නවක මන්ත්‍රීවරු 81 ක් හෙට (20) මුල්වරට පාර්ලිමේන්තුවට

නවක මන්ත්‍රීවරු 81 ක් හෙට (20) මුල්වරට පාර්ලිමේන්තුවට

ළමයෙකු අපයෝජනය කිරීමේ සිද්ධියකට උපකාරක පන්ති වල්ගුරා අත්අඩංගුවට

කොරෝනා නිසා නිවාඩු දුන් රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් යළි ආරම්භ කිරීමට උපදෙස්

“අවදානමට පෙර සූදානම් වන්න” ඇමති ඩලස්ගෙන් ලංවිමට උපදෙස්

ජනපති විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම, හෙට (20) පස්වරු 3 ට පාර්ලිමේන්තුවේදී

පිටිපනට ගිනි අවි ප්‍රවාහනයට සහය දුන් පුවත්පත් මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

නියොමාල් රංගජීවගෙන් කොළඹ මහාධිකරණයේදී ප්‍රකාශයක්

****************************************************

නවක මන්ත්‍රීවරු 81 ක් හෙට (20) මුල්වරට පාර්ලිමේන්තුවට

(19.08.2020 – 16:23 +0530 – hirunews.lk/sinhala)

හෙට (20) මුල්වරට පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරු 81 දෙනා

හෙට (20) රැස්වන මෙරට 09 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය පිළිබඳව මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

අභිනව පාර්ලිමේන්තුව සඳහා 2020 මහා මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව නවක මන්ත්‍රිවරයන් 65 ක් මහජන ඡන්දයෙන් තේරීපත්ව සිටීමත් විශේෂත්වයක්.

මීට අමතරව සෑම පක්ෂයක්ම ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස ලැබෙන ජාතික ලැයිස්තුවෙන්ද නවක මන්ත්‍රිවරු 16 දෙනෙකු මේ වනවිට යෝජනා වී තිබෙනවා.

ඉන් ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් නවක මන්ත්‍රිවරුන් 12 ක් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් සහ සමඟි ජන බලවේගයෙන්, ඉලංගෙයි තමිල් අරසු කචිචි , අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය, මෙන්ම ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එක් මන්ත්‍රිවරයකු බැගින් පත්ව සිටිනවා.

ඒ අනුව සමස්තයක් වශයෙන් දැනට නවවන පාර්ලිමේන්තුව පළමු වරට නියෝජනය කරන නවක මන්ත්‍රි සංඛ්‍යාව 81 ක්.

එක්සත් ජාතික පක්ෂයට සහ අපේ ජනබල පක්ෂයටද ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රිවරයා බැගින් හිමි වූවද, එම නම් කිරීම් තවමත් සිදු කර නැති බැවින් හෙට පාර්ලිමේන්තු සභා ගර්භයේ එම අසුන් හිස්ව පවතිනු ඇති.

2020 – පාර්ලිමේන්තුවට මහජන ඡන්දයෙන් තේරි පත්වූ නවක මන්ත්‍රිවරු (65)

මහමැතිවරණයෙන්

කොළඹ දිස්ත්‍රික්කය – පොදුජන පෙරමුණ

ප්‍රදීප් උඳුගොඩ (91958)
මධුර විතානගේ (70205)
ප්‍රේමනාත් සී. දොලවත්ත (69055)
ජගත් කුමාර (47693)

කළුතර දිස්ත්‍රික්කය – පොදුජන පෙරමුණ

සංජීව එදිරිමාන්න (105973)
අනුප පැස්කුවල් (97777)
ලලිත් එල්ලාවල (76605)

ගම්පහ දිස්ත්‍රික්කය – පොදුජන පෙරමුණ

නාලක ගොඩහේවා (325479)
සහන් ප්‍රදීප් විතාන (97494)
කෝකිලා හර්ෂණි ගුණවර්ධන (77922)
නලින් රුවන්ජීව ප්‍රනාන්දු (69800)
මිලාන් සජිත් ජයතිලක (68449)
උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ (67756)

මහනුවර දිස්ත්‍රික්කය – පොදුජන පෙරමුණ

වසන්ත යාපා බණ්ඩාර (108940)
ගුණතිලක රාජපක්ෂ (49317)
උදයන චමින්ද කිරිඳිගොඩ (39904)

නුවරඑළිය දිස්ත්‍රික්කය – පොදුජන පෙරමුණ

ජීවන් තොන්ඩමන් (109155)
මරුධපාන්ඩි රාමේෂ්වරන් (57167)
නිමල් පියතිස්ස (51225)

සමගි ජන බලවේගය

මයිල්වාගනම් උදයකුමාර් (68119)

මාතලේ දිස්ත්‍රික්කය – පොදුජන පෙරමුණ

නාලක බණ්ඩාර කෝට්ටේගොඩ (71404)
ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් (67776)

ගාල්ල දිස්ත්‍රික්කය – පොදුජන පෙරමුණ

සම්පත් අතුකෝරළ (128331)
ඉසුරු දොඩංගොඩ (71266)
ශාන් විජයලාල් ද සිල්වා (67793)

මාතර දිස්ත්‍රික්කය – පොදුජන පෙරමුණ

නිපුන ආර්. රණවක (131010)
කාරුණාදාස කොඩිතුවක්කු (114319)
වීරසුමන වීරසිංහ (77968)

හම්බන්‍තොට දිස්ත්‍රික්කය – පොදුජන පෙරමුණ

වෛද්‍ය උපුල් ගලප්පත්ති (63369)
අජිත් රාජපක්ෂ (47375)

අනුරාධපුර දිස්ත්‍රික්කය – පොදුජන පෙරමුණ

මහාචාර්ය චන්න ජයසුමන (133980)
උද්දික ‍ප්‍රේමරත්න (133550)
එච්. නන්දසේන (53618)
කේ.පී.එස් කුමාරසිරි (49030)

සමගි ජන බලවේගය

රෝහණ බණ්ඩාර විජේසුන්දර (39520)

පොලොන්නරුව දිස්ත්‍රික්කය – පොදුජන පෙරමුණ

අමරකීර්ති අතුකෝරළ (45939)

සමගි ජන බලවේගය

කිංග්ස් නෙල්සන් (22393)

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – පොදුජන පෙරමුණ

කපිල අතුකෝරළ (30056)

මඩකලපුව දිස්ත්‍රික්කය – තමිල් මක්කල් විඩුදලෙයි පුලිකල්

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (54198)

ඉලංගෙයි තමිල් අරසු කච්චි

සානක්‍ය රාහුල් (33332)

ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය

අහමඩ් නසීර් (17599)

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය – පොදුජන පෙරමුණ

ඩී.සී වීරසිංහ (56006)
තිලක් රාජපක්ෂ (54203)

සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය

මොහොමඩ් මුෂාරෆ් (18389)

බදුල්ල දිස්ත්‍රික්කය – පොදුජන පෙරමුණ

මේජර් සුදර්ශන් දෙනිපිටිය (71768)
චාමර සම්පත් දසනායක (66393)
ජනක තිස්සකුට්ටිආරච්චි (50151)

මොනරාගල දිස්ත්‍රික්කය – පොදුජන පෙරමුණ

ශෂීන්ද්‍ර රාජපක්ෂ (104729)
කුමාරසිරි රත්නායක (91530)
වෛද්‍ය ගයාෂාන් නවනන්ද (45384)

සමගි ජන බලවේගය

ධර්මසේන විජේසිංහ (20662)

රත්නපුර දිස්ත්‍රික්කය – පොදුජන පෙරමුණ

ගාමිණි වලේබොඩ (85804)
අකිල එල්ලාවල (71179)
මුදිතා ප්‍රශාන්ති ද සොයිසා (65923)

කෑගල්ල දිස්ත්‍රික්කය – පොදුජන පෙරමුණ

රාජිකා වික්‍රමසිංහ (68802)
එල්.එම් සුදත් මංජුල (45970)
උදයකාන්ත ගුණතිලක (46628)

වන්නි දිස්ත්‍රික්කය – ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය

කුලසිංහම් දිලීපන් (3203)

යාපනය දිස්ත්‍රික්කය – දෙමල ජනතා ජාතික සන්ධානය

සී.වී විග්නේෂ්වරන් (21554)

පුත්තලම දිස්ත්‍රික්කය – පොදුජන පෙරමුණ

චින්තක අමල් මායාදුන්න (46058)

මුස්ලිම් ජාතික සන්ධානය

අබ්දුල් අලි සබ්රි මොහොමඩ් (33509)

කුරුණෑගල දිස්ත්‍රික්කය – පොදුජන පෙරමුණ

ආචාර්ය ගුණපාල රත්නසේකර (141991)
අසංක නවරත්න (82779)
සමන්ප්‍රිය හේරත් (66814)
යූ.කේ සුමිත් උඩුකුඹුර (51134)

ජාතික ලැයිස්තුවෙන් මුල් වරට පාර්ලිමේන්තු පැමිණෙන මන්ත්‍රි නාමාවලිය පහතින් :

ජාතික ලැයිස්තුවෙන් තේරි පත්වූ නවක මන්ත්‍රිවරු (16)

පොදුජන පෙරමුණ – 12

1 නීතිඥ සාගර කාරියවසම් (ලේකම් – පොදුජන පෙරමුණ)
2 අජිත් නිවාඩ් කබ්රාල් (හිටපු මහ බැංකු අධිපති)
3 ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි
4 ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ
5 විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක (හිටපු අමාත්‍ය දිවංගත සාලින්ද දිසානායක මහතාගේ භාර්යාව)
6 ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර
7 මහාචාර්ය චරිත හේරත්
8 ගෙවිඳු කුමාරතුංග (යුතුකම සංවාද කවය)
9 යදාමිණි ගුණවර්ධන (ඉංජිනේරු)
10 ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන් (හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර)
11 විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ (හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර)
12 මොහොමඩ් ෆලීල් මර්ජාන් (ව්‍යාපාරික)

සමගි ජන බලවේගය – 01

ඩයනා ගමගේ(නීතිවේදිනී)

ඉලංගෙයි තමිල් අරසු කච්චි – 01

තවරාජා කලෛයි අරසන්

අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය – 01

සෙල්වරාසා ගජේන්දිරන්

ජාතික ජන බලවේගය – 01

ආචාර්ය හරිනි අමරසූරිය

***********************************************

ළමයෙකු අපයෝජනය කිරීමේ සිද්ධියකට උපකාරක පන්ති වල්ගුරා අත්අඩංගුවට

(19.08.2020 – 16:29 +0530 – hirunews.lk/sinhala)

ළමයෙකු අපයෝජනය කිරීමේ සිද්ධියකට උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට

12 හැවිරිදි පිරිමි දරුවෙකුට අපයෝජනයට ලක්කළ 29 හැවිරිදි වියේ පසුවන පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2018 වසරේදී අදාළ සිදුවීම වී ඇති අතර එම දරුවා විසින් සිය මිතුරෙකුට මෙම සිදුවීම පිළිබඳව ප්‍රකාශ කර ඇති අතර අනතුරුව දරුවා සිය දෙමව්පියන්ට මේ පිළිබඳව ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මේ පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කිරීමෙන් අනතුරුවයි සැකකාර ගුරුවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දරුවාගේ පියා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු වන අතර ගණිතය උපකාරක පන්ති සඳහා ඔහුගේ මිතුරෙකු මාර්ගයෙන් මෙම සැකකාර ගුරුවරයා අදාළ නිවසට පැමිණ තිබෙනවා.

දරුවාගේ කාමරය තුළම උපකාරක පන්තිය පැවැත්වීම සඳහා සඳහා මව්පියන් විසින් අවසරය ලබා දී ඇත්තේ ඒ අනුවයි.

මුල් කාලයේදී දරුවාගේ කාමරයේ දොර ජනෙල් විවෘතව තබා උපකාරක පන්ති පැවත්වුවද පසුකලෙක දොර ජනෙල් වසා දමා ඉගැන්වීම් කටයුතු කිරීමටයි සැකකාර ගුරුවරයා කටයුතු කර ඇත්තේ.

ඒ අනුව සැකකාර ගුරුවරයා විසින් ළමයා අකමැත්ත ප්‍රකාශ කළද ලිංගික ක්‍රියාකාරකම් සඳහා පොළොඹවාගැනීමට කටයුතු කර තිබෙනවා.

ඒ සඳහා ළමයාට අසභ්‍ය වීඩියෝ පට පෙන්වීමට කටයුතු කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

අපයෝජනය සිදුවන අවස්ථාවන්වලදී ළමයාගේ මව සහ මිත්තණිය ද නිවසේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

එක් අවස්ථාවක සැකකරු විසින් දරුවා අපයෝජනය කරමින් සිටියදී මව තේ රැගෙන කාමරයට පැමිණියද එය මවගේ විමර්ශනයට ලක් නොවූ බවයි දරුවා සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙන්නේ මව්පියන් වඩා සැළකිලිමත් වූයේ නම් දරුවා මෙම අපයෝජනයෙන් මුදා ගැනීමට ඉඩ තිබූ බවයි.

ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් මව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි සිදුවීම් පිළිබඳව වඩාත් සැළකිලිමත් ලෙස කටයුතු කරන ලෙසයි ෴

**********************************************

කොරෝනා නිසා නිවාඩු දුන් රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් යළි ආරම්භ කිරීමට උපදෙස්

(19.08.2020 – 17:12 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග නිවාඩු ලබා දුන් සිසුන් සංඛ්‍යාව 200 ට වැඩි රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, එම අමාත්‍යාංශය විදුහල්පතිවරුන් ඇතුළු බලධාරින්ට උපදෙස් ලබා දී ඇත්තේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය හැකි නම්, එවැනි පාසල්වල සියලු ශ්‍රේණි සඳහා පාසල් යළි ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසයි ෴

***********************************************

“අවදානමට පෙර සූදානම් වන්න” ඇමති ඩලස්ගෙන් ලංවිමට උපදෙස්

(19.08.2020 – 17:26 +0530 – hirunews.lk/sinhala)

මුළු දිවයිනටම සිදුවූ විදුලිය බිඳ වැටීම අත්වැරදීමක් නිසා සිදුවූවක් බව විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි සභාපති විජිත හේරත් මහතා මේ බව කියා සිටියේ හැටන් – පොල්පිටිය විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන මධ්‍යස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටින නිලධාරින්ට අමතරව, විශේෂ කාර්ය බලකායේ නිලධාරින් යෙදවීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා දැනුවත් කර තිබෙනවා.

එසේම, ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මක වන පරිදි තර කරන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාල අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනනය වන විදුලිය ජාතික පද්ධතියට එක් කරන තෙක් ඊයේ (18) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දින 04 ක කාලයකට පැය (1) බැගින් දිවයිනම ආවරණය වන පරිදි විදුලිය කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කරනු ලැබුවා.

ඒ අනුව ඒ, බී, සී, ඩී ලෙස දිවයිනම ආවරණය වන පරිදි කලාප 04 කට බෙදා පස්වරු හයේ (06) සිට රාත්‍රි දහය (10) දක්වා අවස්ථා 04 කදී මෙලෙස විදුලිය විසන්ධි කෙරෙනවා.

*************************************************

ජනපති විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම, හෙට (20) පස්වරු 3 ට පාර්ලිමේන්තුවේදී

(19.08.2020 – 17:37 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (20) පස්වරු 3 ට පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නියමිත වනවා.

නවවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම ද අතිගරු ජනාධිපතිතුමාගේ අතින් සිදුවන බවයි නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ.

අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණීමේ උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට එතුමාගේ උපදෙස් මත, කටයුතු යොදා ඇති අතර, ඒ අනුව ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වීම විශේෂත්වයක්.

ඒ වෙනුවට එතුමා පිළිගැනීම සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපිට දී ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් සංස්කෘතික අංග කිහිපයකින් සමන්විත අචාර දැක්වීමක් සිදු කෙරෙන බවයි සඳහන් වන්නේ.

එදින ප.ව. 02:15 ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදු වන අතර, එහිදී පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සම්ප්‍රාප්තිය සිදු වීමට නියමිතයි.

අනතුරුව නව කථානායකවරයාගේ පැමිණීමෙන් පසු, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පැමිණීම සිදු වන අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ ඉන් අනතුරුව‍යි.

එහි දී නව කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසල දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට නියමිතයි.

වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටු කරගත් කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැදවා ගෙන යනු ලබන්නේ ඉන් අනතුරුවයි.

එම අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල දී කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් ජයමංගල ගාථා ගායනා කර අතිගරු ජනාධිපතිතුමාට ආශිර්වාද කිරීමට නියමිතයි.

නවවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ කටයුතුවලට අදාළව ත්‍රිවිධ හමුදාව සහ පාසල් සිසුවියන් අද (19) දවස පුරා පාර්ලිමේන්තුව පරිශ්‍රයේ සිට පෙර පුහුණුවීම්වල නිරත වූවා.

එමෙන්ම නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමට පෙරාතුව හෙට (20) පෙරවරු 09:30 ට නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි රැස්වීම ආරම්භ වන අතර, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 1 ට අනුකූලව කාථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදුවනවා.

අනතුරුව නව කථානායකවරයා ඉදිරියේ සියලුම අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය නිල ප්‍රතිඥාව හෝ දිවුරුම් දීම සිදු කිරීමටයි නියමිතව් ඇත්තේ.

නියෝජ්‍ය කථානායකවරයෙකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු පත්කර ගැනීම ඉන් අන්තුරුව සිදුවනවා.

එහිදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි යන කවර හෝ එක් භාෂාවකින් දිවුරුම හෝ ප්‍රතිඥාව ලබා දීමට හැකියාව පවතින අතර, භාෂාත්‍රයෙන්ම පිළියෙල කරන ලද ඊට අදාල ලේඛණ සභා මේසය මත තැබීමටයි කටයුතු සකස් කර ඇත්තේ ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

****************************************************

පිටිපනට ගිනි අවි ප්‍රවාහනයට සහය දුන් පුවත්පත් මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

(19.08.2020 – 17:59 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම – පිටිපන ප්‍රදේශයෙන් සොයා ගත් ටී-56 වර්ගයේ ගිනි අවි රැගෙන ඒමට සහ එම ගිනි අවි විවිධ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් වෙත ලබාදීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් පුවත්පත් මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා දිනයේදී 30 හැවිරිදි මෙම පුවත්පත් මාධ්‍යවේදියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දැනට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ගෙන් අනාවරණ කර ගත් කරුණු වලට අනුවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් අදාළ පුවත්පත් මාධ්‍යවේදියා කොරෝනා වසංගතය සමයේ වෑන් රථයක ‘මාධ්‍ය’ යනුවෙන් සඳහන් පුවරුවක් ද ප්‍රදර්ශනය කරමින් තම මාධ්‍යවේදි හැඳුනුම්පත අවභාවිතා කර මෙලෙස ගිනි අවි ප්‍රවාහනය කිරීමට සහය දී තිබෙනවා.

ඒ අනුව, සැකකරු රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවාගෙන විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නඩු භාණ්ඩ ලෙස තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ජාවාරම් කිරීමේ සිද්ධියට තවත් සැකකරුවෙකු අතුරුගිරිය පොලීසිය මගින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර සහකාරවරුන් දෙදෙනෙකු (2) මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් එක් අයෙකු අද අත්අඩංගුවට ගත් සැකකරුට අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති බවටයි පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.

එමෙන්ම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිදුකර ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (18) අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

එසේම, මීරිගම – නාල්ල ප්‍රදේශයේ ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලා එහි නිෂ්පාදනය කළ රිවෝල්වරයක්, ගල්කටස් වර්ගයේ ගිනි අවි දෙකක් (2), ජීව උණ්ඩ 68 ක් සහ යුද හමුදා, මෙන්ම පොලිස්, නිල ඇඳුම් මැසීමට යොදා ගන්නා රෙදි තොගයක් ද සොයා ගැනීමට පොලීසිය අද සමත් වුණා.

එහිදී සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර, ඔහු තමන් විසින් පවත්වාගෙන ගිය ගරාජයක මෙම ගිනි අවි නිපදවා තිබෙනවා.

ඔහු මීට පෙර ද ගිනි අවි නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ අයෙක් ෴

**********************************************

නියොමාල් රංගජීවගෙන් කොළඹ මහාධිකරණයේදී ප්‍රකාශයක්

(19.08.2020 – 19:25 +0530 – hirunews.lk/sinhala)

2015 වසරේ අප්‍රේල් 6 වනදා එවක පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර තමාට කතා කොට වැලිකඩ ගැටුම ඇති වූ අවස්ථාවේ එම ස්ථානයට ගියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නියමයකට අනුව බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටියේ යැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ප්‍රකාශ කළා.

ඒ කොළඹ මහාධිකරණය හමුවේ අද (19) ප්‍රකාශයක් සිදුකරමින්.

2012 වසරේ වැලිකඩ බන්ධනාගරය තුළ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් 8 දෙනෙකු ඝාතනය කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති නඩුවේ ප්‍රධාන විත්තිකරු ඔහු වන අතර, අද (19) මෙම නඩු විභාගය පැවැත්වුණේ ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදීයි.

මෙහිදී විත්ති කූඩුවේ සිට සිය විත්ති වාචිකය ඉදිරිපත් කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියොමාල් රංගජිව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට සම්බන්ධ වීමෙන් පසුව තමන් මත්ද්‍රව්‍ය වැටලීම් දහසකට අධික සංඛ්‍යාවකට සහභාගි වී ඇතැයි ද සඳහන් කළා.

මෙම සිද්ධියෙන් පසුව තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන මෙම නඩුවට පැටලවීමට ක්‍රියා කෙරුණු බවටයි ඔහු අවධාරණය කළේ.

එසේම, වැලිකඩ බන්ධනාගාරය තුළ ගැටුම ඇති වූ අවස්ථාවේදි, තමන් එම ස්ථානයේ සිටි බවට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ඔහු සඳහන් කළා.

විත්තිකාර නියෝමාල් රංගජීව අධිකරණයේදී වැඩිදුරටත් සඳහන් කළේ අසාධාරණ ලෙස තමන්ව මෙම නඩුවට පටලවා ඇති බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • About the power outage: At last Electricity Board confesses that the power outage was due to human error during maintenance. We wonder whether they are jumping the gun to camouflage an attempt to sabotage the system, before it is discovered by the investigating team. It is indicative of systemic sabotaging of the electrivity generating and distribution machinery over the years by the very people that manage these systems in order to pass on commercial advantages to private power suppliers. Given that the past media revelations that senior managers and even former ministers have been maintaining foreign accounts containing vast amounts of money, I am inclined to think that even former ministers had been involved in graft taking arrangement with private suppliers. All this points to regular sabotaging of the system for commerical and political gain by its senior management.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *