පාස්කු ප්‍රහාරය ගැන කොමිසම හමුවේ එළියට ආ අලුත් තොරතුර

පාස්කු ප්‍රහාරය ගැන කොමිසම හමුවේ එළියට ආ අලුත් තොරතුර

අක්‍රීය වූ නොරොච්චෝ යලි පණගැන්වීමට, දින කිහිපයක් ගතවන ලකුණු

අවිධිමත් පතල් කැනීම් හේතුවෙන් දෙහිකිඳගම ගම්මානයේ සිදුවන පරිසර විනාශය

ගාල්ල – මහමෝදර කන්නංගර විද්‍යාලයේ පැරණි පාසල් ගොඩනැගිල්ලට අද අත්ව ඇති ඉරණම

පුත්තලමේ පස ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ ප්‍රතිඵලය

මාස 18 ක් තුල ළමා අපයෝජන නඩු 12,968 ක් අවසන්

උඩරට මාර්ගයේ පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීම අරඹයි

ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සහ කඩු 02 ක් සමඟ ‘සංජු’ පයාගල දී අල්ලයි

හෙරොයින් ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටි කාන්තාවක් පන්නිපිටියේදී අත්අඩංගුවට

අල්ලස් ගත් සැළසුම් නිලධාරියෙකු අත්අඩංගුවට

සම්පායෝ නඩුවේ පොලීසියේ කරුණු පරස්පර බව නීතිපති දෙපාර්තමේන්තුව කියයි

ETI ජීවක, නාලක, අසංක සහ දීපා සිකුරාදා යළි ජනපති කොමිසම හමුවට

සහරාන්ට, ඉන්දියාවට පළා යෑමට රිෆ්කාන් බදියුදීන් සහය දුන් බව රාජ්‍ය බුද්ධි සේවය දැන සිටි බව හෙළිවේ

****************************************************

පාස්කු ප්‍රහාරය ගැන කොමිසම හමුවේ එළියට ආ අලුත් තොරතුර

(18.08.2020 – 14:02 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබද පුර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට ලැබුණේ අප්‍රේල් මස 09 දින යැයි පැවසුවද, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා එම තොරතුර පොලිස්පතිවරයාට ලබා දි ඇත්තේ ඊට දින දෙකකට (2) පෙර බව ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (17) අනාවරණය වුණා.

කොමිසම හමුවේ 12 වන දිනටත් ඊයේ (17) සාක්ෂි ලබාදෙමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන කියා සිටියේ ප්‍රහාරය එල්ලවීමට පෙර දින රාත්‍රියේ ද වගකිවයුතු පාර්ශව දැනුවත් කර ඇති බැවින් පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වුයේ රාජ්‍ය බුද්ධි සේවයේ දුර්වලතාවය නිසා යැයි කිව නොහැකි බවයි.

ඉකුත් වසරේ අප්‍රේල් මස 04 දින පෙ.ව 10:40 ට පමණ විදෙස් බුද්ධි තොරතුරුකරුවෙකුගෙන් ‘වට්ස් ඇප්’ පණිවුඩයක් ලෙස තමන්‍ට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පළමු පුර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර ලැබුණු බව සාක්ෂිකරු ප්‍රකාශ කළා.

පසුව අදාළ පණිවුඩය කාන්තා පොලිස් පරික්ෂකවරියක හරහා රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාට සහ සහකාර අධ්‍යක්ෂකවරයාට යොමුකර ඒ පිළිබද සොයා බලා වාර්තාවක් ලබාදීමට තමන් නියෝග කළ බවද මොහු ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියා.

මෙම තොරතුර බුද්ධි තොරතුරක් බවට පත්කරගැනීම සඳහා සොයාබැලීමට රාජ්‍ය බුද්ධි සේවයේ විශේෂ කණ්ඩායමක් තොරතුර ලද දිනට පසු දින නැගෙනහිර පළාතට යැවු බවත් එදින දහවල් වන විට මුල් තොරතුර ලබාදුන් තැනැත්තාගෙන් සහ තවත් තොරතුරුකරුවන්ගෙන් ප්‍රහාරය පිළිබද පුර්ව දැනුවත් කිරීමේ තොරතුරු ලිඛිතව ගෙන්වා ගත් බවත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා අවධාරණය කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ මුල් තොරතුර පුළුල් පරාසයකට විදිහි ගොස් තිබු නිසාම එය නිශ්චිත ඉලක්කගත තොරතුරක් බවට පත්කර ගැනීමට නොහැකිවීමෙන් අවසානයේ රාජ්‍ය බුද්ධි සේවය පවා නොමගයෑමකට ලක්වු බවයි.

මෙහිදී අප්‍රේල් මස 04 වනදා ලද පළමු බුද්ධි තොරතුරට අදාළව අප්‍රේල් මස 05 වනදා රාජ්‍ය බුද්ධි සේවයේ සහකාර අධ්‍යක්ෂකවරයා විසින් පිළියෙළ කර නිලන්ත ජයවර්ධනට ලබාදී තිබූ වාර්තාව ජනාධිපති කොමිසමේ අවධානයට ලක්වු අතර එහි වැදගත් පල්ලියක් ලෙස පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වූ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය සිතියමක ලකුණු කර තිබුණා.

එසේම සහකාර අධ්‍යක්ෂකවරයාගේ අදාළ වාර්තාව තුළ ගෝල්ෆේස් ප්‍රදේශයේ මෙන්ම ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සහ බම්බලපිටිය, කොල්ලු‍පිටිය යන ප්‍රදේශවල පිහිටි ප්‍රධාන පල්ලි කිහිපයක්ද වැදගත් පල්ලි ලෙස සටහන් කර ඇති බව කොමිසමේ අවධානයට ලක්වුණා.

+++++++++++++++++

(18.08.2020 – 14:46 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනපති කොමිසමේ පොලිස් විමර්ශනය ඒකකය වෙත පැමිණි හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පැය පහකට (5) පමණ පසුව එම ඒකකයෙන් පිටව ගොස් තිබෙනවා.

ඔහු අද (18) පෙරවරුවේ පොලිස් විමර්ශන ඒකකය වෙත පැමිණියේ කොමිසම සිදුකළ දැනුම්දීමකට අනුවයි.

එසේම දැනට රිමාන්ඞ් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ද අද (18) දිනයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනපති කොමිසමේ පොලිස් විමර්ශනය ඒකකය වෙත රැගෙන ආවේ බන්ධනාගාර නිලධාරීන් විසින් ෴

***********************************************

අක්‍රීය වූ නොරොච්චෝ යලි පණගැන්වීමට, දින කිහිපයක් ගතවන ලකුණු

(18.08.2020 – 14:14 +0530 – hirunews.lk/sinhala)

දැනට අක්‍රීය වී ඇති නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන කටයුතු යලි යථා තත්ත්වයට පත් කිරීම සඳහා දින තුනකට (3) වැඩි කාලයක් ගතවන බවයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙරවලපිටිය ග්‍රීඩ් උප පොලෙහි නඩත්තු කටයුත්තක් අතරතුර ඊයේ (17) දහවල් 12:35 ට පමණ සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් දිවයිනටම විදුලිය විසන්ධි වුණා.

පැය ගණනාවකට පසු කොළඹ, ගම්පහ, කුරුණෑගල සහ දකුණු පළාතේ ප්‍රදේශ රැසකට ඊයේ (17) රාත්‍රි 8 වනවිට විදුලි සැපයුම ලබාදුන් අතර අනෙකුත් පළාත්වලට රාත්‍රී 10 වනවිට විදුලි සැපයුහ ලබාදුන් බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ.

ඊයේ (17) මෙරට සිදුවූ විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කර තිබුණා.

මේ අතර නොරොච්චෝලෙ විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර මඟින් නිපදවන විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එක් කර නොගැනීම නිසා එහි පිහිටි ස්වයංක්‍රීය සිසිලන පද්ධතිය තුළ ඇති වූ තාක්ෂණික කරුණු හේතුවෙන් එම බලාගාරයද අක්‍රීය වුණා.

මේ නිසා මෙගාවෝට් 810 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට අහිමි වනවා.

එමෙන්ම අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් මත මෙම හදිසි විදුලිය බිඳ වැටීම පිළිබද සොයා බැලීමට පත් කළ කමිටුව අද (18) පෙරවරුවේ රැස් වුණා.

මේ අතර, සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සිය අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කරමින් අද (18) පෙරවරුවේ කියා සිටියේ මෙවැනි විදුලිය බිඳ වැටීමේ සිද්ධි වලක්වා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ජාවක් අද (18) දහවල් පැවැත්වෙන බවයි.

එමෙන්ම දිවයින පුරා ඊයේ (17) සිදු වූ විදුලිය බිද වැටීම සහ එය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයෙන් අනිද්දාට (20) පෙර වාර්තාවක් කැඳවා තිබෙනවා ෴

************************************************

අවිධිමත් පතල් කැනීම් හේතුවෙන් දෙහිකිඳගම ගම්මානයේ සිදුවන පරිසර විනාශය

(18.08.2020 – 14:50 +0530 – hirunews.lk/sinhala)

පතල් කර්මාන්තයේ නියැලෙන්නන්ගේ අවිධිමත් ක්‍රියාකාරකම් හේතුවෙන් අද වනවිට පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙහිකිඳගම ගම්මානයේ දැඩි පරිසර හානියක් සිදුවන බව එම ගම්වාසීන් පවසනවා.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් සිදුකරන මේ බරපතළ පරිසර විනාශය සම්බන්ධයෙන් බලධාරීන් කඩිනමින් සොයා බලා ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

**************************************************

ගාල්ල – මහමෝදර කන්නංගර විද්‍යාලයේ පැරණි පාසල් ගොඩනැගිල්ලට අද අත්ව ඇති ඉරණම

(18.08.2020 – 14:58 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – මහමෝදර පිහිටි C.W.W කන්නංගර විද්‍යාලයට අයත් ප්‍රාථමික අංශයේ පැරණි පාසල් ගොඩනැගිල්ල තුල සමාජ විරෝධී ක්‍රියාවන් සිදුවන බවට පාසලේ ආදි ශිෂ්‍යයින් සහ ප්‍රදේශවාසීන් චෝදනා එල්ලකරනවා.

2004 වසරේදී සුනාමි ව්‍යවසනයෙන් මෙම පාසල මුළු මනින්ම විනාශ වී තිබෙනවා.

සිහිවටනයක් ලෙස ඉතිරි වූ කන්නංගර විද්‍යාලයට අයත් මෙම පැරණි ගොඩනැගිල්ලට අද අත්ව ඇත්තේ කණගාටුදායක ඉරණමක්.

අද වන විට කන්නංගර විද්‍යාලයේ පාසල් සිසුන් 300 කට අධික පිරිසක් සිප් සතර හදාරන අතර ඔවුන් අතරට සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහන රැසක් හිමිකරගත් සිසු සිසුවියන්ද ඇතුළත්.

කෙසේ නමුත් කන්නංගර විද්‍යාලයට අයත් මෙම පැරණි ගොඩනැගිල්ලේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ආයුර්වේද මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්නේ කලක සිටයි.

********************************************

පුත්තලමේ පස ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ ප්‍රතිඵලය

(18.08.2020 – 15:02 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල ලෙස ලොකුලූනූ වගාව සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ පස සුදුසු වන බව සනාථ කරගෙන තිබෙනවා.

එලෙස සිදුකළ වගාවෙන් නිසි අස්වැන්නක් නෙළා ගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා.

***********************************************

මාස 18 ක් තුල ළමා අපයෝජන නඩු 12,968 ක් අවසන්

(18.08.2020 – 15:29 +0530 – hirunews.lk/sinhala)

නීතිපති දෙපාර්තමේන්තුව විසින් පසුගිය මාස 18 ක් තුල ළමා අපයෝජන නඩු 12,968 ක් අවසන් කර ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා.

එමෙන්ම එහි ළමා ආරක්ෂක ඒකකයේ නඩු 851 ක් අවසන් වෙමින් පවතී බව ද ඇය සඳහන් කළා.

වසර 136 ක් වන නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ මෙතරම් වේගයකින් ළමා අපයෝජන නඩු අවසන් කළ අවස්ථාවද මෙයයි.

*********************************************

උඩරට මාර්ගයේ පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීම අරඹයි

(18.08.2020 – 16:22 +0530 – hirunews.lk/sinhala)

නානුඔය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක් වටවල සහ ගලබඩ යන දුම්රිය ස්ථාන දෙක අතර අද (18) උදෑසන පීලි පැනීමකට ලක් වුණා.

එම දුම්රිය මැදිරි යළි පීලි ගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

දුම්රිය පිලි පැනිම හේතුවෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ පොඩි මැණිකේ සහ උඩරට මැණිකේ දුම්රියන්, දුම්රිය මැදිරිය පීලි පැනිමට ලක් වූ ස්ථානය දක්වා පමණක් ධාවනය කෙරුණා.

එම දුම්රියන් හි සිටි මගීන් දුම්රියන් අතර මාරුකර සිය ගමනාන්තය දක්වා යළි ධාවනය කරවීමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

දුම්රිය මැදිරිය පීලි පැනිම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද අලාභ හානි සිදුව තිබුණා.

********************************************

ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සහ කඩු 02 ක් සමඟ ‘සංජු’ පයාගල දී අල්ලයි

(18.08.2020 – 16:42 +0530 – hirunews.lk/sinhala)

මෙරට නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සහ කඩු දෙකක් (2) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පයාගල, මලේගොඩ ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

‘අෂාන් ප්‍රියන්ත’ නොහොත් ‘සංජු’ නැමති පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු වැඩිදුර විමර්ශන සදහා පයාගල පොලිසිය වෙත භාර දී තිබෙනවා.

***********************************************

හෙරොයින් ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටි කාන්තාවක් පන්නිපිටියේදී අත්අඩංගුවට

(18.08.2020 – 17:52 +0530 – hirunews.lk/sinhala)

පන්නිපිටිය – කැන්දහේනවත්ත ප්‍රදේශයේදී වෑන් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කිරීමට සූදානම් වී සිටි කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 22 ක් සමඟ අත්අඩංගුවට ගත්තා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය කැන්දහේනවත්ත ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි එක් දරු මවක්.

සැකකාරියගේ අත් බෑගයේ එක් පාර්සලයක හෙරොයින් පැකට් 40 ක් ද තවත් පාර්සලයක හෙරොයින් පැකට් 05 ක් ලෙස ද සඟවා ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබුණා.

ප්‍රවාහනය සඳහා යොදා ගත් වෑන් රථයක් සහ ජංගම දුරකථන 02 ක් සොයා ගෙන තිබෙනවා.

සැකකාරිය අද (18) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

+++++++++++++++

(18.08.2020 – 19:27 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් කිලෝ ග්‍රෑම් එකයි (1) ග්‍රෑම් 01 ක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු පාදුක්ක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික බවයි පොලිසිය පැවසුවේ ෴

**************************************************

අල්ලස් ගත් සැළසුම් නිලධාරියෙකු අත්අඩංගුවට

(18.08.2020 – 18:30 +0530 – hirunews.lk/sinhala)

කුඹුරු ඉඩමක් ගොඩකර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවසර දීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් පනස් දහසක (50,000)අල්ලසක් ලබාගත් නාගරික සංවර්ධන අධිකාරියේ දඹුල්ල කාර්යාලයේ සැලසුම් නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (18) දහවල් අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදීයි ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ.

මේ අතර, කාන්තාවකට ස්ථානමාරුවීමක් ලබාදීමට හා දිගන ප්‍රදේශයේ රජයේ ඉඩමක් ලබාදීමට රුපියල් 21,000 ක අල්ලස් ලබා ගත් වරාය අධිකාරියේ හිටපු කම්කරුවෙකු ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල කාන්තාව මැණික්හින්න ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

එසේම ගංජා සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සුළු චෝදනාවක් මත නඩු පවරා මුදා හරින ලෙසට ඉල්ලමින් දොම්පේ පොලිස් ස්ථානාධිපති එස්.ආර්. සංජීව මහතාට රුපියල් ලක්ෂ දෙකක (2,00,000) අල්ලස් මුදලක් ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අද (18) අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම, මහර බන්ධනාගාරයේ රැඳවියෙකුට කලිසම් වාටියක සූක්ෂම ලෙස සඟවා හෙරොයින් පැකට් 02 ක් රැගෙන ගිය කාන්තාවක් බන්ධනාගාර නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය ජා-ඇල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තැනැත්තියක්.

එසේම දෙමටගොඩ ප්‍රදේශයේදී ලක්ෂ 13 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 100 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු ජාවාරමේ නිරතව සිටියදීම අද (18) අත්අඩංගුවට ගැනුනා.

එමෙන්ම, කළුතර – පයාගල – මලේගොඩ ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ කඩු දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ‘අෂාන් ප්‍රියන්ත’ නොහොත් ‘සංජු’ ලෙස ඔහු හඳුනාගෙන තිබෙනවා.

මේ අතර, හම්බෙගමුව සිට තණමල්විල දක්වා ධාවනය වූ බස් රථයකදී හදිසි හෘදයාබාධයකින් පුද්ගලයෙකු මියගොස් තිබූ අතර, පොලීසිය සඳහන් කළේ අදාළ ඔහුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී ගංජා කිලෝ 01 කට ආසන්න ප්‍රමාණයක පාර්සලක් හමුවූ බවයි ෴

**********************************************

සම්පායෝ නඩුවේ පොලීසියේ කරුණු පරස්පර බව නීතිපති දෙපාර්තමේන්තුව කියයි

(18.08.2020 – 19:31 +0530 – hirunews.lk/sinhala)

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (18) නව නඩුවක් ගොනු කෙරුණා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ ඊට අමතරව ඔහුට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සහ අල්ලස් පනත යටතේද විමර්ශන ක්‍රියාත්මක බවයි.

නඩුව අද කැඳවූ අවස්ථාවේ සම්පායෝ ඇතුළු සැකකාර ජේලර්වරුන් තිදෙනා (3) ලබන 31 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

රක්ෂිත බන්ධගාර ගත කර සිටි වැඩතහනමට ලක් කර සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ සැකකාර ජේලර්වරුන් තිදෙනා (3) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේ අවස්ථා දෙකකදීයි.

අදාළ නඩුව සඳහා කරුණු දැක්වීමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පෙනී සිටි අතර නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ද අධිකරණයට පැමිණියා.

මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය ඉදිරියේදි නඩු විභාගය පස්වරු 02:00 පමණ ආරම්භ කෙරුණා.

එහිදී ප්‍රථමයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කරුණු දැක්වීම සිදුකළ අතර ඔහු සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් 08 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

එම සාක්ෂිකරුවන් අතර අනුරුද්ධ සම්පායෝගේ සොහොයුරු නෙරංජන් සම්පායෝ ද සිටින බව ඔහු සඳහන් කළා.

ඔහු එහිදී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය ක්‍රියා කළ ආකාරය දැඩි දෝෂ දර්ශනයට ලක් කළා.

අනුරුද්ධ සම්පායෝ මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකට භාර වුවද බුද්ධි තොරතුරක් මත ලද වැටලීමකින් සම්පායෝ අත්අඩංගුවට ගත් බව මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක මීට පෙර ප්‍රකාශ කර තිබු බවයි නියෝජය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කලේ.

එම අවස්ථාවේ CCTV දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයට ලක් කර ඇති බවත්, රතු පාට ඩිස්කවරි ස්පෝට් වර්ගයේ ජීප් රථයකින් බැස ඔහු පැමිණ ඇති බවත් එම දර්ශණ මගින් අනාවරණ වී ඇතැයි ඔහු පෙන්වා දුන්නා.

එහි කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුත් සිට ඇති බව අනාවරණය වී ඇති අතර, සම්පායෝ අත්අඩංගුවට ගැනීම බුද්ධි මෙහෙයුමක් බව පොලිසය ප්‍රකාශ කළද, එය පෙර සැළසුම් කළ ඩීල් එකක් ලෙස සැළකිය හැකි බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරාය සදහන් කළේ.

ඒ අනුව සිදුව ඇත්තේ අත්අඩංගුවට ගැනීමක් නොවන බව ඔහු අධිකරණයට පෙන්වා දුන්නා.

මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සම්පායෝ පැමිණෙන තෙක් සිට සාදරයෙන් පිළිගෙන ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ මෙය අධිකරණයේ ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක් බැවින් වැඩබලන පොලිස්පතිවරයා ඒ පිළිබඳව පැහැදිලි වාර්තාවක් ලබාදිය යුතු බවයි.

සම්පායෝ ඇතුළු සැකකරුවන් සිව්දෙනා (4) සැඟව සිටි ස්ථාන පිළිබඳව පොලිසියෙන් නිසි පරික්ෂණයක් සිදුකර නොමැති බව සඳහන් කළ ඔහු සැකකරුවන් ඇපමත මුදා හැරීම විමර්ශනවලට බාධාවක් වන බව සඳහන් කළා.

මීගමුව බන්ධනාගාරයේ තිබී සොයාගත් ඉලෙක්ට්‍රොනික තරාදියක ඡායාරූප අධිකරණයට ඉදිරිපත් කළ සොලිසිටර් ජනරාල්වරයා ඒ පිළිබඳවද පැහැදිළි කිරීමක් කළා.

මේ අතර අනුරුද්ධ සම්පායෝ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඇප ඉල්ලීමක් සිදුකරමින්

පැවසුවේ සම්පායෝගේ මවට හෘදයාබාධයක් වැළදී ඊයේ (17) දිනයේ හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බවයි.

දෙවැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා ද ඇප ඉල්ලා සිටිමින් සිය සේවාදායක ජේලර්වරයා ස්නායු රෝගයකින් පෙළෙන බව සඳහන් කළා.

මේ අතර තුන් වෙනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ද සිය සේවාදායක ජේලර්වරයා අධික රුධිර පීඩනය සහ දියවැඩියෙන් පෙළෙන බව ප්‍රකාශ කරමින් ඇප ඉල්ලා සිටීම විශේෂත්වයක්.

මෙහිදී යළිත් වරක් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ මෙය නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් වන නඩුවක් බවයි.

කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් සිව්දෙනා අගෝස්තු 31 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර කරනු ලැබුවා.

*****************************************

ETI ජීවක, නාලක, අසංක සහ දීපා සිකුරාදා යළි ජනපති කොමිසම හමුවට

(18.08.2020 – 19:44 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි සමාගමේ සිදුවු බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියාකලාපයන් පිළිබද සොයන විශේෂ ජනාධිපති කොමිසන් සභාව හමුවේ සාක්ෂි ලබා දීමට ඊ.ටී.අයි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයින් යළි සිකුරාදා (21) කැදවා තිබෙනවා.

ඒ, ඔවුන් සාක්ෂී ලබා දීම සදහා අද (18) පළමු වරට කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුවයි.

ඒ, අනුව ඊ.ටී.අයි සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන එදිරිසිංහ පවුලේ සමාජිකයින් මෙන්ම ඊ.ටි.අයි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් ලෙස කටයුතු කල සුනිල් අබේරත්න, සුමතිපාල කාරියවසම්, සුජිත් ජයවර්ධන සහ හෆීස් රජුදීන් යන අයද කොමිසම හමුවේ පෙනිසිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.

කොමිසමේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදි ඊ.ටී.අයි. අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥවරයා, ඊ.ටී.අයි. සමාගමට අදාල සිද්ධීන් වෙනුවෙන් මහේස්ත්‍රාත් අධිකරණ තුනක (3) නඩු හතක් (7) පවතින නිසා මෙම කොමිසම හමුවේ සාක්ෂී ලබා දීම තුලින් තම සේවාදායකයින්ට අවාසියක් ඇති වන බව කියා සිටියා.

එහිදි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන කරුණූ දක්වමින් කියා සිටියේ කොමිසන් සභාව කිසියම් වරදක් අරෝපණය කරමින් සාක්ෂි කැඳවීමක් බලාපොරොත්තු නොවන අතර කරුණු සොයා බලා ජනාධිපතිවරයාට වාර්තා කිරීමේ කොමිසම සතු වගකීම වෙනුවෙන් සාක්ෂි සටහන් කිරීමට පමණක් ඊ.ටී.අයි. අධ්‍යක්ෂක මණ්ඩලය මෙම කොමිසම හමුවට කැදවා ඇති බවයි.

යම් ආකාරයකින් ඔවුන් දෙන සාක්ෂිය මත ඔවුන් අපරාධයකට හෝ වෙනත් චෝදනාවකට ලක්වීමේ ප්‍රවණතාවක් මතු වන්නේ නම් ඒ සදහා ආරක්ෂණ ක්‍රමවේදයක් කොමිසන් සභා අඥා පනතේම පවතින බව ඔහු කොමිසම හමුවේ සදහන් කළා.

එසේම, මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ කොමිසම හමුවේ අනාවරණ වු අක්‍රමිකතා සම්බන්ධයෙන් ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලය සෘජුවම වගකිවයුතු බවයි.

මේ අතර, ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් කොමිසන් සභාවෙන් පිටතට පැමිණෙන අවස්ථාවේ ඊ.ටී.අයි. තැන්පත් කරුවන් පිරිසක් ඔවුන්ට විරෝධය පළකළා.

*************************************************

සහරාන්ට, ඉන්දියාවට පළා යෑමට රිෆ්කාන් බදියුදීන් සහය දුන් බව රාජ්‍ය බුද්ධි සේවය දැන සිටි බව හෙළිවේ

(18.08.2020 – 19:48 +0530 – hirunews.lk/sinhala)

වරෙන්තු නිකුත් කර තිබියදී අධිකරණය මඟ හරිමින් සිටි සහරාන් හෂිම්ට මන්නාරමේ සිට බෝට්ටුවකින් ඉන්දියාවට පළා යාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදින් උපකාර කළ බව පාස්කු ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවය ද දැන සිටියේ යැයි එහි හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ප්‍රකාශ කළා.

ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද (18) සාක්ෂි ලබා දුන් අවස්ථාවේදීයි.

ඔහු ජනාධිපති කොමිසම හමුවේ අද (18) සාක්ෂි ලබා දුන්නේ 13 වන දිනටයි.

ඊයේ (17) සාක්ෂි ලබාදුන් අවස්ථාවේ පසුගිය වසරේ අප්‍රේල් 04 වනදා තමන්ට අදාළ බුද්ධි තොරතුර පළමුව ලැබුණු බව සඳහන් කළ ඔහු එය අප්‍රේල් හත්වනදා (07) එවක පොලිස්පති පූජිත් ජයසුන්දරට පැවසූ බව ප්‍රකාශ කළා.

මේ අතර, හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයේ අද (18) පෙනී සිටි අතර ඔහුගෙන් පැය 5 කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැණුනා.

එමෙන්ම, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරද කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය හමුවේ අද (18) පෙනී සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *