අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරයේ මූලික අරමුණ රජය සමඟ මිත්‍රශිලී සබඳතාවයක් ගොඩනගා ගැනීම – උදය ගම්මන්පිල

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරයේ මූලික අරමුණ රජය සමඟ මිත්‍රශිලී සබඳතාවයක් ගොඩනගා ගැනීම – උදය ගම්මන්පිල

රිෂාඩ් අත්අඩංගුවට ගත් අවස්ථාවේ විසි කළ දුරකථනය සොයා ගැනේ

*********************************************

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරයේ මූලික අරමුණ රජය සමඟ මිත්‍රශිලී සබඳතාවයක් ගොඩනගා ගැනීම – උදය ගම්මන්පිල

(27.10.2020 – 14:33 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරයේ මූලික අරමුණ මෙරට රජය සමඟ ඉතා හොඳ මිත්‍රශිලී සබඳතාවයක් ගොඩනගා ගැනීම බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

අද (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

+++++++++++++++++++

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ආරක්ෂක ලේකම් මාර්ක් ටී එස්පර් අද (27) නවදිල්ලියේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවනවා.

ඔවුන් ඊට පෙර අද (27) උදෑසන නව දිල්ලියේදී ජාතික යුද ස්මාරකයට බුහුමන් දැක්වුවා.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ ආරක්ෂක ලේකම්වරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජායිශංකර් සහ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සමඟ අද (27) ද්වීපාර්ශවික සාකච්ඡාවල නිරත වූ බව ද ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

එමෙන්ම, මෙම සංචාරයේදී ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර වැදගත් ආරක්ෂක ගිවිසුමකට ද අත්සන් තැබීමට නියමිත බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේ.

බෙකා හෙවත් භූ දර්ශීය සහයෝගිතාව පිළිබඳ මූලික හුවමාරු සහයෝගිතා ගිවිසුම නම් වූ අදාළ ගිවිසුම මගින් දෙරට අතර භූ තලයේ, සාගරයේ සහ ගුවන් තලයේ ක්‍රමෝපාය දත්ත හුවමාරු කර ගැනීමට අවකාශ සැලසෙනවා.

එය මිසයිල හෝ සන්නද්ධ ඩ්‍රෝන ඉලක්කයන් සඳහා වැදගත් වන බවයි විශ්වාස කෙරෙන්නේ.

එමෙන්ම, අදාළ ගිවිසුම මගින් ඇමරිකා එක්සත් ජනපදයේ අති නවීන නාවික හා ගුවන් තාක්ෂණය ඇතුළත් ගුවන් යානා ද ඉන්දියාවට සැපයීමට ඉඩ සැලසෙන බව ඉන්දීය ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර් සඳහන් කළා.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද (27) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ සිය ආසියානු සංචාරයේ දෙවන පියවර ලෙසයි.

මේ අතර, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙරට සංචාරයට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද (27) කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා ෴

++++++++++++++++

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සංචාරයට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද (27) විරෝධාතවක නිරත වුණා.

ඒ කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී.

මේ අතර මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණ කළේ චීන ශ්‍රී ලංකා සබඳතාවලට බලපෑම් කිරීමට සහ ශ්‍රී ලංකාවට අනවශ්‍ය පීඩනයක් එල්ල කිරීමට අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය හරහා දරණ උත්සාහයට විරෝධය පළකරන බවයි.

සෙසු රටවල අභ්‍යන්තර කටයුතු සහ විදේශ සබඳතා සම්බන්ධයෙන් බලපෑම් සහ මැදිහත්වීම් සිදුකරමින් අමෙරිකාව ගෙන යන අප්‍රසන්න පුරුද්ද නිවැරදි කර ගැනීමට ඔවුන් කටයුතු කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

+++++++++++++++

ඉන්දියානු සංචාරය අවසන් කරමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද (27) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

පස්වරු 07:30 ට ඔහු රැගත් ගුවන් යානය කටුනායකට ළගා වීමට නියමිත බවයි ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔහු ඉන්දියාවේ රැදී සිටි කාලය තුළ ඉන්දු – ඇමරිකානු ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට ද අත්සන් තැබුණා.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා නවදිල්ලියේදී චීනයට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළ අතර, ඔහු කියා සිටියේ චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියේ ආදිපත්‍යයට, විනිවිදභාවයට හෝ නාවික ගමනාගමනයේ නිදහසට මිතුරු පාර්ශවයක් නොවන බවයි.

චීනයෙන් එල්ල වන ඕනෑම තර්ජනයකදී ඇමරිකාව ඉන්දියාව වෙනුවෙන් පෙනී සිටින බව ද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අවධාරණය කලා.

කෙසේ නමුත්, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා යුද මානසිකත්වයකින් කටයුතු කරන අතර, චීනය තර්ජනයක් ලෙස හඳුන්වමින් සිදුකරන ප්‍රකාශ නතර කළ යුතු බව චීන චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වෑන් වෙන්බින් බීජිං නුවරදී අද (27) කියා සිටියා.

මෙරටට පැමිණෙන මයික් පොම්පියෝ රාජ්‍ය ලේකම්වරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

ඔහු දින දෙකක් (2) ශ්‍රී ලංකාවේ රැදී සිටිනු ඇති.

මේ අතර, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙරට සංචාරයට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරින් පිරිසක් අද (27) මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වුණා.

හෙල බොදු සවිය සංවිධානයේ සභාපති පූජ්‍ය බුදුගල ජිනවංශ හිමියන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ චීන සහ ඇමරිකානු දූත පිරිස් මෙලෙස වරින්වර ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ එම පිරිස් සමඟ මෙරට බලධාරින් ඇති කර ගන්නා ගිවිසුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බවයි.

***************************************

පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ නිරීක්ෂණයන්ගෙන් අනතුරුව ඉදිරි දින කිහිපයේදී එය යළි පාර්ලිමේන්තුව වෙත ලැබීමට නියමිත බවයි.

පසුව, කතානායකවරයා මේ සතිය තුළ ඊට සිය අත්සන යොදනු ඇති බව ද, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

තුනෙන් දෙකක බහුතර බලයකින්, සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී පසුගිය 22 වනදා මෙම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වූ අතර, දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156 ක් ලැබී තිබුණා.

එහිදී විපක්ෂව ලැබුණේ ඡන්ද 65 ක් පමණයි ෴

***************************************

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 4043 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (27) දිනයේදී තවත් ආසාදිතයින් 110 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟයි.

මේ වනවිට රෝහල් අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4354 ක්.

එමෙන්ම අද (27) දිනයේදී වාර්තා වූ කොරෝනා මරණ 3 ත් සමඟ මෙරට කොරෝනා ආසාදනය වී මියගිය මුළු සංඛ්‍යාව 19 ක් දක්වා ඉහළ ගියා ෴

++++++++++++++

මිනුවන්ගොඩ – බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ මතුවීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බවට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සැක පළ කරනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (26) රාත්‍රියේ හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ සලකුණ සංවාදාත්මක දේශපාලන වැඩසටහනට එක්වෙමින්.

+++++++++++++

මාකුඹුරේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා දුර ගමන් සේවා බස් රථ ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළා.

මේ අතර, හෝමාගම බස් නැවතුම්පොල සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය අද (27) පොලීසිය මැදිහත්වීමෙන් විෂබීජහරණයට ලක්කෙරුණා.

ඊට එක්වෙමින් අදහස් දැක්වූ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමට බස් රථ රියදුරන් සහ සේවකයින්ගෙන් ද මනා සහයක් ලැබිය යුතු බවයි.

මේ අතර, පොළොන්නරුව, සීගිරිය, කතරගම, ගාල්ල සහ මහනුවර ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන දිවයිනේ සියලුම කෞතුකාගාර නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

++++++++++++++++

කොරෝනා ආසාදනය වී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු (2) මියගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කියා සිටියේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි අයෙකු සහ කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි ආසාදිත පුද්ගලයෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම මරණ දෙකත් සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහළ යනවා.

ජා-ඇල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු ද ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) පෙරවරුවේ ජිවිතක්ෂයට පත්වුණා.

අද (27) දිනයේ මෙරටින් වාර්තාවූ මරණ සංඛ්‍යාව 3 ක් ෴

++++++++++++++++++

කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම පිළිබඳව සලකා බලා ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසා බලපත්‍රවල වලංගු කාලය දෙසැම්බර් 5 වනදා තෙක් දීර්ඝ කර තිබෙනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වීසා දීර්ඝ කිරීමට අදාළව වීසා ගාස්තු ගෙවීම හා වීසා ගමන් බලපත්‍රයේ පිටසන් කර ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය ඉදිරියේදී දැනුම් දෙන බවයි.

එමෙන්ම, මෙම කාලය තුලදී දිවනෙන් බැහැර වීමට අදහස් කරන්නේ නම් වීසා දීර්ඝ කිරීමට අදාළ වීසා ගාස්තු පමණක් ගුවන්තොටුපල වෙත ගෙවා දිවයිනෙන් බැහැර වී යා හැකියි.

එහිදී කිසිදු දඩ මුදල් අය නොකරන බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

+++++++++++++++++

මිනුවන්ගොඩ – බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා, වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට දැනුම්දී තිබෙනවා.

එමෙන්ම, සති දෙකක් (2) ඇතුළත ඒ පිළිබඳ ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා දැන්වූ බවයි, නීතිපති සම්බන්ධීකාරක රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ අදාළ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසයි ෴

++++++++++++++++++

පොලිස් නිලධාරීන් 19 කට ආසන්න සංඛ්‍යාවකට මේවන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඉන් දස දෙනෙකු (10) පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් වන අතර ඔවුන් සියලුදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන බවයි ඔහු කියාසිටියේ.

එමෙන්ම එම පොලිස් නිලධාරීන්ගේ සමීප ආශ්‍රිතයන් 300 ක් පමණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර තිබෙනවා.

මෙම නිලධාරීන්ට වෛරසය ආසාදනය වුව ද පොලිසියේ කටයුතු අඩාල නොවන අතර වෙනත් ස්ථානවලින් අදාළ අංශවලට නිලධාරීන් යොදවා එම පරිශ්‍ර විෂබීජහරණය කර සේවා කටයුතු සිදුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

+++++++++++++++

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල නිවාස හා ආයතනයන්හි මාසික බිල්පත් පදනම්ව විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙසට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී තිබෙනවා.

රට තුළ සිදුකෙරෙන කොරෝනා මර්දන ක්‍රියාන්විතය හමුවේ අඛන්ඩ විදුලි සැපයුමකින් ජාතික පද්ධතිය බලගැන්වීමටත්, පීඩාවට පත් විදුලි පාරිභෝගිකයින්ට අවශ්‍ය සහන ලබාදීමටත් සෑම පියවරක්ම ගන්නා බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ ෴

++++++++++++++++++

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 293 දෙනෙකු හමුවී තිබෙනවා.

ඔවුන්ගෙන් දෙදෙනෙකු (2) නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර අනෙක් 291 දෙනා දිවුලපිටිය සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල පොකුරේ සමීපතම ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේ.

මේ අනුව ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 8706 ක් දක්වා ඉහළ යනවා.

මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව 19 ක් වන අතර ඉන් 3 ක්ම වාර්තාවූයේ අද (27) දිනයේදීයි ෴

+++++++++++++++++

ගම්පහ සහ කළුතර නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවිසැල් සහ ඔසුසැල් සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමට අවසර ලබාදී තිබෙනවා.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල වෙළෙඳසැල් විවෘතව තැබීමට අවසර ලැබෙන්නේ අඟහරුවාදා සහ සිකුරාදා දිනවල පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා පමණක් බවයි ෴

+++++++++++++++++

දිවයින පුරා පොලිස් වසම් 64 කට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 37 ක්, කුලියාපිටිය ප්‍රදේශයේ පොලිස් වසම් 5ක්, කොළඹ ප්‍රදේශයේ පොලිස් වසම් 19ක් සහ කළුතර පොලිස් වසම් 3ක් ආශ්‍රිතව එම ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන හැටන් නගරය හුදකලා කිරීමට අද තීරණය කෙරුණා.

එය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මකයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මාළු මිලදීගෙන හැටන් මහජන පොලේ වෙළඳාම් කටයුතුවල නිරත වූ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බව මුල්වරට තහවුරු වූයේ පසුගිය 25 වනදායි.

ඒ අනුව, ඔහුගේ ආශ්‍රිතයින් සොයා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරුණා.

එම ආශ්‍රිතයින් අතරින් වෙළෙන්ඳාගේ පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකුට, ඔහුගේ රියදුරා සහ හැටන් මහජන වෙළඳපොලේ 5 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි අදාළ පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ.

මේ දක්වා කාලසීමාව තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 1,122 ක්.

මේ අතර, පිටකොටුව 4 වන හරස් වීදියේ තොග වෙළඳසැල් විවෘත කර භාණ්ඩ නිකුත් කිරීමට අද (27) අවසර ලබාදී තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, දක්ෂිණ අධිවේග මාර්ගය හරහා ක්‍රියාත්මක, කොළඹ කොටුවෙන් ආරම්භ වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දුර ගමන් සේවා බස් රථ, මාකුඹුර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයේ සිට ධාවනය වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළා.

ඒ අනුව, ගාල්ල, මාතර, හම්බන්තොට, තංගල්ල, ඇඹිලිපිටිය හා කතරගම ආදී ප්‍රදේශවලට ඉන් ගමන් පහසුකම් සලසා ගත හැකියි.

මේ අතර, බස්නාහිර පළාත තුළ කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව නිරීක්ෂණය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නිර්මාණය කළ අන්තර්ජාල යෙදවුමක් ඊයේ (26) මුදාහැරුණා.

එය නිර්මාණය කර ඇත්තේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතාගේ උපදෙස් මතයි.

මේ අතර, කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ මාවනැල්ලේ – හිඟුල් ඔය හා මුරුතවෙල යන ප්‍රදේශවලට තාවකාලිකව සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය බලධාරින් කටයුතු කර තිබෙනවා.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදියින් සංඛ්‍යාව 39 ක් ෴

***************************************

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර සහ දැනට වැඩ තහනමකට ලක්ව සිටින කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යන මහත්වරුන්ට අද (27) දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි දන්වා ඊයේ නොතිසි නිකුත් කෙරුණා.

ඒ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අදාළවයි.

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් හෙවත් සී.එස්.එන්. නාලිකාව ආරම්භ කිරීමේදී මූල්‍ය වංචා සහ රජයේ දේපළ භාවිත කළ ඇති බවට චෝදනා කරමින් යහපාලන ආණ්ඩු සමයේ දී තමාව අත්අඩංගුවට ගෙන දින 45 ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දේශපාලන බලපෑම් මත සිදු වූ බවට යෝෂිත රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසමට පැමිණිලි කර තිබෙනවා.

ඔහු සඳහන් කළේ 2016 ජනවාරි මාසයේදී තමා අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යන අවස්ථාවේදී ජනාධිපතිට වත් අගමැතිට වත් නැති දැඩි ආරක්ෂාවක් තමාට ලබාදී තිබූ බවයි.

එය හුදෙක් විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ මාධ්‍ය සන්දර්ශනයක් බව යෝෂිත රාජපක්ෂ මහතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.

සී.එස්.එන් නාලිකාව ආරම්භ කිරීම සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහතා රාජපක්ෂ මහතාගෙන් වැඩිදුර පැහැදිලි කිරීම සඳහා කරුණු විමසුවා. “මා ඊට කිසිදු සම්බන්ධයක් නැහැ. අධ්‍යක්ෂ මණ්ඩලයේ මම කටයුතු කරේ නැහැ” යෝෂිත රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නා.

රොහාන්ත අබේසූරිය මහතා යළි විමසා සිටියේ , ඔබ බී වාර්තාවේ ඇතුළත් කරුණු ප්‍රතික්ෂේප කරනවාද? යනුවෙන්.

“ස්වාමීනි FCID නිලධාරීන් මගෙන් මුල්ම ප්‍රශ්න කිරීමේදී මම දැනගත්තා ඔවුන් මගේ පියාගෙන් පළි ගන්න හෝ මඩ ගහන්න තමයි මෙහෙම කරන්නේ කියලා. මේක සම්පූර්ණයෙන්ම දේශපාලන පළිගැනීමක් ස්වාමිනි ” යනුවෙන් යෝෂිත රාජපක්ෂ මහතා සාක්ෂි ලබාදෙමින් වැඩිදුරටත් කියා සිටියා.

***************************************

පාරක් ඉල්ලන පුස්වැලිකන්ද වැසියෝ

අධිවේගී මාර්ග පවා ඉදිවෙමින් පවතින යුගයක නිසි මාර්ග පද්ධතියක් නොමැතිවීමෙන් දුෂ්කරතාවට පත් ගම්වැසියන් පිරිසක් පිළිබඳව අපට වාර්තා වුණේ රිදිගම – පුස්වැලිකන්ද ප්‍රදේශයෙන්.

අද (27) ‘රතු මිනිත්තුව’ ඒ පිළිබඳවයි.

මේ රිදීගම ප්‍රාදේශීය සභාවට අයත් පුස්වැලිකන්ද සිට නැලවුල්ල දක්වා දිවෙන මාර්ගයයි.

පවුල් 25 කට අයත් පුද්ගලයින් 400 කට වැඩි පිරිසක් ජීවත් වන මෙම ගම්මානයේ වැසියන් පුස්වැලිකන්ද සිට නැලවුල්ල දක්වා ගමන් කරන්නේ මෙම දුෂ්කර මාර්ගය හරහායි.

ගොවිතැන තම ජීවනෝපාය කරගත් මෙම ගම්වැසියන් කුරුඳු, ගම්මිරිස්, කෝපි, පුවක්, කරාබුනැටි, සාදික්කා වැනි අස්වනු අලෙවි කර ගැනීමට කිලෝමීටර් 4 ක පමණ දුරක් ගමන් කරන්නේ තම හිස මත ඒවා තබා ගනිමින්.

වසර ගණනාවක් තිස්සේ මාර්ගය සකසා දෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය ද එය පොරොන්දුවකට පමණක් සීමා වී ඇති බවටයි ගම්වැසියන් චෝදනා කරන්නේ.

ඔවුන් පවසන්නේ දැනට භාවිත කරන මාර්ගය සකසා ඇත්තේ ද ගම්වැසියන්ගෙන් එක්රැස් කළ මුදල්වලින් බවයි.

පාසල් දරුවන් මෙන්ම ගිලන් වූවන් ද රැගෙන යන මෙම දුෂ්කර මාර්ගයේ වාහනයක් ගමන් කිරීම මොවුනට සිහිනයක් පමණක් බවට පත්ව ඇත්තේ කාගේ වරදින්ද?

කඳු තරණය කරමින් සිය දෛනික රාජකාරියේ නියැලෙන පුස්වැලිකන්ද ගම්වැසියන්ට පිළිසරණක් ලැබෙන්නේ කවදාද?

පුස්වැලිකන්ද වැසියන්ගේ ගමනාගමන ගැටලුවට නිසි ක්‍රියාමාර්ග ගන්නා තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

රුමේනියාව සහ ස්පාඤ්ඤය යන රටවල් දෙකෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ විදේශ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාව අනුමත කරමින්.

රුමේනියාව හා ශ්‍රී ලංකාව අතර, 1957 වසරේදී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර ඇති අතර, ස්පාඤ්ඤය සහ ශ්‍රී ලංකාව අතර, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර ඇත්තේ 1955 වසරේ සිටයි.

ඒ අනුව එම රටවල් හා ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙලෙස එම රටවල් දෙකෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ස්ථාපිත කෙරෙනු ඇති ෴

***************************************

‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි’ යන කියමන යථාර්ථයක් කරා ගෙන යාමට වෙර දරනා රාජ්‍ය නිලධාරියෙකු පිළිබඳ අනුරාධපුර – රඹෑව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

මේ රඹෑව මහජන පුස්තකාලයේ වැඩබලන පුස්තකාලයාධිපති ලෙස කටයුතු කරන 35 හැවිරිදි චානක ප්‍රියන්ත මහතායි.

වත්මන් තරුණ ප්‍රජාව පොතපතින් ඈත්ව සිටින යුගයක ඔවුන්ගේ ජීවිතවලට පොත ළඟම මිතුරෙකු කිරීම සඳහා තමන් ගන්නා උත්සාහය ඔහු අපට මෙලෙස පැහැදිලි කළා.

රඹෑව මහජන පුස්තකාලයට පාඨකයන් ගෙන්වා ගැනීමට ඔහු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ වසරේ ජාතික කියවීමේ මාසය වෙනුවෙන් රඹෑව මහජන පුස්තකාලය භාවිත කරන හොඳම පාඨක පවුල වෙනුවෙන් සම්මානයක් පිරිනැමීමත් ඔහු සැලසුම් කර ඇත්තේ කියවීම සඳහා ජනතාව වඩ වඩාත් යොමු කිරීමේ අරමුණින්.

පොතපතට පමණක් නොව, ගෙවතු වගාවන් සඳහා ජනතාව උනන්දු කරවීමට ද ඔහු හැකි පමණින් කටයුතු කර තිබෙනවා.

පුස්තකාල සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් නිදහසේ විෂය කරුණු සාකච්ඡා කිරීමට ‘කියවීමේ හරිත උයනක්’ ද රඹෑව පුස්තකාල පරිශ්‍රයේ ස්ථාපිතයි.

තම රාජකාරියට පමණක් සීමා නොවී මෙම තරුණයා සමාජය වෙනුවෙන් කරන සේවය පිළිබඳ බොහෝදෙනා තුළ ඇත්තේ දැඩි ප්‍රසාදයක්.

වෙනස් දැක්මක් සහිත රාජ්‍ය සේවයක් ගොඩනැගීමට තනිව හෝ වෙරදරනා මෙම නිලධාරියා සමාජයට කෙතරම් නම් ආදර්ශයක්ද?

*********************************************

රිෂාඩ් අත්අඩංගුවට ගත් අවස්ථාවේ විසි කළ දුරකථනය සොයා ගැනේ

(27.10.2020 – 19:14 +0530 – hirunews.lk/sinhala)

රජයට අයත් රුපියල් ලක්ෂ 95 කට අධික මුදලක් සාවද්‍ය සාපරාධි පරිහරණය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු ලබන මස 10 වනදා දක්වා යිළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (27) නියෝග කළා.

ඒ එම නඩුවේ පළමු (1) සැකකාර රිෂාඩ් බදියුදීන් මෙන්ම තුන්වන (3) සැකකාර අලගරත්නම් මනෝ රංජන් නමැති ගණකාධිකාරිවරයා වෙනුවෙන් සිදුකර තිබූ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්.

එසේම, රිෂාඩ් බදියුදීන්ට සැඟව සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටි විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරු 6 දෙනෙකු රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

එම නඩුවේ දෙවන (2) සැකකරු වන සංසුදීන් මොහොමඩ් යාසින් නමැති ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා, වහාම අධිකරණ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසයි මහේස්ත්‍රාත් පියන්ත ලියනගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරින් භාරයේ නේවාසිකව ප්‍රතිකාර ලබන මෙම සැකකරුට හෘද සැත්කමක් සිදුකර ඇති බව, පෙන්වා දෙමින් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සිදුකළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ඔහුගේ අධිකරණ වෛද්‍ය වාර්තාව ලැබීමෙන් අනතුරුව ලබන 3 වනදා නිකුත් කරන බව ද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.

මෙම සැකකරුවන් කිසිවෙකු අද (27) අධිකරණයට ඉදිරිපත් නොකළ අතර, වීඩියෝ තාක්ෂණය ඔස්සේයි නඩු විභාගය සිදුකෙරුණේ.

විශේෂයෙන් පළමු, දෙවන හා තුන්වන සැකකරුවන් සම්බන්ධයෙන් මේ වනවිට සිදුකරන විමර්ශන අවසන් වී නොමැති බවත්, ඔවුන්ට ඇප ලබාදීමක් සිදුකළහොත් ඔවුන් අධිකරණ මග හැර යන ප්‍රවණතාවක් පවතින බව මෙන්ම, ඉදිරි විමර්ශනවලට බාධාවක් සිදුවිය හැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

එසේම,රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා දෙහිවල – එබර්නිස් පෙදෙසේ නිවසකදී, අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුගේ ඇපල් වර්ගයේ ජංගම දුරකථනය, එම නිවසෙන් පහළට විසිකර ඇති බවත්, පසුව එය විමර්ශන නිලධාරින් සොයා ගෙන ඇති බවත් ඔහු දැනුම් දුන්නා.

ඒ අනුව, අදාළ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

එසේම මන්ත්‍රීවරයා භාවිත කළ සුඛෝපභෝගි ජිප් රථයේ ඉදිරිපස අසුන යට තිබී ඔහුගේ ජාතික හැඳුනුම්පත සහ පාර්ලිමේන්තු හැඳුනුම්පත ද සොයා ගත් බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේ.

මේ අනුව, කරුණු සලකා බලමින් පළමු සැකකරු වන රිෂාඩ් බදියුදීන්ට මෙන්ම දෙවන හා තුන්වන සැකකරුවන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තා.

2019 ජනාධිපතිවරණ සමයේදී අවතැන්වූවන් ඡන්ද පොල වෙත ප්‍රවාහනය කිරීම සඳහා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංගම බස් රථ යොදා ගෙන මහජන මුදල් සාපරාධී ලෙස අවභාවිත කළ බවට නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබුණා.

ඒ අනුව, පසුගිය 19 වනදා දෙහිවල ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබූයේ ඔහුට රැකවරණ සැපයූ තවත් 7 දෙනෙකු ද සමගින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *