දිවයිනට පැමිණි චීන දූත කණ්ඩායම, ජනාධිපති සහ අගමැති හමුවෙයි

දිවයිනට පැමිණි චීන දූත කණ්ඩායම, ජනාධිපති සහ අගමැති හමුවෙයි

සාගර විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් අගමැති උපදෙස් දෙයි

ඉස්ලාම් අන්තවාදය ගැන සාකච්ඡා සීමා වුනා – පද්මසිරි ජයමාන්න

ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සිසුවියට හා මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ ඇගේ සහෝදරයාට කොරෝනා නෑ

කොව්ඩ්-19 වෛරසය මැඬලීමට දේශිය ඖෂධ නිපදවයි

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට වෙනම විභාග මධ්‍යස්ථාන

රිෂාඩ්ගේ සොහොයුරා නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩුවේ මන්ත්‍රීවරු 100 ක ගෙන් ජනපතිට ලිපියක්

*********************************************

දිවයිනට පැමිණි චීන දූත කණ්ඩායම, ජනාධිපති සහ අගමැති හමුවෙයි

(09.10.2020 – 13:09 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට පැමිණි 26 දෙනෙකුගෙන් සමන්විත ඉහළ පෙළේ චීන දූත කණ්ඩායම අද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිතයි.

ඊයේ (08) දිවයිනට පැමිණි එම පිරිස ගුවන් තොටුපොළේදී පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කර තිබෙනවා.

ගෝලීය කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තියෙන් අනතුරුව දකුණු ආසියානු කලාපයේ සංචාරයක නිරතවන ප්‍රථම ඉහළ පෙළේ චීන දූත කණ්ඩායම ලෙසයි අදාළ පිරිස දිවයිනට පැමිණියේ.

එම කණ්ඩායමේ නායකත්වය හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැං ජියේජි මහතාට හිමිව තිබෙනවා.

අදාළ දූත පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියේ ඊයේ (08) රාත්‍රී 07:40 ට පමණ.

අදාළ පිරිස ගුවන් තොටුපොළේදීම පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (08) පාර්ලිමේන්තුවේදී සදහන් කළේ.

ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික සබඳතා පුනර්ජීවනය යන කරුණු සම්බන්ධයෙන් දෙරට අතර ඇති සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ වී තිබෙනවා.

අදාළ චීන දූත පිරිස අද (09) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කරනු ලබන දැඩි සෞඛ්‍ය ක්‍රියා පිළිවෙත් යටතේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවැත්වෙන එම හමු දෙකට පමණක් චීන දූත පිරිසේ කටයුතු සීමා කරන බවයි.

++++++++++++++

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව සහයදෙන බවට දිවයිනට පැමිණි චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිසේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වී තිබෙනවා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසමේ කාර්යාල අධ්‍යක්ෂ යං ජියෙෂි මහතා (Yang Jiechi) ප්‍රමුඛ සත් පුද්ගල දූත පිරිස අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

චීන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා දැනටමත් බෙහෙවින් සතුටුදායක මට්ටමක පවතින අතර මෙම මිත්‍රත්වය පවත්වා ගැනීමත්, වර්ධනය කර ගැනීමත් චීන ජනාධිපති ෂී ජිං පින් මැතිතුමාගේ ප්‍රමුඛතාවක් බවයි එහිදී වැඩිදුරටත් සඳහන් වූයේ.

චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඇතුළු අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටින බව ද චීන දූත පිරිසේ ප්‍රධානියා එහිදී කියා සිටියා.

දිගු කලක සිට චීන විදේශ අමාත්‍යාංශයේ විවිධ තනතුරුවල සේවය කළ යං ජියෙෂි මහතා 2001-2005 කාලයේ අමෙරිකා එක්සත් ජනපදයේ චීන තානාපති ධූරයත්, 2007- 2013 කාලයේ විදේශ අමාත්‍ය ධූරයත් හෙබවුවා.

චීන පාලන තන්ත්‍රය තුළ ඔහු උප අගමැතිවරයෙකු (Vice Premier) හා සමාන වනවා.

පසුගිය මහා මැතිවරණයේ දී අත්කරගත් විශිෂ්ඨ ජයග්‍රහණය පිළිබඳව ෂී ජින් පිං මැතිතුමාගේ සුබ පැතුම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පුද කළ යං මහතා තමා වසර 35 කට පෙර භාෂා පරිවර්තකයෙකු ලෙස චීන දූත පිරිසක් සමග ශ්‍රී ලංකාවට පැමිණි බව සිහිපත් කළා.

රටවල් 04 ක් ඇතුළත් සිය ආසියානු චාරිකාවේ ප්‍රථම රට ශ්‍රී ලංකාව බව සඳහන් කළ ඔහු චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් දී ඇතැයිද ප්‍රකාශ කළා.

චීන – ශ්‍රී ලංකා සබඳතාවල වත්මන් අවධිය ගැන සතුට පළ කරමින් සංවාදය ආරම්භ කළ ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ චීනය බලයේ සිටින ආණ්ඩු ගැන වෙනසක් නැතිව ශ්‍රී ලංකාවට උපකාර කළ දිගුකාලීන මිතුරෙකැයි හැඳින්වූවා.

ත්‍රස්තවාදය පරාජය කිරීමට චීනයෙන් ඉමහත් සහයෝගයක් ලැබුණු බවත් යුද්ධය අවසන් වීමෙන් පසු ද්විපාර්ශ්වික සබඳතා තවත් ඉහළ මට්ටමකට ළඟා වූ බවත් දිවයිනේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීනයෙන් ලැබුණු දායකත්වයත් ජනපතිවරයා විසින් විශේෂයෙන් සිහිපත් කරනු ලැබුවා.

“මහ පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට චීනය දායක වුණා. හම්බන්තොට වරාය, වරාය නගර ව්‍යාපෘතිය, දක්ෂිණ අධිවේගී මාර්ගය ඉන් කිහිපයක්. හම්බන්තොට වරායක් ඉදිකිරීම චීනයේ නොව ශ්‍රී ලංකාවේ අදහසක්. එය ඉහළ ආදායම් සහ රැකියා උත්පාදන විභවතාවක් සහිත ව්‍යාපෘතියක් බව අප තේරුම් ගත්තා. ඊට අරමුදල් සම්පාදනය කිරීමට චීනය ඉදිරිපත් වුණා. බොහෝ භූ දේශපාලන විශ්ලේෂණවල මේ ව්‍යාපෘති අර්ථ කතනය කරන්නේ ශ්‍රී ලංකාව චීනය ඇටවූ ‘ණය උගුලක’ සිරවීමක් ලෙස. එය එසේ නොවන බවත්, මේ මහා පරිමාණ ව්‍යාපෘති ජනතාවගේ ජිවන මට්ටම වර්ධනය කිරිමට ඉවහල් වන බවත්, සනාථ කරන්න මට අවශ්‍යයයි. ඒ සඳහා අපට උදව් කරන්න”

ජනාධිපති ධූරයට පැමිණීමට පෙර 13 වරක් චීනයේ චාරිකා කළ තමාට චීනය අත්කරගෙන ඇති සංවර්ධනය ප්‍රගතිය සියැසින් දැකගැනීමට හැකි විණැයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

“විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල විශාල සංවර්ධනයක් මා දුටුවා. මගේ ඉලක්කය ඊට සමාන සංවර්ධනයක් අපේ රටේ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ඇති කරන්න; ග්‍රාමීය ජනතාවගේ ජීවන මට්ටම දියුණු කරන්න. ඉදිරි සිව් (4) වසර ඇතුළත වරාය නගර ව්‍යාපෘතියේ දෘශ්‍යමාන ප්‍රගතියක් දකින්න මම අපේක්ෂා කරනවා”

චීනය සමග වෙළෙඳාමේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය විශාල අගයක් ගන්නා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය අඩුකරනු පිණිස ශ්‍රී ලංකාවෙන් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය වැඩි කරන්නැයි දූත පිරිසේ නායකයාගෙන් ඉල්ලීමක් කළා.

“ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය ශක්තිමත්. ඔවුන් විවිධ භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඒ සඳහා චීන වෙළෙඳපොළ විවෘත කරන්න. ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන මෙන් චීන ව්‍යාපාරිකයින් දිරිමත් කරන්න. ශ්‍රී ලංකාවේ සංචාරය සදහා චීන වැසියන් උනන්දු කරවන්න. ශ්‍රී ලංකාවේ තේ වෙන්දීසියට සහභාගිවීමට චීනයට හැකිනම් එය ආර්ථික ස්ථාවරත්වයට විශාල ශක්තියක්”

උසස් පෙළ සමත්වන ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට විවෘතව ඇති උසස් අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා සීමාසහිත බව පැහැදිළි කළ ජනාධිපතිවරයා ඔවුන් උදෙසා තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීම චීනයට ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ හැකි ක්ෂේත්‍රයක් ලෙස හඳුන්වා දුන්නා.

ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත සංවර්ධන අරමුණු සපුරා ගැනීමට වචනයෙන් නොව ක්‍රියාවෙන්ම උදව් කිරීමට චීනය සුදානම් යැයි යං ජියෙෂි මහතා එහිදී ප්‍රකාශ කළා.

ශ්‍රි ලංකාව සමග බහුපාර්ශ්වික සහයෝගිතා වර්ධනයට සුදුසු ක්ෂේත්‍ර ගණනාවක් චීනය හඳුනාගෙන ඇති බවත් දැනටමත් ආරම්භ කර ඇති මහා පරිමාණ ව්‍යාපෘති නිම කිරීමට අමරතව කෘෂිකර්මය, අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය, ජල සම්පාදනය, සෞඛ්‍යය, වෛද්‍ය සැපයුම්, නූතන තාක්ෂණය, ඩිජිටල් ආර්ථිකය, නිල් ආර්ථිකය (Blue Economy) සහ ශ්‍රමික පුහුණුව ඉන් කිහිපයක්.

චීන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා යළි පටන් ගැනීමටත්, හම්බන්තොට කර්මාන්තපුර යෝජනා ක්‍රමය ඉක්මණින් නිම කිරීමටත් සැලසුම් කර ඇතැයි ද චීන දූත පිරිසේ ප්‍රධානියා පැවසුවා.

කොවිඩ් 19 උවදුර සාර්ථක ලෙස පාලනය කළ පසු ජනාධිපති රාජපක්ෂ මැතිතුමා නිල චාරිකාවක් සඳහා චීනයට එනු ඇතැයි ඉමහත් බලාපොරොත්තුවෙන් සිටින බවද යං ජියේෂි මහතා සඳහන් කළා.

චීන අන්තර්ජාතික සහයෝගීතා සංවර්ධන අධ්‍යක්ෂ වෑං ෂියාඕ තාවෝ, චීන විදේශ අමාත්‍යාංශයේ සහාය අමාත්‍ය ඩෙං ලි, කොළඹ චීන තානාපති කාර්යාලයේ ප්‍රධානී හූ වෙයි, චීන විදේශ අමාත්‍යාංශයේ ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චෙං සොං, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, චීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කරනු ලැබ සිටින ආචාර්ය පාලිත කොහොන යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

*********************************************

සාගර විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් අගමැති උපදෙස් දෙයි

(09.10.2020 – 13:16 +0530 – hirunews.lk/sinhala)

සාගර විශ්වවිද්‍යාලයේ ධීවර, සමුද්‍රීය හා නාවික ඉංජිනේරු ක්ෂේත්‍රයන්හි වෘත්තීය හා අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.

සාගර විශ්වවිද්‍යාලයේ භෞතික හා මානව සම්පත් සංවර්ධනයට අදාළව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා.

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය හම්බන්තොට දිස්ත්‍රික්කයේ කලමැටියාන ප්‍රදේශයේ ස්ථාපිත කොට සංවර්ධනය කිරීමටත්, එහි තාක්ෂණික පීඨය දැනට පවත්වාගෙන යන මට්ටක්කුලිය ප්‍රදේශයේ එම භූමිය කේන්ද්‍ර කර ගනිමින් සංවර්ධනය කිරීමටත් පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

කලමැටියාන ප්‍රදේශයේ භූමියක් ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය ඉදි කිරීම වෙනුවෙන් තමන් ධීවර ඇමතිවරයාව සිටි සමයේ ලබා දුන්නද, පසුගිය ආණ්ඩුවල ධීවර අමාත්‍යවරුන් විසින් සාගර විශ්වවිද්‍යාලය ඔවුන්ගේ බල ප්‍රදේශවලට ගෙන යාමට උත්සහ කිරීමෙන් එහි සංවර්ධනය මුළුමනින්ම ඇණ හිටි බව අග්‍රමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී දුන්නා.

සීමිත ඉඩ පහසුකම් යටතේ පවත්වාගෙන යන වෘත්තීය හා උපාධි පාඨමාලා පිළිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා එම දුෂ්කරතා අවම කිරීම සඳහා වහාම පියවර ගන්නැයි අදාළ අමාත්‍යවරුන් ඇතුළු බලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

රජයේ නව දැක්ම යටතේ ධීවර, සමුද්‍රීය කටයුතු, නාවික ඉංජිනේරු හා නාවික විද්‍යා ක්ෂේත්‍රයේ නිපුණ ශ්‍රමිකයන් සහ වෘත්තිකයන් දේශීය සහ විදේශීය වෙළෙඳපොළට සැපයීම ඉලක්ක කර ගත යුතු යැයි අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාවට එක්වෙමින් සදහන් කළා.

*********************************************

ඉස්ලාම් අන්තවාදය ගැන සාකච්ඡා සීමා වුනා – පද්මසිරි ජයමාන්න

(09.10.2020 – 13:19 +0530 – hirunews.lk/sinhala)

සුළු ජාතික පක්ෂ මත පැවති රජයේ ස්ථාවරය රඳා පැවති බැවින් ඉස්ලාම් අන්තවාදය ගැන එවක ආරක්ෂක මණ්ඩලයේදී සාකච්ඡා සීමා වූ බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකුව සිටි පද්මසිරි ජයමාන්න මහතා පවසනවා.

පාස්කු ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ, ජාතික ආරක්ෂ කවුන්සිලයේ රැස්වීම් පවා ඉහළ තලයේ මට්ටමක නොපැවති බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට හිටපු නීතිය හා සාමය අමාත්‍යාංශ ලේකම්වරයකු වූ පද්මසිරි ජයමාන්න මහතා ඊයේ (08) පැමිණියේ දෙවන (2) දිනටයි.

එහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ජාතික ආරක්ෂක කවුන්සලයේ රැස්වීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් විමසුවේ එම රැස්වීම්වලදී සහරාන් හෂීම් සම්බන්ධයෙන් සාකච්ඡා වුයේද යන්නයි.

*********************************************

ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සිසුවියට හා මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ ඇගේ සහෝදරයාට කොරෝනා නෑ

(09.10.2020 – 13:22 +0530 – hirunews.lk/sinhala)

පියාට කොවිඩ් ආසාදනය වී ඇති නිසා, PCR පරීක්ෂණවලට ලක් කෙරුණ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සිසුවියට හා ඇගේ සහෝදරයා වන, මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල යෙදෙන සිසුවාට, කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

ජාතික පෞද්ගලික කතෝලික පාසල්, සාමාන්‍යධිකාරී ගැමුණු ඩයස් පියතුමා හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවේ කරන ලද PCR පරීක්ෂණවලින් පසු මේ බව අනාවරණ වූ බවයි.

කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ අදාළ සිසුවියගේ පියාට කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමඟ අදාළ සිසුවිය ඇතුළු පවුලේ සාමාජිකයින් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවට එම විද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

එමෙන්ම, එම සිසුවියගේ සහෝදරයාද මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නිරත වීම නිසා එම සිසුවා ඇසුරු කළ ආශ්‍රිතයන්ද පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවටයි ඊයේ (08) වාර්තා වුනේ ෴

+++++++++++++++

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් මෙහෙයුම් කටයතු සහ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා කටයුතු ඔක්තෝබර් 17 වන දින දක්වා අත්හිටුවා ඇති බව වර්තා වනවා.

++++++++++++++

ඇඳිරි නීතිය පනවා ඇති කොවිඩ් 19 පැතිර යන ප්‍රදේශයන්හි සේවය කරන හෝ වාසය කරන, රජයේ නිලධාරින් හෝ පොලිස් නිලධාරින් නීතිපති දෙපාර්තමේන්තුවේ නීති කටයුතු සඳහා ගෙන්වීමෙන් වළකින ලෙස, නීතිපතිවරයා, දෙපාර්තමේන්තුවේ සියලු නීති නිලධාරීන්ට දැනුම් දුන් බව, නීතිපති සම්බන්ධිකාරක රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා ෴

++++++++++++++

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂය භාවිතා කරමින් ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධව සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රවෘත්තියක් පළ කිරීම සම්බන්ධයෙන් CIDය විසින් අත්අඩංගුවට ගත් 18 හැවිරිදි තරුණයා ඔක්තෝබර් 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ සැකකාර තරුණයා අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

+++++++++++++

+++++++++++++

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා 12, 13, 14, 15, 16 දිනවල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාලය මහජනතාව පැමිණීම තවදුරටත් අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව වෙතින් ලබාගතයුතු සේවා සඳහා රාජකාරී වේලාවන් වන උදෑසන 08:30 සිට සවස 04:15 දක්වා පහත දුරකථන ඔස්සේ හා විද්‍යුත් තැපෑල හරහා අදාළ අංශ සම්බන්ධ කරගනිමින් සේවා ඉටුකරගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාව වෙත දැනුම්දී තිබෙනවා.

මේ අතර පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවා ඇතුළු මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

++++++++++++

වයඹ පළාත තුළ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව තාවකාලික අත්හිටුවීම ක්‍රියාත්මක කාලසීමාව තුළ කල් ඉකුත් වූ බලපත්‍ර සඳහා නව ආදායම් බලපත්‍ර ලබාගැනීමේ දී දඩ මුදලක් අය නොකෙරෙනු ඇති ෴

++++++++++++++++

බස්නාහිර පළාතේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය මහජන සේවාවන් 2020.10.07 සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එහෙත් ඇතැම් සේවාවන් අදාළ වෙබ් අඩවිය හරහාද දුරකථන හරහාද ඉටුකරගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම වෙබ් අඩවිය හා දුරකථන අංකද ඇතුළත් නිවේදනය :

+++++++++++++++

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කැසිනෝ, රාත්‍රි සමාජ ශාලා, තැබෑරුම්, විදෙස් මත්පැන් තැබෑරුම්, හෝටල පීඨිකා, විනෝද පීඨිකා ලබන 31 වන දා දක්වා වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දැඩි නිරෝධායනයන නීති රීතිවලට යටත්ව මත්පැන් හල්, හෝටල්, තානායම් සහ ආගන්තුක නිවාස තවදුරටත් පවත්වාගෙන යා හැකි බවයි.

++++++++++++++++

ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 හි පිහිටි සතොස, සමුපකාර, ඔසුසැල්, සුපිරිවෙළඳ සැල් සහ අත්‍යවශ්‍ය භණ්ඩ අලෙවි කරන වෙළසැල් හෙට (10) දිනයේදිත් විවෘත කර තබන බව පොලිසිය පවසනවා.

පසුගිය සදුදා ඇඳිරි නිතීය පැනවීම ආරම්භ කිරිමෙන් පසු මුල්වරට අද (09) මෙම වෙළඳසැල් විවෘත කෙරුණු අතර, ඒවා අසළ දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

නිරෝධායන නිතීරිති යටතේ විවෘත කළ වෙළඳසැල් රාත්‍රි 8 වනවිට වසා තැබිය යුතු අතර, ඒවා යළි හෙට (10) පෙරවරු 8 සිට රාත්‍රි 8 දක්වා විවෘත තැබීමට ඉඩ ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම, ඇඳිරි නීතිය පැනවීමෙන් පසු මේ දක්වා ගතවූ කාල සීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 23 ක්.

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් උපදේශන සඳහා කැඳවීමෙන් වළකින ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබෙනවා. නිතිපතිවරයා විසින් සියලු‍ම නිලධාරීන්ට මෙම උපදෙස් ලබා දි ඇති බව සඳහන්.

++++++++++++++++

මෙවර උසස්පෙළ සහ ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටින විභාග අපේක්ෂකයන්ගේ විභාග ප්‍රවේශ පත්‍රය ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළහැකි බව පොලිසිය ප්‍රකාශ කළා ෴

+++++++++++++++++

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 1066 දක්වා ඉහලගොස් තිබෙනවා.

ඒ එම ආයතනයේ තවත් සේවකයන් දෙදෙනෙකුට (2) සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් 11 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතිබව තහවුරු වීමත් සමඟයි.

මීට අමතරව තවත් පුද්ගලයන් තිදෙනෙකුට (3) ද කොරෝනා ආසාදනය වී ඇති බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ ෴

++++++++++++++++++

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවෙන් වාර්තා වූ කොරෝනා පොකුරේ ව්‍යාප්තියත් සමඟ අද (09) කටුනායක ආයෝජන කලාපයේ පිහිටි කර්මාන්තශාලා 3 ක සේවක සේවිකාවන් තුන් දෙනෙකුට (3) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

ආයෝජන මණ්ඩලය සදහන් කළේ ප්‍රධාන පෙළේ කර්මාන්තශාලාවලින් මෙම ආසාදිතයන් වාර්තා වී ඇති බවයි.

එම කර්මාන්තශාලා තුනේම සේවක සේවිකාවන් 3000 කට වැඩි ප්‍රමාණයක් සේවය කරන අතර, ඔවුන් අද (09) පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කිරීම ආරම්භ කළ බවයි එම මණ්ඩලය කියා සිටියේ.

පසුගිය 7 වන දා උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මීගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කෙරුණු එක් ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවකට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඇයට කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබුණා.

වැඩිදුර පරීක්ෂණ සඳහා ඇය මාරවිල මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහිදී ද ඇයට කොරෝනා ආසාදිත බව තවදුරටත් තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

31 හැවිරිදි දෙදරු මවක් වන ඇය අදාළ කර්මාන්තශාලාවේ තත්ත්ව පාලිකාවක් ලෙස කටයුතු කර තිබෙනවා.

ඇයගේ ස්වාමි පුරුෂයා, දරුවන් දෙදෙනා සහ ආශ්‍රිතයන් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

මෙම ආසාදිතයන් තිදෙනා අතර සිටින තවත් පුද්ගලයෙකු කටුනායක ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්තශාලාවක ආරක්ෂිත නිලධාරියෙකු වන අතර මේ වන විට හෙළි වී ඇත්තේ ඔහුගේ බිරිඳ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක් බවයි.

අනෙක් ආසාදිත සේවිකාව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කර කටුනායක ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවය සඳහා පැමිණි අයෙකු බවට අනාවරණ වී තිබෙනවා.

+++++++++++++++

මන්නාරම අගරදගුරු නිවසේ මන්නාරම අගරදගුරු ලයනල් එමානුවෙල් පියතුමා ඇතුළු 93 දෙනෙකු නිරෝධානය සඳහා යොමු කළ බව මන්නාරම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කළා.

අගරගුරු නිවස පිටුපස ගොඩනැගිල්ලක ඉදිකිරීම් සඳහා පැමිණි වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම පියවර ගෙන ඇති බව සඳහන් ෴

+++++++++++++++

+++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු වාර්තාවී ඇතිබව යුද හමුදාපතිවරයා තහවුරු කර තිබෙනවා.

එම ආසාදිතයන් අතරින් එක් අයෙකු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයෙකු වන අතර අනෙක් 13 දෙනා ඔහුගේ ආශ්‍රිතයන් බවයි සඳහන් වන්නේ ෴

***************************************

හොරණ ප්‍රදේශයේ මාස ගණනක සිට සිවල් තර්ජනයට මුහුණ දී සිටින ගම්මානයකට ඊයේ (08) රාත්‍රියේ සිවලුන් කිහිපදෙනෙකු පැමිණ තිබෙනවා.

එහිදී ප්‍රදේශවාසීන් විසින් එක් සිවලෙකු මරා දමා තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ සිවලුන් ගම්වැදීම හේතුවෙන් ගම්මානය දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බවයි.

ගත වූ මාස කිහිපය තුළ කළුතර දිස්ත්‍රික්කයේ පමණක් සිවලුන් සපා කෑමේ සිද්ධීන් 11 ක් පමණ වාර්තා වන අතර සුනඛයින් 30 දෙනෙකු පමණද සිවලුන්ගේ සපා කෑම් වලට ලක්ව තිබෙනවා.

හොරණ – මීමනපලාන ගම්මානයේ අවුරුද්දක් (1) වයසැති දැරියක් සිවලෙකු සපාකෑමේ සිද්ධියක්ද අප ඊයේ (08) වාර්තා කළා.

මේ අතර හොරණ අක්කර 72, කෙදිල්පිටිය ගම්මානයටද ඊයේ (08) රාත්‍රියේ සිවලුන් කිහිපදෙනෙක් පැමිණ ඇති අතර ඉන් එක් සිවලෙක් මරා දැමීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ මේ වන විට සිවලුන් ගම්වැදීම සුලභව සිදුවන අතර ඒ සඳහා කිසිඳු බලධාරියෙකුගෙන් නිසි විසඳුමක් මේ වනතෙක් ලැබී නොමැති බවයි.

***************************************

විවිධ ආර්ථික අපහසුතා හේතුවෙන් මෙරට කාන්තාවන් විශාල පිරිසක් විදෙස් ගෘහ සේවයට නික්ම යනවා.

නමුත් ඔවුන් සැලකිය යුතු ප්‍රමාණයක් නැවත මෙරටට පැමිණෙන්නේ තවත් ගැටලු රැසක් කරපින්නාගෙනයි.

එලෙස ගෘහ සේවිකාවක් ලෙස විදෙස් ගතවි දරුණු ස්නායු රෝගීයෙකු ලෙස නැවත මෙරටට පැමිණිමට සිදු වූ කාන්තාවක් පිලිබඳ අනුවේදනීය පුවතක් අපට ත්‍රීකුණාමලය ගෝමරන්කඩවලින් වාර්තා වුණා.

මෙරට ආර්ථිකයට විශාල දායක්වයක් ලබා දෙන ශ්‍රම බලකායෙන් සැලකිය යුතු පිරිසක් සිටින්නේ විදේශගතවයි.

මෙරට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත අනුව මැද පෙරදිග රැකියා සඳහා විදෙස්ගතව සිටින සංඛ්‍යාව 152,218 ක් වන අතර එම පිරිසෙන් බහුතරය ගෘහසේවයට ගොස් සිටින කාන්තාවන්.

පවුලේ ආර්ථිකය මෙන්ම රටේ සමස්ත ආර්ථිකය නාගාසිටුවීම සඳහාද ඔවුන්ගෙන් ලැබෙන්නේ විශාල දායකත්වයක්.

මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගය විදෙස් ශ්‍රමිකයන් බවට පත්ව ඇත්තේ ඒ අනුවයි.

***************************************

කොළඹ සහ නැගෙනහිර ආරුගම්බේ වෙරළ තීරයන්හි තිබි හමු වූ කැස්බෑවුන් සහ ඩොල්ෆින් සතුන් මිය ගොස් ඇත්තේ නිව් ඩයමන් නෞකාවෙන් විසිරුණු ඉන්ධන හේතුවෙන් ද යන්න සෙවීම සඳහා විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය සතියේදි ගල්කිස්ස, වැල්ලවත්ත සහ ගාලු මුවදොර ප්‍රදේශවලින් මියගිය කැස්බෑවුන් 12 දෙනෙකුගේ සිරුරු ගොඩ ගසා තිබියදි සොයා ගැණුනා.

එසේම, ආරුගම්බේ වෙරළ තීරයෙන් මියගිය ඩොල්ෆින් මත්ස්‍යයින්ගේ සිරුරු 05 ක් සහ කැස්බෑවෙකුගේ සිරුරක් ගොඩගසා තිබුණා.

මෙය අසාමාන්‍ය තත්ත්වයක් බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී, ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා කියා සිටියේ.

මෙම සතුන්ගේ සිරුරු කොටස් පශ්චාත් මරණ පරීක්ෂණය කිරීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුවට, පේරාදෙනිය විශ්වවිද්‍යාලයට සහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා ෴

*********************************************

භාවිතයෙන් ඉවත් කර ඇති නිවෙස්වල එක්රැස් වී තිබෙන විද්‍යුත් අපද්‍රව්‍ය ළඟම ඇති තැපැල් කාර්යාලයට භාරදෙන ලෙස පරිසර අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා.

මෙම විද්‍යුත් අපද්‍රව්‍ය මගින් සිදුවන පරිසර දූෂණය පිළිබඳව සලකා බලා තැපැල් දෙපාර්තමේන්තුව මගින් ඒවා එක්රැස් කිරීම පසුගිය 02 වැනිදා සිට ආරම්භ කෙරුණා.

එය හෙට (10) දිනයෙන් අවසන් වීමට නියමිතව ඇති බැවින් තවදුරටත් නිවෙස්වල පවතින අදාළ විද්‍යුත් අපද්‍රව්‍ය ළඟම ඇති තැපැල් කාර්යාල වෙත භාරදෙන ලෙසයි විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ.

අද (09) පෙරවරුවේ අඟුණුකොලපැලැස්ස ප්‍රදේශයේ පැවති අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යවල අඩංගු බැර ලෝහවර්ග හේතුවෙන් දැවැන්ත පරිසර හානියක් සිදුවන බවයි ෴

*********************************************

කොව්ඩ්-19 වෛරසය මැඬලීමට දේශිය ඖෂධ නිපදවයි

(09.10.2020 – 15:20 +0530 – hirunews.lk/sinhala)

දේශිය වෛද්‍ය අමාත්‍යාංශය විසින් කොව්ඩ්-19 වෛරසය ආසාදිතයන්ට සහ එම වෛරසය ආසාදනය වීමට ඉඩකඩ තිබෙන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ඖෂධ වර්ග කිහිපයක් මේ වන විට නිපදවා තිබෙන බව දේශිය වෛද්‍ය ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.

ආයුර්වේද දෙපාර්තමේන්තුව සහා ආයුර්වේද ඖෂධ සංස්ථාව ඒකාබද්ධව ප්‍රතිශක්තිකරණ පානයක් සහ ආසාදිතයන් වෙනුවෙන් චූර්ණයක් හඳුන්වාදී තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මෙම ඖෂධ සියල්ල සියයට සියයක්ම දේශිය ශා‍කසාර යොදා ගනිමින් නිෂ්පාදන කර තිබෙන බව පවසන අමාත්‍යවරයා ‘සදංග පානය’ සහ ‘සුවධරණි ප්‍රතිශක්තිකරණ පානය’ නමින් එම ඖෂධ නම් කර තිබෙන බවද සඳහන් කළා.

මෙම ඖෂධ එළිදැක්වීම ලබන ඹක්තෝම්බර් 12 වනදා සිදු වීමට නියමිතයි.

එහෙත් ඊට පෙර එම ඖෂධ අද (09) පාර්ලිමෙන්තුවේදි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පිළිගැන්වූවා.

බටහිර වෛද්‍ය විද්‍යාවට තවමත් කොවිඩ්-19 වෛරසයට එරෙහි ඖෂධයක් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවත්, එබැවින් බටහිර වෛද්‍ය විද්‍යාව දියුණූ රටවල් අද බරපතල කඩා වැටීමකට ලක් වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

කෙසේ නමුන් දේශිය වෛද්‍ය අමාත්‍යාංශයට මෙම අභියෝගය ජයගත හැකි ඖෂධ නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබී තිබෙන බවද ඇමතිවරයා පැවසුවා.

***************************************

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බල කරන මැන්ඩා මූස් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම දෙසැම්බර් 1 වන දා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ, අදාළ පෙත්සම අද කැදවූ අවස්ථාවේදියි.

ඓතිහාසික වටිනාකමින් යුත් කුරුණෑගල රාජසභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධියට අදාළව කුරුණෑගල නගරාධිපතිවරයා වගකිව යුතු බවයි අදාළ පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය වෙනුවෙන් එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ගොනු කළ මෙම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ සිද්ධියට අදාළව ගොනු කළ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින බැවින් ඊට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා අවසර ලබාදෙන ලෙසයි.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම දෙසැම්බර් 1 වන දා දක්වා කල් තැබීමටයි අභියාචනාධිකරණය තීරණය කරනු ලැබුවේ ෴

*********************************************

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට වෙනම විභාග මධ්‍යස්ථාන

(09.10.2020 – 19:45 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සිසුන්ට සහ උසස් පෙළ සිසුන්ට තම විභාග ප්‍රවේශ පත්‍රය ඇඳිරි නීති අවසර පතක් ලෙස භාවිත කළ හැකි බව පොලීසිය ප්‍රකාශ කළා.

මේ අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කියා සිටියේ වෙනත් දිස්ත්‍රික්කවල විභාග මධ්‍යස්ථානවල දී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පදිංචි සිසු සිසුවියන් සඳහා විශේෂිත විභාග මධ්‍යස්ථාන 12 ක් පිහිටුවා ඇති බවයි.

උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සිසු සිසුවියන්ට ද එවැනිම විශේෂිත විභාග මධ්‍යස්ථාන 12 ක් ස්ථාපිත කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.

නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටින සහ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන සිසුන්ට විභාග සඳහා මුහුණ දීමටද විශේෂ වැඩ පිළිවෙලක් සකස් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

එම මධ්‍යස්ථාන පහතින් :

*********************************************

රිෂාඩ්ගේ සොහොයුරා නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩුවේ මන්ත්‍රීවරු 100 ක ගෙන් ජනපතිට ලිපියක්

(09.10.2020 – 19:59 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් නිදහස් කිරීම නීතිවිරෝධී බව පවසමින් ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 දෙනෙකු අත්සන් තැබූ ලිපියක් අද (09) ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා.

අද (09) පස්වරුවේ මෙම ලිපිය භාරදී ඇත්තේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු පිරිසක් විසින්.

+++++++++++++++

+++++++++++++++

+++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *