20 ට තවත් සංශෝධන 03 ක් සිදුකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි

20 ට තවත් සංශෝධන 03 ක් සිදුකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර තවත් ඉහළට

පාස්කු ප්‍රහාරයේ බුද්ධි තොරතුර, 15,000 ක් දැන සිටි බවට හෙළිවේ

20 ට එරෙහිව මහා සංඝරත්නයේ විරෝධය

පොලිසිය සමඟ වෙඩි හුවමාරුවකින් ‘මාකඳුරේ මදූෂ්’ මරුට

රිමාන්ඩ් කළ රිෂාඩ්, පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයට

*********************************************

20 ට තවත් සංශෝධන 03 ක් සිදුකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි

(19.10.2020 – 19:24 +0530 – hirunews.lk/sinhala)

20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ වගන්ති 3 ක් සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළා.

ඒ, අද (19) පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අනිද්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් ඊයේ (18) පස්වරුවේ පැවැත්වුණේ විජේරාම පෙදෙසේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී.

පස්වරු 5 ට පමණ ආරම්භ වූ රැස්වීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහභාගි වී ඇත්තේ එය පැවැත්වෙන අතරවාරයේදීයි.
ඔහු එහි පැමිණ තිබුණේ PCR පරීක්ෂණයකට ලක්වීමෙන් අනතුරුවයි.

මේ හේතුවෙන් පක්ෂ නායක රැස්වීම වේලාසනින් අවසන් වූ බවයි වාර්තා වන්නේ.

මේ අතර 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාද අදහස් පළ කළා.

මේ අතර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ විවාදය කල් දමන ලෙස ඉල්ලා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කථානායකවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඔහු සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති සෞඛ්‍ය රෙගුලාසි නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේනම් රැස්වීම් සීමා කළ යුතු බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අසුන් ගන්නා ආකාරය රජයේ රෙගුලාසිවලට පරස්පර බවත්, රැස්වීම් සීමා කර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව රැස්කිරීම නීති රීතිවලට පටහැනි බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

විපක්ෂයේ සංවිධායකවරයා කථානායකවරයා වෙත යොමු කළ අදාළ ලිපියට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රතිචාර දැක්වූවා.

මේ අතර පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඔහු එමගින් ව්‍යවස්ථා සංශෝධනයේ ඇති –

  1. හදිසි පනත් සම්මත කිරීම
  2. රාජ්‍ය සමාගම් විගණනය කිරීමට විගණකාධිපති සතු බලතල අහෝසි කිරීම
  3. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ ජනාධිපති වීමට අවස්ථාව සැලසීම
  4. ඇමතිවරුන් ගණනට ඇති සීමාව ඉවත් කිරීම

යන කරුණු 4 කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් 69 ලක්ෂයේ ජන වරමට ගරු කරනු වස් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වඩාත් ජනතා හිතකාමි කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මේ අතර 20 වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (19) පස්වරුවේ රැස්වුණා.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

*********************************************

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර තවත් ඉහළට

(19.10.2020 – 19:06 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ තවත් ආසාදිතයින් 40 දෙනෙකු අද (19) සොයාගෙන තිබෙනවා.

ඉන් 19 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් සොයාගෙන ඇති අතර සෙසු 21 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් බවයි සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ.

ඒ අනුව බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 2162 දක්වා ඉහළ ගියා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5585 ක් දක්වා ඉහළ යන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2132 ක්.

එමෙන්ම ආසාදිතයින් 37 දෙනෙකු අද (19) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 3440 දක්වා ඉහළ ගියා ෴

++++++++++++

කොළඹ නැව් තටාකාංගනයේ තවත් සේවකයන් 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව PCR පරීක්ෂණවලින් අද (19) තහවුරු වූ බවයි කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ දිනූකා ගුරුගේ මහත්මිය සඳහන් කළේ.

මොවුන් බ්ලූමැන්ඩල් පොලිස් වසමේ මෝදර – අලුත් මාවතේ පිහිටි කොළඹ නැව් තටාකාංගනයට අයත් නිල නිවසක නිරෝධායනයට ලක්වෙමින් සිටියදීයි මෙලෙස ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත්තේ.

නැව් තටාකාංගන සමාගමේ සේවකයන් දෙදෙනෙකුට (2) කොරෝනා රෝගය වැලදී ඇති බවට අනාවරණය වීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයන් PCR පරීක්ෂණයට යොමු කරනු ලැබුවේ.

මෙම තත්ත්වයත් සමඟ කොළඹ නැව් තටාකාංගන සමාගමේ ආයතන කලමණාකාරීත්වයේ විශේෂ සාකච්ජාවක් අද (19) පස්වරුවේ පවත්වා තිබෙනවා.

මේ අතර, ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති ලාල් බංගමුවගේ මහතා සඳහන් කළේ කොළඹ නැව් තටාකාංගනයට සහ වරාය පරිශ්‍රයට සේවකයන් ඇතුළු වන්නේ එකම ස්ථානයකින් වන බැවින් වරාය සේවකයන්ට ද වෛරසය ආසාදනය වීමේ අවධානමක් මතුව ඇති බවයි.

කෙසේ වෙතත්, අද (19) මාධ්‍ය හමුවක් පවත්වමින් වරාය සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා සඳහන් කළේ මේ දක්වා කිසිදු වරාය සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.

+++++++++++++

පිටකොටුව හතරවන හරස් වීදියේ වියළි ආහාර ද්‍රව්‍ය තොග වෙළඳසැලක හිමිකරු ඇතුළු එහි සේවකයන් 04 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද (19) තහවුරු වුණා.

අදාළ වෙළඳසැලේ හිමිකරුට පසුගිය දිනෙක ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගැනීමට ගිය අවස්ථාවේ සිදුකළ PCR පරීක්ෂණයකදීයි ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැණුනේ.

ඉන් අනතුරුව ඔහුගේ ආශ්‍රිතයන්ට කොළඹ මහ නගර සභාව මඟින් සිදුකළ PCR පරීක්ෂණවලදී එම වෙළඳසැලේ තවත් සේවකයන් තුන් දෙනෙකුට (3) රෝගය වැලදී ඇති බවට හෙලි වුණා.

මෙම සිද්ධියත් සමඟ වෙළඳසැලේ සේවය කළ තවත් සේවකයන් 16 දෙනෙකු නිරෝධායනයට යොමු කළ බවයි කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

එමෙන්ම, කොළඹ මැනිං පොදු වෙළඳපොලේ ආපනශාලාවේ හිමිකරු ද කොරෝනා ආසාදිතයෙකු ලෙස අද (19) හඳුනා ගැණුනා.

මෙම සිද්ධියත් සමඟ එම ආපනශාලාව අවට වෙළඳසැල් 04 ක් වසා දැමීමටයි මහජන සෞඛ්‍ය පරීක්ෂවරු පියවර ගනු ලැබුවේ.

ඊට අමතරව මෙම කොරෝනා ආසාදිතයාගේ ආශ්‍රිතයන් 40 දෙනෙකු පමණ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර හෙට (20) දිනයේ එහි ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

පසුගිය 03 සහ 04 යන දිනවල දිවුලපිටිය ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගි වූ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් පසුව ඔහු විසින් මීගමුව ප්‍රදේශයේ වෙළඳසැලක් පවත්වාගෙන යාම නිසා එම ප්‍රදේශයේ සියලු වෙළඳසැල් වසා දැමීමට මීගමුව මහ නගර සභාව අද (19) පියවර ගත්තා.

අනතුරුව අදාළ මංගල උත්සවයට සහභාගි වූවන්ගේ සහ ආශ්‍රිතයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ ද සිදුකළ බවයි මීගමුව මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

+++++++++++++++

මෙරට ප්‍රමුඛ පෙළේ ඇඟළුම් නිෂ්පාදන සහ සැපයුම් ආයතනයක් වන මාස් හෝල්ඩින් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසයේ වැඩි බලපෑමක් පවතින ප්‍රදේශවල පදිංචි තම ආයතනයේ සේවකයන් සුළු පිරිසක් ද කොරෝනා ආසාදිතයන් ලෙස මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.

ඔවුන් මේ වනවිට රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා රජය සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවද එම ආයතනය සඳහන් කළා.

පවතින තත්ත්වය හමුවේ තම ආයතනයේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලයට අවශ්‍ය උපදෙස් සහ සහය ලබාදීමටත් දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමටත් විසි හතර පැය ක්‍රියාත්මක උපකාරක සේවා ක්‍රියාත්මක බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ, යක්කල සහ නිට්ටඹුව පොලිස් වසම් ආශ්‍රිත ප්‍රදේශවල කොළඹ නුවර මාර්ගයේ ධාවනය වන වාහන නතර කිරීමට තවදුරටත් ඉඩ ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (19) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාර වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹ දී අද (19) මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ මේ වනවිට රටතුල යම් සංකීර්ණ තත්ත්වයක් පැවතිය ද කොරෝනා වෛරසය තවදුරටත් සමාජ ගතවී නොමැති බවයි.

***************************************

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමේ ක්‍රියාමාර්ග අනුව මෙවර අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාව පළමු වතාවට ‘ඔන්ලයින්’ ක්‍රමයට පැවැත්වීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ‘සූම්’ තාක්ෂණය ඔස්සේ ඊට සහභාගිවන අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න හා විමසීම් සිදුකිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි වනු ඇති.

මීට අමතරව මේ වනවිට පැවැත්වෙන උසස් පෙළ විභාග මධ්‍යස්ථාන පරිශ්‍රයන්හි සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් වේ නම් 1988 ක්ෂණික දුරකථන අංකය අමතා තොරතුරු ලබා දිය හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

එමෙන්ම ලබන 24 වනදා ආරම්භවීමට නියමිත ශ්‍රී ලංකා ත්‍රිපිටක විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර ඇති බව මහාවිහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති සංවද්ධන සභාව ප්‍රකාශ කළා ෴

+++++++++++++++

20 October 2020 – 07:22

ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අද (20) සිට රුපියල් 5000 සේ දීමනාව ලබාදෙනවා.

එහි පළමු අදියර යටතේ මිනුවන්ගොඩ – දිවුලපිටිය, අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවුල් 72,345 ක් සදහා මෙම දීමනාව හිමි වනු ඇති ෴

+++++++++++++++

ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල පසුගිය දින කිහිපයේ වසා දමා තිබූ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් සහ ඔසුසල් අද (20) උදෑසන 8 ට යළි විවෘත වනවා.

ඒ අනුව රාත්‍රී 10 වන තුරු එම අලෙවිසැල් විවෘත තැබීමට අවසර ලබාදී ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

++++++++++++++

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ, යක්කල සහ නිට්ටඹුව පොලිස් වසම් ආශ්‍රිත ප්‍රදේශවල කොළඹ නුවර මාර්ගයේ ධාවනය වන වාහන නතර කිරීමට අද (20) සිට ඉඩ ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබූ පසුගිය 4 වන දා සිට අද (20) අලුයම 6 දක්වා කාලය තුළ ඇදිරි නීතිය කඩ කළ 388 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගනු ලැබූ වාහන සංඛ්‍යාව 58 ක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ගත වූ පැය 24 රේ දී පුද්ගලයින් 86 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙතෙක් පොලිස් භාරයට ගනු ලැබූ වාහන අතර යතුරුපැදි 40 ක් සහ ත්‍රිරෝද රථ 12 ක් ද වන බව ඔහු කියා සිටියා ෴

*********************************************

පාස්කු ප්‍රහාරයේ බුද්ධි තොරතුර, 15,000 ක් දැන සිටි බවට හෙළිවේ

(19.10.2020 – 20:47 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට අදාළ බුද්ධි තොරතුර පසුගිය වසරේ අප්‍රේල් මස 11 වන දා වන විට 15,000 කට ආසන්න පිරිසක් දැනුවත්ව සිටි බවට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අද (19) ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා.

පාස්කු ප්‍රහාරය පිළිබදව සොයන ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු කියා සිටියේ පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාට ද එම තොරතුරු යොමු කර තිබූ බවයි.

සහරාන් රටින් පිට කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා උපකාර කිරීමේ සිද්ධිය දේශපාලන විමර්ශනයක් වන බවට තමන් එවකට කළ ප්‍රකාශය මේ වන විට තහවුරු වී ඇති බව ද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා සදහන් කළා.

*********************************************

20 ට එරෙහිව මහා සංඝරත්නයේ විරෝධය

(19.10.2020 – 21:13 +0530 – hirunews.lk/sinhala)

අනිද්දා (21) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහා සංඝ රත්නය නියෝජනය කරන බොහෝ ස්වාමීන් වහන්සේලා මෙන්ම ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් විරෝධය පළ කරනවා.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද ප්‍රකාශ කර ඇත්තේ මහා සංඝරත්නය දරණ මතය තමාගේ මතයද වන බවයි.

මේ අතර ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහ තවත් පාර්ශව කිහිපයක් අද (19) විසිවන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නිවේදන නිකුත් කර තිබුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා , ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ඇතැම් කරුණු සංශෝධනය කිරීමට අවධානය යොමුකරන ලෙසටයි.

ඒ අනුව අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි කිරීම, විගණනය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන ඉවත් කිරීම සහ හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒම මූලිකවම පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ දේශපාලනිකව එක් පුද්ගලයෙකු පමණක් ඉලක්ක කරගනිමින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ගෙන ආ ද්විත්ව පුරවැසි භාවය පිළිබඳ වගන්තිය තරයේ හෙළා දකින බවයි.

මේ අතර, පිවිතුරු හෙළ උරුමයද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ ප්‍රතිපත්තියක් ලෙස විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ නමුත් එය බරපතල සංශෝධන කිහිපයකට ලක් කළ යුතු බවයි.

එබැවින් එම සංශෝධනයේ අඩංගු කරුණුවල දේශපාලන සහ සමාජ බලපෑම පිළිබඳ සංවාදය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බව එමඟින් පෙන්වාදී තිබෙනවා.

එමෙන්ම, පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහා සංඝරත්නයෙන් මතුව ඇති විරෝධය පිළිබදව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ අගරදගුරු මණ්ඩලය, සිවිල් සංවිධාන මෙන්ම රටේ ශාසනික සහ සමාජ මෙහෙවරේ විවිධ ආකාරයෙන් කැප වී සිටින භික්ෂූන් වහන්සේලාගේ ද අප්‍රසාදය මේ වන විටත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එල්ල වී ඇති බවයි.

ඒ හේතුවෙන් ජන නායකයා වශයෙන් එම අදහස් පිළිබදව අවධානය යොමු කරන ලෙසයි උන්වහන්සේ සිය ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

මේ අතර විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මහා සංඝරත්නය දරණ මතය තමාගේ මතයද වන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කර ඇත්තේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, උන්වහන්සේට සන්දේශයක් භාරදීමට ඊයේ (18) අගරදගුරු නිවස වෙත පැමිණි අවස්ථාවේදියි.

විසිවන ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දක්වමින් වෘත්තිය සමිති 18 ක් සහ මහා සංඝ රත්නය එක්ව නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී ජනාධිපතිවරයා වෙත භාරදීම සඳහා සංදේශයකට අත්සන් තැබුවා.

එහිදී අදහස් දක්වමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේ සංශෝධන සහිතව ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන තෙක් විසිවන ව්‍යවස්ථා සංශෝධනය අත්හිටුවන ලෙසයි.

++++++++++++++

20 October 2020 – 07:43

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා විසින් අද (20) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුව අද (20) උදෑසන 10:30 ට රැස්වන්නේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදය හෙට (21) සහ අනිද්දා (22) දෙදින පුරා පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී පසුගිය දා තීරණය කරනු ලැබුවා.

මේ අතර, පනත් කෙටුම්පත විවාදයට ගන්නා දින දෙකෙහි ආණ්ඩු පක්ෂයේ සියළු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ රැදී සිටීම අනිවාර්ය කර තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේ ඊයේ (19) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදියි.

එමෙන්ම, පිවිතුරු හෙළ උරුමය 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ (19) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කළා.

එමගින් ඔහු පෙන්වා දුන්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ දක්වා ඇති හදිසි පනත් සම්මත කිරීම, රාජ්‍ය සමාගම් විගණනය කිරීමට විගනකාධිපති සතු බලතල අහෝසි කිරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති වීමට අවස්ථාව සැලසීම, ඇමතිවරුන් ගණනට ඇති සීමාව ඉවත් කිරීම යන කරුණු පිළිබදව නැවත අවදානය යොමු කළ යුතු බවයි.

මේ අතර, 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ වගන්ති 3 ක් සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළා ෴

***************************************

ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය සතු ආරක්ෂිත වී තොග සහල් බවට පත් කොට වෙළඳපොලට නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන මස මුල් සතියේ සිට එම සහල් වෙළඳපොලට නිකුත් වනු ඇති.

දැනට වී අලෙවි මණ්ඩලය සතුව පසුගිය යල සහ මහ කන්නයේ වගාකරන ලද ආරක්ෂිත වී තොග මෙට්‍රික් ටොන් 30,000 ක් පමණ පවතිනවා ෴

***************************************

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමග රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අද (19) ගම්පහ දිස්ත්‍රික් රෝහල කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා.

මෙවර හිරු සහන යාත්‍රාවේ අවධානය යොමු වන්නේ කොරෝනා මර්දන මෙහෙයුම්වල නිරත සෞඛ්‍ය අංශ සාමාජිකයින් වෙනුවෙන්.

ඒ අනුව ශ්‍රී ලංකා රතු කුරුස සංගමය සමඟ එක්ව ගම්පහ දිස්ත්‍රික් රෝහලේ කාර්ය මණ්ඩලය වෙත ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගයක් බෙදාදීම අද සිදුකෙරුණා.

++++++++++++++

20 October 2020 – 08:09

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවේ කොරෝනා පොකුරෙන් ඊයේ (19) දිනයේදීත් තවත් ආසාදිතයින් 87 දෙනෙකු වාර්තා වුණා.

අවසන් වරට වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 40 දෙනාගෙන් 21 දෙනෙකු ඇඟලුම් කර්මාන්තශාලාවේ කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර, 19 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටින අය වනවා.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගලුම් කර්මාන්තශාලාවේ කොරෝනා ආසාදිතයින් 2162 දක්වා ඉහළ යන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5625 ක් ලෙස දැක්වෙන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2172 ක්.

මේ අතර, කොළඹ – නැව් තටාකාංගණයේ සේවය කරන ගාල්ල – කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත පුද්ගලයා දිනපතා අම්බලන්ගොඩ සිට කොළඹ බලා බස් රියෙන් හෝ දුම්රියෙන් ගමන් කර ඇති බවට සෞඛ්‍ය අංශ විසින් තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

මේ වන විට කොළඹ, නැව් තටාකාංගණයේ සේවකයින් 8 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (19) තහවුරු වුණා.

*********************************************

පොලිසිය සමඟ වෙඩි හුවමාරුවකින් ‘මාකඳුරේ මදූෂ්’ මරුට

(20.10.2020 – 05:57 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත’ හෙවත් ‘මාකඳුරේ මධූෂ්’ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සහ පොලීසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණය අසළ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

කොළඹ අපරාධ කොට්ඨාසයට භාරයේ පසුවන ‘මාකඳුරේ මධූෂ්’ පොලීසියේ අනුදැනුම මත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකට දුරකථන ඇමතුමක් ලබාදී මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණය අසළට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේ.

පොලීසිය සමඟ එම ස්ථානයට ගිය අවස්ථාවේදී අදාළ ජාවාරම්කරුවන් ‘මධුෂ්’ බේරා ගැනීම සඳහා පොලීසිය දෙසට වෙඩි තබා තිබෙනවා.

එම වෙඩි තැබීමත් සමඟ පොලීසිය ද ඔවුන් දෙසට වෙඩි තබා ඇති අතර සිද්ධියෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු (2) තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

සිද්ධිය වූ ස්ථානයේ තිබී රුපියල් කෝටි 22 ක් වටිනා හෙරොයින් කිලෝ 22 ක්, මෙම ජාවාරම්කරුවන් රැගෙන ආ පිස්තෝල දෙකක් (2) සහ මොවුන් පැමිණි යතුරුපැදියක් ද සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ.

++++++++++++++++

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මේ වන විට විදේශගතව සිටින ‘සින්නයියා ගුණසේකරන්’ හෙවත් ‘කිඹුලාඇලේ ගුණා’ගේ සමීපතමයෙකු හෙරොයින් සමඟ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (19) මෙම වැටලීම සිදුකර තිබූ අතර, ඔහු සතුව තිබී සොයා ගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 320 ක්. සැකකරු ඝාතන රැසකට සම්බන්ධ බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

1999 වසරේ සිට 2003 වසර දක්වා කාලය තුළ ‘ප්‍රින්ස් කොලම්’ නැමති සංවිධානාත්මක අපරාධ කල්ලියේ සාමාජිකයෙකු ලෙසටද මොහු කටයුතු කර තිබෙනවා ෴

***************************************

20 October 2020 – 07:03

බද්දේගම පොලීසිය අසළින් ගිං ගඟට පැන සියදිවි හානි කර ගැනීමට තැත්කළ කාන්තාවක් බද්දේගම පොලිස් විශේෂ කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු විසින් බේරාගෙන තිබෙනවා.

එලෙස සියසිවී හානි කරගැනීමට තැත් කර ඇත්තේ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා ඊයේ (19) සවස බද්දේගම පොලීසියට පැමිණි කාන්තාවක් බව සඳහන්.

පසුව එම කාන්තාව බද්දේගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

ඇය 26 හැවිරිදි දෙදරු මවක් බවයි පොලීසිය පවසන්නේ ෴

*********************************************

රිමාන්ඩ් කළ රිෂාඩ්, පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයට

(20.10.2020 – 08:06 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන්, මීගමුව – පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළා.

එමෙන්ම, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (20) සලකා බැලීමට නියමිතයි.

දින 6 ක් පුරා පොලීසිය මඟ හරිමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඊයේ (19) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ දෙහිවල – එබනයිසර් මාර්ගයේ පිහිටි මහල් නිවාසයක සැඟව සිටියදියි.

මෙහිදී ඔහුට ගත වූ දින කිහිපය තුළ සැගව සිටීමට ආධාර අනුබල දුන් වෛද්‍යවරියක් ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, එම පිරිසට වෛද්‍යවරියගේ සැමියා සහ විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවෙකු ද සිටියා.

පසුව මෙම පිරිස ඊයේ (19) පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මෙන්ම සෙසු සැකකරුවන් එළඹෙන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා සඳහන් කළේ සැකකාර රිෂාඩ් බදියුදීන් මෙම සිද්ධියේදී කටයුතු කර ඇත්තේ මහජන මුදලින් නඩත්තු වන මහජන නියෝජිතයෙකු ලෙස නොව රස්තියාදුකාරයෙකු ලෙස බවයි.

මෙන්ම, අවතැන්වූවන්ගේ සුබ සාධනය සඳහා පවතින අවතැන්වූවන්ගේ අරමුදලේ මුදල් දේශපාලන ව්‍යාපෘතියක් සඳහා යොදාගෙන තිබෙන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.

එමෙන්ම, අවතැන් වූවන් ප්‍රවාහනය කිරීම සඳහා ලංගම බස් රථ ලබා ගැනීමේ සිද්ධිය නිරීක්ෂණය කිරීමේදී එය පෙර සැලසුමක් සහිතව සිදුකළ ක්‍රියාවක් බවට පැහැදිලි වන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් දින 14 ක් ඇතුළත විමර්ශන වාර්තාවක් ලබාදෙන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා ෴

***************************************

පහළ ආදායම් ලබන පවුල් අතරින් තෝරා ගත් පුද්ගලයින් ලක්ෂයක් (100,000) සඳහා රැකියා ලබාදීමට අදාළ ලිපි පත්වීම් ප්‍රදානය ආරම්භ වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ප්‍රථම අදියර සඳහා පුද්ගලයින් 34,818 දෙනෙකු තෝරාගෙන ඇති බවයි.

ඒ අනුව ඔවුන්ට ක්ෂේත්‍ර 25 ක් යටතේ මාස 6 ක විධිමත් පුහුණුවක් ලැබෙනු ඇති.

ඊට අදාළ සහතික පත්‍රයක් ද පසුව ප්‍රදානය කෙරෙන අතර, පුහුණු කාලසීමාව තුළ දී ඔවුනට රුපියල් 22,500 ක මාසික දීමනාවක් ද ලබාදෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

තෝරා ගත් සියළු දෙනා රජයේ හෝ පෞද්ගලික ආයතනයක රැකියාවක් නොකරන පවුල්වල සාමාජිකයින් වනවා.

පුහුණුවෙන් පසු අදාළ පිරිස අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ රජයට අනුබද්ධ ආයතනවල පුරප්පාඩු සඳහා යොමු කෙරෙනු ඇති.

එමෙන්ම, අතහැර දමා ඇති වගා කළ හැකි ඉඩම්වල නවීන තාක්ෂණය යොදාගෙන එළවළු සහ පළතුරු නිෂ්පාදනය කිරීමටත්, වනජීවි හා වන සංරක්ෂණ කටයුතුවලට මෙන්ම ග්‍රාමීය රෝහල් හා පාසල් සම්බන්ධ කටයුතුවලට අදාළ පිරිස යොමු කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ෴

***************************************

20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට හෙට (21) තීරණය කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තු රැස්වීම කල් දමන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මීටරයක දුර පවත්වාගෙන යාම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම අනිවාර්ය කරමින් පසුගිය දා ගැසට් පත්‍රයක් නිකුත් කෙරුණු අතර, එය කඩ කරන පුද්ගලයින්ට සිර දඬුවම් හෝ දඩ මුදල් ගෙවීමට සිදුවනවා.

එම ගැසට් පත්‍රය පිළිබදව අදහස් දක්වමින් විපක්ෂය පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව තුළ මීටරයක දුර පවත්වාගෙන යමින් මන්ත්‍රීවරුන්ට අසුන් ගැනීම සිදුකළ නොහැකි බවටයි.

මේ පිළිබදව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ද විරෝධය පළ කර සිටියා.

නීති සම්පාදනය කරන ස්ථානයම, නීති උල්ලංඝනය කරන්නේ නම් රටට දෙන ආදර්ශය කුමක්ද යනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල එම ලිපිය මගින් ප්‍රශ්න කර සිටිනවා.

ඒ හේතුවෙන් මෙම සතියේ පැවැත්වීමට නියමිත විසිවන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය කල් දමන ලෙසටයි ඔහු ඉල්ලා ඇත්තේ.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද කොළඹදී ඊයේ (19) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ කොරෝනා අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුව රැස්වීම අත්හිටුවන ලෙසටයි.

පාර්ලිමේන්තුව කැඳවීම කල් දමන ලෙසට විපක්ෂය දිගින් දිගටම සිදුකරන ප්‍රකාශවලට ප්‍රතිචාර දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ ඒ හරහා විපක්ෂයේ දේශපාලන බංකොළොත් භාවය මැනවින් පිළිබිඹු කරන බවයි.

මේ අතර, අප ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයාගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තීන්දු ගැනීමට බලය ඇත්තේ කථානායකවරයාට බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *