ජපානය පෙන්වා කරන දඹුල්ලේ මුදල් වංචාව ගැන ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය

ජපානය පෙන්වා කරන දඹුල්ලේ මුදල් වංචාව ගැන ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය

විදුලි අර්බුදයට පිලියමක් දිය හැකි වැසී ගිය මොණරාගල තාප බලාගාරය

මෙහෙකාරියකගේ බැංකු ගිණුම්වලින් කෝටි 02 ක් සංසරණය වෙලා

සංගීත ප්‍රසංග යළි ආරම්භ කිරීම ගැන අවධානය

මුදල් මණ්ඩලය SDFR සහ SLFR ස්ථාවරව පවත්වගෙන යාමට තීරණය කරයි

නව කතානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන පත්වෙයි

මධුර විතානගේ බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට

මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ හැසිරීම ගැන විමර්ශනයක් කරන්න නීතිපතිගෙන් නියෝග

බුද්ධි සමාලෝචනය රැස්වීම 2018 ඔක්තෝම්බර් වලින් පසු විධිමත්ව පවත්වා නෑ

මඩ වගුරක් බවට පත්වූ පුළියන්කුලම වැව

සිංහරාජය ගැන කතා වූ, මාර්ගය ඉල්ලා, ලංකාගම ප්‍රදේශවාසීන් විරෝධතාවක

**********************************************

ජපානය පෙන්වා කරන දඹුල්ලේ මුදල් වංචාව ගැන ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය

(19.08.2020 – 20:50 +0530 – hirunews.lk/sinhala)

ජපානයේ අධ්‍යාපනය සහ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් ඒ සදහා ව්‍යාජ ලියකියවිලි සෑදීමට මුදල් ලබාගන්නා ජාවාරමක් මේ දිනවල දඹුල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක වනවා.

අද (19) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

මෙරට තරුණ, තරුණියන් විශාල පිරිසක් විදෙස්ගතව අධ්‍යාපනය ලබන අතරතුර රැකියා කිරීම සඳහා යොමුව තිබෙනවා.

ජපානය තුළ එවන් අවස්ථා පහසුවෙන් ලබාදිය හැකි බව පවසමින් දඹුල්ල රෝහල ඉදිරිපිට කුලී නිවසක වාසය කරන යුවලක් මුදල් වංචා කිරීමේ ජාවාරමක් ආරම්භ කර තිබෙනවා.

වියපත් ජපන් යුවළකට එම නිවසේ නවාතැන් ලබාදෙමින් ඔවුන් හරහා ජපන් භාෂාව උගන්වා ජපානයේ වීසා ලබාදෙන බවයි මොවුන් පවසන්නේ.

විදෙස් ගත කිරීමට අවශ්‍ය ලියකියවිලි ව්‍යාජව සැකසීම සදහා බව පවසමින් ඔවුන් දඹුල්ල අවට පුද්ගලයන් රැසකගෙන් විවිධ ප්‍රමාණ වලින් මුදල් ලබාගෙන තිබුණා.

************************************************

විදුලි අර්බුදයට පිලියමක් දිය හැකි වැසී ගිය මොණරාගල තාප බලාගාරය

(19.08.2020 – 20:29 +0530 – hirunews.lk/sinhala)

විකල්ප බලශක්ති උත්පාදනය සඳහා කලකට පෙර ආරම්භ කරනු ලැබූ නමුත් මේ වන විට අක්‍රීය මට්ටමේ පවතින තාප විදුලි බලාගාරයක් පිළිබඳ පුවතක් අපට මොණරාගල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

2009 වර්ශයේ මොණරාගල කුඹුක්කන්ඔය අසල ඉදිකල තාප විදුලි බලාගාරය චීන ආයෝජන සමාගමක් සහ මෙරට අයෝජන සමාගම් එක්ව අමෙරිකානු ඩොලර් 22 ලක්ෂයක මුදලක් යොදවා ආරම්භ කළා.

මෙම තාප බලාගාරයේ දෛනික විදුලි උත්පාදන හැකියාව මෙගාවොට් 10 ක්.

මේ සඳහා ඉන්ධන ලෙස යොදාගන්නේ ගිනිසීරියා, ලාඩප්පා ලෙසින්ද ව්‍යවහාර වන ග්ලිඩිසීරියා ශාකයයි.

මෙම බලාගාරයට දෛනිකව දැව ටොන් 450 ක් අවශ්‍ය වන අතර එම දැව මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවීන් ගෙන් ලබාගැනීමේ අරමුණිනුයි මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ.

මොණරාගල දිස්ත්‍රික්කයේ පාරම්පරික හේන් ගොවීන් 38,000 ක් පමණ මෙම ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ කොට ගෙන තිබෙනවා.

ඒ අනුව දෛනිකව අවශ්‍ය දැව රැස් කිරීම සඳහා ක්ෂේත්‍ර නිලධාරීන් 108 දෙනෙක්ද මෙම සමාගම විසින් බඳවාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම තාප බලාගාරය පණ ගැන්වූ දිනයේ පටන්ම වරින් වර කාර්මික දෝෂ කිහිපයක් හටගෙන ඇති අතර මෙගාවොට් 10 ක උපරිම ඉලක්කයකට ළඟාවීමටත් බලාගාරයට නොහැකි වුණා.

දැනට අක්‍රිය වී ඇති බලාගාරය හේතුවෙන් පාරිසරික ගැටළු රැසක්ද උද්ගතවී තිබෙනවා.

මේ අනුව ප්‍රදේශයේ ගොවීන්ගෙන් දැව මිලදී ගැනීම නවතා ඇති බැවින් ඔවුන් ද දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ මේ වන විට රටේ පවතින විදුලි අර්බුධයට පිලියමක් ලෙස හෝ මොණරාගල විදුලි බලාගාරය රජයට පවරාගෙන එහි වැඩකටයුතු යළි ආරම්භ කරන ලෙසයි.

*************************************************

මෙහෙකාරියකගේ බැංකු ගිණුම්වලින් කෝටි 02 ක් සංසරණය වෙලා

(19.08.2020 – 22:11 +0530 – sinhala.adaderana.lk)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ නිවසක සේවය කළ මෙහෙකාරියකගේ ගිණුම් 02 ක කෝටි දෙක (02) හමාරක මුදලක් සංසරණය වී ඇති බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව අදාළ කාන්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් ඊයේ (18) රාත්‍රියේ දී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ, අත්අඩංගුවේ පසුවන සැකකරුවෙකු දුන් තොරතුරු මතය.

කාන්තාවගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ‘වින්දනී ප්‍රියදර්ශනී’ හෙවත් ‘70 වත්තේ පොඩ්ඩි’ගේ අංශ භාග රෝගයෙන් පෙලෙන මව තමන් විසින් රැක බලාගත් බවය.

ඇයගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී රුපියල් කෝටි දෙක හමාරකට (2½) ආසන්න මුදලක් සංසරණය වී ඇති බවට අනාවරණය වු බව පොලීසිය පවසයි.

මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පහසුකම් සැපයීමේ චෝදනා මත පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

පොලීසිය පැවසුවේ මෙම උප පොලිස් පරීක්ෂකවරයා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ නිලධාරීන් සමග සබඳතා පවත්වා ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ.

මේ අතර පසුගිය දා මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් “හැට්ටයා” නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ අනියම් බිරියන් 06 දෙනෙකුගේ වත්කම් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර අවසන්ය.

මෙම කාන්තාවන් සතු කෝටි ගණනක දේපල උපයාගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙන බව පොලීසිය පවසයි.

මේ අතර මෝදර උයනේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරන ‘කුමාරි’ නම් කාන්තාවගේ ගෝලයන් තිදෙනෙකු (03) රුපියල් ලක්ෂ 02 කට අධික මුදලක් සමග ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශයට ලද තොරතුරකට අනුව රුපියල් ලක්ෂ 05 කට ආසන්න කේරළ ගංජා තොගයක් සමග නාගරික සංවර්ධන අධිකාරියේ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් ග්‍රෑම් 123 ක් සමග කාන්තාවන් දෙදෙනෙකු (02) ඇතුළු තිදෙනෙකු ද කටාන පොලීසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර මීරිගම නගරයේ ගරාජයක් තුළ සඟවා තිබූ රිවෝල්වර 03 ක්, පතොරම් කිහිපයක් හා හමුදා ඇඳුම් කිහිපයක් සමග පුද්ගලයෙකු මීරිගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

***************************************************

සංගීත ප්‍රසංග යළි ආරම්භ කිරීම ගැන අවධානය

(20.08.2020 – 07:29 +0530 – hirunews.lk/sinhala)

සංගීත ප්‍රසංග යළි පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව ජාතික උරුමය, ප්‍රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළා.

සංගීත ප්‍රසංග පැවැත්වීම තාවකාලිකව තහනම් කෙරුණේ කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රජය ගෙන ගිය වැඩපිලිවෙල යටතේයි.

ඒ අනුව ඒවා යළි පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් යෝජනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරියේදී යොමු කරන බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

ඊට අදාළ අනුමැතිය ලැබුනහොත් ඉදිරියේදී සංගීත ප්‍රසංග පැවැත්විය හැකි බව ද ඔහු ප්‍රකාශ කළා ෴

*************************************************

මුදල් මණ්ඩලය SDFR සහ SLFR ස්ථාවරව පවත්වගෙන යාමට තීරණය කරයි

(20.08.2020 – 07:52 +0530 – hirunews.lk/sinhala)

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 4.5 ක අගයක පවත්වා ගැනීමටත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 5.5 ක අගයක පවත්වා ගැනීමටත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා ෴

++++++++++++++++

ශ්‍රී ලංකා මහබැංකුව විසින් ණය පත් ඇතුළු පොලී අනුපාත හතරක් සඳහා උපරිම පොලී අනුපාතිකයන් පනවා තිබෙනවා.

එම නව උපරිම පොලී අනුපාතික පහතින් :

ණය පත් සඳහා උපරිම පොලී අනුපාතය 18.00 %
පෙර සූදානම් කළ තාවකාලික අයිරා සඳහා උපරිම පොලී අනුපාතය 16.00 %
උකස් කිරීමේ පහසුකම් සඳහා උපරිම පොලී අනුපාතය 10.00 %
සාමාන්‍ය පොලී අනුපාතයට වඩා දඩ පොලී අනුපාතය සියයට 2.00 %

මේ අතර මහ බැංකුව විසින් දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික හා මූල්‍ය වෙළඳපල සංවර්ධනයන් අඛණ්ඩව අධීක්ෂණය කරනු ඇති අතර උද්ධමනය අඩුවී ඇති හෙයින්, ප්‍රමාදයකින් තොරව ඉහළ වර්ධන මාවතකට ආපසු යාමට ආර්ථිකයට සහාය වීම සඳහා වැඩිදුර පියවර ගනු ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

එසේම ප්‍රතිපත්ති අනුපාත සහ SRR නොවෙනස්ව පවත්වාගෙන යනු ඇති.

ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය (SDFR) 4.50 % ස්ථාවර ණය දීමේ පහසුකම් අනුපාතය (SLFR) 5.50 % බැංකු අනුපාතය 8.50 % ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) 2.00 % නියාමනය කරන ලද පොලී අනුපාත පහළට සංශෝධනය කර ඇති බවයි මහබැංකුව වැඩිදුරටත් පෙන්වාදෙන්නේ ෴

*******************************************

නව කතානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන පත්වෙයි

(20.08.2020 – 09:41 +0530 – hirunews.lk/sinhala)

9 වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය අද (20) පෙරවරු 09:30 ට ආරම්භ වුණා.

එහිදී පළමුව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් 9 වන පාර්ලිමේන්තුවේ සැසි වාරය ආරම්භ කිරීම පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් නිවේදනය සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නම සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනා කළ අතර, එය ස්ථීර කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින්.

අභිනව කථානායකවරයා සිය ප්‍රතිඥාව ලබාදීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සහ ප්‍රතිඥා දීම සිදුකරනු ලැබුවා.

++++++++++++++

25 වසරකට පසු රනිල්ගේ විපක්‍ෂ නායක අසුන සජිත්ට. මවුබස නොතකා ඉංග‍්‍රිසියෙන් මුලින්ම සභාව අමතයි..

(20.08.2020 – colombotoday.com)

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා නවවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස පත් වී තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට මීට ටික වේලාවකට පෙර ඒ බව දැනුම් දුන්නේය.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක අසුන හිමිවිය.

ඉතා දීර්ඝ කාලයක් රනිල් වික්‍රමසිංහ මහතා විසින් දරන ලද විපක්ෂ නායක පුටුව මෙවර සජිත් ප්‍රේමදාස මහතාට හිමිවෙද්දී රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු අසුන පවා අහිමිවී ගොස් ඇත.

සජිත් පේ‍්‍රමදාස මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ සිය මුල්ම කතාව ඉදිරිපත් කළේ ඉංග්‍රීසි භාෂාවෙනි.

ඔහු කතානායකවරයාට සුබ පැතුම් එක් කරන ලද්දේ ඉංග්‍රීසියෙන් සභාව අමතමිනි ෴

************************************************

මධුර විතානගේ බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට

(20.08.2020 – 11:13 +0530 – hirunews.lk/sinhala)

අද රැස්වූ 09 වන පාර්ලිමේන්තුවේ සිදුවූ සුවිශේෂ සිදුවීමක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ ඉතිහාසයේ මුල්වරට ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයෙකු බෝට්ටුවෙන් සිය නිවසේ සිට පාර්ලිමේන්තුව වෙතට පැමිණීමයි.

මෙලෙස පාර්ලිමේන්තුවට බෝට්ටුවෙන් පැමිනෙන්නේ කෝට්ටේ නගරාධිපතිව සිට මෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රී මධුර විතානගේ මහතායි.

එම අවස්ථාවේ දර්ශන පහතින් :

**********************************************

මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ හැසිරීම ගැන විමර්ශනයක් කරන්න නීතිපතිගෙන් නියෝග

(20.08.2020 – 13:36 +0530 – hirunews.lk/sinhala)

අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමට අධිකරණය නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීමේදී මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ හැසිරීම සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ හැසිරීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා ෴

නීතිපති දප්පුල ද ලිවේරා මහතා

+++++++++++++

සම්පායෝ අත්අඩංගුවට ගැනීමේ සියලු දේ CCTV වීඩියෝවකින් හෙළිවෙයි : මිගමුව OIC බොරු කියලා – මාධ්‍ය ප්‍රකාශකත් අමාරුවේ : නීතිපති තදින් සිටී

(20.08.2020 – 17:08 +0530 – lankaleadnews.com)

මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමේදී සාර්ථක බුද්ධි තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවට මිගමුව මුලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා අසත්‍ය සටහන් යොදා තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක් කොට ඊට අදාළ වාර්තාවක් නොපමාව ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.

මේ සම්බන්ධයෙන් ලද CCTV රූපරාමු පරික්ෂා කිරීමේදී එය අත්අඩංගුවට ගැනීමක් නොවන බවට පැහැදිලිව පෙනී ගොස් ඇති බව නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මෙහිදී සඳහන් කළාය.

අනුරුද්ධ සම්පයෝ පොලිස් භාරයට ගත් ස්ථානයේ තිබු CCTV රූප රාමු අනුව මිගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් රැගත් ජීප් රථය සහ සම්පයෝගේ සහෝදරයා ඇතුළු තවත් පිරිසක් රැගත් වෑන් රථයක් එම ස්ථානයට වී වරෙන්තු නිකුත්ව තිබු සැකකරු එම ස්ථානයට පැමිණෙන තෙක් බලා සිටින අයුරු නිරීක්ෂණය වී තිබේ.

එලෙස ඔවුන් සිටින ස්ථානයට අනුරුද්ධ සම්පයෝ රතු පැහැති මෝටර් රථයකින් පැමිණි බවත්, ඔහු එම වාහනයෙන් බැස පොලිස් ජීප් රථය දෙසට ඇවිද ගෙන යමින් සිටියදී සිය ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගෙන කතා කරමින් පැමිණ එම ඇමතුමේ සිටි පුද්ගලයා සමග සම්බන්ධ වීමට මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට ද ඉඩ සලසා දී ඇති බවට නිරීක්ෂණය වන බවත් නීතිපතිවරයා මෙහිදී වැඩබලන පොලිස්පතිවරයාට දන්වා යවා ඇත.

එහිදී මිගමුව මුලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂකවරයා විසින් අනුරුද්ධ සම්පායෝගේ ශරිරයට අත තබමින් ඔහුව සුහඳව පිළිගන්නා අයුරු පැහැදිලිව නිරීක්ෂණය වන බැවින් එය වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමක් නොව වරෙන්තුකරුවෙකු පුර්ණ සැලසුමක් සහිතව පිළිගැනීමක් බව ඕනෑම අයෙකුට පෙනී යන කරුණක් බව නීතිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

ඉන්පසුව මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා මාංචු නොමැතිව සිටි අනුරුද්ධ සම්පායෝව ජීප් රථයේ පසුපස අසුනේ හිඳ ගැනීමට ඉඩ සලස්වා ඒ වන තෙක් ජීප් රථය පසුපස නවතා තිබු වෑන් රථයෙන් පැමිණි පිරිසට ඔහු සමග නිදහසේ හැසිරිමට ඉඩ හැර තිබෙන අයුරු නිරීක්ෂණය කොට ඇත.

එම අවස්ථාවේදී මීගමුව පොලිස් ස්ථානාධිපතිවරයා යම් අයෙකු එම ස්ථානයට පැමිණෙන තෙක් අපේක්ෂාවෙන් යුතුව සිටින බවට පෙනී ගොස් ඇති අතර, පසුව එම ස්ථානයට පැමිණි එක්තරා මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකුට ඔහුගේ ජංගම දුරකථනයෙන් අනුරුද්ධ සම්පායෝට කරුණු දැක්වීමට පොලිස් ස්ථානාධිපතිවරයා විසින්ම ඉඩ සලස්වා එය වරෙන්තුකරු සාර්ථකව අත්අඩංගුවට ගන්නා ආකාරය මහජනතාවට ඒත්තු ගැන්වෙන ආකාරයට පෙන්වීමට ඔවුන් දෙදෙනා සාමුහිකව කටයුතු කර ඇති අයුරු CCTV රූප රාමුවල පැහැදිලිව දක්නට ලැබෙන බව නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට කරුණු දන්වා ඇත.

ඒ අනුව මෙවැනි සාවද්‍ය කරුණු පදනම් කර ගනිමින් සාර්ථක බුද්ධි තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකින් වරෙන්තුකරු අත්අඩංගුවට ගත් බවට පොලිස් පොතේ අසත්‍ය සටහන් යෙදීම සම්බන්ධයෙන් මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට විරුද්ධව වහා විමර්ශනයක් කොට කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙන බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනිය ප්‍රකාශ කර සිටියාය.

එමෙන්ම මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් අවස්ථා ගණනාවකදී මාධ්‍ය ආයතන වෙත ප්‍රකාශ නිකුත් කරමින් මෙය ‘උපක්‍රමශිලිව, සාර්ථක බුද්ධි තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකින් වරෙන්තුකරු අත්අඩංගුවට’ ගත් බව කියමින් මහජනතාව නොමග යවන ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහුට එරෙහිවද විමර්ශනයක් සිදුකොට කරුණු වාර්තා කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා විසින් වැඩිදුරටත් දැනුම් දී ඇත.

එමෙන්ම මෙම සිදුවීමට අදාළ CCTV වීඩියෝ පටයන් මිගමුව මහේස්ත්‍රාත්වරියට, ආරක්ෂක ලේකම්වරයාට, ජාතික පොලිස් කොමිසමට, නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද (20) දිනයේදී නීතිපතිවරයා විසින් යොමු කරනු ලැබූ බවද නිතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය ෴

+++++++++++++

මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ක්‍රියා කලාපය ගැන පරීක්ෂණයක් පවත්වන්න නීතිපතිගෙන් උපදෙස්

(20.08.2020 – 13:36 +0530 – hirunews.lk/sinhala)

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව ක්‍රියාත්මක කිරීමේදී මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ක්‍රියා කලාපය සහ ඊට අදාළව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් පවත්වන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා, වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

පසුගිය සඳුදා අනුරුද්ධ සම්පායෝට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නව නඩුවක් ද ගොනු කෙරුණා.

එහිදී සම්පායෝ ඇතුළු සැකකාර ජේලර්වරුන් තිදෙනා ලබන 31 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අනුරුද්ධ සම්පයෝ පොලිසියට භාර වූ අවස්ථාවේ, අවට CCTV දර්ශන අනුව, එය අත්අඩංගුවට ගැනීමක් නොව, සුහද පිළිගැනීමක් බව පෙනී යන්නේ යැයි ද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

එම නිසා මෙය සාර්ථක බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් බවට මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පොතේ සටහන් යෙදුවද, එය රඟ දැක්වීමක් බවත්, එසේ තිබියදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය ඉදිරියේ, මෙය උපක්‍රමශීලි බුද්ධි මෙහෙයුමක් බව ප්‍රකාශ කළ බවද නීතිපතිවරයා දැනුම් දී ඇති බව සඳහන්.

මෙම CCTV දර්ශන අඩංගු තැටිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති වෙත ලබාදී තිබූ අතර එහි පිටපත් නීතිපතිවරයා අද (20) පොලිස් කොමිසමට හා අධිකරණයට ලබාදුන් බවද, නීතිපති සම්බන්ධිකරිනි නිෂාරා ජයරත්න මෙනවිය පවසනවා.

මේ අතර, පොලිස් මූලස්ථානයේ අද (20) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ගෙන් මාධ්‍යවේදීන් මේ පිලිබඳව විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ විමර්ශනයක් ආරම්භ කිරීමට උපදෙස් ලබාදී ඇති බවත්, ඒ අනුව පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාගේ උපදෙස් මත එම විමර්ශනය සිදුකරනු ඇති බවයි.

*********************************************

බුද්ධි සමාලෝචනය රැස්වීම 2018 ඔක්තෝම්බර් වලින් පසු විධිමත්ව පවත්වා නෑ

(20.08.2020 – 13:49 +0530 – hirunews.lk/sinhala)

ජාතික ආරක්ෂාව පිළිබඳව සතිපතා සාකච්ඡාවට බදුන් කෙරෙන බුද්ධි සමාලෝචනය රැස්වීම 2018 වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු විධිමත්ව නොපැවැත්වූ බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (19) අනාවරණය වුණා.

ඒ, 14 වන දිනටත් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඊයේ (19) සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයී.

සාක්ෂි ලබාදෙමින් ඔහු වැඩිදුරත් සදහන් කළේ පාස්කු ප්‍රහාරයට ඉතා නුදුරු දිනක සහරාන්ගේ පිරිස කාත්තන්කුඩියේ සිදුකළ බයිසිකල් බෝම්බ පිපිරීම් අත්හදා බැලීමක් බවට බලධාරින් දැනුම්වත් කළ බවයි.

+++++++++++++++++++++

ජාතික ආරක්ෂාව සාකච්ඡාවට ගැනෙන බුද්ධි සමාලෝචනය රැස්වීමට වුණු දේ පාස්කු කොමිසමේ දී හෙළිවෙයි

(20.08.2020 – 13:00 +0530 – sinhala.adaderana.lk)

ජාතික ආරක්ෂාව සතිපතා සාකච්ඡාවට බඳුන් කෙරෙන බුද්ධි සමාලෝචනය රැස්වීම 2018 වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු විධිමත්ව පවත්වා නැති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වී තිබේ.

ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (19) 14 වන දිනටත් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සාක්ෂි ලබාදුන් අවස්ථාවේ වැඩිදුරටත් හෙළිදරව් වුයේ ඉකුත් වසරේ අප්‍රේල් 04 වන දා ප්‍රහාරයක් සම්බන්ධයෙන් විදෙස් බුද්ධි අංශයකින් කළ පුර්ව දැනුම්දීම පිළිබද ඔහු විසින් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කර නොමැති බවය.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටියේ පාස්කු ප්‍රහාරයට පෙර අප්‍රේල් මස 16 වන අඟහරුවාදා දින සතිපතා පැවැත්විය යුතු බුද්ධි සමාලෝචන රැස්වීම පැවැත්වුනේ ද? යන්නය.

එයට පිළිතුරු ලබාදුන් ජයවර්ධන මහතා පැවසුවේ අදාළ රැස්වීම එදින නොපැවැත්වුණු අතර අප්‍රේල් 15 දින ජාතික බුද්ධි ප්‍රධානි කාර්යාලයෙන් තමන්ට ලද කෙටි පණිවුඩයක අප්‍රේල් 16 දින බුද්ධි සමාලෝචන රැස්වීම නොපැවැත්වෙන බවත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සුබ පැතුම් ද එක්කරන බව සඳහන්ව තිබූ බවත්ය.

2018 වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු විධිමත්ව බුද්ධි සමාලෝචනය රැස්වීම් නොපැවැත්වුණු බව එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළ ජයවර්ධන මහතා පෙන්වා දුන්නේ එම වර්ෂයේ නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවල පැවතියේ මාසයටම එක් බුද්ධි සමාලෝචන රැස්වීමක් පමණක් බවය.

එසේම 2019 වර්ෂයේ ජනවාරි මාසය තුළ කිසිදු බුද්ධි සමාලෝචන රැස්වීමක් නොපැවත්වුණු අතර පෙබරවාරි මාසයේ බුද්ධි සමාලෝචනය රැස්වීම් 02 ක් සහ මාර්තු මාසයේ එක් බුද්ධි සමාලෝචනය රැස්වීමක් පැවතියද ඒවාට ආරක්ෂක ලේකම්වරයා සහභාගී නොවු අතර ජාතික බුද්ධි ප්‍රධානිගේ මුලිකත්වයෙන් එම රැස්වීම පැවති බවට ජයවර්ධන මහතා සාක්ෂි ලබාදුන්නේය.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ අප්‍රේල් 04 දින විදෙස් බුද්ධි අංශයකින් ලද ප්‍රහාරයක් පිළිබද පුර්ව දැනුවත් කිරීමේ තොරතුර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කළේද? යන්නයි.

එයට පිළිතුරු දුන් ජයවර්ධන මහතා පැවසුවේ අප්‍රේල් 04 දින ලද විදෙස් බුද්ධි අංශ තොරතුර බුද්ධි තොරතුරක් බවට පරිවර්ථනය කර අප්‍රේල් 09 දින පොලිස්පතිවරයාට යැවීමෙදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ද එහි පිටපතක් යැවු බවය.

කෙසේනමුත් අප්‍රේල් 04 දින ලද ප්‍රහාරයක් පිළිබද පුර්ව දැනුවත් කිරීමේ අදාළ තොරතුර සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයා හෝ එම අංශ තමන් විසින් දැනුවත් නොකළ බව නිලන්ත ජයවර්ධන මහතා පිළිගනු ලැබීය.

මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ප්‍රශ්න කර සිටියේ අප්‍රේල් 04 දින විදෙස් බුද්ධි අංශ පුර්ව දැනුවත් කිරීමක් සිදුකිරීමෙන් පසු වගකිවයුතු අංශ වෙත වාචිකව සිදුකළේ යැයි සාක්ෂිකරු පවසන වාර්තා කිරීම් ලිඛිතව ද සිදුකළේද? යන්නයි.

එයට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා කියා සිටියේ බොහෝ කරුණු ලිඛිතව වාර්තා කිරීමක් සිදුනොකළ අතර Whatsapp සහ දුරකථන මාර්ගයෙන් වාචිකව පමණක් කරුණු වාර්තා කිරීම් සිදුකළ බවය.

මෙහිදී කොමිසමේ සභාපතිවරයා යළි විමසා සිටියේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස ඔබ එවකට ආරක්ෂක ලේකම්වරයා වූ හේමසිරි ප්‍රනාන්දු සමග ඉකුත් වසරේ අප්‍රේල් 19 දිනය තුළ තෙවරක් දුරකථන ඇමතුම් ගෙන කුමන කරුණක් පිළිබඳව සාකච්ඡා කළේද යන්නයි.

අදාළ දුරකථන ඇමතුම් තුළ කුමන කරුණු සාකච්ඡා කළේදැයි තමන්ට මතක නැති බව ජයවර්ධන මහතා එහිදී සභාපතිවරයාට පිළිතුරු ලබාදුන්නේය.

එහිදී කොමිසමේ සභාපතිවරයා පෙරළා ප්‍රශ්න කළේ ඇතැම් දුරකථන ඇමතුම්වල අන්තර්ගතය මතක තිබෙන්නත්, තවත් දුරකථන ඇමතුම්වල අන්තර්ගතය මතක නැති වීමටත් හේතුව කුමක්ද? යන්නයි.

එහිදී නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ අදාළ කාල පරාසය තුළ බොහෝ ඇමතුම් තමන් ලබාගෙන ඇති බැවින් සෑම ඇමතුමකම අන්තර්ගත වූ කරුණු මතකයේ නොමැති බවය ෴

**************************************************

මඩ වගුරක් බවට පත්වූ පුළියන්කුලම වැව

(20.08.2020 – 14:01 +0530 – hirunews.lk/sinhala)

ජලජ ශාඛවලින් පිරී ගිය මඩ වගුරක් බවට පත්ව ඇති පුළියන්කුලම වැවේ පිටවාන සොරොව්ව, බිසෝකොටුව වැනි ප්‍රධාන අංගයන් පවා කැඩී ගොස් ඉතිරිව ඇත්තේ නටඹුන් ගොඩක්.

30 වසරක් පුරා පැවති කුරිරු යුද්ධයෙන් බැට කෑ ප්‍රදේශවාසීන් සිය ගම් බිම් අතහැර යාමේ ප්‍රතිඵලයක් ලෙස වැවට සහ කුඹුරුයායට මේ ඉරණම අත් වූ බවට ගම්වැසියන් පවසනවා.

වැව ගොඩබිම හේතුවෙන් ප්‍රදේශවාසීන්ට ගොවිතැන් බතක් සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

වැවේ ජලය උපයෝගී කරගනිමින් අතීතයේ පටන් කෘෂි කර්මාන්තයේ නියැලුණු මේ ජනතාවට වැවට යාබද අක්කර 40 කට ආසන්න කුඹුරු යායද මේ වන විට අහිමි වී ගිහින්.

ඔවුන් චෝදනා කරන්නේ පෞද්ගලික ආයතන හිමිකරුවෙකු එම භූමිය අත්පත් කරගෙන සිටිනා බවටයි.

මෙම ගැටලු සම්බන්ධව අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කළද පළක් නොවූ බවට ගම්වාසීන් චෝදනා කරනවා.

***********************************************

සිංහරාජය ගැන කතා වූ, මාර්ගය ඉල්ලා, ලංකාගම ප්‍රදේශවාසීන් විරෝධතාවක

(20.08.2020 – 13:15 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – නෙළුව සිට ලංකාගම දක්වා දිවෙන කිලෝමීටර් 18 ක මාර්ගය සැලසුම් කර ඇති පරිදි සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් නෙළුව – ලංකාගම ප්‍රදේශවාසීන් අද (20) විරෝධතාවක නිරත වුණා.

මෙම මාර්ග ව්‍යාපෘතිය හේතුවෙන් සිංහරාජ වනාන්තරයට හානි සිදුවන බව පවසමින් සමාජ මාධ්‍ය ජාලාවල පසුගියදා විවිධ ප්‍රචාර පළ වූ අතර, මහාමාර්ග අමාත්‍යාංශය පසුව නිවේදනය කළේ මාර්ගයේ සංවේදී පරිසර කලාපය තුළ පිහිටි කිලෝමීටර් 1.1 ක කොටසේ කිසිදු ඉදිකිරීමක් සිදුකර නොමැති බවයි.

එසේම, එවැනි කටයුත්තක් ඉදිරියේදී හෝ සිදු නොකරන බවද මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළා.

ගම්වාසීන් කරන ලද ඉල්ලීම පරිදි මෙම මාර්ගය සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇති බවත්, පරිසරයට හානිවන පරිදි මෙම මාර්ගය තැනීම සිදු නොකරන ලෙසට ජනාධිපතිවරයා වනජීවි හා වනසම්පත් අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇති බවත් මහාමාර්ග අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත්, ලංකාගම ප්‍රදේශවාසීන් අද (20) විරෝධතාවයේ නිරත වෙමින් චෝදනා කළේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක අවශ්‍යතාව මත මාර්ගය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකෙරෙන බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *