ඉවත දමන බෝල්පොයින්ට් පෑන් හා දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ බහාලු‍ම අගමැති ඇගැයුමට

ඉවත දමන බෝල්පොයින්ට් පෑන් හා දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ බහාලු‍ම අගමැති ඇගැයුමට

*********************************************

ඉවත දමන බෝල්පොයින්ට් පෑන් හා දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ බහාලු‍ම අගමැති ඇගැයුමට

(04.12.2020 – 14:08 +0530 – hirunews.lk/sinhala)

ඉවත දමන බෝල්පොයින්ට් පෑන් හා දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණය සඳහා හඳුන්වාදෙන නව ප්‍රතිචක්‍රීකරණ බහාලුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදී තිබෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම ප්‍රතිචක්‍රීකරණ බහාලු‍ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කර නිවේදනයේ දැක්වෙන්නේ.

පාසල් තුළින් දිනකට බෝල්පොයින්ට් පෑන් කිලෝ 80 ක් පමණ, ඉවත දමනු ලබනවා. ඒ අනුව, මෙම පාරසරික ගැටලු‍වට පිළියමක් ලෙසයි ‘නීතියක් නොව විනයක්’ යන තේමාව යටතේ මෙම පරිසර හිතකාමී ව්‍යාපෘතිය රටපුරා පාසල් හා ආයතන මට්ටමින් ක්‍රියාත්මක වන්නේ.

ඊට අදාළව සකස් කරන ලද ආරක්ෂිත ප්‍රතිචක්‍රීකරණ බහාලු‍ම එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක් වුණා ෴

***************************************

(04.12.2020 – 13:58 +0530 – hirunews.lk/sinhala)

කඩොලාන මෙරට පරිසර පද්ධතියේ අතිශය සංවේදී ශාක කොට්ඨාසයක්.

ඒ හරහා පරිසර තුලනයට සිදුවන සේවය අතිමහත්.

මේ හේතුව නිසාම එවැනි පරිසර පද්ධතියක් මහා පරිමාණයෙන් විනාශ කරන අවස්ථාවක් පිළිබඳව හිරු ප්‍රවෘත්ති පසුගියදා අනාවරණ කළා.

කෙසේවෙතත්, පසුව අපට අනාවරණ වුණේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුදැනුම මත මෙම ශාක කපා දමා ඇති බවටයි.

***************************************

(04.12.2020 – 14:49 +0530 – hirunews.lk/sinhala)

ආබාධිත තැනැත්තන් සඳහා වන ජාත්‍යන්තර දිනය වෙනුවෙන් කොළඹ නෙළුම් කුලුන දම් පැහැයෙන් ආලෝක ගැන්වීම ඊයේ (03) රාත්‍රියේ සිදු කෙරුණා.

මෙම දිනය වෙනුවෙන් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාවේ එක පියවරක් ලෙසයි මෙය සංවිධානය කර තිබුණේ.

***************************************

(04.12.2020 – 15:15 +0530 – hirunews.lk/sinhala)

විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ වැඩ භාර ගෙන තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ අද (04) දිනයේදී ඔහු සිය රාජකාරි කටයුතු ආරම්භ කළ බවයි.

සෞඛ්‍ය සේවයේ වසර 34 ක සේවා පලපුරුද්දක් තිබෙන විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා මීට පෙර කරාපිටිය ශික්ෂණ රෝහලේ සහ ළමා රෝහලේ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළා.

පෞද්ගලි වෛද්‍ය සංවර්ධන අධ්‍යක්ෂ, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂ සහ ජාතික ඖෂධ අධිකාරියේ සභාපතිවරයා ලෙස ද ඔහු කටයුතු කළා ෴

***************************************

(04.12.2020 – 15:36 +0530 – hirunews.lk/sinhala)

බුරවී සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයක දැක්වෙන්නේ මේ හේතුවෙන් තවදුරටත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බවයි.

ඒ අනුව, උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වල ඕනෑම වෙලාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

(04.12.2020 – 19:28 +0530 – hirunews.lk/sinhala)

පාම් ඔයිල් සමාගම් දෙකක් (2) නිසා ශ්‍රී ලංකා රේගුවට රුපියල් මිලියන 6130 ක් අහිමිවී ඇති බව පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේදි අනාවරණ වී තිබෙනවා.

2013 සිට 2016 වර්ෂය දක්වා කාලය ඇතුළත මෙරටට පාම් ඔයිල් ආනයනය කළ ප්‍රධාන සමාගම් 02 ක් නිසා මෙම පාඩුව සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ශ්‍රී ලංකා රේගු නිලධාරින්ගේ නොසැලකිලිමත්භාවය නිසා අදාළ කාලපරිච්ඡේදය තුළ නිවැරදි භාණ්ඩ සංයෝජිත වර්ගීකරණ යටතේ නිශ්කාෂනය නොකිරීමෙන් මෙම මුදල අහිමිව ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව විගණන විමසුමකින් හෙළිදරව් කර තිබෙනවා.

එමෙන්ම, 2013 වසරේ සිට ආනයනකරුවන් විසින් විශේෂ කාර්යයන් සඳහා ආනයනය කළ වාහන, ද්විත්ව කාර්ය වාහන ලෙස ලියාපදිංචි කිරීම නිසා බදු වශයෙන් ලැබිය යුතු රුපියල් මිලියන 220 ක් රජය අහිමිවී තිබෙනවා.

ඊට අමතරව, 2010 සිට 2019 දක්වා කාලයෙහි විශේෂිත වෑන් රථ 443 ක් සඳහා මිලියන 3 බැගින් බදු නියම කර අවම වශයෙන් රුපියල් මිලියන 1300 ක මුදලක් රජයට අය කර ගත හැකිව තිබූ බව ද මෙහිදී අනාවරණ වුණා.

එමෙන්ම, 2010 සිට 2014 දක්වා වෑන් රථ 10 ක් සහ ලොරි රථ 414 ක් විශේෂිත කාර්ය වාහන ලෙස ආනයනයෙන් විශාල රේගු බදු අක්‍රමිකතාවක් සිදුවී ඇති බව ද විගණනයෙන් පෙන්වා දී තිබූ කරුණු ද පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම්කාරක සභාවේදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා ෴

***************************************

(04.12.2020 – 19:55 +0530 – hirunews.lk/sinhala)

අසාධාරණව සිරගත කළ පුද්ගලයින් නීත්‍යානුකූලව වහා නිදහස් කළ යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (04) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

මේ අතර, පසුගිය යහපාලන රජයේ දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් ඊයේ (03) හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ ‘බලය’ වැඩසටහනට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මෙන්ම අද (04) පැවති මාධ්‍ය හමුවලදී රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු මහතා සහ සිසිර ජයකොඩි මහතා අදහස් පළ කළා.

***************************************

(04.12.2020 – 20:23 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකන් ජාතික ගුවන් සේවය ලෝක සංචාරක සම්මාන උළලේදී අඛන්ඩව පස්වන (5) වරටත් ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.

මෙවර ලෝක සංචාරක සම්මාන උළෙල මොස්කව් නුවරදී පසුගියදා පැවැත්වුණා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය 2016 වසරේ සිට මෙම සම්මානය දිනාගෙන ඇති අතර, ලෝක සංචාරක සම්මේලන ආසියානු සම්මාන උළලේදී, ආසියාවේ ප්‍රමුඛ අලෙවිකරණ සම්මානය ද ජයග්‍රහණය කළා ෴

***************************************

(04.12.2020 – 20:31 +0530 – hirunews.lk/sinhala)

බැඳුම්කර වංචාවට අදාලව මෙරට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට අදාල කරුණු සම්බන්ධයෙන්, නීතිපති දප්පුල ද ලිවේරා මහතා සිංගප්පූරු නීතිපතිවරයාට පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා ෴

***************************************

(04.12.2020 – 21:01 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ වියළි කලාපයේ බහුලව සරුවට වැවෙන මුරුංගා ඔබට නුහුරු නුපුරුදු ආහාරයක් නෙවෙයි.

නමුත් ඔබ දැන සිටියාද මෙය බහු සෞඛ්‍ය වාසි ලබා දෙන ශාකයක් බව.

බෝ නොවන රෝග රැසකට දිව ඔසුවක් මෙන්ම මෙන්ම ප්‍රතිශක්තීකරණය ඉහළ නංවන මුරුංගා පිළිබඳ අප කළ සොයා බැලීමක් මේ.

=========================================

(04.12.2020 – 14:56 +0530 – hirunews.lk/sinhala)

තවත් කෝවිඩ්-19 රෝගීන් 406 දෙනෙකු සුවය ලබා අද (04) දිනයේ රෝහල් වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 19,438 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 26,038 ක් ෴

මහනුවර නගර සීමාවේ සියලුම පාසල් දෙසැම්බර් 11 දක්වා තවත් සතියක කාලයක් වසා තැබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පවසනවා ෴

+++++++++++++++++++++++

(04.12.2020 – 15:05 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නත් ලබා ගන්නා පුද්ගලයන්ට විද්‍යුත් එන්නත් සහතිකයක් ලබාදීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා.

එමඟින් වැඩිදුරටත් සඳහන් කළේ එය සාමාජික රටවල් අතර කොවිඩ්-19 වැළැක්වීමේ වැඩසටහනට රුකුලක් වනු ඇති බවයි.

එමෙන්ම, කොවිඩ්-19 එන්නත ලැබූ පුද්ගලයන් හඳුනා ගැනීමට සහ අධීක්ෂණය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යුත් සහතිකය වැදගත් වනු ඇති.

කෙසේ නමුත් එය කොවිඩ්-19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ ගමන් බලපත්‍රයක් නොවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළේ.

මේ අතර, ලබන වසරේ පළමු කාර්තුව තුළ සිය කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 125 ක් නිපදවීමට සැලසුම් කර ඇති බව මොඩර්නා ඖෂධ නිෂ්පාදන සමාගම සඳහන් කළා.

ඉන් වැඩි ප්‍රමාණයක් එනම්, මිලියන 85 ත් 100 ත් අතර ප්‍රමාණයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ බෙදා හැරීමට අපේක්ෂා කරන බවයි මැසචුසෙට් පිහිටි මොඩර්නා මූලස්ථානය නිවේදනය කළේ ෴

++++++++++++++++++++++

(04.12.2020 – 15:32 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලබන සියලු සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු අද (04) සිට සංචාරකයින් සඳහා නැවත විවෘත කර තිබෙනවා.

ඒ අනුව, දෙසැම්බර් මාසයට අදාළව සංචාරක නිවාස සහ කඳවුරු බිම් කලින් වෙන් කර ගත් සංචාරකයින්ට නියමිත දිනයන්හි ඒවායේ නවාතැන් ගත හැකි බවයි වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගිය මස දෙවනදා සිට මේ මස 03 වනදා දක්වා අදාළ ස්ථාන වෙන් කර ගත් අයට ලබන වසරේ මාර්තු 31 දක්වා වන කාලය තුළ නව දිනයක් වෙන් කර ගත හැකි බව ද වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

+++++++++++++++++++++++

(04.12.2020 – 18:30 +0530 – hirunews.lk/sinhala)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ මහජන ආලින්දය හෙට (05) දිනයේ සිට නැවතත් අමුත්තන් සදහා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව එක් ගුවන් මගියෙකුට එම මහජන ආලින්දය වෙත එක් අමුත්තෙකු පමණක් රැගෙන ඒමට අවසර හිමිවනවා.

එහිදී පැමිණෙන අමුත්තන් සහ ගුවන් මගීන් මුහුණු ආවරණ පැළදීම සහ සමාජ දුරස්ථභාවය රැකීමට කටයුතු කිරීම අනිවාර්ය වනු ඇති.

ගුවන් තොටුපළ නිවේදනය කරන්නේ මෙලෙස පැමිණෙන අමුත්තන් තවදුරටත් ගුවන් තොටුපළ මඟින් ක්‍රියාත්මක කරනු ලබන සෞඛ්‍ය පිළිවෙත් සහ මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බවයි.

එසේම කොවිඩ්-19 ගෝලීය වසංගත තත්වය මත විදේශයන් හී සිට පැමිණෙන පුද්ගලයින් අනිවාර්ය නිරෝධායන ක්‍රියාපටිපාටියට යොමු කිරීම හේතුවෙන්, තම ගමන් මලු දීමනාව (තීරු බදු සහනය යටතේ භාණ්ඩ මිලදී ගැනීම) භාවිත කිරීමට නොහැකි වූ ගුවන් මගීන්ට එම භාණ්ඩ මිලදී ගැනීමටද සහන කාලයක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව තම නිරෝධායන කාලය අවසන් වූ දා සිට උපරිම මාසයක කාලයක් තුල ගුවන් තොටුපළ වෙත පැමිණ එහි පැමිණීමේ පර්යන්තයේ පිහිටි තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ වෙළෙඳසැල් වලින් භාණ්ඩ මිලදී ගැනීමට ඉඩ ප්‍රස්ථා සළසා දී තිබෙනවා.

ඒ සදහා 011 226 3017 යන දුරකථන අංකය අමතා වැඩිදුර තොරතුරු ලබාගෙන ලියාපදිංචි විය යුතු බවයි ගුවන් තොටුපළ නිවේදනය කරන්නේ ෴

++++++++++++++++++++

(04.12.2020 – 18:43 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 252 ක් අද (04) දිනයේ හඳුනාගෙන තිබෙනවා.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඔවුන් සියලුදෙනා ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 26,290 දක්වා ඉහළ ගියා ෴

+++++++++++++++++++++

(04.12.2020 – 19:22 +0530 – hirunews.lk/sinhala)

බුරවී සුළි කුණාටුව මන්නාරම් බොක්කෙන් ඉන්දියාව දෙසට යොමුවද්දී, නැවතත් දැඩි පීඩන අවපාතයක් බවට දුර්වලවීම හේතුවෙන් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය එහි දිස්ත්‍රික්ක 07 ක් සඳහා පැනවූ රතු නිවේදනය ඉවත් කර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, තමිල්නාඩුවේ වෙරළාසන්න ප්‍රදේශවලින් ජනතාව ඉවත් කරගෙන ඇති අතර, ආපදා තත්ත්වයකදී මුහුණදීම සඳහා සූදානමින් සිටින බව සඳහන්.

දුර්වල වූ සුළි කුණාටුවෙන් රාමනාදපුරම් සහ ටියුටිකොරීන් හරහා දකුණු ඉන්දියාවට ඇතුළුවේයැයි විශ්වාස කෙරෙනවා.

+———-

එය මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී මන්නාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව මන්නාරමට කිලෝමීටර් 145 ක් බටහිර දෙසින් ස්ථානගත වී පවතින බවයි ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එය තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින අතර එහි බලපෑම ක්‍රමයෙන් අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත්, තවදුරටත් ධීවර හා නාවික ප්‍රජාවට මුහුදු යාමෙන් වළකින ලෙසටයි ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

විශේෂයෙන් පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං ඇතිවිය හැකි අතර, මුහුද රළු විය හැකියි.

සුළි කුණාටුවේහි බලපෑම ක්‍රමයෙන් අඩුවීම හේතුවෙන් බහුදින යාත්‍රා ධීවරයින්ට පමණක් ධීවර කටයුතුවල නිරත වීමට හැකියාව පවතින බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ.

++++++++++++++++++++

(04.12.2020 – 19:35 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත මර්දන මාර්ගෝපදේශ අනුව පසුගියදා මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරි තත්ත්වයෙන් මියගිය සිරකරුවන්ගේ දේහ භූමදානය කිරීමට නීතිමය බාධාවන් පවතින බව රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඇතුළු සෞඛ්‍ය අංශ නිලධාරින් අද (04) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය මීට අදාළව අධිකරණයට කරුණු දක්වා තිබූ අතර ඔවුන් එහිදී සඳහන් කර තිබුණේ මියගිය කොරෝනා ආසාදිත රැඳවියන්ගේ සිරුරු ආදාහනය කිරීම තුලින් එකී ඝාතන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධාවන් එල්ල විය හැකි බවයි.

මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරියෙකුට අද (04) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස වත්තල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඒ අනුවයි.

කෙසේ වෙතත්, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් කිසිදු නියෝජිතයෙකු අද (04) අධිකරණයට පැමිණ සිටියේ නැහැ.

ඒ අනුව, වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල, රාගම පොලිසීයේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේ මීළග නඩු වාරය යෙදෙන ලබන 11 වනදා නීතිපති දෙපාර්තමේන්තු නිලධාරියා අධිකරණයට කැඳවන ලෙසයි.

එසේම, මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරි සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් සාක්ෂි ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් අද (04) දිනයේත් එම බන්ධනාගාරයට පැමිණ තිබුණා.

+++++++++++++++++++++

(04.12.2020 – 19:42 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 252 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔවුන් සියලුදෙනා ආශ්‍රිතයන් වන අතර, ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 26,290 දක්වා ඉහළ යනවා.

අද (04) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 406 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 19,438 ක්.

මේ අතර, ඊයේ (03) දිනයේදී දේශීය වශයෙන් හඳුනා ගැනුණු ආසාදිතයින් 627 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැනුණු අතර, එම සංඛ්‍යාව 402 ක්.

කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වූ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා දියවැඩියාව සහ වකුගඩු වැනි බෝ නොවන රෝගවලින් පෙලෙන පුද්ගලයින්ට මෙම තත්ත්වය මත ආතතියට පත් නොවන ලෙස දැනුම් දුන් අතර, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරද මහතා එහිදී අදහස් පළ කළා.

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා ක්‍රීඩාංගනයට යෑමට උත්සාහ නොකරන ලෙස එහිදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉල්ලීමක් කළා.

මේ අතර, පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් මහනුවර නගර සීමාවේ පිහිටි පාසල් 45 ක් ලබන සතිය තුළත් වසා දැමීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා ප්‍රකාශ කළා.

එසේම, විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අද (04) වැඩ භාර ගත්තා.

කොරෝනා හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලබන සියලු සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතුද අද (04) සිට සංචාරකයින් සඳහා නැවත විවෘත කර තිබෙනවා.

+++++++++++++++++++++

(04.12.2020 – 21:43 +0530 – hirunews.lk/sinhala)

අද (04) දිනට තුල තවත් කොවිඩ් 19 ආසාදිතයින් 265 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඔවුන් සියලුදෙනා ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව අද (04) දිනය තුල මෙරටින් මේ වනවිට වාර්තා වූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 517 ක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *