චීනයෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 16.5 ක ආධාරයක්

චීනයෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 16.5 ක ආධාරයක්

බ්‍රැන්ඩික්ස් පොකුරෙන් ඊයේ (11) දිනයේදී තවත් ආසාදිතයින් 121 ක් – වෛද්‍යවරුන් තුන් (3) දෙනෙකුත් ඒ අතර

යහපාලන සමයේ අගතිගාමී නඩුවල වාර්තා, නීතිපති හමුවට ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක්

*********************************************

චීනයෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 16.5 ක ආධාරයක්

(12.10.2020 – 07:31 +0530 – hirunews.lk/sinhala)

චීන රජය ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 16.5 ක මූල්‍යාධාරයක් ලබාදීමට එකඟතාව පළ කර තිබෙනවා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජික යැං ජියෙචි මහතා ප්‍රමුඛ චීන රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායම පසුගිය දා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයට සමගාමීව අත්සන් තැබූ ගිවිසුම් ප්‍රකාරව එම මුදල් ආධාර ලබාදීමට නියමිත බවයි මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.

ශ්‍රී ලංකාව සහ චීනය අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ගිවිසුමකට චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා ආයතනයේ සභාපති වන් ෂියාඔටාඕ මහතා සහ මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා පසුගිය 9 වන දා අත්සන් තැබුවා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජික යැං ජියෙචි මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති හමුවේදී ශ්‍රී ලංකාවට චීනයෙන් ලබාදුන් අනෙකුත් ආධාර සහ ව්‍යාපෘති පිළිබදව සාකච්ඡා කළ බවයි චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ.

එමෙන්ම, කොරෝනා වසංගත තත්ත්වය තුළ පවා එම ව්‍යාපෘති ලබා ඇති සාර්ථකත්වය එහිදී පැසසුමට ලක් කළ චීන නියෝජිතයන් ඕනෑම මොහොතක උපරිම සහයෝගය ලබාදෙන බව සඳහන් කර තිබෙනවා ෴

***************************************

කළුතර – අගලවත්ත – හැලඹ ප්‍රදේශයේ 55 හැවිරිදි කාන්තාවක්, සිවලෙකු සපා කෑම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ (11) පස්වරුවේ සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව වෑත්තෑව රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ.

අගලවත්ත – හැලඹ ප්‍රදේශයේ ජනතාව කියා සිටියේ මෑත කාලයක සිට සිවලුන් ගම්මානවලට පැමිණීමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙන බවයි.

සිවලුන් හරහා ජලභීතිකාව වැළඳීමේ සිද්ධීන් රැසක් පසුගිය කාලයේ කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසවලින් වාර්තාවී ඇති අතර, මිල්ලනිය, මදුරාවල, හොරණ සහ ඉංගිරිය යන ප්‍රදේශවලින් වසරේ මේ දක්වා ජල භීතිකාව වැළඳුනු සිවලුන් 11 දෙනෙකු සහ සුනඛයින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා ෴

*********************************************

බ්‍රැන්ඩික්ස් පොකුරෙන් ඊයේ (11) දිනයේදී තවත් ආසාදිතයින් 121 ක් – වෛද්‍යවරුන් තුන් (3) දෙනෙකුත් ඒ අතර

(12.10.2020 – 07:28 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (11) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 124 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 4752 දක්වා ඉහළ ගියා.

අලුතින් වාර්තා වූ ආසාදිතයින් 124 දෙනාගෙන් 121 දෙනෙකුම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ නිරෝධායනයට ලක්වෙමින් සිටින කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 87 දෙනෙකු වන අතර, තවත් 34 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම විදේශයන් හි සිට පැමිණි තුන්දෙනෙකුද (3) කොරෝනා ආසාදිතයන් බවට ඊයේ (11) හඳුනා ගැනුණා.

කුවේට් හි සිට පැමිණි දෙදෙනෙකු (2) සහ ඕමානයේ සිට පැමිණි අයෙකු (1) මෙලෙස කොරෝනා ආසාදිතයන් බව තහවුරු කරගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර 1307 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (11) හඳුනාගැනුනු කොරෝනා ආසාදිතයන් අතර මාවනැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරුන් දෙදෙනෙකු (2) සහ කෑගල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු (1) ද ඇතුළත් වනවා.

මේ අතර, මන්නාරම රදගුරු නිවස පිටුපස ගොඩනැගිල්ලක ඉදිකිරීම් සඳහා පැමිණි කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගත් පෙදරේරුවාගේ තවත් ආශ්‍රිතයන් 3 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

අදාළ පෙදරේරුවාගේ ආශ්‍රිතයන් 5 දෙනෙකු කොරෝනා ආසාදිත බව පෙරේදා (10) දිනයේදී හඳුනා ගත් අතර, ඒ අනුව අදාළ පෙදරේරුවාගේ ආශ්‍රිතයන් 8 දෙනෙකුට මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බවයි මන්නාරම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ටී. විනෝදන් මහතා සඳහන් කළේ.

ඊයේ (11) දිනයේ මන්නාරම ප්‍රදේශයේ පට්ටිතෝට්ටම් සහ පෙරියකඩෙයි යන ප්‍රදේශ ද නැවත දැනුම් දෙන තුරු හුදෙකලා ගම්මාන ලෙස නම් කළා.

එමෙන්ම කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ සිසුවියකට කොරෝනා ආසාදනය වීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම සිසුවියගේ පියා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කර ඇති අතර, ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුවයි දියණියට පී.සී.ආර්. පරීක්ෂණය සිදුකර ඇත්තේ.

ඒ අනුව ඇය නවාතැන්ගෙන සිටි නේවාසිකාගාරයේ සිසුවියන් සහ කාර්ය මණ්ඩලයට අයත් 11 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මිනුවන්ගොඩ කර්මාන්තශාලාව ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන් වාර්තාවීමත් සමඟ පසුගිය හතරවනදා (04) සිට විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා වසා තැබුණා.

එමෙන්ම, මිනුවන්ගොඩ ප්‍රදේශයේ බාලිකා පාසලක 3 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් සහ ගම්පහ ජනප්‍රිය පාසලක උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුවියකට ද කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (11) තහවුරු වුණා.

ඊට අමතරව ඊයේ (11) උඩුගම්පල ප්‍රදේශයෙන් හඳුනාගැනුනු පාසල් සිසුවියට වෛරසය ආසාදනය වූ ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වී නැහැ. ඇය ලබන වසරේ උසස් පෙළ සඳහා පෙනී සිටීමට නියමිත අතර, ඇයගේ ආශ්‍රිතයන් සොයා මේ වනවිටත් විමර්ශන ක්‍රියාත්මක බවයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ ඇයගේ ආශ්‍රිතයන්ට සිදුකළ පී.සී.ආර්. පරික්ෂණවලින් වෛරසය වැළඳී නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ මෙම සිසුවියගේ මව පානදුර රෝහලේ හෙදියක ලෙස කටයුතු කරන අතර, ඇයට සහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බවයි.

එහි වාර්තා ඊයේ (11) ලැබී තිබූ අතර, ඒ අනුව ඔවුන්ට වෛරසය ආසදානය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

මේ වන විට මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාල බල ප්‍රදේශය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 600 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව එම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ප්‍රකාශ කළා.

එමෙන්ම, කටුනායක ආයෝජන කලාපයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 18 දෙනෙකු වාර්තාවනවා.

කොරෝනා ආසාදිතයන් 1,432 කු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 3,307 ක්.

මේ අතර, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ පවතින කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලීමක් කරනවා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඇඟලුම් කම්හල් සේවකයන් කෙරෙහි සමාජ වේදිකාවක් පැන නැගී ඇති බව සඳහන් කරන එම සංගමය අදාළ වෛරසය එම කර්මාන්තශාලාවට විශාඛා පට්ටම් හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙන් හෝ ඉන්දීය ජාතිකයන්ගෙන් පැමිණි බවට එල්ල වන චෝදනාව සත්‍ය ද අසත්‍ය ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතු බවයි පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, බ්‍රැන්ඩික්ස් සමාගම යළිත් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටින්නේ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් සියළු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සියළු දෙනා නිරෝධායන ක්‍රියාවලිය අනුගමනය කළ බවයි.

ඒ බව තහවුරු කරමින් සෞඛ්‍ය බලධාරීන් නිකුත් කරන ලද සහතික ඉදිරිපත් කිරීමට සූදානම් බව ද අදාළ නිවේදනය මගින් එම සමාගම පෙන්වා දෙනවා.

ජුනි මස 25 අගෝස්තු 8 සහ සැප්තැම්බර් 22 වන දා ඉන්දියාවේ විශාඛා පට්ටම් හි තම කර්මාන්තශාලාවල සිට 341 දෙනෙකු ගෙන්වා ගත් බවත් ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණ සහ දින 14 ක අනිවාර්ය නිරෝධායනය ඇතුළු රජයේ නිර්දේශිත සියළු නිරෝධායන පිළිවෙත් අනුගමනය කර තිබෙනවා.

එමෙන්ම, තවත් දින 14 ක් ස්වයං නිරෝධායනයට ද ලක් කෙරුණු බවයි බ්‍රැන්ඩික්ස් සමාගම අවධාරණය කර සිටින්නේ.

එමෙන්ම, පසුගිය මාස දෙකක (2) කාලය තුළ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවට ඉන්දියාවේ සිට පැමිණි කිසිවෙකු ඇතුළු නොවූ බවත් එම කර්මාන්තශාලාව ඉන්දියාවෙන් කිසිදු ඇණවුමක් භාර නොගත් බවත් කියා සිටියා.

තවද නිෂ්පාදන කටයුතු සඳහා ඉන්දියාවේ රෙදිපිළි භාවිත නොකරන බව ද බ්‍රැන්ඩික්ස් සමාගම අදාළ නිවේදනයෙන් පෙන්වා දෙනවා ෴

+++++++++++++++

දැනට පවතින කොරෝනා වෛරස් තත්ත්වය සමාජගතවීමක් වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ දැනට වාර්තා වන කොරෝනා ආසාදිතයින් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් පමණක් බවයි.

එමෙන්ම පවතින තත්ත්වයත් සමඟ කිසිදු පුද්ගලයෙකුට පී.සී.ආර්. පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලින් සිදුකර ගත නොහැකි බව ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා ෴

+++++++++++++++

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය දින 28 ක කාලයක් මුදල් නෝට්ටු, දුරකථන තිර සහ මළ නොබැඳෙන වානේ පෘෂ්ඨ මත පැවතිය හැකි බවට නවතම පර්යේෂණයක් හෙළිකර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ විද්‍යාඥයන් කණ්ඩායමක් සිදුකළ අදාළ පර්යේෂණයෙන් ප්‍රකාශ කර ඇත්තේ කොවිඞ් 19 වෛරසයේ ආයු කාලය දැනට විශ්වාස කරන කාලසීමාවට වැඩි බවයි.

අඳුරු පසුබිමක් තුළ අත්හදාබැලීම් සිදුකරමින් කළ මෙම පර්යේෂණය සිදුකර ඇති අතර, පාරජම්බුල කිරණෙන් වෛරසය විනාශ වන බව තහවුරු වන බවයි අදාළ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 3,70,36,119 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 10,81,246 ක් ලෙසයි දැක්වෙන්නේ ෴

++++++++++++++++

නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ තවත් 19 දෙනෙකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඒ අනුව මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 120 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පොලීසිය භාරයට ගෙන ඇති මුළු වාහන සංඛ්‍යාව 37 ක්.

පොලිස් බල ප්‍රදේශ 18 ක නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා ෴

+++++++++++++++++

පසුගියවරට වඩා මෙවර කොවිඩ් පැතිරීම වැඩිවීමේ ස්වභාවයක් දක්නට ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

වායුසමීකරණය කරපු ස්ථානවල වෛරසය පැතිරීම වැඩි බවට නිරීක්ෂණය වී ඇති බවත්, හොඳින් වාතාශ්‍රය පවතින ස්ථානවල සහ හොඳින් හිරුඑළිය පවතින ස්ථානවල වෛරසය පැතිරීම මන්දගාමී ස්භාවයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසනවා.

ඔහු මෙම දැනුම් දීම කළේ ‘හිරු ටීවී පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද (12) උදෑසන එක්වෙමින්.

+++++++++++++++

මාතර – වැල්ලමඩම ප්‍රදේශයේ පිහිටි රුහුණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පියෙකුටද කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති බව එම විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මෙම තත්ත්වය හමුවේ අදාළ ශිෂ්‍යාව සහ ඇය සමග දෙවුන්දර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නවාතැනේ සිටි තවත් සිසුවියක්ද නිරෝධායනය සඳහා යොමුකර ඇති බව සඳහන්.

ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ හෙට (13) දිනයේ සිදුකිරීමට නියමිතයි ෴

++++++++++++++

12 October 2020 – 12:09

කටුනායක ආයෝජන කලාපයේ ඇඟළුම් කර්මාන්තශාලාවලින් හමුවූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 25 දක්වා ඉහළ ගොස් ඇති බව ආයෝජන මණ්ඩලය සඳහන් කළා.

එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ ආයෝජන කලාපය ආශ්‍රිතව තවදුරටත් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරමින් පවතින බවයි.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තවත් සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

පසුගිය සෙනසුරාදා හඳුනාගත් පානදුර ප්‍රදේශයේ පදිංචි කොරෝනා ආසාදිත ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන තුන්වන වසර සිසුවිය සමඟ පෞද්ගලික නවාතැනේ නතරවී සිටි ඇගේ මිතුරියක් මෙලෙස කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇති බවයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේ.

මේ අතර අදාළ සිසුවියන් නතරවී සිටි නිවස හිමි කාන්තාව සහ පිරිමි පුද්ගලයාගේද පී.සී.ආර්. පරීක්ෂණ සිදු කෙරුණ නමුත් එහිදී අනාවරණ වී ඇත්තේ ඔවුන්ට කොරෝනා ආසාදනය වී නොමැති බවයි.

කෙසේ වෙතත් කොරෝනා ආසාදිත බවට හඳුනාගත් සිසුවියන් දෙදෙනා (2) සමඟ නවාතැන් ගෙන සිටි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි සිසුවියගේ පී.සී.ආර්. පරීක්ෂණ පිළිබඳ වාර්තාව මෙතෙක් ලැබී නැහැ.

ඇගේ පුංචි අම්මා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන අතර, එම කාන්තාව කොරෝනා ආසාදිතයෙකු බවට පසුගියදා හඳුනා ගැනුනා.

මේ අතර රුහුණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පියෙකුටද කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති බවයි එම විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙම තත්ත්වය හමුවේ අදාළ ශිෂ්‍යාව සහ ඇය සමග දෙවුන්දර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නවාතැනේ සිටි තවත් සිසුවියක්ද නිරෝධායනය සඳහා යොමුකර ඇති බව සඳහන්. ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ හෙට (13) දිනයේ සිදුකිරීමට නියමිතයි.

පූගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවිකාවකටද කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර, ඇය පසුගියදා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තත්ත්ව පරීක්ෂාවක් සඳහා ගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.

මේ අතර කොරෝනා ආසාදනය වූ පුද්ගලයෙකු පැමිණ යාමත් සමඟ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු (3) ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 4,752 ක් ලෙස පවතින අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,307 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ පසුගිය දිනවල හඳුනාගත් සියලු ආසාදිතයන් බ්‍රැන්ඩික්ස් පොකුරට සම්බන්ධ බවට අනාවරණ වී ඇති බවයි.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 කට පැනවූ ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් 120 කු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියා.

මේ අතර ගම්පහ, කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ජනතාවට පෞද්ගලික ඔසුසැල්වලින් ඔන්ලයින් ක්‍රමයට අද (12) සිට ඖෂධ මිලදී ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ කියා සිටියා.

මේ අතර සේවාවන් ලබාගැනීම සඳහා නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා සඳහන් කළා.

ඊට අදාළ සියලු කටයුතු සියලුම ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශීය කාර්යාලවල විමධ්‍ය ගත කර ඇති බවයි ඔහු කියා සිටියේ.

+++++++++++++++

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ රෝගීන්ගේ තුන්වන මට්ටමේ ආසාදිතයන් මේ වනවිට සොයාගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය සමග දුරකථන සංවාදයකට එක්වෙමින් එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා කියා සිටියේ විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් නිරෝධායනයට ලක්වීමේදී ඊට අදාළ තොරතුරු තම නිලධාරීන් වෙත නොලැබෙන බවයි.

මේ අතර විදේශ ගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීම තාවකාලිකව නතර කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

රට තුළ මතුව ඇති කොරෝනා වසංගත තත්ත්වය මත මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා කියා සිටියේ ෴

+++++++++++++++

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල විවෘතව තැබුණු ඔසුසැල් ඇතුලු අත්‍යාවශ්‍ය සේවා සපයන වෙළඳසැල් හෙට (13), අනිද්දා (14) සහ ලබන 15 වනදා වසා දැමීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 කට මේ වනවිට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි ෴

+++++++++++++++

දුම්රිය දෙපාර්තමේන්තුවේ මාළිගාවත්ත බලවේග ධාවනාගාරයේ රාජකාරියේ යෙදී සිටින සේවකයෙකුගේ බිරිඳකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ගම්පහ – උඩුගම්පල පදිංචි ඇය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු කාන්තාවක්. ඒ හේතුවෙන් ඇයගේ ස්වාමි පුරුෂයා සහ ඔහු සමඟ සේවය කරන තවත් හයදෙනෙකු (6) ස්වයං නිරෝධානයට යොමුකර ඇති බවයි මාළිගාවත්ත මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සඳහන් කළේ ෴

***************************************

අම්පාර – තිරුක්කෝවිල් ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවි පහක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (11) අත්අඩංගුවට ගත් මොවුන් අවුරුදු 22 ත් 66 ත් අතර වයස්වල පසුවන තිරුක්කෝවිල් ප්‍රදේශයේම පදිංචිකරුවන්.

මේ අතර මොරගහහේන – තලගල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 10 ක් සමඟ අවුරුදු 26 ක් වයසැති නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාරියගෙන් ලද තොරතුරු මත ඊයේ (11) පස්වරුවේ පාදුක්ක ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 100 ක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා.

එමෙන්ම වෙන්නප්පුව – ලුණුවිල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 125 ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

මොහු 28 හැවිරිදි ලුණුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

***************************************

12 October 2020 – 10:08

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනපති කොමිසම හමුවේ දෙවන (2) වරට සාක්ෂි ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (12) එහි පැමිණියා.

පෙරවරු 09:50ට පමණ හිටපු ජනාධිපතිවරයා කොමිසම හමුවට පැමිණි අතර ඔහු මේ වනවිටත් සාක්ෂි ලබාදෙමින් සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ මෙරට ආරක්ෂක අමාත්‍ය ධුරය හෙබවූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වන අතර, ඔහු ජනපති කොමිසම හමුවේ පසුගිය පස්වනදා (05) පළමුවරට සාක්ෂි ලබාදීම සිදුකළා.

හිටපු ජනාධිපතිවරයා සාක්ෂි ලබාදෙන ආකාරය දැකබලා ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන ද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබෙනවා.

***************************************

12 October 2020 – 10:33

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ලවී රිමාන්ඞ් කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 13 දෙනා මේ මස 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඞ් මිහාර් හමුවේ අද (12) පෙරවරුවේ මෙම නඩුව කැදවූ අවස්ථාවේදීයි.

දැනට රිමාන්ඞ් කර සිටින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොසිටි අතර විමර්ශණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී ඔහු කියා සිටියේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුෂංක ද සිල්වා හෙවත් පොඩි ලැසි නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් නියෝග මත රඳවා ගැනීමට ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා ඇති බවයි.

එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මේවනවිට අත්අඩංගුවට ගෙන රඳවා සිටින පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර කඩවත පොලීසියට භාරවීමට පෙර ඔහු සතුව තිබු රුපියල් 11,45,000 ක් අඩංගු මුදල් බැගයක් මොහු යටතේ සේවය කළ සැරයන්වරයෙකුගේ නිවසේ සගවා තිබියදී සොයාගත් බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියා.

එමෙන්ම ඉකුත් දා ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමනඩ් නෞකාවේ කපිතාන්වරයාට සිතාසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කළා.

අදාළ නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල අද (12) කැදවනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් ඉදිරියේයි.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ඉකුත් 8 වනදා අධි චෝදනා පත්‍ර ගොනු කළ බවයි.

සිතාසියක් ලද විට මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විත්තිකරුට අවවාද කරන ලෙසද මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියා.

ඒ අනුව සිතාසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අදාළ නෞකාවේ කපිතාන්වරයා වන තිරෝස් හිල්යාස් නමැත්තාට නියම කළ මහේස්ත්‍රාත්වරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන මෙම නඩු කටයුතු අවසන් කිරීමට ද නියෝග කළා ෴

+++++++++++++++++

අනුරධපුරය – මිහින්තලය ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 22 යි ග්‍රෑම් 300 ක් සමඟ කාන්තාවක් ඇතුලු තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (11) අත්අඩංගුවට ගත් මොවුන් අවුරුදු 19, 48 යන වයස්වල පසුවන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මේ අතර කිලිනොච්චිය – පලෙයි – ආලියාවලෙයි – තාලෙඅඩි ප්‍රදේශයේ නිවසක කේරළ ගංජා ජාවාරමේ නිරත සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී කේරළ ගංජා කිලෝ 10 යි ග්‍රෑම් 765 ක්, ඉලෙක්ට්‍රොනික් තරාදියක් සහ රුපියල් 14,500 ක මුදලක්ද පොලීසිය භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ෴

***************************************

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය දෙසැම්බර් මස 11 වනදා ආරම්භ කරන බව කොළඹ මහාධිකරණය නියෝග කළා.

මෙම නඩුව අද (12) කැදවනු ලැබුවේ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත හමුවේයි.

එහිදී මෙම නඩුවේ පැමිණිල්ලට අදාළව ඉදිරිපත් කර තිබෙන පරිගණක ආශ්‍රයෙන් උත්පාදනය කරන ලද සාක්ෂි විත්ති පාර්ශවයේ නීතිඥවරුන්ට පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පහසුකම් සලසා දීමට පියවර ගන්නා ලෙස මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් වෙත නියෝග කළා.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ මෙම රිය අනතුරු සිද්ධියට සම්බන්ධ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අයත් ඩබ්ලිව්.පී.කේ.ටී. 7545 දරණ ජීප් රථය මෙම නඩුව විභාගයට ගන්නා දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කර ලෙසයි.

ඊට අමතරව අනතුරට ලක් වූ සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයාට අයත් යතුරුපැදිය මීළඟ නඩු දිනයදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝගයක් නිකුත් කරන ලෙසද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටියා.

ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ ජීප් රථය මීළඟ නඩු දිනයදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාතයාංශයේ ලේකම්වරයාට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා අදාළ යතුරුපැදියද මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළා.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් පැදවූ ජීප් රථයක් මගින් සංදීප් සම්පත් නමැති තරුණයෙකුට බරපතල අනතුරක් සිදු කිරීම, බොරු සාක්ෂි සැකසීම, සාක්ෂි අතුරුදන් කිරීම ඇතුලු අධි චෝදනා 16 ක් යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අදිකාරි සුදත් අස්මඩල යන තිදෙනාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා.

***************************************

තංගල්ල – විතාරණ්දෙණිය එඬරුයාය ප්‍රදේශයේ වගා කටයුතු සඳහා කුඩා ජලාශයක් ඉදිකිරීමට ලබාගත් අවසර පත්‍රයක් භාවිත කරමින් පස් කැපීමේ නිරතවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

පොල් වගා ඉඩමකට අවශ්‍ය ජලය සපයාගැනීම සඳහා අදාළ කැණීම් සිදුකිරීමට තංගල්ල ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සහ ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගෙන ඇත්තේ තංගල්ල – කළුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ අදාළ අවසර පත්‍රය අවභාවිත කරමින් පස් කැපීමේ ජාවාරමක් සිදුකරන බවටයි.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසින්ගෙන් ලද තොරතුරු මත මධ්‍යම පරිසර අධිකාරියේ සහ භූවිද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශයේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (11) එම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කළා.

*********************************************

යහපාලන සමයේ අගතිගාමී නඩුවල වාර්තා, නීතිපති හමුවට ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක්

(12.10.2020 – 12:55 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් මුදා හැරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප්‍රධාන විමර්ශන නිළධාරියාව නීතිපතිවරයා විසින් අද (12) සිය කාර්යාලය වෙත කැඳවා තිබෙනවා.

මෙහිදී රියාජ් බදියුදීන් අපරාධ චෝදනාවලින් නිදහස් කිරීමට හේතු වූ කාරණා පිළිබඳව නීතිපතිවරයාගේ අවධානයට යොමුවීමට නියමිතයි.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ අදාළ විමර්ශනයේ සියළු විමර්ශන ගොනු ද නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරණ ලෙස දැනුම් දී ඇති බවයි.

නීතිපතිවරයාගේ දැනුමෙන් සහ අධීක්ෂණයෙන් තොරව රියාජ් බදියුදීන් නිදහස් කළේ කෙසේද යන්න සම්බන්ධයෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් හා අභියාචනාධිකරණයේ ගොනුකළ හේබියස් කෝපුස් නඩු රියාජ් බදියුදීන් විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසු ඔහුව අපරාධ චෝධනාවලින් නිදහස් කිරීමට හේතු වූ කාරණා ද නීතිපතිවරයාගේ අවධානයට යොමු වීමට නියමිතයි.

මේ අතර ‘සිංහලේ ජාතික සංවිධාය’ සහ ‘යුතුකම සංවිධානය’ විසින් අද (12) පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින්.

යහපාලන සමයේ ශානි අබේසේකර ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ බවට අනාවරණය වන අගතිගාමී විමර්ශනවල නඩු ගොනු නීතිපතිවරයා හා පොලිස් කොමිසම වෙත ගෙන්වා නැවත විමර්ශනයක් සිදු කරන ලෙසද ‘සිංහලේ ජාතික සංවිධානය’ මෙහිදී ඉල්ලීමක් කළා.

ඒ, අදාළ පැමිණිල්ල පොලිස් කොමිසමට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

***************************************

කතරගම කඳසුරිඳුගම සාම්ප්‍රදායික හේන් ගොවීන්ට අඩවි වන නිලධාරීන්ගෙන් නිරන්තරයෙන් හිරිහැර සිදුවන බව එම ගොවීන් පවසනවා.

කෙසේ වෙතත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන කතරගම අඩවි වන නිලධාරීන් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් කතරගම පොලීසියට පැමිණිල්ලක්ද සිදු කර ඇති බවයි.

කතරගම වැඩසිටි කන්ද පාමුල කඳසුරිඳුගම පුහුල් ආර ගොවි ජනපදයේ බහුතරයක් සාම්ප්‍රදායික හේන් ගොවිතැනින් ජීවත් වනවා.

වසර ගණනාවක් තිස්සේ පාරම්පරිකව සිදු කරගෙන එන මෙම හේන් ගොවිතැනට කතරගම අඩවි වන නිලධාරීන්ගෙන් නිරන්තරයෙන් හිරිහැර සිදු වන බව ගොවීන් චෝදනා කරනවා.

ගොවීන් චෝදනා කරන්නේ තමන් ජීවත් වන පැල්පත් වලට පැමිණ අඩවි වන නිලධාරීන් විසින් සිය බඩු භාණ්ඩද විනාශ කරන බවයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විෂයභාර රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කළේ අදාළ ගොවීන්ගේ ලිඛිත දැනුම්දීමක් තිබේනම් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ හැකි බවයි.

***************************************

වාරි තාක්ෂණය හා මෙරට ගැමියා අතර පවතින්නේ ගසට පොත්ත මෙන් සමීප සබඳතාවක්.

වගා කටයුතු සේම එදිනෙදා පරිභෝජනය සඳහාත් එකල රට කරවූ රජවරුන් තැන තැන වැව් කළ බව ඉතිහාසයේ සඳහන්.

මේ මහනුවර මැණික්හින්න වලල ප්‍රදේශයේ මහර බණ්ඩාර රජතුමා විසින් ඉදි කළ බවට ජනප්‍රවාදයේ පැවත එන මහර බණ්ඩාර වැවයි.

පිටවල, දම්බරාව, පාලම්වෙල, පිහිල්ලේවෙල ඇතුළු ගම්මාන රැසක ජනතාව මෙම වැව් ජලය හරහා සිය වගා කටයුතුවල නිරත වන්නේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතයි.

ඒ 1978 වසරෙන් පසුව මහර බණ්ඩාර වැවේ කිසිඳු ප්‍රතිසංස්කරණයක් සිදුව නොමැති වීම හේතුවෙන්.

ප්‍රදේශයේ අක්කර 500 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට මහර බණ්ඩාර වැව් ජලයෙන් අස්වැද්දුවද නිසි ලෙස වැව ප්‍රතිසංස්කරණය කරන්නේ නම් එම වගා බිම් ප්‍රමාණය වැඩි කර ගත හැකි බවටයි ප්‍රදේශයේ ගොවි ජනතාව පෙන්වා දෙන්නේ.

කොවිඩ් 19 වංසගත තත්ත්වය හමුවේ මෙරට කෘෂිකර්මාන්තය නගාසිටුවිය හැකි ක්‍රමවේද පිළිබඳ බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුවන්නේ නම් එය ස්වයංපෝෂිත රටක් වෙනුවෙන් මඟපෙන්වීමක් නොවේද..?

අක්කර දහස් ගණනක් වගා කළ හැකි ජලධාරිතාවක් සහිත මහර බණ්ඩාර වැව ප්‍රතිසංස්කරණය වනතුරු ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කලා මාධ්‍යයන් අතරින් කැටයම් කලාවට හිමිවන්නේ අග්‍රගන්‍ය ස්ථානයක්.

කැටයම් කලාව කියූ සැණින් අපට මතක් වන්නේ ඇම්බැක්කේ ලී කැටයම්.

එය තම ප්‍රධාන වෘත්තීය කරගනිමින් දස්කම් පෙන්වන ඇම්බැක්කේ ප්‍රදේශයේ තරුණයෙක් පිළිබදවයි මේ තොරතුරු.

මහනුවර – උඩුනුවර – ඇම්බැක්කේ ග්‍රාමයේ පදිංචි සතිස් කුමාර පියසේන මහතා තම පියාගෙන් කැටයම් කලාව ඉගෙනගනිමින් කුඩා කළ සිට දස්කම් පෙන්වූ දක්ෂ තරුණයෙක්.

ඔහු මෙම කැටයම් කලාවේ නිරත වෙමින් සම්මාන රැසක්ද හිමිකරගෙන තිබෙනවා.

2018 වසරේදී සතිස් කුමාර මහතා ශිල්ප අභිමානි ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත තරගයේ මධ්‍යම පළාත් දැව කැටයම් අංශයෙන් ප්‍රථම ස්ථානයත්, ජාතික මට්ටමේ දැව කැටයම් අංශයේ තෙවන ස්ථානයත් හිමිකරගෙන ඇති අතර 2019 වර්ෂයේදීද එම තරගයෙන් තෙවන ස්ථානය හිමිකරගැනීමට සමත් වුණා.

සාම්ප්‍රදායික කලාවන් සමාජයෙන් ගිලිහී යන යුගයක කැටයම් කලාව තම ප්‍රධාන වෘත්තීය කරගත් මොහු දුෂ්කරතා රැසක් මධ්‍යයේ තම කටයුතු වල නිරත වනවා.

ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක තම කටයුතු වල නිරත වන සතිස් කුමාරට තමාගේ නිර්මාණ පාරිභෝගිකයන් වෙත ප්‍රදර්ශනය කරගැනීමට සහ විශාල නිර්මාණ සිදුකිරීමට අවශ්‍ය තරම් ඉඩ ප්‍රමාණයක් නොමැති වීම ප්‍රධාන ගැටලුවක්.

එමෙන්ම කැටයම් කලාව පිළිබඳ තමා තුළ ඇති දැනුම, ඒ සඳහා කැමැත්තක් දක්වන පිරිසට ඉගැන්වීමටද සතිස් මහතා සූදානම්.

ඇම්බැක්ක දේවාලයේ පැරණි ලී කැටයම් පුහුණු මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණ කර ඉගෙනුම ලබන සිසුන්ට නවාතැන් පහසුකම්ද සලසා දීමට හැකි නම් මෙම කලාව ලංකාව පුරා ව්‍යාප්ත කිරීමටත් තම නිර්මාණ ජාත්‍යන්තරය තෙක් රැගෙන යාමට හැකි බවත් සතිස් කුමාර මහතා පවසනවා.

සංස්කෘතික උරුමයක් වන මෙම කැටයම් කලාවේ පැවැත්ම රැගෙන යා හැකි මෙවැනි තරුණයින් වෙනුවෙන් අතහිත දීමට හැකි නම් එය ඔහුට පමණක් නොව රටටද වැඩදායි වනු ඇති.

***************************************

2020 යුරෝපීය ලැම්බෝගිනි සුපර් ට්‍රොෆියෝ තරගාවලිය අරඹමින් පළමු අදියරය පසුගිය සති අන්තයේ ස්පාඤ්ඤයේ බාර්සිලෝනා හිදී ආරම්භ වුණා.

මෙම තරගයට ශ්‍රීලංකාවේ ඩිලන්ත මාලගමුව මහතා ද එක්ව සිටි අතර එහිදි ඔහු පළමු තරගයේ Pro – AM කාණ්ඩයේ තුන්වැනි (3) ස්ථානය සහ ඊයේ (11) පැවැති දෙවැනි (2) තරගයේදී දෙවන ස්ථානය (2) දිනා ගත්තා.

ඒ අනුව තරග දෙකක් නිමා වනවිට ඩිලන්ත ශූරතා ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ රැඳී සිටින්නේ ලකුණු 22 ක් සමඟින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ The aid package from Chinese Republic. They have always supported us, especially when the country was under serious threat from LTTE terrorists and Norway, US and UK siding with the terrorists to try and divide the country. Mercifully and thanks to China’s generous and unbending support, Sri Lanka averted a major disaster that the country faced. We are ever so grateful, and we know who our friends are, and who the fake and selfish, fair-weather friends are.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *