මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර වළක්වා ගත හැකිව තිබුණා ද? – විමර්ශනයට කමිටුවක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර වළක්වා ගත හැකිව තිබුණා ද? – විමර්ශනයට කමිටුවක්

සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

කෑගල්ලේ වෛද්‍යවරියගේ, පවුලේ සාමාජිකයිනුත් ආසාදිතයන් වෙයි

*********************************************

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර වළක්වා ගත හැකිව තිබුණා ද? – විමර්ශනයට කමිටුවක්

(12.10.2020 – 17:50 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවකයින් කොරෝනා වෛරසයට ගොදුරු වීම හා එය වළක්වා ගැනීමට ගත යුතුව තිබූ සෞඛ්‍ය වෛද්‍ය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව ඉදිරිපත් වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින්.

ඊට අදාළව අද (12) සාකච්ඡාවක් පැවති අතර, එහිදී මෙම කමිටුවේ නියෝජිතයින් ලෙස කම්කරු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කම්කරු කොමසාරිස් ඊ.සී.පී. දාබරේ මහතා සහ නීති නිලධාරී කේ.බී.ජී. ප්‍රේමදාස මහතා පත් කර ඇති බව සඳහන්.

එම කර්මාන්තශාලාවෙන් කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගත් පළමු ආසාදිත කාන්තාව මීට පෙර කර්මාන්තශාලාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ කර්මාන්තශාලාවෙහි උණ රෝගීන් පෙර සිටම වාර්තා වුවත් ඊට බලධාරීන් නිසි පියවරක් නොගත් බවයි ෴

+++++++++++++++

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හල් කොරෝනා පොකුරේ තවත් ආසාදිතයින් 39 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඉන් 25 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන අතර, අනෙක් 14 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 1346 දක්වා ඉහළ යනු ඇති.

මේ අතර, ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල විවෘතව පැවති ඔසුසැල් ඇතුලු අත්‍යාවශ්‍ය සේවා සපයන වෙළඳසැල් හෙට (13), අනිද්දා (14) සහ ලබන 15 වනදා වසා තැබීමට තීරණය කළ බව ද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 කට මේ වනවිට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

එමෙන්ම, කඳාන ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සේවකයින් 12 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ජාඇල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළා.

එම ආයතනයේ සේවකයෙකුගේ දියණිය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කර ඇති බව වාර්තා වීමත් සමඟ ඔහු සෞඛ්‍ය නිලධාරී කාර්යාලය මගින් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

ඒ අනුව ඔහු සේවය කළ කඳාන ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සේවකයින් 13 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව ඉන් 12 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී යැයි ජාඇල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා ෴

+++++++++++++++++++

කටුනායක ගුවන් තොටුපළේ ශ්‍රී ලන්කන් ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වන අතර, බාහිර අයෙකුගෙන් මෙම වෛරසය වැළදී ඇති බවටයි දැනට සිදුකරන ලද සොයා බැලීම්වලින් තහවුරු වී ඇත්තේ.

ඒ අනුව එම සේවකයා සමඟ රාජකාරී කළ තවත් සේවකයින් 50 දෙනෙකු පමණ මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කර තිබෙනවා.

මේ වන විට එම පරීක්ෂණවල ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ෴

+++++++++++++

රට තුළ පවතින තත්ත්වයත් සමඟ ණය සහනදායක මණ්ඩලයේ සහ එම කාර්යාලයේ සියළුම මහජන සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව අද (12) සිට එහි සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති අතර යළි සේවා කටයුතු ආරම්භ කිරීම පිළිබදව නැවත දැනුම් දෙන බවයි ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

++++++++++++++

හුදෙකලා කර තිබූ මන්නාරම පෙරියකඩෙයි සහ පට්ටිටෝට්ටම් යන ප්‍රදේශ, අද (12) පස්වරු 6 න් පසු යලි විවෘත කෙරුණු බව, යුධ හමුදාපතිවරයා පවසනවා ෴

++++++++++++++

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හල් කොරෝනා පොකුරේ තවත් ආසාදිතයින් 51 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඉන් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන අතර, අනෙක් 36 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 1397 දක්වා ඉහළ යනු ඇති ෴

+++++++++++++++++

දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශවල එම ඇඳිරි නීතිය ඉදිරි දින කිහිපයේදී දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය ප්‍රකාශ කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල විවෘතව පැවති ඔසුසැල් ඇතුලු අත්‍යාවශ්‍ය සේවා සපයන වෙළඳසැල් හෙට (13), අනිද්දා (14) සහ ලබන 15 වනදා වසා තැබීමට තීරණය කළ බවයි.

එසේම තමන් දිනපතා සිදුකරන ගමන් – බිමන් පිළිබඳව යම් සටහනක් තබා ගන්නා ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සියළු දෙනාගෙන් ඉල්ලීමක් කළා.

+++++++++++++++

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ වුවද දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව අද (12) ආරම්භ වූ උසස් පෙළ විභාගයට සිසුන්ගේ පැමිණීම ඉතා ඉහළ මට්ටමක පැවති බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් පවසනවා.

මේ අතර, ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන දිස්ත්‍රික්කවල පිහිටි විභාග මධ්‍යස්ථානවලද විභාග අපේක්ෂකයන්ගේ ඉහළ සහභාගීත්වයක් පැවති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම කන්දකාඩු සහ පූනානි නීරෝධායන මධ්‍යස්ථාන වල නීරෝධායනයට ලක්වෙමින් සිටි සිසු සිසුවියන් තිදෙනෙකුද (3) අද (12) සෙවනපිටිය ප්‍රාථමික විද්‍යාලයේදී උසස් පෙළ විභාගයට පෙනී සිටි බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

මීට අමතරව අයි.ඩි.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන සිසුන් දෙදෙනෙකු (2) ද අද (12) විභාගයට පෙනී සිටයේ එම රෝහල් පරිශ්‍රය තුලදීයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2648 කදී අද (12) ආරම්භ වූ අතර, ඒ සඳහා මෙවර අයදුම්කරුවන් 3,62,824 දෙනෙකු පෙනී සිටිනවා.

විභාගය එළඹෙන නොවැම්බර් මස 6 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් විභාගයෙන් අනතුරුව ඇතැම් පාසල් ඉදිරිපිට සිසුන් සහ දෙමාපියන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් රංචු ගැසී සිටි බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

+++++++++++++++

විදේශ ගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීම තාවකාලිකව නතර කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

රට තුළ මතුව ඇති කොවිඩ් වසංගත තත්ත්වය මත මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ.

+++++++++++++++

නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 124 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

වාහන 37 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++++++

13 October 2020 – 7:38

ඉදිරි දින තුන (3) ඇතුළත සියළුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල සේවය කරන පුද්ගලයින්ගේ තොරතුරු යාවත්කාලීන කරන ලෙසට පොලීසිය එම ආයතනවල ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ කොරෝනා වෛරසයත් සමඟ පවතින තත්ත්වයන් හේතුකොටගෙන මෙම යාවත්කාලීන කිරීම සිදුකළ යුතු බවයි.

එමෙන්ම, කොරෝනා වෛරසයත් සමඟ තමන් දෛනිකව සිදුකරන ගමන් බිමන් පිළිබඳව කෙටි සටහනක් තබා ගන්නා ලෙසට ද පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

මීට අමතරව කුලී රථ රියදුරන් ද තම සේවා කටයුතු සිදුකිරීමේදී එහි ගමන් ගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවටයි පොලීසිය මීට පෙර දැනුවත් කළේ.

මේ අතර, ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල විවෘතව පැවති ඔසුසැල් ඇතුලු අත්‍යාවශ්‍ය සේවා සපයන වෙළඳසැල් අද (13), හෙට (14) සහ අනිද්දා (15) යන තෙදින තුළ වසා තැබෙනවා.

මීට අමතරව රජයේ රෝහල්වලින් සායනික ඖෂධ ලබා ගන්නා පුද්ගලයින් හට එම ඖෂධ නිවෙස් වෙත බෙදා දීමේ වැඩපිළිවෙල ද අද (13) ආරම්භ කෙරුණා.

ඒ අනුව එහි පළමු අදියර යටතේ ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්කවල ජනතාව වෙත මෙම ඖෂධ නිවෙස් වෙත බෙදා හැරීමට නියමිතයි.

***************************************

වර්ෂාව ඇදහැලීම හේතුවෙන් බලපිටිය රේවත විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවන් ඊයේ (11) දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

එම දරුවන් කියා සිටින්නේ පැවති අධික වර්ෂාව නිසා විභාගශාලා තුළට ජලය ගැලීම හේතුවෙන් තමන්ට ලැබුණු ප්‍රශ්නපත්‍රය සඳහා පිළිතුරු ලිවීමට සිදුවූයේ පන්තිකාමරයේ බිත්තිය මත තබා ගෙන බවයි.

එලෙස දුෂ්කරතා මැද ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් තම දරුවන්ට සාධාරණයක් ඉටු කර දෙන්නැයි එම දරුවන්ගේ දෙමවුපියන් විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලිමක් කරනවා.

*********************************************

සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

(12.10.2020 – 15:41 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසට ද අද (12) සිට පත් කර තිබෙනවා.

අද (12) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ඊයේ (11) දිනයේදී පමණක් දිවයින පුරා පී.සී.ආර්. පරීක්ෂණ 6482 ක් සිදුකර ඇති බවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (12) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මේ බව සඳහන් කළා ෴

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂවරයාව සිටි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම තනතුරෙන් ඉවත් කිරීම පසුගිය දිනවල සමාජයේ යම් කතාබහකට ලක්වුනා.

පාර්ලිමේන්තුවේදීද මේ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කළා.

ඒ අතරතුර වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අද (12) බොහෝ කලකට පසුව මාධ්‍ය හමුවේ පෙනී සිටියා.

ඒ, සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙසයි.

එහිදී තනතුර වෙනස්වීම ගැන මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ රාජ්‍ය සේවකයෙක් ලෙස ලැබෙන වගකීම හොඳින් ඉටු කරන බවයි.

එමෙන්ම ඒ ගැන පැහැදිලි කිරීමක්ද කළා.

***************************************

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් යන දෙදෙනාට නොවැම්බර් මස 18 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (12) සිතාසි නිකුත් කෙරුණා.

ඒ, කොල්ලුපිටියේ පිහිටි සුඛෝපභෝගි මහල් නිවාසයක් ලබාදීම සහ ලබාගැනීම ඇතුලු අධිචෝදනා හයක් (6) යටතේ අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවකට අදාළවයි.

2016 වසරේ පෙබරවාරි මස 12 වන දින සහ සැප්තැම්බර් 30 කාලය තුළදී අදාළ නිවාසය ලබාදීම සහ ලබාගැනීම සිදුවී ඇති බවයි අල්ලස් කොමිසම ගොනුකළ අධි චෝදනාපත්‍රයේ දැක්වෙන්නේ ෴

***************************************

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් මුදා හැරීම සම්බන්ධයෙන් යළි පරීක්ෂණයක් සිදුකරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා, අධ්‍යක්ෂවරයා ඇතුළු අනෙකුත් නිලධාරීන් අද (12) හමුවීමෙන් අනතුරුවයි.

එහිදී රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් අදාළ විමර්ශනවල දුර්වලතා පැවති බව පෙනී ගොස් තිබෙනවා.

ඒ අනුව අදාළ කරුණු සම්බන්ධයෙන් තවදුරටත් පූර්ණ විමර්ශනයක් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ.

මේ අතර, රියාජ් බදියුදීන් මුදා හැරීම සම්බන්ධයෙන් සියලු විමර්ශන වාර්තා රැගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප්‍රධාන විමර්ශන නිළධාරිවරයා අද (12) නිතිපතිවරයා හමුවේ පෙනී සිටියා.

ඒ, ත්‍රස්තවාදීන්ට සහය දැක්වූ බවට චෝදනා එල්ලවූ රියාජ් බදියුදීන් මුදාහැරීම සම්බන්ධ කරුණු විමසීමටයි.

එමෙන්ම, රියාජ් බදියුදීන් නිදහස් කිරීමට එරෙහිව පාර්ශව කිහිපයක් අදත් පොලිස් කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කළා.

රහස් පොලිසිය විසින් රියාජ් බදියුදීන් සම්බන්ධ නඩුව නවතා දැමීම යුක්ති සහගත නොවන බව නීතිපති දප්පුල ද ලිවේරා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා ෴

++++++++++

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන්, තමන් අත්අඩංගුවට ගෙන මුදා හැරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ යළි ජාතිවාදී ගැටුම් සහ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා උනන්දුවක් දක්වන රජයේ සහ විපක්ෂයේ ඇතැම් පාර්ශවයන් විසින් විවිධ චෝදනා සිදුකරන බවයි.

රහස් පොලීසිය තමන් සම්බන්ධයෙන් දැඩි විමර්ශනයක් සිදුකළ බවත් තමන්ගේ නිර්දෝෂීභාවය පිළිබද සෑහීමකට පත්වීමෙන් පසු පසුගිය මස 29 වන දා තමන් නිදහස් කිරීමට කටයුතු කළ බවත් එම ලිපියේ සඳහන්.

ඇතැම් පාර්ශව තමන් නැවත අත්අඩංගුවට ගන්නා ලෙස සිදුකරන ඉල්ලීම් දේශපාලන හා ජාතිවාදී හේතූන් මත සිදුකරන පදනම් විරහිත ප්‍රකාශ බවයි රියාජ් බදියුදීන් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

***************************************

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අක්‍රිය කළ යුතු බව ‘ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග්‍රි මහා සංඝ සභාව’ පවසනවා (?).

එම සංඝ සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බවයි.

ඒ පිළිබදව කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය පූජ්‍ය අත්තන්ගනේ රතනපාල හිමියන්, පූජ්‍ය අත්තන්ගනේ සාසන රතන නාහිමියන් සහ මහාචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර අනුනාහිමියන් අදහස් දක්වා සිටියා.

+++++++++++++

ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඊයේ (12) නිකුත් කරන ලද විශේෂ නිවේදනය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ අවධානය යොමු වී තිබෙනවා.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අක්‍රිය කළ යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කළ යුතු බවටත් ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග්‍රි මහා සංඝ සභාව ඊයේ (12) නිවේදනයක් නිකුත් කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් සමගි ජනබලවේගය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ රටට එරෙහිව අනතුරු පැමිණෙන සෑම මොහොතකම මහා සංඝරත්නය නිරන්තරයෙන් කටයුතු කළ බවයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කථිකාවත කරලියට පැමිණි මොහොතේ සිටම සමගි ජන බලවේගය ඊට කොන්දේසි විරහිතව එරෙහි වූ බවත්, එය පරාජය කිරීම උදෙසා විපක්ෂය සක්‍රිය කඳවුරක් බවට පත් කිරීමට කටයුතු කළ බවත් එහි වැඩිදුරටත් සඳහන්.

***************************************

මෙරට පළමු නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස පත්වූ නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජාසිංහආරච්චි මහත්මියට එරෙහිව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙකු වැඩබලන පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර තිබෙනවා.

ඒ, පොලිස් සේවයේ අනුමත සේවක සංඛ්‍යාවේ කාන්තාවන් සඳහා නොමැති තනතුරකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ කටයුතු කළ ඇයව පත් කර ඇති බවට පවසමින්.

මේ අනුව අදාළ පැමිණිල්ල වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එලෙස පැමිණිලි කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් අතරට අයත් නීති කොට්ඨාශය භාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ සිට පසුගිය දා මාරුවීම් ලැබූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ ජාලිය සේනාරත්න සහ පොලිස් අශ්වාරෝහක කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අද (12) පොලිස් කොමිසම වෙත කැදවනු ලැබුවා.

බිම්ෂානි ජාසිංආරච්චි මහත්මිය පසුගිය දා වැඩබලන පොලිස්පතිවරයා විසින් සුබසාධන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කරනු ලැබුවේ පොලිස් කොමිසම ලබාදුන් නිර්දේශයකට අනුවයි ෴

*********************************************

කෑගල්ලේ වෛද්‍යවරියගේ, පවුලේ සාමාජිකයිනුත් ආසාදිතයන් වෙයි

(12.10.2020 – 20:52 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන් තොටුපළේ ශ්‍රී ලන්කන් ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වන අතර, බාහිර අයෙකුගෙන් මෙම වෛරසය වැළදී ඇති බවටයි දැනට සිදුකරන ලද සොයා බැලීම්වලින් තහවුරු වී ඇත්තේ. ඒ අනුව එම සේවකයා සමඟ රාජකාරී කළ තවත් සේවකයින් 50 දෙනෙකු පමණ මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කර තිබෙනවා.

මීට අමතරව කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක පුද්ගලයෙකුටද කොරෝනා ආසාදනය වි ඇති බවට එම ආයතනය ප්‍රකාශ කලා.

කටුනායක ආයෝජන කලාපයේ ඇඟළුම් කර්මාන්තශාලා තුනකින් (3) ද කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තා වී ඇති අතර, ආයෝජන කලාපය ආශ්‍රිතව තවදුරටත් පී.සී.ආර් පරීක්ෂණ සිදුකරමින් පවතින බවයි ආයෝජන මණ්ඩලය සඳහන් කළේ.

කෙසේ වෙතත්, ආයෝජන කලාපයේ කටයුතු දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ අඛණ්ඩව පවත්වාගෙන යාමට කටුනායක ආයෝජන කලාපයේ කර්මාන්තකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

මේ අතර, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 4 වන වාට්ටුවට ඇතුළත් කෙරුණු කතෝලික පුජකවරයෙකුට කොරෝනා ආසාදිත බවට පසුගියදා තහවුරු වීමත් සමඟ එම රෝහලේ හෙද නිලධාරිනියන් හතරදෙනෙකු (4) නිරෝධායනය සඳහා පිලියන්දල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකර තිබෙනවා.

කෙසේ වෙතත්, අදාල වාට්ටුව සමග සම්බන්ධ වු තමන් නිරෝධායනයට හෝ පි.සි.ආර්. පරීක්ෂණ සදහා හෝ යොමුකර නොමැති බවටයි එම රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල චෝදනා කරන්නේ.

එමෙන්ම, අදාල කතෝලික පුජකවරයා ප්‍රතිකාර ලැබු වාට්ටුවේ සිටි රෝගීන් දෙදෙනෙකු (2) එම වාට්ටුව තුලම නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පානදුර ප්‍රදේශයේ පදිංචි කොරෝනා ආසාදිත සිසුවිය සමග පෞද්ගලික නවාතැනේ නතරවී සිටි කොරෝනා ආසාදිත බවට අද (12) වාර්තා වූ ඇගේ මිතුරියට සිදුකල දෙවන පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඇයට එම වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

එමෙන්ම, ඊයේ (11) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් අතර සිටි වෛද්‍යවරියන් තුන්දෙනා (3) කෑගල්ල මහරෝහලේ සේවය කරන අය වන අතර, එම එක් වෛද්‍යවරියකගේ ස්වාමිපුරුෂයාට සහ පුත්‍රයාට ද මෙම වෛරසය ආසාදනය වී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ සඳහන් කළා.

රුහුණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පියෙකුටද කොරෝනා ආසාදිත බව තහවුරු වීමත් සමග අදාළ ශිෂ්‍යාව සහ ඇය සමග දෙවුන්දර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නවාතැනේ සිටි තවත් සිසුවියක්ද නිරෝධායනය සඳහා යොමු කෙරුණා. ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ හෙට (13) දිනයේ සිදුකිරීමට නියමිතයි.

මේ අතර, කඳාන ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සේවකයින් 12 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ජාඇල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළා.

එම ආයතනයේ සේවකයෙකුගේ දියණිය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කර ඇති බව වාර්තා වීමත් සමඟ ඔහු සෞඛ්‍ය නිලධාරී කාර්යාලය මගින් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

ඒ අනුව ඔහු සේවය කළ කඳාන ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සේවකයින් 13 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව ඉන් 12 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී යැයි ජාඇල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මාළිගාවත්ත බලවේග ධාවනාගාරයේ රාජකාරියේ යෙදී සිටින සේවකයෙකුගේ බිරිඳකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා.

ගම්පහ – උඩුගම්පල පදිංචි ඇය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු කාන්තාවක්.

ඒ හේතුවෙන් ඇයගේ ස්වාමි පුරුෂයා සහ ඔහු සමඟ සේවය කරන තවත් හයදෙනෙකු (6) ස්වයං නිරෝධානයට යොමුකර ඇති බවයි මාළිගාවත්ත මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ප්‍රකාශ කළේ.

හුදෙකලා කෙරුණු මන්නාරම ප්‍රදේශයේ පට්ටිතෝට්ටම් සහ පෙරියකඩෙයි යන ගම්මාන අද (12) පස්වරු 6 සිට යළි සාමාන්‍ය තත්ත්වයට පත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර, බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද පත් කර තිබෙනවා.

ඊයේ (11) දිනයේදී පමණක් දිවයින පුරා පී.සී.ආර්. පරීක්ෂණ 6482 ක් සිදුකර තිබෙනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (12) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, සෞඛ්‍ය අමත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ඒ බව සඳහන් කළා.

***************************************

තමන් ලබාදුන් නියෝග ක්‍රියාත්මක නොකරන්නැයි රනිල් වික්‍රමසිංහ මහබැංකුව ඇතුලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී තිබූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු තවදුරටත් අනාවරණය කළේ, යහපාලන ආණ්ඩු සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ මෙහයවූයේ රාජ්‍ය නොවන සංවිධානවල සහ දේශපාලන බලපෑම් මත බවයි.

පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ මෙරට ආරක්ෂක අමාත්‍ය ධූරය හෙබවූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ දෙවන (2) දිනටයි.

***************************************

‘ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය’ ඇතුළුව ඊ.ටී.අයි. ආයතනයේ දේපළ විකිණීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, ඊයේ (12) අමාත්‍ය මණ්ඩල රැස්වූ අවස්ථාවේදියි.

ඊ.ටී.අයි. ආයතනයේ සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත් කළේ පසුගිය ජනවාරි මාසයේයි.

අදාළ කොමිසමේ නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව මේ වනවිට ජනාධිපතිවරයා වෙත භාර දී තිබෙනවා.

විදේශිකයන් විසින් මාධ්‍ය ආයතනයන් හි අයිතිය ලබාගැනීම පිළිබඳ ශ්‍රී ලංකාවේ නීති කඩකරමින්, ඊ.ටී.අයි. ආයතනය සතු වත්කම් ‘බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ්’ සහ ‘බෙන් හෝල්ඩින්ග්ස් ප්‍රයිවට් ලිමිටඩ්’ යන සමාගම්වලින් සැදුම්ලත් ආයතන සමූහයකට විකිණීම පිළිබඳව විමර්ශනයටද අදාළ කොමිසමට බලය පවරනු ලැබුවා.

මෙම වාර්තාව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල හමුවෙන් අනතුරුව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා මෙලෙස අදහස් පළ කළා.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍ය මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී ද ඒ පිළිබදව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡාවට බඳුන් වූ බවයි.

++++++++++++

ඊ.ටී.අයි. ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා ඇතුළු තවත් අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවට අනාවරණ වීම හේතුවෙන් ඒ පිළිබඳ කඩිනමින් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සම්බන්ධ කමිටු වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බවයි බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *