කලාප 4 ක් යටතේ පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා දිනකට පැය බැගින් විදුලිය කැපෙන්නේ මෙහෙමයි

කලාප 4 ක් යටතේ පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා දිනකට පැය බැගින් විදුලිය කැපෙන්නේ මෙහෙමයි

නාමල් වැඩ භාර ගනී

මත්කුඩු ජාවාරම් චෝදනාවට ඇල්ලූ 22 හැවිරිදි රසායනාගාර සහකාරවරයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අලුත් පාර්ලිමේන්තුවේ විශේෂතා රැසක්

රනිල්ට යළි සිතාසි

ප්‍රවාහන සේවාව නගාසිටුවීමට කඩිනම් පියවර ගන්න – ජනපතිගෙන් ප්‍රවාහන බලධාරීන්ට උපදෙස්

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු පළමු රැස්වීමට සහභාගිවීමට අවසර

රුපියල් කෝටියකට වැඩි හෙරොයින් සමඟ හතරදෙනෙකු (4) අල්ලයි – නගර සභා වැඩ පරීක්ෂකවරයෙකුත් ඒ අතර

අනවශ්‍ය විදුලි උපකරණ, ක්‍රියාවිරහිත කරන්නැයි මණ්ඩලයෙන් ඉල්ලීමක්

********************************************

කලාප 4 ක් යටතේ පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා දිනකට පැය බැගින් විදුලිය කැපෙන්නේ මෙහෙමයි

(18.08.2020 – 19:13 +0530 – hirunews.lk/sinhala)

අද (18) සිට දින හතරක් (4) දිනකට පැය (1) බැගින් දිවයින පුරා විදුලිය විසන්ධි කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කළා.

ඒ අනුව පස්වරු හයේ (6) සිට රාත්‍රි 10 දක්වා කාලය තුළ කලාප හතරක් (4) යටතේ මෙලෙස පැයක (1) කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි එම මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ.

මේ අතර ඊයේ (17) දිනයේ සිදුවූ විදුලිය බිඳවැටීම හේතුවෙන් සමස්ත ආර්ථිකයට රුපියල් කෝටි 700 ක පමණ පාඩුවක් සිදුව ඇති බව ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා මෙලෙස පැහැදිළි කළා.

ඊයේ (17) කෙරවලපිටිය බලාගාරයේ බිඳ වැටීමත් සමඟ සියලු බලාගාර ක්‍රියාවිරහිත වූ අතර, නොරොච්චෝලේ බලාගාරය තවදුරටත් අක්‍රියව පවතිනවා.

එහි විදුලි ජනන යන්ත්‍ර තුනෙන් (3) එකක් (1) සම්පූර්ණයෙන්ම පුපුරා ගොස් ඇති අතර, එය යථා තත්වයට පත් කිරීමට බොහෝ කාලයක් ගතවනු ඇති බවයි එම බලාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් අක්‍රිය වූ සෙසු ජනන යන්ත්‍ර දෙක පැය 72 ක කාලයකින් පසුව ක්‍රියාත්මක කළ හැකි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර මඟින් නිපදවන විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එක් කර නොගැනීම නිසා මෙගාවොට් 800 කට අධික විදුලි ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට අහිමි වනවා.

ඊයේ (17) සිදුවූ හදිසි විදුලිය බිඳ වැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට වාර්තා පළවුවද එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත ප්‍රභාත් මහතා පෙන්වා දෙන්නේ.

මේ අතර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් මත මෙම හදිසි විදුලිය බිඳ වැටීම පිළිබද සොයා බැලීමට පත් කළ කමිටුව අද (18) පෙරවරුවේ රැස් වුණා.

අදාළ කමිටු සාමාජික හා විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ සතියක් ඇතුලත කමිටුවේ වාර්තාව ලබාදීමට නියමිත බවයි.

කලාප අනුව විදුලිය කප්පාදු කරන ආකාරය පහතින් :

**********************************************

නාමල් වැඩ භාර ගනී

(18.08.2020 – 19:54 +0530 – hirunews.lk/sinhala)

තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යවරයා ලෙස පත්වූ නාමල් රාජපක්ෂ මහතා අද (18) සිය ධුරයේ වැඩ භාරගත්තා.

අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ක්‍රීඩා පනත සංශෝධනය කළ යුතුව ඇති බවයි.

මේ අතර නව රජයේ අමාත්‍ය ධුර ලැබු තවත් කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අද (18) සිය අමාත්‍යාංශවලදී වැඩ භාර ගනු ලැබුවා.

***********************************************

මත්කුඩු ජාවාරම් චෝදනාවට ඇල්ලූ 22 හැවිරිදි රසායනාගාර සහකාරවරයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

(18.08.2020 – 20:03 +0530 – hirunews.lk/sinhala)

මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාව මත ඊයේ (17) අත්අඩංගුවට ගැණුනු රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර සහකාරවරයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද (18) පොලීසියට අවසර ලබා දුන්නා.

ඒ එම සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

අතුරුගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ බලංගොඩ – වතුකාරගොඩ ප්‍රදේශයේ පදිංචි ටිරාන් ෂෙහාන් ප්‍රනාන්දු නමැති 22 හැවිරිදි තරුණයෙක්.

මොහුගේ මව බලංගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයෙකු හෙරොයින් ග්‍රෑම් 18 යි මිලිග්‍රෑම් 730 ක් සමඟ අත්අඩංගුවට ගැණුනා.

ඔහුගෙන් ද රඳවා ගැනීමේ නියෝග මත මේ වනවිට පොලිසිය ප්‍රශ්න කරමින් සිටිනවා.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් කල බවට චෝදනා එල්ල වු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා ලබන 31 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත් ලංකා ජයරත්න මෙනවිය අද (18) නියෝග කළා.

කොරෝනා අවදානම් තත්ත්වය හේතුවෙන් සැකකරුවන් අද (18) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ නැහැ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පරීක්ෂණවල ප්‍රගතිය පිළිබද අධිකරණයට කරුණු වාර්තා කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් කියා සිටියේ මෑතකදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ‘චමින්ද ප්‍රියංකර මල්ලවආරච්චි’ හෙවත් ‘ටයිල් චමින්ද’ නැමැත්තා විසින් සිදුකරන ලද ප්‍රකාශ මත ද සිද්ධියට අදාළව පරීක්ෂණ ආරම්භ කළ බවයි.

***********************************************

අලුත් පාර්ලිමේන්තුවේ විශේෂතා රැසක්

(18.08.2020 – 20:14 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන අගෝස්තු 20 වෙනිදා මෙරට නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට මේ වනවිටත් කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා.

එම සූදානමේ වර්තමාන තත්ත්වය පිළිබඳව සොයාබලන්න හිරු ප්‍රවෘත්ති කණ්ඩායම පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වුණා.

*********************************************

රනිල්ට යළි සිතාසි

(18.08.2020 – 20:19 +0530 – hirunews.lk/sinhala)

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන රජයේ දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කළ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුට දේශපාලන පලිගැනීම් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පෙනී සිටින ලෙස අද (18) සිතාසි නිකුත් කෙරුණා.

මීට අමතරව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ රාජකාරී කළ නිලධාරීන් පස්දෙනෙකුටත් (5) එලෙස කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කර තිබෙන්නේ දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පැමිණිල්ලක් අනුවයි.

***********************************************

ප්‍රවාහන සේවාව නගාසිටුවීමට කඩිනම් පියවර ගන්න – ජනපතිගෙන් ප්‍රවාහන බලධාරීන්ට උපදෙස්

(18.08.2020 – 22:03 +0530 – hirunews.lk/sinhala)

මගීන්ට යහපත් මානසිකත්වයකින් බස් රථයේ හෝ දුම්රියේ ගමන් කිරීමට පසුබිම සකසමින් ප්‍රවාහන සේවාව නගාසිටුවීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවාහන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, ප්‍රවාහන අමාත්‍යවරයා, ප්‍රවාහන බලධාරීන් සහ ප්‍රවාහන සංගම්වල නියෝජිතයින් හා අද (18) පැවති සාකච්ඡාවකදී.

************************************************

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු පළමු රැස්වීමට සහභාගිවීමට අවසර

(18.08.2020 – 22:51 +0530 – hirunews.lk/sinhala)

මරණ දඬුවම නියමව බන්ධනාගාර ගතව සිටින රත්නපුර දිස්ත්‍රිකයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකරට 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීමට සහභාගිවීම සඳහා අවසර හිමිවී තිබෙනවා.

මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ සිවනේෂන්තුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට එළඹෙන 20 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීමට සහභාගිවීම සඳහා මඩකලපුව මහාධිකරණය අද (18) අවසර ලබාදුන්නා ෴

****************************************

රුපියල් කෝටියකට වැඩි හෙරොයින් සමඟ හතරදෙනෙකු (4) අල්ලයි – නගර සභා වැඩ පරීක්ෂකවරයෙකුත් ඒ අතර

(19.08.2020 – 07:18 +0530 – hirunews.lk/sinhala)

රුපියල් එක්කෝටි විසිලක්ෂයක වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් හතරදෙනෙකු (4) පාදුක්ක පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් භාවිතයට ඇබ්බැහිවූ සැකකරුවන් දෙදෙනෙකු (2) පාදුක්ක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර, අනතුරුව ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි හෙරොයින් ජාවාරමේ නිරත සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 10 ක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලීසිය ඔහුට හෙරොයින් ලබාදෙන පුද්ගලයා සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ කොළඹ නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන 50 හැවිරිදි අයෙකු හෙරොයින් ජාවාරමේ නිරතව ඇති බවටයි.

පසුව සිදුකළ පරීක්ෂාවකදී වෙළඳසැලක සඟවා තිබියදී හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 100 ක් සොයාගෙන තිබෙනවා.

මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් කල බවට චෝදනා එල්ල වු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරීන් 13 දෙනා ලබන 31 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (18) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පරීක්ෂණවල ප්‍රගතිය පිළිබද අධිකරණයට කරුණු වාර්තා කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා එහිදී කියා සිටියේ මෑතකදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ‘චමින්ද ප්‍රියංකර මල්ලවආරච්චි’ හෙවත් ‘ටයිල් චමින්ද’ නැමැත්තා විසින් සිදුකරන ලද ප්‍රකාශ මත ද සිද්ධියට අදාළව පරීක්ෂණ ආරම්භ කළ බවයි.

විමර්ශණවලට අදාළව අත්අඩංගුවට ගෙන රදවාගෙන ප්‍රශ්ණ කිරීම් සිදුකරන විහග ප්‍රභාත් නැමත්තා සිදුකළ අනාවරණයන් සම්බන්ධයෙන් එහිදි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට කරුණු දක්වා සිටියා.

ඒ අනුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරීම්වලදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පසුගිය අප්‍රේල් මස මාතර සිට මත්කුඩු කිලෝග්‍රෑම් 130 ක් රැගෙන විත් ඉන් කිලෝග්‍රෑම් 90 ක් ටයිල් චමින්ද නැමැත්තාට ලබා දි ඇති බව හෙළි වී තිබෙනවා.

මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින්ගෙන් සමන්විත රජයේ වාහනයක ආරක්ෂාව යටතේ තවත් පෞද්ගලික වාහනයකින් මෙම මත්ද්‍රව්‍ය තොග දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ හික්කඩුව ප්‍රදේශයට ගෙනවිත් ඇති බව විමර්ශණ වලදි අනාවරණය වි තිබෙනවා. ඉන් කිලෝග්‍රෑම් 25 ක් පුද්ගලයින් තුන්දෙනෙකුට (3) ලබා දි ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කලා.

එම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කිරීම වෙනුවෙන් ජාවාරම්කරුවෙකු විසින් රුපියල් ලක්ෂ 130 ක් සැකකාර මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරින්ට ගෙවා ඇති අතර, එම මත්ද්‍රව්‍ය තොග වලින් කොටසක් පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටි කිඹුලාවල ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකුට ලබාදී ඇති බවයි ඔහු වැඩිදුරටත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.

රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම ජාලය ඉතා සංවිධානාත්මක සිදුවන බව ඔප්පු වන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නා.

දැනට ඩුබායි හි සිටින ප්‍රබල පාතාල කල්ලි ජාවාරම්කරුවෙකු වන ‘උදාර සම්පත්’ නමැත්තා ද මෙහෙයවීම මත පොඩි ලැසී නමැත්තාගේ මග පෙන්වීම යටතේ සිදුව ඇති මත්ද්‍රව්‍ය ජාවාරමට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් සහය දී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි එහිදී ඔහු අධිකරණයට සදහන් කළේ.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නිලධාරින් සන්තකයේ තිබී භාරයට ගත් රුපියල් 3,28,93,000 ක මුදල මේ වනවිට අධිකරණ නියෝග මත විශේෂ ගිණුමක තැන්පත් කර ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී සදහන් කළා.

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය කිලෝ සිය ගණනක් රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් නොකර කාර්යාංශයේ රදවා ගැනීම බරපතල සැකයකට තුඩු දෙන කරුණක් යැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා රජයේ රස පරීක්ෂක වෙත යොමුකර තිබෙන ඇතැම් මත්ද්‍රව්‍ය පාර්සල් පවා නිසි පරිදි මුද්‍රා තබා නොමැති බව ද ප්‍රකාශ කළා.

එහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥ අජිත් පතිරණ අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉදිරිපත් කරන කරුණු බොහෝමයක් මාධ්‍යවලට අදාළ වුවත්, ඒවා අධිකරණයට අදාළ නොවන බවයි.

එම නිසා ඔවුන්ට ඇප ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියත් අධිකරණය නියෝග කළේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

***********************************************

අනවශ්‍ය විදුලි උපකරණ, ක්‍රියාවිරහිත කරන්නැයි මණ්ඩලයෙන් ඉල්ලීමක්

(19.08.2020 – 07:24 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය නොවන විදුලි උපකරණ පෙරවරු අටේ (8) සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ ක්‍රියාවිරහිත කර තබන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පෙරේදා දිනයේදී කෙරවලපිටිය බලාගාරයේ සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් දිවයින පුරා පැය කිහිපයක් විදුලිය විසන්ධි වුණා.

එමෙන්ම නොරොච්චෝලේ බලාගාරය තවදුරටත් පවතින්නේ අක්‍රිය තත්ත්වයේයි. මේ හේතුවෙන් ඊයේ (18) සිට දින හතරක් (4) දිනකට පැය (1) බැගින් දිවයින පුරා විදුලිය විසන්ධි කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (18) නිවේදනය කළා.

ඒ අනුව පස්වරු හයේ (6) සිට රාත්‍රි 10 දක්වා කාලය තුළ කලාප හතරක් (4) යටතේ මෙලෙස පැයක කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවනවා.

කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් (3) එකක් (1) සම්පූර්ණයෙන්ම පුපුරා ගොස් ඇති අතර, එය යථා තත්වයට පත් කිරීමට බොහෝ කාලයක් ගතවනු ඇති බවයි එම බලාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් අක්‍රිය වූ සෙසු ජනන යන්ත්‍ර දෙක (2) ක්‍රියාත්මක කළ හැකි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර මඟින් නිපදවන විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එක් කර නොගැනීම නිසා මෙගාවොට් 810 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට අහිමි වනවා.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ විදුලි ජනන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට හැකියාව ලැබෙන බැවින් විදුලි කප්පාදුව දින කිහිපයකට පමණක් සිදුවන බවයි.

පවතින තත්ත්වය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *