සුනාමියෙන් වසර 16 කට පසු හමුවූ, තරුණයාගේ මව්වරුන් දෙදෙනා (2) පොලිසියට කැඳවයි – හැදූ මව හිරුට කතා කරයි

සුනාමියෙන් වසර 16 කට පසු හමුවූ, තරුණයාගේ මව්වරුන් දෙදෙනා (2) පොලිසියට කැඳවයි – හැදූ මව හිරුට කතා කරයි

දිවුල්වැව රක්ෂිතය විනාශ වීමේ අවදානමක

පූජිත 7 වන දිනටත් පාස්කු කොමිසමේ

අතරමග වැඩ නතර කළ අන්දරගස්යාය මාර්ගය

මීගමුව ප්‍රදේශවාසීන්ගේ විරෝධය

ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයන්ට මෙවර ප්‍රවේශ පත්‍රයක්

මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය

ලෝක ළමා හා වැඩිහිටි දිනය වෙනුවෙන් හිරු තබන සටහනක්

වැල්ලම්පිටියේ අධි බලැති විදුලි කණුවක නැගී පුද්ගලයෙකු විරෝධතාවයක

කෝප් පළමු කැඳවීම ගල් අඟුරු සමාගමට

සෑම පළාතකටම ළමා රෝහලක් ඉදිවිය යුතු බව අගමැති කියයි

නිව් ඩයමන්ඩ් නෞකාව‍ට, මෙරට මුහුදු සීමාවෙන් පිටවීමට අවසර නැහැ

කටානේ කෝටි තුනේ (3) කොල්ලයට පැමිණි මෝටර් රථය හඳුනා ගැනේ

*********************************************

සුනාමියෙන් වසර 16 කට පසු හමුවූ, තරුණයාගේ මව්වරුන් දෙදෙනා (2) පොලිසියට කැඳවයි – හැදූ මව හිරුට කතා කරයි

(01.10.2020 – 13:04 +0530 – hirunews.lk/sinhala)

2004 සුනාමි ව්‍යවසනයේදී අතුරුදන් වී වසර 16 කට පසු තම දරුවා සොයාගත් බවට සමන්තුරේ ප්‍රදේශයේ කාන්තාවක් පසුගියදා මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, අදාළ තරුණයා හදාවඩා ගත් බවට පැවසෙන අම්පාර – බුද්ධංගල ප්‍රදේශයේ පදිංචි නුරුල් ඉන්ෂාන් නැමැති 42 හැවිරිදි කාන්තාව සමන්තුරේ පොලිසියට පැමිණිලි කිරීම හේතුවෙන්.

පසුගියදා අබුසාලි සිත්ති හමාලියා නැමැති කාන්තාව මාධ්‍යයට ප්‍රකාශ කළේ සුනාමියෙන් අතුරුදන් වූ සිය පුතු වසර 16 කට පසු හමු වූ බවයි.

සමන්තුරේ – මාලිගෙයිකාඩු ප්‍රදේශයට සුනාමිය කඩා වැදුණු අවස්ථාවේ ඒ වනවිට අවුරුදු 05 ක වයසේ සිටි රාසීන් මොහොමඞ් අක්‍රම් රිස්කාන් නැමැති තම පුතු අතුරුදන් වූ බව ඇය කියා සිටියා.

අනතුරුව වසර ගණනාවක් පුතු සෙවූ බව ප්‍රකාශ කළ ඇය අම්පාර ප්‍රදේශයේ කාන්තාවක් විසින් ඔහුව හදාවඩාගෙන ඇති බවයි සඳහන් කළේ.

ඇය මෙම ප්‍රකාශය සිදුකරන අවස්ථාවේ තම පුතු බව ප්‍රකාශ කළ එම තරුණයාද ඇගේ නිවසට පැමිණ සිටියා.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප එම තරුණයාගෙන්ද අද විමසූ අතර, තම මව කවුරුන්ද යන්න නිශ්චිතව තහවුරු කර දෙන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ. එසේම, තමන්ට උප්පැන්න සහතික දෙකක් පවතින බවත් ඔහු කියා සිටියා.

තමන් කුඩා කළ රැඳී සිටි මව සතුව පවතින උප්පැන්න සහතිකයේ නම මොහොමඞ් සියාන් ලෙස සඳහන් වන බවත්, අම්පාර සද්ධාතිස්ස විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත්, මෙම තරුණයාව සහ අම්පාර බුද්ධංගල ප්‍රදේශයේ පදිංචි කාන්තාව අද (01) සමන්තුරේ පොලිසියට කැඳවා ඇත්තේ මෙම ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහායී.

එසේම, මෙම තරුණයා තමන්ගේ බවට මාධ්‍ය වෙත ප්‍රකාශ කළ කාන්තාවටද අද (01) දිනයේ පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත්, අම්පාර – බුද්ධංගල ප්‍රදේශයේ පදිංචි නුරුල් ඉන්ෂාන් නැමැති කාන්තාව පවසන්නේ මෙම තරුණයා මෙලොවට බිහි කළේ තමන් බවයි.

අප මෙම සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකුගෙන් කරුණු විමසා සිටි අතර, ඔහු කියා සිටියේ දෙපාර්ශවය කැඳවා අද ප්‍රකාශ සටහන් කර ගන්නා අතර, තරුණයාගේ සැබෑ මව කවුරුන්ද යන්න තහවුරු කර ගැනීම සඳහා ඉදිරියේදී ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.

*********************************************

දිවුල්වැව රක්ෂිතය විනාශ වීමේ අවදානමක

(01.10.2020 – 13:13 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අළුත් දිවුල්වැව වැව් රක්ෂිතය හා පිඹුරාගල කන්ද විනාශ වීමේ අවදානමකට මුහුණදී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

හේන් වගා කරන පුද්ගලයින් වැව් රක්ෂිතය යන්ත්‍ර සූත්‍රවලින් විනාශ කර එළිපෙහෙළි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කර ඇති බවයි වැව ආසන්නයේ පිහිටි ගම්මානවල ජිවත් වන පුද්ගලයින් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ නිසා තමන් වනඅලි තර්ජනයකට ද මුහුණදී ඇති බව ඔවුන් තවදුරටත් කියා සිටියා.

මේ අතර, වව්නියාව – මාමඩුව ප්‍රදේශයේ රජයට අයත් කැලෑ ඉඩමක් ද විනාශ වීමේ අවදානමකට මුහුණදී ඇති බව වාර්තා වුණා.

කිසියම් පිරිසක් විසින් එම ඉඩම ගිනි තබා විනාශ කිරීමට සූදානම් වන අවස්ථාවේදී එය නිවා දැමීම සඳහා ප්‍රදේශවාසීන් සහ පොලීසිය කටයුතු කර තිබෙනවා. කළු ගල් කැඩීමේ මුවාවෙන් මෙම කැලෑ ඉඩම එළිපෙහෙළි කිරීමේ සූදානමක් ඇති බවටයි වාර්තා වන්නේ.

අප මේ පිළිබදව වව්නියාව – මාමඩුව පොලීසියෙන් කළ වීමසීමකදී ඔවුන් සදහන් කළේ මීට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ෴

*********************************************

පූජිත 7 වන දිනටත් පාස්කු කොමිසමේ

(01.10.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අදත් (01) පැමිණියා. ඔහු කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා පැමිණියේ 07 වන දිනටයි.

කොමිසමේ කටයුතු අද (01) පෙරවරු 10:30 ට පමණ ආරම්භ වූ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳව විදෙස් බුද්ධි අංශයකින් කළ පූර්ව අනතුරු ඇඟවීමේ තොරතුරට අමතරව ප්‍රහාරයක් පිළිබඳ වෙනත් කිසිදු තහවුරු කළ තොරතුරක් ලබාදීමට රාජ්‍ය බුද්ධි සේවය අසමත් වූ බව පූජිත් ජයසුන්දර ඊයේ (30) කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළා.

මේ අතර, පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දුද අද (01) පස්වරුවේ කොමිසම හමුවේ යළිත් සාක්ෂි ලබාදීමට නියමිතයි.

***************************************

දේශීය කුරක්කන් අස්වනු නෙලීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

මේ වසරේ මුල් කාර්තුවේදී ලග්ගල ග්‍රාම සේවා වසම් කිහිපයක අක්කර 26 ක භූමි ප්‍රමාණයක ආදර්ශ වගාවක් ලෙස කුරක්කන් වගා කිරීමේ කටයුතු මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලැබුවා ෴

***************************************

බදුල්ල – මහදූව මංසන්ධිය අසල ප්‍රදේශවාසීන් පිරිසක් අද (01) පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා.

ඒ මහදූව සිට ලුණුගල දක්වා තිබෙන මාර්ගය කඩිනමින් පිලිසකර කර දෙන ලෙස ඉල්ලමින්.

වසර ගණනක සිට මාර්ගය ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

***************************************

***************************************

ගව ඝාතනය සම්බන්ධයෙන් දැනට රට තුළ ක්‍රියාත්මක අණපනත් කඩිනමින් සංශෝධනය කිරීම සඳහා පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවේ දැක්වෙන්නේ පියවර කිහිපයකින් අනතුරුව මෙරට තුළ ගව ඝාතනය තහනම් කෙරෙන බවටයි.

මෙම තීරණය සම්බන්ධයෙන් මහා සංඝරත්නය මෙලෙස අදහස් පළ කළා.

***************************************

රට තුළ ප්‍රමාණවත් වී තොග තිබියදී සහල් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය කිසිසේත් අනුමත කළ නොහැකි බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා.

කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම සංවිධානයේ නියෝජිතයින් පෙන්වා දුන්නේ යහපාලන ආණ්ඩු සමයේත් සහල් ආනයනයෙන් රජයට රුපියල් මිලියන 4000 කට වැඩි පාඩුවක් සිදුව ඇති බවයි.

*********************************************

අතරමග වැඩ නතර කළ අන්දරගස්යාය මාර්ගය

(01.10.2020 – 14:00 +0530 – hirunews.lk/sinhala)

මේ තිස්සමහාරාම බූන්දල ප්‍රධාන මාර්ගය යාකෙරෙන විකල්ප කෙටි මාර්ගයක් වන වැලිපොතේවෙල – අන්දරගස්යාය මාර්ගයයි.

කිලෝ මීටර් 6 ක පමණ දුරකින් යුත් මෙම මාර්ගයේ ඉදිකිරීම 2013 වසරේදී ආරම්භ කරනු ලැබුවා.

නමුත් 2014 වසරේදී කොන්ත්‍රාත් සමාගම ඉදිකිරීම් අතරමග නවතා මහගැර ගොස් ඇති අතර, ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ඒවන විටත් අදාළ සමාගම සිය ඉදිකිරීම් සඳහා වූ සියලු මුදල් රැගෙන ඇති බවටයි.

කෙසේ වෙතත්, වගකීම් විරහිතව කටයුතු කළ එම සමාගමටම නැවතත් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ලබාදී ඇති බවට ප්‍රදේශවාසීන් පවසනවා.

ප්‍රමිතියකින් තොරව ඉදිකිරීම් සිදුවන මෙම මාර්ගයේ කොටස් මේවන විටත්, ගිලා බැසීමට ලක්ව ඇති අයුරුයි මේ.

මේ පිළිබඳව අදාළ කොන්ත්‍රාත් සමාගමේ ඉන්ජිනේරුවරයාගෙන් විමසූ අතර, ඔහු සඳහන් කළේ මාර්ග සංවර්ධන අධිකාරිය ලබාදුන් නිර්දේශවලට අනුව මෙම මාර්ගය ඉදිකරන බවයි.

කෝටි ගණනින් මහජන මුදල් වැයකොට ඉදිකෙරෙන මෙවැනි ව්‍යාපෘති නිසි ප්‍රමිතියකින් යුතුව ක්‍රියාත්මක වන්නේදැයි පසු විපරම් කිරීම මාර්ග සංවර්ධන අධිකාරියේ සහ නිසි බලධාරීන්ගේ වගකීමක් නොවන්නේද..?

*********************************************

මීගමුව ප්‍රදේශවාසීන්ගේ විරෝධය

(01.10.2020 – 14:06 +0530 – hirunews.lk/sinhala)

මීගමුව මුන්නක්කරය ප්‍රදේශයේ කඩොලාන කපා ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට යොදන ලද පස් ඉවත් කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

නමුත් අදාල පස් ඉවත් කිරීම අවිධිමත් අයුරින් සිදු කරන බව පවසමින් ජනතාව ඊට විරෝධය පළ කර සිටිනවා.

මීගමුව සින්නඩිතෝට්ටම් දූපතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කඩොලාන භූමියක කොටසක් කපා ක්‍රීඩා පිටියක් සැකසීම සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වූවා.

ඒ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය මේ සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පළකළ දැඩි විරෝධය හේතුවෙන්.

ඉන් අනතුරුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ධීවර අමාත්‍යංශයට සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට විරුද්ධව නඩු පවරණු ලැබූ අතර අදාල ක්‍රීඩා පිටිය ගොඩනැගීම සඳහා රැගෙන ආ පස් ඉවත් කිරීමට අධිකරණය නියෝග කළා.

එම පස් ඉවත් කිරීමට අදාල පාර්ශ්වයන් කටයුතු කිරීමේදී ගම්වාසී ජනතාව විරෝධය පළකරන්නේ කලපුව හරහා පස් සහ ගල් යොදා මාර්ගයක් ඉදි කිරීම මගින් මුන්නක්කරය ගම්මානය ජලයෙන් යට වන බව පවසමින්.

පිරිස පාලනය කිරීම සඳහා පොලීසියද මැදිහත් වුණා.

ධීවර අමාත්‍යංශයේ අදාල පස් ඉවත් කිරීම භාරව කටයුතු කරන නිලධාරිවරයාද මෙහිදී අදහස් පළකළා.

*********************************************

ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයන්ට මෙවර ප්‍රවේශ පත්‍රයක්

(01.10.2020 – 14:08 +0530 – hirunews.lk/sinhala)

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සියලුම විභාග අපේක්ෂකයින් සඳහා මෙවර විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මේ වනවිටත් අදාළ ප්‍රවේශ පත්‍ර දිවයිනේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන්ට යොමුකර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක කළේ.

ප්‍රවේශ පත්‍රයෙහි විභාග මධ්‍යස්ථානය සහ විභාග අංකය සඳහන් කර ඇති අතර, ජාතික ශිෂ්‍ය අනන්‍යතාවය දැක්වෙන අංකය ද එම ප්‍රවේශපත්‍රයට ඇතුළත්.

ලබන 11 වනදා ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2936 කදී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා අපේක්ෂකයින් තුන්ලක්ෂ 31,694 ක් පෙනී සිටිනවා ෴

*********************************************

මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය

(01.10.2020 – 14:11 +0530 – hirunews.lk/sinhala)

සුළං බලය යොදා ගනිමින් ජාතික විදුලිබල පද්ධතියට තවත් මෙගා වොට් 100 කට අධික ප්‍රමාණයක් මේ වසර අවසන්වීමට පෙර එක්කළ හැකි බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මෙරට ඉදිවන විශාලතම සුළං විදුලි බලාගාරයවන මන්නාරම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමට එක්වෙමින්.

මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 100 කට වැඩි ධාරිතාවක් එක් කිරීමේ අරමුණින් මෙම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ඉදිවන්නේ මන්නාරම ප්‍රදේශයේයි.

2015 වසරේදී ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය වෙරළ තීරයට සමාන්තරව කිලෝමීටර් 12 ක් දක්වා විහිදී තිබෙනවා.

මෙම සුළං විදුලි ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 135 ක්.

අක්කර 320 ක් පුරා විහිදෙන මෙම භූමියේ සුළං විදුලි ජනන කුලුනු 33 ක් පිහිටා තිබෙනවා.

ඉන් ජනනය කිරීමට අපේක්ෂිත බල ශක්තිය මෙගා වොට් 103 ක්.

මෙම බලශක්තිය ඉන්ධන දහනයෙන් ජනනය කරන්නේ නම් වසරකට පරිහරණයට එක්වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ටොන් 285 ක් ලෙසයි ගණනය කෙරෙන්නේ.

ඒ අනුව බලන කළ මෙය ඉතා පරිසර හිතකාමී බලශක්ති ජනන ව්‍යාපෘතියක්.

මෙම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරිම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සමඟ එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

මෙම විදුලි බලාගාරයේ වැඩ කටයුතු සියයට 80 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට අවසන් වී ඇති අතර එහි පළමු අදියර යටතේ මෙගා වොට් 30 ක පමණ ප්‍රමාණයක් මේ මස අවසන් වීමට පෙර ජාතික පද්ධතියට එක්කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

*********************************************

ලෝක ළමා හා වැඩිහිටි දිනය වෙනුවෙන් හිරු තබන සටහනක්

(01.10.2020 – 14:17 +0530 – hirunews.lk/sinhala)

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් හිරු ප්‍රවෘත්ති තබන සටහනක් මේ.

එක්සත් ජාතීන්ගේ යෝජනාවකට අනුව ලෝක ළමා දිනය සැමරීම ආරම්භ වන්නේ 1954 වසරේදීයි.

ළමා අයිතිවාසිකම් පිලිබද ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18 ට අඩු සියළු දෙනා ළමුන් ලෙස සැලකෙනවා.

ශ්‍රී ලංකාව මෙවර ලෝක ළමා දිනය සමරන්නේ ‘අපේ රට – අපේ දෑතින්’ යන තේමාවෙන්.

ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ දරුවන්ගේ මානසික සහ කායික පෝෂණය මෙන්ම යහ පැවැත්ම තහවුරු කිරීම ප්‍රමුඛ කාලීන අවශ්‍යතාවයක් වී ඇති බවයි.

එමෙන්ම භෞතික සහ මානසික ධරිද්‍රතාව දුරුකර පුරවැසියන් වාසය කරන රටක් ගොඩ නැගීම තමන්ගේ ඒකායන අපේක්ෂාව බවද ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් වන්නේ දරුවන්ගේ සුරක්ෂිත භාවය වෙනුවෙන් අවශ්‍ය සදාචාරමය සහ නෛතික පසුබිම සැකසීමට රජයක් ලෙස නිරන්තරයෙන් කැපවී සිටින බවයි.

පරිපූර්ණ, සුන්දර ළමා දිනයක් සියලුම දරුවන්ට උරුම කර දීම අපේක්ෂාව බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අව්‍යාජත්වයේ සංකේතය වන දරුවන්, කෙළිදෙලෙන් පිරුණු සුන්දර ලෝකයක මැවුම්කරුවන් ද වනවා.

නමුත් මේ සුන්දර ලෝකය තුළ සැඟවුණු අනුවේදනීය පුවත් නැතුවාම නොවේ.

දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් අද රට පුරා විවිධ සැමරුම් උත්සව සංවිධාන වෙද්දී ඒ අයිතිවාසිකම් දිනාගත් දරුවන් වෙනුවට, ජීවිතය ගැට ගසා ගැනීමට වෙර දරනා දරුවන් පිරිසක් අපට මුණ ගැසුණේ අනුරාධපුර අලිවංගුව ගම්මානයේන්.

පාසල් යන වයසේ පසු වුවත් දෙමව්පියන්ට ඇති ආර්ථික දුෂ්කරතාවයන් නිසා මේ දරුවන්ට අද වන විට අකුරු කිරීමේ වරම් අහිමිව තිබෙනවා.

ලෝක ළමා දිනය සේම වැඩිහිටි දිනයත් අදට යෙදී තිබෙනවා.

දරුවන්ගේ අනේක දුක් කම්කටොලු කරපින්නා ගත් මව්වරුනගේත්, පියවරුන්ගේත් එකම සිහිනය තම දුවා දරුවන් සමගින් දිවිගෙවන විවේකී හෙට දවසක්.

නමුත් අද වන විට, එකී හෙට දවස බොහෝ මාපියන්ට අහිමියි.

ගතේ වීරිය දුබල වුවත් තම ජීවිතය ගැට ගසා ගැනීමට වෙර දරනා මේ අම්මා අප නෙත ගැටුනේ නාරාහේන්පිට ප්‍රදේශයෙන්.

හෙට දවසේ නායකයින් වන පුංචි දරුවන් සේම ,නායකයින් වී ලොව දිනන්නට මඟ කියනා වැඩිහිටියන් වෙනුවෙන්, එක් දිනකට පමණක් සීමා නොවී ඔබේ සංවේදී අවධානය නිරතුරු යොමු කිරීම අද දවසේ අපේ අරමුණයි.

***************************************

නුගේගොඩ – ඇඹුල්දෙණිය සහ දෙල්කඳ යන ප්‍රදේශවලදී අද සිදුකළ වැටලීමකින් රුපියල් ලක්ෂ 14 ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සමගින් පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් අතර දෙල්කඳ – උසා නමැත්තා සහ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු (2) ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

නුගේගොඩ කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකයට ලද තොරතුරක් අනුව, මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී ඔවුන් සතුව තිබී සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 70 ක් ෴

+++++++++

මීගමුව-කිඹුලාපිටිය, දාගොන්න ප්‍රදේශයේදී අයිස් ග්‍රෑම් 500 කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+++++++++

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘පොඩි ලැසී’ගේ සමීපතමයෙකු මීටියාගොඩදී අත්අඩංගුවට ගෙන ඇති අතර ‘පොඩි ලැසී’ භාවිත කළ බවට සැකකෙරෙන ගිනි අවියක් ගෝනාපීනුවල-පිංකන්ද ප්‍රදේශයෙන් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා ෴

***************************************

ගාල්ල – ඉමදූව නගරයේදී රුපියල් කෝටි 6 කට අධික මුදලකට වාලම්පුරි දෙකක් (2) විකිණීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව්දෙනා ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරුවන් අද (01) ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කළුතර පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් ඊයේ (30) අත්අඩංගුවට ගත් මොවුන් නුවරඑළිය සහ ඉමදූව ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

*********************************************

වැල්ලම්පිටියේ අධි බලැති විදුලි කණුවක නැගී පුද්ගලයෙකු විරෝධතාවයක

(01.10.2020 – 15:52 +0530 – hirunews.lk/sinhala)

වැල්ලම්පිටිය – නාගහමුල්ල මංසන්ධියේ අධි බලැති විදුලි රැහැන් සහිත කණුවක නැගී පුද්ගලයෙකු විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

එම පුද්ගලයා මෙලෙස විරෝධතාවයක් ආරම්භ කර ඇති හේතුව මෙතෙක් නොදන්වා ඇති අතර මේ හේතුවෙන් වැල්ලම්පිටියේ සිට දෙමටගොඩ දක්වා දිවෙන මාර්ගයේ රථවාහන තදබදයක් ද හටගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට අයත් ආපදා රථ යොදවා ඔහු බිමට බැස්සවීම සඳහා ක්‍රියා කරමින් පවතින බවයි හිරු වාර්තකරු සඳහන් කළේ.

මේ වනවිට අදාල අධි බලැති විදුලි කණුව ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කර තිබෙනවා.

*********************************************

කෝප් පළමු කැඳවීම ගල් අඟුරු සමාගමට

(01.10.2020 – 15:57 +0530 – hirunews.lk/sinhala)

9 වන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව එළඹෙන 6 වනදා සිට ආරම්භ කරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා.

ඒ අනුව, 6 වැනිදා සිට 23 වනදා දක්වා කෝප් කමිටුව රැස්වනු ඇති.

පළමුවෙන්ම කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව ඇත්තේ සීමා සහිත ලංකා ගල් අගුරු සමාගමයි.

2009 වර්ෂයේ සිට නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා සීමා සහිත ලංකා ගල් අඟුරු සමාගම මගින් සිදුකරන ලද ගල් අගුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති විශේෂ විගණන වාර්තාව මත පදනම්වයි එහි නිලධාරින් එදිනට කැඳවා ඇත්තේ.

මේ අතර, මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සිදුකර ඇති විශේෂ විගණන වාර්තාව අවධානයට ලක් කිරීම සඳහා ඔක්තෝම්බර් 20 වනදා මාර්ග සංවර්ධන අධිකාරිය, අදාළ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය ද කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

එමෙන්ම, ඔක්තෝම්බර් 23 වනදා පොල් සංවර්ධන අධිකාරිය කෝප් කමිටුව වෙත කැඳවා ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සඳහන් කළේ ෴

*********************************************

සෑම පළාතකටම ළමා රෝහලක් ඉදිවිය යුතු බව අගමැති කියයි

(01.10.2020 – 17:07 +0530 – hirunews.lk/sinhala)

සෑම පළාතකටම ළමා රෝහලක් ඉදිවිය යුතු යැයි තමන් තරයේ විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කොළඹ සහ මහනුවරට පමණක් දැනට සීමාවන ළමා රෝහල් මින් ඉදිරියට එක් පළාතකට එක් ළමා රෝහලක් ලෙස සංවර්ධනය කර පවත්වාගෙන යාම පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ලෝක ළමා දිනය හා රිජ්වේ ආර්යා ළමා රෝහලට වසර 125 ක් සැපිරීමට සමගාමීව මහල් 9 කින් යුත් දැඩි සත්කාර හා ශල්‍ය වාට්ටු සංකීර්ණයට මුල්ගල තැබීමේ අවස්ථාවට අද (01) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී අග්‍රාමාත්‍යවරයා ඇටමිඳුළු බද්ධ කිරීමේ ඒකකය හා නව ශල්‍යාගාරය විවෘත කිරීම ද සිදුකළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින්.

ලෝක ළමා දිනයට සමගාමීව දරුවන්ට ත්‍යාග ප්‍රදානයක් ද සිදුකර තිබෙනවා.

මේ අතර, භික්ෂුන් වහන්සේ 15,000 ක් ආවරණය වන බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය ආරක්ෂණ හිම්කම් ප්‍රදානය කිරීමේ සමාරම්භක උත්සවය ද, අද අගාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

රජයේ ඒකාබද්ධ අරමුදලින්, බුද්ධශාසන අරමුදලින් සහ පරිත්‍යාගශීලින්ගේ පරිත්‍යාග මත මෙම හිමිකම් ප්‍රදානය අඛන්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂිතයි.

එහි සමාරම්භය සංකේතවත් කරමින් භික්ෂුන් වහන්සේ කිහිප නමක් උදෙසා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් හිමිකම් ප්‍රදානය කෙරුණා.

[ සේයාරූ ]

***************************************

ගිනි ගැනීමට ලක්වූ ‘නිව් ඩයමන්ඩ්’ නෞකාව නිසා ඇතිවූ සමුද්‍ර දූෂණය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවත්, අනෙකුත් හිමිකම් මෙතෙක් පියවා නොමැති බවත්, නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් සමුද්‍රීය පරිසර අධිකාරියට දැනුම් දී තිබෙනවා ෴

*********************************************

නිව් ඩයමන්ඩ් නෞකාව‍ට, මෙරට මුහුදු සීමාවෙන් පිටවීමට අවසර නැහැ

(01.10.2020 – 20:06 +0530 – hirunews.lk/sinhala)

නිව් ඩයමන්ඩ් නෞකාව‍ට මෙරට මුහුදු සීමාවෙන් පිටවීමට අවසර ලබා නොදුන් බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

ඒ අදාළ නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කර ගැනීමේ සූදානමක් පවතින බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් අප කළ විමසීමකදියි.

කෙසේ වෙතත් නෞකාව නිදහස් කළ පසු එය රැගෙන යා යුතු ගමන් මාර්ගය පමණක් සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් අනුමත කර ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කළා.

නැගෙනහිර මුහුදේදී බොර තෙල් ප්‍රවාහනය කරමින් තිබූ MT නිව් ඩයමන්ඩ් නෞකාව ගිනි ගැනීමට ලක් වූයේ පසුගිය 03 වනදායි.

නෞකාව අයත් සමාගමෙන් ශ්‍රී ලංකාව ඉල්ලා ඇති සම්පූර්ණ වන්දි මුදල රුපියල් මිලියන 442 ක්.

එම මුදල ගෙවීමට අදාළ සමාගම එකඟතාව පළ කළද මෙතෙක් එම ගෙවීම් සිදුකර නැහැ.

එවන් තත්තවයක් තුල නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කර ගැනීමේ සූදානමක් පවතින බවට වාර්තා පල වුණා.

හිරු ප්‍රවෘත්ති ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කර ගැනීමට මේ දක්වා අවසරයක් ලබා දී නොමැති බවයි.

මේ අතර ගිනි ගැනීමට ලක් වූ නෞකාවෙන් සිදුවූ සමුද්‍ර දූෂණය පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බව නීතිපතිවරයා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට දැනුම් දී තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ සමුද්‍ර දූෂණයට අදාළ කටයුතු නිමවන තුරු නෞකාව රැගෙන යෑමට අවසර ලබා දිය නොහැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නීතිපතිවරයා වෙත දන්වා ඇති බවයි.

*********************************************

කටානේ කෝටි තුනේ (3) කොල්ලයට පැමිණි මෝටර් රථය හඳුනා ගැනේ

(01.10.2020 – 20:43 +0530 – hirunews.lk/sinhala)

නුගේගොඩ – ඇඹුල්දෙණිය සහ දෙල්කඳ යන ප්‍රදේශවලදී අද (01) සිදුකළ වැටලීමකින් රුපියල් ලක්ෂ 14 ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සමගින් පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් අතර දෙල්කඳ – උසා නමැත්තා සහ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු (2) ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

නුගේගොඩ කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකයට ලද තොරතුරක් අනුව, මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී ඔවුන් සතුව තිබී සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 70 ක්.

එමෙන්ම, කේක් ගෙඩියක් තුළ සගවා කුඩා ප්‍රමාණයේ හෙරොයින් පැකට් 15 ක් රැගෙන ගිය පුද්ගලයෙකු අද (01) යක්කල – කිරිඳිවැල මාර්ගයේ ඇල්හේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගමුව – කිඹුලාපිටිය – දාගොන්න ප්‍රදේශයේදී ද අයිස් ග්‍රෑම් 500 යි මිලිග්‍රෑම් 110 ක් සමඟින් අද (01) දහවල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, කටානේ ව්‍යාපාරික නිවස කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පැමිණි මෝටර් රථය වත්තල ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබා ගත් එකක් බවට සිදුකළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි කටාන පොලීසිය සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ලෙස හඟවමින් සැකකරුවන් 6 දෙනෙකු ඊයේ (30) පැමිණ රුපියල් කෝටි 3 කට අධික මුදල් සහ රන් ආභරණ කොල්ල කා පලා ගොස් තිබුණා.

මේ වන විටත් කොල්ල කෑමේ සිද්ධියට අදාළව ප්‍රකාශ 21 ක් සටහන් කරගෙන ඇති අතර, පොලිස් කණ්ඩායම් ගණන 6 ක් යොදවා පරීක්ෂණ මෙහෙයවනවා.

එසේම, ගාල්ල – ඉමදූව නගරයේදී රුපියල් කෝටි 6 කට අධික මුදලකට වාලම්පුරි දෙකක් (2) විකිණීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව්දෙනා ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරුවන් අද ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කළුතර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ (30) අත්අඩංගුවට ගත් මොවුන් නුවරඑළිය සහ ඉමදූව ප්‍රදේශවල පදිංචිකරුවන්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *