අපස්මාරයට තැපෑලෙන් එවූ ඖෂධ ගත් ලෙනින් අද අන්ධ වෙලා

අපස්මාරයට තැපෑලෙන් එවූ ඖෂධ ගත් ලෙනින් අද අන්ධ වෙලා

මුහුදු මාර්ගයෙන් ගෙන ආ, කෝටි 30 ක ‘මැන්ඩි’ මත්ද්‍රව්‍ය අම්බලන්ගොඩින් සොයා ගැනේ

මැතිවරණ කොමිසම අඟහරුවාදා (18) හෝ බදාදා (19) රැස්වේ

20 වනදා පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය විවෘත නොවේ

සියලු සරසවි හෙට (17) සිට යළි ඇරේ

බැසිල් වෙනස්කම් ගැන අවධානයෙන්

කොළඹ ඉඩම් අත්පත් කර ගැනීම ගැන විමර්ශනයට CIDයේ විශේෂ ඒකකයක්

හෙරොයින්, හෂීස් ඇතුලු මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු දෙවිනුවරදී අත්අඩංගුවට

මිරිස්සේ ධීවර දරුවාට හිරිහැර කළ බෝට්ටු හිමිකරු ඇතුලු තුන්දෙනෙකු (3) හිරු අනාවරණයෙන් පසු අත්අඩංගුවට

පිටකොටුව සහ ඒ අවට ප්‍රදේශවල සිටි වීදි ගණිකාවන් 10 ක් අත්අඩංගුවට

මඩකලපුව කල්කුඩා ප්‍රදේශයේදී ලොරියක් දුම්රියක ගැටීමෙන් ලොරියේ රියදුරා ජීවිතක්ෂයට

හිරු හෙළි කළ වඩු කර්මාන්තකරුවන්ගේ ගැටළු ගැන විෂය භාර ඇමතිගේ අවධානය

ප්‍රථම වරට මත්තලින් එළවළු හා පළතුරු රැගත් ගුවන් යානයක් ඕමානයට

නිදහස් පක්ෂයට අත්ව ඇති ඉරණමට හිටපු ජනපතිනිය වගකිව යුතු බවට රාජ්‍ය ඇමති කංචන විජේසේකර ගෙන් චෝදනා

********************************************

අපස්මාරයට තැපෑලෙන් එවූ ඖෂධ ගත් ලෙනින් අද අන්ධ වෙලා

(15.08.2020 – 22:13 +0530 – sinhala.adaderana.lk)

අපස්මාරය සඳහා මීරිගම මූලික රෝහලෙන් ලබාදුන් ඖෂධ හේතුවෙන් පෙනීම අහිමි වූ පුවතක් ගම්පහ කල්එළිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

16 හැවිරිදි වියේ පසුවන ලෙනින් නිරෝෂන් ජීවත්වන්නේ ගම්පහ කල්එළිය වැවහේන්වත්ත ප්‍රදේශයේය.

පසුගිය වසරේ සිට අපස්මාරය සඳහා මීරිගම මූලික රෝහලෙන් ප්‍රතිකාර ගන්නා ලෙනින්ට කොවිඩ්-19 වසංගත හේතුවෙන් නිවසටම ඖෂධ ලැබී තිබුණි.

ඒ අනුව ඔහුට ඖෂධ ලැබී තිබෙන්නේ පසුගිය අප්‍රේල් 06 වන දා ය.

නමුත්, ඒ ඖෂධ පානය කිරීමත් සමග ලෙනින්ගේ පෙනීම නැතිව ගොස් තිබේ.

“ෆිට් එකට බෙහෙත් බිබී හිටියේ.. ඇඳිරි නීතිය නිසා – කොරෝනා සිද්ධිය නිසා බෙහෙත් ගන්න – ක්ලීනික් යන්න විදිහක් නැහැ.. තැපෑලෙන් තමයි මේ බෙහෙත් ආවේ.. පුතාට දිය යුතු බෙහෙතක් නෙවෙයි දීලා තියෙන්නේ .. වෙන බෙහෙතක් එවලා තියෙන්නේ.. ඊට පස්සේ මෙයාට බිබිලි දැම්මා.. ඒ බිබිලි ලොකු වුණා… ඊට පස්සේ ඇඟ දියවෙන්න පටන් ගත්තා.. අපි වතුපිටිවල ඉස්පිරිතාලේ නතර කළා.. ඇස් වාට්ටුවට ගෙනිච්චා.. නමුත්, ඇස් දෙක පේන්නේ නැහැ. අනිත් ඒවා නම් සුව වුණා..” යනුවෙන් ලෙනින්ගේ පියා සහ මව පවසයි.

මව්පියන් පවසන්නේ රෝහලෙන් ලබාදුන් ඖෂධ හා මීට පෙර ලබාදුන් ඖෂධ අතර වෙනසක් පවතින බවය.

සිය පුතණුවන්ගේ පෙනීම ලබාගැනීම සඳහා මව්පියන් නොයෙකුත් ප්‍රතිකාර කළ ද ඒවා මෙතෙක් සාර්ථක වී නැත.

අපස්මාරය සඳහා දරුවාට ප්‍රතිකාර කළ ඔවුන්ට දැන් ඇස් පෙනීම යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා තවත් පිරිවැයක් දැරීමට සිදුව තිබේ.

දැන් මෙම මව්පියන් සතු එකම බලාපොරොත්තුව, සිය එකම දරුවාගේ දෑස්වලට පෙනීම ලබා ගැනීමය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීම සඳහා සූදානමින් සිටි ලෙනින්ගේ පාසල් ගමන ද මේ වන විට නැවතී තිබෙන්නේ සිය අනාගත බලාපොරොත්තු ද බිඳ දමමින්.

“හොඳට ඉගෙන ගෙන IT අංශයෙන් ඉස්සරහට යන්න හිටියේ.. මගේ ඇස් දෙක සනීප කරලා දෙන්න.. පිං සිද්ධ වෙනවා..” ලෙනින් අප සමග පැවසීය‍.

කෙසේවෙතත්, මීරීගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ජයන්ත අභයරත්න මහතා පැවසුවේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් මගින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.

**************************************************

මුහුදු මාර්ගයෙන් ගෙන ආ, කෝටි 30 ක ‘මැන්ඩි’ මත්ද්‍රව්‍ය අම්බලන්ගොඩින් සොයා ගැනේ

(15.08.2020 – 21:38 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 300 කට අධික වටිනාකමකින් යුත් කෘත්‍රිම රසායනික මත්ද්‍රව්‍යයක් වන මැන්ඩි කිලෝග්‍රෑම් 12 ක් සමග පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලැබුණු තොරතුරකට අනුව අම්බලන්ගොඩ වෙරළ පාරේ නිවසක් පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවී ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ.

රාත්‍රී සමාජ ශාලාවල සහ සුපිරි හෝටල්වල සාදවලදී මෙම මත්ද්‍රව්‍ය භාවිත වන බවට තොරතුරු ලැබී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රකාශ කර ඇත්තේ රාත්‍රී සමාජ ශාලාවකට බෙදා හැරීම සඳහා මුහුදු මාර්ගයෙන් ලැබුණු මෙම මත්ද්‍රව්‍ය තොගය සගවා තැබූ බවටයි.

ඊට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි. මෙම මත්ද්‍රව්‍ය කිලෝ 12 ක් ශ්‍රී ලංකාවෙන් සොයා ගත් පළමු අවස්ථාව මෙය වනවා ෴

******************************************

මැතිවරණ කොමිසම අඟහරුවාදා (18) හෝ බදාදා (19) රැස්වේ

(16.08.2020 – 07:05 +0530 – hirunews.lk/sinhala)

ජාතික ලැයිස්තුවෙන් අපේ ජනබල පක්ෂයට හිමිවූ මන්ත්‍රී ධුරය සඳහා කවුරුන් පත් කරන්නේද යන්න පිළිබඳ ගැටලුව මේ වනතෙක් විසඳී නැහැ.

එම පක්ෂයේ ලේකම් ලෙස කටයුතු කළ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් මැතිවරණ කොමිසමට ලිපියක් යොමුකරමින් ඒ සඳහා තමන් පත් කරන ලෙස ඉල්ලීමක් සිදුකර තිබුණා.

පසුව, එම පක්ෂයේ සභාපතිවරයා සහ නිලධාරින් මණ්ඩලය රැස්වී පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් ලේකම් ධුරයෙන් ඉවත් කර වෙනත් අයෙකු ලේකම්වරයා ලෙස පත් කරනු ලැබුවා.

අනතුරුව නව ලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපියක් මගින් මැතිවරණ කොමිසමට තවත් අයෙකුගේ නමක් යෝජනා කෙරුණු අතර, මැතිවරණ කොමිසම ඉන් කිසිදු නමක් භාර ගනු ලැබූයේ නැහැ.

පවතින අර්බුදය හේතුවෙන් මැතිවරණ කොමිසම නීතිපතිවරයාගෙන් කරුණු විමසීමට කටයුතු කළේ ඉන් අනතුරුවයි.

ඊට අදාල තීන්දුව ලබා ගත යුතු වන්නේ මැතිවරණ කොමිසම විසින් බවයි නීතිපති දෙපාර්තමේන්තුව පසුව ප්‍රකාශ කළේ.

ඒ අනුව ඊට අදාළ තීන්දුව ලබා ගැනීම සඳහා මැතිවරණ කොමිසම එළඹෙන අගහරුවාදා (18) හෝ බදාදා (19) දිනයේ රැස්වීමට නියමිතව තිබෙනවා.

හෙට (17) දිනයේ මැතිවරණ කොමිසම රැස්වීමට නියමිතව තිබුණ ද නොවැළැක්විය හැකි හේතුවක් නිසා හෙට (17) දිනයේදී මැතිවරණ කොමිසම රැස් නොවන බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

ඒ අනුව, අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට කවුරුන් පත් කරන්නේ ද යන තීන්දුව එළඹෙන අඟහරුවාදා හෝ බදාදා රැස්වන මැතිවරණ කොමිසම තීරණය කරනු ඇති.

මේ අතර අපේ ජන බල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදානිගම විමලතිස්ස හිමියන්ට විරුද්ධව යක්කල සහ වීරගුල යන පොලිස් ස්ථාන දෙකට (2) ඊයේ (15) පාර්ශ්ව දෙකක් (2) විසින් පැමිණිලි ඉදිරිපත් කළා.

ඒ උන්වහන්සේගේ ක්‍රියාකලාපය හේතුවෙන් සිය ඡන්ද දායකයින්ගේ අපේක්ෂාවන් යටපත්වන බව පවසමින් ෴

***********************************************

20 වනදා පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය විවෘත නොවේ

(16.08.2020 – 07:36 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන 20 වනදා පාර්ලිමේන්තුව කැඳවනු ලැබුව ද එදින මහජන ගැලරිය විවෘත නොවන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා ප්‍රකාශ කළා.

මහජනතාවට පාර්ලිමේන්තුවට ඇතුළු වීම පිළිබඳව නව කතානායකවරයා තෝරා පත් කර ගැනීමෙන් අනතුරුව තීරණය කරන බවයි හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා සඳහන් කළේ.

එමෙන්ම, නව පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇති මන්ත්‍රීවරුන් සියලුදෙනා මේ වනවිට ඔන්ලයින් ක්‍රමවේදයට සිය තොරතුරු ලබා දී තිබෙනවා.

පසුගිය මහමැතිවරණයෙන් තේරීපත්වු මන්ත්‍රීවරුන්ගේ ජීව දත්ත තොරතුරු ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීම පසුගියදා ආරම්භ කෙරුණා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගිය 11 වනදා අරලියගහ මන්දිරයේදි සිය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා සකස් කර ඇති අයදුම්පත පුරවා පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වෙත ලබා දී තිබුණා.

මන්ත්‍රීවරුන් දිවුරුම් දීම හෝ ප්‍රතිඥා දීම සහ ඉදිරි කටයුතු සදහා ඔවුන්ගේ ජීව දත්ත තොරතුරු අනිවාර්ය වන අතර පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි ඔන්ලයින් ක්‍රමවේදය මත මෙවර මන්ත්‍රීවරුන්ගේ ජීව දත්ත ලබා ගැනීමට කටයුතු කර ඇත්තේ ෴

***********************************************

සියලු සරසවි හෙට (17) සිට යළි ඇරේ

(16.08.2020 – 08:18 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා අවදානම හේතුවෙන් වසා දැමුණු සියලු විශ්වවිද්‍යාල හෙට (17) සිට අධ්‍යයන කටයුතු සඳහා යළි විවෘත කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ අද (16) සිට සිසුන්ට නේවාසිකාගාර වෙත පැමිණිය හැකි බවයි.

මේ අතර, ආසාදිතයින් 4 දෙනෙකු ඊයේ (15) හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2890 දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු (2), මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයෙකු (1) සහ තුර්කියේ සිට පැමිණි විදේශිකයෙකු (1) එම ආසාදිතයින් අතර වන බවයි.

ආසාදිතයින් 8 දෙනෙකු ඊයේ (15) දිනයේදී සුවය ලබා පිටව යාමත් සමග කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2666 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ආසාදිතයින් 213 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමඟ පැමිණීමට නොහැකිව විදේශයන්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 494 දෙනෙකු මත්තල සහ කටුනායක ගුවන් තොටුපලවලින් ඊයේ (15) රාත්‍රියේ සහ අද (16) අලුයම දිවයිනට පැමිණියා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි 34 දෙනෙකු, කටාර් රාජ්‍යයේ රැඳි සිටි 22 කු, කටුනායක ගුවන් ගුවන් තොටුපල වෙත පැමිණ තිබුණා.

ඊට අමතරව ඕමානයේ සිට 150 දෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි 288 දෙනෙකු මත්තල ගුවන් තොටුපල වෙතද පැමිණ ඇති බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් සියලුදෙනා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව නිරෝධායනයට යොමු කිරීමට නියමිතව තිබෙනවා ෴

*************************************************

බැසිල් වෙනස්කම් ගැන අවධානයෙන්

(16.08.2020 – 08:31 +0530 – hirunews.lk/sinhala)

මහමැතිවරණයේදී ජනතාව ලබා දුන් තුනෙන් දෙකක බහුතර බලයක් සහිත දැවැන්ත ජනවරම මෙරට ආර්ථික සංවර්ධනය සඳහා යොදා ගත යුතුව ඇතැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමයේ නියෝජිතයින් සමග අරලියගහ මන්දිරයේ ඊයේ (15) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම සඳහා දැවැන්ත ජනවරමක් ලබාදුන් ජනතාව මෙරට සංවර්ධනයේ පැහැදිලි වෙනසක් අපේක්ෂාවෙන් සිටින අතර, එම වෙනස උදා කිරීම සඳහා සැලසුම් සේවයට අතිවිශාල කාර්යයක් පැවරී ඇති බවයි බැසිල් රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දුන්නේ.

සමස්ත රාජ්‍ය සේවය පිළිබඳවම අවධානය යොමුකර ව්‍යූහාත්මක සහ පරිපාලනමය වෙනස්කම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදුකිරීමට පියවර ගන්නා බව ද එහිදී ඔහු සඳහන් කළා.

**********************************************

කොළඹ ඉඩම් අත්පත් කර ගැනීම ගැන විමර්ශනයට CIDයේ විශේෂ ඒකකයක්

(16.08.2020 – 08:35 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන්ට බන්ධනාගාර නිලධාරියෙකු වඳින වීඩියෝවක් තමන් අතට පත්ව ඇතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

එමෙන්ම බලහත්කාරයෙන් සහ වංචාසහගත ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක් ආරම්භ කර ඇති බවයි කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ.

මෙරට ක්‍රියාත්මක සියලු සංවිධානාත්මක අපරාධ මෙහෙයවන්නේ බන්ධනාගාරය තුළ සිට බවට මේ වන විට අනාවරණ වී ඇතැයි ද ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළා.

ඔහු වැඩි දුරටත් සඳහන් කළේ, දෙමළ ඩයස් පෝරාවේ මෙහෙයවීම මත ඇතැම් ත්‍රස්ත ක්‍රියා මෙරට තුළ තවමත් ක්‍රියාත්මක බවයි.

************************************************

හෙරොයින්, හෂීස් ඇතුලු මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු දෙවිනුවරදී අත්අඩංගුවට

(16.08.2020 – 09:00 +0530 – hirunews.lk/sinhala)

මාතර – දෙවිනුවර ප්‍රදේශයේදී හෙරොයින්, හෂීස්, ගංජා සහ මත්පෙති සමඟ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගන්දර පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (15) සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් එකයි (1) මිලිග්‍රෑම් 50 ක්, හෂීස් ග්‍රෑම් 15 ක්, ගංජා ග්‍රෑම් 85 ක් සහ මත්පෙති 15 ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

23 හැවිරිදි සැකකරු දෙවිනුවර ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, ඔහු අද (16) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

*********************************************

මිරිස්සේ ධීවර දරුවාට හිරිහැර කළ බෝට්ටු හිමිකරු ඇතුලු තුන්දෙනෙකු (3) හිරු අනාවරණයෙන් පසු අත්අඩංගුවට

(16.08.2020 – 10:25 +0530 – hirunews.lk/sinhala)

ළමයෙකු ධීවර රැකියාව සඳහා මුහුදු ගෙන ගොස් අමානුෂික ලෙස වදහිංසා කර තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම යාත්‍රාවේ හිමිකරු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය ඊයේ (15) සිදුකළ අනාවරණයත් සමඟ විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් (4) ද ඒ සඳහා යෙදවීමට කටයුතු කර තිබුණා.

සිද්ධියට සම්බන්ධ අනෙක් සැකරුවන් දෙදෙනා (2) සොයා පොලීසිය තවදුරටත් විමර්ශන සිදුකරනවා.

මෙලෙස අමානුෂික වද හිංසාවලට ලක්වූයේ 16 හැවිරිදි වියේ පසුවන මිරිස්ස – බණ්ඩාරමුල්ල ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

ඔහු දරුවන් 5 දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවායි. තවත් ධීවරයින් හතරදෙනෙකු (4) සමඟ මෙම ළමයා පසුගිය ජූනි 28 වනදා බහුදින යාත්‍රාවකින් මුහුදු ගොස් තිබුණා.

එහිදී දැලට හසුවූ මත්ස්‍යයෙකු ඉන් මිදීයාම පිළිබඳ උරණවී අනෙකුත් ධීවරයන් තමන්ට පහරදුන් බවයි මෙම ළමයා ප්‍රකාශ කරන්නේ.

ඔහුගේ සිරුරේ තැනින් තැන කැපුම් තුවාල ද දක්නට ලැබුණා.

මේ වනවිට දෙමාපියන් විසින් ඔහු මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ යාත්‍රාවේ හිමිකරු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ වරයාට තමා දැනුම් දුන් බවයි ධීවර වරාය සංවර්ධන සහ බහුදින ධීවර කටයුතු රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා මාතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

මේ අතර කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ද එම දරුවාගේ සුවදුක් බැලීම සඳහා අද මාතර රෝහලට පැමිණ තිබුණා.

**************************************************

පිටකොටුව සහ ඒ අවට ප්‍රදේශවල සිටි වීදි ගණිකාවන් 10 ක් අත්අඩංගුවට

(16.08.2020 – 10:57 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුව සහ ඒ අවට ප්‍රදේශවල සැරිසරමින් සිටි වීදි ගණිකාවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ඊයේ (15) සිදු කෙරුණා.

කොළඹ මධ්‍යම කොට්ඨාශ බුද්ධි අංශ නිලධාරීන්ගේ තොරතුරු අනුවයි ඊයේ (15) පස්වරුවේ වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී අයාලේ යාමේ චෝදනාව මත කාන්තාවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

කොටුව, පිටකොටුව, වේල්ලවීදිය සහ මරදාන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් මෙම කාන්තාවන් වැඩිදුර විමර්ශණ සඳහා පිටකොටුව පොලිසිය ඉදිරිපත් කර තිබෙනවා.

**********************************************

මඩකලපුව කල්කුඩා ප්‍රදේශයේදී ලොරියක් දුම්රියක ගැටීමෙන් ලොරියේ රියදුරා ජීවිතක්ෂයට

(16.08.2020 – 11:47 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව කල්කුඩා ප්‍රදේශයේදී ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එම ලොරියේ රියදුරා මියගොස් තිබෙනවා.

ඊයේ (15) සවස කල්කුඩා – පාසිකුඩා ප්‍රධාන මාර්ගයේ පිහිටි දුම්රිය ගේට්ටුවක් අසලදීයි අනතුර සිදුවී ඇත්තේ.

මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන දුම්රියක ලොරිය ගැටී තිබෙනවා.

දුම්රියට ගමන් කිරීම සඳහා ගේට්ටුව වසා තිබී ඇති අතර ලොරියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියට ගමන් කර දුම්රියේ ගැටී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

************************************************

හිරු හෙළි කළ වඩු කර්මාන්තකරුවන්ගේ ගැටළු ගැන විෂය භාර ඇමතිගේ අවධානය

(16.08.2020 – 12:13 +0530 – hirunews.lk/sinhala)

මෙරට පාරම්පරික වඩු කර්මාන්තකරුවන් මුහුණදී ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් ‘රතු මිනිත්තුව’ විශේෂාංගය හරහා අප ඊයේ (15) අනාවරණ කළා.

හිරු කළ අනාවරණයත් සමඟ විෂයභාර රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ අවධානය ඊට යොමුව තිබෙනවා.

මෙරට පාරම්පරික වඩු කර්මාන්තය ඉතා දියුණුව මට්ටමක පැවති බවට අදටත් ඉතිරිව ඇති දඹදෙණිය, යාපහුව, කුරුණෑගල හා මහනුවර ආදී යුග වල දැවමුවා නිර්මාණ සාක්ෂි දරනවා.

නමුත් වඩු කර්මාන්තයට අද අත්ව ඇති ඉරණම ඉතා ඛේදනීය බව බදුල්ල දිස්ත්‍රික්කයේ වඩු කාර්මිකයන් මුහුණ දී ඇති ගැටලු ඉදිරිපත් කරමින් අප ඊයේ (15) රටට හෙළි කළා.

දැව නිෂ්පාදන විදෙස් රටවලින් ආනයනය කිරීම මෙන්ම දැව වෙනුවට ප්ලාස්ටික් සහ ඇලුමිනියම් ආදේශක වෙළඳ පොල ආක්‍රමණය කිරීම මෙම ගැටලුව උත්සන්න කිරීමට හේතුවක් වී ඇති ඇතැයි කර්මාන්තකරුවන් පෙන්වා දුන්නා.

හිරු ප්‍රවෘත්ති කළ අනාවරණය සම්බන්ධයෙන් අවධානය යොමුකළ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසුවේ වඩු කාර්මිකයන්ගේ ගැටළු කඩිනමින් විසදීමට පියවර ගන්නා බවයි.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මයුර සමරකෝන් මහතා මැටි කර්මාන්තය නඟා සිටුවීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.

“මැටි ඇමතිකම හරියට කළොත් රටම ගොඩය” යනුවෙන් ආරම්භ කර තිබූ එම සටහන මගින් මැටි කර්මාන්තය ඔස්සේ සිදුකළ හැකි විවිධ නිර්මාණ සම්බන්ධයෙන්ද කරුණු දක්වා තිබුණා.

එම සටහන පිළිබඳවද විෂයභාර රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය තමන්ගේ ෆේස්බුක් සටහනකට යොමුවීම සම්බන්ධයෙන් මහාචාර්යවරයා මෙලෙස අදහස් පළ කළා.

**********************************************

ප්‍රථම වරට මත්තලින් එළවළු හා පළතුරු රැගත් ගුවන් යානයක් ඕමානයට

(16.08.2020 – 12:25 +0530 – hirunews.lk/sinhala)

දේශීය එළවළු හා පළතුරු තොගයයක් රැගත් ගුවන් යානයක් ප්‍රථම වරට මත්තල රාජපක්ෂ ගුවන්තොටු පොලේ සිට අද (16) අළුයම 12:30 ට ඕමානයේ මස්කට් නුවර බලා පියාසර කළ බව මත්තල රාජපක්ෂ ගුවන් තොටු පොලේ ප්‍රධාන කළමණාකරු උපුල් කලංසුරිය මහතා පවසනවා.

දේශීය එළවළු හා පළතුරු වර්ග පිටරට යැවීමේ විශේෂ වැඩපිළිවෙල අනුව කිලෝ 3371 ක් පමණ මෙරට වගා කල එළවළු හා පළතුරු ප්‍රථමවරට මෙලෙස අපනයනය කිරීම සිදුවුණා.

‘සලාම් එයා’ ගුවන් සේවයට අයත් OV 1432 දරණ ගුවන් යානයෙන් එම තොගය අද (16) අළුයම මත්තල රාජපක්ෂ ගුවන් තොටු පොලේ සිට ඕමාන් රාජ්‍ය කරා රැගෙන ගිය බව සදහන් .

එම ගුවන් යානය ඊයේ (15) රාත්‍රි 11:20 ට දෝහා කටාර් හා ඕමානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 150 දෙනෙකු රැගෙන මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොලට පැමිණ තිබෙනවා.

පසුව ඕමානයේ රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රි ලාංකික මගින් 14 දෙනෙකු හා පළතුරු තොගය රැගෙන නැවත ඕමානයේ මස්කට් නුවර බලා එය යළිත් පිටත්ව තිබෙනවා.

***********************************************

නිදහස් පක්ෂයට අත්ව ඇති ඉරණමට හිටපු ජනපතිනිය වගකිව යුතු බවට රාජ්‍ය ඇමති කංචන විජේසේකර ගෙන් චෝදනා

(16.08.2020 – 12:25 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේවන විට අත්ව ඇති ඉරණමට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වගකිව යුතු බවට රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා චෝදනා කරනවා.

මේ අතර වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *