‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසු පාරිභෝජනයට නුසුදුසු හාල් මැස්සන් ගබඩාව මුද්‍රා තබයි

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසු පාරිභෝජනයට නුසුදුසු හාල් මැස්සන් ගබඩාව මුද්‍රා තබයි

ජන ජීවිත අවදානමේ හෙළන අම්බලන්තොට පාලම

කෝටි ගණන් වැයකර ආනයනය කරන යන්ත්‍රයක් ඉතා අඩු මුදලකට දේශීයව නිපදවූ තරුණයින් දෙදෙනෙක් (2)

විසිවන (20) ව්‍යවස්ථා සංශෝධනය, මේ සතියේ රැස්වන පළමු කැබිනට්ටුවට – වසර දෙකකින් (2) නව ව්‍යවස්ථාවක්

යාපනයේ කඩසාප්පු රාත්‍රී 10 තෙක් විවෘත කරන ලෙස ඉල්ලීමක්

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන 45 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කෙරේ

කසළ ගැටළුවක් හේතුවෙන් ප්‍රදේශ දෙකක (2) ජනතාව අසීරුතාවක

10 හැවිරිදි දැරියක් කෙලෙසා ඝාතනය කළ විවාහකයා අත්අඩංගුවට

මිරිස්සේ සිද්ධියට අදාළ තවත් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

“ආදිවාසීන්ගේ අනන්‍යතාවය ආරක්ෂාවෙන ස්ථිර වැඩපිළිවෙලක් අවශ්‍යයි” – වන්නිලැත්තෝ

කැළණිය සරසවියේ අධ්‍යයන කටයුතු 19 දක්වා කල් යයි

රන් ආභරණ කොල්ල කෑ හොර වෛද්‍යවරයා අත්අඩංගුවට

මත් ජාවාරම්කරුවන්ගේ නව උපක්‍රම ගැන, අවධානයෙන් සිටින්නැයි පොලීසියෙන් උපදෙස්

වැදගත් වන්නේ සසුන ද? – අසුන ද ? නව සිංහල රාවය ප්‍රශ්න කරයි

ප්‍රදේශයේ වන අලි ගැටළු සොයන්න, ඇමති ජොන්ස්ටන් මහරෑ කුඹුරට යයි

******************************************

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසු පාරිභෝජනයට නුසුදුසු හාල් මැස්සන් ගබඩාව මුද්‍රා තබයි

(16.08.2020 – 12:42 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝජනයට නුසුදුසු හාල් මැස්සන් කිලෝ 3000 කට අධික තොගයක් සිය භාරයට ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් සමත් වුණා.

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසුව කුරුණෑගල – පොල්පිතිගම විවිධ සේවා සමුපාකාර සමිති ගබඩාව වටලා පාරිභෝජනයට නුසුදුසු හාල් මැස්සන් කිලෝ 3000 කට අධික තොගයක් සිය භාරයට ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් සමත් වුණා.

ප්‍රශ්න කිරීම්වලදී හෙළිවුණේ ප්‍රදේශයේ අනෙක් සමුපකාර සමිතිවලට ද පාරිභෝජනයට නුසුදුසු හාල් මැස්සන් තොග මෙම සමිතිය හරහා නිකුත් කර ඇති බවයි.

පුස් බැදී හා නරක් වී පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින මෙම හාල් මැස්සන් තොගය ගබඩා කර තිබුනේ පොල්පිතිගම විවිධ සේවා සමුපකාර සමිතියට අයත් මඩගල්ල ගබඩාවේයි.

එම සමුපකාර සමිතියේ සභාපතිවරයාගේ අවශ්‍යතාව මත කිලෝ 7000 කට අධික මෙම හාල්මැස්සන් තොගය රුපියල් ලක්ෂ 45 ක පමණ මුදලක් ගෙවා පෞද්ගලික ආයතනයකින් මිලදී ගෙන තිබුනා.

ඊයේ (15) අප ‘හිරු සී.අයි.ඒ.’ හරහා මේ පිළිබඳ හෙළිකිරීමත් සමග පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ කුරුණෑගල කාර්යාලයේ නිලධාරීන් අදාල ගබඩාව වටලනු ලැබුවා.

පොල්පිතිගම සමුපාකාර සමිතියේ සභාපතිවරයාගේ මෙම අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් මේ වනවිට සිදුව ඇති පාඩුව රුපියල් ලක්ෂ ගණනක්.

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයත් සමග මේ හරහා සිදුකර ඇති මුල්‍ය අක්‍රමිකතාව මෙන්ම කුරුණෑගල ජනතාවට පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් අලෙවිකිරීමේ ජාවාරම ද හෙළි වු අතර, නිලධාරීන් විසින් අදාල ගබඩාවද මුද්‍රා තැබුණා.

************************************************

ජන ජීවිත අවදානමේ හෙළන අම්බලන්තොට පාලම

(16.08.2020 – 12:48 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්තොට රිදියගමත් තාලිගලත් යා කෙරෙන පාලමේ ඉදිකිරීම් සිදුව ඇත්තේ 1990 වසරේදී.

නමුත් මේ දක්වා කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදු නොකිරීම හේතුවෙන් දිනෙන් දින දිරාපත්වෙමින් පවතින්නේ මිනිසුන්ගේ ජීවිත අවදානමේ හෙළමින්.

කෙසේ වෙතත් ගම්මාන රැසක ජනතාවය සිය දෛනික ඕනෑ එපාකම් හේතුවෙන් සිය ජීවිත අවදානමද නොතකා මෙම පාලමෙන් එගොඩ මෙගොඩ යාමට සිදුව තිබෙනවා.

මේ දක්වාම කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක්ව නොමැති දිනෙන් දින දිරා පත්වන පාලම හරහා එගොඩ මෙගොඩ යමින් ප්‍රදේශයේ ගම්මාන රැසක ගොවි ජනතාව සිය ඕනෑ එපානම් ඉටු කරගන්නේ සිය ජීවිතයද උකසට තබමිනුයි.

ප්‍රදේශයේ ගොවි ජනතාවගේ මෙම ගැටළුවට විසඳුමක් ලෙසින් අම්බලන්තොට වලවේ ගඟ හරහා තාලිගල සහ රිදියගම යා කෙරෙමින් නව පාලමක ඉදිකිරීම් ආරම්භ වන්නේ 2017 වසරේදි.

රුපියල් මිලියන 270 කට අධික පිරිවැයක් දරමින් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය මගින් ඉදි කිරීම් ආරම්භකළ පාලමේ වැඩ අවසන්වීමට නියමිතව තිබූණේ 2019 වසරේදී.

නමුත් අද වන විට පාලමේ ඉදිකිරීම් අත්හැර දමා තිබෙන්නේ රුපියල් කෝටි ගණණාවක් මහපොලවට දිරාපත් වෙමින්.

යතුරුපැදි දෙකකටවත් එකවර මාරු විය නොහැකි තරමේ පටු පාලම වෙනුවට සැමට සහනයක් වෙනුවෙන් ඉදිකිරීම් ඇරඹි නව පාලමේ වැඩකටයුතු හැකි ඉක්මණින් අවසන් කරදෙන්නැයි ගම්වාසීන්, බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

රුපියල් කෝටි ගණනාවක් නිකරුණේ මහපොලවට දිරාපත් වෙන්නට ඉඩ නොදී එය නැවත ජනතා අයිතියට පත් කරන තුරු ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

************************************************

කෝටි ගණන් වැයකර ආනයනය කරන යන්ත්‍රයක් ඉතා අඩු මුදලකට දේශීයව නිපදවූ තරුණයින් දෙදෙනෙක් (2)

(16.08.2020 – 12:59 +0530 – hirunews.lk/sinhala)

දේශීය ආර්ථිකය බලගැන්වීම මේ දිනවල සමාජයේ ප්‍රමුඛ මාතෘකාවක්.

ඒ සඳහා වඩා වැදගත් වන්නේ ආනයන අවම කර දේශීය කර්මාන්ත සවිමත් කිරීම.

කෝටි ගණන් මුදල් වැයකර ආනයනය කරන යන්ත්‍රයක් ඉතා අඩු මුදලකට අපේ රටේ නිෂ්පාදනය කළ තරුණයින් දෙදෙනෙක් (2) අපට හමුවුණේ මෙවන් පසුබිමක් තුළයි.

පරිගණකයට ඇතුළත් කරන ඕනෑම නිර්මාණයක් ලීයක් මතට කැටයම් කළ හැකි යන්ත්‍රයක් නිර්මාණය සිදුකරන්නට අදහසක් පහළ වී තිබුණේ මාතර, දෙයියන්දර ප්‍රදේශයේ එකම පවුලේ සොයුරන් දෙදෙනෙකුට(2).

අසංක සම්පත් සහ වසන්ත උදයකීර්ති නිර්මාණය කළ මේ යන්ත්‍රයෙන් ඔවුන් අද නොයෙකුත් නිර්මාණයන් සිදුකරනවා.

පාසැල් අධ්‍යාපනය නිමවා සිටින අතරතුර වඩු කර්මාන්තයට ප්‍රවේශ වන අසංක, ලෝකයේ දියුණු නිර්මාණ කෙරෙහි සිය අවධානය යොමු කරන්නේ තමන්ටද අලුත් අදහසක් ලබා ගැනීමේ අරමුණනින්.

ඒ අනුවයි ඔහුට පරිගණක යන්ත්‍රයකින් ලබා දෙන විධානයන්ට අනුව ලී කැටයම් සිදුකරනු ලබන යන්ත්‍රයක් පිළිබදව දැනගන්නට ලැබී ඇත්තේ.

දැනට ලෝකයේ භාවිතා වන මෙවැනි යන්ත්‍රයක වටිනාකම මෙරට මුදලින් රුපියල් ලක්ෂ 40 කට අධික වන නමුත් මොවුන්ට මේ යන්ත්‍රය නිෂ්පාදනය කිරීමට වැයවී ඇත්තේ රුපියල් ලක්ෂ දෙක හමාරක (2½) පමණ මුදලක් පමණයි.

ඒ මුදල සපයා ගැනීමද ඔවුනට දුෂ්කර කාර්යයක් බවට පත්ව තිබුණා.

නව නිපැයුම් වෙනුවෙන් අත හිත දීම සඳහාම නව අමාත්‍යංශයක් ස්ථාපිත කර ඇති පසුබිමක මෙවැනි නිර්මාණකරුවන්ට සහය ලබාදෙන්නේ නම් විදේශයන්ට ගලා යන විශාල මුදලක් මෙරට තුලම ඉතිරි කර ගත හැකි නොවෙන්නේද ?

***********************************************

විසිවන (20) ව්‍යවස්ථා සංශෝධනය, මේ සතියේ රැස්වන පළමු කැබිනට්ටුවට – වසර දෙකකින් (2) නව ව්‍යවස්ථාවක්

(16.08.2020 – 13:04 +0530 – hirunews.lk/sinhala)

විසිවන (20) ව්‍යවස්ථා සංශෝධනය මේ සතියේ රැස්වන නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ කැබිනට් පත්‍රිකාව මේ වනවිටත් සකස් කෙරෙමින් පවතින බවයි.

පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද විසිවන (20) ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව වත්මන් පාලක පක්ෂය වන පොදුජන පෙරමුණ මහජනතාවට අදහස් ඉදිරිපත් කළා.

එමඟින් ඔවුන් සඳහන් කළේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් රටේ පාලන තන්ත්‍රය තුළ ඇති කර තිබෙන ව්‍යාකූලතාවන් හේතුවෙන් රාජ්‍ය පාලනය අස්ථාවර තත්වයකට පත්වන බවයි.

එසේම හදිසි සංශෝධන ඇතුළත් කිරීම හේතුවෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ පරස්පරතා රැසක් පවතින බවද ඔවුන් පෙන්වා දුන්නා.

මහා සංඝ රත්නය ඇතුලු පූජ්‍ය පක්ෂයද බොහෝ අවස්ථාවලදී ඊට පක්ෂව අදහස් පළ කළා.

මෙවන් පසුබිමකදියි රජය සිය පළමු අමාත්‍ය මණ්ඩල හමුවේදීම විසිවන (20) ව්‍යවස්ථා සංශෝධනය සඳහා අනුමැතිය ලබාගැනීමට සූදානම් වන්නේ.

රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ සකස් කෙරෙමින් පවතින විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මෙන්ම 18 වන ව්‍යවස්ථා සංශෝධනයද අහෝසි කිරීමට බලාපොරොත්තු වනබවයි.

එමෙන්ම විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර පාලන තන්ත්‍රයේදී 19 වන ව්‍යවස්ථාව මගින් ඇතිකර තිබෙන ව්‍යාකූලතාවන් ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමුකරන බව ඔහු ප්‍රකාශ කළා.

මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගන්නා විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකිරීමට නියමිතයි.

අදාළ පනත් කෙටුම්පත ගැසට් කිරීමට නියමිතව ඇත්තේ ඉන් පසුවයි.

රජයේ ආරංචි මාර්ග පවසන්නේ බොහෝවිට එළඹෙන සැප්තැම්බර් මස 2 වන සතිය පමණ වනවිට පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා විසිවන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ හැකිවනු ඇති බවයි.

එමෙන්ම වසර දෙකක (2) පමණ කාලසීමාවක් තුළදී රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට සූදානම් බවද රජය වැඩිදුරටත් පවසනවා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය ලෙස කටයුතු කිරීමට නියමිත සමගි ජනබලවේගය පවසන්නේ හදිසි ව්‍යවස්ථා සංශෝධනය කාලින අවශ්‍යතාවක් නොවන බවයි.

යම් හෙයකින් එය පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් මහජන සංවාදයකට ලක් කළ යුතු බවද එම පක්ෂය පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ විසිවන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ අධ්‍යයනයක් සඳහා සමාජයේ සියලු පාර්ශවයන් හි සංවාදයට බදුන් කළ යුතු බවයි.

මේ අතර දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළේ කිසිදු අයුරකින් 19 වන සංශෝධනය අහෝසි කිරීම සඳහා සිය පක්ෂයේ සහයෝගයක් නොලැබෙන අතර, ඉදිරි පාර්ලිමේන්තු සතියේදී ඒ පිළිබඳව පක්ෂය තුළ අභ්‍යන්තර සාකච්ඡාවක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

************************************************

යාපනයේ කඩසාප්පු රාත්‍රී 10 තෙක් විවෘත කරන ලෙස ඉල්ලීමක්

(16.08.2020 – 13:08 +0530 – hirunews.lk/sinhala)

යාපනය අර්ධද්වීපයේ ආර්ථික ක්‍රියාකාරකම් සක්‍රිය ලෙස පවත්වාගැනීම සඳහා එහි කඩසාප්පු රාත්‍රි 10 වනතුරු විවෘත කර තැබීමට ආණ්ඩුකාරවරිය වන පී.එස්.එම්.චාල්ස් මහත්මිය උපදෙස් ලබාදී තිබෙනවා.

ඇය පවසන්නේ දැනට රාත්‍රී 07:30 පමණ වනවිට මෙම කඩසාප්පු වසා දැමීම හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා එල්ලවන බවයි.

ආණ්ඩුකාරවරිය මෙම උපදෙස් ලබාදුන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කැඳවා තිබූ විශේෂ සාකච්ඡාවකදියි.

මෙහිදී රාත්‍රී 10 පමණ වනතුරු විවෘතව තැබෙන වෙළඳසැල් සඳහා අවශ්‍ය ආරක්ෂාව සපයා දෙන ලෙස පොලීසියට උපදෙස් ලබාදුන් බවයි උතුර පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය ප්‍රකාශ කළේ ෴

*************************************************

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන 45 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කෙරේ

(16.08.2020 – 13:14 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 200 කට වැඩි වටිනාමක් ඇති ‘මැන්ඩි’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 සමග අත්අඩංගුවට පුද්ගලයා බලපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත අද (16) ඉදිරිපත් කර රදවා ගෙන ප්‍රශ්ණ කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.

දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අම්බලන්ගොඩ කලුවඩුමුල්ල – විජයාරාම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.

අම්බලන්ගොඩ – පටබැදිමුල්ල වෙරළ මාවත ප්‍රදේශයේ අබලි ද්‍රව්‍ය ගබඩා කර ඇති ස්ථානයක සඟවා තිබියදි මැන්ඩි නැමති මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකි වු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කලේ.

රාත්‍රී සමාජ ශාලවලට සහ සමාජ මාධ්‍ය හරහා සංවිධානය කරන සාදවලදි මෙම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ අරමුණින් මෙරටට ආනයනය කර ඇති බව වැඩිදුර සිදුකළ විමර්ශණ වලදි අනාවරණය වි තිබෙනවා.

මීට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මුලස්ථානයේ අද (16) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා කියා සිටියා.

මේ අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ වැටලීම් වලදි මේවන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 45 දෙනෙකු රඳවා ගෙන ප්‍රශ්ණ කිරීම් තොරතුරු රැසක් අනාවරණ කරගැනීමටද පොලීසියට හැකිව තිබෙනවා.

මේ අතර ඊයේ (15) සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 08 ක් සහ උණ්ඩ 40 ක් සමග පුද්ගලයන් තිදෙනෙකු (3) ගාල්ල උඩුගම පොලිසිය අත්ඩංගුවට ගත්තා.

සැකකරුවන් සතුව තිබී කංසා මත්ද්‍රව්‍ය හා සතුන් මැරීම සදහා භාවිතා කරන මළපුඩු 13 ක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

මේ අතර පසුගිය ජුලි මාසයේ බද්දේගම වවුලගල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු (2) පොලිසිය අත්අඩංගුවට ගත්තා.

අදාල වෙඩිතැබීම සදහා යොදාගත් විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් ද බද්දේගම කැලෑබද ප්‍රදේශයක සගවා තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

නාවලපිටිය ප්‍රදේශයේ හෙරොයින් හා කේරළ ගංජා අලෙවිකරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගැනීමට නාවලපිටිය පොලිසියේ දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත් වුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 ත් 35 ත් අතර වයස්වල පසුවන්නන්.

මේ අතර, ත්‍රීරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහණය කරමින් සිටි සැකකරුවෙකු හා සැකකාරියක් පුත්තලම පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් කොළඹ සිට පුත්තලම හා අනුරාධපුර ප්‍රදේශවලට හෙරොයින් ප්‍රවාහනය කර ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මේ අතර, මොණරාගල පොලිසියට ලද තොරතුරක් මත කළ පරීක්ෂාකිරීමකදී හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනා.

මේ අතර, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් පරිදි පිළියන්දල පොලිස් වසම තුල සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අධිකරණය මගහැර සිටි වරෙන්තුකරුවන් 45 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට පත්වුවන් අතර කාන්තාවන් 11 ද වනවා.

මේ අතර ඊයේ (15) පස්වරුවේ දෙවිනුවර පොලිසියට ලද තොරතුරක් මත මත්පෙති, හෙරොයින් හා හෂීස් ආදී මත්ද්‍රව්‍ය සමඟ වයස අවුරුදු 23 ක සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

************************************************

කසළ ගැටළුවක් හේතුවෙන් ප්‍රදේශ දෙකක (2) ජනතාව අසීරුතාවක

(16.08.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පිහිටි යහලතැන්න ප්‍රදේශයට කැළිකසළ බැහැර කිරීමෙන් දැවැන්ත පාරිසරික හානියක් සිදුවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

අතිශය පාරිසරික සංවේදි කලාපයක් වන මෙම ප්‍රදේශය තුල පරිසරයට හානිවන සියලු කටයුතු තහනම් කර ඇති බව දන්වමින් දැන්වීම් පුවරු සවිකර තිබෙන නමුත් ඒවා නොසලකා කසල බැහැර කිරීම් සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

යහලතැන්න ප්‍රදේශය සංචාරක ආරක්ෂණය දිනාගත් පරිසර කලාපයක් හෙයින් ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් ද පිහිටා තිබෙනවා.

ප්ලාස්ටික් බදුන්, බියර් කෑන්, හිස් මත්පැන් බෝතල් වැඩි වශයෙන් බැහැර කිරීම් කරන අතර ඒ අනුව ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානමක් ද පවතින බවයි ගම්වාසින් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් විමසු අවස්ථාවේ ඔහු ප්‍රකාශ කළේ අනවසරයෙන් කසළ බැහැර කරන පුද්ගලයින්ට එරෙහිව නිතීය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවයි.

මේ අතර, පුත්තලම – පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට බැහැර කරන ලද රෝහල් සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීමට මුන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කටයුතු කර තිබෙනවා.

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් මෙම පොල් ඉඩමට අවස්ථා දෙකකදි සායනික අපද්‍රව්‍ය ටොන් 30 ක් පමණ ගෙනවිත් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කලේ.

අදාළ ව්‍යාපාරිකයා කම්කරුවන් යොදවමින් පොල් ගස් වටා මෙම සායනික අපද්‍රව්‍ය අතුරා තිබූ අතර, අද (16) දිනයේ එම අපද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ.

**********************************************

10 හැවිරිදි දැරියක් කෙලෙසා ඝාතනය කළ විවාහකයා අත්අඩංගුවට

(16.08.2020 – 14:55 +0530 – hirunews.lk/sinhala)

දස හැවිරිදි (10) දැරියක් දූෂණය කර මරා දැමීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙක් ඊයේ (15) අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද (16) පුත්තලම සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකර තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙලෙස අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකෙරුනේ පාලවිය, පෙරියකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි විවාහකයක පුද්ගලයෙක්.

දස හැවිරිදි (10) දැරියක් දූෂණය කර මරා දැමීමේ චෝදනාවට ලක්ව සිටි අදාල සැකකරු මාසයකට ආසන්න කාලයක් ප්‍රදේශයෙන් පලාගොස් විවිධ ප්‍රදේශවල සැඟව සිට ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඊයේ (15) පස්වරුවේ මෙම සැකකරු පාලවිය ප්‍රදේශයේ පාපැදියකින් ගමන් කරමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් හදුනාගෙන පුත්තලම මූලස්ථාන පොලිසිය වෙත භාරදී තිබුණා.

පුත්තලම, ආසිරිගම ප්‍රදේශයේ පොල් වත්තක සිය මව සමඟ සිටි දස හැවිරිදි (10) දැරියක් සැකකරු විසින් අවස්ථා කිහිපයකදී දූෂණයට ලක් කර ඇති අතර සැකකරු දැරියගේ මව සමඟ මාස දහයකට (10) ආසන්න කාලයක සිට අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට ද කරුණු අනාවරණය වී තිබෙනවා.

එම අනියම් සම්බන්ධතාව පවත්වාගෙන යන අතරතුර දී සැකකරු විසින් දැරියට සැකකරුගේ ජංගම දුරකථනයේ තිබූ අසභ්‍ය දර්ශණ පෙන්වමින් අතවර කර ඇති බවද පොලිසිය මේ වන විට අනාවරණය කරගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ ජංගම දුරකථනය දැරිය රැදී සිටි නිවසේ කාමරයක් තුළ තිබී අද (16) දින පොලිසිය විසින් සොයාගෙන තිබුණා.

දැරියගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණය වී තිබුණේ බරපතල ලෙස දුෂණයකට ලක් කිරීමෙන් පසුව අධික ලෙස රුධිරය වහනයවීමෙන් මරණයට පත්ව ඇති බවයි ෴

දස හැවිරිදි (10) දැරියක් දූෂණය කර මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු රෝහල් ප්‍රතිකාර අවසන් වීමෙන් පසු ලබන (26) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා පුත්තලම පොලීසියට අද (16) නියෝග කළා .

එම සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් ඊයේ (15) අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද (16) පුත්තලම සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකර තිබෙනවා ෴

***********************************************

මිරිස්සේ සිද්ධියට අදාළ තවත් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

(16.08.2020 – 16:07 +0530 – hirunews.lk/sinhala)

ළමයෙකු ධීවර රැකියාව සඳහා මුහුදු ගෙන ගොස් අමානුෂික ලෙස වදහිංසා කර තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඔවුන් දෙදෙනා (2) ඇතුළු සිද්ධියට අදාළව මීට පෙර අත්අඩංගුවට ගත් බෝට්ටු හිමිකරු සහ සෙසු දෙදෙනා (2) මාතර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි.

මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සේවයට ගිය 16 හැවිරිදි පිරිමි දරුවෙකු අමානුෂික වද හිංසාවන්ට ලක් කර ඇති බවට හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණ කළා.

එම අනාවරණයත් සමඟ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ මාතර – කොටවිල පොලීසිය ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කළ අතර, ඒ අනුව අදාළ බහුදින යාත්‍රාවේ හිමිකරු සහ තවත් දෙදෙනකු (2) ඊයේ (15) අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුගිය ජුනි මස 28 වන දා මුහුදු ගිය අදාළ බහුදින ධීවර යාත්‍රාව යළි පැමිණ තිබුණේ මේ මස 12 වන දා වන අතර, දැලට හසුවූ මත්ස්‍යයෙකු ඉන් මිදීයාම පිළිබඳ උරණවී යාත්‍රාවේ සිටි ධීවරයන් තමන්ට පහරදුන් බවයි වද හිංසාවට ලක්වූ ළමයා ප්‍රකාශ කර ඇත්තේ.

එම දරුවා ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බවට ප්‍රකාශයක් ලබාදී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පොලිස් මූලස්ථානයේ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අනාවරණ කළා.

මෙලෙස අමානුෂික වද හිංසාවලට ලක්වූයේ 16 හැවිරිදි වියේ පසුවන මිරිස්ස – බණ්ඩාරමුල්ල ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

ඔහු දරුවන් 5 දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවායි.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ වරයාට තමා දැනුම් දුන් බවයි ධීවර වරාය සංවර්ධන සහ බහුදින ධීවර කටයුතු රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා මාතර ප්‍රදේශයේදී අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

මේ අතර, කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ද එම දරුවාගේ සුවදුක් බැලීම සඳහා අද මාතර මහ රෝහල වෙත පැමිණියා.

ඉන් අනතුරුව ඔහු දරුවාගේ නිවසට ද ගොස් ඒ පිළිබඳව විමසා තිබුණා.

*********************************************

“ආදිවාසීන්ගේ අනන්‍යතාවය ආරක්ෂාවෙන ස්ථිර වැඩපිළිවෙලක් අවශ්‍යයි” – වන්නිලැත්තෝ

(16.08.2020 – 17:05 +0530 – hirunews.lk/sinhala)

“මම නායකත්වයට පත්වෙලා අවුරුදු 23 ක්. හැම අවුරුද්දකම අපි ලෝක ආදිවාසි දින සැමරුම් තියලා, රටපුරා ඉන්න ආදිවාසීන් එකතුවෙලා වරිග සභා තියලා, ආදිවාසීන්ගේ ගැටලු පවතින රජයන්ට දන්වලා තියෙනවා. තාමත් ආදිවාසීන්ගේ ගැටළුවලට ස්ථිර විසදුම් ලැබිලා නෑ. හැමදාම අපි අපේ ගැටළු ගැන සාකච්ඡා කරනවා, ඒවා රජයට දැණුම් දෙනවා. ඊලඟ වසරෙදීත් ඒකමයි වෙන්නේ. ස්ථිර විසදුමක් ලැබෙන්නේ නෑ. මෙහෙම හැමදාම අපේ ප්‍රශ්න වලට ස්ථිර විසදුමක්‍ ‍නොලැබීම හොද නෑ කියලයි මම හිතන්නේ. ආදිවාසීන්ගේ අනන්‍යතාවය ආරක්ෂාවෙන ස්ථිර වැඩපිළිවෙලක් අවශ්‍යයි” යැයි අද (16) උදෑසන දාඹාන ආදිවාසී ගම්මානයේ, කොටබකිණිය, මොරබැද්‍දේදී ආදිවාසී දින සැමරුම පැවති උත්සවයේදී ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරු වරිගයේ වන්නිලැත්තෝ ප්‍රකාශ කළා.

මෙවර ලෝක ආදිවාසී දින සැමරුම් තේමාව බවට, එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් නම්කර ඇත්තේ ‘කොවිඩ් 19 හා ආදිවාසීන්ගේ ඊට ඔරොත්තු දීමේ හැකියාව’ (COVID-19 and Indigenous Peoples’ Resilience) ලෙසයි.

මෙහිදී වැඩි අවදානයක් යොමුවන්නේ ආදිවාසී ජනතාවගේ සාම්ප්‍රධායික ඥාණය වසංගත රෝග පැතිරීම වලක්වා ගන්නට උපයෝගී කර ගන්නේ කෙසේද යන්නයි.

ලෝක ආදිවාසී ජනගහණයේ අයිතිවාසීකම් නැංවීම හා සුරැකීම අරමුණු කරගෙන සෑම වසරකම අගෝස්තු 09 දින ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු ලබනවා.

2020 පාර්ලිමේන්තු මැතිවරණය හා කොරෝනා වසංගතය හේතුවෙන් ලෝක ආදිවාසී දින සැමරුම පසුගිය 09 දින සැමරීම සිදු නොකළ අතර එය අද (16) දක්වා කල් දැමීමටයි කටයුතු කර තිබුණේ.

කොරෝනා වසංගතය හේතුවෙන් සුළු පිරිසක් සහභාගී කර ගනිමින් ඉතා චාම් ආකාරයෙන් මෙම සැමරුම සංවිධානය කර තිබු අතර දඹාන රතුගල, පොල්ලේබැද්ද, හේනානිගල, සහ වාකරේ යන වැදි ගම්මාන වල ආදිවාසී ජනතාව දස දෙනා (10) බැගින් සෞඛ්‍ය අංශ අධික්ෂණය යටතේ සහභාගී කර ගැනුණා.

ඊයේ සවස (15) ආදීවාසීන් එක්ව ඔවුන් ගේ ගැටළු පිළිබඳ සාකච්ඡාකෙරෙන ‘වරිග සභාව’ පවත්වා එම ගැටළු සංදේශක් ලෙස රජයට ඉදිරිපත් කිරීම සඳහා අද (16) දින සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජාතික උරුමයන් පිළිබඳ අතිරේක ලේකම් වෙත ලබාදීමට කටයුතු කළා.

මෙම අවස්ථාව ආදිවාසී ජන ගී හා කිරිකොරහා ශාන්ති කර්මය ආදි ඔහුනට ආවේනික සංස්කෘතික අංගවලින් වර්ණවත් වුණා ෴

*******************************************

කැළණිය සරසවියේ අධ්‍යයන කටයුතු 19 දක්වා කල් යයි

(16.08.2020 – 17:18 +0530 – hirunews.lk/sinhala)

කැළණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයනය කටයුතු ආරම්භ කිරීම ලබන 19 වන දා දක්වා කල් දමා ඇති බව එහි පාලන අධිකාරිය පවසනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු සියළුම විශ්වවිද්‍යාල හෙට (17) දිනයේ සිට ආරම්භ කිරීමට මේ වන විට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, නේවාසිකාගාරවල ඉඩ පහසුකම් සකස් කිරීමට කාලය අවශ්‍ය බැවින් කැළණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු පමණක් මෙලෙස කල් දමා ඇති බවයි එහි පාලන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

පාසල් දැරියක් අපරික්ෂාරී ලෙස පාර මාරුවීමේදී, සිදුවන්නට ගිය අනතුරක් වළක්වාගත් අයුරු අනතුර වළක්වාගත් වාහනයේ කැමරාවක සටහන්ව තිබෙනවා. මෙම සිදුවීම සිදුව ඇත්තේ රිකිල්ලගස්කඩ ප්‍රදේශයේදීයි. (16.08.2020)

***********************************************

රන් ආභරණ කොල්ල කෑ හොර වෛද්‍යවරයා අත්අඩංගුවට

(16.08.2020 – 19:16 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක සායනවලට පැමිණ කාන්තාවන්ගේ රන් ආභරණ කොල්ල කෑ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ හෝමාගම – පිටිපන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු විසින් එලෙස සොරා ගන්නා ලද රුපියල් ලක්ෂ 20 කට අධික රන් ආභරණ ද වෙළදසැල්වලට විකුණා තිබියදී සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කරාපිටිය, පුත්තලම, කෑගල්ල, රත්නපුර, ඇඹිලිපිටිය ඇතුළු රෝහල් කිහිපයකට ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

සැකකරු රෝගීන්ට දැනුම් දී ඇත්තේ පරීක්ෂණවලට පෙනී සිටීමේදී රන් ආභරණ පැළද සිටීම බාධාවක් වන බැවින් ඒවා තමන් වෙත භාර දෙන ලෙසටයි ෴

**********************************************

මත් ජාවාරම්කරුවන්ගේ නව උපක්‍රම ගැන, අවධානයෙන් සිටින්නැයි පොලීසියෙන් උපදෙස්

(16.08.2020 – 19:40 +0530 – hirunews.lk/sinhala)

ආරක්ෂක අංශ විසින් අඛණ්ඩව සිදුකරන වැටලීම් නිසා වෙළඳපොලේ හෙරොයින් සහ මත්ද්‍රව්‍යවල හිඟයක් පවතින බවත්, ඒ හේතුවෙන් විකල්ප මත්ද්‍රව්‍ය රටට ගෙන එම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ පොලිස් මූලස්ථානයේ අද (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මේ අතර, පසුගිය 06 වනදා සිට 12 වනද දක්වා පොලීසිය සිදුකල වැටලීම් වලදී හෙරොයින් කිලෝ 03 යි ග්‍රෑම් 908 යි මිලිග්‍රෑම් 478 ක් සමඟ 2058 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.

එමෙන්ම, අයිස් ග්‍රෑම් 200 ක් සමඟ 92 ද එම කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

*********************************************

වැදගත් වන්නේ සසුන ද? – අසුන ද ? නව සිංහල රාවය ප්‍රශ්න කරයි

(16.08.2020 – 19:45 +0530 – hirunews.lk/sinhala)

අපේ ජනබල පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් ආසන සංවිධායකවරියක් අද (16) පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඇය පැමිණිල්ල මගින් කියා සිටියේ පක්ෂයේ ලේකම් ලෙස කටයුතු කළ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් සැඟවී සිටීම පක්ෂයේ ඉදිරි කටයුතුවලට අහිතකර අයුරින් බලපා ඇති බවයි.

එසේම අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.

එමගින් දක්වා ඇත්තේ පක්ෂ ව්‍යවස්ථාවෙන් සභාපතිවයාට ලැබී ඇති බලතල අනුව පසුගිය 7 වන දා සිට පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් ලේකම් ධුරයෙන් ඉවත් කර ඇති බවයි.

එම නිසා අදාළ ස්වාමීන් වහන්සේ එම පක්ෂයේ ලේකම් ලෙස තවදුරටත් හැදින්වීම පක්ෂයට අගතියක් වන බැවින් එලෙස සිදුනොකරන ලෙස ද අදාළ නිවේදනයේ දැක්වුණා.

මේ අතර, නව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අද (16) මාධ්‍ය හමුවක් කැදවමින් අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හේතුවෙන් පැන නැගී ඇති අර්බුදය පිළිබදව අදහස් පළ කළා.

උන්වහන්සේ ප්‍රශ්න කර සිටියේ ශාසනය රැක ගන්නවාද? නැතිනම් ලැබී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය රැක ගන්නවා ද යන්නයි.

එබැවින් අපේ ජනබල පක්ෂයේ සියළු දෙනා ඒ පිළිබදව අවදානය යොමු කළ යුතු බවටත් උන්වහන්සේ පෙන්වා දුන්නා.

මේ අතර මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුන වැවේ ධම්මරතන හිමියන් පෙන්වා දෙන්නේ භික්ෂූන් වහන්සේ දේශපාලනයට පිවිසීම හරහා ශාසනයට අගතියක් සිදුව ඇති බවයි.

**********************************************

ප්‍රදේශයේ වන අලි ගැටළු සොයන්න, ඇමති ජොන්ස්ටන් මහරෑ කුඹුරට යයි

(16.08.2020 – 19:55 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – නිකවැරටිය ප්‍රදේශයේ ජනතාව මුහුණ පා සිටින වන අලි තර්ජනවලට කඩිනමින් විසදුම් ලබාදෙන ලෙසට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

වන අලි ගම්වැදීම හේතුවෙන් ගොවීන්ගේ වගාවලට ද හානි කිරීම නිසා දැඩි අපහසුතාවට පත්ව ඇති බවට වාර්තා වීමත් සමඟ අමාත්‍යවරයා ඒ පිළිබදව කරුණු සොයා බලා තිබුණා.

එම ගැටළු පිළිබදව සොයා බැලීම සඳහා ඊයේ (15) රාත්‍රියේම අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් අදාළ ප්‍රදේශයට පැමිණි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එම අවස්ථාවට කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම්වරයා, වනජීවි නිලධාරීන්, පොලීසිය ඇතුළු බලධාරීන් එක්ව සිටියා.

එමෙන්ම, අමාත්‍යවරයා ඇතුළු පිරිස වන අලි හානි කරන ලද කුඹුරක් නිරීක්ෂණය කිරීම සඳහා ද ඊයේ (15) රාත්‍රියේ පැමිණියා.

එහිදී වන අලින්ගෙන් තම වගාවන් බේරා ගැනීම සඳහා පැල් රකිමින් සිටි ගොවියෙකු සමඟ අදහස් හුවමාරු කර ගත්තා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *