ගම සමග පිළිසඳර 2 : ජනපති ගැටලු විසඳයි

ගම සමග පිළිසඳර 2 : ජනපති ගැටලු විසඳයි

මෛත්‍රීගේ අත්සන ගැන සැකයක්

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු කොමිසමේදී දුන් සාක්ෂිය

ගුවන් තොටුපළ විවෘත කිරීම තවත් කල්යා හැකියි – අමාත්‍ය ප්‍රසන්න රණතුංග

රිෂාඩ්ගේ සොයුරා මුදාහැරි හේතුව හෙළිවෙයි

ෆේස්බුක් සාද සඳහා මත්ද්‍රව්‍ය සැපයෙන හැටි – ‘අද දෙරණ උකුස්සා’ගේ හෙළිදරව්වක්

කටානේ කොල්ලයට සම්බන්ධ තවත් සැකකරුවන් 3 ක් සොයා මෙහෙයුම්

නිව් ඩයමන්ඩ් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට

කෝටි 15 ක හෙරොයින් සමඟ හත්දෙනෙකු නාකොටික් අත්අඩංගුවට

වැලි මිලදී ගැනීමට නව ක්‍රමවේදයක් ගෙන එන බව ඇමති අමරවීර කියයි

මෛත්‍රීගෙන් ලැබුන දුරකථන පණිවිඩයක් ගැන හේමසිරි හෙළි කරයි

දිල්රුක්ෂි ඩයස් කළ බලපෑම් ගැන ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ සභාපති හෙළිකරයි

අභාවයට යන වෙදගම

ඇසේ සුද ඉවත් කර ගැනීමට රෝහලට එන රෝගීන් දැඩි අපහසුතාවක

*********************************************

ගම සමග පිළිසඳර 2 : ජනපති ගැටලු විසඳයි

(02.10.2020 – 20:20 +0530 – hirunews.lk/sinhala)

මොරගහ කන්ද ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමෙදි ඉඩම් අහිමි වුවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් ලබාදී තමන්ට දන්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන්නේ ‘ගම සමග පිළිසඳර’ වැඩසටහන යටතේ මාතලේ විල්ගමුව නාගවනාරාම විහාරස්ථානයේ අද (02) පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

මෙහිදි ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් ගැටලුව මෙන්ම ගුරු හෙද හිගය සහ තවත් ගැටලු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කෙරුණා.

+++++++++++++

*********************************************

මෛත්‍රීගේ අත්සන ගැන සැකයක්

(02.10.2020 – 21:22 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුන් ලේඛනවලට යොදා ඇති අත්සන බැලූ බැල්මටම ව්‍යාජ අත්සනක් බව පෙනීයන බව දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනපති කොමිසමේ සභාපති විනිසුරු උපාලි අබේරත්න අද (02) ප්‍රකාශ කළා.

ඒ පිළිබඳව විමසීමට හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වන උදය ආර්. සෙනවිරත්න කොමිසම හමුවට කැඳවීමටද නොතීසි නිකුත් කෙරුණා.

*********************************************

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු කොමිසමේදී දුන් සාක්ෂිය

(02.10.2020 – 21:25 +0530 – hirunews.lk/sinhala)

මෛත්‍රීපාල සිරිසේන මහතා දෙවන වරටත් ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටි බවත් පාස්කු ප්‍රහාරය ඊට කළු පැල්ලමක් වූ නිසා තමන් සහ පොලිස්පතිවරයා දොළපිදේනි ලෙස දී සාහසික ලෙස ප්‍රහාරයේ වරදකරුවන් කළ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසමේ දී ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පාස්කු ඉරුදින ප්‍රහාර එල්ලවූ වහාම එවකට අග්‍රාමාත්‍යවරයා විශේෂ රැස්වීමක් කැඳවූවද පැවති දේශපාලන අර්බුද මත හිටපු ජනාධිපතිවරයා තමන්ට සහ ජනාධිපති ලේකම්වරයාට ඊට සහභාගී නොවන ලෙස තදින් දැන්වූ බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද (02) පැමිණියේ 8 වෙනි දිනටයි.

මෙහිදී පාස්කු ප්‍රහාරය එල්ල වූ 2019 වසරේ අප්‍රේල් 21 වන දින සිදූ වූ සිදුවීම් පිළිබඳව රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළා.

එහිදී ඔහු සඳහන් කළේ, එදින පෙරවරුවේ තමන්ට පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා ඇමතුම් කිහිපයක් ගත් බවයි.

එලෙස එක් ඇමතුමකදී හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා තමන් අමතා මෙතෝදිස්ත පල්ලියක් ඇති ස්ථානයක් විමසූ බවත් මෙතෝදිස්ත පල්ලියක් ඇත්තේ කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලය අසල යැයි තමන් පැවසූ බව හේමසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එසේ විමසීමට හේතුව විමසීමේදී ප්‍රහාරය එල්ල වන්නේ කතෝලික පල්ලියකට නොව මෙතෝදිස්ත පල්ලියකටයැයි නිලන්ත ජයවර්ධන මහතා පැවසූ බවයි.

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“මේ තොරතුර ලැබුනට පස්සේ ශ්‍රී ලංකාවේ කුමන හෝ ස්ථානයක පිපිරීමක් සිදුවුණාද ?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“ඔව් ස්වාමීනි. මම කාර්‍යාලයට යන්න ලෑස්ති වෙලා වාහනයට නගිනකොට මගේ මිත්‍රයෙක් කෝල් කරල කිව්වා මෙහෙම හෝටලයක පිපිරීමක්, වෙලා කියලා. මං ඊට පස්සෙ කිහිප දෙනෙකුටම කතාකරත් සම්බන්ධ කරගන්න බැරි වුණා. පසුව කාරයාලයට ඇවිත් තමයි විස්තර දැනගත්තේ. ඊට පස්සෙ මම කොළඹ බෝම්බ පිපිරුණ හැම තැනටම ගියා.”

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :

“පිපිරීම් දැනගත්තට පසු එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වුණාද..?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“ඔව්. උදේ 11 ට පැවැත්වෙනවා කියලා මට ඊට පැයකට කලින් දැනුම්දුන්නා අගමැති කාර්‍යාලයෙන්.”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“ප්‍රහාරයෙන් පසු හිටපු ජනාධිපතිතුමා විදෙස්ගතව සිට ඔබට ඇමතුමක් ගත්තද ?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“මට මුලින්ම ඇමතුමක් ගත්තේ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න. මට අරන් ඇහුවා ‘හේමා අගමැති කාර්‍යාලයේ රැස්වීමක් තියෙනවා. දන්නවාද?’ කියල. මම ඔව් කිව්වා. එතුමා කිව්වා ‘මටත් පණිවිඩය ලැබුණා හැබැයි ජනාධිපතිතුමා කෝල් කරල කිව්වා අපි දෙන්නට යන්න එපා කියල’ ඒ ඇමතුමෙන් විනාඩි 10 කට පස්සෙ මට මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගෙන් කෝල් එකක් ආවා. ‘මොන තත්ත්වයක් යටතේවත් ඔය දෙන්නා ඔය රැස්වීමට යන්නේ නෑ…’ කියල ඉතා තදින් මට එතුමා කිව්වා.”

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :

“ලංකාවේ ඒ වනවිටත් බෝම්බ පුපුරන තත්ත්වය දැනගෙනද එතුමා ඔය රැස්වීමට යන්න එපා කිව්වේ ?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“එතුමා දැනගෙන හිටියේ. මමත් ලංකාවෙ තිබුණ කලබලකාරී තත්ත්වය ගැන කිව්වා.”

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :

“ජනාධිපතිතුමා රටේ නැතුව රටේ ඉන්න අගමැතිගේ සාකච්ඡාවට යන්න එපා කියනවා… මොකද ඔබට හිතුණේ ?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“හිතුණේ ඉතින්.. වැටිලා ඉන්න අසරණකම තමයි ස්වාමීනි. ජනපති යන්න කලින් බලතල පවරලා තිබුණේ නෑ අගමැතිට හෝ කාටවත්. අරාජික තත්ත්වයක තිබුණේ. මං ඒ රැස්වීමට යන්න කැමැත්තෙන් හිටියේ. නමුත් ජනාධිපතිගේ නියෝගයට පිටින් යන්න බැරි නිසා ඊට සහභාගි වුණේ නැහැ. නමුත් මේ වෙද්දි මමත් ආරක්ෂක අමාත්‍යාංශයට පොලිස්පති, ත්‍රිවිධ හමුදාපතිවරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඇතුළු බුද්ධි ප්‍රධානීන්ව කැඳවලා තිබුණේ. ඒ වෙලාවේ අගමැති තුමා එතනට ඇවිත් විනාඩි 15 ක් විතර ඉදලා ගියා. අපි ඒ සාකච්ඡාවේදී ඒ වෙද්දි තිබුණ තත්ත්වය ගැනත් මෘත ශරීර එහෙ මෙහෙ ගෙනියන ඒවා ගැනත් කතා කළා.”

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :

“ප්‍රනාන්දු මහත්මයා.. ඔය 21 ගත්ත පියවර 20 වෙනිදා ‘හෙට ගහනවා’ කියපු වෙලාවේ ගත්තානම් ආරක්ෂක ප්‍රධානීන්ව කැඳවලා මෘත ශරීර අදින ඒවා ගැන කතාකරන්න ඕනෙ නෑ නේද ?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“මට ඒකටනම් උත්තර දෙන්න බැ. පසුකාලීනව මා අධ්‍යනය කරලා දැනගත්තා 20 වෙනිදා මේ තොරතුර එනකොටත් සහරාන්ලා ඉලක්ක ගත වෙලා හිටියේ කියල හොටෙල්ස්වල එහෙම. අපි පොලිස් ඇඳිරිනීතිය දැම්මත් ඒ අය ෂැංග්‍රිලා එකට එහෙම ඇවිත් ඉවරයි. තොරතුරු සියල්ල බුද්ධි අංශ සතුව තිබුණා ස්වාමීනි. ඒකයි ප්‍රහාරය වෙලා සති දෙකක් යද්දි මේකට සම්බන්ධ 200 ගාණක් අල්ලගත්තේ. එයාලගේ safe houses හොයාගත්තා. පුහුණු කඳවුරු හොයාගත්තා. ඒ තොරතුරු ගැන අප්‍රේල් 9 වෙනිදා බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදී බුද්ධි අංශ කතාකරන්න තිබුණා. ඒවා කතා කළා නම් action plan එකක් හදන්න තිබුණා. මං වගකීමෙන් ගැලවෙන්න නෙවෙයි කියන්නේ. බෝම්බකාරයො බෝම්බ බැඳගත්තට පස්සේ එයාලව නවත්තන්න බෑ.”

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :

“ඔබ දන්නවාද විමර්ශනවලින් අනාවරණය වුණා කිංස්බරි ප්‍රහාරකයා වූ මුබාරක් 20 වෙනිදා රෑ එළියට ගිහින් – ගෙදර ගිහින් ඇවිත් තිබුණා. එදාම රෑ සහරාන් හා ඉල්හාම් ෂැංග්‍රිලා හෝටලෙන් එළියට ඇවිත් ආයේ ආවා. පොලිස් ඇඳිරිනීතිය දැම්මනම් මාර්ග බාධකවලදී නවත්තලා බලනවා නේද..? එහෙමනම් ඔවුන්ව පහසුවෙන්ම අත්අඩංගුවට ගන්න තිබුණා නේද..? “

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“පහසුවෙන්ම අත්අඩංගුවට ගන්න තිබුණද කියල මං දන්නේ නෑ. නමුත් අත්අඩංගුවට ගැනීමක් කරන්න තිබුණා. මේ බෝමබකරුවො බෝම්බ අරන් හෝටල්වලට ගියේ දවස් දෙකකට කලින්. අපේ රටේ 7500 ක් බිම් මට්ටමේ බුද්ධි නිලධාරීන්ට මේක දැනගන්න බැරි වුණ එක ගැටලුවක් නෙවෙයිද ස්වාමීනි. ප්‍රහාරය සිදුවෙනකල් අපේ බුද්ධි අංශවලට මේක සනාථ කරගන්න බැරි වුණා. මෙ තොරතුර අයිති රාජ්‍ය බුද්ධි සේවයට.”

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :

“ඔබ හිතන්නැත්ද ඉන්න රවුමෙන් පිටතට ගිහින් නිසි පරිදි ඔබේ මේසයට එන වාර්තා කියවලා හරි පියවර ගත්තානම් පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වාගන්න පුලුවන් කියලා ?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“මං ඒක පිළිගන්නේ නෑ ස්වාමීනි. 21 වෙනිදා වෙනකල් සහරාන් ත්‍රස්තවාදීයෙක් කියල රාජ්‍ය බුද්ධි අංශය දැන සිටියේ නැහැ.”

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :

“ප්‍රහාරයක් කරන්න ත්‍රස්තවාදියෙක් වෙන්න ඕනේද ?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“ප්‍රහාරයක් කිව්වම පිහියකින් අනින කෙනා ත්‍රස්තවාදීයෙක් වෙන්නේ නැනේ. සාමාන්‍ය මිනිස්සු බෝම්බ හදන්නෑනේ.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“වනාතවිල්ලුවේ අවි ගබඩාවට සම්බන්ධ සහරාන් බව පාස්කු ප්‍රහාරයට පෙර ඔබ දැන සිටියානේ. එතකොට සහරාන්ලා බෝම්බ හැදුවේ මිනිස්සුට විකුණන්නද ?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“නෑ ස්වාමීනි.”

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :

“මේ සිද්ධියෙන් පසු ජනාධිපතිවරයා කවදද ලංකාවට ආවේ ?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“21 රෑ.”

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :

“මොනවාද ගුවන් තොටුපළේදි කතා කළේ ?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“මුකුත් නැහැ.”

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :

“එහෙනම් ඇයි ගියේ..?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“එතුමා බොහොම වෙහෙසිලා ආවෙ. එතන හිටපු කිසිකෙනෙක් එක්ක කතාකරන්න උවමනාවක් එතුමට තිබුණේ නැහැ.”

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :

“ඇයි ඔබ යම් අවස්ථාවකදී ආරක්ෂක ලේකම් ධූරයෙන් ඉවත් වෙන්න හිතුවේ ?”

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“මට අප්‍රේල් 23 පොලිස්පති කෝල් කරලා කිව්වා ‘ජනාධිපති කිව්වා ධූරයෙන් ඉවත් වෙන්න කියපු කතාව. පස්සෙ මං ජනාධිපති හම්බෙන්න ගිහින් කිව්වා ‘සර්.. පොලිස්පති ඉන්නේ මගේ යටතේ. ඒ නිසා මං resign වෙනවා. සර් ඊයේ ජාතිය අමතල අපෙන් කටඋත්තරයක් වත් ගන්නේ නැතුව කිව්වා මේකට වගකියන්න ඕනේ ආරක්ෂක ලේකම් සහ පොලිස්පති කියල. එහෙම කියන එක හරි නැහැ සර්..’ කියලා. පස්සේ මං ඉල්ලා අස්වීමේ ලිපිය යවලා අමාත්‍යාංශයෙන් ගියා.”

අනතුරුව රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරියගේ ප්‍රශ්න කිරීම අවසන් කෙරුණු අතර කොමිසම හමුවේ පෙනී සිටින පාර්ශවකරුවන්ට හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීමට අවස්ථාව හිමිවුණා.

එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා සාක්ෂිකරුගෙන් විමසුවේ ‘හිටපු ජනාධිපතිවරයා ජාතිය අමතා සිදුකළේ දෝෂාරෝපණයක් යැයි ඔබ අදහස් කරන්නේද’ යන්නයි.

හේමසිරි ප්‍රනාන්දු – හිටපු ආරක්ෂක ලේකම් :

“රාජ්‍ය නායකයෙක් විදියට කරන්න පුලුවන් සාහසිකම ප්‍රකාශයක් එතුමා එදා කළේ ජාතිය අමතමින්. ලේකම්වරයා වරදක් කළානම් ගත යුතු පියවර ආයතන සංග්‍රහයේ තිබෙනවා. ඒවා නොකර අමාත්‍යාංශ ලේකම් හා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාව වරදකරුවන් කළා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඔනේ.. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට දෙවෙනි පාරට ජනාධිපති වීමේ සිහිනයක් තිබුණා. එතුමා ඒකට සුදානමෙන් හිටියේ. ඒකට පාස්කු ප්‍රහාරය කලු පැල්ලමක් වුණා. ඒකට දේශපාලන දොළපිදේනි දෙකක් ඕන වුණා. මාවයි පූජිත්වයි ඉතා නිර්දය විදියට ඒ නිසා මේකට වරදකරු කළා.”

අනතුරුව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාට හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් අවශ්‍යදැයි කොමිසම විමසූ විට අවශ්‍ය නොවන බව එම නීතිඥවරයා කොමිසමට දැනුම් දුන්නා.

ඉන් පසුව හරස් ප්‍රශ්න විමසීමේ අවස්ථාවක් හිමිවුණේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනීසිටින නීතිඥ මධූ ජයතිලක මහත්මියටයි.

කෙසේ වෙතත් හරස් ප්‍රශ්න විමසීම අතරතුර හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසමට පැවසුවේ තම සෞඛ්‍ය තත්ත්වය අයහපත් මට්ටමක පවතින බැවින් සාක්ෂි විමසීම කල් තබන ලෙසයි.

ඒ අනුව ජනාධිපති කොමිසම විසින් ඔහුගේ සාක්ෂි විමසීම පසුවට කල්තැබුවා ෴

*********************************************

ගුවන් තොටුපළ විවෘත කිරීම තවත් කල්යා හැකියි – අමාත්‍ය ප්‍රසන්න රණතුංග

(02.10.2020 – 22:02 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොවිඩ් කමිටුව හෝ සෞඛ්‍ය අංශ නිර්දේශ කරන්නේ නම් ඕනෑම අවස්ථාවක කටුනායක ගුවන් තොටුපළ විවෘත කළ හැකි වුවත් ලොව පවතින තත්ත්වය හමුවෙ ගුවන් තොටුපළ විවෘත කිරීම 2021 මුල වුවද විය හැකි බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

එහෙත් විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම සාමාන්‍ය පරිදි සිදුවන බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ.

සීත සෘතුවේදී කොවිඩ් පැතිරයාම ඉහළ යා හැකි බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇති බවත් මේ අනුව කටුනායක ගුවන් තොටුපළ විවෘත කිරීම තවත් කල් යා හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා ෴

***************************************

*********************************************

රිෂාඩ්ගේ සොයුරා මුදාහැරි හේතුව හෙළිවෙයි

(02.10.2020 – 22:23 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු අන්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ මාස 5 ක පමණ කාලයක් රඳවාගෙන සිටීමෙන් පසු ඔහුට නිදහස හිමිවීම සම්බන්ධයෙන් අද(02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කරුණු විමසා සිටියා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරමින් සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා නිදහස් කළේ ඔහුට එරෙහිව ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැති නිසා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා.

මේ අතර, අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසූවේ රිෂාඩ් බදියුදීන් මහතා වත්මන් ආණ්ඩුවට එක් වීමට පැමිණියහොත් අනිවාර්යෙන්ම ඔහු එළවා දමන බවයි.

මාස 5 කට වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ප්‍රශ්න කරමින් සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා වූ රියාජ් බදියුදීන් පෙරේදා නිදහස් කර තිබෙනවා.

මේ අතර, මන්නාරම ප්‍රදේශයේ පැවති උත්සවයකට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සමඟ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාද එක්ව සිටි අතර උත්සවයෙන් පසුව රිෂාඩ් බදියුදීන් මහතා මෙලෙස අදහස් පළ කළා.

මේ අතර, රිෂාඩ් බදියුදීන් මහතා සමඟ එකම උත්සවයකට සහභාගී විම පිළිබඳව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් අද ප්‍රශ්න කළා.

කෙසේවෙතත්, අමාත්‍ය විමල් වීරවංශ මහතා ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.

+++++++++++

+++++++++++

***************************************

https://www.youtube.com/watch?v=Qz5kIZuYK-s

*********************************************

ෆේස්බුක් සාද සඳහා මත්ද්‍රව්‍ය සැපයෙන හැටි – ‘අද දෙරණ උකුස්සා’ගේ හෙළිදරව්වක්

(02.10.2020 – 22:18 +0530 – sinhala.adaderana.lk)

ගාල්ලේ රාත්‍රී සාදවලට අයිස් සහ කුෂ් මත්ද්‍රව්‍ය අලෙවි කරන ජාවාරමක් ‘අද දෙරණ උකුස්සා’ ඊයේ (01) රට හමුවේ අනාවරණය කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කළ අනාවරණයේ දී තවත් මත්ද්‍රව්‍ය ජාවාරමක් හසුකරගත් අතර, මේ අනාවරණය ඒ පිළිබඳවයි.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ගාල්ලේ සංවිධාන කරන රාත්‍රී සාද සඳහා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට තොරතුරු ‘අද දෙරණ උකුස්සා’ට පසුගිය දිනක අනාවරණ විය.

ඒ අනුව ජාවාරම්කරුවන් පිරිසක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිටවීමේ ස්ථානයේදී අත්අඩංගුවට ගත් අයුරු අප ඊයේ (01) අනාවරණ කළේය.

එම අවස්ථාවේදි ඔවුන් සතුව තිබූ ලැප්ටොප් පරිඝනකයක සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය සොයාගත් ද සොයාගනු ලැබීය.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ කරුණු අනුව ගාල්ල මාගාල්ල ප්‍රදේශයේ රාත්‍රී සාදයක් වටලනු ලැබීය.

සුරාබදු නිලධාරිනියක් ඇතුළු කිහිප දෙනෙකු අදාළ ස්ථානයට උපාය දූතයන් ලෙසින් ඇතුළු වූයේ ‘අද දෙරණ උකුස්සා’ ද, සමගිනි.

එහි සිටි පිරිස අතර සිටි 06 දෙනෙකු අත්අඩංගුවට ගත්තේ අයිස් සහ කුෂ් මත්ද්‍රව්‍ය ද සමගිනි.

මෙහිදී අත්අඩංගුවට ගත් සියලුදෙනාම තරුණයින් වන අතර ඔවුන් පිරිස දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය වෙත රැගෙනවිත් අධිකරණයට ඉදිරිපත් කළේය.

තරුණ ජීවිතවලට විනකටින මත්ද්‍රව්‍ය ජාවාරම් ඉදිරියේදීත් රට හමුවේ අනාවරණය කිරීමට ‘අද දෙරණ උකුස්සා’ සූදානමින්.

***************************************

(03.10.2020 – 06:49 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 50 කට අධික හෙරොයින් ග්‍රෑම් 504 ක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු කැළණිය – වනවාසල දුම්රිය ස්ථානය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (02) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, එහිදී සැකකරුවන් ළඟ තිබී රුපියල් 2,89,000 ක මුදලක්ද සොයාගෙන තිබෙනවා ෴

හෙරොයින් ග්‍රෑම් 100 ක් සමඟ තවත් පුද්ගලයෙකු කොළඹ – කෙසෙල්වත්ත ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම අයිස් ග්‍රෑම් 50 ක් සහ හෙරොයින් ග්‍රෑම් 10 ක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු දෙහිවලදී පොලීසිය අත්අඩංගුවට ගත් බව සඳහන්.

මේ අතර කේරළ ගංජා ග්‍රෑම් 600 ක් විකිනීම සදහා වෑන් රථයකින් ප්‍රවාහනය කල පුද්ගලයින් තිදෙනෙක් (3) පානදුර හොරේතුඩුව පාලම අසළදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පවසන්නේ ෴

*********************************************

කටානේ කොල්ලයට සම්බන්ධ තවත් සැකකරුවන් 3 ක් සොයා මෙහෙයුම්

(03.10.2020 – 07:25 +0530 – hirunews.lk/sinhala)

කටාන – අක්කර පනහ ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකින් රුපියල් කෝටි 02 කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධිය සැලසුම් කළ තවත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු (2) ඇතුළු තුන් දෙනෙකු (3) සොයා පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඔවුන්ද කඩිනමින් අත්අඩංගුවට ගැනීමට හැකියාව පවතින බවයි.

එම පුද්ගලයින් කවුරුන්ද යන්න මේ වනවිටත් හඳුනාගෙන ඇති බව ද එම උසස් නිලධාරියා සඳහන් කළා.

සිද්ධිය සැලසුම් කළ ප්‍රධාන සැකකරුවන් තුන්දෙනා (3) අතර සිටි එක් පුද්ගලයෙකු (1) ඇතුළු 4 දෙනෙකු ඊයේ (02) අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම කොල්ලය තුන් දෙනෙකු (3) එක්ව සැලසුම් කර ඇති බවටයි මේ වනවිට අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දෙනා ගම්පහ, එප්පාවල, නිකවැරටිය සහ මාවතගම ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් වයස අවුරුදු 27 ත් 43 ත් අතර වයස්වල පසුවනවා.

පොලීසිය සඳහන් කළේ කොල්ලකෑමට යොදාගත් මෝටර් රථයක් සහ යතුරුපැදියක්ද සිය භාරයට ගත් බවයි.

එමෙන්ම, පැහැර ගත් රුපියල් හැත්තෑ දෙලක්ෂයකට (72,00,000) අධික මුදලක් සහ සහ රන් භාණ්ඩවලින් කොටසක් ද ඊයේ (02) සොයා පොලීසිය ගෙන තිබුණා.

පසුගිය බදාදා පෙරවරුවේ පුද්ගලයින් 06 දෙනෙකු මෙම ව්‍යාපාරික නිවසට ඇතුළු වී තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව හඟවමින්.

පසුව ව්‍යාපාරිකයා සහ පවුලේ සාමාජිකයින් අවි පෙන්වා බිය ගන්වා කොල්ලය සිදුකර පළාගොස් තිබුණා ෴

***************************************

මෙරට තුල වසරකට පියයුරු පිළිකා හේතුවෙන් 700 ක් පමණ මියයන බව ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා ප්‍රකාශ කළා.

ඊයේ (02) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති වැඩමුළුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වසරකට පියයුරු පිළිකා රෝගීන් 3,500 ක් මෙරටින් වාර්තාවන අතර, ඉන් 50 දෙනෙකු පිරිමි බවයි ෴

***************************************

මේ වනවිට ලොවපුරා වසරකට මිලියන 3 කට අධික පිරිසක් මධ්‍යසාර භාවිතය නිසා ඇති වන රෝගාබාධ හේතුවෙන් මියයන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

එසේම, තවත් පිරිසක් විවිධ ආබාධයන්ට ගොදුරු වනවා. මෙම පිරිසෙන් සියයට 7 ඉක්මවූ සංඛ්‍යාවක් අනතුරුදායක ලෙස මධ්‍යසාර පානය කරන අය ලෙස වන අතර, මේ වනවිට වයස අවුරුදු 15 ත් 49 ත් අතර පුද්ගල මරණවලින් සියයට 10 ක් සිදුවන්නේ මධ්‍යසාර භාවිතය නිසා ඇති වන ආබාධයන් හේතුවෙන්.

2005 වසරේ සිට ශ්‍රී ලංකාවේ මධ්‍යසාර භාවිත කරන්නන්ගේ සංඛ්‍යාවේ යම් අඩුවීමක් පෙන්නුම් කළත් තවමත් අවධානම් සහගත, අනතුරුදායක සහ ඇබ්බැහි වූ මධ්‍යසාර භාවිත කරන පිරිස් මෙහි ජිවත් වනවා ෴

*********************************************

නිව් ඩයමන්ඩ් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට

(03.10.2020 – 07:43 +0530 – hirunews.lk/sinhala)

ගිනිගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව ඉන්දියාව දෙසට ඇදගෙන යාම සිදුකරන බවට තොරතුරු වාර්තා වුව ද එය මේ වනවිට රැගෙන යමින් ඇත්තේ මැදපෙරදිග මුහුදු කලාපයට බවටයි වාර්තා වන්නේ.

නෞකාවේ පවතින ඉන්ධන වෙනත් නෞකාවකට මාරු කිරීමේ අරමුණින් නැව පැමිණි මාර්ගය ඔස්සේ මෙලෙස යළි රැගෙන යමින් පවතිනවා.

කෙසේ වෙතත්, නීතිපතිවරයා මීට පෙර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට දන්වා තිබුණේ සමුද්‍ර දූෂණයට අදාළ කටයුතු නිමවනතුරු නෞකාව රැගෙන යාමට අවසර ලබාදිය නොහැකි බවටයි.

නෞකාව මේ වනවිට මැදපෙරදිග දෙසට ඇදගෙන යාම සිදුකරන අතර, ඊට නාවික හමුදාවට අයත් සමුදුර සහ සයුර යන නෞකා දෙක ද සම්බන්ධ වී ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා මුහුදු සීමාව පසුකර ජාත්‍යන්තර මුහුදු සීමාවට යාමට තවත් දින 4 ක් පමණ ගත වනු ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර, ඊට පෙර නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම්වලදී වැය වූ මුදල් සහ වන්දි මුදල් ලැබෙනු ඇති බවට විශ්වාස පළ කරන බව නාවික හමුදාව සඳහන් කළා. කෙසේ වෙතත්, අදාළ මුදල් සහ වන්දි මුදල් ලබා නොදුනහොත් නිව් ඩයමන්ඞ් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටතට රැගෙන යාමට ඉඩ ලබා නොදෙනු ඇති බවටයි නාවික හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++

ගිනිගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව මේ වනවිට ගිණිකොණ දිග මුහුදු තීරයේ පිහිටි කුඩා රාවණා කොටුවේ සිට නාවික සැතපුම් 90 ක් දුරින් පවතින බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

එහි මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තවදුරටත් නෞකාව සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘සමුදුර’ සහ ‘සයුර’ නෞකා දෙක (2) ගමන් කරන බවයි.

ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපය වෙතට රැගෙන යන බව වාර්තාවනවා.

නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම්වලදී වැය වූ මුදල් සහ වන්දි ගෙවීමේ සහතිකය මත නැව රැගෙන යාමට අවසර ලබාදී තිබුණා.

පසුගිය මස 3 වැනිදා උදෑසන මෙම නෞකාවේ එන්ජින් කාමරය තුළ ගින්නක් හටගනු ලැබුවේ කුවේට් හි ‘මිනා අල් අහමදි’ වරායේ සිට ඉන්දියාවේ ‘ඔඩීෂා’ හි ‘පරදීප්’ වරාය වෙත බොරතෙල් මෙට්රික් ටොන් දෙලක්ෂ හැත්තෑදහසක් රැගෙන යමින් සිටියදියි.

පසුව ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය එක්ව දින කිහිපයක් තුළ මෙම ගින්න පාලනය කරනු ලැබුවා.

*********************************************

කෝටි 15 ක හෙරොයින් සමඟ හත්දෙනෙකු නාකොටික් අත්අඩංගුවට

(03.10.2020 – 07:54 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 15 කට අධික හෙරොයින් කිලෝ 15 ක් සමඟ සැකකරුවන් හත්දෙනෙකු (7) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ඒකකයට ලද තොරතුරක් මත දංකොටුව – කොස්වත්ත – කිරිමැටියාන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 360 ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් අනාවරණ කරගත් තොරතුරු මත මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) ඊයේ (02) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් කිලෝ දෙකයි (2) ග්‍රෑම් 232 ක් එහිදී මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මත කිරිමැටියාන ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබූ හෙරොයින් කිලෝ 13 යි ග්‍රෑම් 405 ක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මේ සඳහා ආධාර අනුබලදුන් තවත් සැකකරුවන් තුන්දෙනෙකුද (3) අත්අඩංගුවට ගැනීමට මෙම වැටලීම සිදුකළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මහනුවර ඒකකයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ආමි සමන්තගේ බිරිඳ ඊසිකෑෂ් ක්‍රමයට හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටියදී හෙරොයින් සමඟ දිවුලපිටිය – කෙහෙල්ඇල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට මාස එකහමාරකට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනෙකුගෙන් අනාවරණ කරගත් තොරතුරු මතයි මෙම කාන්තාව ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

40 හැවිරිදි සැකකාරිය සතුව තිබී රුපියල් ලක්ෂ 24 ක මුදල් සහ හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 540 ක් පොලිස් භාරයට ගනු ලැබුවා.

හෝමාගම – පිටිපන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් පහකට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම මුතුරාජවෙල රක්ෂිතයේ පමුණුගම ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කළ ස්ථානයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරෝධී මත්පැන් ලීටර 168 ක් සහිත කෑන් 5 ක් සහ ගෝඩා ලීටර 2,925 ක් ද සමගයි.

මේ අතර මීරිගම – තාරාදෙණිය – දංඕවිට ප්‍රදේශයේදී රිපීටර් වර්ගයේ ගිනි අවියක් සහ එයට යොදන පතොරම් හතක් සමඟ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ උඩුගම – නාකියාදෙණිය ප්‍රදේශයේදීද 45 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා ෴

මේ අතර දෙමටගොඩ – මිහිඳුසෙන්පුර නිවාස සංකීර්ණයට මත්ද්‍රව්‍ය සැපයූ ප්‍රධාන ජාවාරම්කරු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ නිවාස සංකිර්ණයේදී අත්අඩංගුවට ගත් ජාවාරම්කරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 320 යි මිලිග්‍රෑම් 400 ක් සොයාගත් බවයි කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.

සැකකරු කැළණිය ප්‍රදේශයේ සිට මෙම මත්ද්‍රව්‍ය රැගෙනවිත් මිහිඳුසෙන්පුර නිවාස සංකීර්ණයේ බෙදාහැර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා ෴

***************************************

මීරිගම – තාරාදෙණිය – දංඕවිට ප්‍රදේශයේදී රිපීටර් වර්ගයේ ගිනි අවියක් සහ එයට යොදන පතොරම් හතක් (7) සමඟ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ප්‍රදේශයේ ඊයේ (02) සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් 70 හැවිරිදි සැකකරු අද(03) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

එමෙන්ම මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ උඩුගම – නාකියාදෙණිය ප්‍රදේශයේදීද 45 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය ඊයේ (02) අත්අඩංගුවට ගනු ලැබුවා ෴

*********************************************

වැලි මිලදී ගැනීමට නව ක්‍රමවේදයක් ගෙන එන බව ඇමති අමරවීර කියයි

(03.10.2020 – 12:02 +0530 – hirunews.lk/sinhala)

අතරමැදියන්ගෙන් තොරව වැලි මිලදී ගැනීම සඳහා ඉදිරියේදී නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

පොළොන්නරුව – මනම්පිටිය වැලි තොටුපල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මහවැලි ගඟේ මනම්පිටිය ප්‍රදේශයේ වැලි ගොඩ දැමීම මෙතෙක් ක්‍රියාත්මකවූ වැලි සමාගම මගින් සිදු කළ ක්‍රමවේදය වෙනුවට වැලි මංකඩ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරය ප්‍රකාශ කළේ.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ, වැලි මිලදී ගැනීම සඳහා අනාගතයේදී ‘ඇප්’ එකක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ඒ තුළින් අතරමැදියන්ගෙන් තොරව ප්‍රමිතියෙන් යුතු වැලි, පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන බවයි.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වන අමාත්‍ය මහින්ද අමරවීර මහතා :

“මහජනතාවගේ ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් තිබුණා මේ වැලි ගොඩ දැමීමේ විවිධ ක්‍රමවේදයන් පිළිබඳව. වැලි සංගම්, ප්‍රවාහණ සංගම්, ඒ වගේම රියැදුරු සංගම් සියල්ලම කොළඹ ගිහිල්ලා අපට මේ සම්බන්ධව අදහස් ඉදිරිපත් කලා. ඒ සියළු අදහස් සැලකිල්ලට අරගෙන සඳුදා (05) ඉඳලා මේ සියලු දෙනාගේ ඉල්ලීම පරිදි මංකඩ ක්‍රමය නැවත ක්‍රියාත්මක කරන්නත්, ඒ වගේම දිස්ත්‍රික්කයට ප්‍රමුඛතාවය ලබා දෙන්නත්, ඒ එක්කම සාධාරණ මිලකට වැලි ලබා දෙන්න ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නත් අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. අපි අනාගතයේදී තව ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්න යනවා. ‘ඇප්’ එකක් හඳුන්වා දෙන්න යනවා අතරමැදියන්ගෙන් තොරව හොඳ ප්‍රමිතියෙන් යුත් වැලි ගන්න.”

“එතකොට කොළඹ, නුවර, කුරුණෑගල කොහේ ඉඳලා වුණත් වැලි ඉල්ලුවාම කෙලින්ම ගෙදරට ගෙන්වා ගන්න පුළුවන් වෙනවා. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අයට වැලි ලබාදීමේ ප්‍රමුඛතාවයක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ අනුව මේ දිස්ත්‍රිකකයේ අවශ්‍යතාවයට කුඩා ලොරිවලට පවා මේ ස්ථානයෙන් වැලි ලබා දීමට කටයුතු කරනවා. වැලි කලවම් කරලා ලබා දෙනවා කියලා ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. ප්‍රමාණය අඩුයි කියලත් පැමිණිලි ලැබෙනවා. ඒක වළක්වන්න තමයි ‘ඇප්’ එකක් හඳුන්වලා දීලා අලුත් වැඩපිළිවෙලක් සකස් කරන්න යන්නේ. නියම ප්‍රමාණයෙන් සහ ප්‍රමිතියෙන් යුත් වැලි පාරිභෝගිකයාට ලබාදීමයි අපේ අරමුණ වන්නේ.”

***************************************

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එමින් තිබූ කහ කිලෝග්‍රෑම් 902 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ, මන්නාරම – තාල්පාඩු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදියි.

උතුරුමැද නාවික විධානය විසින් සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී එහි තිබී ගෝනි 19 ක අසුරා තිබූ කිලෝග්‍රෑම් 902 කට අධික තෙත්වූ කහ තොගයක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) මන්නාරම පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඉදිරි විමර්ශන සඳහා සැකකරුවන් සහ කහ තොගය යාපනය රේගු කාර්යාලයට භාරදී ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ ෴

***************************************

කොරෝනා වසංගතය ආරම්භවීමෙන් පසු පැනවුනු ආනයන පාලන රෙගුලාසි උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට ගෙන්වූ සුඛෝපභෝගී වාහන 300 ක් පමණ රේගු භාරයට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එම සුඛෝපභෝගී වාහනවල ණයවර ලිපි නිසි කළට විවෘත කර නොමැති බවයි.

ඊට අදාළ විමර්ශනද මේ වනවිට අවසන් අදියරේ පවතින අතර, ඉන් ඇතැම් වාහන රාජසන්තක විය හැකි බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නා.

***************************************

සූර්යබලය හරහා ජාතික විදුලි ජනන පද්ධතියට මෙගාවොට් 1500 ක් එක් කිරීම සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශයේදී ඊයේ (02) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී මෙරට ස්ථාපිත ට්‍රාන්ස්ෆෝමර 30,000 අතරින් තෝරාගත් දස දහසක (10,000) ප්‍රමාණයකට භූගත සූර්ය පැනල ස්ථාපිත කිරීමට තීරණය කෙරුණා.

එමෙන්ම තෝරාගත් සමෘද්ධි පවුල් ලක්ෂයකට වහලය මත සවිකළ හැකි සූර්ය පැනල සවි කිරීම පිළිබඳවද එහිදී අවධානය යොමුවී තිබෙනවා ෴

*********************************************

මෛත්‍රීගෙන් ලැබුන දුරකථන පණිවිඩයක් ගැන හේමසිරි හෙළි කරයි

(03.10.2020 – 13:48 +0530 – hirunews.lk/sinhala)

මෛත්‍රීපාල සිරිසේන මහතා දෙවන වරටත් ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටි බවත්, පාස්කු ප්‍රහාරය ඊට කළු පැල්ලමක් වූ නිසා තමන් සහ පොලිස්පතිවරයා සාහසික ලෙස එහි වරදකරුවන් කළ බවත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසමේ දී ඊයේ (02) ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ප්‍රහාරය එල්ලවූ වහාම එවක අග්‍රාමාත්‍යවරයා විශේෂ රැස්වීමක් කැඳවූවද, පැවති දේශපාලන අර්බුද මත හිටපු ජනාධිපතිවරයා තමන්ට සහ ජනාධිපති ලේකම්වරයාට ඊට සහභාගී නොවන ලෙස තදින් දැන්වූ බවයි.

***************************************

දැනුම ප්‍රායෝගිකව භාවිත කිරීමට හැකිවන පරිදි සමස්ත අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අපේගම පරිශ්‍රයේ පැවති ලෝක ළමා දින ජාතික සැමරම් උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවයි.

*********************************************

දිල්රුක්ෂි ඩයස් කළ බලපෑම් ගැන ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ සභාපති හෙළිකරයි

(03.10.2020 – 14:05 +0530 – hirunews.lk/sinhala)

තමා වෙනුවෙන් ලබා දුන් තීන්දුවක් වෙනස් කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ එවකට අධ්‍යක්ෂ ජනරාල්ව සිටි දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය මහේස්ත්‍රාත්වරයාට බලපෑම් කළ බව ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ සභාපති පාලිත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින්.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ ක්‍රීඩා තරඟ ආවරණය කරන මාධ්‍යවේදීන් ගේ සුභසාධනය උදෙසා තමා විසින් 2012 වර්ෂයේදී විශේෂ අරමුදලක් පිහිටුවීමට කටයුතු කළ බවයි එවක ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ලෙස කටයුතු කළ පාලිත ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළේ.

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා රුපියල් මිලියන 35 ක පරිත්‍යාගයක් එම අරමුදලට ලබා දුන් බව ද ඔහු සඳහන් කළා.

එහෙත් එම මුදල නිශ්ශංක සේනාධිපති මහතා විසින් තමාට ලබා දුන් අල්ලසක් බවට අසත්‍ය චෝදනාවක් ගොනු කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තමාව අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ බවයි ඔහු පවසන්නේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණෙන ලෙස තමාට කර තිබූ දැනුම්දීමකට අනුව කොමිසම වෙත ගිය බවත් එහිදී අනපේක්ෂිත ලෙස තමාව අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගත් බවද ඔහු ප්‍රකාශ කළා.

එහිදී මහේස්ත්‍රාත්වරයා තමාට ඇප දීමට කටයුතු කළ නමුත් ආරක්ෂක නිලධාරීන් පිරිවරාගෙන ජීප් රථයකින් එම ස්ථානයට පැමිණි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය ඇප ලබා දීමට ගත් තීන්දුව වෙනස් කරන ලෙස මහේස්ත්‍රාත්වරයාට බලපෑම් කළ බව ද පාලිත ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ අනාවරණය කළා.

තමාව රිමාන්ඩ් බන්ධනාගාරගත කළ යුතු යැයි ඇය කෑගසමින් පැමිණි බවත් මහේස්ත්‍රාත්වරයා සිදු කළේ වැරදි ක්‍රියාවක් බව පවසමින් තීන්දුව වෙනස් කර ගැනීමට දරුණු ලෙස බලපෑම් කළ බවද සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා.

මෙලෙස කෙතරම් බලපෑම් කළත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තමාට එදින ඇප ලබාදුන් බවද සාක්ෂිකරු සඳහන් කළා.

ප්‍රකාශයක් ලබා ගැනීමට බව පවසමින් තමාව සිකුරාදා දිනයක අල්ලස් කොමිසමට ගෙන්වූයේ අධිකරණයට ඉදිරිපත් කර ඇප තැබීමට නොහැකි වන ආකාරයට දින දෙකක් හෝ රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට බවයි සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළේ.

අල්ලස් කොමිසමට තමන්ව කැඳවූ දිනයේ තමන්ව උසාවියට ඉදිරිපත් කරන බවක් නොදැන සිටි බවද ඔහු සඳහන් කළා.

*********************************************

අභාවයට යන වෙදගම

(03.10.2020 – 14:11 +0530 – hirunews.lk/sinhala)

මෙරට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට සුවිශේෂී ස්ථානයක් හිමිවුවත් එය කෙමෙන් අභාවයට යමින් තිබීම ගැටලුවක්.

කිසිදු බලධාරියෙකුගේ අවධානයට ලක් නොවුණු වෙද ගම්මානයකපවතින ගැටලු රැසක් පිළිබඳ තොරතුරු පූගොඩ – මීතිරිගල ප්‍රදේශයෙන් වාර්තා වන්නේද එවන් පසුබිමකයි.

මෙරට සිංහල වෙදකම හෙවත් හෙළ වෙදකම ලොව අන් කිසිදු රටකට සමකළ නොහැකි විශ්මිත රෝගී සත්කාර සේවාවක්.
හෙළ වෙදකමේ හරය වී තිබෙන්නේ ස්වභාවික ඖෂධ භාවිතයයි.

මහාවංශයට අනුව ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ පණ්ඩුකාභය රජතුමා මෙරට විවිධ ස්ථානවල නවාතැන් ගෙන රෝගී සත්කාරක සේවා ලබාගත හැකි සිව් කසොත්ති ශාලා ස්ථාපිත කර තිබූ බව ඉතිහාසයේද සඳහන්.

නමුත් කිසිදු බලධාරියෙකුගේ නෙත නොගැටී වල් බිහිවෙන වෙදගමක් පිළිබඳව අපට තොරතුරු වාර්තා වුණා.

එය අතීතයේ මෙරට පැවති ඉහළ සෞඛ්‍ය සේවා මට්ටම කියාපාන ප්‍රබල සාධකයක්.

ඒ පූගොඩ – මීතිරිගල ප්‍රදේශයෙන්.

මෙම වෙදගම ඉදිකර මේ වන විටත් වසර 37 කට ආසන්න කාලයක් ගතව අවසන්.

එහි පැවති වෙදගෙවල් 25 න් මේ වන විට නිවාස 20 කට අධික ප්‍රමාණයක් අත්හැර දමා තිබෙනවා.

නමුත් පරපුරෙන් පරපුරට හෙළ වෙදකමේ උරුමය හිමිවූ අති දක්ෂ වෙද පරපුරක වත්මන් ජීවකයින් මේ වෙද ගම්මානය තුළ මේ වන විටත් රෝගීන්ට ප්‍රතිකාර සිදුකරනවා.

ඒ ගැටලු සහ අපහසුතා රැසක් මධ්‍යයේයි.

වසර 35 කට අධික කාලයක් මොවුන් මෙහි ජීවත් වූවත් ඉඩම් ඔප්පු හිමිකමක් නොමැති වීමද ඔවුන්ගේ ප්‍රධාන ගැටලුවක්.

අපේ ආයුර්වේද උරුමය රැක ගැනීමට නම් මේ වෙදකමේ ජීවත් වන වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් ඉටුකර දීම බලධාරීන්ගේ ප්‍රධාන යුතුකමක්.

*********************************************

ඇසේ සුද ඉවත් කර ගැනීමට රෝහලට එන රෝගීන් දැඩි අපහසුතාවක

(03.10.2020 – 14:16 +0530 – hirunews.lk/sinhala)

ඇසේ සුද ඉවත් කර ගැනීම සඳහා කළුතර නාගොඩ රෝහලට පැමිණෙන රෝගීන් මේ වනවිට දැඩි අපහසුතාවට පත්වන බව වාර්තා වනවා.

ඒ, එම ශල්‍යකර්මයට අදාළ උපකරණ සහ ඖෂධ කිහිපයක් රෝහල තුළ නොමැති වීම හේතුවෙන්.

කළුතර, මතුගම, අගලවත්ත, බේරුවල, අලුත්ගම ආදී ප්‍රදේශ ගණනාවක රෝගීන්ට ඇසේ සුද ඉවත් කර ගැනීමේ ශල්‍ය කර්මය සිදුකර ගැනීම සඳහා ඇති එකම රෝහල කළුතර නාගොඩ රෝහලයි.

කෙසේ වෙතත් එම ශල්‍ය කර්මය සිදුකිරීම සඳහා අත්‍යාවශ්‍ය උපකරණ කිහිපයක් රෝහල සතුව නොමැති වීම හේතුවෙන් දිගු කාලයක් පොරොත්තු ලේඛනයේ සිට ශල්‍ය කර්මය සඳහා පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා.

අදාළ උපකරණ ලබා දීමට නොහැකි වූ රෝගීන්ට ටිකට් කපාගෙන රෝහලෙන් පිටවී යාමට නොහැකි තත්ත්වයක්ද උදා වී තිබෙනවා.

ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්මය සඳහා අවශ්‍ය උපකරණ නොමැති වීම ඇතුළු රෝගීන් මුහුණ දෙන මෙම ගැටලු සම්බන්ධයෙන් අප කළුතර නාගොඩ රෝහලේ සහකාර අධ්‍යක්ෂවරියගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ, ඒ පිළිබඳව ලිඛිත පැමිණිල්ලක් කරන්නේ නම් පරීක්ෂණයක් පැවැත්විය හැකි බවයි.

+++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *