දේශීය කර්මාන්ත නගා සිටුවීමට පියවර – ජනාධිපතිතුමා නිලධාරීන්ට දුන් උපදෙස්

දේශීය කර්මාන්ත නගා සිටුවීමට පියවර – ජනාධිපතිතුමා නිලධාරීන්ට දුන් උපදෙස්

අපේ ජනබල පක්ෂයේ නියෝජිතයින් අදත් මැතිවරණ කොමිසමට

කෝපා, කෝප් සභාපති තනතුරු විපක්ෂය ඉල්ලයි

කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් ප්‍රකාශක ; උදය ගම්මන්පිල සහ වෛද්‍ය රමේෂ් පතිරණ රජයේ සම-කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස පත් කරයි

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උද්ඝෝෂණයක

නිලන්ත ජයවර්ධනගේ තාක්ෂණික සාක්ෂිය

රාජිත ඇතිකළ ඖෂධ මාෆියාව

රාජ්‍ය බැංකු හතරේ (4) අක්‍රමිකතා සෙවීමට කමිටුවක් පත් කෙරේ

මීරිගම ප්‍රදේශයේ ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලයි

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට කැබිනට් අනුකමිටුවක්

******************************************

දේශීය කර්මාන්ත නගා සිටුවීමට පියවර – ජනාධිපතිතුමා නිලධාරීන්ට දුන් උපදෙස්

(19.08.2020 – 14:30 +0530 – hirunews.lk/sinhala)

දේශීය කර්මාන්ත නගා සිටුවීම සඳහා නිලධාරීන් නිර්මාණශීලිව ක්‍රියාකරමින් රජයේ තීරණ බිම් මට්ටමින් ක්‍රියාත්මක වන්නේදැයි පසුවිපරම් කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

නීති රීති වලට කොටු වී සාම්ප්‍රදායික කර්මාන්ත බිද වැටීමට ඉඩදිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අවධාරණය කළේ දිගුකාලීනව නිසි අවධානයට ලක් නොවූ පාරම්පරික කර්මාන්ත සංවර්ධනය සැලසුම්සහගතව කළයුතු කාර්යයක් බවයි.

දේශීය කර්මාන්ත සංවර්ධනය සඳහා නිලධාරීන් නිර්මාණශීලිව ක්‍රියාකිරීම අවශ්‍ය බවත් බිම් මට්ටමේ ගැටළු කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමුකර රජය ගන්නා තීරණ බිම්මට්ටමින් ක්‍රියාත්මක වන්නේදැයි පසුවිපරම් කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

මැටි ප්‍රවාහනයේදී සහ මැටි ලබාගැනීමේදී කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටළු සොයා බැලීමටත් දැනට වසා දමා ඇති මැටි ආශ්‍රිත නිෂ්පාදන ආයතන නැවත විවෘත කිරීමටත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

සාම්ප්‍රදායික කර්මාන්තවල වැදගත්කම පිළිබඳ පාසල් අවධියේ සිටම දරුවන්ට අවබෝධයක් ලබාදිය යුතු බවට පෙන්වා දුන් ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල සිසුන්ගේ පර්යේෂණ නිබන්ධන සඳහා ද සාම්ප්‍රදායික කර්මාන්ත පිළිබඳව අවධානය යොමුකිරීමේ වැදගත්කම පැහැදිලි කර තිබෙනවා.

හඳුන්කූරු නිෂ්පාදනයට යොදා ගන්නා බම්බු කූරු ආනයනයට වාර්ෂිකව විශාල මුදලක් වැය වන බැවින් ඒවා මෙරටදීම නිෂ්පාදනය කිරීමෙන් විදෙස් රටවලට ඇදීයන මුදල ඉතිරි කර ගැනීමට ඇති හැකියාව පෙන්වා දුන් ජනාධිපතිවරයා කෘෂිකාර්මික අගයක් නැති වගුරු බිම් වේවැල් වැනි කර්මාන්ත ක්ෂේත්‍රයේ වගාවන් සඳහා භාවිතා කිරීමට හැකියාව සොයා බලන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

දේශීය කර්මාන්ත නගා සිටුවීමේදී පළාත් අමාත්‍යාංශ, රේඛිය අමාත්‍යාංශ සමග මනා සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින් ක්ෂේත්‍රයට සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්ට වෘත්තීය වටිනාකමක් ලබාදීම විෂයභාර අමාත්‍යාංශවල වගකීම බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

***********************************************

අපේ ජනබල පක්ෂයේ නියෝජිතයින් අදත් මැතිවරණ කොමිසමට

(19.08.2020 – 13:30 +0530 – hirunews.lk/sinhala)

අර්බුදයට ලක්ව ඇති අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් අදත් (19) මැතිවරණ කොමිසම වෙත පැමිණියා.

ඔවුන් සඳහන් කළේ අද (19) දිනයේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බවයි.

ඊයේ (18) දිනයේදී ද එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී මැතිවරණ කොමිසම අපේ ජනබල පක්ෂයේ නියෝජිතයින්ට දැනුම් දී ඇත්තේ පක්ෂයේ මහලේකම් ධුරය දැරූ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට තමන්ව පත් කරන ලෙස ඉල්ලා මීට පෙර යොමු කළ ලිපිය පිළිගැනීමට සිදුවන බවයි.

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් වන ගැටළුව පිළිබදව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, නීතිපතිවරයා සමඟ ද සාකච්ඡා කළා.

එහිදී නීතිපතිවරයා දැනුම් දී තිබුණේ මැතිවරණ කොමිසම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙසයි.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට මෙතෙක් කිසිවෙකු එම පක්ෂය විසින් නම් කර නැහැ.

************************************************

කෝපා, කෝප් සභාපති තනතුරු විපක්ෂය ඉල්ලයි

(19.08.2020 – 13:33 +0530 – hirunews.lk/sinhala)

නව පාර්ලිමේන්තුවේ කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සහ කෝපා හෙවත් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ධුර, විපක්ෂයට ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට සමගි ජන බල වේගය සූදානම් වනවා.

ඊයේ (18) එම පක්ෂය මේ පිළිබඳව අවසන් තීරණයකට එළඹ ඇති අතර ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සංවිධානය අදහස් හුවමාරු කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

9 වන පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරය හෙට (20) පැවැත්වෙන අතර, එහි කටයුතු පිළිබඳව සකච්ඡා කිරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂවල මන්ත්‍රී කණ්ඩායම් එම පක්ෂවල නායකයින්ගේ ප්‍රධානත්වයෙන් අද (19) රැස්වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (19) රාත්‍රියේ රැස් වීමට නියමිතයි.

මේ අතර, සමගි ජන බලවේගයේ පාර්මේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ (18) පැවැත්වුණා.

ඒ, එහි නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී හෙට (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සම්බන්ධයෙන් අවධානය යෙමුකර තිබෙනවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට නම් කිහිපයක් යෝජනා වී ඇති අතර, ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් අද (19) පස්වරුවේ යලි රැස් වීමට නියමිතයි.

එමෙන්ම, දෙමළ ජාතික සංවිධානය සහ ජාතික ජන බලවේගය ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට අද (19) රැස්වීමට නියමිතව තිබෙනවා.

*********************************************

කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් ප්‍රකාශක ; උදය ගම්මන්පිල සහ වෛද්‍ය රමේෂ් පතිරණ රජයේ සම-කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස පත් කරයි

(19.08.2020 – 13:52 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් ප්‍රකාශක ලෙස පත් කර තිබෙනවා.

මේ අතර අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල මහතා සහ වෛද්‍ය රමේෂ් පතිරණ මහතා රජයේ සම-කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස පත් කර ඇති බවයි සඳහන් වන්නේ.

************************************************

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උද්ඝෝෂණයක

(19.08.2020 – 14:34 +0530 – hirunews.lk/sinhala)

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසළ අද (19) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.

අමාත්‍ය මණ්ඩල රැස්වීම අවසන් වී යන අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උද්ඝෝෂකයින් හමු වී ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළා.

+++++++++++++++++++++

*********************************************

නිලන්ත ජයවර්ධනගේ තාක්ෂණික සාක්ෂිය

(19.08.2020 – 14:42 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට පෙර පැවති බුද්ධි සමාලෝචන රැස්වීමේදී ඊට එක්වූ බලධාරීන්, මෙරට තුළ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එල්ල වන බවට ලද විදෙස් බුද්ධි තොරතුර පිළිබඳව අවම අවධානයක් යොමුකර ඇති බව අනාවරණය වුණා.

ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඊයේ (18) 13 වන දිනටත් සාක්ෂි ලබාදුන් අවස්ථාවේදියී.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ (18) ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ 13 වන දිනටයි.

සාක්ෂි විමසමින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළේ පසුගිය වසරේ අප්‍රේල් 9 වන දින පැවති බුද්ධි සමාලෝචන රැස්වීමට නිලන්ත ජයවර්ධන මහතා සහභාගී වූයේද යන්නයි.

එදින පෙරවරු 10 ට ආරම්භ වූ අදාළ බුද්ධි සමාලෝචන රැස්වීමට තමන් එක්වූ බවත් ඒ සඳහා එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මෙන්ම බුද්ධි සේවාවන්හි අධ්‍යක්ෂවරු, පොලිස්පතිවරයා හා ත්‍රිවිධ හමුදාපතිවරු එක්වූ බව නිලන්ත ජයවර්ධන මහතා පැවසුවා.

*************************************************

රාජිත ඇතිකළ ඖෂධ මාෆියාව

(19.08.2020 – 14:49 +0530 – hirunews.lk/sinhala)

ලංකාවට විදේශයෙන් ගෙන එන ඖෂධ මුළුමනින්ම නැවැත්වීමට කටයුතු මේ වන විටත් සැලසුම් කර ඇති අතර එහි මූලික සාකච්ඡාව ඊයේ (18) පස්වරුවේ පැවැත්වූ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු චෝදනා කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඖෂධ මාෆියාවක් ඇති කළ බවයි.

**************************************************

රාජ්‍ය බැංකු හතරේ (4) අක්‍රමිකතා සෙවීමට කමිටුවක් පත් කෙරේ

(19.08.2020 – 14:57 +0530 – hirunews.lk/sinhala)

ඉකුත් වසර පහේදී (5) රාජ්‍ය බැංකු හතර (4) තුළ සිදුවූ අක්‍රමිකතා, ඵලදායි නොවූ ක්‍රියා සහ අරමුණුවලට පටහැනිව කටයුතු කළ අවස්ථා සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි.

ඒ අනුව, කොවිඩ් 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණදෙන අභියෝග ජය ගැනීම සඳහා රාජ්‍ය බැංකු හතර (4) සහ ඊට අනුබද්ධ ආයතනවල 2015 ජනවාරි 8 වනදායින් පසු සිදුව ඇති අක්‍රමිකතා සහ ඵලදායි නොවූ ක්‍රියාවන් මෙන්ම, ගණුදෙනු විධිමත්ව අධ්‍යයනය කිරීමට මෙම සිව් (4) පුද්ගල කමිටුව පත් කර තිබෙනවා.

හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතා මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, මාස 3 ක් ඇතුළත ඉදිරිපත් කරනු ලබන නිර්දේශ සහිත වාර්තාව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මගින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති ෴

*************************************************

මීරිගම ප්‍රදේශයේ ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලයි

(19.08.2020 – 15:00 +0530 – hirunews.lk/sinhala)

මීරිගම – නාල්ල ප්‍රදේශයේ ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලා එහි නිෂ්පාදනය කළ ගිනි අවි කිහිපයක් පොලීසිය සොයා ගෙන තිබෙනවා.

රිවෝල්වරයක්, ගල්කටස් වර්ගයේ ගිනි අවි දෙකක් (2), ජීව උණ්ඩ 68 ක් සහ යුද හමුදා, මෙන්ම පොලිස්, නිල ඇඳුම් මැසීමට යොදා ගන්නා රෙදි වැටලීමේදී සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මීට අමතරව, මාංචු යුගලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාළ ගිනි අවි නිෂ්පාදනය කළ පුද්ගලයා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පවත්වාගෙන යන වාහන අලුත්වැඩියා කරන ස්ථානයෙහි මෙම ගිනි අවි නිපදවා ඇති බවයි වාර්තා වන්නේ.

************************************************

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට කැබිනට් අනුකමිටුවක්

(19.08.2020 – 15:55 +0530 – hirunews.lk/sinhala)

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට අදාලව කැබිනට් අනු කමිටුවක් නම්කර තිබෙනවා.

එහි සාමාජිකයන් වන්නේ අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස්, නිමල් සිරිපාල, අලි සබ්රි, දිනේෂ් ගුණවර්ධන සහ උදය ගම්මන්පිළ යන මහත්වරුයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *