11, 12, 13 ශ්‍රේණි සඳහා පාසල් අද (27) සිට විවෘතයි

(27.07.2020 – 07:25 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු පාසල් 11, 12 සහ 13 ශ්‍රේණි සඳහා පමණක් අද (27) සිට යළි විවෘත කෙරෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පෙරවරු 07:30 සිට පස්වරු 03:30 දක්වා මෙම ශ්‍රේණි සඳහා පාසල් පැවැත්වෙන බවයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතු වූ නව තත්ත්වයන් හමුවේ පාසල් විවෘත කිරීමේ දින සහ විභාග පැවැත්වෙන දින සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා තීරණය කළා.

ඒ අනුව සෙසු ශ්‍රේණි සඳහා අගෝස්තු 10 වන දා සිට යළි පාසල් ආරම්භ කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

සෞඛ්‍ය අංශය විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ උපදෙස්වලට අනුකූලව පාසල් පවත්වාගෙන යාමට අවශ්‍ය සියළු කටයුතු යොදා ඇති බව ද එම අමාත්‍යාංශය සඳහන් කළා.

කෙසේ වෙතත් පාසල් ළමයින් ප්‍රවාහන කරන වෑන් රථ හා බස් රථ හිමිකරුවන් මේ වන විට ගැටළු රැසකට මුහුණ දී සිටින බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා ප්‍රකාශ කළා.

මේ අතර, ඊයේ (26) දිනයේදී කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,782 දක්වා ඉහළ ගියා.

ආසාදිතයන් පස්දෙනෙකු (5) සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තාවූ අතර, කටාර් හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි 4 දෙනෙකුද කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වුණා.

එමෙන්ම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයන් තුන්දෙනෙකුද (3) කොරෝනා ආසාදිතයන් බවට ඊයේ (26) තහවුරු වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ 665 දෙනෙකු පසුවන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 2,106 ක්.

එමෙන්ම ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල කටයුතු කිරීමේදී සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ ෴

***************************************

මඩු රක්ෂිතයේ කැලෑ කැපෙයි

(26.07.2020 – 21:27 +0530 – sinhala.adaderana.lk)

මන්නාරම මඩු රක්ෂිත භූමිය එළි කිරීමක් අනාවරණ කරගැනීමට මන්නාරම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඊයේ (25) සමත් විය.

එහිදී අත්අඩංගුවට පත් සැකකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ රක්ෂිතය කැපීමට අවසර දී ඇත්තේ මඩු සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය බවය.

මන්නාරම මඩු රක්ෂිතය කීරිසුඩ්ඩාන් ප්‍රදේශයෙන් එළි කරමින් සිටින බවට මන්නාරම පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි ඒකකයට තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව, ඔවුන් ඉන්පසු එම ප්‍රදේශයේ වැටලීමක් සිදු කළේ පරයනාලන්කුලම් පොලිස් නිලධාරීන් සහ මඩු, අඩවි වන නිලධාරීන්ද සමගිනි.

ඒ වන විටත් ඩෝසර් යන්ත්‍රයක් යොදාගනිමින් රක්ෂිතය එළි පෙහෙළි කරමින් සිට ඇති අතර වහා ක්‍රියාත්මකවූ නිලධාරීන් ඩෝසර් ක්‍රියාකරු අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විටත් මඩු රක්ෂිතයේ අක්කර 5 කට අධික භූමි ප්‍රමාණයක් එළි කර ඇති බව මඩු අඩවි වන නිලධාරීන් පැවසීය.

අත්අඩංගුවට පත් ඩෝසර් ක්‍රියාකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ මඩු රක්ෂිතයේ අක්කර 100 ක භූමි ප්‍රමාණයක් එළි කිරීමට මඩු සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ප්‍රදේශවාසීන්ට අවසර ලබා දී ඇති බවය.

රක්ෂිතයක් කපා දැමීමට සහකාර ප්‍රාදේශීය ලේකම්වරියට එසේ අවසර ලබා දිය හැකිද?

එල්ල වන මෙම චෝදනාව පිළිබඳ අප මඩු සහකාර ප්‍රාදේශීය ලේකම් විනෝගිතා ගනේෂ් මහත්මියගෙන් විමසීමක් කළේය.

ඇය පැවසුවේ සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා රක්ෂිතය මෙලෙස එළි කිරීමට තමන් ප්‍රදේශවාසීන්ට අවසර දුන් බවය.

මෙම ප්‍රදේශය රක්ෂිතයක් ලෙස 2012 වසරේදී නම් කළ ද එය අතීතයේ සිට කුඹුරු ප්‍රදේශයක්ව පැවති බව ඇය සඳහන් කළාය

කීරිසුඩ්ඩාන් ප්‍රදේශවාසීන් කළ ඉල්ලීමක් මත කුඹුරු යළි සකස්කර දීමට තමා මෙම අවසරය ලබා දුන් බවත් ඊට විෂය භාර අමාත්‍යාංශයෙන් හෝ වගකිවයුතු කිසිවකුගෙන් අවසර ලබා නොගත් බවත් ඇය පිළිගත්තාය.

සංවර්ධන ව්‍යාපෘතියක් හෝ කුමන අවශ්‍යතාවකට වුවත් නිසි ක්‍රමවේදයට පටහැනිව ගොස් රක්ෂිතයක් එළි කිරීමට ක්‍රියා කරමින් සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ලබා දෙන්නේ වැරදි පූර්වාදර්ශයක් නොවේද?

***************************************

මෙරටට පැමිණීමට සිටින විදෙස්ගත ලාංකිකයින්ට සුබ ආරංචියක්

(26.07.2020 – 14:15 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි සතිය තුළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ කටයුතු යළි ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කඩුවෙල ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ආසාදිතයෙකු රෝහල්වලින් පැන යාම පිළිබඳව මාධ්‍යවේදියෙක් විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ මේ වන විට පොලීසියෙන් අයි.ඩී.එච්. රෝහලේ ආරක්ෂිත තත්ත්වය පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.

එසේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු කොවිඩ් ආසාදිතයින් රඳවා ඇත්තේ කන්දකාඩු රෝහලේ බවත් එම ස්ථානවල ද හමුදා ආරක්ෂාව ඇති බැවින් ඔවුන්ට පැන යාමට ඉඩක් නැති බවත් හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

***************************************

ඇමැතිගේ රථයටත් ‘තෙල් සමග’ වතුර ලීටර් 4 ක් ගහලා – අධිවේගී මාර්ගයේ දී ඇමති අමාරුවේ වැටේ

(26.07.2020 – 08:53 +0530 – truenews.lk)

මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති මෙන්ම ඛනිජ තෙල් විෂය භාර ඇමැතිවරයා වන මහින්ද අමරවීර මහතා ගමන් ගත් වාහනයට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිරවුම්හලකින් ජලය මිශ්‍ර ඉන්ධන පිරවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඇමැතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ සිට අඟුණුකොළපැලැස්ස බලා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන අතරේ වැලිපැන්න සේවා මධ්‍යස්ථානයේදී සිය රථයට ඉන්ධන පුරවාගෙන තිබුණා.

ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන්ම පිරෙන සේ ඉන්ධන ලබාගත් ඇමැතිවරයා යළි ගමන් අරඹා කිලෝමීටර් 10 ක් පමණ ඉදිරියට ගිය පසු වාහනය එකවරම නතර වී ඇති අතර පරීක්ෂා කරද්දී ඉන්ධන ටැංකියේ ජලය ලීටර 4 ක් පමණ තිබී ඇති බව වාර්තා වනවා.

මේ පිළිබඳව අදාළ ඉන්ධනහලෙන් විමසීම් කර ඇති අතර, තමන් අලෙවි කළ ඉන්ධනවල ජලය මිශ්‍ර වී නැතැයි ඔවුන් පවසා තිබෙනවා. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන ලෙස ඇමැතිවරයා ඛනිජ තෙල් සංස්ථාවට නියෝග කළ බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා ෴

***************************************

නාකොටික් නිලධාරීන් සමග සිටියේ කොටි නායකයෙක් – තොරතුරු හෙළිවේ

(26.07.2020 – 09:28 +0530 – truenews.lk)

කුඩු ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ නාකොටික් නිලධාරීන් එල්.ටී.ටී.ඊ. පිස්තෝල කල්ලි නායකයකු සමග සමීප සබඳතා පවත්වමින් ජාවාරම් කරගෙන ගොස් ඇතැයි විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

මන්නාරමේ සුඛෝපභෝගී හෝටලයක් හා මීගමුවේ නිවසක් හිමි ‘ෆැහෙලියන්’ නමැති මෙම කොටි පිස්තෝලකරුගේ නිවසට නාකොටික් නිලධාරීන් කිහිප දෙනකු නිතර ආගිය බවද හෙළිවී ඇති බව වාර්තා වනවා.

මෙම කොටි පිස්තෝල නායකයාගේ නිවසේ හා හෝටලයේ මෙම නිලධාරීන් නිතර සාද පවා පවත්වා ඇති බවද වාර්තා වනවා.

ඔත්තුකරුවකු බව පෙන්වා දෙමින් මෙම​ කොටි පිස්තෝලකරු සමග ජාවාරම් කළ බවට තොරතුරු හෙළිවී ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළා.රේගුවේදී ඇල්ලූ රත්රන් කිලෝ 20 ක ජාවාරමක් සම්බන්ධයෙන් ෆැහෙලියන් දුන් ඔත්තුවක් නිසා රජයෙන් ත්‍යාග මුදල් ලෙස ලද රුපියල් දෙකෝටි හැටපන් ලක්ෂයෙන් රුපියල් ලක්ෂ 75 ක් මෙම නිලධාරීන් ලබා ගෙන ඇතැයිද වාර්තා වනවා.

මුස්ලිම් ජාතිකයකු ලෙසද පෙනී සිටින ‘ෆැහෙලියන්’ 1996 සිට 2001 දක්වා මන්නාරම භාර පිස්තෝල කල්ලි නායකයා ලෙස කටයුතු කර තිබෙනවා ෴

***************************************

පාතාලයට පොලිස් හැඳුනුම්පතක් දීලා – රට පුරා පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

(27.07.2020 – 07:43 +0530 – truenews.lk)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු (2) වන මාකඳුරේ මදූෂ් සහ කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයින් දෙදෙනෙකු (2) කොටහේන ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොටහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින්.

කොටහේන මහා විද්‍යාලය අසලදී අත්අඩංගුවට ගෙන ඇති එක් සැකකරුවෙකු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහිදී සමීප සබඳතා පැවැත්වූ අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ. එසේම 2018 වසරේදී පාතාල සිද්ධියක් සම්බන්ධයෙන් අලුත්කඩේ පල්ලිය අසලදී වෙඩි තබා ඝාතනය කෙරුණු මොහොමඞ් හුසෙයින් මොහොමඞ් රිස්කාන් නමැත්තා සමග ද මෙම සැකකරු සමීප සබඳතා පවත්වා ඇති බව අනාවරණ වී තිබෙනවා.

43 හැවිරිදි මෙම සැකකරු වැල්ලම්පිටිය වෙන්නවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අලුත්කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට අද (27) ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර හෙරොයින් ග‍්‍රෑම් 01 යි මිලිග‍්‍රෑම් 800 ක් සන්තකව සිටි තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු කොටහේන මැල්වත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු අතර ඔහු දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙක්.

2019 වසරේ පෙබරවාරි 14 වැනිදා ආශා පාරික් කමල්දීන් නමැත්තියකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබලදීමේ චෝදනා එල්ල වී ඇති මෙම සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති පුද්ගලයෙකු බව ද පොලීසිය පැවසුවා.

30 හැවිරිදි එම පුද්ගලයා කොළඹ 12, මෛතී‍්‍රබෝධිරාජ මාවත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර දැනට අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රන්සිලිපේලිගේ බුද්ධික ප‍්‍රසාද් නොහොත් ‘ආමි සුරංග’ නමැත්තා සන්තකයේ තිබී පොලිස් කොස්තාපල් රියදුරෙකුට අයත් හැඳුනුම්පතක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව මෙම ‘ආමි සුරංග’ නමැත්තා අදාළ හැඳුනුම්පත භාවිත කරමින් අපරාධ සිදුකළේ ද යන්න සොයාබැලීම සඳහා කටයුතු කරන්නැයි වැඩබලන පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ ෴

***************************************

කැළණිය පෙතියාගොඩ ප්‍රදේශයේ නිවාස පෙළක ගින්නක්

(27.07.2020 – 08:25 +0530 – hirunews.lk/sinhala)

කැළණිය – පෙතියාගොඩ ප්‍රදේශයේ නිවාස පෙළක මේ වනවිට ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න නිවාදැමීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ තුනක් පිටත් කර යැවූ බවයි එම ඒකකය සඳහන් කළේ.

+++++++++++++++++++++

***************************************

මට්ටක්කුලියේදී හෙරොයින් සමඟ ඇල්ලූ තරුණියකගේ ගිණුමක ලක්ෂ 16 ක්

(27.07.2020 – 11:03 +0530 – hirunews.lk/sinhala)

මට්ටක්කුලිය – සමිට්පුර ප්‍රදේශයේදි හෙරොයින් ග්‍රෑම් 32 ක් සමඟ අත්අඩංගුවට ගත් 24 හැවිරිදි තරුණියකගේ බැංකු ගිණුම් පරීක්ෂාවේදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් ලක්ෂ 16 ක මුදලක් එහි ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

අදාළ තරුණිය සමිට්පුර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය 16 වනදායි.

ඇය මේ මස 30 වනදා දක්වා දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, මට්ටක්කුලිය පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම තරුණියගේ මවද මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙක් බවයි.

මේ අතර බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන නිලධාරින් පිරිසක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ මෙම නිලධාරීන් පිරිස, අපරාධකරුවන් සමඟ විවිධ තොරතුරු හුවමාරු කරගත් බවට සාධක පවතින බවයි.

බූස්ස කඳවුරේ විශේෂ ගණයේ අපරාධකරුවන් 30 දෙනෙකු පමණ රඳවා සිටිනවා.

එම අපරාධකරුවන්ගේ පණිවුඩ පිටත සිටින ඔවුන්ගේ සමීපතමයන්ට ලබාදීම මෙම නිලධාරීන්ට එල්ලවන ප්‍රධානතම චෝදනාවයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත් රැදවියන්ට පිටත පිරිස් සමඟ සබඳතා පවත්වාගෙන යාමට ඇති ඉඩ මේ වනවිට අහුරා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාර සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන අතර, දුරකථන සංඥා විකෘති කිරීමේ උපකරණ ද බූස්ස ඇතුලු බන්ධනාගාරවල සවිකර තිබෙනවා.

එමෙන්ම තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණයේදී අද සළකා බැලීමට නියමිතයි.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙකුට ශීතකරණයක් ඇතුළු පහසුකම් ලබාදීමේ චෝදනා මත මෙම බන්ධනාගාර අධිකාරිවරයා සහ තවත් නිලධාරීන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගැනීමට පසුගිය 22 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළා.

ඊට එරෙහිවයි සැකකාර බන්ධනාගාර අධිකාරිවරයා මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ.

මේ අතර ඇඟිලි සළකුණු ආධාරයෙන් හඳුනාගත් අපරාධකරුවන් 93 දෙනෙකු ඇතුලු විවිධ වැරදි සම්බන්ධයෙන් 1,191 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ (26) උදෑසන හයේ (06:00) සිට පස්වරු හය (06:00) දක්වා පැය 12 ක කාලය තුළ සිදුකළ විශේෂ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

හෙරොයින්, අයිස් ඇතුලු මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 539 දෙනෙකුද එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර වනවා.

***************************************

පාසල් ළමයින්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක

(27.07.2020 – 12:30 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු පාසල්වල 11, 12 සහ 13 ශ්‍රේණි අද (27) ආරම්භවීමත් සමඟ එම ශ්‍රේණිවල ළමයින්ගේ පැමිණීම ඉහළ මට්ටමක පවතින බව වාර්තාවනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ළමයින් පාසල් වෙත පැමිණෙන අයුරු දක්නට ලැබුණු බවයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් මෙරට තුළ කොරෝනා වෛරසය යළි ව්‍යාප්තවීමක් සිදුවීමත් සමඟ පසුගිය 13 වනදා සිට සති දෙකක කාලයක් පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා.

ඒ අනුවයි 11, 12, සහ 13 වන ශ්‍රේණි පමණක් අද දිනයේ ආරම්භ කිරීමට පියවර ගත්තේ. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පෙරවරු 07:30 සිට පස්වරු 03:30 දක්වා මෙම ශ්‍රේණි සඳහා පාසල් පැවැත්වෙන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන ‘සිසු සැරිය බස් රථ’ද අද (27) දිනයේ සාමාන්‍ය පරිදි ධාවනයට එක් කර තිබූ අතර, අගෝස්තු 10 වනදා සිට බස් රථ වැඩි සංඛ්‍යාවක් ධාවනයට එක් කරන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා කියා සිටියේ.

***************************************

කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල මිනිත්තු 36 කින් – සිංගප්පූරුවෙන් නව ක්‍රමවේදයක්

(27.07.2020 – 12:39 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන කටයුතු අවසන් කළ තවත් පුද්ගලයන් 29 දෙනෙකු අද (27) දිනයේ නිවෙස් වෙත පිටත් කර හැරීමට නියමිත බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

මේ වනවිට පුද්ගලයන් 26,942 නිරෝධායනය ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44 ක් තුළ තවදුරටත් 3556 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටිනවා.

මේ අතර විදේශ රටවල සිට ශ්‍රී ලාංකිකයන් ඇතුලු ගුවන් මගීන් 55 දෙනෙකු අද අලුයම 01:30 ට කටාර් සිට පැමිණි කිව්. ආර්. 668 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියා.

විදේශ රටවලට අයත් නෞකාවල සේවය කළ ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු සහ මෙරට පිහිටි විදේශ තානාපති කාර්යාලවල සේවය කරන පවුල් දෙකකට (2) අයත් නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අටදෙනෙකුද (8) එලෙස දිවයිනට පැමිණ ඇති බව සඳහන්.

ගුවන් තොටුපල වෙත පැමිණීමෙන් අනතුරුව මෙම පිරිස පී.සී.ආර්. පරික්ෂණවලට ලක් කිරීමෙන් පසු නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

කොවිඩ් 19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා මේ වනවිට මෙරට තුළ පී.සී.ආර්. පරීක්ෂණ 151,324 ක් සිදු කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කළා.

එමෙන්ම කන්දකාඩු මත්ද්‍රව්‍ය, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රීතව හඳුනා ගත් කොරෝනා පොකුරේ ආසාදිත සංඛ්‍යාව 580 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් 465 දෙනෙකු පුනරුත්ථාපන රැඳවියන් වන අතර, තවත් 65 දෙනෙකු එහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්.

ඊට අමතරව ආරාධිත කාර්ය මණ්ඩලයේ 05 දෙනෙකු සහ කන්දකාඩු ආසාදිතයන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් 5 දෙනෙකුට ද වෛරසය ආසාදිත බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කියා සිටියේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් 2782 පවතින අතර ඉන් 665 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 2106 ක්.

කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල මිනිත්තු 36 ක් තුළ ලබාගැනීමේ වැඩි දියුණු කළ ක්‍රමවේදයක් සොයාගැනීමට සිංගප්පූරුවේ විශ්වවිද්‍යාලයක විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

වර්තමාන පරීක්ෂණ ක්‍රමවේදයට ඉහළ තාක්ෂණික පුහුණුවක් ලත් කාර්ය මණ්ඩල අවශ්‍ය වන අතර, ප්‍රතිඵල ලබාගැනීමටද පැය කිහිපයක් ගතවන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ජංගම පරීක්ෂණ කට්ටලයක් ලෙසද භාවිත කළ හැකි මෙම නව ක්‍රමවේදය තුළ ප්‍රජාව පවා ප්‍රක්ෂේපනයට ලක් කර පරීක්ෂා කළ හැකි බව සඳහන්.

එමෙන්ම කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමෙන් පසු චීනයෙන් වැඩිම කොරෝනා අසාදිත සංඛ්‍යාවක් ඊයේ (26) වාර්තාවී තිබෙනවා.

නව ආසාදිතයන් 61 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ එරට මුළු ආසාදිත සංඛ්‍යාව 83,830 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

නව ආසාදිතයන් 61 දෙනාගෙන් 57 දෙනෙකුම ෂිංජියැන්ග් ප්‍රදේශයෙන් වාර්තාවී ඇති බවද එම වාර්තා පෙන්වා දෙනවා ෴

++++++++

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් ඇතුළු 245 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා.

කොරෝනා වෛරසය සමාජය තුළ ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණයකට අනුව සිදුකෙරෙන අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලට සමගාමීවයි අද දිනයේදී මෙලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇත්තේ ෴

***************************************

අනුර දිසානායක සහ ශානි අබේසේකර දේශපාලන පළිගැනීම් සොයන කොමිසමට කැඳවීම තාවකාලිකව නවතී

(27.07.2020 – 12:52 +0530 – hirunews.lk/sinhala)

පෙත්සම් විභාගය අවසන් වනතුරු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර, සාක්ෂි දීම සඳහා කැඳවීමක් නොකරන බව දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරුන් අද (27) අභියාචනාධිකරණයට පොරොන්දු වුණා.

ඒ, ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සාක්ෂි දීම සඳහා එම කොමිසමේ පෙනී සිටින ලෙස දන්වමින් තමන් වෙත නිකුත් කර තිබෙන සිතාසිය බල රහිත කරන මෙන් ඉල්ලා අනුර දිසානායක සහ ශානි අබේසේකර ඉදිරිපත් කළ රිට් පෙත්සම් අද (27) සළකා බැලූ අවස්ථාවේදියි.

පෙත්සම පිළිබඳ වැඩිදුර සළකා බැලීම සැප්තැම්බර් මස 29 වනදා දක්වා කල් දැමුණා ෴

***************************************

කීඩෑ උවදුරෙන් ගොවීන් අපහසුතාවක

(27.07.2020 – 12:58 +0530 – hirunews.lk/sinhala)

අස්වනු නෙළීමට ආසන්නව තිබියදී ඇති වූ කීඩෑ උවදුරක් හේතුවෙන් පුත්තලම – වනාතවිල්ලුව – එළුවන්කුළම ප්‍රදේශයේ කුඹුරු අක්කර 250 ක් පමණ විනාශ වී ඇති බව ගොවීන් පවසනවා.

කෘමිනාශක හෝ පලිබෝධනාශක යෙදුවද මෙම කීඩෑවන් පාලනය කිරීමට නොහැකි වී ඇති බවයි ඔවුන් කියා සිටියේ.

***************************************

බත්තරමුල්ලේ භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක ගින්නක්

(27.07.2020 – 13:17 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ල නගරයේ භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක ගින්නක් හටගෙන තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ අද (27) දහවල් ඇති වූ මෙම ගින්න නිවා දැමීම සඳහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් (2) පිටත් කර හැරි බවයි.

මහල් තුනකින් (3) යුත් මෙම ගොඩනැගිල්ලේ දෙවන (2) මහලේ ගින්න හටගෙන තිබෙනවා.

( බත්තරමුල්ල සිංගර් ප්‍රදර්ශණාගාරයේ ඇතිවූ ගින්න )

+++++++++++++++++++++

***************************************

‘31 වනදා ඡන්ද විමසීමේ යෝජනාව’ ක්‍රියාත්මක නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති කියයි

(27.07.2020 – 13:38 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන මධ්‍යස්ථාන සහ නිවෙස් තුළ නිරෝධායනයට ලක්වන පිරිස් වෙත ලබන 31 වනදා ඡන්ද විමසීමට කර තිබූ යෝජනාව ක්‍රියාත්මක නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ දේශපාලන පක්ෂ නියෝජිතයින් අද (27) පෙරවරුවේ හමුවීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

***************************************

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස්

(27.07.2020 – 14:27 +0530 – hirunews.lk/sinhala)

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

පොදුජන පෙරමුණේ අපේක්ෂක ප්‍රසන්න රණතුංග මහතා ජන හමුවකට එක්වෙමින් මැතිවරණ වේදිකාවේ කඳුළු සලන අපේක්ෂකයන් පිළිබඳ අදහස් පළ කළා.

එමෙන්ම එම පක්ෂයේ අපේක්ෂක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ද මැතිවරණ ප්‍රචාරක ජන හමුවකට එක්වෙමින් වේදිකාවේ හඬා වැටෙන පුද්ගලයන් සම්බන්ධයෙන් අදහස් දැක්වුවා.

ඔවුන්ට දැන් හඬා වැටීම හැර වෙනත් කිරීමට දෙයක් නොමැති බවයි ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කියාසිටියේ.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද උත්සවයකට එක්වෙමින් තමා විවේචනය කරන පුද්ගලයන් පිළිබඳ කරුණු දැක්වුවා.

මේ අතර එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් සම්බන්ධයෙන් රවි කරුණානායක සිය අදහස් පළ කළේ මැතිවරණ ප්‍රචාරක ජන හමුවකට එක්වෙමින්.

***************************************

රවී කරුණානායක සී.අයි.ඩී. යෙන් පිටව යයි

(27.07.2020 – 14:30 +0530 – hirunews.lk/sinhala)

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රවී කරුණානායක, අද පස්වරුවේ ඉන් පිටව ගොස් තිබෙනවා.

ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළ ප්‍රකාශයක් ලබාදීම සඳහායි හිටපු අමාත්‍යවරයා අද (27) පෙරවරු 09:30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ.

ඒ අනුව, පැය 5 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු ඉන් පිටව ගියා.

මීට පෙරද හිටපු අමාත්‍යවරයා බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණා ෴

***************************************

රහසිගත තොරතුරු ලබාදීමට පොලීසියෙන් දුරකථන අංක 2 ක්

(27.07.2020 – 15:06 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මූලස්ථානය විසින් මහජනතාවට තොරතුරු ලබාදීම සඳහා විශේෂ දුරකථන අංක දෙකක් (2) හඳුන්වා දී තිබෙනවා.

පොලිස් මූලස්ථානයේ අද (27) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ –

• විෂ මත්ද්‍රව්‍ය හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු ලබාදීම සඳහා 1997 දුරකථන අංකය ද

• අපරාධ කල්ලි සම්බන්ධයෙන් සහ තවත් තොරතුරු ලබාදීම සඳහා 1917 දුරකථන අංකය ද

හෙට (28) සිට හඳුන්වා දෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Re illegal clearance of 100 acres of forest, the Provincial Administrative Officer should be interdicted immediately and charged for unauthorized use of her official position. Her action has had no ministerial approval. It is seen to us as misappropriation of crown land and protected land while the government decision making processes have been held in suspense because of the ongoing election preparations. It seems to me that there is a government within the government made up of rascals like this lady that is running their own sweet agenda. This matter must be referred to the President, the top Executive for him to decide what to do with the defaulting official. The land concerned should be returned to the crown and the people involved in its clearance must also be apprehended and dealth by the legal process.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *