20 වන කොරෝනා මරණය වාර්තා වෙයි

20 වන කොරෝනා මරණය වාර්තා වෙයි

බස්නාහිරින් සහ කුලියාපිටියෙන් බැහැරව ගිය, පුද්ගලයින් සති දෙකක් (2) නිරෝධායනයට

දේශපාලන කොමිසමේ සාක්ෂි විමසීම අවසන්

බස්නාහිරින් පිට පළාත්වලට ගිය 454 දෙනෙකු නිරෝධායනයට

*********************************************

20 වන කොරෝනා මරණය වාර්තා වෙයි

(31.10.2020 – 09:41 +0530 – hirunews.lk/sinhala)

මෙරට සිදුවූ 20 වන කොරෝනා මරණය අද (31) කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වුණා.

මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගිය 29 වන දා රෝහල් ගත වී ඇති ඇය නිධන්ගත රෝගවලින් පෙළෙමින් සිට තිබෙනවා.

ඊයේ (30) මිය යාමෙන් පසු සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ මෙම කාන්තාවට කොරෝනා වැළදී ඇති බවයි.

අවසන් වරට වාර්තා වූ කොරෝනා මරණ 3 ම සිදුවූයේ කොළඹ ජාතික රෝහලෙන් වන අතර එහි විශේෂත්වය වන්නේ කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමකින් තොරව එම මරණ සිදුවීමයි.

මේ අතර, ඊයේ (30) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 633 දෙනාගෙන් වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුවී තිබෙනවා.

එම සංඛ්‍යාව 264 ක් වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 162 නෙකු, කළුතරින් 18 දෙනෙකු, කුරුණෑගලින් 17 දෙනෙකු, කෑගල්ලෙන් 11 දෙනෙකු, රත්නපුරෙන් 5 දෙනෙකු, ගාල්ලෙන් 5 දෙනෙකු සොයා ගැනුණා.

එමෙන්ම, අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් දෙදෙනෙකු (2) සහ බදුල්ල, හම්බන්තොට, මාතර දිස්ත්‍රික්කවලින් ආසාදිතයෙකු බැගින් ඊයේ (30) වාර්තා වූ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඊයේ (30) වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ මහනගර සභාවට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශ 18 න් වන අතර එම සංඛ්‍යාව 75 ක්.

එමෙන්ම, මීගමුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 50 දෙනෙකු ද හමුවී ඇති අතර, ඔවුන් පිටිපන – ලෙල්ලම, මීගමුව – වැල්ලවීථිය , තලාදූව සහ කොච්චිකඩේ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට ගිය පුද්ගලයන් 320 කගේ පී.සී.ආර්. පරීක්ෂණ පසුගියදා සිදුකර ඇති අතර, ඉන් 150 කගේ පමණ වාර්තා මේ වනවිට ලැබී ඇති අතර, එහි කොරෝනා ආසාදිත බවට තහවුරු වූ 50 දෙනාගෙන් 24 දෙනෙකුම වාර්තාවන්නේ පිටිපන – ලෙල්ලම ප්‍රදේශයෙන්.

මේ අතර, කොළඹ අපරාධ කොට්ඨාසයේ තවත් පොලිස් නිලධාරීන් 8 දෙනෙකු ආසාදිතයන් බවට හඳුනාගැනීමත් සමඟ එම කොට්ඨාසයෙන් වාර්තාවන මුළු ආසාදිත සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, මිරිහාන පොලීසියේ කාන්තා කොස්තාපල්වරියන් 12 දෙනෙකු සහ උප පොලිස් පරීක්ෂකවරියක ඊයේ (30) හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබෙනවා.

ඒ, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට ගොස් මසුන් රැගෙන ආ මිරිහාන පොලීසියේ භෝජනාගාරයේ කොරෝනා ආසාදිත නිලධාරියාගේ ආශ්‍රිතයන් වීම හේතුවෙන්.

ගාල්ල – මාගාල්ල ප්‍රදේශයේ පොල් කොහු ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන කර්මාන්තශාලාවකින්ද කොරෝනා ආසාදිතයන් හතරදෙනෙකු (4) හඳුනාගෙන තිබෙනවා.

එම කර්මාන්තශාලාවේ සේවකයන් 292 කුගේ පී.සී.ආර්. පරීක්ෂණ පසුගිය 28 වනදා සිදුකර ඇති අතර, ප්‍රතිඵල වාර්තා ලැබුණු 170 ක් අතරින් හතරදෙනෙකු (4) මෙලෙස කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනගෙන ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය සඳහන් කළේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ද මේ දක්වා කොරෝනා රෝගීන් 33 දෙනෙකු වාර්තාවී ඇති අතර, ඉන් 25 දෙනෙකුම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලට සම්බන්ධ ආශ්‍රිතයන් බවයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ඉනේෂ් ප්‍රතාපසිංහ මහතා සඳහන් කළේ.

මොවුන්ගේ ආශ්‍රිතයින් 1000 කට වැඩි පිරිසක් නිරෝධායනයට යොමුකර ඇති අතර, රිකිල්ලගස්කඩ රෝහලේ කාර්ය මණ්ඩලයද ඒ අතර වනවා.

මේ අතර, වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාවක් ඊයේ (30) දිනයේ සිදුකළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. ඊයේ (30) දිනයේ පමණක් පී.සී.ආර්. පරීක්ෂණ 12,106 ක් සිදුකර ඇති අතර, රට තුළ මේ දක්වා ලක්ෂ 5 ඉක්මවා පී.සී.ආර්. පරීක්ෂණ 5,02,669 ක් සිදුකර තිබෙනවා.

රෝගීන් හඳුනාගැනීම තවදුරටත් කඩිනම් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා සඳහන් කළේ.

++++++++++++++++

(31.10.2020 – 07:22 +0530 – hirunews.lk/sinhala)

මුව ආවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය තබානොගැනීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 39 දෙනෙකු ඊයේ (30) දිනය තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ කොළඹ, ගම්පහ, පානදුර සහ මීගමුව යන ප්‍රදේශවලින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය පසුගිය ඔක්තෝම්බර් 15 වන දා නිකුත් කිරීමෙන් පසු මෙවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුකළ පළමු අවස්ථාව මෙය වනවා ෴

*********************************************

බස්නාහිරින් සහ කුලියාපිටියෙන් බැහැරව ගිය, පුද්ගලයින් සති දෙකක් (2) නිරෝධායනයට

(31.10.2020 – 07:27 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 29 වන දා සහ 30 දින බස්නාහිර පළාතෙන් මෙන්ම කුලියාපිටියේ නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන පොලිස් බල ප්‍රදේශ පහෙන් (5) වෙනත් ප්‍රදේශවලට බැහැරව ගිය පුද්ගලයින් මේ මොහොතේ රැඳී සිටින ස්ථානවලම දින 14 ක් නිරෝධායනයට යොමුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

අදාළ පුද්ගලයින් සොයා මේ වනවිටත් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර, ඊට සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන තොරතුරුද ලබාගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

මේ අතර, පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ ගැසට් පත්‍රයට අනුකූල නොවන ආකාරයෙන් හැසිරුණු පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ, ගම්පහ, මීගමුව සහ පානදුර යන ප්‍රදේශවලින්.

නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ ඔක්තෝම්බර් මස 4 වන දින සිට මේ දක්වා කාලසීමාවේ එය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් වැඩිම පිරිස ඊයේ (30) දිනයෙන් වාර්තාවී තිබෙනවා.

එම සංඛ්‍යාව 221 ක් බවයි පොලීසිය සඳහන් කළේ. ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එමෙන්ම, අදාළ කාලසීමාවේ පොලිස් භාරයට ගෙන ඇති වැඩිම වාහන සංඛ්‍යාවද වාර්තාවී ඇත්තේ ඊයේ (30) දිනයෙන් වන අතර, එම සංඛ්‍යාව 40 ක්.

මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,480 දක්වා ඉහළ ගොස් ඇති අතර, පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 218 ක්.

මේ අතර, දිවයින පුරා පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව මේ දක්වා නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළා.

දෙවන (2) වාරයේ පාසල් නිවාඩුව අවසන් වී පාසල් යළි විවෘත කිරීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 9 වන දායි.

කෙසේ වෙතත්, උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසු පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියේ.

+++++++++++++++++++

(31.10.2020 – 07:45 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරීන් 60 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

නිරෝධායනයට යොමු කර ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 300 ක්.

කෙසේ වෙතත්, ආසාදිතයන් හමුවූ පොලිස් ස්ථාන සියල්ලම නිසි පරිදි විෂබීජහරණයට ලක් කිරීමෙන් පසු සේවා සැපයීම අඛණ්ඩව සිදුකරන අතර, මහජනතාව පොලිස් ස්ථාන වෙත පැමිණීමට අනියත බියක් ඇති කර ගත යුතු නොමැති බවයි ඔහු කියා සිටියා.

මේ අතර, පෙරේදා හදිසියේ ජීවිතක්ෂයට පත්වූ බියගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ලක්මාල් මහතාගේ පී.සී.ආර්. වාර්තාව ඊයේ (30) නිකුත් වුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ එම වාර්තාවට අනුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බවයි.

මේ අතර, අද (31) උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංගණය කළ 221 දෙනෙකු සහ වාහන 40 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 1480 ක් සහ වාහන 218 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

ලබන සඳුදා අලුයම 5 ට සමස්තයක් ලෙස බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු යළි පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන වාහන දැඩි පරීක්ෂාවකට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

පොලිස් මූලස්ථානය පවසන්නේ එලෙස පැමිණෙන වාහන බස්නාහිර පළාතෙන් පිටත් වූ කාලසීමාව සොයා බැලීමේදී එය නිරෝධායන කාලසීමාව නම් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි ෴

++++++++++++++++

(31.10.2020 – 08:11 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (30) දිනයේ කොරෝනා ආසාදිතයන් 633 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,000 ඉක්මවා ගියා. එය දැක්වුණේ 10,424ක් ලෙසයි.

ඊයේ (30) දිනයේ වාර්තා වූ ආසාදිතයින් 633 දෙනාගෙන් 495 දෙනෙකු පෑලියගොඩ සහ ධීවර වරායන්හි ආශ්‍රිතයන් වන අතර, නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 138 දෙනෙකු ද රෝගීන් ලෙස හඳුනා ගැනුණා.

මේ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 6946 ක් දක්වා ඉහළ ගියා.

ආසාදිතයින් 6123 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 4282 ක්.

මේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් අතරින් බහුතරය රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පිරිස් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා. එවැනි ඇතැම් රෝගීන් රෝහල් නොවන එහෙත් ප්‍රතිකාර පහසුකම් ඇති විශේෂ මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව සඳහන්.

මේ අතර, ආසාදිතයින් පිරිසක් හමුවීමත් සමඟ මිරිහාන පොලිස් බල ප්‍රදේශයේ මාදිවෙල – ප්‍රගතිපුර සහ රාහුලපුර යන ප්‍රදේශ වලට සංචරණ සීමා පනවා තිබෙනවා.

එමෙන්ම, කෑගල්ල – බුලත්කොහුපිටිය ප්‍රදේශයෙන් නව ආසාදිතයන් 9 දෙනෙකු වාර්තා වීමත් සමඟ බුලත්කොහුපිටිය සහ ලැවල යන ග්‍රාම සේවා වසම්වලට සංචරණ සීමා පැනවූ බවයි පොලීසිය කියා සිටියේ.

අදාළ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන නිරෝධායනයට යොමු කරන තෙක් එම සංචරණ සීමා පැනවූ බව ද පොලීසිය ප්‍රකාශ කළා.

සුවසැරිය ගිලන් රථ සේවයට අනුයුක්තව රාජකාරී සිදුකළ පුද්ගලයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (30) තහවුරු වුණා.

අදාළ සුවසැරිය ගිලන් රථය නතර කර ඇති පොලිස් ස්ථානයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවටයි සැක කරන්නේ.

නිරෝධායනය සඳහා පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය තුළ තමන්ට මුහුණදීමට සිදුව ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළා.

මේ අතර, කොග්ගල ඇගලුම් කම්හලේ කොරෝනා ආසාදිත තරුණියකගේ ආශ්‍රිතයින් 125 දෙනෙකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තාවලට අනුව ඔවුන්ට එම රෝගය වැළදී නොමැති බවට සෞඛ්‍ය අංශ ඊයේ (30) තහවුරු කළා.

එමෙන්ම, පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබා ගැනීමට පෙර සෞඛ්‍ය අංශ ඒ පිළිබදව පූර්ව දැනුවත් කිරීමක් සිදුකරන අතර එවැනි අවස්ථාවකදී එලෙස පැමිණෙන කුමන තරාතිරම අයෙකුගේ වුවද අනන්‍යතාව තහවුරු කර ගැනීමට මහජනතාවට අයිතියක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මේ බව කියා සිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මහව – කැත්තපහුව ප්‍රදේශයේ නිවසක් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

මේ අතර, ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ඇතුළු පිරිසක් ඊයේ (30) රාත්‍රියේ මෙරට පැමිණියා.

ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ ෂැංහයි සිට මොවුන් මෙරටට පැමිණි බවයි.

නව චීන තානාපතිවරයා ඇතුළු පිරිස චීන තානාපති කාර්යාලය තුළදීම ස්වයං නිරෝධායනයට ද ලක්වන බවටයි වාර්තා වන්නේ ෴

++++++++++++++++++

(31.10.2020 – 11:00 +0530 – hirunews.lk/sinhala)

හුදෙකලා කර තිබු හැටන් නගරයේ වෙළෙඳසැල් සිව් (4) දිනකට පසු විවෘත කිරිමටත් හැටන් මහජන වෙළෙඳපොළ තවදුරටත් වසා තැබීමටත් හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා අද (31) උපදෙස් දී තිබෙනවා.

පසුගිය 27 වන දා කොවිඩ්19 වෛසරය අසාදනය වු රෝගින් 11 දෙනෙකු හැටන් ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමඟයි එලෙස හැටන් නගරය හුදෙකලා කිරීමට පියවර ගෙන තිබුණේ.

කෙසේවෙතත් කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගින් හමු වු හැටන් මහජන වෙළෙඳපොල භුමියේ වෙළෙඳසැල් එම වෙළෙඳ හිමියන් විසින් අවසරයකින් තොරව අද (31) විවෘත කර ඇතැයි වාර්තා වනවා.

එහිදී එම වෙළෙඳපොල භුමියේ වෙළෙඳසැල් වසා දැමීමට උපදෙස් දීමට ගිය හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා සහ ව්‍යාපාරිකයන් අතර උණුසුම් තත්වයක් ද හටගෙන තිබෙනවා.

එම වෙළෙඳසැල් නැවත දැනුම්දෙන තුරු විවෘත නොකරන ලෙස අදාළ වෙළෙඳසැල්හිමියන්ට තරයේ අවවාද කිරීමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා එහිදී කටයුතු කළ බව සඳහන්.

වෙළෙඳසැල් විවෘත කළ ද හැටන් නගරයට ජනතාවගේ පැමිණීම සහ බස් රථ ධාවනය අවම මට්ටමක පවතින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++

(31.10.2020 – 14:02 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ, පෑලියගොඩ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ වන විට ව්‍යාප්ත වන කොරෝනා ප්‍රභේදය යුරෝපයේ පැතිර යන වේගවත් ව්‍යාප්තියක් ඇති වෛරස් ප්‍රභේදය බවට හෙළි වී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂිකා මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය සඳහන් කළේ දැනට පැතිර යන වෛරසයේ ජාන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මේ බව අනාවරණ වූ බවයි.

එහි වාර්තාව අද (31) දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දුන් බව ද ඇය කියා සිටියා.

++++++++++++++++

(31.10.2020 – 18:59 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා වෛරස් ප්‍රභේදය පිළිබද පර්යේෂණ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ඒ ඊට අදාළ පර්යේෂණ වාර්තාව පිළිබද අද (31) සෞඛ්‍ය අමාත්‍යංශයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

එහිදී සෞඛ්‍ය අමාත්‍යතවරිය ප්‍රකාශ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂිකා මහාචාර්ය නීලිකා මලවි මහත්මිය ඇතුළු කණ්ඩායම සිදුකළ පර්යේෂණයෙන් ලංකාව තුළ පවතින්නේ කොවිඩ් 19 වෛරසයේ එක් ප්‍රභේදයක් පමණක් බව හෙළිවී ඇති බවයි.

මේ අතර මිනුවන්ගොඩ, පෑලියගොඩ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ වන විට ව්‍යාප්ත වන කොරෝනා ප්‍රභේදය යුරෝපයේ පැතිර යන වේගවත් ව්‍යාප්තියක් ඇති වෛරස් ප්‍රභේදය බවට හෙළි වූ බවයි මහාචාර්ය නිලීකා මලවි මහත්මියගේ එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

ඇය සඳහන් කළේ දැනට පැතිර යන වෛරසයේ ජාන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මේ බව අනාවරණ වූ බවයි.

+++++++++++++++++++

(31.10.2020 – 14:38 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 117 දෙනෙකු අද (31) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 4,399 දක්වා ඉහළ යනු ඇති.

තවදුරටත් පුද්ගලයින් 6005 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

අයිඩීඑච් රෝහලට අද (31) උදෑසන 10 වනවිට කොරෝනා ආසාදනය වී ඇති බවට සැක සහිත රෝගීන් 16 දෙනෙකු ඇතුළත් කර ඇති අතර, දැනට එම රෝහලේ 1,184 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

දැනට මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10,424 ක් ෴

+++++++++++++++++++

(31.10.2020 – 16:23 +0530 – hirunews.lk/sinhala)

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තවත් පුද්ගලයන් තුන්දෙනෙකුට (3) කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව පුද්ගලයින් 40 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා ප්‍රකාශ කළේ.

මීට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණ වුණා.

අලුතින් හඳුනාගත් ආසාදිතයන් තුන්දෙනා (3) අතරට සහකාර අධ්‍යක්‍ෂවරයෙකුද අයත් ෴

***************************************

මුදල් ආරවුලක් දුරදිග යෑමෙන් අයියා මල්ලීව ඝාතනය කරයි

(31.10.2020 – 12:09 +0530 – hirunews.lk/sinhala)

මුදල් ආරවුලක් මත ඇති වු බහින්බස්වීමක් දුරදිග යෑමෙන් අයියා විසින් මල්ලීව තියුණු ආයුධයකින් ඝාතනය කර තිබෙනවා.

ඊයේ (30) රාත්‍රි 08:40 ට මෙම ඝාතනය සිදුව ඇති බවයි මහියංගණ පොලිසිය ප්‍රකාශ කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි දෙදරු පියෙක්.

මියගිය පුද්ගලයාගේ බිරිඳ ද කැපුම් තුවාල ලබා මහියංගණ මුලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ සොහොයුරා මහියංගණ පොලීසිය වෙත බාරවී ඇති බව සඳහන්.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සහ මහේත්‍රාත් පරික්ෂණය සිදු කිරිමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

*********************************************

දේශපාලන කොමිසමේ සාක්ෂි විමසීම අවසන්

(31.10.2020 – 12:49 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පළි ගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම අවසන් කර තිබෙනවා.

ඒ අනුව කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.

කොමිසම මගින් සාක්ෂි විභාග කිරීම මෙම වසරේ ජනවාරි මස 16 වන දා ආරම්භ කළ අතර, කොමිසමේ කාලය ලබන මස 9 වන දා අවසන් වීමට නියමිතයි.

කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේ නොවැම්බර් 9 වන දා හෝ ඊට පෙර දිනකදී අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදෙනු ඇති බවයි.

ඒ, එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසින්.

කොමිසම වෙත පැමිණිලි 1842 ක් ලැබී තිබූ අතර, ඉන් 112 ක් කොමිසම විසින් විභාග කර අවසන් කර තිබෙනවා.

එම පැමිණිලිවලින් 872 ක් දේශපාලන පළි ගැනීම් පරීක්ෂා කරන අමාත්‍ය කමිටුව වෙත යොමු කර ඇති බව සඳහන්.

***************************************

(31.10.2020 – 12:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙවර අයවැය විවාදයේ දින ගණන සීමා කිරීමට අවධානය යොමුව තිබෙනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ලබන මස 3 වන දා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයන් රැස්වී මේ පිළිබද අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවයි.

මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබන 17 වන දා ලබන වසරට අදාළව අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එතැන් සිට දින 26 ක් විවාද කර අයවැය සම්මත කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි.

කෙසේ වෙතත්, කොවිඩ් වසංගතය හමුවේ පාර්ලිමේන්තුව රැස්වීම අභියෝගයක් බැවින් විවාදයේ දින ගණන සීමා කිරීමට යෝජනා වී තිබෙනවා.

පසුගිය දා ලබන වසරට සහ මෙම වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවූ අතර, මෙම වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත සඳහා දින 3 ක විවාදයක් පැවැත්වීමටයි තීරණය වුණේ.

කෙසේ වෙතත්, එම විවාදය ද දිනකට පමණක් සීමා කර ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එකඟතාව පළ කර තිබෙනවා.

මේ අතර, රට තුළ පවතින තත්ත්වය සලකා පසුගිය සතියේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වුණේ ලබන සතිය පාර්ලිමේන්තු කටයුතු දිනකට සීමා කිරීමටයි.

ඒ අනුව ලබන 3 වන දා පැය දෙකක (2) කාලසීමාවක් සඳහා පාර්ලිමේන්තුව රැස්වන අතර මාධ්‍යවේදීන්ට ද එම කටයුතු ආවරණය කිරීමට අවසර හිමි වන්නේ නැහැ ෴

***************************************

(31.10.2020 – 13:08 +0530 – hirunews.lk/sinhala)

මහියංගනය – මකකුල්ගොල්ල ගම්මානයේ පදිංචි පුද්ගලයයෙකු වන අලියෙකු පහරදීමෙන් අද (31) අලුයම ජිවිතක්ෂට පත්ව තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක්.

සිය නිවසේ සිට මීටර් 150 ක් පමණ නුදුරින් පිහිටි කෑලෑ ප්‍රදේශයකදීයි ඔහු මෙම අනතුරට ලක්ව තිබෙන්නේ.

***************************************

(31.10.2020 – 13:39 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යවරිය හෙද කාර්ය මණ්ඩලවලට සලකන ආකාරය කනගාටුදායක බව පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

මේ අතර ගුණාත්මකභාවයෙන් තොර පී.සී.ආර්. යන්ත්‍ර සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද මෙලෙස අදහස් පළ කළා.

***************************************

(31.10.2020 – 14:34 +0530 – hirunews.lk/sinhala)

හිත ඇත්නම් පත කුඩාද යන්න සිංහල භාෂාවේ එන අරුත්බර ප්‍රස්ථාව පිරුළක්.

ඊට කදිම නිදසුනක් සපයන්නට සමත් තරුණයෙක් පිළිබඳ අපට මොණරාගලින් වාර්තා වුණා.

අක්කර 15 ක් තනිව අස්වද්දමින් රටටද සේවයක් කරන මේ තරුණයා වත්මන් සමාජයට ලබා දෙන්නේ හරි අපූරු ආදර්ශයක්.

මේ ඉරංග සඳරුවන්. සඳරුවන්ගේ පදිංචිය මොණරාගල මඩුල්ල ගම්මානය.

දෑතේ ශක්තියෙන් ජීවිතය ජය ගන්නට වෙර දරන සඳරුවන් වත්මන් තරුණ පරපුරට හරි අපූරු ආදර්ශයක් ලබා දෙන්නේ අක්කර 15 ක භූමි ප්‍රමාණයක් වගාකර එහි ඵලදාව නෙළා ගනිමින්.

එපමණක් නොව මෙරටට ආවේණික දේශීය බීජ වර්ග එක් රැස් කරමින් ඒවා ජනතාවට නොමිලේම ලබාදීමටත් ඔහු කටයුතු කරනවා.

මේ වනවිට දේශීය බීජ වර්ග 89 ක් සහ බඩ ඉරිගු වර්ග 7 ක් පමණ සඳරුවන් සංරක්ෂණය කර තිබීම විශේෂත්වයක්.

ඒ අතරම මෙරටට ආවේනික වූ අලංගා, තණකරල්, නියං වැටකොළු , වඳුරු මෑ, මෙනේරි, විවිධ මිරිස් වර්ග, පාත්‍ර ලබු වැනි එළවලු වර්ග ඇතුළත්.

මුහුණු පොත හරහා හඳුනාගන්නා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල වෙසෙන සිය මිතුරන් අතරේ එම බීජ වර්ග තැපැල් මගින් නොමිලේ බෙදා හරින්නට සඳරුවන් මේ වනවිට කටයුතු යොදා තිබෙනවා.

සඳරුවන්ගේ එකම ඉල්ලීම වන්නේ තමන්ට බීජ සංරක්ෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සළසා දෙන ලෙසයි.

දේශීය වගාවන් ප්‍රවර්ධනය කරමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට මුල පිරී ඇති වත්මන් සමාජයේ මෙවැනි තරුණයන්ගේ හැකියාවට සරිලන වටිනාකමක් ලබාදීම බලධාරීන් සතු වගකීමක්.

එමගින් මෙරට හෙට දවස සරුසාර අස්වැන්නකින් ස්වයංපෝෂිතවනු නොඅනුමානයි.

+++++++++++++++++++

(31.10.2020 – 14:58 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජල සම්පාදන මණ්ඩලය මඟින් පාලනය වන ඌව පරණගම – අඹගස්දෝව පානීය ජල යෝජනා ක්‍රමය මගින් නිකුත් කරන ජලය නිරපරාදේ අ‍පතේ යන බවට ‘හිරු රතු මිනිත්තුව’ට වාර්තා වුණා.

මේ ආකාරයෙන් මාස 2 කට අධික කාලයන සිට ජලය අපතේ යන්නේ මැදවෙල කුඩුගල ප්‍රදේශයෙන්.

අඹගස්දෝව පානීය ජල යෝජනා ක්‍රමයේ ජල ධාරිතාව වැඩි කිරීමේ අරමුණින් බෝබුරු ඇල්ල පානීය ජල යෝජනා ක්‍රමය සමඟ සම්බන්ධ කිරීමට නළ පද්ධතියක් එළා ඇතත් ඒවා එකිනෙක සම්බන්ධ නොකිරීම මෙලෙස ජලය අපතේ යාමට හේතු වී තිබෙනවා.

තම නිවාස වලට ජලය නොලැබීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව ජලය අපතේ යන ස්ථානයට පැමිණ සිය අවශ්‍යතා සපුරා ගැනීමට මෙලෙස කටයුතු කරනු ලබනවා.

මෙලෙස සිය පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් ප්‍රදේශවාසීන්ට සිදුව ඇත්තේ කිලෝමීටර් ගණනක් දුර ගෙවා ජලය ලබා ගැනීමටයි.

මාස 2 ක් පුරාවට ජලය ලීටර් ලක්ෂ ගණනක් මෙලෙස නිරපරාදේ අපතේ යාම සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ කවදාද?

හිරු රතු මිනිත්තුව අවධානයෙන්.

*********************************************

බස්නාහිරින් පිට පළාත්වලට ගිය 454 දෙනෙකු නිරෝධායනයට

(31.10.2020 – 16:27 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාතෙන් සහ කුලියාපිටියේ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලින් පසුගියදා බැහැරට ගිය පුද්ගලයින් 454 දෙනෙකු හඳුනාගෙන ඔවුන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස් මූලස්ථානයේ අද (31) පස්වරුවේ පැවති තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මීට අදාළ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කළ පුද්ගලයන් සෙවීම සඳහාද වෙනම විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.

එලෙස නිරෝධායනයට යොමු කළ 326 දෙනෙකු මඩකලපුව දිස්ත්‍රික්කයෙන්ද, තංගල්ල ප්‍රදේශයෙන් 34 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, අම්පාර ප්‍රදේශයෙන් 35 දෙනෙකු සොයාගැනුනා. බණ්ඩාරවෙලින් 27 දෙනෙකු, මාතරින් 20 දෙනෙකු, යාපනය සහ නුවරඑළියෙන් හයදෙනෙකු (6) බැගින්ද මෙලෙස නිරෝධායනයට යොමුකර තිබෙනවා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ පවුල් 25,000 කට අයත් පුද්ගලයින් 67,000 ක් මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි.

එමෙන්ම වැල්ලවත්ත, මට්ටක්කුලිය යන ප්‍රදේශවල රැකියාවන් හි නිරතව සිටි පිරිසක් ඊයේ (30) හැටන් – දික්ඔය, නෝවුඩ් සහ කොටගල යන ප්‍රදේශවලට පැමිණ සිටින බවට ප්‍රදේශවාසීන් විසින් පොලිස් නිලධාරීන්ට දැනුවත් කිරීමෙන් පසුව ඔවුන් ද නිරෝධායනයට යොමුකර තිබෙනවා.

මේ අතර වැඩබලන පොලිස්පතිවරයා, පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුලු උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇත්තේ මෙලෙස බැහැරට ගොස් නිරෝධායනයට ලක් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිස් ස්ථාන මට්ටමින් වාර්තාවක් ලබාගෙන තමන්ට ලබාදෙන ලෙසයි.

ඔවුන් නවාතැන් ගෙන සිටින සංචාරක බංගලා, රජයේ සහ පෞද්ගලික නිවාඩු නිකේතන, හෝටල් හෝ නවාතැන්පලවල් පිළිබඳව තොරතුරු ඊට ඇතුළත් කළ යුතුයි. එසේම මෙලෙස නිරෝධායනයට ලක් කෙරෙන පුද්ගලයෙකු බලහත්කාරයෙන් පිටත්ව යාමට උත්සාහ කළහොත් ඔවුන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන ලෙසටද වැඩබලන පොලිස්පතිවරයා දැනුම්දී තිබෙනවා.

එමෙන්ම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිරෝධායන නීති අතර, ගැසට් පත්‍රයේ සඳහන් කරුණු උල්ලංඝනය කළ 39 දෙනෙකු ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුව ආවරණ පැළඳ නොසිටි සහ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙම පිරිසට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය කියා සිටියේ.

එමෙන්ම බණ්ඩාරගම – කිඳෙල්පිටිය මාර්ග බාධකය හරහා ධාවනය කෙරුණු රථ වාහන පරීක්ෂා කිරීමේදී පොලිසිය විසින් මුව ආවරණ නොමැති පුද්ගලයන්ට මෙලෙස අවවාද කෙරුණා.

කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු වාර්තාවීමත් සමඟ හුදකලා කෙරුණු හැටන් නගරය දින හතරකට (4) පසු අද යළි විවෘත කෙරුණා. කෙසේ වෙතත් ආසාදිතයන් වාර්තාවූ මහජන පොළ තවදුරටත් වසා දැමීමටයි හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

++++++++++++++++++

(31.10.2020 – 16:58 +0530 – hirunews.lk/sinhala)

ගර්භනී රෝගී මව්වරුන්ට අවශ්‍ය ප්‍රතිකාර පැය 24 පුරා ලබාදීමට සියලුම රජයේ රෝහල්වලට උපදෙස් ලබාදී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය ප්‍රකාශ කළා.

ඒ සඳහා ගර්භනී සටහන් පත ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකි බවයි එම කාර්යාංශය නිවේදනය කළේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ කිසියම් ගැටළුවක් මතුවුවහොත් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 හදිසි දුරකථන අංකය ඇමතිය හැකි බවයි.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *