රාජ්‍ය අමාත්‍ය ව්‍යුහය ඇති කිරීමට හේතු ජනපති පහදයි

රාජ්‍ය අමාත්‍ය ව්‍යුහය ඇති කිරීමට හේතු ජනපති පහදයි

කොල්ලුපිටියේ සුපිරි වෙළඳ සංකීර්ණයක ගින්නක්

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවන් 3 ක් STF දැලේ

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට සමගි ජන බලවේගයේ 4 ක් යෝජනා වෙයි

හෝකන්දර දී ‘සුද්දා’ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

වෙළඳ අමාත්‍යාංශයේ තිබූ රිෂාඩ්ගේ, පෞද්ගලික විවේකාගාරය, ඇමති බන්දුල ඉවත් කරයි

ඉදිරි වසර 5 ඇතුළත ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර

ජීවක, නාලක, අසංක සහ දීපා එදිරිසිංහ, ETI සමාගමේ අක්‍රමිකතා සොයන ජනාධිපති කොමිසමට

දොම්පේ පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් දෙන්න ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

නාකොටික් නිලධාරීන් 13 දෙනා අගෝස්තු 31 දක්වා යළි රිමාන්ඩ්

දිවයින පුරා විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කමිටුව රැස්වෙයි

නාමල් ඇතුළු ඇමතිවරු පිරිසක් අදත් (18) වැඩ භාරගනී

අංගොඩ ලොක්කා ගැන පැමිණිලි 3 ක්

**********************************************

රාජ්‍ය අමාත්‍ය ව්‍යුහය ඇති කිරීමට හේතු ජනපති පහදයි

(18.08.2020 – 08:34 +0530 – hirunews.lk/sinhala)

ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමි වන ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩ නැගීම අරමුණු කොටගෙන මෙවර රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ, රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය සමාලෝචනය ආරම්භ කරමින් ඊයේ (17) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදියි.

බතික්, අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇගලුම් නිෂ්පාදනය විෂය කොට රාජ්‍ය අමාත්‍යාංශයක් නිර්මාණය කිරීමට හේතු වූ කරුණු ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළා.

කොවිඩ්-19 සමග දැඩි අර්බුදයකට මුහුණ පා ඇති සෙසු රටවල් යථා තත්ත්වයට පත්වන තෙක් දේශීය ආර්ථිකය දියුණු නොකර ඉදිරියට යා නොහැකි බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ඇගලුම් කර්මාන්තය රටේ සමස්ත අපනයනයෙන් සියයට 43 ක් නියෝජනය කරනවා.

අපනයන ආදායමට වාර්ෂිකව ඉන් එක් කරන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 5 ක්.

බතික් හා අත්යන්ත්‍ර කර්මාන්තය නගා සිටුවීමට සියළු අංශ ආවරණය කෙරෙන සැලසුමක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී උපදෙස් ලබාදුන්නා.

සළුසල වැනි ආයතන මගින් බතික් හා අත්යන්ත්‍ර රෙදි නිෂ්පාදකයාට වෙළදපොළක් සකසා දිය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

මේ අතර, සැප්තැම්බර් මස 2 වන දා සිට ක්‍රියාත්මක 1,50,000 ක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක්ව තිබෙනවා.

සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන් අදාළ විෂය මාලාව අනුව එම ක්ෂේත්‍රයන් හි රැකියාවල යෙදවීමට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබාදී ඇත්තේ.

අඩු ආදායම්ලාභී රැකියා ලක්ෂයට සුදුසුකම් තෝරා ගැනීමේදී සෑම ග්‍රාම සේවා වසමකම ඉහළම දරිද්‍රතාවකින් යුත් පිරිස තෝරා ගැනීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී තිබෙනවා.

අදාළ වැඩසටහන පිළිබදව ජනාධිපති කාර්යාලයේ ඊයේ (17) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අවධාරණය කළේ රාජ්‍ය සේවයේ දුර්වලතා සහ අඩුපාඩු මග හැරෙන ලෙස රැකියාගත පුහුණුවක් ලබාදීම අවශ්‍යතාවක් බවයි.

එමෙන්ම, නායකත්ව ඉලක්ක සපුරා ගැනීම සහ විශ්වාසයේ හැගීම යන කරුණුවල ප්‍රමුඛතාව වසරක පුහුණු කාලයට එක් කර ගත යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව උපාධිධාරීන් 51,135 ක් පත්වීම් සඳහා සුදුසුකම් සපුරා ඇති අතර සුදුසුකම් නොලැබූවන්ගේ තොරතුරු ද වෙබ් අඩවියට ඇතුළත් කර තිබෙනවා.

***********************************************

කොල්ලුපිටියේ සුපිරි වෙළඳ සංකීර්ණයක ගින්නක්

(18.08.2020 – 07:44 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සුපිරි වෙළඳ සංකීර්ණයක ඊයේ (17) රාත්‍රියේ ගින්න මේ වන විට නිවා දමා තිබෙනවා.

පළමු මහලෙහි වෙළදසැලක ගින්න හටගෙන ඇති අතර එය බිම් මහලට ද ව්‍යාප්ත වී තිබුණා.

ගින්න නිවීම සඳහා කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ වාහන 5 ක් යොදවා තිබූ අතර, පළමු මහලෙහි ගින්න හේතුවෙන් එහි සිර වී සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු ද මුදා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

**********************************************

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවන් 3 ක් STF දැලේ

(18.08.2020 – 08:03 +0530 – hirunews.lk/sinhala)

මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෝටර් රථයක් සෝදිසි කිරීමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

රුපියල් 5000 නෝට්ටුවක එක් පැත්තක් පමණක් මුද්‍රණය කර එවැනි නෝට්ටු දෙකක් ඉහළට සහ පහළට පෙනෙන ලෙස මුදල් බන්ඩල් 128 ක් ලෙස පෙනෙන අයුරින් සැකකරුවන් විසින් සකස්කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 34, 36, 42 වයස්වල පසුවන ජාඇල, අංගොඩ සහ මුල්ලේරියාව ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.

************************************************

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට සමගි ජන බලවේගයේ 4 ක් යෝජනා වෙයි

(18.08.2020 – 08:08 +0530 – hirunews.lk/sinhala)

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා සමගි ජන බලවේගයේ 4 දෙනෙකුගේ නම් යෝජනා වී තිබෙනවා.

එම පක්ෂයට සමීප ආරංචි මාර්ග සදහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල, පාඨලී චම්පික රණවක සහ ආචාර්ය හර්ෂ ද සිල්වා ඒ අතර සිටින බවයි.

එමෙන්ම, පාර්ලිමේන්තුවේ සභානායක ලෙස විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යළිත් පත් කර තිබෙනවා.

අනිද්දා (20) පාර්ලිමේන්තුව රැස් වන අවස්ථාවේදී ඊට අදාළ පත්වීම් ලබාදීමට නියමිතයි.

ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමෙන් පසුව පැවති රජයේ පාර්ලිමේන්තුව විසුරුවන තෙක් මොවුන් දෙදෙනා (2) එම තනතුරුවල කටයුතු කළා.

මේ අතර, නව කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පත් කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ෴

++++++++++

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මෙවර මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ටී.එම්.වී.පී. පක්ෂයේ නායක ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට අනිද්දා ආරම්භ කෙරෙන පාර්ලිමේන්තු සභා වාරයට සහභාගිවීම සඳහා මඩකලපුව මහාධිකරණයෙන් අවසර ලබාදී තිබෙනවා.

ඒ, ඔහු ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශෆ් පරරාජසිංහම් ඝාතන සිද්ධියේ සැකකරුවෙකු වන පිල්ලෙයාන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

*********************************************

හෝකන්දර දී ‘සුද්දා’ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

(18.08.2020 – 08:26 +0530 – hirunews.lk/sinhala)

දැනට විදේශගතව සැඟව සිටින බවට පැවසෙන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘ලඩියා’ නැමැත්තාගේ ගෝලයෙකු වන ‘යොහාන් ප්‍රදීප් කුමාර’ හෙවත් ‘සුද්දා’ නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෝකන්දර – උතුර ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී ඊයේ (17) අත්අඩංගුවට ගත් මෙම සැකකරු මීට පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින අයෙක්.

ඔහුගේ නිවසේ තිබී අපරාධ සඳහා යොදාගෙන ඇති බවට සැක කෙරෙන ව්‍යාජ අංක තහඩු සවි කරන ලද යතුරුපැදියක් සහ අංක තහඩු නොමැති තවත් යතුරුපැදියක් ද සොයාගෙන තිබෙනවා ෴

************************************************

වෙළඳ අමාත්‍යාංශයේ තිබූ රිෂාඩ්ගේ, පෞද්ගලික විවේකාගාරය, ඇමති බන්දුල ඉවත් කරයි

(18.08.2020 – 09:19 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – වොක්ෂෝල් වීදියේ සතොස ගොඩනැගිල්ලේ 8 වන මහලේ හිටපු කර්මාන්ත හා වෙළඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් භාවිත කළ සුඛෝපභෝගී පෞද්ගලික අමාත්‍ය විවේකාගාරයක් සොයාගෙන තිබෙනවා.

නව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ එය වහාම ඉවත් කරන ලෙසයි.

අදාළ විවේකාගාරයේ සුඛෝපභෝගී ලෙස සකස් කරන ලද නිදන කාමරයක් ද පැවති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ‘ප්‍රොජෙක්ටරයක්’ සහ ඒ හා සම්බන්ධ පුළුල් තිරයක් මෙන්ම ශබ්ද විකාශන පද්ධතියක් ද අදාළ කාමරයේ තිබී සොයාගෙන තිබෙනවා.

එමෙන්ම ඊට යාබද සදළුතලයේ තිබී සුඛෝපභෝගී පුටුවක් ද සොයා ගත් බවයි අමාත්‍යාංශයේ නිලධාරියෙකු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අප හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් විමසීමක් කළා.

ඔහු සදහන් කළේ තමන් එම අමාත්‍යාංශයේ කටයුතු කිරීමට පෙර සිටම අදාළ විවේකාගාරය සකස් කර තිබූ බවටයි ෴

***********************************************

ඉදිරි වසර 5 ඇතුළත ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර

(18.08.2020 – 09:23 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි වසර 5 ඇතුළත මෙරට ඖෂධ අවශ්‍යතාව සපුරා, අපනයනය ඉලක්ක කරගෙන නිෂ්පාදනය ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවදානය යොමු වී ඇති බව ආර්ථික, පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන මැති ඇමතිවරුන් හා රජයේ නිලධාරීන් සමඟ අරලියගහ මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවකදියි.

දේශීය ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 85ක්ම විදේශයන්ගෙන් ගෙන්වීම සඳහා මේ වන විටත් රජය විශාල පිරිවැයක් දරන බැවින් අවශ්‍යතාවට සරිලන අයුරින් සහ අපනයන ධාරිතාවයෙන් යුත් කර්මාන්තශාලා ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු එහිදී ප්‍රකාශ කළා.

ඉදිරි වසර 5 තුළ ඖෂධ අපනයනය කරන ප්‍රධාන රටවල් වන අයර්ලන්තය, ඊශ්‍රායලය හා සිංගප්පූරුව යන රටවල මට්ටමට ශ්‍රී ලංකාවත් ගෙන ඒමට කටයුතු කරන බවයි ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

***********************************************

ජීවක, නාලක, අසංක සහ දීපා එදිරිසිංහ, ETI සමාගමේ අක්‍රමිකතා සොයන ජනාධිපති කොමිසමට

(18.08.2020 – 10:18 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ ඊ.ටී.අයි. සමාගම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ අද (18) උදෑසන පෙනී සිටියා.

ඒ, එම කොමිසම කළ දැනුම්දීමකට අනුවයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, අනුර කුමාර දිසානායක, ආර්. සම්බන්ධන් සහ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු පිරිසකට දේශපාලන පළිගැනීම් පිළිබද සොයන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් සැප්තැම්බර් මස 7 වන දා එම කොමිසම හමුවේ පෙනී සිටිය යුතු වනවා.

*********************************************

දොම්පේ පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් දෙන්න ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

(18.08.2020 – 11:09 +0530 – hirunews.lk/sinhala)

ගංජා සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සුළු චෝදනාවක් මත නඩු පවරා මුදා හරින ලෙසට ඉල්ලමින් දොම්පේ පොලිස් ස්ථානාධිපති එස්.ආර්. සංජීව මහතාට රුපියල් ලක්ෂ දෙකක (2) අල්ලස් මුදලක් ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අද (18) අත්අඩංගුවට ගනු ලැබුවා.

දෙකටන ප්‍රදේශයේ දී ගංජා කිලෝග්‍රෑමයක් සමඟින් සැකකරුවෙකු ඊයේ (17) පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අල්ලස් දීමට තැත් කළ පුද්ගලයාගේ සොහොයුරෙකු වන අතර, තම සොහොයුරා සුළු චෝදනාවක් මත නඩු පවරා මුදා හරින ලෙසටයි සැකකරු අදාළ අල්ලස් මුදල ලබාදීමට තැත් කර ඇත්තේ.

මොහු කැළණිය – පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා ෴

*********************************************

නාකොටික් නිලධාරීන් 13 දෙනා අගෝස්තු 31 දක්වා යළි රිමාන්ඩ්

(18.08.2020 – 11:13 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගන්නා ලද මත්කුඩු ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා මේ මස 31 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැදවූ අවස්ථාවේදියි.

නඩුව කැදවුවද සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණේ කොරෝනා තත්ත්වය හේතුවෙන්.

මෙම සැකකරුවන් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා ඇති බව අධිකරණයට දැනුම් දී තිබුණා.

මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පරීක්ෂණවල ප්‍රගතිය පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

අනතුරුව සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.

මේ අතර, මෙම සිද්ධිය වාර්තා වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාර දුන් මත්කුඩු ජාවාරම් කර ඇති බවට හෙළි වී තිබෙනවා.

ඒ, දැනට අතුරුගිරිය පොලීසිය භාරයේ සිටින එම දෙපාර්තමේන්තුවේ රසායනාගාර පිළියෙල කරන්නා කළ පාපොච්චාරණයෙන් හෙළි වූ කරුණු මතයි.

මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර පිළියෙල කරන්නන් දෙදෙනෙකු (2) මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක් සැකකරුවෙකු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා යතුරුපැදියකින් යමින් සිටියදී ඊයේ (17) අත්අඩංගුවට ගත්තේ අතුරුගිරිය ප්‍රදේශයේදියි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 15 ක් සහ අයිස් ග්‍රෑම් 25 ක් ඔහු සතුව තිබියදී සොයා ගැනුණා.

මීට අමතරව මත්ද්‍රව්‍ය මැන බැලීම සඳහා උපයෝගී කර ගත් කුඩා ප්‍රමාණයේ තරාදියක් ද හමුවී තිබෙනවා.

අනෙක් සැකකරු අතුරුගිරිය – මොරටුවාහේන පාර පන්සල අසළදී පෙරේදා දිනයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් අතර ඔහු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 18 යි මිලිග්‍රෑම් 730 ක් සොයා ගනු ලැබුවා.

එම මත්කුඩු පසුගිය දා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ තිබී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ලබාදුන් මත්කුඩු බවටයි සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ.

මෙම සැකකරුවන් අවස්ථා කිහිපයකදී නඩු භාණ්ඩ ලෙස ලබාදෙන මත්කුඩු රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් සොරාගෙන අලෙවි කර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

************************************************

දිවයින පුරා විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කමිටුව රැස්වෙයි

(18.08.2020 – 13:42 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කමිටුව අද පෙරවරුවේ විදුලිබල අමාත්‍යාංශයේදී රැස්වුණා.

විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් මත පත් කළ මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය රාහුල අතුලගේ මහතා කටයුතු කරන අතර ඊට සාමාජිකයන් 9 දෙනෙකු ඇතුළත්.

අදාළ කමිටුවේ වාර්තාව සතියක් තුළ ලබාදිය යුතු වනවා.

**********************************************

නාමල් ඇතුළු ඇමතිවරු පිරිසක් අදත් (18) වැඩ භාරගනී

(18.08.2020 – 13:46 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දා දිවුරුම් දුන් තවත් කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අද (18) සිය අමාත්‍යාංශවලදී රාජකාරී කටයුතු ආරම්භ කළා.

ඒ අනුව තරුණ හා ක්‍රීඩා කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නාමල් රාජපක්ෂ මහතා අද (18) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් එම ධුරයේ රාජකාරී ආරම්භ කළේ කොළඹ ටොරින්ටන් හි පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශයේදියි.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද අද (18) පෙරවරුවේ කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි විදුලිබල අමාත්‍යාංශයේදී වැඩ භාර ගත්තා.

එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එමෙන්ම, රාජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන් ද සිල්වා, ශෂීන්ද්‍ර රාජපක්ෂ, අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුද අද (18) සිය ධුරවල වැඩ භාර ගත් බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ.

*********************************************

අංගොඩ ලොක්කා ගැන පැමිණිලි 3 ක්

(18.08.2020 – 14:12 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ දී ඝාතනයට ලක්වූ බව පැවසෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘ලසන්ත චන්දන පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ නැමැත්තාට එරෙහිව පැමිණිලි 3 ක් මේ වන විට බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට ලැබී තිබෙනවා.

අංගොඩ ලොක්කා විසින් තම ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගත් බවට පවසමිනුයි අදාළ පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ.

පැමිණිලිකරුවන් මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

පර්චස් 100 කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් කිසිදු මුදලක් නොගෙවා අංගොඩ ලොක්කාගේ උපදෙස් මත ඔහුගේ ගෝලයන් විසින් මෙලෙස බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවටයි ඔවුන් පැමිණිලි කර ඇත්තේ.

එසේම, නිවසක් ද බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවට පැමිණිලි ලැබී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *