19 අහෝසි කර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කැබිනට් අනුමැතිය

19 අහෝසි කර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කැබිනට් අනුමැතිය

‘හැට්ටයා’ ඇසුරු කළ කාන්තාවන් 6 දෙනෙකු ගැන පරීක්ෂණ

කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ රිය අනතුරකට ලක්වෙයි

නාකොටික් මත්කුඩු ජාවාරමට STF නිලධාරියෙකු අත්අඩංගුවට

අලුත් පාර්ලිමේන්තුව තරුණ වෙයි

කහ ආනයනයට සැරසේ

තවත් උපාධිධාරීන් දස දහසකට (10,000) රැකියා

වසර 30 ක් ප්‍රයෝජනයට නොගත් වලල්ලාවිට රජයේ ගොඩනැගිල්ල

පාස්කු ප්‍රහාරයේ අසම්පූර්ණ විමර්ශන වාර්තා 18 ක් නීතිපති, නැවත හරවා යවයි

ගල්නෑව ගොවීන් ජලය නොමැතිකමින් දැඩි පීඩාවකට

දිවා කාලයේ විදුලි කප්පාදුවටත් සැලසුම්

පාඨලීට ඇප – ශානි යළි දේශපාලන පළිගැනීම් කොමිසමට

*********************************************

19 අහෝසි කර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කැබිනට් අනුමැතිය

(19.08.2020 – 13:39 +0530 – hirunews.lk/sinhala)

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම මේ වනවිට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

අද (19) උදෑසන 10 ට පමණ ආරම්භ වූ කැබිනට් රැස්වීම සඳහා පළමුවරට කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත්වූ නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, ජනාධිපති නීතිඥ අලි සබ්රි යන මහත්වරු ද එක්ව සිටිනවා.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා සිදුවන බවයි ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකු සඳහන් කළේ.

එමෙන්ම, තවත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා කිහිපයකට ද කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ප්‍රවීන මාධ්‍යවේදියෙකු වන රොහාන් වැලිවිට මහතා පත් කර තිබෙනවා.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

**********************************************

‘හැට්ටයා’ ඇසුරු කළ කාන්තාවන් 6 දෙනෙකු ගැන පරීක්ෂණ

(19.08.2020 – 07:36 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 98 ක චෙක්පත් සහ හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන ‘වේයන්ගොඩ හැට්ටයා’ගේ අනියම් බිරින්දෑවරුන් හයදෙනෙකු (6) පොලිස් භාරයට ගෙන පරීක්ෂණ සිදුකරන බව මිනුවන්ගොඩ පොලීසිය පවසනවා.

කෑගල්ල, වීරගුල, වේයන්ගොඩ, කලගෙඩිහේන සහ නිට්ටඹුව ප්‍රදේශවල පදිංචි එම කාන්තාවන්ට, හැට්ටයා හෙරොයින් ජාවාරමෙන් උපයාගත් මුදල් වැයකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

සැකකරු වසර 10 කට ආසන්න කාලයක් හෙරොයින් ජාවාරමේ නිරතව ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර, ඔහුගේ සහ බිරිඳගේ මෙන්ම දරුවන් දෙදෙනාගේ (2) ද බැංකු ගිණුම් අත්හිටුවීම සඳහා පොලීසිය අධිකරණයෙන් නියෝග ලබාගෙන තිබෙනවා.

එසේම අනියම් බිරින්දෑවරුන්ගේද බැංකු ගිණුම් අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ ෴

+++++++++++++

දඹුල්ල ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී හෙරොයින් ළඟ තබාගෙන සිටි 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දඹුල්ල නගරය, සුමංගල පුර, ගල්වැටියාව, කිතුල්හිටියාව සහ දඹුළුගම යන ප්‍රදේශවල ඊයේ (18) මෙම වැටලීම සිදු කළ අතර එහිදී හෙරොයින් මිලිග්‍රෑම් 900 කට ආසන්න ප්‍රමාණයක් සොයාගනු ලැබුවා. සැකකරුවන් එම ප්‍රදේශවල පදිංචි අවුරුදු 23 ත් 30 ත් අතර වයස්වල පසුවන්නන්.

මේ අතර, බස්නාහිර පළාතේ ඊයේ (18) පස්වරු 6 සිට අද (19) උදෑසන 5 දක්වා කාලය තුළ සිදුකළ වැටලීම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 1.416 ක් සමගින් සැකකරුවන් 180 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 145 ක් සමඟින් සැකකරුවන් 10 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ ෴

******************************************

කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ රිය අනතුරකට ලක්වෙයි

(19.08.2020 – 10:22 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා එම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ වෛද්‍යවරයා වැලිපැන්න සහ කුරුඳුගහහැතැක්ම අතර කොටසේදී ඊයේ (18) මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි.

රාජකාරී සඳහා පැමිණෙමින් සිටියදී ඔහු ගමන් කළ මෝටර් රථය මාර්ගයේ එක් පසෙක පිහිටි ආරක්ෂක වැටෙහි ගැටී ඇති අතර, රියදුරාට නින්ද යාම අනතුරට හේතුව බව අනාවරණ වී තිබෙනවා ෴

***********************************************

නාකොටික් මත්කුඩු ජාවාරමට STF නිලධාරියෙකු අත්අඩංගුවට

(19.08.2020 – 10:55 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිදුකර ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඊයේ (18) මෙම උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගත් බවයි.

මොහු දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමඟ මතභේදයට තුඩු දී ඇති වැටලීම් සඳහා ගොස් ඇති බව හෙළි වී තිබෙනවා.

ඒ බව අත්අඩංගුවේ පසුවන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන්ගේ පොත් වල සටහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පසුගිය දා පැවති නඩු විභාගයේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ මෙම ජාවාරමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කිහිප දෙනෙකු ද සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව ඔහු අධිකරණයට දැනුම් දුන්නා.

මේ අතර, මීට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ ඊයේ (18) කැදවූ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් කල බවට චෝදනා එල්ල වු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාලයේ නිළධාරීන් 13 දෙනා ලබන 31 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර කිරීමට එහිදී නියෝග කෙරුණා.

එමෙන්ම, මීගමුව බන්ධනාගාරයේ සිටින රැදවියෙකු සිදුකරන හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඒ මීගමුව – දළුපොත ග්‍රාමෝදය මාවතේදී හෙරොයින් ග්‍රෑම් 11 යි මිලිග්‍රෑම් 120 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමත් සමගයි.

ඊයේ (18) අත්අඩංගුවට ගත් මෙම සැකකරු සතුව තිබී හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් 60,150 ක මුදලක් ද සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු දළුපොත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකු වන අතර ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ මීගමුව බන්ධනාගාර ගතව සිටින රැදවියෙකුගෙන් හෙරොයින් මිලදී ගැනීම සිදුකරන බවටයි ෴

************************************************

අලුත් පාර්ලිමේන්තුව තරුණ වෙයි

(19.08.2020 – 11:46 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවට මෙවර තේරීපත්වී සිටින මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය අවුරුදු 50 ට අඩු අය බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

පාර්ලිමේන්තුවට මෙවර තේරී පත්ව සිටින වයස 50 ට අඩු මන්ත්‍රීවරුන් ගණන 87 ක්.

පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ ජීව දත්ත හා තොරතුරු පාර්ලිමේන්තු නිලධාරීන් විසින් Online ක්‍රමයට ඉකුත්දා ලබාගෙන ඇති අතර ඉහත තොරතුරු අනාවරණය වී ඇත්තේ එම දත්ත විශ්ලේෂණ කිරීම මගින් බවයි සඳහන් වන්නේ.

එම දත්ත විශ්ලේෂණයට අනුව අවුරුදු 30 ට අඩු මන්ත්‍රීවරුන් පස් දෙනෙක් (05), වයස 30 හා 40 අතර මන්ත්‍රීවරුන් 21 දෙනෙක්, වයස 40 – 50 අතර 60 දෙනෙක් , වයස 50 – 60 අතර 54 දෙනෙක්, වයස 60 – 70 අතර 37 දෙනෙක් , වයස 70 – 80 අතර 09 දෙනෙක්, වයස 80 – 90 අතර තිදෙනෙක් (03) වන බවයි පාර්ලිමෙන්තු නිලධාරීන් පවසන්නේ.

මේ අතර පාර්ලිමේන්තුවට මෙවර තේරී පත්ව සිටින නවක මන්ත්‍රීවරුන් ගණන 07 ක්.

නවවැනි පාර්ලිමේන්තුවේ කාන්තාවන් 10 දෙනෙකු ද පත්ව සිටින බවයි එම නිලධාරීන් පවසන්නේ.

එය 8 වැනි පාර්ලිමේන්තුවේ සිටි කාන්තා මන්ත්‍රීවරියන් ගණනට වඩා තුන් දෙනෙකුගේ (03) අඩුවීමක්.

අටවැනි පාර්ලිමේන්තුවේ සිටි කාන්තා මන්ත්‍රීවරියන් සංඛ්‍යාව 13 ක්.

එමෙන්ම 1928 වසරේ සිට මේ දක්වා පළවු ජාතික පුවත්පත් මන්ත්‍රීවරුන්ගේ ප්‍රයෝජනය සඳහා සංරක්ෂණය කර තිබෙනවා.

පර්යේෂණ අංශය, පරිඝණක අංශය, හැන්සාඩ් දෙපාර්තමේන්තුව, නව මාධ්‍ය කුටිය මෙන්ම මාධ්‍ය සාකච්ඡා පටිගත කළ හැකි රූපවාහිනී මැදිරියකින්ද පාර්ලිමේන්තුව සමන්විතයි.

මේ සියලු පහසුකම් ජනතා බදු මුදලින් නඩත්තු කෙරෙන්නේ මන්ත්‍රීවරුන්ගෙන් ජනතාවට උපරිම සේවයක් ලබා ගැනීමේ අරමුණින්.

ඒවායින් නිසි ප්‍රයෝජන ගැනීම මන්ත්‍රීවරුන් සතු කාර්යයභාරයක්.

*************************************************

කහ ආනයනයට සැරසේ

(19.08.2020 – 11:55 +0530 – hirunews.lk/sinhala)

රට තුළ කහ හිඟයක් පවතින්නේ නම්, එම ප්‍රමාණය ආනයනය කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුව තිබෙනවා.

කුඩා වැවිළි භෝග සංවර්ධන, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ දැනට රට තුළ පවතින කහ ප්‍රමාණය සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස තමන් බලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි.

මේ අතර, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියළි කහ කිලෝ ග්‍රෑම් 807 ක් නොරොච්චෝලේ – දළුව, මන්නාරම – වන්කාලේ, ප්‍රදේශවලදී නාවික හමුදාව ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ පසුගිය සති 3 තුළදී මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියළි කහ කිලෝ ග්‍රෑම් 8360 කට වැඩි ප්‍රමාණයක් සිය භාරයට ගත් බවයි ෴

************************************************

තවත් උපාධිධාරීන් දස දහසකට (10,000) රැකියා

(19.08.2020 – 12:47 +0530 – hirunews.lk/sinhala)

තවත් උපාධිධාරීන් දස දහසකට (10,000) රැකියා ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල හමුව අවසන් වී ඉන් පිටව යන අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවයේ යෙදී සිටි උද්ඝෝෂකයන් හමුවී ඔවුන්ගේ ගැටළු අමාත්‍ය මණ්ඩලයේදී අවදානයට යොමු වූ බව ප්‍රකාශ කළා.

මේ අතර, 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ සඳහා සංශෝධන කිහිපයක් එක් කිරීමට ද සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, ලබන වසර සඳහා අයවැයක් ඉදිරිපත් කරන තුරු රජයේ වියදම් පියවා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් මගින් මුදල් වෙන් කර ගැනීමට ද අද රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා ෴

************************************************

වසර 30 ක් ප්‍රයෝජනයට නොගත් වලල්ලාවිට රජයේ ගොඩනැගිල්ල

(19.08.2020 – 12:57 +0530 – hirunews.lk/sinhala)

මේ වලල්ලාවිට – උතුම්ගම නිවාස 60 ව්‍යාපෘතියට සමගාමීව ඉදිකළ රජයේ ගොඩනැගිලි සංකීර්ණයකට අද අත්ව ඇති ඉරණමයි.

1980 ඉදිකරන ලද මෙහි ශ්‍රවණාගාරයක්, ප්‍රජා ශාලාවක්, පුස්තකාල ගොඩනැගිල්ලක්, ළමා හා මාතෘ සායනයක් සඳහා ගොඩනැගිලි වෙන්කර තිබෙනවා.

නමුත් වසර 30 ක පමණ කාලයක් භාවිතයට නොගැනීම එම ගොඩනැගිලි හේතුවෙන් අද වන විට වල් බිහි වී විනාශ වෙමින් පවතිනවා.

මේ නිසා පවුල් 400 ක් පමණ ජීවත්වන ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන්නේ තම අවශ්‍යතා ඉටුකර ගැනීමට කිලෝ මීටර් ගණනක් දුරගෙවා මතුගම නගරය දක්වා යාමට සිදුව ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

මෙම ගොඩනැගිලිවල විදුලි උපාංග සහ අනෙකුත් කොටස් මේ වන විට සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇති අතර එම පරිශ්‍රය දැන් විවිධ අපචාර කටයුතුවල නිරත පුද්ගලයන්ගේ තෝතැන්නක් වී තිබෙනවා.

විනාශ වෙමින් පවතින මෙම ගොඩනැගිලි සංකීර්ණය පිළිබඳව ජනතාව කොතෙකුත් බලධාරීන් දැනුවත් කළද ඊට නිසි අවධානයක් යොමු වී නැහැ.

කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් වැයකර ඉදිකරන ලද මෙවැනි ව්‍යාපෘති ජනතාවට ප්‍රයෝජනයක් ගතහැකි තත්ත්වයකට පත්කරගන්නා තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

**************************************************

පාස්කු ප්‍රහාරයේ අසම්පූර්ණ විමර්ශන වාර්තා 18 ක් නීතිපති, නැවත හරවා යවයි

(19.08.2020 – 12:57 +0530 – hirunews.lk/sinhala)

නිසි ලෙස විමර්ශන අවසන් නොකළ පාස්කු ප්‍රහාරය සම්බන්ධ තවත් සැකකරුවන් 18 කගේ විමර්ශන වාර්තා නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත නැවත හරවා යවා තිබෙනවා.

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය කියා සිටියේ එවැනි අසම්පූර්ණ වාර්තා 100 ක් මේ වනවිට නැවත හරවා යවා ඇති බවයි.

එමෙන්ම, අසම්පූර්ණ වාර්තා විධිමත් ලෙස සකස් කරන ලෙස ද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා ෴

***********************************************

ගල්නෑව ගොවීන් ජලය නොමැතිකමින් දැඩි පීඩාවකට

(19.08.2020 – 13:06 +0530 – hirunews.lk/sinhala)

වගාවන් සඳහා ප්‍රමාණවත් ජලය නොමැතිකමින් ගල්නෑව ප්‍රදේශයේ ගොවීන් දැඩි පීඩාවකට පත්ව සිටිනවා.

ගොවීන් පවසන්නේ වී, සෝයා, උඳු, බඩඉරිඟු සහ ලූණු ඇතුළු වගාවන් මේ වන විට විනාශ වෙමින් ඇති බවයි.

ගල්නෑව – කරුවලගස්වැව, හල්මිල්ලෑව, අමුණුගම සහ තොරනේගම යන ගම්මානවල ගොවීන් අක්කර 350 කට ආසන්න භූමි බාගයක මෙවර වී, සෝයා, උඳු, බඩ ඉරිඟු සහ ලූණු වගාකළා.

නමුත් ප්‍රමාණවත් ජලය නොමැති නිසා වී, ලූණු ඇතුළු අනෙකුත් වගාවන් මේ වන විට විනාශවීමේ තර්ජනයකට ලබා තිබෙනවා.

වගාවන් සඳහා මුර ක්‍රමයකට පැයක පමණ කාලයක් වගාවන් සඳහා ජලය සැපයුවද එය ප්‍රමාණවත් නොවන බවට ගොවීන් මැසිවිලි නගනවා.

කනකර ආභරණ පවා උගසට තබමින් ගොවිතැන් කටයුතුවල නිරතව සිටින ගල්නෑවේ ගොවීන් ජලය නොමැතිකමින් පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි.

කලාවැවේ සිට මීගලෑව දක්වා ජලය රැගෙන යන යෝද ඇල මගින් බුල්නෑව ප්‍රදේශයේ සිට කිලෝ මීටර් 5 ක පමණ දුරක් කුඩා ඇල මාර්ගයකින් මෙම වගාවන් සඳහා මුර ක්‍රමයට ජලය ලැබෙන නමුත් යෝද ඇලේ ජලය පහළ ඇති වැව් සඳහා නිකරුණේ ගලා යන බවට ගොවීන් මැසිවිලි නගනවා.

තමන් මුහුණ දී සිටින ජල ගැටලුවට වාරි බලධාරීන් නිසි අවධානයක් යොමු නොකරන බව ගොවීන්ගේ චෝදනාවයි.

**************************************************

දිවා කාලයේ විදුලි කප්පාදුවටත් සැලසුම්

(19.08.2020 – 13:21 +0530 – hirunews.lk/sinhala)

අවශ්‍ය වුවහොත් රාත්‍රී කාලයට අමතරව දිවා කාලයේදී විදුලි කප්පාදුව සිදුකිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

දැනට පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා පැය 4 ක කාලයක් දිවයින පුරා පැය බැගින් විදුලි කප්පාදු කිරීමටයි ඊයේ (18) තීරණය කෙරුණේ. මෙරට දෛනික විදුලි උත්පාදනය ගිගාවොට් පැය 35.44 ක් වන අතර, ඒ අනුව, කාර්ය බහුල වේලාවල මෙරට විදුලි ඉල්ලුම මෙගාවොට් 2203.44 ක් වනවා.

කෙසේ වෙතත්, කෙරවළපිටිය ග්‍රිඩ් උපපොලේ පෙරේදා ඇති වූ බිඳ වැටීමත් සමග මෙරට ජාතික විදුලි උත්පාදනයෙන් මෙගාවොට් 300 ක ප්‍රමාණයක් අහිමිවුණා.

එමෙන්ම, එම විදුලි පද්ධතිය බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ විදුලි බලාගාරය ද මේ වනවිට අක්‍රිය වී තිබෙනවා.

එම බලාගාරය අක්‍රිය වීම තුළින් ද මෙරට ජාතික විදුලි උත්පාදනයෙන් මෙගාවොට් 900 ක ප්‍රමාණයක් අහිමිවී ගොස් ඇති බැවින් ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි වීම හේතුවෙන් ඊයේ (18) සිට දින 4 ක කාලයක් විදුලි කප්පාදු කිරීමටයි විදුලිබල මණ්ඩලය පියවර ගත්තේ.

නොරොච්චෝලේ විදුලි බලාගාරය යළි ක්‍රියාත්මක කිරීම සදහා තවත් දින දෙකක (2) පමණ කාලයක් යන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කළා. දහවල් කාලයේදී සූර්යකෝෂ උපයෝගි කර ගනිමින් ජාතික විදුලිබල සැපයුම ක්‍රියාත්මක කෙරෙනවා.

කෙසේ වෙතත්, දහවල් කාලයේදී විදුලි ඉල්ලුම වැඩි වුවහොත් විදුලි කප්පාදුවක් සිදුකිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව, පැයයි, විනාඩි 45 ක පමණ කාලයක් දහවල් කාලයේදී කලාප වශයෙන් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා කියා සිටියා.

මේ අතර, විදුලි කප්පාදුවත් සමග ඇතැම්විට ජල සැපයුමට ද බාධා එල්ල විය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඔවුන් විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා ඇත්තේ විදුලිජනන යන්ත්‍ර නොමැති බියගම, අඹතලේ සහ කෙත්හේන යන ජල පවිත්‍රාගාර පිහිටි ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුනොකරන ලෙසයි.

************************************************

පාඨලීට ඇප – ශානි යළි දේශපාලන පළිගැනීම් කොමිසමට

(19.08.2020 – 13:26 +0530 – hirunews.lk/sinhala)

නොසැලකිලිමත් ලෙස අපරික්ෂාකාරීව රිය පදවා බරපතල අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට මේ මස 28 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (19) නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට (3) එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුවක් සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ට හෙට (20) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මීට පෙර සිතාසි නිකුත් කර තිබුණා.

එහෙත් මෝසමක් ඉදිරිපත් කරමින් අද (19) අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකාර පාඨලී චම්පික රණවක සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේ හෙට (20) දින පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන බැවින් ඊට සහභාගි වීමට අවශ්‍යව තිබෙන අතර ඒ අනුව අධිකරණය හමුවේ පෙනී සිටිම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව විත්තිකාර පාඨලී චම්පික රණවකට මේ මස 28 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකාර පාඨලි චම්පික රණවකට නියෝග මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියම කර තිබූ පෙර ඇප මත මුදා හැරීමට නියෝග කළා.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා එවකට අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ පාඨලී චම්පික රණවක විසින් පැදවූ ජීප් රථයක් මඟින් සංදීප් සම්පත් නැමැති තරුණයාට බරපතල අනතුරක් සිදුකිරීම, බොරු සාක්ෂි නිර්මාණය කිරීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ රිය අනතුරක් සිදුකළ පාඨලී චම්පික රණවක නමැති සැකකරු නීත්‍යයානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුලු අධි චෝදනා 16 ක් යටතේ මෙම නඩුව පවරා තිබෙනවා.

හිටපු අමාත්‍යවරයාට අමතරව ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති, වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩලට මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වනවා.

මේ අතර, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අද (19) පෙරවරුවේ යළි දේශපාලන පළි ගැනීම් සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවට පැමිණියා.

ඒ, බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *