දෙවනගල පුරාවිද්‍යා විනාශය ගැන රාජ්‍ය ඇමති විදුරගෙන් නිලධාරීන්ට දෝස්මුරයක්

දෙවනගල පුරාවිද්‍යා විනාශය ගැන රාජ්‍ය ඇමති විදුරගෙන් නිලධාරීන්ට දෝස්මුරයක්

*********************************************

දෙවනගල පුරාවිද්‍යා විනාශය ගැන රාජ්‍ය ඇමති විදුරගෙන් නිලධාරීන්ට දෝස්මුරයක්

(04.12.2020 – 21:59 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික දෙවනගල රජමහ විහාරස්ථානයට අයත් ඉඩම් ආක්‍රමණය සම්බන්ධයෙන් ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් අනතුරුව ඒ පිළිබඳව සොයාබැලීමට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (04) එම විහාරස්ථානයට පැමිණියා.

මෙම විහාරස්ථානය ආශ්‍රිතව සිදුව ඇති පුරාවිද්‍යා විනාශය සම්බන්ධයෙන් සොයා නොබැලූ රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය අමාත්‍යවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක් වුණා.

++++++++++++++++

දෙවනගල වාර්තාකරණයේදි මා හට එල්ල වු සහසික මැර ප‍්‍රහාරය

(04.12.2020 – FB : Saman Vijaya Bandara Media Guide)

මම මේ ඉටු කරන්නේ පෞද්ගලික අරමුණක් නොවෙයි. ජාතික උරුමයක් අනාගතයට නිරවුල් කර දිමක්. මේ දේ රජය මැදිහත් වේලා නිරවුල් කරලා විසදුවොත් මේ හැම කෙනෙක්ම සතුටින් ජිවත් වෙයි. එවැනි කටයුතු කරන විට මා හට පහර දිමක් කලා. එය මම හෙළා දකිනවා. ඒ අවස්ථාවේ මාව බේරා ගත් අන්තවාදින් නොවන ජනතාවට මාගේ ස්තුතිය. ඒ වාගේම හාමදුරුවන්ට කරන ලද පහර දිම් මෙන්ම හිරිහැරයද මා හෙළා දකිනවා.

මේ උරුමය ඔබට ආරක්ෂා කර දිමට ගොස් සමහර විට අප හාමුදුරුවන්ට මෙන්ම මා හට අවසානයේ ජිවිත වලින් පවා වන්දි ගෙවන්න වෙයිද දන්නේ නැහැ. නමුත් ඉදිරියට තිබ්බ බය පස්සට තියන්න බැහැ.

රටේ පවතින නිතීයට ගරු කරමින් සාමය ආරක්ෂා වන විටදිහට හැම කෙනෙක්ම කටයුතු කල යුතුයි. අනවසර දේවල් කලාම ඒ දේ රටට අනාවරණ කිරිම වැරද්දක් නම් – ‘හිරු’ එක මේ කරන්නේ වැරදි දෙයක් නම් – මාධ්‍ය මගින් හෙළි කරන්නේ බොරුවක් නම් ඒ වෙනුවෙන් නීතිය ක‍්‍රීයාත්මක කරන්න. අපගේ රාජකාරියට බාධා කරමින් සහසිකව හැසිරිම සහ ඒ මගින් කරන අපාහාසය ගැන මාධ්‍යයට මෙන්ම මේ රටේ සංඝයාවහන්සේලාට අත තියන සුළු පිරිසක් වන මේ චන්ඩි ගැන වහාම නිතීය ක‍්‍රියාත්මක කර දෙන්න පොලිස්පති තුමනි.

මාගේ එකම ඉල්ලිම එයයි. අපි මේ උත්සාහ කරන්නේ ජාතික උරුමයක් සියලු ජාතින්ට ආරක්ෂා කර දිමට මිස පෞද්ගලික අරමුණකින් නොවන වග මතක් කල යුතුයි.

මාධ්‍යවේදි සමන් විජය බණ්ඩාර

01-12-2020

***************************************

(04.12.2020 – 22:04 +0530 – hirunews.lk/sinhala)

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ පාලන සමයේ සිය අමාත්‍යාංශයට අයත් ආයතවල සිදුවූ දූෂණ හා වංචා සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් කරන්නැයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා.

ඒ, අද (04) පැවැති කර්මාන්ත, වෙළඳ ඇතුළු අමාත්‍යාංශ 06 ක වැය ශීර්ෂ පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව සිදුකරමින්.

***************************************

කොරියානු භාෂා විභාගයට මුහුණදුන් පිරිසට නිවේදනයක්

(04.12.2020 – 17:15 +0530 – sinhala.adaderana.lk)

කොරියානු භාෂා විශේෂ පරීක්ෂණයෙන් 2019 ට වඩා 2020 වර්ෂයේදී සියයට 20 ක පිරිසක් සමත්ව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

කොරියාවේ රැකියා සඳහා භාෂා විශේෂ පරීක්ෂණයෙන් සමත්විම අනිවාර්ය වන අතර 2019 දී පවත්වනු ලැබු පරීක්ෂණයෙන් රැකියා අපේක්ෂකයන් 464 දෙනෙකු සමත් වී තිබුණි.

මේ වර්ෂයේදී සමත් සංඛ්‍යාව 561 කි. විභාගයට පෙනීසිටි අපේක්ෂකයන් සංඛ්‍යාව 1,338 කි.

මෙම විශේෂ විභාගය පවත්වනු ලබන්නේ දකුණු කොරියාවේ සේවා ස්ථානයන්හී වසර 04 ක් සහ මාස 10 ක් දක්ෂ හා කාර්යක්ෂමව කටයුතු කළ හා නීති විරෝධි කටයුතුවල නොයෙදුණු තරුණයින් සඳහා නැවත රැකියා ලබාදීමේ එකඟතාවය යටතේ ලැබු අවස්ථාවක් අනුව ය.

2020 වර්ෂයට අදාළව පවත්වනු ලැබූ කොරියානු භාෂා විශේෂ පරීක්ෂණයෙන් සමත්වූවන්ගේ ප්‍රතිඵල www.slbfe.lk කාර්යාංශ වෙබ් අඩවියේ පළකර තිබේ.

සමත්වුවන් සඳහා සම්මුඛ පරික්ෂණ 2020.12.14 සිට 18 දක්වා පැවැත්වේ.

ශ්‍රී ලාංකිකයන් 25,000 ක් පමණ කොරියාවේ රැකියාවල නිරතව සිටින අතර කොරෝනා වසංගතය පැතිරීමත් සමග ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් නව රැකියා සඳහා පිටත්වීම අඩුවුවද, නිවාඩුවට පැමිණ නැවත රැකියා සඳහා 300 කට අධික පිරිසක් අවස්ථා කිහිපයකදී මත්තල ගුවන් තොටුපල මගින් මේ වනවිට පිටත්කර යවා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙයි ෴

***************************************

බසයේ රැගෙන යමින් තිබූ ක්ලේමෝ බෝම්බය ගැන ඔත්තුව ලැබුණු හැටි

(04.12.2020 – 10:39 +0530 – sinhala.adaderana.lk)

යුද හමුදාව රටේ අනෙකුත් කටයුතු සඳහා යොමුව සිටියද රටේ සහ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව තවදුරටත් දැඩි අවධානයෙන් පසුවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ක්ලේමෝ බෝම්බයක් බස් රථයක රැගෙනයමින් සිටි හිටපු LTTE සාමාජිකාවක හා ඇයගේ සැමියා පරන්තන්හිදී පසුගියදා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ගැන තොරතුරු අනාවරණය කරමින් යුද හමුදාපතිවරයා මේ බව පැවසීය.

අද (04) උදෑසන ‘දෙරණ අරුණ’ වැඩසටහන සමග සම්බන්ධවෙමින් යුද හමුදාපතිවරයා සඳහන් කළේ මෙම කාන්තාවගේ ක්‍රියාව පිළිබඳ තොරතුරු අනාවරණය කරගත්තේ ද යුද හමුදා බුද්ධි අංශවල තොරතුරු මත බවය.

යාපනයේ සිට මහනුවර දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක යමින් සිටියදී ඔවුන් අත්අඩංගුවටගෙන තිබුණි. එම බෝම්බය ඔවුන් සතුව තිබූ බෑගයක සඟවා තිබී ඇත.

ඔවුන් තම දරුවා ද එම ගමනට රැගෙන ගොස් තිබුණේ අන් අයගේ අවධානය වෙනතකට යොමු කිරීමට බව හමුදා බුද්ධි අංශ විශ්වාස කරයි.

2014 අප්‍රේල් 14 වැනිදා නෙඩුන්කර්නි කැලෑවේදී හමුදා ප්‍රහාරයකින් මියගිය LTTEයේ ගෝපි යන අයගේ සොහොයුරු ස්විට්සර්ලන්තයේ සිට ප්‍රහාරයක් සැලසුම්කර ඇතැයි පුවත්පත් වාර්තා කර තිබුණි.

අත්අඩංගුවට ගත් යුවළ පදිංචිව සිට ඇත්තේ අය්යකච්චි, පැනික්කච්චිහි පිහිටි ගෝපි හෙවත් කජිපන් පොන්නයියා සෙල්වනායගම්ගේ මවගේ නිවස ඉදිරිපිට නිවසකය.

“මේක අලුතින් හදපු ක්ලේමෝ බෝම්බයක් නෙමෙයි. මේක පරණ ඒ කාලේ හදපු ක්ලේමෝ එකක්. ඒ කාන්තාව සුළු කාලයකට හෝ ත්‍රස්තවාදීන් සමග සම්බන්ධවෙලා කටයුතු කරපු කෙනෙක්. LTTE සංවිධානයට යුදමය අතින් කරගන්න බැරිවෙච්ච දේ මතවාදී වශයෙන් තවදුරටත් ඉදිරියට රැගෙන යෑමට කටයුතු කරන අය විදෙස් රටවලත් ශ්‍රී ලංකාවේත් ඉන්නවා. මේ රටේ ත්‍රස්තවාදයට ඝෘජුවම සම්බන්ධවෙලා හිටපු අය 12,000 ක් පමණ අපි පුනුරුත්තාපනය කරලා සමාජගත කරනු ලැබුවා. මේ වගේ අය හෝ ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන අයට පිටරටවල ඉඳලා මුදල් එවලා මෙවැනි ක්‍රියාවන් සඳහා සම්බන්ධකර ගන්නවා. ඒ වගේ තත්ත්වයන් අපි දකිනවා. හමුදාව වෙන වෙන කටයුතු සඳහා අවධානය දෙමින් සිටින කාලවල තමයි මෙවැනි දේවල් කරන්න උත්සහ ගන්නේ. ඒ මොනවා කරත් මේ රටේ හමුදාව ඉතාමත් අවධානයෙන් ඉන්නෙ. යුද හමුදා බුද්ධි අංශය තමයි මේ සොයා ගැනීම කරනු ලැබුවේ. රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා පවතින ඕනෑම තත්ත්වයක් යටතේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ගතයුතු සියලුම ක්‍රියාමාර්ග ගනු ලබනවා.” යනුවෙන් ද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

***************************************

පොලොන්නරුව, බැඳිවැව නීති විරෝධීව පවත්වාගෙන ගිය දැව ජාවාරමක් වටලයි

(04.12.2020 – colombotoday.com)

පොලොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී දැව ජාවාරමක් වටලා බුරුත, කොහොඹ ආදී තහනම් දැව කඳන් සහ ඉරා සකස් කරන ලද දැව තොගයක් සමඟ එක් සැකකරුවෙකු අද (04) දින අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලීසිය කියයි.

ලී ඉරීම සඳහා භාවිත කල ජංගම ලී ඉරුම් පට්ටලයක් යාන්ත්‍රික කියත් ආදියද එහි තිබී පොලීසිය බාරයට ගෙන තිබේ.

පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලොන්නරුව පොලීසියේ දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

සැකකරු විසින් කාලයක් තිස්සේ රහසිගතව මෙම දැව ජාවාරම සිදුකර තිබෙන බව අනාවරණයවී ඇතැයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ ෴

***************************************

‘වයිෆ් අතේ සල්ලි එවනවා’ කියා වෙස්වළාගත් අල්ලස් නිලධාරිනිය යවා ජනාධිපතියේ විදුහල්පතිනිය ඇල්ලු හැටි

(04.12.2020 – gossiplankanews.com)

රුපියල් ලක්ෂ එක හමාරක (1½) අල්ලසක් ගත් බවට සැකපිට අත්අඩංගුවට පත් ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිනිය අද (04) තෙක් රිමාන්ඩ් භාරයට පත්කරන ලෙසත් එදින ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙසත් ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ මහත්මිය පෙරේදා (02) සවස නියෝග කළාය. මෙසේ රිමාන්ඩ් භාරයට පත්කෙරුණේ කේ.බී.ඩබ්ලිව්. ප්‍රමිලා මධුරංගනී (36) නමැත්තියයි. ලබන වසරේ (2021) ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ පළමුවන (1) ශ්‍රේණියට දරුවකු ඇතුළු කිරීමට සම්මුඛ පරීක්‍ෂණයට ඉදිරිපත් වුණ ආරක්‍ෂක අංශයට සම්බන්ධ නිලධාරියෙකුගේ දරුවාට ලැබී තිබූ ලකුණු වැඩිකරදීමට මෙම රුපියල් ලක්‍ෂ එකහමාරක (1½) අල්ලසක් ඉල්ලා ඇත.

ඒ සම්බන්ධයෙන් එම නිලධාරියා අල්ලස් හෝ දූෂණ මර්දන ඒකකයට පැමිණිලි කර තිබිණි.

විදුහල්පතිනිය ඉල්ලු අල්ලස් මුදල පෙරේදා (02) දින ලබාදීමට පොරොන්දුවී ඇති අතර තමන්ට නිවාඩු ලබාගත නොහැකි නිසා තම බිරිඳ මුදල් ද සමග විදුහල්පතිනිය හමුවීමට පැමිණෙන බව දන්වා තිබී ඇත. මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ මර්දන ඒකකයට කළ පැමිණිල්ලක් අනුව එහි නිලධාරිනියක පෙරේදා 02 ක් පෙරවරුවේ අල්ලස් ඉල්ලූ තැනැත්තාගේ බිරිඳ ලෙස වෙස් වළාගෙන විදුහලේ කාර්යාලයට ගොස් ඇත්තේ ඉල්ලු රුපියල් ලක්‍ෂ එකහමාර (1½) ද අතැතිවය. විදුහල්පතිනියට විදුහලේ කාර්යාලයේ දී ඇය පැමිණි කාරණාව දැනුම් දී ඇති අතර විදුහල්පතිනිය කාර්යාලයේ දී මුදල් ලබාගෙන නැත. ඒ වෙනුවට විදුහල්පතිනිය අල්ලස් දීමට පැමිණි කාන්තාව සමග විද්‍යාලයේ ක්‍රීඩා පිට්ටනිය දෙසට ගමන් කර එහිදී මුදල් ලබාගෙන ඇත.

ලබාගත් මුදල් පාර්සලය විද්‍යාලයේ කම්කරු මහතකුට දී එය කාර්යාලයෙන් තබන්නැයි දැනුම් දී තිබේ. විදුහල්පතිනිය දුන් පාර්සලය ගත් සේවකයා කාර්යාලයට යන්නට පෙර මුදල් පාර්සලය ද සමග අල්ලස් හෝ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින්ගේ බාරයට ගෙන විදුහල්පතිනිය අත්අඩංගුවට ගෙන තිබේ. විදුහල්පතිනියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඇඹිලිපිටිය පොලිසියට රැගෙන ගොස් පසුව ඇය උඩවලව පොලිසියට ගෙන ගොස් එහි සිට ප්‍රකාශ සටහන් කරගනු ලැබීය. ඇයගේ ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව පෙරේදා (02) සවස 07:00 ට පමණ අල්ලස් හෝ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් සැකකාර විදුහල්පතිනිය ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට අධිකරණයේ නිල කාමරයේ දී ඉදිරිපත් කරනු ලැබුවාය. සැකකාර විදුහල්පතිනිය වෙනුවෙන් නීතිඥ නිරෝෂන් ගමගේ මහතා ඉදිරිපත් විය. පැමිණිලිකාර අල්ලස් හෝ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින්ගේ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකාර විදුහල්පතිනිය මේ මස 04 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත්කර එදින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙස නියම කළාය ෴

***************************************

‘පළාගිය අනතුරක්’ සහ ‘හෙල්මට් හොරකමක්’ CCTV

විඩියෝව – Chamara Kulasekara / gossiplankanews.com

=====================================

(04.12.2020 – 22:48 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොවිඩ්-19 මරණයක් අද (04) දිනය තුල වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්දල ප්‍රදේශ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 130 ක් දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදය කළේ ෴

+++++++++++++++++++++

මුදල් මත දින ගණනක් කොරෝනා.. මුදල් භාවිතය හැකි තාක් සීමා කරන්න.. භාවිත කල වහාම අත් සෝදන්නැයි දන්වයි..

(05.12.2020 – 03:28 +0530 – lankacnews.com)

කොරෝනා වෛරසය මුදල් නොට්ටු මත දින ගණනාවක් තිබිය හැකි නිසා මුදල් භාවිත කල සෑම අවස්ථාවකස අත පිරිසිදු කර ගැනීම ඉතා වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ මෙම තත්ත්වය මත නිවසේ සියළු දෙනා මුදල් නෝට්ටු කාසි ඇල්ලීමෙන් වැළකී නිවසේ එක් අයෙකු හෝ දෙදෙනෙකු පමණක් පමණක් ඒ සඳහා යොමුවිය යුතු බවයි.

මුදල් භාවිතයේදී නිසි සෞඛ්‍ය උපදේශන පිළිපැදීම ඉතා වැදගත් වන බවද ඔහු සඳහන් කළේය.

හිරු එළිය වැටෙන තැනක මුදල් තැබීමෙන් වෛරස් ඒ ඉක්මනින් විනාශ බවද ඒ මහතා සඳහන් කළේය.

හැකිතාක් මුදල් ගනුදෙනු අවමකර එක්වරම මුදල් ගෙවීම සුදුසු යයිද ඒ මහතා පැවසීය.

කෙසේ හෝ මුදල් ගනුදෙනු වලින් පසු දෑත් සෝදා ගැනීම ඉතා වැදගත් වන බවද ඔහු තව දුරටත් කියා සිටියේය ෴

++++++++++++++++++++++++

(05.12.2020 – 08:17 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා අසාදිතයින් 517 දෙනෙකු ඊයේ (04) හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු අසාදිතයින් සංඛ්‍යාව 26,559 ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව, මිනුවන්ගොඩ – බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිත කොරෝනා පොකුර 23,005 ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ වනවිට දිවයිනේ රෝහල් කිහිපයක වෛරසය ආසාදනය වූවන් 6,991 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඊයේ (04) දිනයේදී සුවය ලැබූ තවත් කොරෝනා ආසාදිතයින් 406 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 19,438 ක්.

එමෙන්ම, ඊයේ (04) දිනයේදී තවත් කොරෝනා ආසාදිත මරණයක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 130 දක්වා ඉහළ ගියා.

ඊයේ (04) මෙලෙස මියගියේ පිලියන්දල ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇති අතර, කොරෝනා ආසාදනයත් සමඟ ඇති වූ නියුමෝනියා තත්ත්වය නිසා, උග්‍ර වූ බැක්ටීරියා ආසාදනය සහ හෘද රෝග තත්ත්වයක් මරණයට හේතුව ලෙස දැක්වෙනවා.

මෙරට කොරෝනා පළමු රැල්ල ව්‍යාප්ත වූ අවස්ථාවේදී කොළඹ මහ නගර සභා සීමාවෙන් ආසාදිතයින් 160 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූ අතර, මේ වනවිට එම සීමාවෙන් වාර්තා වී ඇති 8,000 කට ආසන්න ආසාදිතයින් සංඛ්‍යාවෙන් සෙසු සියලු දෙනා දෙවන රැල්ලට අයත්.

කොළඹ මහ නගර සභා සීමාව තුළ පවතින අධික ජනඝණත්වය මෙම තත්ත්වය නිර්මාණය වීමට එක් හේතුවක් වී තිබෙනවා. පුද්ගලයින් හත් ලක්ෂයකට (7,00,000) ආසන්න සංඛ්‍යාවක් කොළඹ මහ නගර සභා සීමාව තුළ ජීවත් වන අතර, ජනඝනත්වය වර්ග කිලෝ මීටරයකට පුද්ගලයින් දහසකට (1000) ආසන්නයි.

එම අධික ජනඝනත්වය කොරෝනා මර්දනයට සැලකිය යුතු බාධකයක් වී ඇති අතර, මේ වනවිට කොළඹ මහ නගර සභා සීමාවෙන් මරණ 70 කට ආසන්න සංඛ්‍යාවක්ද වාර්තා වනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඊයේ (04) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ කොරෝනා පාලනය කිරීමට ජනතා මැදිහත්වීම අත්‍යාවශ්‍ය බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ මේ වනවිටත් කොරෝනා වෛරසය සඳහා පොදු එන්නතක් සහතික වී නොමැති බවයි.

එසේම, රජයේ ආයුර්වේද නිලධාරින්ගේ සංගමය කොළඹ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ දැනට කොරෝනා වෛරසය පාලනය කිරීමට සකස් කර ඇති ආයුර්වේද ඖෂධ සඳහා සායනික පරීක්ෂණ සිදුකිරීමට අවස්ථාව ලබාදෙන ලෙසයි ෴

+++++++++++++++++++

(05.12.2020 – 08:23 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියත් සමඟ බන්ධනාගාර තදබදය අවම කිරීම මෙන්ම කොරෝනා වෛරසයෙන් රැඳවියන් ආරක්ෂා කර ගැනීම පිළිබඳව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඊට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

මේ අතර, මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමේදී රැඳවියන් භාවිත කළ බව කියන ඖෂධ වර්ග 6 ක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමද 20 දක්වා ඉහළ නංවා ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, මහර බන්ධනාගාරයේ සිටි රැඳවියෙකුගේ බිරිඳක් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ තම ස්වාමියා අතුරුදන්ව ඇති බවට පවසමින්.

පසුගිය 29 වනදා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු මියගොස් තවත් 108 දෙනෙකු තුවාල ලැබුවා ෴

++++++++++++++++++++

(05.12.2020 – 08:24 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේ මහජන ආලින්දය අද (05) පෙරවරු 9 සිට නැවත විවෘත කෙරෙනවා.

එහිදී එක් මගියෙකුට ආලින්දය වෙත රැගෙන ආ හැක්කේ එක් අමුත්තෙකු පමණයි.

පැමිණෙන අමුත්තන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළිපැදිය යුතු බවද ගුවන්තොටුපල පාලනාධිකාරිය ප්‍රකාශ කළා.

මේ අතර, දිවයිනට පැමිණීමෙන් පසු නිරෝධායන ක්‍රියාවලියට යොමුකළ ගුවන් මගීන්ට එම කටයුතු අවසන් වී මාසයක් තුළ පැමිණීමේ පර්යන්තයේ පිහිටි තීරු බදු රහිත වෙලඳසැල් වලින් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව හිමිවනවා ෴

+++++++++++++++++++++++

(05.12.2020 – 10:20 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (04) දිනයේදී මෙරටින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 91 දෙනා සහ කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 44 දෙනාද ඊයේ (04) වාර්තා වූ ආසාදිතයින් අතර වනවා.

මේ අතර, කොරෝනා වසංගතය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැඳී සිටි 465 දෙනෙකු අද (05) අලුයම මෙරටට පැමිණ තිබෙනවා ෴

***************************************

(05.12.2020 – 10:42 +0530 – hirunews.lk/sinhala)

එගොඩඋයන – නව ගාලුපාරේ පදික මාරුවකදී යතුරුපැදියක ගැටී කුඩා දැරියන් දෙදෙනෙකු (2) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (04) රාත්‍රි 10 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, ගැබිණි කාන්තාවක් සහ වයස අවුරුදු 7 ක හා අවුරුද්දක (1) ඇගේ දියණියන් දෙදෙනා (2) මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

බරපතල තුවාල ලැබූ එම තුන්දෙනා (3) පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී දැරියන් දෙදෙනා (2) මියගොස් ඇති අතර, බරපතල තුවාල ලැබූ කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

අනතුර සිදුකළ යතුරුපැදිකරු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළා.

(05.12.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala)

බරපතල තුවාල ලැබූ ගැබිණි කාන්තාවක් වන අතර ඇය 23 හැවිරිදි එගොඩඋයන ප්‍රදේශයේම පදිංචිකාරිනියක්.

කොළඹ ජාතික රෝහලේ අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම ගැබිණි කාන්තාව මේ වනවිට හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි.

අනතුර සිදුකළ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අධික වේගය මෙම රිය අනතුරට හේතුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

යතුරුපැදිකරු 20 හැවිරිදි එගොඩඋයන ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, ඔහු පෙරේදා (03) දින පානදුර ප්‍රදේශයේදී අධික වේගයෙන් රිය ධාවනය කිරීමේ චෝදනාව යටතේ රුපියල් 15,000 ක දඩයක් ද නියම කර තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

එගොඩඋයන – නව ගාලුපාරේ පදික මාරුවකදී යතුරුපැදියක ගැටී කුඩා දැරියන් දෙදෙනෙකු (2) ජිවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යතුරුපැදිකරු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ මොරටුව වැඩබලන මහේස්ත්‍රාත් චරිත ද සිල්වා මහතාගේ නියෝගයකට අනුවයි.

ඊයේ (04) රාත්‍රි 10 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, දැරියන්ගේ මව වන ගැබිණි කාන්තාවක ද එහිදී තුවාල ලැබුවා ෴

***************************************

(05.12.2020 – 11:21 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කඩිනම් සම්බන්ධයෙන් අනිද්දා (07) දිනයේ නීතිපති හමුවී සාකච්ඡා සිදුකරන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයට අදාළව මේ වනවිට සැකකරුවන් 171 ක් අත්අඩංගුවට ගෙන 86 ක් රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.

***************************************

(05.12.2020 – 12:14 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව ලබන වසර සඳහා 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් ලබන 10 වනදා පෙර යොමුකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ අයදුම්පත් පාසලේ විදුහල්පතිවරුන් මාර්ගයෙන් දෙමාපියන්ට ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති බවයි.

ඒ අනුව එම අයදුම්පත් ලබන 10 වනදාට පෙර සම්පූර්ණ කර දරුවන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි පාසලේ විදුහල්පතිවරයා වෙත භාර දිය යුතුයි.

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා ඇති පාසල්වලට අයදුම්පත් ගෙන්වා ගැනීම සෞඛ්‍ය නිර්දේශ අනුව, සිදුකරන ලෙසට කලාප අධ්‍යාපන නිලධාරින් සහ විදුහල්පතිවරුන්ට දැනුම්දී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

***************************************

(05.12.2020 – 13:32 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ පසුගිය ඉරිදා රාත්‍රියේ ඇති වූ කලහකාරි සිද්ධියෙන් මියගිය රැඳවියන් දෙදෙනෙකුගේ (2) මෘත ශරීර ඔවුන්ගේ ඥාතීන් විසින් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, එලෙස මියගිය එක් රැඳවියෙකු ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු ජා-ඇල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

හඳුනා ගැණුනු අනෙක් රැඳවියා වත්තල – හුනුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර, ඔහු කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අයෙක්.

මොවුන් දෙදෙනාම (2) මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයින් 78 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

මේ අතර, එම නොසන්සුන්කාරි තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා අධිකරණ අමාත්‍ය අලී සබ්රි විසින් පත් කළ පංච පුද්ගල (5) කමිටුව අද (05) දිනයේ ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි.

ඒ මහර බන්ධනාගාර නිලධාරින්, රැඳවියන් සහ ඒ අවට පදිංචිකරුවන්ගෙන්.

පෙරේදා (03) දිනයේ මෙම පංච (5) පුද්ගල කමිටුව මහර බන්ධනාගාරයට ගොස් විවිධ පාර්ශවවලින් ප්‍රකාශ සටහන් කර ගත් අතර, ඊයේ (04) සහ අද (05) දිනයේ බන්ධනාගාර මූලස්ථානයේ පිහිටා ඇති බන්ධනාගාර පුහුණු පාසලේදී රැස්වී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි.

මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා සඳහන් කළේ ඇති වූ ගැටුම්කාරි තත්ත්වය මහර බන්ධනාගාරය තුළ රඳවා සිටින පාතාල කල්ලි සාමාජිකයන්ගේ කණ්ඩායම් කිහිපයක් අතර, ඇති වූ විරසකයක් මත හට ගන්නට ඇති බවට සැක පළ කරන බවයි.

ඔවුන් බන්ධනාගාරය තුළ ගැටුම් ඇති කර ගන්නා ආකාරය සටහන් වීඩියෝ දර්ශන සහ ඔවුන්ගේ පෙර හැසිරීම් විලාශයන් නිරීක්ෂණය කිරීමේදී ඒ බව තහවුරු කර ගත හැකිවූ බවද, මහර බන්ධනාගාර අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත්, මීට සම්බන්ධ පුද්ගලයින් කවුරුන් ද යන්න නිසැකවම හඳුනා ගැනීම සඳහා තවදුරටත් පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විෂයභාර අමාත්‍යවරයා පත් කල පංච (5) පුද්ගල කමිටුවේ නිර්දේශ අවශ්‍ය වන බව ද මහර බන්ධනාගාර අධිකාරිවරයා සඳහන් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *