ගම්පහ දිස්ත්‍රික්කයේ සතොස සහ සමූපකාර අලෙවිසැල් හෙට (09) සිට විවෘත කෙරේ

ගම්පහ දිස්ත්‍රික්කයේ සතොස සහ සමූපකාර අලෙවිසැල් හෙට (09) සිට විවෘත කෙරේ

ETI දේපොළ රාජසන්තක කරන්න කොමිසමෙන් රජයට නිර්දේශ

ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සහ මරදාන ශාන්ත ජෝසප් විදුහලේ එකම පවුලේ සිසු සිසුවියන් දෙදෙනෙකුගේ (2) පියාට කොරෝනා

චීන දූත කණ්ඩායමේ පැමිණීම ගැන සමගි ජන බලවේගයට ප්‍රශ්නයක්

ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල සුපිරි වෙළඳසැල් සහ ඔසුසැල් අද (09) විවෘත කෙරේ

මෙරට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ ගණන තුන් ලක්ෂ දහ හත්දහස (3,17,000) ඉක්මවයි

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවලට පෙනී සිටින සිසුන්ගේ තොරතුරු රැස් කෙරේ

*********************************************

ගම්පහ දිස්ත්‍රික්කයේ සතොස සහ සමූපකාර අලෙවිසැල් හෙට (09) සිට විවෘත කෙරේ

(08.10.2020 – 19:33 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සතොස සහ සමූපකාර අලෙවිසැල් හෙට (09) සිට විවෘත කරන බව වෙළඳ අමාත්‍යා බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් :

+++++++++++++++++

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂය භාවිතා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් අසත්‍ය පුවත් ප්‍රචාරය කළ 18 හැවිරිදි තරුණයෙකු මීටියාගොඩ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

++++++++++++++++++

බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හල් කම්කරුවන් සමඟ සමීප සම්බන්ධතා පැවත් වූ පුද්ගලයින් 10 කට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව කොරෝනා ආසාදිත බ්‍රැන්ඩික්ස් පොකුර, 1044 දක්වා ඉහළ ගිය බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ෴

++++++++++++++++++

++++++++++++++++++

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පැතිර යන කොරෝනා වෛරසයේ ප්‍රභේදය හඳුනා ගැනීම සඳහා ජාන ක්‍රමාලේඛණ පර්යේෂණයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් ආරම්භ කර තිබෙනවා.

එහි ඩෙංගු පරීක්ෂණ මධ්‍යස්ථානය අදාළ පර්යේෂණය ආරම්භ කර ඇති බවයි එම මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් කොරෝනා වෛරසය ආරම්භයත් සමඟ පසුගිය අප්‍රේල් මාසයේදී සිදුකළ පර්යේෂණයකදී එම අවස්ථාව වනවිට ශ්‍රී ලංකාව තුළ පැවතුණේ ඒ කාණ්ඩයට අයත් කොරෝනා වෛරස් ප්‍රභේදය බවට හඳුනා ගත්තා.

එය ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රභේදයට සමාන වන අතර, වෛරසය බිහි වූ චීනයේ වූහාන් නගරයේ ව්‍යාප්තව පැවතුනේ ‘බී’ ප්‍රභේදයයි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක් කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාව තුළ නව පොකුරක් නිර්මාණය වුණා.

ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශේෂඥ කණ්ඩායම් විසින් සිදුකරන ජාන ක්‍රමාලේඛණ පර්යේෂණයේදී නව ආසාදිතයන්ගේ ශරීරයේ අඩංගු වෛරස් ප්‍රමාණයන් සම්බන්ධයෙන්ද අවධානය යොමු කරනු ඇති ෴

+++++++++++++++

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

*********************************************

ETI දේපොළ රාජසන්තක කරන්න කොමිසමෙන් රජයට නිර්දේශ

(08.10.2020 – 20:53 +0530 – hirunews.lk/sinhala)

ඊ.ඒ.පී. මාධ්‍යජාලය ඇතුළුව ඊ.ටී.අයි. ආයතනයේ දේපළ විකිණීම නීති විරෝධී ආකාරයට සිදුව ඇති බව එම සමාගමේ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව නිගමනය කර තිබෙනවා.

අදාළ කොමිසම කරුණු අනාවණය කරගෙන ඇත්තේ එහිදී මුදල් විශුද්ධිකරණයක්ද සිදුව ඇති බවටයි.

අදාළ කොමිසමේ නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව මේ වනවිට ජනාධිපතිවරයා වෙත භාර දී තිබෙනවා.

ETI ආයතනයේ සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා විසින් පසුගිය ත්‍රිපුද්ගල ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කළේ පසුගිය ජනවාරි මාසයේයි.

විදේශිකයන් විසින් මාධ්‍ය ආයතනයන්හි අයිතිය ලබාගැනීම පිළිබඳ ශ්‍රී ලංකාවේ නීති කඩකරමින්, ETI ආයතනය සතු වත්කම් ‘බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ්’ සහ ‘බෙන් හෝල්ඩින්ග්ස් ප්‍රයිවට් ලිමිටඩ්’ යන සමාගම්වලින් සැදුම්ලත් ආයතන සමූහයකට විකිණීම පිළිබඳව විමර්ශනයටද අදාළ කොමිසමට බලය පවරනු ලැබුවා.

එහිදී ETI සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය එහි ඉහළ නිලධාරීන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් මෙන්ම අගතියට පත් තැන්පතුකරුවන්ද සාක්ෂි ලබාදුන් අතර තැන්පතු සම්බන්ධයෙන් සැක සහිත සිදුවීම් රැසක් පිළිබඳව එහිදී හෙලිදරව් වුණා.

එම සාක්ෂි විමසීම්වලදී වැඩිදුරටත් අනාවරණය වුණේ ETI ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවට අනාවරණය නොකළ රහස්‍ය ගනුදෙනු පවත්වාගෙන ගොස් ඇති බවයි.

ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන ETI අධ්‍යක්ෂවරුන් අදාළ රහස්‍ය ගිණුම හරහා තැන්පතුකරුවන්ගේ මුදල් මිලියන ගණනින් අවභාවිත කර ඇති ආකාරයද එහිදී හෙළි වුණා.

එමෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තම කටයුතු සිදුකරගැනීම සඳහා ETI සමාගමේ ඉහළ නිලධාරීන්ට සිදුකර තිබූ බලපෑම් පිළිබඳව මෙන්ම නියාමන ආයතන වල ඉහළ නිලධාරීන් සඳහා වෙන් කර තිබූ රහස්‍ය ගෙවීම් කර ඇති බවට ද කරුණු අනාවරණය කෙරුණා.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේද අවධානය යොමුවුණේ ඒ අතරතුරයි.

බංකොලොත්භාවයට පත් වූ ‘ETI ෆිනෑන්ස් ලිමිටඩ්’ සහ ‘ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී’ යන ආයතනවල ව්‍යාපාර කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා එම ආයතනවලට මුද්‍රා තැබීමට ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය ජූලි 13 වැනිදා පියවර ගත්තා.

මේ අතර ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්ෂි විමසීම පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදා අවසන් කෙරුණු අතර එහි අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදී තිබෙනවා.

එහි දක්වා ඇත්තේ ඊ.ටී.අයි. ආයතන සමූහයට අයත් දේපොළ විකිණීම නීති විරෝධී ආකාරයට සිදුව ඇති බවයි.

ඒ අනුව ETI සමාගම සතු දේපොළ රජයට පවරා ගැනීමටත්, හිමිකරුවන් වූ එදිරිසිංහ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇති බවත් කොමිසම සිය වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

මේ අතර අගතියට පත් ETI තැන්පත්කරුවන් අද (08) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අදහස් පළ කළා.

+++++++++++++++

*********************************************

ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සහ මරදාන ශාන්ත ජෝසප් විදුහලේ එකම පවුලේ සිසු සිසුවියන් දෙදෙනෙකුගේ (2) පියාට කොරෝනා

(08.10.2020 – 21:17 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ ආසාදිතයන්ගේ සමීපතම ආශ්‍රිතයින් දස (10) දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (08) පස්වරුවේ මේ බව සනාථ කළා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව වාර්තා වූ කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 1044 ක්.

එම කර්මාන්ත ශාලාවේ සේවය කළ කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට පසුගිය 03 වැනිදා හඳුනාගත් අතර, දින 03 ක් ඇතුළත එම කොවිඞ් පොකුර ඉහළ ගියේ මෙරට විශාලතම කොවිඩ් පොකුර නිර්මාණය කරමින්.

මේ අතර, කොරෝනා රෝගීන් ඇතුළත් කිරීම සඳහා මේ වනවිට රෝහල් 14 ක් වෙන්කර තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ අයි.ඩී.එච්, වැලිකන්ද, මිනුවන්ගොඩ, තෙල්දෙනිය ඇතුළු රෝහල් 14 ක් මෙලෙස වෙන්කර ඇති බවයි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන්ට නිරෝධායන කටයුතු සඳහා යොමුවීමට ලබාදී තිබූ කාලය අදින් අවසන් වනවා.

ඒ අනුව අද දිනයේදීත් පුද්ගලයින් 125 දෙනෙකු නිරෝධායනය සඳහා පැමිණ ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මිනුවන්ගොඩ පොලිසියේ ආපනශාලාවේ හිමිකරුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එහි ස්ථානාධිපතිවරයා ඇතුළු සියලුම නිලධාරීන් නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ඔවුන් සියළු දෙනා ඉදිරියේදී පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමටද නියමිතයි.

ආපනශාලාවේ හිමිකරුගේ පුත්‍රයා බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කර ඇති අතර, ඔහුද කොරෝනා ආසාදිතයෙකු ලෙස මීට පෙර හඳුනා ගැණුනා.

ඒ අනුව මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ වැඩ කටයුතු තාවකාලිකව නතර කර ඇති අතර, ගම්පහ පොලිසිය මගින් එහි වැඩ ආවරණය කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර, බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ පිරිසක් මාවනැල්ල – අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ වන්දනා ගමනක පැමිණීම හේතුවෙන් අද (08) දහවල් සිට දින 07 ක කාලයක් එම දේවාලය වසා තැබෙන බව මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ පසුගිය 03 වැනිදා මෙම පිරිස දේවාලය වන්දනා කිරීමට පැමිණ ඇති බවයි.

ඉන් තුන් දෙනෙකුට (3) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ දේවාලයේ කපු මහතුන් ඇතුළු ඒ අවට වෙළඳසැල්වල 15 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබෙනවා.

එමෙන්ම, අයි.සී.බී.ටී. පෞද්ගලික විශ්වවිද්‍යාලයේ කොළඹ ශාඛාවේ සිසුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එම විශ්වවිද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මීට අමතරව කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සිසුවියකගේ පියෙකුට ද කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමඟ අදාළ සිසුවිය ඇතුළු පවුලේ සාමාජිකයින් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවට එම විද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

එමෙන්ම, එම සිසුවියගේ සහෝදරයාද මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නිරත වීම නිසා එම සිසුවා ඇසුරු කළ ආශ්‍රිතයන්ද පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවටයි වාර්තා වන්නේ.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට කාසල් රෝහලේදී හඳුනාගත් ගැබිණි කාන්තාව සේවය කරන ආයතනයේ සියලුම සේවකයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ අද සිදුකර තිබෙනවා.

සේවකයින් 186 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති අතර, එම පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල හෙට (09) දිනයේදී ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, අදාළ ආයතනයේ සියලුම සේවකයින් නිරෝධායනයට යොමුකර තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 3,278 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අද (08) පෙරවරුව වනවිට වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි සිව්දෙනෙකු (4) රෝහල්වලින් නික්ම යාමත් සමඟයි.

ඒ අනුව මේ වනවිට වෛරස ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 1,168 ක්.

++++++++++++++++

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදී ඇති උපදෙස් පිළිපදින ලෙසත්, ඇතැම් පාර්ශවයන් බෙදාහරිනු ලබන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දෙනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ඉල්ලා සිටින්නේ පිළිගත හැකි රාජ්‍ය තොරතුරු සේවාවලින් පමණක් අවශ්‍ය තොරතුරු ලබාගන්නා ලෙසයි.

අද වනවිට කොරෝනා වෛරසය යළිත් රට තුළ හිස ඔසවා පවතින අවස්ථාවක, පෙර සේම සෞඛ්‍ය, ආරක්ෂක සහ අනෙකුත් සේවා අංශ කොරෝනා උවදුරෙන් රට වැසියන් බේරා ගැනීම සඳහා සියලු කටයුතු සිදුකරමින් සිටින බවද ජනාධිපතිවරයා එමඟින් පෙන්වා දී තිබෙනවා.

+++++++++++++++++++

බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හල් තවත් එක් සේවකයෙකුට (1) සහ කම්කරුවන් සමඟ සමීප සම්බන්ධතා පැවත් වූ පුද්ගලයින් 8 කට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා ෴

+++++++++++++++++++

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවකයින් සේවයේ යොදවා ඇත්තේ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරමින් බව ඇඟලුම් වෘත්තීය සමිති චෝදනා කරනවා.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද මහතා සඳහන් කරන්නේ ඒ පිළිබඳ පැමිණිලි ඇත්නම් ස්වාධීන විමර්ශනයක් සිදු කිරීමට කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළ බවයි.

පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති සහ හාම්පුතුන්, කම්කරු අමාත්‍යාංශයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් කම්කරු අමාත්‍යාංයේ පැවති ත්‍රෛයිපාක්ෂික හමුවකදී නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාර්කස් මහතා කියා සිටියේ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පවත්වාගෙන ගියේ නම් මෙවැනි ගැටළුවක් ඇති නොවන බවයි.

++++++++++++++

++++++++++++++

බ‍්‍රැන්ඩික්ස් විධායක සාදයක සංගීතය සැපයූ ‘යක්කු’ පාසැලක සංගීතයක.. සියල්ල නිරෝධායනයට…

(08.10.2020 – 15:50 +0530 – lankacnews.com)

හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන ගිනිගත්හේන ප්‍රදේශයේ ප්‍රධාන සිංහල පාසලක විදුහල්පතිවරයා , ගුරුවරුන් කිහිප දෙනෙකු ඇතුළු සියකට (100) ආසන්න පිරිසක් (07) දින සිට ස්වයං නිරෝධානයට යොමු කල බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

2006 අපොස සාපෙල සහ 2009 වසරේ එම පාසලේ අධ්‍යාපන ලැබු ආදි සිසුන් විසින් ගිනිගත්හේන අඹගමුව කුල්බොන් ප්‍රදේශයේ සංචාරක බංගලාවක සංවිධානය කර තිබු ඇදුරු ආවර්ජනා නැමති සාදයකට සහභාගි වු පිරිසකුයි මෙසේ ස්වයං නිරෝධානයට යොමු කර ඇත්තේ.

2020.09.26 දින එම ආදි සිසුන් විසින් අධ්‍යාපන ලැබු ගුරුවරුන්ට ඇදුරු ආවර්ජනා නමින් උපහාර උළෙලක් පවත්වා ඇති අතර,එම උළෙල ‘යක්කු’ නැමති සංගිත කණ්ඩායමක් විසින් සංගිත ප්‍රසංගයක්ද පවත්වා ඇත.

එම සංගිත කණ්ඩායම 2020.09.25 දින මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ආයතනයේ විධායක නිලධාරින් පැවැත්වු සාදයක සංගිත ප්‍රසංගයක් පවත්වා ඊට පසු දින (26) දින ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයට පැමිණ අදාල සංගිත ප්‍රසංගය පවත්වා ඇත.

එම සංගිත කණ්ඩායමේ කලමණාකාරවරයා ඇතුළු සංගිත ශිල්පින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, එම ශිල්පින්වද මේ වන විට හදුනාගෙන එම ශිල්පින්ද ස්වයං නිරෝධානයකට යොමු කර පි.සි.ආර් පරික්ෂණයක් සදහා යොමු කිරිමට පියවර ගෙන ඇති බවයි ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.

එම සාදයට සහභාගි වු එම පාසලේ වත්මන් විදුහල්පතිවරයා , එම ආදි සිසුන්ට අධ්‍යාපනය ලබා දුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් වල දැනට ගුරු සේවයේ යෙදි සිටින සහ විශ්‍රාම ලැබු අචාර්යවරුන් කිහිප දෙනෙකු සහ එම සාදයට සහභාගි වු ආදි සිසුන්ද මෙසේ ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවත් , එම සාදයට සහභාගි වු අචාර්යවරුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.

ස්වයං නිරෝධානයට යොමු කල පිරිසගේ පවුලේ සමාජිකයන්ද ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

*********************************************

චීන දූත කණ්ඩායමේ පැමිණීම ගැන සමගි ජන බලවේගයට ප්‍රශ්නයක්

(08.10.2020 – 21:45 +0530 – hirunews.lk/sinhala)

අද (08) දිවයිනට පැමිණීමට නියමිත හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැං ජියේචිගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙලේ චීන දූත කණ්ඩායම ගුවන් තොටුපල තුළදීම පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා.

ඒ, ඔවුන්ගේ පැමිණීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

කෙසේ වෙතත්, ඔවුන් දිනක් (1) පමණක් මෙරට තුළ රැඳී සිටින බැවින් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමක් සිදු නොකරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ.

මේ අතර, පැලවත්තේ පිහිටි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යාලයේ සේවකයෙකුගේ ඥාතියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බැවින් එම කාර්යාලයට පිටස්තර කිසිදු පුද්ගලයෙකු ඇතුළත් කර නොගන්නා ලෙස උපදෙස් ලබාදී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා නැගූ වරප්‍රසාද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර, හෙට (09) දිනයේ පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 10 ට ආරම්භ කර වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පමණක් සීමා කිරීමට අද රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ, හෙට (09) දිනට නියමිතව තිබූ ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කළහොත් ඒ සඳහා අදාළ හිටපු මන්ත්‍රීවරුන්ගේ ඥාතීන් පාර්ලිමේන්තුවට ගෙන ඒමේදී මතුවන ගැටළු පිළිබඳව අවධානය යොමුකරමින්.

***************************************

ත්‍රිකුණාමලය – චීන වරාය ප්‍රදේශයේ පිහිටි ඉපැරණි කතෝලික සිද්ධස්ථානයක් වන කුරුස කන්දේ ඉදිකිරීම්වලට අන්තවාදීන් පිරිසක් හානි කර තිබෙනවා.

එහි ගිය බැතිමතුන් පිරිස් සිද්ධස්ථානයේ ඉදිකිරීම්වලට හානිකර තිබූ ආකාරය දැක තිබෙන්නේ පසුගිය පස්වැනිදායි.

ත්‍රිකුණාමලය – චීන වරාය – නාච්චකුඩා ප්‍රදේශයේ පිහිටා ඇති කුරුස කන්ද කතෝලික බැතිමතුන් ශුද්ධ වූ ස්ථානයක් ලෙස සලකනවා.

ත්‍රිකුණාමල ප්‍රදේශයේ මෙන්ම රටපුරා කතෝලික බැතිමතුන් මෙම පුදබිමට යාඥා කටයුතු සඳහා පැමිණෙන්නේ වසර 50 ක පමණ සිටයි.

එහෙත් පසුගිය පස්වැනිදා දිව්‍ය යාගය සඳහා පුදබිමට ගිය බැතිමතුන්ට දැකගත හැකිව ඇත්තේ පුදබිමේ ඉදිකිරීම්වලට ද හානි කර තිබූ අයුරුයි.

පුදබිම අවට අන්තවාදී පිරිස් විසින් ඉඩම් අල්ලා ගනිමින් අනවසර ඉදිකිරීම් ද සිදුකර තිබුණේ මෙලෙසින්.

එදින දිව්‍ය යාගය පැවැත්වීමට සිදුව තිබුණේ ද සුන්බුන් වූ ඉදිකිරීම් මධ්‍යයේයි.

“මේ වගේ නොසන්ඩාල වැඩ, අසික්කිත වැඩ කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපි මේ කුරුස කන්ද මුදා දෙන්න කියා අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.”

බැතිමතුන්ගේ ආසන පහසුකම් සඳහා පුදබිමේ ඉදිකර තිබූ ස්ථාන ද අන්තවාදීන් පිරිස් විසින් මෙලෙස කඩා බිඳ දමා තිබුණා.

“ඔක්තෝබර් 5 වැනිදා සුපුරුදු පරිදි අප දිව්‍ය යාගය කරන්න අප එතැන්ට ගියා. කුරුස ගලවගෙන ගිහිල්ලා. වළවල්වලට දාලා . ජනතාව වාඩි වෙන කොන්ක්‍රීට් කණු කඩා බිඳ දාලා. දිව්‍ය යාගයේ අල්තාරය තියන තැන ඒ කුරුසය පහළට ඇඳලා දාලා. මට මතක් වෙන්නේ මාවනැල්ලේ බුදුපිළිම කැඩීම් පිළිබඳව.

මේ තමයි මුස්ලිම් අන්තවාදයේ ආරම්භය. මේ ගැන බලධාරීන් වහාම ක්‍රියාත්මක වෙන්න කියලා මං ඉල්ලා සිටිනවා.”

+++++++++++++++++

***************************************

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා නිදහස් කිරීම පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න රටට අනාවරණය කළ යුතු බව පැවිදි හඬ සංවිධානය රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ, අද (08) කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.

++++++++++++++++

*********************************************

ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල සුපිරි වෙළඳසැල් සහ ඔසුසැල් අද (09) විවෘත කෙරේ

(09.10.2020 – 06:51 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 කට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 92 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, ඇඳිරි නීතිය පැනවීමෙන් පසු මේ දක්වා ගතවූ කාල සීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 23 ක්.

ඊයේ (08) පෙරවරු හයේ (06:00) සිට අද (09) පෙරවරු හය (06:00) දක්වා ගත වූ කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, රථවාහන 04 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල සතොස සහ සමූපකාර අලෙවිසැල් අද (09) සිට විවෘතව තැබෙන බව වෙළඳ අමාත්‍යාංශය පවසනවා.

විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) සාකච්ඡාවක් පැවති අතර, එහිදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම සතොස අලෙවිසැල්, සමූපකාර සහ වැලිසර ආර්ථික මධ්‍යස්ථානයද විවෘතව තැබෙනවා.

හිරු ටී.වී. ඔස්සේ ඊයේ (08) විකාශය වූ ‘බලය’ වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ අද (09) දිනයේදී ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල සුපිරි වෙළඳසැල් සහ ඔසුසැල් විවෘතව තැබීමට කටයුතු කරන බවයි ෴

++++++++

+++++++++++

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරට අදාළව නිරෝධායනය වීම සඳහා කැඳවීම් ලැබූ පුද්ගලයන්ට, ලබා දී තිබූ සහන කාලය ඊයේ (08) දිනයෙන් අවසන් වූ බව පොලිසිය පවසනවා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවය කරන එමෙන්ම එම සේවකයන්ගේ ආශ්‍රිතයන්ට(ගම්පහ දිස්ත්‍රික්කයේ) පොලිසිය දැනුම් දී තිබුණේ කලින් නිවේදනය කළ ස්ථානයන්ට ඊයේ (08) සහ පෙරේදා (07) පැමිණෙන ලෙසයි.

අනෙක් දිස්ත්‍රික්කවල එවැනි ආශ්‍රිතයන් සිටී නම් ළඟම ඇති පොලිසියට පැමිණෙන ලෙසද දැනුම් දුන්නා.

එහෙත් එම කාලය අවසන් නිසා අදාළ කණ්ඩායම්වලට අයත් එහෙත් ඉදිරිපත් නොවී සැඟව සිටින්නේ නම් ඔවුන්ට එරෙහිව නිරෝධායන නිතිය අනුව කටයුතු කරන බවත් සඟවාගෙන සිටින්නන්, ඊට අනුබල දෙන්නන්ට එරෙහිවද එලෙසම නීතිමය කටයුතු කරන බවත් ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

++++++++++++

දැනට ඇඳිරි නීතිය පනවා ඇති ආකාරයේ වෙනසක් සති අන්තයේ සිදුවේද යන්න, ‘හිරු ටී වී පත්තරේ විස්තරේ’ වැඩසටහනේ දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගෙන් විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ තවම එවැනි තීරණයක් ගෙන නොමැති බවත්, දැනට පනවා ඇති ආකාරයට එම ප්‍රදේශවලට ඇඳිරි නිතිය ක්‍රියාත්මක වන බවයි.

කෙසේවෙතත් සෙනසුරාදා හා ඉරිදා ඇඳිරි නීතිය ගම්පහ දිස්ත්‍රික්කයටම පනවන්නේද නැතහොත් සමස්ත දිවයිනටම පනවන්නේද යන්න ගැන විමසීමේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දුන් පිළිතුර පහතින් :

*********************************************

මෙරට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ ගණන තුන් ලක්ෂ දහ හත්දහස (3,17,000) ඉක්මවයි

(09.10.2020 – 07:47 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් වාර්තා වූ කොරෝනා පොකුරට සම්බන්ධ පුද්ගලයන් පන්දහසකට (5000) ආසන්න පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ (08) දිනය වනවිට සිදුකර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ මේ දක්වා රට තුළ පී.සී.ආර්. පරීක්ෂණ 3,17,000 කට වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇති බවයි.

මේ අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ ආසාදිතයන්ගේ සමීපතම ආශ්‍රිතයින් 19 දෙනෙකුට ඊයේ (08) කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමඟ එම පොකුර 1,053 දක්වා ඉහළ ගියා.

එසේම, විදේශ රටවල සිට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (08) තහවුරු වුණා.

ඔවුන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට් සහ ඉරානයේ සිට දිවයිනට පැමිණි පිරිසක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවද 4,488 දක්වා ඉහළ ගියා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට පසුගිය 03 වැනිදා හඳුනාගත් අතර, එම කොවිඩ් පොකුර ඉහළ ගියේ මෙරට විශාලතම කොවිඩ් පොකුර නිර්මාණය කරමින්.

මේ අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන්ට නිරෝධායන කටයුතු සඳහා යොමුවීමට ලබාදී තිබූ කාලය ඊයේ (08) අවසන් වුණා.

ඒ අනුව නිරෝධායනයට ලක් නොවී සිටි එම ඇඟළුම් ආයතනයේ සේවකයින් 400 දෙනෙකු පමණ නිරෝධායනය සඳහා පැමිණ සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත්, තවදුරටත් එම ආයතනයේ සේවකයින් නිරෝධායනයට ලක් නොවී සැඟව සිටින්නේ නම් ඔවුන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන බවද ඔහු කියා සිටියා. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින් 1,402 ක් පමණ සේවය කර ඇති බවට මේ වනවිට තහවුරු වී තිබෙනවා.

මේ අතර, මුදල් සංසරණය තුළින් කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා ෴

++++++++++++++

රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කුඩා දරුවෙකුට කොරෝනා

(09.10.2020 – 09:28 +0530 – hirunews.lk/sinhala)

රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන මාස 10 ක් වයසැති කුඩා දරුවෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය මහතා සඳහන් කළේ පසුගිය 07 වැනිදා මෙම දරුවා උණ රෝගය වැළඳීම හේතුවෙන් රෝහල් ගතකළ බවයි.

එහිදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර, මෙම කුඩා දරුවා අයි.ඩී.එච්. රෝහල වෙත ඊයේ (08) මාරු කර යවා ඇති බව සඳහන්.

මේ අතර, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන මාස 05 ක් වයසැති කුඩා දරුවෙකුගේ පියෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

මෙම දරුවා මාස දෙකක (2) කාලයක සිට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, සැත්කමක් සඳහා හෙට (09) දිනයේදී ඉන්දියාවට යෑමට නියමිතව තිබුණා.

ඒ අනුව එම දරුවාගේ දෙමව්පියන්ගේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී පියාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

ඔවුන් මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් වන අතර, දරුවාගේ අසනීප තත්ත්වය හේතුවෙන් කොටිකාවත්ත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි බවට වාර්තා වනවා ෴

++++++++++++++

+++++++++++++

මිනුවන්ගොඩ පොලිසිය අද (09) දිනය ඇතුළත විවෘත කිරීමට අපේක්ෂා කරන බව ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා.

එම පොලිස් ස්ථානයේ නිලධාරින් 85 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කරනු ලැබුවේ එහි ආපන ශාලාවේ හිමිකරුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමගයි.

මේ නිසා වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරින් ගෙන්වා මිනුවන්ගොඩ පොලිසිය විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු කියා සිටියේ.

++++++++++++

හොරණ මුලික රෝහලේ සේවය කළ හෙදියකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මේ හේතුවෙන් අයගේ සැමියා PCR පරීක්ෂණයට යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.

ඔහුගේ PCR පරීක්ෂණවල ප්‍රතිපලවලට අනුව ඔහු සේවය කළ මත්තේගොඩ ඔසුසලේ සේවකයින් අට (8) දෙනාගේ සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් PCR පරීක්ෂණවලට යොමු කිරීමට නියමිතයි.

මිට පෙරද හොරණ රෝහලේ 5 වන වාට්ටුවේ සේවය කළ හෙදියක් නිරෝධායනයට යොමු කළා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු හොරණ කඳන්හේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බවට නාගොඩ රෝහලේදී 06 වනදා තහවුරු වූ අතර ඒ සමග ඔහුගේ බිරිඳ හෙදියක ලෙස සේවය කරන හොරණ මූලික රෝහලේ 5 වැනි වාට්ටුව වසා දැමූවා.

පසුව එම හෙදිය සහ දරු දෙදෙනා (2) පී.සී.ආර්. පරීක්‍ෂණවලට ලක්කර පසුව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කරනු ලැබුවා.

නාගොඩ මහ රෝහලේ දී හමුවූ ආසාදිත ඇඟලුම් සේවකයා වහාම අයිඩීඑච් රෝහලට මාරු කර යැවීමට කටයුතු කර තිබුනා.

එහෙත් එම හෙදියට කොරෝනා ඇතැයි තහවුරු වුනේ නැහැ.

ඒ අතරතුරයි එම වාට්ටුවේම තවත් හෙදියකට කොරෝනා ඇතැයි හෙළිවී ඇත්තේ.

+++++++++++

පවතින තත්ත්වය හමුවේ රටටම ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවක් මෙතෙක් මතුව නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශනය කෙරුණු ‘බලය’ සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින්.

යුද හමුදාපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ ඉදිරි දින කිහිපය තීරණාත්මක බවයි.

+++++++++++

+++++++++++++++++

කොවිඩ් 19 වසන්ගතය පැතිරීමේ අවදානම අධික බැවින් සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

කොළඹ අද (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ ලංකාව පුරා පී.සී.ආර්. පරීක්ෂණ සක්‍රීයව සිදු කිරීමට පියවර ගෙන ඇති අතර මේ වන විට පරීක්ෂණ 3,20,000 කට අධික ප්‍රමාණයක් සිදු කර ඇති බවයි.

***************************************

නිවසෙහි ඇති කරන සුනඛයා නිදැල්ලේ යවා පාසල් සිසුවෙකු සපා කා බරපතල තුවාල සිදුකිරීමට ඉඩ සැලැස්වීම සම්බන්ධයෙන් වරද පිළිගත් අයෙකුට රුපියල් පනහක (50) දඩයක් නියම කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ නියෝග කර තිබෙනවා.

අදාළ සුනඛයා ගාල්ල – රිච්මන්ඞ් විදුහලට නිදැල්ලේ යවා 04 වන ශ්‍රේණියේ සිසුවෙකු පසුගිය සැප්තැම්බර් 30 වනදා සපා කා ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව ඊට අදාළ නඩුව ඊයේ දින අධිකරණය හමුවේ කැඳවා ඇති අතර, එහිදීයි අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ.

රුපියල් පනහක දඩයට අමතරව එම සුනඛයා අයත් පුද්ගලයාට දැනුම් දී ඇත්තේ අදාළ සුනඛයා කූඩුවක දමා ඇති කරන ලෙසත්, පාසල් දිනවල සත්වයා පිටතට නොදමන ලෙසටයි.

ගාල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම නඩුව පවරා පැමිණිල්ල මෙහෙයවා තිබුණා ෴

***************************************

සිරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මර්වින් ජානා’ නැමැත්තාගේ ගෝලයෙකු වන ‘නුවන් ලක්ෂිත’ නැමැත්තෙකු ගල්කිස්සේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගේ බැංකු ගිණුමෙහි රුපියල් මිලියන 43 ක මුදලක් සංසරණය වී ඇති බවටයි සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ. ඒ අනුව ඔහුට එම මුදල් ලැබී ඇත්තේ කාගෙන්ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ අතර, පාතාල කල්ලි නායකයෙකු වන ‘ගවරා’ නැමැත්තාගේ 41 හැවිරිදි පුත්‍රයෙකු හොරණ – ඉංගිරිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව එම ප්‍රදේශයේ ඊයේ (08) සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔහු සතුව තිබූ ගිනි අවියක් සහ තියුණු ආයුධ කිහිපයක් පොලිස් භාරයට ගනු ලැබුවා.

එමෙන්ම, කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 1360 ක් සමඟ මාතලේ – හුලංගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) සමඟ හෙරොයින් ජාවාරමේ නිරතව සිටියදීයි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.

මේ අතර, ගල්කිරියාගම – දානියාගම ප්‍රදේශයේ තිබී හිස් පතොරම් තොගයක් සොයාගෙන තිබෙනවා. බෝර 12 වර්ගයේ ගිනි අවි සඳහා යොදන හිස් පතොරම් කොපු 65 ක් ඒ අනුව සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. පොලිසියට ලද තොරතුරකට අනුව ප්‍රදේශයේ ඇලක සඟවා තිබියදී මෙම පතොරම් තොගය ඊයේ (08)සොයාගනු ලැබුවා ෴

+++++++++

***************************************

ව්‍යාජ ඔප්පු සකස් කර තලෙයි මන්නාරම ප්‍රදේශයේ අක්කර 80 කින් යුත් ඉඩම් කොටස් දෙකක් නීති විරෝධි ලෙස විකිණීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදීන් ඇතුළු දෙදෙනෙකුට (2) එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිල්ලට සම්බන්ධ තවත් සැකකරුවන් සිටිත් නම් අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝග කළා.

මෝසමක් මාර්ගයෙන් ඊයේ (08) මෙම පැමිණිල්ල කැඳවු අවස්ථාවේදි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඞ් මිහාර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනි සිටි නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන සඳහන් කළේ පසුගිය පෙබරවාරි මාසයේ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කර තිබුණද මෙතෙක් එය ක්‍රියාත්මක වී නොමැති බවයි.

මෙම පැමිණිල්ල යලි එළඹෙන 22 වනදා කැඳවීමටද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊයේ (08) නියෝග කළා ෴

*********************************************

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවලට පෙනී සිටින සිසුන්ගේ තොරතුරු රැස් කෙරේ

(09.10.2020 – 10:56 +0530 – hirunews.lk/sinhala)

මෙවර උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගවලට පෙනී සිටීමට නියමිත සියලුම සිසුන් තම තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ ඇති තොරතුරු පත්‍රිකාවට ඇතුළත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.

ඒ අනුව http://www.info.moe.gov.lk/ යන වෙබ් අඩවියට පිවිස අදාළ තොරතුරු ඇතුළත් කළ හැකියි.

තොරතුරු ඔන්ලයින් ක්‍රමයට ලබාදීමට නොහැකි වූ සිසුන්ට තමා විභාගයට පෙනී සිටින මධ්‍යස්ථානයේදීම එම තොරතුරු ලබාදිය හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම තොරතුරු රැස්කරනු ලබන්නේ කොවිඩ් 19 වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීමේ ආරක්ෂණ වැඩපිලිවෙලක් ලෙසයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *