රහස් පොලීසියේ කණ්ඩායම් දෙකක් (2) – මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි සම්පායෝ සොයයි

(23.07.2020 – 19:30 +0530 – hirunews.lk/sinhala)

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි ප්‍රදීප් අනුරුද්ධ සම්පායෝ ගොනුකළ පෙත්සම හෙට (24) සලකා බැලීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ එය අද (23) කැඳවූ අවස්ථාවේදීයි.

හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු සිව් දෙනෙකු (4) අත්අඩංගුවට ගන්නා ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) වරෙන්තු නිකුත් කළ අතර, ප්‍රධාන ජේලර්වරුන් වන සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න සහ ජේලර්වරයෙකු වන කාලිංග කළුඅග්ගල එම පිරිසට අයත්.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අභියාචනාධිකරණය හමුවේ සඳහන් කළේ පෙත්සම්කරුගේ නීතිඥවරයා විසින් ඊයේ (22) අධිකරණය ගොනුකරන ලද පෙත්සමේ ශීර්ෂය සහ ඇතැම් ඉල්ලීම්, අධිකරණයේ අවසරයකින් තොරව සංශෝධනය කරමින් නව පෙත්සමක් අද (23) පෙරවරුවේ ගොනුකර ඇති බවයි.

ඊට අදාළ ලේඛන තමන් වෙත නිසි පරිදි ලැබී නොමැති බව ද, ඔහු කියා සිටියා.

කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එකම කරුණ සම්බන්ධයෙන් පෙත්සම් දෙකක් (2) සලකා බැලීමට තම අධිකරණයට හැකියාවක් නොමැති බවයි සඳහන් කළේ.

පෙත්සම සංශෝධනය කිරීමට අවශ්‍ය නම් මෝසමක් මගින් නියමිත අධිකරණ ක්‍රමවේදය අනුගමනය කර අද (23) පස්වරු 4 ට පෙර සංශෝධිත පෙත්සමක් ගොනුකරන ලෙස ද, අභියාචනාධිකරණය එහිදී පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළා.

තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නියෝගයක් නිකුත් කර ඇති බැවින් එය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ඉල්ලා සිටියා.

කෙසේ වෙතත්, නිසි ක්‍රමවේදය අනුගමනය කර, සංශෝධිත පෙත්සමක් ගොනුකර, එකී ඉල්ලීම සිදුකරන ලෙස සහ ඒ පිළිබඳ නීතිපතිවරයා දැනුවත් කර ඉදිරි කටයුතු සිදුකරන ලෙස, අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයට එහිදී නියෝග කර තිබෙනවා.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මෙහිදී ප්‍රකාශ කර සිටියේ, ඊයේ (22) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබියදී නීතිපතිවරයා කඩිමුඩියේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබා ගෙන ඇති බවයි.

ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙත්සම්කරු අත්අඩංගුවට නොගන්නා බවට තමා ඊයේ (22) දින අධිකරණයට ප්‍රතිඥාවක් ලබා නොදුන් බව සඳහන් කළා.

අධිකරණය නොමග යවන සුළු අසත්‍ය ප්‍රකාශ සිදු නොකරන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම්දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ අධිකරණයට කරුණු වාර්තා කර, අධිකරණයේ අවසරයක් ඇතිව වරෙන්තු ලබා ගැනීමට මිස, හිතුවක්කාරි ලෙස කටයුතු කිරීමට නොවන බව ද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට පෙන්වා දුන්නා.

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඉදිරිපත් කළ මෙම රීට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.මොහොමඩ්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, නීතිපතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නම් කර තිබෙනවා.

ඔහු පෙත්සමෙන් පවසා ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙකුට ශීතකරණයක් ලබාදීමේ සිද්ධියක් මුල්කරගෙන තමා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවයි.

බන්ධනාගාර ආඥා පනතේ 196 වන වගන්තිය යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවෙකුට අවශ්‍යතාවක් මතුවූ විට ඉලෙක්ට්‍රෝනික උපකරණ සපයාදීමේ නීතිමය හැකියාව පවතින බව ද එහි සඳහන් කර ඇතැයි හිරු අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළා.

මෙම සිද්ධියට අදාළව හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු සිව් දෙනා වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබූ අතර, ඒ අනුවයි මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) පස්වරුවේ අදාළ වරෙන්තුව නිකුත් කළේ.

මේ අතර, වරෙන්තු නිකුත් කර ඇති මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි ප්‍රදීප් අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් දෙකක් (2) විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ හිටපු බන්ධනාගාර අධිකාරිවරයාට අයත් කුරුණෑගල සහ කොට්ටාව යන ප්‍රදේශවල පිහිටි නිවාස දෙකක් (2) ඊයේ (22) සහ අද (23) පරීක්ෂාවට ලක් කළ ද ඔහු එම නිවාසවල රැදී නොසිටි බවයි.

ඒ අනුව, අදාළ නිවාසවල රැදී සිටි පුද්ගලයින්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර, හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ රැදී සිටින ස්ථානයක් පිළිබඳව මෙතෙක් අනාවරණ කරගෙන නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

+++++++++++++++++++++

***************************************

අංගොඩ ලොක්කාගෙන් නිවසට ඇමතුමක්

(23.07.2020 – 19:39 +0530 – hirunews.lk/sinhala)

මියගිය බවට වාර්තා වුණු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු වන ‘මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ මීට සති දෙකකට (2) පමණ පෙර තම දියණියට දුරකථන ඇමතුමක් ලබා දුන් බව ඔහුගේ පියා ප්‍රකාශ කළා.

ඒ හිරු ප්‍රවෘත්ති අංශයේ කණ්ඩායමක් අද (23) පස්වරුවේ ඔහුගේ අංගොඩ පිහිටි නිවසට ගිය අවස්ථාවේදීයි.

අදාළ නිවස දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස මේ වනවිට ඉදිකරමින් පවතින අතර, එම අවස්ථාවේ ඔහුගේ පියා හිරු ප්‍රවෘත්ති අංශය සමග සංවාදයකට එක්වෙමිනුයි මේ බව සඳහන් කළේ.

‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේදී විෂක් ශරීරගත කර ඝාතනය කර ඇති බවට අද (23) ජාතික පුවත්පත් වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු කළ තොරතුරක් ලැබී නොමැති බවයි.

මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම්, මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දරුණු අපරාධ රැසකට ‘මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ ට චෝදනා එල්ල වන්නේ කලක සිටයි.

ඔහුගේ නම කරළියට පැමිණෙන්නේ 2017 වසරේ පෙබරවාරි මස 27 වැනිදා පාතාල කල්ලි නායක ‘සමයං’ සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 08 දෙනෙකු බන්ධනාගාර බස් රථයක් තුළදීම වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියත් සමඟයි.

කළුතර එතනමඩල ප්‍රදේශයේදී සිදුකළ එම ප්‍රහාරය මෙහෙයවනු ලැබු පුද්ගලයා ලෙස සැලකෙන්නේ ‘අංගොඩ ලොක්කා’යි.

එම සිද්ධිය පාතාල කල්ලි දෙකක (2) කලක් තිස්සේ පැවති ගැටුමක ප්‍රතිඵලයක් වුණා.

‘අංගොඩ ලොක්කා’ගේ සමීපතම ගෝලයා වු මුල්ලේරියාවේ පදිංචිව සිටි ‘සුරංග කුමාර’ හෙවත් ‘අංගොඩ රත්තරං’ නැමැත්තා 2017 වසරේ ජනවාරි මාසයේදී ‘සමයං’ විසින් ඝාතනය කිරීමේ පළිය ‘අංගොඩ ලොක්කා’ විසින් ගෙන තිබුණේ ‘සමයං’ගේ ද ජීවිතය කෙළවර කරමින්.

ඉන් පසුව ‘සමයං’ගේ ඝාතනයට ‘අංගොඩ ලොක්කා’ට සහය දුන් ‘අතුරුගිරියේ ලඩියා’ නම් පාතාල කල්ලි සාමාජිකයා ද සමඟ බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට පළා ගිය ‘අංගොඩ ලොක්කා’, චෙන්නායි ප්‍රදේශයේ සැඟව සිටි බවටයි තොරතුරු වාර්තා වුණේ.

කෙසේ වෙතත්, පසුව වාර්තා වුණේ ආගමන විගමන නීති උල්ලංඝනය කළ වරදට එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් කඳවුරක රඳවා සිටියදී ‘අංගොඩ ලොක්කා’ හා ‘ලඩියා’ ඉන් පළා ගොස් ඇති බවයි.

ඉන්දියාවේ සිට ද ‘අංගොඩ ලොක්කා’ මෙරට අපරාධ රැසක් මෙහෙයවා ඇති බවට චෝදනා එල්ල වු පසුබිමකයි ‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේදී කිසියම් විෂක් ශරීර ගත කර ඝාතනය කර ඇති බවට වාර්තා පළවන්නේ.

එම වාර්තා සඳහන් කරන්නේ මියගිය පාතාල සාමාජිකයෙකුගේ බිරිඳක විසින් අංගොඩ ලොක්කාට වසදී ඇති බවයි.

එම මියගිය පාතාල සාමාජිකයාගේ බිරිඳ අංගොඩ ලොක්කාගේ උපදෙස් අනුව ඉන්දියාවට ගොස් සිටි ඔහුගේ පෙම්වතියක් බවයි පැවසෙන්නේ.

ආරංචි මාර්ග පවසන අන්දමට මෙම කාන්තාවට අමතරව බන්ධනාගාර ගතව සිටින තවත් පාතාල සාමාජිකයන්ගේ බිරින්දෑවරුන් ද ‘අංගොඩ ලොක්කා’ විසින් බිය වද්දා වරින් වර ඉන්දියාවට ගෙන්වා ගෙන තිබෙනවා.

එලෙස ගෙන්වා ගන්නා කාන්තාවන් සමඟද අංගොඩ ලොක්කා සමීප ඇසුරක් පවත්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇති වු මත ගැටුම් හේතුවෙන් මෙම ඝාතනය සිදුවු බවට ද විවිධ මත පළ වනවා.

‘අංගොඩ ලොක්කා’ගේ නිවසට ගිය හිරු ප්‍රවෘත්ති අංශයේ කණ්ඩායම පසුව අංගොඩ ප්‍රදේශයේම පිහිටි ඔහුගේ සහෝදරියගේ නිවසට ගොස් තොරතුරු සොයා බැලුවා.

එහිදී අප සමග අදහස් දැක්වූ ඔහුගේ පවුලේ සාමාජිකයෙකු කියා සිටියේ මේ සම්බන්ධයෙන් ඔවුන්ට ද ගැටලු මතුවී ඇති බවයි.

කෙසේ වෙතත්, ‘අංගොඩ ලොක්කා’ අවසන් වරට පවුලේ සාමාජිකයින් සමග දුරකථනයෙන් සම්බන්ධ වූයේ මීට සති දෙකකට (2) පමණ පෙර බව එහිදී තහවුරු කෙරුණා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මීට පෙර අවස්ථා කිහිපයකදී ‘අංගොඩ ලොක්කා’ දීර්ඝ කාලයක් දුරකථනයෙන් සම්බන්ධ නොවූ අවස්ථා පැවති බවයි.

අප මේ පිළිබඳව ශ්‍රි ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් ද විමසීමක් කළා.

එහි නිලධාරියෙකු ප්‍රකාශ කළේ අංගොඩ ලොක්කාගේ ඝාතනය සම්බන්ධයෙන් තහවුරු කළ හැකි තොරතුරු තවමත් ලැබී නොමැති බවයි.

+++++++++++++++++++++

***************************************

පාස්කු ප්‍රහාරකයන්ගේ දෙවන (2) ඉලක්කය ගැන තවත් හෙළිදරව්වක්

(23.07.2020 – 19:47 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මහනුවර ශ්‍රී දළදා පෙරහර ඉලක්ක කර දෙවන (2) ප්‍රහාරයක් දියත් කිරීමේ සැළසුමක් අන්තවාදීන් සතුව තිබූ බවට මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

ඒ, පාස්කු ප්‍රහාරයෙන් පසු සයින්දමර්දු නිවසක් තුළ සිදුවු පිපිරීම් මාලාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම සිදුකරන විමර්ශනවලට අදාළව නැගෙනහිර පළාතේ සේවයේ නියුතු රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකු ඊයේ (22) දෙවන දිනටත් සාක්ෂි දිමෙදීයි.

එහිදි, ඔහු සදහන් කළේ මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කළ හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු වු ශිබ්ලි ෆාරුක්, සහරාන් හෂිම් ප්‍රමුඛ ජාතික තවුහිද් ජමාත් සංවිධානයට ප්‍රබල ලෙස දේශපාලනිකව සහය දුන් බවයි.

එසේම, සහරාන් සහ තවත් කණ්ඩායමක් අතර ඇතිවු ආලියාර් ගැටුම සම්බන්ධයෙන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවේදී සහරාන්ගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ මෛත්‍රී ගුණරත්න බවද ඔහු සඳහන් කළා.

අදාළ නඩුව වෙනුවෙන් නීතිඥ මෛත්‍රී ගුණරත්න කොළඹ සිට කැදවාගෙන ගොස් ඇත්තේ අබ්දුල් කාදර් අන්සාර් නැමැති සහරාන් හෂිම්ගේ බිරිදගේ සහෝදරයා බවයි ඔහු වැඩිදුරත් පෙන්වා දුන්නේ.

මෙහිදි බුද්ධි නිලධාරියා තවත් වැදගත් තොරතුරු කිහිපයක් අනාවරණ කලා. එනම්, ඉකුත් වසරේ අප්‍රේල් 21 වැනිදා එල්ල වු ප්‍රහාරයෙන් පසු දෙවන ප්‍රහාරයක් එල්ල කිරීමට ත්‍රස්තවාදින්ගේ පැහැදිලි සැලසුමක් තිබූ බව විමර්ශනවලදි හෙළිවු බවයි.

පාස්කු ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් නව්ෆර් මව්ලවි ලබාදුන් ප්‍රකාශයන්ට අනුව, දෙවන ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණේ දළදා පෙරහරයි.

නමුත් එතෙක් සැඟව සිටිය නොහැකි වුණොත් විහාරස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කරන බව සහරාන්ගේ සොහොයුරු රිල්වාන් හෂිම් පාස්කු ප්‍රහාරයෙන් පසු සඳහන් කර තිබු බවත් ඔහු කොමිසමට පෙන්වා දුන්නා.

එම දෙවන ප්‍රහාරය සදහා පුපුරණ ද්‍රව්‍ය සහ බඩු බාහිරාදිය මෙන්ම සුදු රෙදි පවා ගිරිඋල්ල රෙදිපිළි අලෙවි සැලකින් රැගෙන ත්‍රස්තවාදින් සුදානම් වී සිටි බවට ඔප්පු වී ඇති බවයි බුද්ධි නිලධාරියා කියා සිටියේ.

පාස්කු ප්‍රහාරයෙන් පසු සයින්ද මර්දු නිවසේ මියගිය වැඩිහිටි පිරිසත් ඇතළුව 12 දෙනෙකු මෙලෙස දෙවන ප්‍රහාරයක් සදහා සුදානම් සිට තිබෙනවා.

අගොස්තු මාසය තෙක් සැගව සිටිමට මොවුන් අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරක්ෂක නිවාස 08 ක් මිලදි ගෙන තිබු බව ද අනාවරණ වු බවටයි රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියා ප්‍රකාශ කළේ.

එසේම, සිය සාක්ෂි දීම අවසන් කරමින් ඔහු සදහන් කලේ රාජ්‍ය බුද්ධි සේවය සිදුකල මෙහෙයුම් ඔස්සේ මෙම දෙවන ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකිව දළදා පෙරහර ඉලක්ක කර ප්‍රහාරය සිදුවුයේ නම් සිදුවිය හැකි විනාශය සිතා ගැනීමට පවා නොහැකි බවයි.

+++++++++++++++++++++

***************************************

ETI ගණුදෙනු ගැන තවත් තොරතුරු හෙළිවෙයි

(23.07.2020 – 21:04 +0530 – hirunews.lk/sinhala)

ETI සමාගම සතු දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියක් හරහා විකිණීම සිදු කළේ නම් තැන්පත්කරුවන්ට ගැටලුවකින් තොරව සාධාරණයක් සිදු කිරීමට තිබූ බව අද (23) අනාවරණය වුණා.

ඒ ETI සමාගමේ සිදු වූ බව කියන අයථා ක්‍රියා කලාපයන් සහ අක්‍රමිකතා සොයා බලන විශේෂ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේදීයි.

අද (23) පළමුව සාක්ෂි ලබා දුන්නේ ETI ආයතනයේ 2009 වසරේ ජනවාරි 01 වන දා සිට සහකාර මූල්‍ය හා පරිපාලන සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ අයෙක්.

එක් අවස්ථාවක රුපියල් මිලියන 8.3 ක මුදල් වටිනාකමකින් යුත් චෙක්පතක් අධ්‍යක්ෂක ජීවක එදිරිසිංහ මහතා නමින් ලබා ගත් බවත් එම චෙක්පතට අදාල කාරණය ලෙස ‘මහ බැංකු කාරණාවකට’ යන්න දක්වා තිබූ බවත් ඔහු පැවසුවා.

එහිදී කොමිසම සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කර සිටියේ එම මුදල් ගෙවීම සිදු කරන්නේ මහජනතාවගෙන් ලබා ගත් මුදල් මගින්ද යන්නයි.

සාක්ෂිකරු සඳහන් කර සිටියේ “ඔව්” ලෙසයි.

‘මහ බැංකු කාරණාවක්’ ලෙස සදහන් කර තවත් අවස්ථාවලදී මෙලෙස මුදල් ලබා ගෙන තිබූ බවත් ඔහු පැවසුවා.

මීළඟට සාක්ෂි ලබා දුන්නේ ETI සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ අයෙක්.

සාක්ෂිකරු සදහන් කර සිටියේ 2018 වසරේදී ETI ආයතනය සහ ඊට අනුබද්ධ ආයතන විකිණීමේදී ගැණුම්කාර සමාගමට 23‍% ක වට්ටමක් ලබා දී ඇති බවටයි.

එමගින් ETI සමාගමට රුපියල් මිලියන 3769 ක පමණ මුදලක් පාඩු වී ඇති බවත් ඔහු පැවසුවා.

තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මහ බැංකුව ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදුකර නැති බවත් සඳහන් කෙරුණා.

2018 වසරේදී ETI ආයතනය සතු වත්කම් විකිණීමට ශ්‍රී ලංකා මහ බැංකුව කොන්දේසි සහිතව අනුමැතිය දුන් අතර එහිදී මාධ්‍ය ආයතන සහ භූමි දේපල විදේශ සමාගමකට විකිණීම පිළිබඳව විශේෂ කොන්දේසි ඉදිරිපත් කර තිබූ බවත් සාක්ෂිකරු සඳහන් කර සිටියා.

නමුත් කළමණාකරණ මණ්ඩලය සමග ETI අධ්‍යක්ෂක මණ්ඩල සාකච්ඡාවේදී අධ්‍යක්ෂක ජීවක එදිරිසිංහ මහතා පවසා ඇත්තේ ජනමාධ්‍ය ආයතන විකිණීම සම්බන්ධයෙන් එවකට ජනමාධ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා කර අවශ්‍ය කරුණු ඉෂ්ට කර ගත හැකි බවයි.

ඉඩම් සම්බන්ධයෙන් ඉදිරියේදී සම්මත කිරීමට නියමිත පනතක් මගින් එය සිදු කර ගැනීමට හැකි බවත් ඔහු එම සාකච්ඡාවේදී පවසා තිබෙනවා.

සාක්ෂිකරු ප්‍රකාශ කළේ බ්ලූ සමිට් ආයතනයට ETI දේපල විකිණීම සිදු නොකර ප්‍රසිද්ධ වෙන්දේසියක් සිදු කළා නම් මීට වඩා විශාල මිලකට විකුණා එමගින් තැන්පත්කරුවන්ටද ගැටලුවකින් තොරව සාධාරණයක් සිදු කිරීමට හැකියාව තිබූ බව ඔහු සඳහන් කළා.

මේ අතර අද ETI තැන්පත්කරුවන්ගේ ස්වාධීන සංවිධානය අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූවා.

***************************************

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස්

(23.07.2020 – 21:35 +0530 – hirunews.lk/sinhala)

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් (23) විවිධ අදහස් පළ කළා.

ජන හමුවක් අමතමින් ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන්නේ නම් පක්ෂයේ අසමගිය දුරුවී යන බවයි.

මේ අතර ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියාසිටියේ පොහොට්ටුව සහ නිදහස් පක්ෂය අතර කිසිදු බේදයක් නොමැති බවයි.

සියලුදෙනා සහෝදරත්වයෙන් එක්වී කටයුතු කරන බව ද ඔහු පෙන්වා දුන්නා.

ජාතික ආණ්ඩුව නම් වචනයක් යොදාගෙන ඇත්තේ වෙනත් දේශපාලන පක්ෂයක් සමග එක්ව කොන්ත්‍රාත් කිරීමට නොවන බව එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක වජිර අබේවර්ධන කියාසිටියා.

අලියාගේ ඇඟේ වසන නිල මැස්සන් පිළිබඳ සමගි ජන බලවේගයේ අපේක්ෂක ලක්ෂ්මන් සෙනවිරත්න අදහස් පළ කළා.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

***************************************

සත්ත්ව ආහාර නිෂ්පාදනයට සහල් හෝ වී යොදාගැනීම තහනම්

(23.07.2020 – 18:32 +0530 – sinhala.adaderana.lk)

සහල් හෝ වී, සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කිරීම හෝ සත්ත්ව ආහාර නිෂ්පාදනයේ යෙදවුමක් ලෙස භාවිත කිරීම තහනම් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

පාරිභෝගීක කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත ෴

***************************************

අයිස් සමග අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකගේ වැඩ තහනම්

(23.07.2020 – 16:35 +0530 – sinhala.adaderana.lk)

අයිස් මත්ද්‍රව්‍ය සමග ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබූ සුරාබදු නියාමකවරයාගේ සේවය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අදාළ නියෝගය ලබා දුන් බවය.

අත්අඩංගුවට පත් සුරාබදු නියාමකවරයා පසුගිය වසරේ දී කැබිතිගොල්ලැව සුරාබදු ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටින අතරතුර වැඩ තහනම් වී ඉන් පසුව වව්නියාව සුරාබදු ස්ථානයට මාරු කළ පුද්ගලයෙක් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මෙම නිලධාරීයා තවමත් පරිවාස කාලසීමාව ගත කරන සේවයේ ස්ථිර නොකරන ලද ආධුනික නිලධාරීයෙකු වන අතර ඔහු 2020.07.19 වන දා සිටි අසනීප නිවාඩු පිට සේවයෙන් බැහැරව සිට ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම නිලධාරීයා සහ ඉහත සිද්ධියට අදාළ ක්‍රියාකලාපයේ දී ඔහු සමග සම්බන්ධ වූයේ යැයි කියනු ලබන අනෙකුත් නිලධාරීන් හා අයවළුන් සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව පරීක්ෂා කර වාර්තා කිරීම පිණිස අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල්වරයකුගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන සහකාර සුරාබදු කොමසාරිස්වරයෙකුගේ නායකත්වයෙන් යුතු වූ විශේෂ සුරාබදු නිලධාරී කණ්ඩායම් දෙකක් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් පත්කර ඇත.

මේ අනුව සුරාබදු කොමසාරිස් සහ සහකාර සුරාබදු කොමසාරිස් යටතේ වෙන වෙනම ක්‍රියාත්මක වන කණ්ඩායම් දෙකක් මගින් පොලිස් දෙපාර්මේන්තුවේ ද සහාය ඇතිව එකී පරීක්ෂණ කෙරෙන අතර සතියක් තුළ ඔවුන්ගේ වාර්තා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතු බවට නියෝග කර තිබේ ෴

+++++++++++++++++++++

***************************************

මොරටුව සරසවියට වෛද්‍ය පීඨයක්

(23.07.2020 – 15:11 +0530 – sinhala.adaderana.lk)

මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීම සඳහා මේ වන විට සැළසුම් කරමින් පවතින බවත් එහි අධ්‍යයන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව යෝජිත වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය කළුතර මහ රෝහල තුළ පිහිටුවීමට නියමිතය.

එම වෛද්‍ය පීඨයේ සායනික පුහුණුව සඳහා හෝමාගම මූලික රෝහල යොදා ගැනීමට යෝජනා වී තිබේ.

ඒ අනුව කළුතර මහ රෝහල සහ හෝමාගම මූලික රෝහල ශික්ෂණ රෝහල් වශයෙන් උසස් කිරීම සඳහා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇත.

ඊයේ (22) අමාත්‍ය මණ්ඩලය රැස්වු අවස්ථාවේ දී අදාළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ ෴

***************************************

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැන ගත් කැබිනට් තීරණය

(23.07.2020 – 12:52 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය සේවකයින්ගේ පවතින සියලු වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව රාජ්‍ය සේවකයින්ගේ සියලු වැටුප් විෂමතා ජාතික වැටුප් කොමිසමට යොමු කර ඒවා ඉවත් කිරීමට අදාළ වැඩසටහනක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය.

ඊයේ (22) අමාත්‍ය මණ්ඩලය රැස්වු අවස්ථාවේ දී මෙම තීරණය ගෙන ඇත.

මේ අතර රාජ්‍ය සේවයේ නිරතව සිට විශ්‍රාම ගිය හය ලක්ෂයක් පමණ වන සියලුම විශ්‍රාමිකයින් ට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් වු යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර ඒ අනුව රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය ඕනෑම විශ්‍රාමිකයෙකුට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ හිමි වේ.

ඊට අදාළව ප්‍රධාන නගරවල පිහිටි රජයේ රෝහල්වලින් මෙම රක්ෂණ ප්‍රතිලාභ ලබා ගත හැකි ආකාරයට “රාජ්‍ය සේවකයින් සඳහා වන විශේෂිත වාට්ටු සංකීර්ණ” ඇති කිරීමට සැළැස්මක් සකස් කිරීමට ඊයේ (22) පැවති කැබිනට් සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

+++++++++++++++++++++

***************************************

ළමා අපයෝජන සහ ස්ත්‍රී දූෂණ සිදුවීම්වල වර්ධනයක් -ළමා හිංසනයට තිත පදනම

(23.07.2020 – 10:09 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාව තුළ මෑත කාලීනව ළමා අපයෝජන සහ ස්ත්‍රී දූෂණ සිදුවීම්වල වර්ධනයක් දක්නට ඇතැයි “ළමා හිංසනයට තිත පදනම” පවසයි.

එම පදනම පවසන්නේ, 2020 මුල් දින 15 තුළ දිවයිනේ විවිධ පොලිස් කොට්ඨාසවලින් ස්ත්‍රී දූෂණ සිද්ධීන් 142 ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 42 ක් සහ ළමා අපයෝජන සිද්ධීන් 54 ක් වාර්තා වී ඇති බවය.

එම සංඛ්‍යාව ළමා අපයෝජන සිද්ධීන් 5,242 ක් සහ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 1,642 ක් දක්වා ඉතාමත් වේගයෙන් ඉහළ ගොස් තිබෙන බව එම පදනම පෙන්වා දෙයි.

2017 අවසානය වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ වසර දහයකට වඩා කල් ගත වූ ළමා අපයෝජන සිද්ධීන් 17,000 කට වැඩි ප්‍රමාණයක් ගොඩ ගැසී තිබිණි. මෙම අගය 2018 අවසන් වන විට 20,000 ඉක්මවා ගොස් ඇතැයි විශ්වාස කෙරෙන බව ද එම පදනම පැවසීය.

“වින්දිතයින් හට විනිශ්චයක් පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව අමිහිරි මතකයන්වලින් පීඩාවට පත් වෙමින්, ඉතා අවාසනාවන්ත ජීවිත ගත කිරීමට සිදුව තිබේ,” යනුවෙන් ළමා හිංසනයට තිත පදනම පවසයි.

“2018 ජනවාරි මස, ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කෙරුණු ඒකාබද්ධ පස්වන හා හයවන වාර්තා පිළිබඳ එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂණ කමිටුවේ අවසන් නිරීක්ෂණ මගින්, ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අලස ප්‍රතිපත්තිය බරපතල අවධානයට යොමු කෙරු‍ණේ රතු නිවේදනයක්ද නිකුත් කරමිනි”.

ළමා ආරක්ෂණයට කැපවී සිටින සංවිධානයක් වන ළමා හිංසනයට තිත පදනම, ‘#දැන් ඇති’ ජාතික ව්‍යාපාරයඅරඹා ඒ ඔස්සේ ළමා සහ කාන්තා හිංසනයට එරෙහිව මහජනයා දැනුවත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අරමුණින් වීඩියෝ, පෙත්සම් සහ මහා පුරවැසි සංවාද ආදී වැඩසටහන් දියත් කර ඇත. මෙම දැවැන්ත ජාතික ව්‍යාපාරය ෆේස්බුක් මගින් පළ කරන මුල්ම Zoom මහා පුරවැසි සංවාදය, https://www.facebook.com/ stopchildcruelty ඔස්සේ 2020 ජූලි 25 වන දින රාත්‍රී 7 සිට සජිවීව පැවැත්වේ.

එම සංවාදය සඳහා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ,‍ මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ, නීතිඥ අචල සෙනෙවිරත්න, යන මහත්වරු ඇතුළුව තවත් විද්වතුන් මෙන්ම වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද සහභාගි වීමට නියමිතය ෴

***************************************

IDH රෝහලෙන් පැනගිය සැකකරුට කොරෝනා

(24.07.2020 – 06:41 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර IDH රෝහලෙන් පැනගිය දැඩිලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ සැකකරුවෙකු සොයාගැනීම සඳහා පොලිසිය මහජනතාවගේ සහය ඉල්ලා සිටිමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම තැනැත්තා කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී ඇති බවයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.

සැකකරුගේ වම් පාදයේ ආබාධයක් ඇති අතර ඔහු ඇවිදින විට කොර ගසන තත්ත්වයක් ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවකුවන ඔහු පිළිබඳව තොරතුරක් වෙතොත්
071 859 1017, 071 859 2290 , 071 859 1864 හෝ 119 දුරකථන අංකයට දැනුම්දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

එල්සියාම් නසීම් නම් 41 හැවිරිදි මෙම සැකකරු ත්‍රිකුණාමලයේ සින්නම්පිල්ලෙසිමෙයි, වල්ලිමලර් හි ස්ථිර පදිංචිකරුවෙක්.

සැකකරුගේ ඡායාරූපය පහතින් :

***************************************

වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (24) ලෙඩවෙයි

(24.07.2020 – 07:47 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 ඇතුළු බෝවන රෝග පාලන වැඩසටහන් වලින් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (24) දිනයේදී අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා.

නීතිමය බලතල මුල්කරගනිමින් ඔවුන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට (24) දින 09 ක් ගත වනවා.

කෙසේ වෙතත්, තවමත් තම ඉල්ලීම්වලට බලධාරීන් නිසි විසඳුමක් ලබාදී නොමැති බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඊයේ (23) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවද 2753 දක්වා ඉහළ ගියා.

සෞදි අරාබියේ සිට පැමිණ මෙරට නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකු මෙලෙස ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

මේ වන විට කොරෝනා ආසාදිතයන් 2077ක් සුවය ලබා ඇති අතර, රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 665 ක්.

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය වෘත්තිකයින් දක්වන සහයෝගය අගය කරන බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

නාරාහේන්පිට යුද හමුදා රෝහලේ ඊයේ (23) පැවති උත්සවයකට එක්වෙමිනුයි ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ.

එමෙන්ම, ඉටුකම කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1511 ඉක්මවා තිබෙනවා.

සබරගමුව පළාත් සභාවේ රාජ්‍ය සේවකයින් විසින් රුපියල් 1,75,04,709 ක මුදලක් අදාළ අරමුදලට පරිත්‍යාග කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මීට අමතරව රුසියාවේ වෛද්‍ය විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයින්ගේ දෙමව්පියන් පිරිසක්ද මෙම අරමුදලට මුදල් පරිත්‍යාග කර තිබෙනවා ෴

***************************************

අද (24) සහ හෙට (25) තැපැල් ඡන්දයට යළි අවස්ථාව – මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් සහතිකයක්

(24.07.2020 – 08:15 +0530 – hirunews.lk/sinhala)

තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට ඒ සඳහා අද (24) සහ හෙට (25) අවස්ථාව හිමි වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව අද (24) පෙරවරු 08:30 සිට පස්වරු 04:00 දක්වා සහ හෙට (25) පෙරවරු 08:30 සිට පස්වරු 02:00 දක්වා තැපැල් ඡන්ද සළකුණු කිරීමට අවස්ථාව සළසා දී තිබෙනවා.

මෙතෙක් සිය තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී මෙම පහසුකම සළසා ගත හැකියි.

ඡන්ද මධ්‍යස්ථාන හරහා කොරෝනා ව්‍යාප්තියක් සිදු නොවන බවට ජනතාවට සහතික විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (23) මැතිවරණ කොමිෂන් සභාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර, කොරෝනා වෛරස් වසංගත තත්ත්වයක් තුළ මහ මැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අදාළ සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම අනුගමනය කරන්නේ නම් මැතිවරණ ක්‍රියාදාමය තුළ කොරෝනා ව්‍යාප්තිය වළක්වා ගත හැකි බවයි එම සාකච්ඡාවට සහභාගි වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *