වල් බිහිවුණු, මහනුවර – නියංගොඩ පාසල

වල් බිහිවුණු, මහනුවර – නියංගොඩ පාසල

නේවි රුවන්ගේ ගෝලයෙකු අල්ලයි

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් අධිකරණ ක්‍රියාමාර්ගවලින් තොරව මුදා හැරීම ගැන කාදිනල් හිමියන්ගේ අප්‍රසාදය

‘එතෙර සුභසාධන අංශ වහන්න එපා’ යැයි ඉල්ලති

උකසක් නිසා මීගමුවේ පවුලක් නිවාස අඩස්සියේ

ජලභීතිකා ආසාදිත සිවලුන් 5 ක් සොයා ගැනේ – සුනඛයින් සොයා එන කඳුකර කොටි පළවා හැරීමටත් මෙහෙයුම්

කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල පළමු වතාවට දේශපාලන පලිගැනීම් ගැන සොයන ජනපති කොමිසමට

‘හිරු’ නිසා රැකෙන දෙවනගල පුදබිම

අපේ යෝජනා කිසිවක් කාරක සභා අවස්ථාවේවත් නෑ.. ඒවා නොසලකන්නේ නම් වගකීම අතහරිනවා.. – ජානිපෙන් අගමැතිට තීරණාත්මක ලිපියක්..

විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය තැපැල් කාර්යාලවලදී එකතු කෙරේ

*********************************************

වල් බිහිවුණු, මහනුවර – නියංගොඩ පාසල

(03.10.2020 – 14:34 +0530 – hirunews.lk/sinhala)

සිසුන් ප්‍රමාණවත් නොමැති බව පවසමින් මහනුවර – නියංගොඩ කණිෂ්ඨ විද්‍යාලය දැනට වසා දැමීම හේතුවෙන් රුපියල් ලක්ෂ ගණනක් වටිනා ගොඩනැඟිලි මෙන්ම ප්‍රදේශයේ දූ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථාද අහිමි වී යාමේ පුවතක් අපට වාර්තා වුණා.

අද (03) ‘රතු මිනිත්තුවේ’ අවධානය ඒ පිළිබඳවයි.

මහනුවර, ගලගෙදර අධ්‍යාපන කොට්ඨාසයට අයත්, වසර 100 කට වඩා ඉපැරණි නියංගොඩ කණිෂ්ඨ විද්‍යාලය මුල් අවධියේදී ප්‍රාථමික විද්‍යාලයක්ව පැවතියද පසුව මහා විද්‍යාලයක් දක්වා උසස් කළ පාසලක්.

කෙසේ වෙතත් සිසුන් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වසර 5 කට පමණ පෙර සිට මෙම පාසල වසා දමා තිබෙනවා.

ගම්වාසීන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් රුපියල් ලක්ෂ ගණනක් වටිනා ගොඩනැගිලි හතරක් (4) සමග අක්කර පහකින් (5) පමණ යුත් ඉඩම ද වල් බිහිවෙමින් පවතින බවයි.

වල් බිහිවී අභාවයට යමින් පවතින මෙම ගොඩනැගිලි තුළ විවිධ අපචාර සිදුවීම්ද සිදු වන බව ගම්මුන් පෙන්වා දෙනවා.

අධ්‍යාපනය ලැබීමේ නොතිත් ආශාවෙන් පසුවූවත් ඒ සඳහා පහසුකම් නොමැති දරුවන්ද සිටින බව අප පසුගිය ද යෙදී තිබූ ලෝක ළමා දිනයේදී සිහිපත් කළා.

ඒ පුවත වාර්තා වුණේ අනුරාධපුර අලිවංගුව ගම්මානයෙන්.

නියංගොඩ කණිෂ්ඨ විද්‍යාලය ද මෙලෙස වැසී යද්දී තවත් දරුවන්ට නිදහස් අධ්‍යාපනයේ අයිතින අහිමිවීමේ වගකීම පැවරෙන්නේ කාටද..?

මේ පිළිබඳ බලධාරීන්ගේ නෙත් යොමුවන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

කොරෝනා ආසාදිත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබෙනවා.

තම නිල ට්විටර් ගිණුමට සටහනක් එක් කරමිනුයි ජනාධිපතිවරයා ඇමරිකානු ජනාධිපතිවරයාට සහ මෙලානියා ට්‍රම්ප්ට ඉක්මන් සුවය පතා ඇත්තේ.

මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ජනතාව ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ සිටින බවට ද එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා ෴

***************************************

රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 100 ක් සහ මිලිග්‍රෑම් 97 ක් සමඟ පුද්ගලයෙකු කොළඹ – කැඩිච්චවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

25 හැවිරිදි සැකකරු කෙසෙල්වත්ත පොලීසියට භාරදී ඇති අතර, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, හෙරොයින් ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 10 ක් සමඟ පුද්ගලයෙකු කොළඹ 12 ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසෙල්වත්ත පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (02) රාත්‍රියේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක් ෴

***************************************

සුනඛයන් ගොදුරු කර ගැනීමට පැමිණෙන කඳුකර කොටියන් පලවා හැරීමට කටයුතු කරන බව වනජිවි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

හැටන් – කොටගල ප්‍රදේශයේ වැසියන් මෙම තත්ත්වය නිසා අවදානමකට මුහුණදී ඇති අතර, කොටගල – ක්‍රිස්වස්ෆාම් වතුයායේ පදිංචිකරුවන්ගේ කුකුළන් සහ සුනඛයන් රාත්‍රී කාලයේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සොයා බැලීමට සවි කළ ආරක්ෂිත කැමරා වලින් රාත්‍රී කාලයේ අසල රක්ෂිතවල සැරිසරන කඳුකර කොටියෙකු එම සතුන් ගොදුරු කරගෙන යන ආකාරය දක්නට ලැබුණා.

ඒ අනුවයි, ප්‍රදේශවාසීන් මේ පිළිබඳව වනජිවි නිලධාරින් දැනුම්වත් කර ඇත්තේ ෴

***************************************

කොච්චිකඩේ කම්මල්තොට මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයන් තුන්දෙනෙකු (3) දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

ඔවුන් සොයා නාවික හමුදාව සහ පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි තරුණයන් 7 දෙනෙකු උපන්දින සැමරුමක් අතර දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට ලක්ව ඇතැයි සඳහන්.

රළ පහරට හසුවූ එක් තරුණයෙකු බේරාගෙන තිබෙනවා ෴

***************************************

ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව ශ්‍රී ලංකාවෙන් ඔබ්බට රැගෙන යන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහ නීතිපතිවරයාගේ උපදෙස්වලට පටහැනිව බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසනවා ෴

***************************************

පොල් සඳහා පාලන මිලක් පැනවීමට කටයුතු කිරීමත් සමඟ වෙළඳපොලේ පොල් හිඟයක් මතුව ඇති බව වෙළඳුන් පවසනවා.

කෙසේ වෙතත්, පාරිභෝගිකයින් පවසන්නේ තවදුරටත් ඇතැම් ස්ථානවල පොල් පාලන මිලට වඩා වැඩි මුදලකට අලෙවි කරන බවයි.

රජය පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව පොල් ගෙඩියක් සඳහා රුපියල් 60 ත් 70 ත් අතර උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

ඒ අනුව, වට ප්‍රමාණය අගල් 12 ට අඩු පොල් ගෙඩි සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 60 ක් වන අතර වටප්‍රමාණය අගල් 12 ත් 13 ත් අතර පොල් ගෙඩියක් විකිණිය හැක්කේ රුපියල් 65 කට පමණයි.

එසේම, වටප්‍රමාණය අගල් 13 ට වැඩි පොල් ගෙඩියක් සදහා රුපියල් 70 ක උපරිම මිලක් ද අදාළ ගැසට් පත්‍රය මගින් නියම කර තිබෙනවා.

කෙසේ වෙතත්, පාරිභෝගිකයින් චෝදනා කරන්නේ එම මිල ගණන් යටතේ මිලදී ගැනීමට වෙළඳපොලේ පොල් නොමැති බවයි ෴

*********************************************

නේවි රුවන්ගේ ගෝලයෙකු අල්ලයි

(03.10.2020 – 20:04 +0530 – hirunews.lk/sinhala)

විවිධ අපරාධ සහ මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ ‘නේවි රුවන්’ නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු බවට පැවසෙන 22 හැවිරිදි ‘අශාන් මධුෂංක’ හෙවත් ‘තිලක් බඩා’ නමැත්තා මීගොඩ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එම රථය නවත්වා පරීක්ෂා කළ පොලීසිය එහි තිබූ කාන්තා අත්බෑගයක තිබී රුපියල් ලක්ෂ දෙකහමාරක් (2,50,000) වටිනා මැන්ඩි නමැත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් සොයා ගෙන ඇති අතර, සැකකරුගේ පාවහන්වල ඉතා සූක්ෂම සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 20 ක් ද සොයා ගැණුනා.

එසේම, සැකකරු ළඟ තිබී ‘නේවි රුවන්’ට අයත් බව කියන මැගසිනයක් සහ ජීව උණ්ඩ 6 ක් ද පොලිස් භාරයට ගැණුනා.

එම ගිනි අවිය සෙවීම සඳහා හෝමාගම නියඳගල ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් පොලීසිය විසින් පරීක්ෂාවට ලක් කිරීම සඳහා සැකකරු එම ස්ථානයට රැගෙන ගොස් ඇති අතර එහිදී සැකකරු එම ස්ථානයෙන් පලායාම සඳහා දෙවන මහලෙන් බිමට පැන තිබෙනවා.

එහිදී බරපතල තුවාල ලබා ඇති ‘තිලක් බඩා’ නමැති මෙම සැකකරු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔහුගේ අනියම් බිරිඳ බව සැලකෙන 26 හැවිරිදි කාන්තාවක ද මීගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.

*********************************************

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් අධිකරණ ක්‍රියාමාර්ගවලින් තොරව මුදා හැරීම ගැන කාදිනල් හිමියන්ගේ අප්‍රසාදය

(03.10.2020 – 20:09 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණවලට අදාළව අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් අධිකරණ ක්‍රියාවලියකින් තොරව, නිදහස් කිරීම ගැන අප්‍රසාදය පළ කරන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තමන් විමතියට පත්වූ බවයි.

පාස්කු ප්‍රහාරයට අදාළව විමර්ශන මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගත්තේ පසුගිය අප්‍රේල් මස 14 වනදායි.

ඊට පසුදින පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කරනු ලැබුවේ අත්අඩංගුවට ගත් රියාජ් බදියුදීන්, පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවෙකු සමඟ ඍජු සබඳතා පවත්වා ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි.

මේ අතර, කොළඹ අගරදගුරු නිල නිවසේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් රියාජ් බදියුදීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී උන්වහන්සේ සඳහන් කළේ රියාජ් නිදහස් කිරීම පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් පවතින්නේ ද යන්න සැක සහිත බවයි.

රියාජ් බදියුදීන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සමඟ සබඳතා පැවැත්වූ ආකාරය සනාථ කළ හැකි හඬපට අපරාධ පරීක්ෂණය විසින් අනාවරණ කර තිබූ පසුබිමක මෙලෙස එකවර නිදහස් කිරීම අනුමත නොකරන බවයි උන්වහන්සේ එහිදී චෝදනාත්මකව සඳහන් කළේ ෴

++++++++++++

+++++++++++

රිෂාඩ් හෝ ඔහුගේ ගෝලයින් ආණ්ඩුව ඇතුළට ගත්තොත් ජනවරම අහෝසි වෙනවා – ආණ්ඩුවේ අවසානය ආරම්භ වෙනවා – ජාතික සංවිධාන

(03.10.2020 – 19:30 +0530 – lankaleadnews.com)

රිෂාඩ් බදිඋදීන් ආණ්ඩුවට එක්වන බවට සමාජයේ පැතිරෙන කථාබහ පිළිබඳව ‘ලංකා ලීඩ්’ විසින් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ අප ඇසූ ප්‍රශ්ණයට වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ලබාදුන් පිළිතුර ඔහුගේ වචනයෙන් :

“ඉස්ලාම් අන්තවාදය රාජ්‍ය බලය තුළ නියෝජනය වෙමින් ප්‍රචලිත කිරීම සඳහා තෝරාගත් ප්‍රධාන පුද්ගලයා තමයි රිෂාඩ් බදිඋදීන්. ඒ ලැයිස්තුවේම තමයි හකීම්ලා සහ හිස්බුල්ලලා ඉන්නෙත්. ආණ්ඩු බලය නැති වූ පමණින් ඔවුන්ගේ භූමිකාව අවසන් වෙන්නේ නැහැ. නමුත් නැවත ආණ්ඩුව තුළ භුමීකාව අතට ගන්න පුළුවන් නම් ඔවුන් කැමතියි. ඒකට තමයි දැන් උත්සහා කරන්නේ. අණ්ඩුවේ යම් පිරිසක් සිටිනවා රිෂාඩ්ලාගේ ඡන්ද වලින් ඊළඟ ජනාධිපතිවරණය දිනන්න බලාගෙන. මහජන විරෝධය පැනනැගුණු පමණින් ඉස්ලාම් අන්තවාදයේ මාර්ග සිතියම වෙනස් වන්නේ නැහැ. රිෂාඩ්ලාට ප්‍රබල විරෝධයක් මතු වුනොත් ඔහුට වෙනත් භූමිකාවක් පවරන අතර ඔහුගේ ගෝලයින් ස්වාධීන වීමේ නාමයෙන් ආණ්ඩුව ඇතුළට රිංගවලා ඇමතිකමක් ගන්න අන්තවාදී බලවේග උත්සහා කරනවා. නමුත් එකක් කියන්න ඕනේ. ආණ්ඩුව ඇතුළට රිෂාඩ් ගත්තත්, ගෝලයින් ගත්තත් ආණ්ඩුවේ ජනවරම අහෝසි වෙනවා. රුවන්වැලිසෑයේදී ජනාධිපතිතුමා කිව්ව ‘එතුමා දිනවපු ජනතාව’ගේ හදවත් වෙනස් වෙනවා. ඒක ආණ්ඩුවේ අවසානයේ ආරම්භය බවට කිසිඳු සැකයක් නැහැ.”

*********************************************

‘එතෙර සුභසාධන අංශ වහන්න එපා’ යැයි ඉල්ලති

(02.10.2020 – 17:12 +0530 – lankadeepa.lk)

විදේශ රටවල තානාපති කාර්යාලවලට අනුයුක්ත කර ඇති කම්කරු සුභ සාධන නිලධාරින් ගේ සේවය අත්හිටුවා ඔවුන් මෙරටට ගෙන්වීමට කම්කරු අමාත්‍යංශය ගෙන ඇති තීරණය නිසා අලුත් විදේශ රැකියා සොයාගැනීම් නවතින බවත්, දැනට විදෙස් ගත වී සිටින සේවකයින්ගේ ආරක්ෂාවට බාධා සිදුවන බවත් වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ ශාඛාව මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් දන්වා ඇත.

එමෙන්ම විදේශයන්හිදී කරදරවලට මුහුණ දෙන ශ්‍රී ලාංකිකයෝ ආපසු ගෙන්වා ගැනීම හෝ ඔවුන් වෙනුවෙන් නීතිමය කටයුතු කිරීම ද නවතිනු ඇතැයි එම සංගමය යවන ලද ලිපියේ සඳහන්ව ඇත.

එම සංගමයේ ලේකම් එම් ඩී සමරක්කොඩි මහතාගේ අස්සනින් යුතුව ඉකුත් 24 වැනිදා යවා ඇති එම ලිපියේ, එතෙර දූත මණ්ඩල කාර්යාලවල ස්ථාපිත කර ඇති රැකියා හා සුභසාධන අංශ වසා දැමීමට අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතින බව සඳහන් කර ඇත.

විදේශ දූත මණ්ඩල 16 ක සේවය කළ නිලධාරින් 150 දෙනාගෙන් මේ වනවිට 125 දෙනෙකුම ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇතැයි එම ලිපියෙන් පෙන්වා දෙන අතර එම කාර්යාල වසා දැමීමට උත්සාහ කරන බවට එයම සාක්ෂියක් යැයි පෙන්වා දෙයි.

මේ සම්බන්ධව ලංකාදීපයට අදහස් දක්වමින් වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ ශාඛාවේ සභාපති අනුර කුමාර සූරියආරච්චි මහතා කියා සිටියේ මේ වනවිට ජෙඩා හි කොන්සල් කාර්යාලයේ කාර්යංශය නියෝජනය කරන කිසිදු නිලධාරියෙකු නොමැති බවය.

බහරේනයේ, ඊශ්‍රායලයේ, ජෝර්දානයේ, දකුණු කොරියාව, මැලේසියාව, හා මාලදිවයින යන රටවල ඇත්තේ එකම නිලධාරියෙකු බැගින් පමණක් බවත් ඔවුන් ද ලිපිකරුවන් පමණක් බවත් ඔහු සඳහන් කළේය. එමෙන්ම මේ අයගෙන් වැඩි පිරිසක් 2021 වසර වනවිට සේවාකාලය අවසන්ව ආපසු පැමිණීමට නියමිත පිරිස් බව ද හෙතෙම කියා සිටියේය.

මෙම රටවල්වලින් බොහොමයක් ගෘහ සේවයට ශ්‍රී ලාංකික කාන්තාවන් යන රටවල් බැවින් විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන කාන්තාවන් මෙම සුභසාධන අංශයේ පිහිට සොයා එන බවත් පෙන්වා දුන් සූරිආරච්චි මහතා විශේෂයෙන් බන්ධනාගාර ගත වූ ශ්‍රී ලාංකිකයන්, රෝහල් ගත වූ ශ්‍රී ලාංකිකයන් හා අධිකරණමය කටයුතුවලට මුහුණ දී සිටින්නන් වෙනුවෙන් සපයන සහය මේ වනවිටත් බිඳ වැටී ඇතැයි පෙන්වා දුන්නේය.

එබැවින් මේ සේවාවන් තවදුරටත් ලබා දීමට පියවර ගන්නැයි ඉල්ලමින් ලිපිය යැවූ බවත් එහි පිටපත් කම්කරු අමාත්‍යවරයා, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා, එම අමාත්‍යංශ දෙකෙහි ලේකම්වරු මෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා වෙත ද යැවූ බව ද ඔහු කියා සිටියේය ෴

***************************************

(03.10.2020 – 18:12 +0530 – lankadeepa.lk)

බෙලිඅත්ත කිරින්ද ප්‍රධාන මාර්ගයේ මහහීල්ලේ දී අද (03) දහවල් නතරකර තිබූ කුඩා ලොරි රථයක දොර එහි රියදුරු විසින් විවෘත කරන විට එම දොරේ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ මහහීල්ල සමගි මාවතේ පදිංචි කේ.ජී. රම්‍ය කුමාර නම් 44 හැවිරිදි අයෙකි .

අනතුරට අදාල ලොරි රථයේ රියදුරු බෙලිඅත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. බෙලිඅත්ත පොලිසිය මෙම මාරක අනතුර සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වයි ෴

*********************************************

උකසක් නිසා මීගමුවේ පවුලක් නිවාස අඩස්සියේ

(03.10.2020 – 20:17 +0530 – hirunews.lk/sinhala)

මීගමුව – පෙරියමුල්ල – ජුම්මා මස්ජිඩ් මාවතේ පදිංචි කුඩා දරුවෙකු ඇතුළ තිදෙනෙකු (3) ගෙන් යුත් පවුලක් තම නිවස තුලම සිරකර සිටින පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

නිවැසියන් පවසන්නේ තම නිවස උකස් කර ලබා ගත් මුදල් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

*********************************************

ජලභීතිකා ආසාදිත සිවලුන් 5 ක් සොයා ගැනේ – සුනඛයින් සොයා එන කඳුකර කොටි පළවා හැරීමටත් මෙහෙයුම්

(03.10.2020 – 20:20 +0530 – hirunews.lk/sinhala)

ජලභීතිකාව රෝගය වැළඳුනු සිවලුන් (නරි) 5 දෙනෙකු මේ වනවිට සොයා ගෙන ඇති බව වනජිවි දෙපාර්තමේන්තුව පවසනවා.

මිල්ලනිය, හොරණ, ඉංගිරිය සහ මදුරාවල යන ප්‍රදේශවලින් මෙම සිවලුන් සොයා ගෙන ඇති බවයි වනජීවී නියෝජ්‍ය අධ්‍යක්‍ෂ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා සඳහන් කළේ.

මේ අතර, ගාල්ල – උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් මාපලගම සහ යටලමත්ත ප්‍රදේශවලින් ජල භීතිකාව වැළඳී පුද්ගලයන් දෙදෙනෙකු (2) මියගිය බව පසුගිය සතියේ වාර්තා වුණා.

මේ අතර, සුනඛයන් ගොදුරු කර ගැනීමට පැමිණෙන කඳුකර කොටියන් පලවා හැරීමට කටයුතු කරන බව වනජිවි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

හැටන් – කොටගල ප්‍රදේශයේ වැසියන් මෙම තත්ත්වය නිසා අවදානමකට මුහුණදී ඇති අතර, කොටගල – ක්‍රිස්වස්ෆාම් වතුයායේ පදිංචිකරුවන්ගේ කුකුළන් සහ සුනඛයන් රාත්‍රී කාලයේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සොයා බැලීමට සවි කළ ආරක්ෂිත කැමරා වලින් රාත්‍රී කාලයේ අසල රක්ෂිතවල සැරිසරන කඳුකර කොටියෙකු එම සතුන් ගොදුරු කරගෙන යන ආකාරය දක්නට ලැබුණා.

*********************************************

කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල පළමු වතාවට දේශපාලන පලිගැනීම් ගැන සොයන ජනපති කොමිසමට

(03.10.2020 – 20:50 +0530 – hirunews.lk/sinhala)

දේශපාලනිකව පළිගැනීමේ අරමුණින් නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ කළ නිර්දේශයක් හේතුවෙන් තමන් ඇතුළු සංචාරක සංවර්ධන අධිකාරියේ 5 දෙනෙකුට රක්ෂිත බන්ධනාගාර ගතවීමට සිදු වූ බවට එම කොමිසමේ හිටපු සභාපතිවරයා අද (03) ජනාධිපති කොමිසමට සාක්ෂි ලබාදුන්නා.

ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමට ඔහු කළ පැමිණිල්ලක් අද (03) විභාගයට ගත් අවස්ථාවේදී.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කළ පැමිණිල්ලකට අදාළව වැඩ තහනමකට ලක්ව සිටින කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (03) ප්‍රථම වතාවට කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා.

ඔහු සඳහන් කළේ දිවිනැගුම දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමේදී ස්වේච්ඡාවෙන් ඉවත්වූ සේවකයින්ට වන්දි සහ පාරිතෝෂික දීමනා ලබාදීම මෙන්ම ඉසුරුමත් නිවාස ව්‍යාපෘතියෙන් සහන ලබාදීමේ සිද්ධීන්වලට අදාළව බැසිල් රාජපක්ෂ මහතා සහ තමාව අත්අඩංගුවට ගෙන රාත්‍රී 10:00 ට පමණ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදීත් මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා එහි රැදී සිටි අතර අධිකරණ භූමියේ බන්ධනාගාර බස් රථයක් ද නවතා තිබූ බවයි.

රාජකාරී ඇමතුමකට අනුව රාත්‍රී 07:30 ට පමණ තමා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි බවත්, බන්ධනාගාර බස් රථයක් අධිකරණ භූමියේ නවතා තිබූ බව තමාගේ මතකයේ නොමැති බවත් ධම්මික හේමපාල මහතා ප්‍රකාශ කළා.

ඔහු සදහන් කළේ එදින අධිකරණ භූමියට ඇතුළුවෙද්දි වෙනදාට වඩා විශාල පිරිසක් එහි රැඳී සිටිනු තමන් දුටු බැවින් විශේෂ පුද්ගලයකු පැමිණ ඇත්දැයි සොයා බැලූ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් අධිකරණයට රැගෙන එන බවට තමාට දැන ගන්නට ලැබුණු බවයි.

මේ අතර අධිකරණවල විභාග වන නඩු සම්බන්ධයෙන් දේශපාලනඥයින් සමග සාකච්ඡා කර ඇත්දැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සෙනරත් ජයසුන්දර මහතා ධම්මික හේමපාල මහතාගෙන් විමසුවා.

ඊට පිළිතුරු දෙමින් ධම්මික හේමපාල මහතා පැවසුවේ සිය වෘත්තිමය ජීවිතය තුළ කිසිදු දේශපාලඥයෙකු සමඟ නඩු සම්බන්ධයෙන් සාකච්ඡා කර නොමැති බවයි.

අනතුරුව රන්ජන් රාමනායක සහ ධම්මික හේමපාල මහතා අතර ඇතිවූ ආන්දෝලනාත්මක සංවාදය ඇතුළත් වීඩියෝ පටය කොමිසමේ දැඩි අවධානයට යොමු වුණා.

2017 අවසාන භාගයේ දී සිය ඥාතියෙකු වන කාලෝ ෆොන්සේකා මහතාගේ නිවසේදී රන්ජන් රාමනායක හමු වූ බව සත්‍යයක් වන නමුත් එම සංවාදයේ ඇතුලත් දෙබස් පිළිනොගන්නා බව ධම්මික හේමපාල මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ පිරිස බන්ධනාගාර ගත කිරීමට ධම්මික හේමපාල මහතා ලබා දුන් නියෝගය රාත්‍රී කාලයේදී අත් අකුරින් සටහන් කර ඊට පසුදින පෙරවරුවේ යතුරු ලියනය කිරීම සම්බන්ධයෙන් ද කොමිසමේ අවධානය යොමුවුණා.

කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේ සාමාන්‍යයෙන් අත්අකුරින් සටහන් කරන ලද වාර්තාවක් පසුව යතුරු ලියනය කරන ලද වාර්තාවට ඇමිණීම සම්ප්‍රදාය බවයි.

“එහෙමයි ස්වාමිනී, මා එය දැනගෙන හිටියේ නැහැ. ඔබතුමාගෙන් මා ඉගෙන ගන්නවා” ඊට පිළිතුරු දෙමින් ධම්මික හේමපාල මහතා වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර දූෂණ විරෝධී කමිටුව නියෝජනය කළ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාගේ නිර්දේශයක් හේතුවෙන් තමා ඇතුළු සංචාරක සංවර්ධන අධිකාරියේ පස්දෙනෙකු (5) දේශපාලනිකව පළිගැනීමට ලක්වූ බවට එම අධිකාරියේ හිටපු සභාපති භාෂ්වර කේ. ගුණරත්න මහතා අද (03) ජනාධිපති කොමිසමට සාක්ෂි ලබාදුන්නා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් දේශපාලනිකව පළිගැනීමේ චේතනාවෙන් අසත්‍ය චෝදනා ගොනු කරමින් තමන් ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද තුසිත් මුදලිගේ ඇතුළු පිරිස කටයුතු කළ බවයි ඔහු කොමිසම හමුවේ පෙන්වා දුන්නේ.

සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ දේශීය සංචාරකයන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් සම්බන්ධයෙන් තමන්ව වරින් වර කැඳවා කට උත්තර ලබා ගත් බවත් එක් අවස්ථාවක පොලිස් කොස්තාපල් රාජමන්ත්‍රි “සංචාරක මණ්ඩලයේ කට්ටිය වතුර බේසම පුරෝල ඉවරයි. ඔබතුමා නා ගන්නවද නැත්නම් නැත්නම් ඇමතිවරයාව නාවලා ඔබතුමා බේරෙනවා ද” යනුවෙන් ප්‍රකාශකළ බවත් හිටපු සභාපතිවරයා පැවසුවා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ සිය අධිකාරිය භාරව කටයුතු කළේ, එවක ආර්ථික කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බැවින් රාජමන්ත්‍රී ගේ ප්‍රකාශයෙන් තමන්ට හැඟී යන්නේ කෙසේ හෝ බැසිල් රාජපක්ෂ මහතාව මෙම සිද්ධියට අදාළව වැරදිකරුවෙකු කිරීමේ පරමාර්ථයක් යහපාලන රජය පිහිටුවාගත් FCID යේ නිලධාරීන්ට තිබූ බවයි.

*********************************************

‘හිරු’ නිසා රැකෙන දෙවනගල පුදබිම

(03.10.2020 – 22:59 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික දෙවනගල පුදබිමේ පුරා විද්‍යාවට අයත් ස්ථාන රැක ගැනීම සඳහා දෙවන අදියරේ මැනුම් කටයුතු ද ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා.

‘හිරු සී.අයි.ඒ.’ හරහා දෙවනගල පුදබිම ආශ්‍රිතව සිදුවූ ඉඩම් ආක්‍රමණය හෙළි කිරීමෙන් අනතුරුව රජය මැදිහත්වීමෙන් එහි පළමු අදියරේ මැනුම් කටයුතු පසුගියදා අවසන් කෙරුණා.

එහි නිරීක්ෂණ කටයුතු සිදුකිරීමට අද (03) දිනයේ රාජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණියා.

සබරගමුව පළාතට අයත් මාවනැල්ල ප්‍රදේශයේ පිහිටා ඇති දෙවනගල ඓතිහාසික පුදබිම පුරාවිද්‍යා ස්මාරයක් ලෙසයි නම් කර ඇත්තේ.

බොදු බැතිමතුන් ජීවමාන බුදුන් ලෙස සලකන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මහනුවරට වැඩම කරවන අතරතුර එක් දිනක් මේ දෙවනගල පුදබිමට වැඩමවූ බවට ශාසන ඉතිහාසයේ සඳහන්.

එවන් ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම පුදබිමේ ඉඩම් පසුගිය කාලය පුරා අන්‍යාගමික පිරිස් සිය ග්‍රහණයට නතු කරගෙන තිබුණා.

කෙසේ වෙතත්, ‘හිරු සී.අයි.ඒ.’ මේ පිළිබඳව දිගින් දිගටම රටට අනාවරණ කිරීමත් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය ද ඒ පිළිබඳව යොමුවූණා.

මිනින්දෝරු දෙපාර්තමේන්තුව දෙවනගල පුදබිමේ ආවස ගෙය ආශ්‍රිත පළමු පිඹුරේ මැනුම් කටයුතු පසුගියදා අවසන් කළේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

එම කටයුතු සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අද (03) දෙවනගල පුදබිම වෙත පැමිණියා.

***************************************

මීගමුව – කොච්චිකඩේ ප්‍රදේශයේදී පොලිසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් මියගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘දේවමුණි හැරල්ඩ් රෝහණ ද සිල්වා’ හෙවත් ‘රත්මලානේ රොහා’ගේ සමීපතමයන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය රත්මලාන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදියි.

සැකකරුවන් රත්මලාන සහ මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් සතුව තිබී ජීව උණ්ඩ 262 ක්ද සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ෴

***************************************

මංතීරු නීතිය ක්‍රියාත්මක කළ මාර්ගවල රථ වාහන ගමන් කිරීමේ සාමාන්‍ය දළ වේගය ඉහළ ගොස් ඇතැයි පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න කියා සිටියේ දිවයින පුරා මහා මාර්ගවල ඉදිරියේදී මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.

හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ – අනුලා විද්‍යාලය අසල සිට පිත්තල හන්දිය දක්වාත්, බේස්ලයින් මාර්ගයේ කැළණි පාලම සිට හයිලෙවල් බේස්ලයින් හන්දිය දක්වාත්, ගාලු පාරේ විලියම් හන්දියේ සිට ගාලුමුවදොර වටරවුම දක්වාත්, පාර්ලිමේන්තු මාර්ගයේ පොල්දූව හන්දියේ සිට ලිබර්ටි වටරවුම දක්වාත් මංතීරු නීතිය ක්‍රියාත්මකයි.

පසුගිය 14 වනදා සිට පෙරවරු 6 සිට පෙරවරු 9 දක්වාත්, පස්වරු 4 සිට රාත්‍රි 8 දක්වාත්, කොළඹ සහ තදාසන්න ප්‍රධාන මාර්ග 4ක් කේන්ද්‍ර කර ගනිමින් මංතීරු නීතිය යළි ක්‍රියාත්මක කරනු ලැබුවා ෴

*********************************************

අපේ යෝජනා කිසිවක් කාරක සභා අවස්ථාවේවත් නෑ.. ඒවා නොසලකන්නේ නම් වගකීම අතහරිනවා.. – ජානිපෙන් අගමැතිට තීරණාත්මක ලිපියක්..

(04.10.2020 – 09:20 +0530 – lankacnews.com)

විසිවෙනි සංශෝධන පනත් කෙටුම්පතට අදාළව තම පක්ෂය විසින් ඉදිරිපත් කළ කිසිදු සංශෝධන යෝජනාවක් කාරක සභා අවස්ථාවට ඇතුළත් කරන බවට නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දුන් යෝජනාවලියේ නැතැයි ජාතික නිදහස් පෙරමුණ සඳහන් කරයි.

එහි ප්‍රධාන ලේකම්වරයා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් මේ බව සඳහන් කර තිබේ.

අදාල ලිපියේ පිටපත් මාධ්‍ය යොමු කර ඇති අතර එම සම්පූර්ණ ලිපිය මෙසේය :

ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා,
අගමැති කාර්යාලය,
කොළඹ.

ගරු අගමැතිතුමනි,

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේ දී ඇතුළත් කළ යුතු සංශෝධන පිළිබඳව

යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළු කොට ඇති යම් ප්‍රතිපාදන පිළිබඳව අප පක්ෂයේ නායකත්වය සහ සෙසු පක්ෂ නායකයන් මෙන්ම පොදු මහජනතාව විසින් ඉදිරිපත් කළ විරෝධතා පිළිබඳව සංවේදී වීම පිළිබඳව පළමුවෙන්ම අප පක්ෂයේ ප්‍රණාමය ඔබතුමාට පිළිගැන්විය යුතුය. ඒ අනුව ඔබතුමා විසින් පත් කරන ලද කමිටුවට අප පක්ෂයේ නායක විමල් වීරවංශ සහෝදරයා විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා පිළිබඳව යම් එකඟතාවකට පැමිණීමට උත්සාහ කිරීම ද අපගේ ඇගයීමට ලක් වේ.

නමුත් නීතිපතිවරයා විසින් රජයේ යෝජනා ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද සහ පාර්ලිමේන්තු විවාදයේ කාරක සභා අවස්ථාවේ දී සංශෝධනය කිරීමට නියමිත බවට සඳහන් කළ යෝජනාවලිය තුළ අප පක්ෂයේ නායකයා විසින් ඉදිරිපත් කළ සංශෝධන කිසිවක් අඩංගු නොවන බව කනගාටුවෙන් සඳහන් කළ යුතුය.

අප පක්ෂයේ නායක විමල් වීරවංශ සහෝදරයා විසින් ඔබතුමා වෙත ඉදිරිපත් කළ සහ නීතිපතිවරයාගේ යෝජනා තුළ අඩංගු නොවූ සංශෝධන අතුරින් ප්‍රධාන ත්‍රිත්වයක් ඉතා තීරණාත්මකව වැදගත් වේ. ඒවා පිළිබඳව ප්‍රබල මහජන විරෝධයක් ගොඩනැගී ඇති අතර එම විරෝධයන් නොසලකා කටයුතු කිරීම මගින් අපගේ ආණ්ඩුවේ ජනවරමේ ආධ්‍යාත්මයට සහ ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් අගතියක් සිදුවන බව ඔබතුමා ද පිළිගන්නවා ඇත.

ඉතිහාසයට මෙන්ම ජනවරමට සාධාරණය ඉටු කිරීම සඳහා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු වන අපගේ දැඩි විරෝධයට ලක්ව ඇති සහ නැවත සංශෝධනය කළ යුතු හෙවත් නිවැරදි කළ යුතු ප්‍රතිපාදන ත්‍රිත්වය මෙසේ නැවත අවධාරණය කරමු.

  1. සමාගම් රෙජිස්ට්‍රාර් යටතේ ලියාපදිංචි කොට ඇති රජයට බහුතර කොටස් හිමි සමාගම් විගණකාධිපතිවරයාගේ විගණනයෙන් නිදහස් කිරීම.
  2. මහජනයාගේ දැනගැනීම පිණිස ගැසට් කිරීමෙන් තොරව හදිසි පනත් සම්මත කිරීම.
  3. ද්විත්ව පුරවැසි බාධකය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඔබ්බට තානාපතිවරුන් සහ රජයේ ප්‍රධාන උසස් නිලතලවලට ද පැනවීම වෙනුවට එම බාධකය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම.

ඒ අනුව ජාතික නිදහස් පෙරමුණ ලෙස අප ඔබතුමාට ඉතා ගෞරවයෙන් අවධාරණය කරනු ලබන්නේ අප ආණ්ඩුවක් ලෙස එම වැරදි නිවැරදි කළ යුතු බව ය. එය ජනවරම ආරක්ෂා කිරීම සඳහා අප විසින් ගනු ලබන දේශපාලන ස්ථාවරයකි.

ආණ්ඩුව සමස්තයක් ලෙස එම දේශපාලන ස්ථාවරය නොසලකා කටයුතු කරන්නේ නම් එහි දේශපාලන වගකීම අප විසින් බාර නොගන්නා බව ඉතා ගෞරවයෙන් සඳහන් කරමි. එහෙත් ආණ්ඩුවට සහ රටට එරෙහිව පවතින සතුරු වටලෑම පිළිබඳව ගැඹුරු අවබෝධයකින් යුතුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ආණ්ඩුව ආරක්ෂා කිරීමේ දේශපාලන ස්ථාවරයක් අප විසින් ගනු ලබන බව පූර්වගාමීව මෙසේ දැනුම් දෙමු.

ඔබතුමාට තෙරුවන් සරණයි!

මෙයට,
විශ්වාසී,

එස්. විජයසිරි,
ප්‍රධාන ලේකම්,
ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය වෙනුවෙන්
2020-10-02

*********************************************

විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය තැපැල් කාර්යාලවලදී එකතු කෙරේ

(04.10.2020 – 06:57 +0530 – hirunews.lk/sinhala)

විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

හෙට (05) දිනයේ සිට ලබන 11 වන දින දක්වා එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

තැපැල් සතිය තුළ දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල 653 ක විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව හෙට (05) දිනයේ සිට ලබන 11 වන දින දක්වා උදෑසන 8 සිට පස්වරු 5 දක්වා ඕනෑම පුද්ගලයෙකුට විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය තැපැල් කාර්යාල වෙත භාර දිය හැකි බව රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *