නිරෝධායනයට ගිය ගැබිණි මවට දරුගැබ අහිමිවේ

නිරෝධායනයට ගිය ගැබිණි මවට දරුගැබ අහිමිවේ

*********************************************

නිරෝධායනයට ගිය ගැබිණි මවට දරුගැබ අහිමිවේ

(28.11.2020 – 21:16 +0530 – hirunews.lk/sinhala)

මත්ස්‍ය ව්‍යාපාරයේ නිරත කැළණිය, පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිත බවට හදුනා ගැනීම හේතුවෙන් මඩකලපුව ප්‍රතිකාර මධ්‍යස්තානයක් වෙත යොමු කර තිබෙනවා.

ඒ සමඟ ඇයගේ හය (6) මස් ගැබිණි බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින් සියලු දෙනා දියතලාව ප්‍රදේශයේ වෛද්‍ය කඳවුරකට රැගෙන ගොස් තිබුණේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමටයි.

කෙසේ වුවත් ගමන් විඩාව ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් ඇයට සිය දරු ගැබ අහිමිවී ඇති අතර සිදුකළ පී.සි.ආර්. පරීක්ෂණවලින් ඇය ආසාදිත නොමැති බවට ද තහවුරු වී තිබෙනවා.

+++++++++++++++

+++++++++++++++++++++++++

(28.11.2020 – 18:26 +0530 – hirunews.lk/sinhala)

අද (28) දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයන් 274 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 22,775 දක්වා ඉහළ ගියා.

මේ අතර කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 430 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සමස්ත සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 16,656 දක්වා ඉහළ යනු ඇති.

මේ දක්වා මෙරටින් කොරෝනා මරණ 107 ක් වාර්තාවී තිබෙනවා.

ඉන් මරණ 94 ක්ම සිදුව ඇත්තේ කොරෝනා දෙවන රැල්ල ආරම්භ වූ ඔක්තෝම්බර් 04 වනදායින් පසුව වීම විශේෂත්වයක්.

පළමු කොරෝනා රැල්ල තුළ මරණ 13 ක් පමණක් වාර්තා වූ අතර, දෙවන කොරෝනා රැල්ල තුළ මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති කොරෝනා මරණවලින් 40 ක්ම අවුරුදු 71 ඉක්මවූවන් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

එය ප්‍රතිශතයක් ලෙස දැක්වෙන්නේ සියයට 42.55 ක් ලෙසයි.

එමෙන්ම අවුරුදු 61 ත් 70 ත් අතර කොරෝනා මරණ විස්සක් සිදුව ඇති අතර, වයස අවුරුදු 51 ත් 60 ත් අතර මරණ 16 ක් සිදුව තිබෙනවා.

අවුරුදු 41 ත් 50 ත් අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 11 ක්.

එමෙන්ම අවුරුදු 31 ත් 40 ත් අතර මරණ 4 ක් සිදුව ඇති අතර, අවම මරණ අනුපාතයක් එනම් ප්‍රතිශතයක් ලෙස සියයට 3.19 ක් සිදුව ඇත්තේ වයස අවුරුදු 10 ත් 30 ත් අතර මරණයි.

++++++++++++++++++++++

(28.11.2020 – 19:19 +0530 – hirunews.lk/sinhala)

රුවන්වැල්ල – අඟුරුවැල්ල නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය වෛද්‍යවරයෙකුට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණි 500 කට වැඩි පිරිසක් නිරෝධායනයට යොමුකර තිබෙනවා.

රුවන්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි චත්ත මඬඅටුව මහතා සඳහන් කළේ සෞඛ්‍ය නිර්දේශ නොතකමින් අදාළ වෛද්‍යවරයා ප්‍රතිකාර සිදුකර ඇති බවට ජනතාවගෙන් පැමිණිලි ලැබී ඇති බවයි.

+++++++++++++++++++++++++

(28.11.2020 – 19:39 +0530 – hirunews.lk/sinhala)

දැනට හුදකලා කර ඇති බණ්ඩාරගම – අටළුගම ප්‍රදේශයේ ඇතැම් පිරිස් පී.සී.ආර්. පරීක්ෂණවලට පෙනී නොසිටින බවට වාර්තාවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ සෞඛ්‍ය උපදෙස් ලැබී තිබියදී පී.සී.ආර්. පරීක්ෂණවලට පෙනී නොසිටින පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවයි.

බණ්ඩාරගම – අටලුගම ප්‍රදේශවල ජනතාව ඔරු සහ පාරු උපයෝගී කරගනිමින් කිරිමන්තුඩාව ප්‍රදේශයෙන් බොල්ගොඩ ගඟ හරහා වෙනත් ප්‍රදේශ වෙත සංක්‍රමණය වීම වැළැක්වීමට නාවික හමුදාව විශේෂ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර, නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් සොයාබැලීමට ඩ්‍රෝන යානා යොදාගනිමින් අද (28) විශේෂ නිරීක්ෂණ මෙහෙයුමක්ද ක්‍රියාත්මක කළා.

++++++++++++++++++++

(28.11.2020 – 19:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයේ වැඩිම බලපෑමකට ලක්ව ඇති කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් ආසාදිතයන් තවදුරටත් වැඩි වශයෙන් වාර්තාවෙමින් පවතින අතර, අද (28) දිනයේත් පී.සී.ආර්. පරීක්ෂණ දහසකට (1000) වැඩි සංඛ්‍යාවක් සිදුකළ බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා.

මීට සමගාමීව ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂාවන්ද අද (28) දිනයේත් ස්ථාන කිහිපයක සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් වෛද්‍ය රසායානාගාර වෘත්තිකයන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ ප්‍රතිදේහ පරීක්ෂාවන්ට සමගාමීව එම පරීක්ෂාවන්ට ලක්වන පිරිස් සඳහා ස්ථානීය පී.සී.ආර්. පරික්ෂණ ද සිදුකළ යුතු බවයි.

කොළඹ නගර සීමාවේ දැනට හුදකලා කර ඇති මහල් නිවාසවල ජනතාව දෙසැම්බර් මාසයේද ජංගම වෛද්‍ය සායන ක්‍රියාත්මක කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබෙනවා.

පසුගිය නොවැම්බර් මස 16 වනදා සිට මෙම ජංගම සායන ක්‍රියාත්මක කෙරුණු අතර, ජනතාවගේ දැඩි ඉල්ලීම මත ලබන මාසයේදීත් එය ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව එම සායන මෙත්සඳ සෙවණ, මිහිජය සෙවණ, රන්මිණි සෙවණ, සිරිසඳ උයන ඇතුලු මහල් නිවාස සංකීර්ණ 17 ක ක්‍රියාත්මකයි ෴

++++++++++++++++++++

(28.11.2020 – 22:27 +0530 – hirunews.lk/sinhala)

අද (28) දිනයේ මෙරටින් තවත් කෝවිඩ් 19 ආසාදිතයින් 213 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මොවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

අද (28) දිනයේ මේ වනවිට හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 487 ක්.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 22,988 ක් දක්වා ඉහළ ගියා ෴

මෙරටින් තවත් කොරෝනා මරණ දෙකක් අද (28) වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 109 ක් දක්වා ඉහළ ගියා.

කොවිඩ් ආසාදනය වීමෙන් අද දිනයේ මියගොස් ඇත්තේ කොළඹ 08 පදිංචිව සිටි 96 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ෴

++++++++++++++++++

(29.11.2020 – 07:25 +0530 – hirunews.lk/sinhala)

දැනට හුදෙකලා කර ඇති කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හෙට (30) අලුයම පහේ (05:00) සිට හුදෙකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ වෙරළබඩ සහ පිටකොටුව පොලිස් බල ප්‍රදේශවල හුදෙකලා තත්ත්වය ඉවත් කරන අතර, ෆර්ගියුසන් පාර හැර මට්ටක්කුලිය පොලිස් බල ප්‍රදේශයේ සෙසු ප්‍රදේශ ද හුදෙකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම සහ මීගමුව පොලිස් බල ප්‍රදේශවලද හෙට (30) අලුයම පහේ (05:00) සිට හුදෙකලා බව ඉවත් කෙරෙනු ඇති.

කෙසේ වෙතත්, වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය, සාලමුල්ල සහ විජයපුර යන ග්‍රාමසේවා වසම් හෙට (30) උදෑසන පහේ (05:00) සිට හුදෙකලා කිරීමට නියමිතයි.

එමෙන්ම, මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගියුසන් පාරේ දකුණු ප්‍රදේශයද හුදෙකලා කර තිබෙනවා.

වැඩිදුර තොරතුරු ඇතුලත් අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් :

+++++++++++++++++++++

(29.11.2020 – 08:43 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුර මේ වනවිට 19,450 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ඊයේ (28) දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයන් 487 දෙනෙකු වාර්තාවීමත් සමඟයි.

මේ වනවිට මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ 22,988 ක් ලෙසයි.

එමෙන්ම, තවත් ආසාදිතයන් 430 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත ඊයේ (28) පිටව යෑමත් සමඟ සුවය ලැබූ සමස්ත ආසාදිත සංඛ්‍යාවද 16,656 දක්වා ඉහළ ගියා.

තවදුරටත් පුද්ගලයින් 6,225 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර, ඊයේ (28) දිනයේදී තවත් කොරෝනා ආසාදිත මරණ දෙකක් (2) මෙරටින් වාර්තා වුණා.

ඒ සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 109 දක්වා ඉහළ ගියා.

කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විට මියගොස් ඇති අතර, මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය සමඟ කොවිඩ් 19 ආසාදනය නිසා උග්‍ර වූ නිධන්ගත වකුගඩු රෝගයක්.

කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 96 හැවිරිදි කාන්තාවක්ද නිවසේදී මියගොස් ඇති අතර, ඇදුම රෝගය සමඟ ඇති වූ කොවිඞ් 19 නියුමෝනියාව ඇගේ මරණයට හේතුව ලෙස හඳුනාගෙන තිබෙනවා.

කොරෝනා වෛරසයේ වැඩිම බලපෑමකට ලක්ව ඇති කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් ආසාදිතයන් තවදුරටත් වැඩි වශයෙන් වාර්තාවෙමින් පවතින අතර, ඊයේ (28) පී.සී.ආර්. පරීක්ෂණ දහසකට (1000) වැඩි සංඛ්‍යාවක් සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තවමත් කොරෝනා වෛරසයේ බලපෑමෙන් මිදී නොමැති බවයි.

එය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට පාලනය කළ නොහැකි මට්ටමක පවතින බවයි ඔහු කියා සිටියේ.

දැනට කොළඹ ප්‍රදේශ කිහිපයක් තවමත් හුදකලා කර ඇති අතර, මහල් නිවාස අටක් (8) ද ඊට අයත්.

මේ අතර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ කොරෝනා ආසාදිතයන් හඳුනාගන්නා ප්‍රදේශවලට ක්‍ෂණික සංචරණ සීමා ක්‍රියාත්මක කළ යුතු බවයි.

මේ අතර, රුවන්වැල්ල – අඟුරුවැල්ල නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය වෛද්‍යවරයෙකුට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයන් හඳුනාගැනීම තවදුරටත් සිදු කෙරෙන බව රුවන්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළා.

දැනටමත් ආශ්‍රිතයන් දහසකට (1000) වැඩි පිරිසක් පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති බවයි එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ.

එමෙන්ම කොරෝනා ආසාදිතයෙකු බගවන්තලාව නගරයේ වෙළඳසැල් කිහිපයකට පැමිණි බවට තහවුරු වීමත් සමඟ එම වෙළඳසැල් තාවකාලිකව වසා දමා එහි සේවකයින් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා ෴

++++++++++++++++++++

(29.11.2020 – 11:12 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (28) වාර්තා වූ ආසාදිතයින් 487 දෙනා අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ඒ අතරින් 223 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 78 ක් සහ මහනුවර ප්‍රදේශයෙන් 15 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව, පෑලියගොඩ සහ මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුර 19,447 ක් දක්වා ඉහළ යනවා ෴

++++++++++++++++++

(29.11.2020 – 12:59 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් කොරෝනා රෝගීන් 3 දෙනෙකු වාර්තා වීමත් සමඟ දඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් හෙට (30) සිට සිකුරාදා දක්වා සතියක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මීට අමතරව, ගලේවෙල – තලකිරියාගම මහා විද්‍යාලය ද ලබන සිකුරාදා දක්වා වසා තැබීමට තීරණය කළ බවයි ෴

====================================

(28.11.2020 – 19:49 +0530 – hirunews.lk/sinhala)

තරුණ හා ක්‍රීඩා, ජල සම්පාදන, විදුලිබල, බලශක්ති යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් අද (28) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා.

එහිදී විවාදයට එක්වෙමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලිසබ්රි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, කබීර් හෂීම්, අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල මහතා සහ ඩලස් අලහප්පෙරුම මහතා අදහස් දක්වා සිටියා.

***************************************

(28.11.2020 – 22:12 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (27) මෙරටට පැමිණි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් අද (28) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසුණා.

ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඉන්දු – ලංකා ආරක්ෂක සහයෝගීතාව, ඉන්දීය සාගර කලාපයේ සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම, ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය වැනි කරනා මෙම හමුවේදී සාකච්ඡාවට භාජනය වී තිබෙනවා.

ඉන්දියාවේ සහභාගිත්වය ඇතිව ආරම්භ කර ඇති යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් නිම කළයුතු බවට දෙපාර්ශ්වයම මෙහිදී එකඟ වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කළේ.

මෙරට ආර්ථික සංවර්ධනයට ඉවහල් වන නව ක්ෂේත්‍ර හඳුනාගෙන ඒවායේ ආයෝජනය කිරීමට ඉන්දියාවේ ඇති කැමැත්ත ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.

මේ වන විටත් සතුටුදායක මට්ටමක පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා සහ ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා එහිදී අවධාරණය කළා ෴

***************************************

ඇත්තටම කවුද මේ වනජීවීයේ විජේකෝන්…

(29.11.2020 – 08:00 +0530 – lankaleadnews.com)

විමලවිර කියන හරකා අහනවා, ‘ඇයි තමුසේ ලොකු ටෝක් දෙන්නේ…ලොක්කෙක් ද?’ කියලා…
දන්නේ නැති නිසා මේ ටික ලියන්නේ. විමලවිර කියන හරකාට දැන ගන්න.

කුමාරසිරි විජේකෝන් වනජීවීයට බැදෙන්නේ 2000 වර්ෂයේ දී. ඒ වනජීවී නියාමකයෙක් ලෙස. වසර 20 කට පසු ඔහු අද තුන්වන ශ්‍රේණියේ අඩවි ආරක්ෂකයෙක්. තවමත් තියෙන්නේ පොඩි පඩියක්. ඔයාට වගේ ලක්ස ගණන් පඩියක් නෑ. යාන-වාහන නෑ. අතට පයට සේවකයෝ නෑ විජේකෝන්ට.

එයාගේ සහ ඔයාගේ එකම සමානකම තමයි දෙන්නාටම මේ වියදම් දෙන්නේ අපේ බඳු මුදල්වලින් වීම. වෙනස තමයි එක් කෙනෙක් ඉතාම අඩු මුදලක් අරගෙන ඒ මුදලටත් වඩා විශාල සේවාවක් රටට කිරීම. අනෙකා ඒ ආකාරයටම ලක්ස ගණනක් අරන් දුෂිතයන් එක්ක ගේම් ගැසීම.

කොහොම වුනත් මේ ටිකත් කියන්නම්. විජේකෝන් ජල ගැලුම් නිම්නයේ අනවසර පදිංචිකරැවන් ඉන්න ගම් පිටින් නඩු කියලා ඉවත් කළ අයෙක්. එක ගමක පවුල් 51 ක් හිටියා. විජේකෝන් 51 කම ඉවත් කළා. ඒ ජල ගැලුම් නිම්නේ.

ඒ වගේම තමයි වෙහෙරගොඩයායේ අනවසර වගාකරැවන් 219 ටම නඩු දැම්මේ විජේකෝන්. ඒ නඩුත් දින්නා.

2005 වර්ෂයේ දී පොළොන්නරැවේම ඉන්න කොට ඒ වනජීවී බීට්ටුවට මැර ප්‍රහාරයක් එල්ල වුණා. අප දන්න පරිදි ප්‍රහාරය පිටුපස හිටියේ මැණික් මුදලාලිලා වගයක්. ඒ ප්‍රහාරයේදී එක් වනජීවී නිලධාරියෙක් ජීවීතය පුජා කළා. එච්.ඒ. ධනසිරි ඒ නිලධාරියාගේ නම. එතන හිටපු ඉතුරු තුන් දෙනාත් (3) තුවාල ලැබුවා. විජේකෝනුත් එතන හිටියා.

විජේකෝන්ට පහර දුන් මැරයෝ ඔහුව ට්‍රැක්ටරයක පිටුපස නංව ගෙන පාරට ගෙනවා. ඔහු හිටියේ සිහිසුන්ව. කකුල් දෙකම කඩලා තිබුනේ. පස්සේ ඔවුන් ට්‍රැක්ටරයේ පිටුපස ඔසවා විජේකෝන්ව පාරට දැම්මා. ඉන් පසුව බස් රථයකට යට කරන්නයි හැදුවේ.

මාස හයක් (6) ඔහු ඇදේ හිටියා. අග්‍රහාර රක්ෂණයෙන් ඔහුට වන්දි වශයෙන් ලැබුනේ රුපියල් තුන් දහස් ගණනක් විතරයි. ඔහු ලියුම් දෙකකින්ම ඉල්ලුවා ඒ මුදල වනජීවී අරමුදලට බැර කරන්න කියලා. විජේකෝන් එහෙම කෙනෙක්.

ඇත්තටම මේ හරකාට වඩා වනජීවීයේ කුමාරසිරි විජේකෝන් ලොක්කෙක්… අපි රැක ගත යුතු උතුම් මිනිසෙක්…

නයනක රන්වැල්ල

***************************************

පැහැරගෙන පැමිණි බව කී කෝටිපති ජපන් දියණිය සියල්ල හෙළි කරයි.. අම්මා තමන් ඉදිරිපිට ලාංකික අනියම් සැමියෙකු ලවා දැරියව අපයෝජනය කරවලා

(29.11.2020 – 09:24 +0530 – truenews.lk)

බාල වයස්කාර ජපන් ජාතික තරුණියක් මෙරටට රැගෙන ඒම සහ ඇය ගැබිණියක් වීම හේතුවෙන් මේ වනවිට සිරගතවී සිටින තරුණයා හා සම්බන්ධ සිද්ධිය වෙනත් දිශාවකට යොමුවී තිබෙනවා.

මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ අදාළ තරුණිය සමඟ පෙම් සබඳතාවක් ඇති කරගත් ශ්‍රී ලාංකික තරුණයාටයි.

කෙසේ වෙතත් තරුණියගේ මවද, ශ්‍රී ලාංකිකයෙකු සමඟ සබඳතා පවත්වාගෙන යන බවට මේ වනවිට හෙළිවී තිබෙනවා.

තම දියණිය ජපානයේ සිට ශ්‍රී ලාංකික තරුණයෙකු පැහැරගෙන පැමිණි බවට මෙම කාන්තාව පසුගිය මාර්තු මාසයේදී මෙරට පොලිසියට පැමිණිලි කර තිබුණා.

පසුව මීගමුව කොච්චිකඩේ පොලීසිය විසින් අදාළ යුවළ සොයා විමර්ශන ආරම්භ කර තිබූ අතර, ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ වයික්කාල ප්‍රදේශයේදියි.

මෙම තරුණයා සහ 16 හැවිරිදි ජපාන තරුණිය පසුගිය 26 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ශ්‍රී ලාංකික තරුණයා දෙසැම්බර් මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එමෙන්ම, මේ වනවිට ගැබිනියක් බවට පත්ව ඇති ජපාන තරුණිය පරිවාස භාරයට යොමු කිරීමටයි මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

එමෙන්ම, මෙම සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැණුනු තවත් 3 දෙනෙකු ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.

ජපන් ජාතික තරුණියගේ පෙම්වතා වන ශ්‍රී ලාංකික තරුණයාට පොලීසිය චෝදනා තුනක් යටතේ අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

එම චෝදනා වන්නේ බාල වයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් පැහැරගෙන ඒම, ස්ත්‍රී දූෂණය සහ ස්ත්‍රි දූෂණයකට අදාළව ආධාර අනුබලදීමයි.

ජපානයේ පවතින නීතියට අනුව වයස අවුරුදු 13 ඉක්මවූ දැරියකට සහකරුවෙකු හා ලිංගිකව එක්විය හැකි අතර, වයස අවුරුදු 16 ඉක්මවූ පසු විවාහ වීමටද හැකියාව පවතිනවා.

කෙසේ වෙතත් තරුණයෙකුට අවුරුදු දහ අටේදී විවාහ වීමේ හැකියාව පවතින බවයි වාර්තාවන්නේ.

එහෙත් මෙම නීතිය මෑතකදී සංශෝධනය වී ඇති අතර, ඒ අනුව තරුණියකට විවාහ වීමට හැකි අවම වයස අවුරුදු 18 දක්වා ඉහළ දමා තිබෙනවා.

කෙසේ වෙතත් එම නීතිය වලංගු වන්නේ 2022 වසරේ සිටයි.

ඒ අනුව අදාළ තරුණිය ජපාන නීතියට අනුව වරදකරුවෙකු කිරීමේ හැකියාවක් නැහැ.

කෙසේ වෙතත්, ඇය සහ අදාළ තරුණයා මීට මාස පහකට පෙර මෙරටට පැමිණ ඇත්තේ මෙම ජපාන ජාතික තරුණියගේ මව මෙම ප්‍රේම සබඳතාවට විරුද්ධත්වය පළ කිරීම හේතුවෙන් බවට අනාවරණ වූ බව කොච්චිකඩේ පොලිසිය සඳහන් කළා.

ශ්‍රී ලාංකික තරුණයා අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් සිටින අතරතුර සිය පෙම්වතියගේ නිවසේ තාවකාලිකව සේවය කරමින් සිටියදී මෙම සබඳතාව ගොඩනගාගෙන ඇති බවයි එහිදී හෙළිවුණේ.

එම ප්‍රේම සබඳතාවට ජපන් ජාතික තරුණියගේ මව මුලින් විරුද්ධත්වයක් පළ කර නැහැ.

පසුව මව, ශ්‍රී ලාංකික පුද්ගලයෙකු සමඟ සබඳතාවක් ගොඩනගාගෙන ඇති අතර, ඉන් අනතුරුවයි අදාළ කාන්තාව තම දියණියගේ ප්‍රේම සබඳතාවට විරෝධය පළ කර ඇත්තේ.

එම ජපන් ජාතික තරුණියගේ ප්‍රකාශයට අනුව මව සමඟ සබඳතා පවත්වන පුද්ගලයා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ හෝටලයක් තුළ දින කිහිපයක් මවගේ අනුදැනුම මත එම තරුණිය අපයෝජනයට ලක් කර තිබෙනවා.

ඒ, මීට පෙර මව සමඟ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවකදියි.

ඒ සම්බන්ධයෙන් දැනට පරිවාස භාරයේ සිටින පස්මස් ගැබිණි ජපාන තරුණිය මෙලෙස අදහස් පළ කළා :

“මම කැමැත්තෙන් තමයි ලංකාවේ තරුණයාත් සමඟ ආවේ. මට ගෙදරින් ගොඩක් කරදර සිද්ධ වුණා. මගේ මව සමඟ සබඳතාවක් පවත්වන ශ්‍රී ලාංකිකයෙක් ඉන්නවා. ඔහුගේ නම කොස්තා. ඔහු මට ගොඩක් අඩන්තේට්ටම් කළා. කිහිප වරක්ම මාව අපයෝජනය කළා. මගේ අම්මා සහ ඔහු සමඟ අවස්ථා කිහිපයක් මම සංචාරවලට එක්වුණා. කිහිපවරක් ලංකාවටත් ආවා. ඒ ආපු අවස්ථාවකදිත් මාව අපයෝජනය කළා. පළමු වතාවට මාව ඔහුගේ අපයෝජනයට ලක්වුණේ මගේ මව්රට වන ජපානයේදියි. ඒ මොහොතේ මගේ අම්මත් සිටියා. ඔවුන් දෙදෙනාම බීමතින් සිටියේ. මේ සියලු සිදුවීම් වුණේ මගේ මවගේ අනුදැනුම යටතේයි. මට ආයෙත් ජපානයට යන්න බැහැ. ගියෝතින් මගේ මව සහ ඇය සමඟ සබඳතා පවත්වන කොස්තා නැමති ශ්‍රී ලාංකික පුද්ගලයාගෙන් මට හිරිහැර වෙන්න පුළුවන්. මම කියන්නේ මගේ අම්මාව සහ කොස්තාව අත්අඩංගුවට ගන්න කියලා. මම කැමැත්තෙන් තමයි මගේ ශ්‍රී ලාංකික පෙම්වතා සමඟ විවාහ වුණේ. මට ආයෙත් ජපානයට යන්න බැහැ.”

***************************************

(29.11.2020 – 07:14 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – කොබෙයිගනේ – හාතලව ප්‍රදේශයෙන් දැදුරු ඔයේ සිදුවන වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු වැලි ජාවාරමේ නිරත ටිපර් රථයකට යට කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (28) රාත්‍රියේ මෙම වැලි ජාවාරම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා 05 දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

එහිදී වැලි ජාවාරම් කිරීමේ නිරත වූ ටිපර් රථයක් එම ස්ථානයෙන් පළා යෑමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී පොලිස් කොස්තාපල්වරයෙකු විසින් එය නතර කිරීමට උත්සාහ කර තිබෙනවා.

ටිපර් රථයේ රියදුරු විසින් එම පොලිස් කොස්තාපල්වරයා යටකර පළාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඉන් බරපතල තුවාල ලැබූ කොස්තාපල්වරයා නිකවැරටිය රෝහලට රැගෙන ගිය අතර, ඒ වනවිටත් ඔහු මියගොස් තිබුණා.

සිද්ධියෙන් මියගිය පොලිස් කොස්තාපල්වරයා 32 හැවිරිදි දෙදරු පියෙකු වන අතර, පළාගිය ටිපර් රථ රියදුරා සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴

+++++++++++

(29.11.2020 – 12:16 +0530 – hirunews.lk/sinhala)

පොලිස් කොස්තාපල්වරයෙකු යටකර ඝාතනය කර පලාගිය ටිපර් රථයේ රියදුරු නිකවැරටිය ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

සිද්ධියට අදාළ ටිපර් රථයද කුලියාපිටිය ප්‍රදේශයේදී අතහැර දමා තිබියදී සොයාගෙන තිබෙනවා.

කුරුණෑගල – කොබෙයිගනේ – හාතලව ප්‍රදේශයෙන් දැදුරු ඔයේ සිදුවන වැලි ජාවාරමක් වැටලීමට ගිය අවස්ථාවේදීයි මෙලෙස පොලිස් කොස්තාපල්වරයා වැලි ජාවාරමේ නිරත ටිපර් රථයට යටකර ඝාතනය කර ඇත්තේ.

ඊයේ (28) රාත්‍රියේ මෙම වැලි ජාවාරම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා 05 දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

එහිදී වැලි ජාවාරම් කිරීමේ නිරත වූ ටිපර් රථයක් එම ස්ථානයෙන් පළා යෑමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී පොලිස් කොස්තාපල්වරයෙකු විසින් එය නතර කිරීමට උත්සාහ කර තිබෙනවා.

ටිපර් රථයේ රියදුරු විසින් එම පොලිස් කොස්තාපල්වරයා යටකර පළාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඉන් බරපතල තුවාල ලැබූ කොස්තාපල්වරයා නිකවැරටිය රෝහලට රැගෙන ගිය අතර, ඒ වනවිටත් ඔහු මියගොස් තිබුණා.

සිද්ධියෙන් මියගිය පොලිස් කොස්තාපල්වරයා 32 හැවිරිදි දෙදරු පියෙක්.

***************************************

(29.11.2020 – 08:21 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ත්‍රෛපාර්ශවික සාකච්ඡාවක් කොළඹදී ඊයේ (28) පැවැත්වුණා

රටවල් තුන අතර පැවති සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාවය පිළිබඳ පැවති සිව් වන ත්‍රෛපාර්ශවීය සාකච්ඡාව මෙය වන අතර, අවසන් වරට මෙවැනි හමුවක් පවත්වා ඇත්තේ 2014 වසරේදී නවදිල්ලි නගරයේදීයි.

ඊයේ (28) පැවති සාකච්ඡාවට ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ මාලදිවයිනේ ආරක්ෂක ඇමතිනී මාරියා අහමඩ් ඩිඩී ද එක්ව සිටි අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සාකච්ජාවට සහභාගි වූයේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි.

එමෙන්ම, ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, මෙරට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සමඟ ද කලාපයේ සාමය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ඊයේ (28) සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය නීතිමය තත්ත්වය, සමුද්‍ර දූෂණයට අදාළ තොරතුරු, මුහුදු කොල්ලකරුවන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම්, ආයුධ ජාවාරම් වැනි කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවයේ අවධානය යොමුව ඇති බවයි එන්.ඩී.ටී.වී. වෙබ් අඩවිය සඳහන් කළේ.

මෙවැනි සාකච්ඡාවක් පැවැත්වෙන්නේ ඉන්දු – පැසිෆික් කලාපය තුළ සිය බලය ව්‍යාප්ත කිරීමට චීනය උත්සාහ දරන අතරවාරයේදී බවද එම වෙබ් අඩවිය ප්‍රකාශ කර තිබුණා.

මේ අතර දිවයිනට පැමිණි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ඊයේ (28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා.

ඒ, ජනාධිපති කාර්යාලයේදියි.

එහිදී ජනාධිපතිවරයා සහ ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා සෑම ආකාරයකම ද්විපාර්ශවික සබඳතා තවදුරටත් වර්ධනය අරමුණු කොටගත් ඵලදායී සාකච්ඡාවක නිරතවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඉන්දු – ලංකා ආරක්ෂක සහයෝගීතාව, ඉන්දීය සාගර කලාපයේ සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සහ මෙරට යටිතල පහසුකම් සංවර්ධනය සාකච්ඡාවට බඳුන්වී ඇති ප්‍රධාන මාතෘකා අතර වනවා.

ඉන්දියාවේ සහභාගීත්වය ඇතිව ආරම්භ කර ඇති යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් නිම කළ යුතු බවට එහිදී දෙපාර්ශවය එකඟ වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන නව ක්‍ෂේත්‍ර හඳුනාගෙන ඒවායේ ආයෝජනය කිරීමට ඉන්දියාවේ ඇති කැමැත්ත ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා දැනුම් දෙනු ලැබුවා.

දැනටමත් බෙහෙවින් සතුටුදායක මට්ටමක පවතින ද්විපාර්ශවික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

(29.11.2020 – 08:56 +0530 – hirunews.lk/sinhala)

සාගර නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ජාත්‍යන්තරව පිළිගත හැකි පාලන ක්‍රමයක් පැවතීමේ වැදගත්කම පිළිබඳව සමුද්‍රිය ආරක්ෂාව හා සුරක්ෂිතභාවය පිළිබඳව ඉන්දීය සාගර කලාපීය සංගමයේ අවධානය යොමුව තිබෙනවා.

මෙරට විදේශ අමාත්‍යාංශය විසින් සංවිධාන කරන ලද අන්තර්ජාල සාකච්ඡාවකට සම්බන්ධ වූ ඉන්දීය සාගර කලාපයට අයත් රටවල නියෝජිතයන් මේ බව අවධාරණය කර ඇති බවයි විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

සියලුම රාජ්‍යයන් අනාගත ආර්ථික සංවර්ධනය, ආහාර සුරක්ෂිතතාව සහ කර්මාන්ත අමුද්‍රව්‍ය සඳහා වැඩි වශයෙන් සාගර වෙත යොමුවීම දැකිය හැකි ප්‍රවණතාවක්.

මෙරට මුහුදු ප්‍රදේශවල සමුද්‍ර විද්‍යාත්මක පර්යේෂණ විධිමත් කිරීම සඳහා රෙගුලාසි සහ මාර්ගෝපදේශ සම්මත කරගැනීමෙන් අනතුරුව ඉන්දියන් සාගරය අවට රටවල සංගමයේ සාමාජිකයන් අතර, තම අත්දැකීම් බෙදාගැනීම සඳහා ශ්‍රී ලංකාව එහිදී කැමැත්ත පළ කළ බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ ෴

***************************************

(29.11.2020 – 09:47 +0530 – hirunews.lk/sinhala)

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන තත්වය ඉදිරි පැය 36 තුලදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමගින් ඉදිරි දින කිහිපයේදී දිවයින අවට මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්වය කෙරෙහි බලපෑම් ඇති කළ හැකියි.

එම නිසා නැවත දැනුම්දෙනතුරු දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *