යථාර්ථය දකින්නැයි ශ්‍රී ලංකාව, මානව හිමිකම් කවුන්සිලයට කියයි

යථාර්ථය දකින්නැයි ශ්‍රී ලංකාව, මානව හිමිකම් කවුන්සිලයට කියයි

ජෛව විවිධත්වය පිළිබඳ රාජ්‍ය නායක සමුලුව ඇමතූ ජනපති

නොදැන සිටි තවත් දෙයක් ගැන පූජිත් හෙළි කරයි

ගමක් උණුසුම් කළ කොන්ත්‍රාත්තුව

යටියන්තොට මිගහවැල්ල ප්‍රදේශයේ වෙළෙඳසැළක් ගිනි ගෙන විනාශවෙයි

දකුණු අධිවේගයේ සිදුවූ මත්ද්‍රව්‍ය ජාවාරම

දුෂ්කර පාසල්වලට පුස්තකාල පහසුකම්

බූවැලිකඩ ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොර ඉදිකිරීමක් – NBRO

ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයින් 25 ක් විදෙස්ගත වෙලා – දේශබන්දු තෙන්නකෝන්

පොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමේ ගැසට් නිවේදනය අවලංගුයි. අනුමැතිය දී ඇත්තේ බදියුදීන්

විකිණෙන වැලිවල විකිරණ

මන්ත්‍රී පුතා අත්අඩංගුවට නොගැනීමට විරෝධය

මින් ඉදිරියට ලියාපදිංචි කළ ජංගම දුරකථන පමණක් මිලදී ගන්නා ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමෙන් කියයි

හුරුළු පරිසර වනෝද්‍යානයේ ‘නම විකුණමින්’ රුපියල් හත්කෝටි හැත්තෑ ලක්ෂයක් ගසා කාලා

පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවෙන් මරණ තර්ජන… තර්ජනාත්මක වීඩියෝව සමාජ ජාලා කළඹයි

*********************************************

යථාර්ථය දකින්නැයි ශ්‍රී ලංකාව, මානව හිමිකම් කවුන්සිලයට කියයි

(01.10.2020 – 20:51 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ එම සංවිධානයේ මහලේකම්වරයාගේ වාර්ෂික වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඊයේ (30) පැවති මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ජීනිවා හි ශ්‍රී ලංකා වැඩබලන නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය එම ප්‍රතිචාරය දැක්වූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 45 වැනි සැසිවාරයට සමගාමීව පැවති අන්තර් ක්‍රියාකාරී සංවාදයකට එක්වෙමින්.

අදාල වාර්ෂික වාර්තාවේ අඩංගු එක්සත් ජාතින්ගේ සංවිධානය, එහි නියෝජිතයින් මානව හිමිකම් ක්ෂත්‍රයේ යාන්ත්‍රණ සමඟ සහායෝගිතාව සම්බන්ධයෙන් වැඩ බලන නිත්‍ය නියෝජිතවරිය කරුණු 05 ක් යටතේ ශ්‍රී ලංකා රජයේ නිරීක්ෂණ ඇතුලත් ප්‍රතිචාර දක්වා සිටියා.

මහලේකම්වරයා මෙම කවුන්ලිසයට ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාවේ අඩංගු ‘එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි නියෝජිතයින් සහ මානව හිමිකම් ක්‍ෂේත්‍රයේ යාන්ත්‍රණ සමඟ සහයෝගීතාව’ පිළිබඳ සඳහන සම්බන්ධයෙන් පහත දැක්වෙන නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි.

වාර්තාවේ සදහන් බියගැන්වීම්, සෝදිසි කිරීම්, හිරිහැර කිරීම් පිළිබඳ පැමිණිලි සහ පලිගැනීම් චෝදනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට හෝ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම හෝ ජාතික පොලිස් කොමිසම වැනි ආයතන වෙත විධිමත් පැමිණිල්ලක් කරන ලෙස ආරධනා කිරීමට අපේක්ෂා කරනවා.

එවිට එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශණය කිරීමට පියවර ගත හැකියි.

රජය දැනටමත් මෙම චෝදනා ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පාස්කු ඉරුදින එල්ලවු විනාශ කාරි ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජාතික ආරක්ෂාව සදහා ක්‍රියාත්මක වන සාමන්‍ය ආරක්ෂක ජාල වලට අමතරව ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ මෙරට නිශ්චිත පිරිසක් අධික්ෂණය කිරීමේ නිරත නොවන බවද යලි අවධාරණය කරන්නෙමු.

එමෙන්ම, ලොව පුරා රැඩිකල් හා අන්තවාදී කොටස්වල උපායමාර්ගය වල නවීණත්වය මධ්‍යයේ, සිය ජාතික ආරක්ෂක අවශ්‍යතා අනතුරේ හෙළන ඕනෑම රටකට කනගාටුදායක ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව අප විශ්වාස කරන්නෙමු.

එබැවින් මෙම සන්දර්භය තුළ එම මුලික යථාර්ථය පිලිබද සැලකිලිමත් වන ලෙස රජය සිය පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා.

*********************************************

ජෛව විවිධත්වය පිළිබඳ රාජ්‍ය නායක සමුලුව ඇමතූ ජනපති

(01.10.2020 – 21:08 +0530 – hirunews.lk/sinhala)

ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීමටත් ඒවා තිරසර ලෙස කළමනාකරණයටත් ශ්‍රී ලංකාව කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේබව සඳහන් කළේ ජෛව විවිධත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්.

එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසිවාරයට සමගාමීව ජෛව විවිධත්වය පිළිබඳ රාජ්‍ය නායක සමුළුව ඊයේ (30) පැවැත්වුණේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි.

මෙවර සමුළුවේ තේමාව ‘තිරසාර සංවර්ධනය සඳහා ජෛව විවිධත්වය පිළිබඳ ඉක්මන් ක්‍රියාමාර්ග’ යන්නයි.

ජනපති :

“ශ්‍රී ලංකාව යුනෙස්කෝ ස්වභාවික උරුමයන් දෙකක් වන මධ්‍යම කඳුකරයට සහ සිංහරාජ වැසි වනාන්තර රක්ෂිතයට නිජ භූමිය වනවා. අපගේ තවත් ස්ථාන 6 ක් තෙත් භූමි පිළිබඳ රැම්සා ප්‍රතිපත්තියෙන් පිළිගැනීමට ලක්ව තිබෙනවා. අපගේ අද්විතීය සහ සාරවත් ජෛව විවිධත්වයට දායක වන මෙම ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීමට හා තිරසාර ලෙස කළමනාකරණයට ශ්‍රී ලංකාව තරයේ කැපවනවා. අපගේ පැරණි පාලන ක්‍රමය ගොඩනැගී තිබුණේ කිසිවිටෙකත් පාලකයා දේශයේ හිමිකරු නොව භාරකරු පමණක් යන සංකල්පය මතයි. එය අපගේ සංවර්ධන න්‍යායපත්‍රය අනුව මාගේ රජය අනුගමනය කරන මූලධර්මයයි.”

මේ අතර, දිස්ත්‍රික්ක 05 ක පාසල් සඳහා පුස්තකාල පරිත්‍යාග කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක ළමා දිනය සැමරීමට එක්වුණා.

ඒ අදින් කියවීමේ මාසයද ආරම්භ වන බැවින්.

සෑම පාසලකටම පුස්තකාල සහ ක්‍රීඩා පහසුකම් ලබාදීමෙන් දරුවාගේ මානසික සහ ශාරිරික නිරෝගීකම රැකගත හැකි බව තමා පසුගිය දිනවල දිවයින පුරා කළ චාරිකාවලදී වඩාත් පැහැදිළි වූ බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ඉතා දුෂ්කර ප්‍රදේශ රැසක දරුවන්ගේ ඉල්ලීම පරිදි ක්‍රීඩා පිටි රැසක් සංවර්ධනය කෙරෙමින් පවතින අතර, දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කෙරෙන පරිදි තෝරාගත් පාසල් 25 ක් සඳහා පුස්තකාල පහසුකම් දීමද ආරම්භ කර ඇති බවයි.

*********************************************

නොදැන සිටි තවත් දෙයක් ගැන පූජිත් හෙළි කරයි

(01.10.2020 – 21:25 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සැකසුන බවට තමන් ඊයේ (30) වන තෙක් නොදැන සිටි බව වසර තුනකට (3) වැඩි කාලයක් මෙරට පොලිස්පති ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසමේ දී අද (01) හෙළිදරව් කළා.

කොමිසම දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීමේදී පූජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජාතික ආරක්ෂාවට ඇති තර්ජන මාසිකව ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය නමින් ආයතනයක් පවතින බවද තමා මෙතෙක් නොදැන සිටි බවයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා අද (01) කැඳවා තිබුණේ හත්වෙනි (7) දිනටයි.

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“ජයසුන්දර මහත්මයා, ඔබට පොලිස්පති ලෙසට තොරතුරක් එනවා ජනාධිපතිවරයා ඝාතන සැලැස්මක් පිළිබඳව. එවැනි අවස්ථාවක ඔබ කුමක්ද කරන්නේ ?”

පූජිත් ජයසුන්දර – වැඩ තහනමකට ලක් වූ පොලිස්පති :

“ඒ බුද්ධි තොරතුර මොන තත්ත්වයක තිබුණත් කෙසේ හෝ පිළිගත්තත් නැතත් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනවා. තොරතුරු ආපු තැන ගැනත් සැලකිලිමත් වෙනවා.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“ජනාධිපතිවරයාට බැහැනේ තනියෙන් ආරක්ෂාව සලසගන්න. ඔබ තොරතුරු දුන්නට පස්සෙ මොකද කරන්නේ ? මේ තොරතුරේ දිනයක් නෑ.. වෙලාවක් නෑ… ජනාධිපති ඝාතනය වෙනවා කියල තියෙනවා. මොකක්ද කරන්නේ.. ?”

පූජිත් ජයසුන්දර – වැඩ තහනමකට ලක් වූ පොලිස්පති :

“ස්වාමීනි මම ඉහළම ප්‍රමුඛතාවක් දීලා හොයනවා විස්තර. තොරතුරු දුන්න පාර්ශ්ව කැඳවලා සාකච්ඡා කරලා අත්‍යාවශ්‍ය පියවර ගන්නවා.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“එතකොට ජාතික බුද්ධි ප්‍රධානියා ඔබට ඉදිරිපත් කර තිබූ දැනුම්දීමේ වැදගත් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වෙනවා කියල සඳහන්වීම දුටුවම ඒවායේ වන්දනා මාන කරන්න යන බැතිමතුන් බේරගන්න අදහසක් ආවේ නැද්ද?”

පූජිත් ජයසුන්දර – වැඩ තහනමකට ලක් වූ පොලිස්පති :

“අදහසක් ආවා ස්වාමීනි”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“ඇයි එහෙනම් මේකෙදි වෙනස් විදිහට සැලකුවේ ?”

පූජිත් ජයසුන්දර – වැඩ තහනමකට ලක් වූ පොලිස්පති :

“මේ ගැන මට කරන්න පුලුවන් උපරිම දේ මම කළා ස්වාමීනි. මේ ආපු බුද්ධි තොරතුර ප්‍රසිද්ධ කළා නම් ‘පොලිස්පති ඇයි එහෙම කරේ’ කියල කියන්න පුලුවන් කමක් තිබුණා. අනික ස්වාමීනි… රාජ්‍ය බුද්ධි සේවය දුන් ලිපිය අනුව ‘මෙරට කතෝලික පල්ලි හා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිශ්චිත ඉලක්ක වන නමුත්..’ කියල තියෙනවා..”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“දැන් ඔබ කියන්නේ ඕක තහවුරු නොකළ තොරතුරක් කියලාද ? ‘නමුත්’ වචනයෙන් පස්සේ කියැවෙනවා නේද සහරාන් හෂීම් ගැන තොරතුරු මීට පෙර ලබා දී තිබෙනවා කියලා ?”

පූජිත් ජයසුන්දර – වැඩ තහනමකට ලක් වූ පොලිස්පති :

“අදාළ බුද්ධි තොරතුරේ තියෙනවා නම් තමයි ස්වාමීනි පුද්ගලයන් ගැන. ඒත් එතන තිබෙන නම් 6 න් 3 ක් පිළිබඳ තමයි රාජ්‍ය බුද්ධි සේවය තහවුරු කරගෙන තිබුණේ ස්වාමීනි..”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“ඒක තමයි මමත් කියන්නේ…. තොරතුර නිශ්චිත කරලනේ..?”

පූජිත් ජයසුන්දර – වැඩ තහනමකට ලක් වූ පොලිස්පති :

“ඒ වුණාට ස්වාමීනි ඒ බුද්ධි තොරතුරේ නිශ්චිත වෙලාවක් ගැන සඳහනක් නැහැනෙ.”

ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරිය :

“වසර ගණනාවක අත්දැකීම් තිබෙන ඔබට මේ තොරතුර ලැබෙද්දි ඔබ පොලිස්පති. අත්දැකීමෙන් කියන්න බලන්න, ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් සැලසුම් කරල කියනවාද ඒක ගහන තැන මොකද්ද… වෙලාව කීයටද… කියල. ඒ ගැන සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරනවාද ඔවුන්..?”

පූජිත් ජයසුන්දර – වැඩ තහනමකට ලක් වූ පොලිස්පති :

“නෑ ස්වාමීනි. එහෙම කරන්නේ නැහැ”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු :

“ඔබ දැන සිටියාද ‘ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය’ කියල එහෙම නැත්නම් ‘I.N.S.S.S.L’ කියල එකක් තිබුණ බව ?”

පූජිත් ජයසුන්දර – වැඩ තහනමකට ලක් වූ පොලිස්පති :

“දැනගෙන හිටියේ නැහැ ස්වාමීනි”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු :

“ඒ ආයතනය හරහා මාසිකව වාර්තාවක් ‘ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති තර්ජන’ ලෙස දැනුම්දෙන බව දැනගෙන සිටියාද ?

පූජිත් ජයසුන්දර – වැඩ තහනමකට ලක් වූ පොලිස්පති :

“දැනගෙන හිටියේ නැහැ ස්වාමීනි”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු :

“ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සැකසුනා කියල දන්නවාද ?”

පූජිත් ජයසුන්දර – වැඩ තහනමකට ලක් වූ පොලිස්පති :

“සත්‍ය වශයෙන්ම දැනගෙන හිටියේ නැහැ ස්වාමීනි. මේ කොමිසමේ දී එවැනි සාක්ෂියක් ඊයේ (30) මෙහෙයවුණා. ඊයේ (30) වෙනකල් ඒ ගැන දැනගෙන හිටියේ නැහැ”

++++++++

*********************************************

ගමක් උණුසුම් කළ කොන්ත්‍රාත්තුව

(01.10.2020 – 22:47 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජය සමයේ සංවර්ධන කටයුතු ඇරඹූ ගාල්ල – පිලාන මාර්ගයේ කොටසක් නිසි ප්‍රමිතියෙන් යුතුව ඉදිකර නොමැති බවට චෝදනා කරමින් එම ප්‍රදේශයේ ජනතාව අද (01) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.

අදාළ මාර්ග ව්‍යාපෘතිය භාරව කටයුතු කළ කොන්ත්‍රාත්කරුද එම ස්ථානයට පැමිණි අතර ඔහුටද එල්ල වූයේ දැඩි විරෝධයක්.

ගාල්ල – පිලන මාර්ගයේ බණ්ඩකන්ද කොටස සංවර්ධනය කිරීම ඇරඹුණේ පසුගිය රජය සමයේ.

එම මාර්ගය නිසි ප්‍රමිතියකින් යුතුව සංවර්ධනය කර නොමැති බවටයි ගම්වාසීන් විසින් චෝදනා කරන්නේ.

ඒ අනුව අද (01) පෙරවරුවේ ගම්වාසීන් විසින් බණ්ඩකන්ද ප්‍රදේශයෙන් මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වූ අතර එම අවස්ථාවේදී බණ්ඩකන්ද මාර්ගය ඉදිකළ කොන්ත්‍රාත්කරුද එම ස්ථානයට පැමිණියා.

***************************************

(02.10.2020 – 07:32 +0530)

බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ දරුවන්ට පියවරුන් හමුවී කතාබහ කිරීමට ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය යෙදී තිබූ ඊයේ (01) අවස්ථාව සලසා දී තිබුණා.

ජීවිතයේ කිසිදු දිනක නොදුටු තම පියවරුන් හමුවීමට එහිදී එම දරුවන්ට අවස්ථාව සැලසුණු අතර, බන්ධනාගාර ඉතිහාසය තුළ එවැනි අවස්ථාවක් හිමිවූ පළමු අවස්ථාව මෙය බව සඳහන් ෴

***************************************

හැටන් – දයාගම පාරේ ෆෝඩිස් වතුයාය අසදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් ළමුන් 24 දෙනෙකු ඇතුළු 35 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

+++++++

***************************************

ගල්කිස්ස – බොරුපන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඊයේ (01) ලද තොරතුරකට අනුව එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදියි මෙම සැකකරුවන් දෙදෙනා අයිස් ග්‍රෑම් 20 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් 24 සහ 38 වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් ෴

*********************************************

යටියන්තොට මිගහවැල්ල ප්‍රදේශයේ වෙළෙඳසැළක් ගිනි ගෙන විනාශවෙයි

(02.10.2020 – 07:04 +0530 – sinhala.adaderana.lk)

කොළඹ – හැටන් මාර්ගයේ යටියන්තොට මිගහවැල්ල ප්‍රදේශයේ වෙළෙඳසැළක් ගිනිගෙන විනාශ වි තිබේ.

ඊයේ (01) රාත්‍රි 08:45 ට පමණ ඇතිවු එම ගින්නෙන් එම වෙළඳසැළ සහ ඊට යාබද ගොඩනැගිල්ලකට හානි සිදුව ඇති බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

ගින්න මැඩපැවැත්වීම සඳහා අවිස්සාවෙල්ල සහ මාවනැල්ල ගිනිනීවිමේ ඒකක සහ බෙරගල යුද හමුදා කඳවුරේ නිලධාරීන් ඇතුළු කණ්ඩායම් කිහිපයක් සම්බන්ධ වි තිබේ.

යටියන්තොට ප්‍රාදේශිය සභාවට අයත් ජල බවුසරයෙන් ජලය මුදාහැරීමට සහ බවුසරයට ජලය පිරවීමද දුෂ්කර විම හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම ප්‍රමාද වු බවට ප්‍රදේශවාසීන් චෝදනවා කරයි.

ගින්නට හේතුව සෙවිම සඳහා රස පරික්ෂක වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා බව යටියන්තොට පොලීසිය සඳහන් කළේය.

*********************************************

දකුණු අධිවේගයේ සිදුවූ මත්ද්‍රව්‍ය ජාවාරම

(01.10.2020 – 20:18 +0530 – sinhala.adaderana.lk)

ගාල්ලේ රාත්‍රී සාදවලට අයිස් සහ කුෂ් මත්ද්‍රව්‍ය අලෙවි කරන ජාවාරමක් නීතියේ රැහැනට හසුකර දීමට ‘අද දෙරණ උකුස්සා’ට හැකිවුණි.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ගාල්ලේ සංවිධාන කරන රාත්‍රී සාද සඳහා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට තොරතුරු ‘අද දෙරණ උකුස්සා’ට අනාවරණ වුණි.

ඒ අනුව අප දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සම්බන්ධ කරගන්නේ මෙම ජාවාරම රට හමුවේ අනාවරණ කිරීම සඳහාය.

සියලු තොරතුරු තහවුරු කරගැනීමෙන් අනතුරුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිටවීමේ ස්ථානයේ ජාවාරම්කරුන් පැමිණෙන තෙක් අප රැක සිටියා.

කෙසේ වෙතත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තම මෝටර් රථයෙන් අප පසුකර ගියේ ඇසිල්ලක වේගයෙනි.

එහෙත් ඔවුන්ගේ වේගය බාල කිරීමට දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත්වුණි.

මෝටර් රථයේ සිටි පුද්ගලයන් සිව්දෙනෙකු (4) එහිදී අත්අඩංගුවට ගණු ලැබීය.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් මත්ද්‍රව්‍ය රැගෙන එන මෝටර් රථයක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වුණි.

ඒ පසුපස ද හඹා ගිය නිලධාරීන් ඔවුන් ද අත්අඩංගුවට ගත්තේය.

එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකු (2) සතුව තිබී සොයාගනු ලැබුවේ කුෂ් නැමැති මත්ද්‍රව්‍යය වේ.

පළමුව අත්අඩංගුවට ගත් පිරිස මත්ද්‍රව්‍ය සඟවා තිබුණේ, ලැප්ටොප් පරිගණකයක් තුළය.

පරිඝණකයේ කොටස් ඉවත් කර එම ස්ථානවල මත්ද්‍රව්‍ය ගබඩා කර තිබුණි.

සැකකරුවන් හෙළිකළ කරුණු අනුව ගාල්ලේ තවත් ස්ථානයක් වැටලීමට හැකිවිය.

*********************************************

දුෂ්කර පාසල්වලට පුස්තකාල පහසුකම්

(01.10.2020 – 17:55 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික්ක 05 ක පාසල් සඳහා පුස්තකාල පරිත්‍යාග කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක ළමා දිනය සැමරීමට එක්විය.

සෑම පාසලකටම පුස්තකාල සහ ක්‍රීඩා පහසුකම් දීමෙන් දරුවාගේ මානසික සහ ශාරිරික නිරෝගීකම රැකගත හැකි බව තමා පසුගිය දිනවල දිවයින පුරා කළ චාරිකාවලදී වඩාත් පැහැදිළි වූ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉතා දුෂ්කර ප්‍රදේශ රැසක දරුවන්ගේ ඉල්ලීම පරිදි ක්‍රීඩාපිටි රැසක් සංවර්ධනය කෙරෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශ සඳහන් කළේය.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කෙරෙන පරිදි තෝරාගත් පාසල් 25 ක් සඳහා පුස්තකාල පහසුකම්දීම ආරම්භ කෙරිණ.

‘ලෝක ළමා දිනය’ සැමරෙන ඔක්තෝම්බර් 01 වනදායින් ‘කියවිමේ මාසය’ ද ඇරඹේ.

අනාගත පරපුර පොත පතට නැඹුරු කරවීම ලෝක ළමා දිනයට සමගාමීව අරඹමින් අද (01) පෙරවරුවේ පාසල් 05 ක දරුවන් ජනාධිපති කාර්යාලයට කැඳවූ ජනාධිපතිවරයා පුස්තකාල පරිත්‍යාග කළේය.

පුත්තලම, ලුණුවිල අනුරුද්ධ මධ්‍ය මහා විද්‍යාලය, ගම්පොළ, දොළොස්භාගේ කණිෂ්ඨ විද්‍යාලය, තර්මපුරම් රජයේ දෙමළ මිශ්‍ර පාසල, කුරුවිට විජය කුමාරතුංග විද්‍යාලය සහ ගාල්ල, පිලාන විද්‍යාර්ථෝදය මහා විද්‍යාලය සඳහා සංකේතාත්මකව පුස්තකාල පරිත්‍යාග කෙරිණ.

ධාවනයෙන් ඉවත් කළ පැරණි බස් රථ අලුත්වැඩියා කර දරුවන්ගේ සිත් ගන්නා පරිදි පුස්තකාල සකස් කර තිබේ.

අංගසම්පූර්ණ එක් පුස්තකාලයක් සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියනයකට ආසන්න වේ.

මොබිටෙල් ආයතනය ඊ-පුස්තකාල පහසුකම් සපයා තිබෙන අතර ඒ ඔස්සේ සිසුන්ට තොරතුරු අධ්‍යයනය කිරීමේ සහ ඊ-ග්‍රන්ථ පරිශීලනය කිරීමේ හැකියාව ලැබේ.

ලංකා ගමනා ගමන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල්, ‘මනුසත් දෙරණ’ සහ ජාතික පුස්තකාල ප්‍රලේඛන මණ්ඩලය පුස්තකාල ව්‍යාපෘතියට අනුග්‍රහකත්වය සපයයි.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී ප්‍රකාශකයන් විසින් පරිත්‍යාග කරන ලද ග්‍රන්ථ ද පුස්තකාල වෙත භාර දෙනු ලැබිණ.

දරුවන් සමග පොත පත පිළිබඳ තොරතුරු සාකච්ඡා කරමින් කථා බහක නිරත වූ ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලය නැරඹීමට ද ඔවුන්ට ආරාධනා කළේය.

*********************************************

බූවැලිකඩ ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොර ඉදිකිරීමක් – NBRO

(01.10.2020 – 17:16 +0530 – sinhala.adaderana.lk)

මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීම එය කඩාවැටීමට හේතුවී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සිදුකළ පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම ස්ථානයෙන් ලබාගත් සාම්පල යොදා ගනිමින් සිදුකළ පර්යේෂණයේ දී එය හෙළි වූ බවය.

සිද්ධිය පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සිදුකළ විමර්ශනයේ වාර්තාව ඊයේ (30) දිනයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාට සහ මහනුවර දිස්ත්‍රික්ක ලේකම්වරයාට භාර දී තිබේ.

පස්මහල් ගොඩනැගිල්ල කඩාවැටුණු ස්ථානයේ සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතී.

එම ස්ථානය අවට නිවාස පහක නිවැසියන්ට ඉන් ඉවත්වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මීටපෙර දැනුම් දී තිබුණි.

කෙසේවෙතත් සිදුකළ පර්යේෂණවලදී අනාවරණය වී ඇත්තේ එමස්ථානයේ නායයාමේ කිසිදු අවදානම් තත්ත්වයක් නොමැති බවය.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ ඇති මෙවැනි අවදානම් තත්ත්වයේ ගොඩනැගිලි සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මධ්‍යම පළාත් ආණඩුකාරවරයාගේ උපදෙස් පරිදි වි‍ශේෂ වැඩපිළිවළක් ආරම්භකර තිබේ ෴

*********************************************

ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයින් 25 ක් විදෙස්ගත වෙලා – දේශබන්දු තෙන්නකෝන්

(01.10.2020 – 09:28 +0530 – sinhala.adaderana.lk)

ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයින් 25 දෙනෙකු මේ වන විට විදෙස්ගතව සිටින බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉන් 19 දෙනෙකු සඳහා ජාත්‍යන්තර ‘රතු නිවේදන’ මේ වන විටත් නිකුත් කර ඇති බවය.

ටී.වී දෙරණ ඔස්සේ ඊයේ (30) රාත්‍රියේ විකාශය වු අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සමඟ එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව පැවසීය.

එම වැඩසටහන සමග එක් වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ පසුගිය මාස දෙකක (2) කාලය තුළ අපරාධ කල්ලි සාමාජිකයින් සමග සබඳතා පැවැත්වූ බන්ධනාගාර නිළධාරින් 08 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවය.

+++++++++

*********************************************

පොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමේ ගැසට් නිවේදනය අවලංගුයි. අනුමැතිය දී ඇත්තේ බදියුදීන්

(01.10.2020 – colombotoday.com)

පොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමට අවසරය ලබා දෙමින් 2016 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය ඉවත් කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා උපදෙස් ලබා දෙනු ලැබීය.

දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සමඟ ඊයේ (29) දින 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සමඟ පැවැති සාකච්ඡාව අතරතුර පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා සමඟ සිදු කළ දුරකථන සංවාදයක දී අමාත්‍යවරයා මෙසේ උපදෙස් දෙනු ලැබීය.

මෙම ගැසට් නිවේදනය 2016 දී එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ලෙස කටයුතු කළ රිෂාඞ් බදියුදීන් මහතාගේ උපදෙස් මත පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කොට ඇති බව ද මෙම දුරකථන සංවාදයේ දී අනාවරණය විය.

දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් පෙන්වා දුන්නේ ආනයනික පොල්තෙල් කිලෝග්‍රෑමයක් සඳහා පැවැති රුපියල් 295 ක සෙස් බද්ද රුපියල් 125 දක්වා අඩු කිරීම හේතුවෙන් දේශීය පොල්තෙල් කර්මාන්තය බරපතළ ලෙස කඩා වැටුණු බව ය. මෙවැනි බදු සහනයක් යටතේ පොල්තෙල් ආනයනය සිදු කරන බැවින් දේශීය පොල්තෙල් නිෂ්පාදකයන්ට ඒ සමඟ තරඟ කළ නොහැකි බව ද ඔවුහු අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහි දී පවසා සිටියේ සිදුව ඇති මිල විකෘතියේ ප්‍රශ්නය කැබිනට් පත්‍රිකාවක් මගින් නිවැරදි කරන බව ය.

තම අමාත්‍යාංශය යටතේ පවතින ‘බිසීසී ලංකා’ රාජ්‍ය සමාගම මගින් දේශීය නිෂ්පාදකයන්ගෙන් පාලන මිලකට පොල්තෙල් මිලදී ගැනීම, පොල්තෙල් වෙනුවට කොප්පරා ආනයනය කර දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් හරහා පොල්තෙල් නිපදවීම, පොල්, ගෙඩි වශයෙන් අපනයනය නතර කිරීම වැනි දේශීය පොල්තෙල් කර්මාන්තය නඟා සිටුවීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද මෙහි දී අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කළේය ෴

*********************************************

විකිණෙන වැලිවල විකිරණ

(02.10.2020 – 08:35 +0530 – lankadeepa.lk)

ඛණිජ සම්පත් ඉවත් කර ගැනීමෙන් පසු අලෙවි කරන වැලිවල අසාමාන්‍ය ප්‍රමාණයෙන් විකිරණ ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කළ අධ්‍යයනයකින් හෙළිවී තිබේ.

පුල්මුඬේ ඛණිජ වැලි සංස්ථාවේ දී සහ දඹුල්ලේ සමාගමක් ඛණිජ නිස්සාරණය කර ගත් පසුව ඉතිරිවන වැලිවල විකිරණ පවතින බව මහාචාර්ය සේනාරත්න මහතා පෙන්වා දී තිබේ.

එම වැලිවලින් මිනිත්තුවකට ඒකක 500 කට වඩා විකිරණ නිකුත් කරන බවත් එය ජපානයේ පුකුෂිමා හි විකිරණ කාන්දුවෙන් පසු අද පවතින විකිරණශීලතාවට වඩා වැඩි යැයි ද හෙතෙම සඳහන් කළේය.

පුල්මුඬේ ඛණිජ වැලි සමාගමේ දී ඉල්මනයිට්, රූටයිපල්, සර්කෝන් , මොනොසයිට් යන ඛණීජ වර්ග ඉවත් කරගන්නා අතර, එහි දී ඛණිජ වැලි ඉවත් කරගන්නා ප්‍රමාණය සාමාන්‍යයෙන් 40% පමණක් බවත් තවත් 60% පමණ එම වැලිවල ඛණිජ ඉතිරිවෙන බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

එසේ වීමට හේතුව එහි ඇති යන්ත්‍ර සූත්‍රවල කාර්යක්ෂමතාවයේ මදකම බවට තමන් දැනුවත් වූ බව කී මහාචාර්යවරයා එම වැලි ටෙන්ඩරය ලබාගන්නා දඹුල්ලේ ඛණිජ වැලි සමාගම මීටර් හත අටක් උසට ගොඩ ගසා ඇති අතර එවැනි ගොඩවල් දහයක් පමණ දඹුල්ලේ සමාගමේ තිබූ බවත්, එහි ඇති ඛණිජ ද්‍රව්‍යවලින් විකිරණ නිකුත් වන බවත් විශේෂයෙන් සුළඟේ ගසා ගෙන යන එම වැලිවලින් විශාල හානියක් අවට ප්‍රදේශවලට සිදුවන බවත් පෙන්වා දුන්නේය.

පුල්මුඬේ ඛණිජ වැලි සමාගම ලබා ගන්නා වැලි එම වෙරළ වෙත ගලා එන්නේ ගංඟා ඔස්සේ යැයි පෙන්වා දුන් ඔහු විශේෂයෙන් යාන් ඔය, හා මහවැලි ගඟ ඔස්සේ ගලා එන වැලිවල මෙසේ විකිරණ අඩංගු වන බව කියා සිටියේය.

මෙම වැලි යොදාගෙන නිවාස හෝ ඉදිකිරීම් සිදුකළ පසු එම ගොඩනැගිලිවල සිටින අයට පිළිකා අවදානමෙන් මිදෙනු බැරි බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙහි දී භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයට විශාල වගකීමක් ඇති බවත් වැලි නිධියක් කැණීමට අවසර දීමට පෙර එම වැලි සුදුසුද නැද්ද යන්න ගැන පරික්ෂා කළ යුතු බවත් පෙන්වා දුන් මහාචාර්යවරයා එය සිදු නොවන බව ද පැවැසීය.

මේ සම්බන්ධව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ බලපත්‍ර දෙද්දී විකිරණශීලීතාව මෙතෙක් නොබැලූ බවකි. ඒ පිළිබඳව වහා ක්‍රියාත්මක වන බවත් අද (1) පරමාණුක බලශක්ති අධිකාරියේ නිලධාරින් සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කරන බවත් ඔහු කියා සිටියේය ෴

*********************************************

මන්ත්‍රී පුතා අත්අඩංගුවට නොගැනීමට විරෝධය

(01.10.2020 – 14:30 +0530 – lankadeepa.lk)

කල්පිටිය අන්තර් සමුද්‍ර පිරිවෙණේ සාමණේර හිමිවරුන්ට බැණ වැදී තර්ජනය කිරීම සහ බොදු සුසාන භූමියේ නාම පුවරු බිඳ දැමීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සහාවේ පොදු ජන එක්සත් පෙරමුණු (පොහොට්ටුවේ) මන්ත්‍රී පුතා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සාමකාමී උද්ඝෝෂණයක් එම පිරිවෙන ඉදිරිපිට මාර්ගයේ අද (01) පැවැත්විණි.

උද්ඝෝෂණයට එක්වූ, එම පිරිවෙනේ විදුහල්පති සහ කල්පිටිය ශාසනාරක්ෂක බළ මණ්ඩලයේ ලේඛකාධීකාරී පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් ප්‍රකාශ කළේ, සැකකරුවන් අඅඩංගුවට නොගැනීම පිටුපස ප්‍රදේශයේ ප්‍රබල දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වන බවය. දේශපාලනයට ගැති නොවී සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතීව පරීක්ෂණයක් කරන ලෙස පොලිසියට බල කර සිටීම උද්ඝෝෂණයේ අරමුණ බව උන්වහන්සේ ප්‍රකාශ කළ සේක.

මෙම අවස්ථාවට සාමණේර හිමිවරුන් ඇතුලු භික්ෂූන් වහන්සේලා, ශ්‍රී අන්තර් සමුද්‍රික පිරිවෙන් විහාරයේ උපෝසත ශීලය සමාදන්ව සිටින උවැසිඋවැසියෝ රැසක් හා ප්‍රදේශවාසී ජනතාව ද සහභාගී වී සිටියහ.

පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වූ පිරිස පසුව විසිර ගිය හ.

කල්පිටිය සහකාර පොලිස් අධිකාරී දුමාල් වීරසිංහ ඇතුලු නොරොච්චෝල පොලිසියේ විශේෂ පොලිස් භට කණ්ඩායමක් ද පැමිණ තිබිණි. නොරොච්චෝල වැඩ බලන පොලිස්ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.මව්ශාන් මහතා ප්‍රකාශ කළේ සැකරුවන් ප්‍රදේශය මග හැර ගොස් ඇති බව සහ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වමින් සිටින බවය ෴

*********************************************

මින් ඉදිරියට ලියාපදිංචි කළ ජංගම දුරකථන පමණක් මිලදී ගන්නා ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමෙන් කියයි

(02.10.2020 – 08:17 +0530 – truenews.lk)

සිය ආයතනයේ ලියාපදිංචි නොකරන ජංගම දුරකථන ඉදිරියේදී කිසිදු ජාලයක් හරහා කි‍්‍රයාත්මක කිරීමට නොහැකි වන බව ශී‍්‍ර ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා කියා සිටියේ මින් ඉදිරියට විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කළ ජංගම දුරකථන පමණක් මිලදී ගැනීමට පාරිභෝගිකයින් කටයුතු කළ යුතු බවයි.

මෙම කි‍්‍රයාවලිය මගින් අපේක්ෂා කෙරෙන්නේ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම බවයි විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී කියා සිටියේ.

යම් අයෙකු විදේශගතව සිට පැමිණෙන විට පෞද්ගලිකව රැගෙන එන ජංගම දුරකථන ඔන්ලයින් ක‍්‍රමයට ලියාපදිංචි කිරීමේ පහසුකම් ලබන සතිය වනවිට කි‍්‍රයාත්මක කරන බව ද විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් සදහන් කළා ෴

*********************************************

හුරුළු පරිසර වනෝද්‍යානයේ ‘නම විකුණමින්’ රුපියල් හත්කෝටි හැත්තෑ ලක්ෂයක් ගසා කාලා

(02.10.2020 – 06:52 +0530 – truenews.lk)

රාජ්‍ය නොවන සංවිධානයක් වන ‘හුරුළු පරිසර වනෝද්‍යාන සංවර්ධන සංවිධානය’ මුදල් රුපියල් හත්කෝටි හැත්තෑ ලක්ෂයක් (7,70,00,000) රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට පටහැනි ආකාරයට ලබාගෙන ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු වාර්තා අනාවරණය කරනවා.

මෙම සංවිධානය මින්නේරිය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යානවල සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන් පිහිටුවා ගත්තකි.

2006 වර්ෂයේ ස්ථාපිත කර ඇති මෙම රාජ්‍ය නොවන සංවිධානය මේ දක්වා කාලයේදී අදාළ මුදල් ලබාගෙන ඇති බව අතිරේක වන සංරක්ෂණ ජනරාල් ලාල් අබේගුණසේකර වන සංරක්ෂන ජනරාල්වරයාට යොමුකළ ලිපියක සඳහන් වනවා.

වන සංරක්ෂණ ආඥා පනතේ විධි විධානවලට පටහැනි ආකාරයට ‘හුරුළු පරිසර වනෝද්‍යාන සංවර්ධන සංවිධානය’ ස්ථාපිත කර ඇති බවද එම ලිපියේ දැක්වෙනවා.

මේ වන විටත් එම සංවිධානයේ ගිණුම්වල රුපියල් මිලියන 36 ක මුදලක් ඇති අතර එම මුදල් රජයේ අරමුදලට බැර කරන ලෙසද දැනුම් දී ඇති අතර මෙම සංවිධානයට හුරුළු පාරිසරික උද්‍යානයේ කටයුතු කිරීම හා එයට ඇතුළුවීම තහනම් කිරීමටද අතිරේක වන සංරක්ෂක ජනරාල්වරයා නිර්දේශ කර තිබෙනවා.

තවද එම සංවිධානය සිදු කර ඇති රාජ්‍ය මුදල් අක්‍රමිකතා පිළිබඳව සොයා බලා එම මුදල් යළි රජයට අයකර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසද දැනුම් දී ඇති බව වාර්තා වනවා.

හුරුළු පරිසර වන උද්‍යාන සංවර්ධන සංවිධානයේ පරමාර්ථ වන්නේ උද්‍යානයට යාබද ගම්වාසීන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම, උද්‍යානයේ ශාක හා සතුන් ආරක්ෂා කිරීම, දෙස් විදෙස් සංචාරකයන්ට මාර්ග උප​දේශන සේවා සැපයීමයි.

මෙම සංවිධානය මගින් 2012 වර්ෂයේ සිට හුරුළු පරිසර උද්‍යානයට ඇතුළුවන දේශීය හා විදේශීය සංචාරකයන්ගෙන් නීත්‍යනුකූල නොවන අකාරයට මුදල් අය කර ඇති බවද අනාවරණය වනවා.

සංවිධානයේ අනුශාසක ලෙස හබරණ අඩවි වන නිලධාරිවරයා පත් කරන බව එහි ව්‍යවස්ථාවේ සඳහන්​ වනවා ෴

*********************************************

පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවෙන් මරණ තර්ජන… තර්ජනාත්මක වීඩියෝව සමාජ ජාලා කළඹයි

(29.09.2020 – 21:30 +0530 – lankaleadnews.com)

පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට කොටි හිතවාදී දෙමළ ඩයස්පොරාවෙන් මරණ තර්ජන එල්ල වන බව උන්වහන්සේ සඳහන් කරනවා.

උන්වහන්සේට තර්ජනය කරන වීඩියෝ පට කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමේ බෙදාහරිමින් පුජ්‍ය සුමනරතන හිමියන් සඳහන් කරන්නේ තමන්ට දිගින් දිගටම මෙලෙස මරණ තර්ජන එල්ල වන බවයි වීඩියෝවක් නිකුත් කර ඇති තරුණයා සිය නිජ භූමිය වන ඊළමෙන් පිටව ගොස් තමන්ගේ රටේ බෞද්ධ විහාර ඉදිකරන ලෙස පුජ්‍ය සුමනරතන හිමියන්ට තර්ජනය කරමින් උන්වහන්සේගේ ඡායාරූපයක් ගිනි තබනු එක් වීඩියෝවක දක්නට ලැබෙනවා.

***************************************

රාජ්‍ය ද්‍රෝහී උණත් දේශද්‍රෝහී වෙන්න එපා! – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *