත අතර ඒවා විවිධ ප්‍රමාණයන් ඔස්සේ වෙන්කර තිබීම නිසා මෙම උණුසුම් තත්ත්වය ඇති වූ අතර, එහිදී වෙළඳසැල් හිමියන් රජයෙන් ඉල්ලා සිටියේ සමාන ප්‍රමාණයේ වෙළඳසැල් ලබාදෙන ලෙසයි.

***************************************

එය සිංහල නොවන ජනතාව සඳහායි.
සිංහල ජනතාව ‘පැල්වත්ත’ හෝ ‘හයිලන්ඩ්’ කිරි නිෂ්පාදන භාවිතා කරන්න – ටෙරාෆොන් සමාගම
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *