පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියේ තවත් ටී-56 අවි දෙකක් (2) සොයා ගැනේ

(11.07.2020 – 15:30 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම – පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියට අදාළව තවත් ගිනි ටී-56 අවි දෙකක් (2) පිටිපන උතුර ප්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිවසක තිබී සොයා ගෙන තිබෙනවා.

එහිදී ඊට අදාළ සැකකාර කොස්තාපල් රියදුරාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

හෝමාගම – පිටිපන ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල පසුගිය 29 වන දා පරීක්ෂා කළ පොලිස් විශේෂ කාර්ය බලකාය එහි තිබී ටී-56 වර්ගයේ ගිනි අවි 11 ක් සහ ටී-81 වර්ගයේ ගිනි අවියක් සොයා ගනු ලැබුවා.

මේවා දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙලේ පාතාල නායකයෙකු වන ‘තාරක පෙරේරා විජේසේකර’ හෙවත් ‘කොස්ගොඩ තාරක’ට අයත් බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

පසුව ගොඩනැගිල්ලේ හිමිකරුගේ අනියම් බිරිඳට අයත් පිටිපන – සිල්වර්ස්ටන් වත්ත ප්‍රදේශයේ නිවසක රහස් කුටියක තිබී තවත් අවි ආයුධ තොගයක් හෝමාගම පොලීසිය සොයා ගත්තා.

මීට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමෙන් පසු එහි නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා දිනයේ (09) අතුරුගිරිය – හබරකඩ – මුල්ලේගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු තවත් ටී-56 වර්ගයේ ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් අතර, ඔහු මුලින් ගිනි අවි සොයා ගත් ගොඩනැගිල්ලේ හිමිකරුගේ මිතුරෙකු බවටයි හඳුනා ගැනුණේ ෴

+++++++++++++++++++++

CID අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල් රඳවාගෙන ප්‍රශ්ණ කෙරේ – ලද තොරතුරු අනුව T56 උණ්ඩ 750 ක් සොයාගනී

(11.07.2020 – 18:09 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම – පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියට අදාළව තවත් ගිනි ටී-56 අවි දෙකක් (2) පිටිපන උතුර ප්‍රදේශයේ පොලිස් කොස්තාපල් රියදුරෙකුගේ නිවසක තිබී සොයා ගෙන තිබෙනවා.

එහිදී සැකකාර කොස්තාපල්වරයා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා. ඔහු නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක්.

මේ අතර, එම පොලිස් කොස්තාපල්වරයාගෙන් ලද තොරතුරු මත සඟවා තිබියදී ටී-56 උණ්ඩ 750 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගත්තා.

ඒ හෝමාගම – කිරිවත්තුඩුව ප්‍රදේශයේ වැව් සොරොව්වක සඟවා තිබියදීයි.

අදාළ පොලිස් නිලධාරියා පසුගිය මස 29 වන දින පිටිපන නගරයේදී ටී-56 ගිනි අවි 12 ක් සමඟ අත්අඩංගුවට ගෙන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන කපිල නමැති සැකකරු සමඟ පැවති හිතවත්කම් හේතුවෙන් ඔහුගේ ඉල්ලීම මත මේවා සඟවා තබා තිබෙනවා.

හෝමාගම – පිටිපන ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක් පසුගිය 29 වනදා පරීක්ෂා කළ පොලිස් විශේෂ කාර්ය බලකාය එහි තිබී ටී-56 වර්ගයේ ගිනි අවි 11 ක් සහ ටී-81 වර්ගයේ ගිනි අවියක් (01) සොයා ගනු ලැබුවා.

මේවා දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙලේ පාතාල නායකයෙකු වන ‘තාරක පෙරේරා විජේසේකර’ හෙවත් ‘කොස්ගොඩ තාරක’ට අයත් බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

පසුව ගොඩනැගිල්ලේ හිමිකරුගේ අනියම් බිරිඳට අයත් පිටිපන – සිල්වර්ස්ටන් වත්ත ප්‍රදේශයේ නිවසක රහස් කුටියක තිබී තවත් අවි ආයුධ තොගයක් හෝමාගම පොලීසිය සොයා ගත්තා.

මීට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමෙන් පසු එහි නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා අතුරුගිරිය – හබරකඩ – මුල්ලේගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු තවත් ටී-56 වර්ගයේ ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් අතර, ඔහු මුලින් ගිනි අවි සොයා ගත් ගොඩනැගිල්ලේ හිමිකරුගේ මිතුරෙකු බවටයි හඳුනා ගැනුණේ.

***************************************

මැතිවරණයට අදාළව පැමිණිලි 2620 ක්

(11.07.2020 – 16:57 +0530 – hirunews.lk/sinhala)

මහමැතිවරණයට අදාළව මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ වනවිට පැමිණිලි 2620 ක් ලැබී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ එම පැමිණිලි අතරින් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 683 ක් ලැබී ඇති බවයි.

දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ ම්‍යස්ථාන වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1937 ක්.

මැතිවරණ කොමිසන් සභාවේ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට මැතිවරණ නීති උල්ලංඝනය වීම් පිළිබඳව 011 288 6179 , 011 288 6421 හෝ 011 288 6117 යන දුරකථන අංකවලින් පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

එසේම, 011 288 6551 හෝ 011 288 6552 යන ෆැක්ස් අංක හරහා ද පැමිණිලි යොමුකළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ෴

***************************************

අම්බලන්ගොඩ – කහව – මීටියාගොඩ – අකුරල ප්‍රදේශවලදී වැලි සහ අපද්‍රව්‍ය නිසා ගාලුපාරේ ගමනාගමනයට බාධා

(11.07.2020 – 17:02 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්ගොඩ – කහව – මීටියාගොඩ – අකුරල ප්‍රදේශවලදී ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුදුරළ සමඟ වැලි සහ ගල් කැබලි මෙන්ම වෙනත් අපද්‍රව්‍ය ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට පැමිණීම නිසා රථ වාහන ගමනාගමනයට අද බාධා මතුවුණා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ තවදුරටත් සැහැල්ලු වාහන වලට අදාළ ප්‍රදේශයෙන් ගමන් කිරීමට බාධා පවතින බවයි. ඇතැම් කාලවලදී මුහුදු රළ රළුවීමත් සමඟ මෙම ප්‍රදේශයේ මෙවැනි තත්ත්වයන් ඇති වනවා.

කහව සහ තෙල්වත්ත හංදිය අතර ප්‍රදේශයෙන් ගාලු පාර සැහැල්ලු රථ වාහන සඳහා වසා දමා තිබෙනවා. ඒ එම ප්‍රදේශයෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීම හේතුවෙන් ෴

***************************************

මහ බැංකුව මැදිහත් නොවීමෙන් අසරණ වී ඇතැයි ඊ.ටී.අයි. තැන්පතුකරුවන් කියයි

(11.07.2020 – 19:31 +0530 – hirunews.lk/sinhala)

තමන්ට හිමි තැන්පතු මුදල් ආපසු ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව මෙතෙක් මැදිහත් නොවීම හේතුවෙන් තමන් දැඩි අසරණභාවයට පත්ව ඇති බව ඊ.ටී.අයි. තැන්පතුකරුවන් පවසනවා.

කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඊ.ටී.අයි. තැන්පතුකරුවන් කිහිපදෙනෙකු ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා ෴

+++++++++++++++++++++

***************************************

උසස් පෙළ ඔක්තෝම්බර් පවත්වන්නැයි ජනපතිගෙන් සිසුවියන් පිරිසක් කළ ඉල්ලීම අධ්‍යාපන ඇමතිට

(11.07.2020 – 19:36 +0530 – hirunews.lk/sinhala)

පොදුජන පෙරමුණෙන් මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා මහනුවර අද (11) සංවිධාන කර තිබූ ජනහමු කිහිපයකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වුණා.

නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගනයේ පැවති ජනහමුවට එක්වූ ජනාධිපතිවරයාව නාවලපිටියේ ජනතාව මහත් හරසරින් පිළිගත්තා.

එහිදී මහා සංඝරත්නය සෙත්පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙහිදී පොදුජන පෙරමුණ සමග පසුගියදා එක්වූ නාවලපිටිය ගඟඉහළ කෝරළයේ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 08 දෙනා සහ පස්බාගේ කෝරළයේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා (02) ද ජනාධිපතිවරයා හමුවුණා.

නාවලපිටිය බස් නැවතුම්පොල ඉදිරිපිට සංවිධාන කළ ජනහමුවට එක්වූ ජනාධිපතිවරයාගෙන් තේ දළු සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට සහය වන්නැයි කර්මාන්තයේ නිරත වූවන් ඉල්ලා සිටියා.

දේශීය ගොවියා රැක ගැනීමට රජය පියවර රැසක් ගෙන ඇති බවත්, ඒ අතර තේ කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාව ලබාදී ඇති බව මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

වතු ආශ්‍රිත දරුවන් සඳහා නාවලපිටියට උසස් අධ්‍යාපන ආයතනයක් සහ කාර්මික විද්‍යාලයක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුවුණා.

ගම්පොල නගරයේ දුම්රිය ස්ථානය අසල සංවිධාන කර තිබූ ජනහමුවට එක්වූ ජනාධිපතිවරයාට රැස්ව සිටි ජනතාවගේ උණුසුම් ප්‍රතිචාර හිමිවුණා.

එසේම, උඩුනුවර – දවුලගල ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවේදී ජනාධිපතිවරයාගෙන් මෙවර උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස පවත්වන ලෙස සිසුවියන් පිරිසක් ඉල්ලීමක් කළා.

එය අධ්‍යාපන අමාත්‍යවරයා යොමුකරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

***************************************

පසුගිය රජය ලබා ගත් ණය වලින් කිසිවක් කර නැහැ – අගමැති මහින්ද

(11.07.2020 – 19:44 +0530 – hirunews.lk/sinhala)

තම රජය ණය ලබාගෙන සංවර්ධන කටයුතු සිදුකළත්, පසුගිය රජය ලබාගත් ණයවලින් කිසිවක් සිදු නොකළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරනවා.

මෙවර මහ මැතිවරණයට මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ වදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජනහමු මාලාවකට අදාළව මාතර නූපේ ප්‍රදේශයේ අද (11) පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

***************************************

මීළඟ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය අනිද්දා (13)

(11.07.2020 – 19:54 +0530 – hirunews.lk/sinhala)

කාණ්ඩ දෙකක් යටතේ සිදුවන භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් අනිද්දා (13) පැවැත්වෙන බව මහබැංකුව ප්‍රකාශ කළා.

මෙහිදී වසර 02 යි මාස 05 කින් කල් පිරෙන පරිදි රුපියල් මිලියන 25,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කෙරෙනවා.

තවත් රුපියල් මිලියන 15,000 ක බැඳුම්කර නිකුත් කෙරෙන්නේ වසර 05 යි මාස 07 කින් කල් පිරෙන අයුරින් ෴

***************************************

මූල්‍ය වංචාවකට ගම්පහ සණස සංගමයේ හිටපු නිලධාරීන් 6 ක් රිමාන්ඩ්

(11.07.2020 – 20:10 +0530 – hirunews.lk/sinhala)

2011 සහ 2016 වසර අතර කාලයේ ගම්පහ දිස්ත්‍රික් සණස සංගමයේ රුපියල් මිලියන 708 ක් වංචා කිරීම සම්බන්ධයෙන් එහි හිටපු නිලධාරීන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ ෴

***************************************

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරට ආගිය පුද්ගලයන්,රාජාංගනයේ නිලධාරියා සහ පුතුගේ ආශ්‍රිතයන් ඇතුළු 700 ක් ස්වයං නිරෝධායනයට

(11.07.2020 – 20:12 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයෙකු ලෙස වාර්තා වූ රාජාංගනය ප්‍රදේශයේ පදිංචි, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සාමාජිකයාගේ සහ ඔහුගේ වැඩිමහල් දරුවාගේ ආශ්‍රිතයන් 300 ක් පමණ ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

මෙරටින් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූ පසුගිය මාර්තු මාසයේ සිට මෙතෙක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 300 ක් ඊයේ (10) වාර්තා වුණා.

ඒ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් 283 ක්, එහි ආසාදිතයින් ලගින් ඇසුරු කළ තිදෙනෙකු, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු, ඉන්දියාවේ සිට පැමිණි 9 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 3 දෙනෙකු සහ පාකිස්ථානයේ සිට පැමිණි පුද්ගලයෙකු (1) වශයෙන්.

ඊයේ (10) වාර්තා වූ ආසාදිතයින් අතර, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේශන සඳහා සහභාගි වූ යුද හමුදා සාමාජිකයෙකු (1) සහ ඔහුගේ දරුවන් දෙදෙනා (2) ද වනවා.

ඒ අනුව, අදාළ යුද හමුදා සාමාජිකයා, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා (2) අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් කිරීමටයි පියවර ගැණුනේ.

එම යුද හමුදා සාමාජිකයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරි අවසන් කර පසුගිය දෙවන දා රාජාංගනය ප්‍රදේශයේ සිය නිවසට පැමිණ ඇති අතර, පසුව ඔහු ඥාති නිවසක අවමංගල්‍ය උත්සවයක් සඳහා ද සහභාගි වී තිබෙනවා.

දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු අධ්‍යයන කටයුතු සඳහා පාසලට ද ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව අදාළ අවමංගල්‍ය උත්සවයට සහභාගි වූ සහ ඔවුන් ඇසුරු කළ ආශ්‍රිතයින් 300 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

එසේම, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීම සඳහා පැමිණි පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් 441 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන්ද ස්වයං නිරෝධායනයට යොමු කෙරෙනවා.

මේ අතර, නාත්තන්ඩිය – කොට්ටාරමුල්ල ප්‍රදේශයේ කොරෝනා වැළඳුනු උපදේශිකාවගේ මවට කොරෝනා වැළදී නොමැති බවට අද තහවුරු වූ බවයි නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි උපුල් ජයතිලක මහතා ප්‍රකාශ කළේ.

මේ අතර, ගාල්ල – හබරාදුව – හීනටිගල ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකුට ද කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.

මේ අතර, කොරෝනා රෝග ලක්ෂණ සහිතව මුන්දලම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හලාවත රෝහලට මාරු කර යැවීමේදී ජිවිතක්ෂයට පත්වූ තරුණයාට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඔහුගේ මව ද පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගත් බවයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දිනූෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ.

අද (11) දිනයේදී තවත් නව ආසාදිතයින් 5 දෙනෙකු හමුවීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2459 ක් ලෙස ඉහළ ගියා.

අද (11) හමුවූ ආසාදිතයින්ගෙන් 4 දෙනෙකුම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අය වන අතර, අනෙක් ආසාදිතයා කුවේට් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට යොමුකර සිටි අයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 468 ක් වන අතර, සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව දැක්වෙන්නේ 1980 ක් ලෙසටයි.

***************************************

අගුලාන සිද්ධිය ගැන සාධාරණ හා විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව පොලීසිය කියයි

(11.07.2020 – 20:24 +0530 – hirunews.lk/sinhala)

මොරටුව – ලුනාව පාලම අසළදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබෙනවා.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී මොරටුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (10) රාත්‍රී 12.25 ට පමණ අඟුලාන පොලීසියේ ජංගම මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරින් 3 දෙනෙකු හදිසි මාර්ග බාධයක් යොදවා මොරටුව – ලුනාව පාලම අසළදී ත්‍රිරෝද රථ දෙකක් (2) නවතා පරීක්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයින් 5 දෙනෙකු අතරින් එක් අයෙක් පොලිස් රාජකාරියට බාධාකරමින් පොලීසියට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කර තිබුණා.

එහිදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමෙන් 39 හැවිරිදි පුද්ගලයෙකු මිය යාමත් සමඟ ප්‍රදේශවාසීන් කළහකාරීව පොලීසියට පහරදීමට උත්සාහ ගෙන ඇති අතර පසුව අඟුලාන පොලිස් ස්ථානය වෙත පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා ආරක්ෂාව යොදවනු ලැබුවා.

උද්ගතවූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (11) එම ප්‍රදේශයේ නිරීක්ෂණයකට එක්වූ අතර එහිදී ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ හා විධිමත් පරීක්ෂණයක් සිදුකරන බවයි.

***************************************

දින 40 කට පෙර මාලිගාවත්තේදී වෙඩි වැදුණු මාමස්මිගේ සගයා, ජාතික රෝහලේදී මියයයි – හරක්කටාගේ ගෝලයින් දෙදෙනෙකුත් (2) අත්අඩංගුවට

(11.07.2020 – 20:31 +0530 – hirunews.lk/sinhala)

මාළිගාවත්ත – ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේ පසුගිය මැයි මස 30 වන දා සිදුවූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා අද (11) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අබ්දුල් රවූෆ් නමැති ඔහු, ඝාතනයට ලක්වූ මාමස්මි සහ දැනට ඉන්දියාවට පලාගොස් සැඟව සිටින බවට විශ්වාස කෙරෙන බයියා නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සබඳතා පැවැත්වූ අයෙකු බවටයි වාර්තාව වුණේ.

දැනට බන්ධනාරගත කර සිටින කංජිපානි ඉම්රාන් අදාළ වෙඩි තැබීම මෙහෙයවා ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණා.

මෙම වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන 31 හැවිරිදි ‘බමුණූආරච්චිගේ රුක්ෂාන්’ හෙවත් ‘උක්ෂාන්’ නැමත්තා කොටහේන සුපිරි වෙළදසැලක් අසළ දී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනු ලැබුවේ මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් ද සමගයි.

පාතාල සාමාජිකයෙකු වන ‘නදුන් චින්තක’ නොහොත් ‘හරක් කටා’ගේ සමීපතමයින් දෙදෙනෙකු සැඟව සිටියදී මත්ද්‍රව්‍ය සමඟ වැලිගම – කොක්මාදුව සහ වැලිගම – ඉබ්බාවල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘රාජපක්ෂ පතිරණගේ ප්‍රභාත් මධුසංක’ නොහොත් ‘මිදිගම චූටි’ සහ තවත් ගෝලයෙකු වන චාමර නමැත්තෙක්.

‘මිදිගම චූටි’ නැමැත්තා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 100 ක් සහ ජංගම දුරකථන 9 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. 32 හැවිරිදි ඔහු මනුෂ්‍ය ඝාතන, මුදල් කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයෙක්.

චාමර නමැත්තා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 382 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴

***************************************

පාස්කු කොමිසමේ සාමාජිකයින් සයින්දමරුදු යයි

(11.07.2020 – 20:35 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ නිලධාරින් එම ප්‍රහාර මාලාවේ මහමොළකරු වූ සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් රැසක් හෙලි වූ අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සංචාරයක නිරත වුණා.

ඒ මෙතෙක් කොමිසම හමුවේ අනාවරණ වී ඇති තොරතුරු විමර්ශනය කිරීම සඳහායි.

ඒ අනුව, ඔවුන් නින්දවූර් සහ සයින්දමරුදු ප්‍රදේශ මෙන්ම සමන්තුරේ ප්‍රදේශයේ ද සංචාරය කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

***************************************

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් වැරදිකරුවන් වුවහොත් මරණ දඩුවම දෙන්න – විමල් වීරවංශ ඉල්ලයි

(11.07.2020 – 21:43 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ වැරදිකරුවන් වුවහොත් ඔවුනට මරණ දඬුවම ලබාදිය යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

ජාතික නිදහස් පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් තරුණ සමුළුව අමතමින් ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ඒ සම්බන්ධයෙන් පසුබට නොවන ලෙසයි.

***************************************

උණුසුම් වන දේශපාලන වේදිකාවේ විවිධ අදහස්

(11.07.2020 – 22:21 +0530 – hirunews.lk/sinhala)

ජනතාවගේ දිළිදුකම ප්‍රයෝජනයට ගෙන බලය ලබා ගැනීමට උත්සාහ කරන දේශපාලඥයන්ට මෙවර මැතිවරනයේදී බලය ලබා දීම සුදුසු නොවන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.

උණුසුම් වන දේශපාලන වේදිකාවේ තවත් අදහස් පළවුනා.

පසුගිය වසර 4 හමාරක කාලය තුල රට විනාශ කළ පුද්ගලයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට හැකියාවක් නැතැයි ප්‍රකාශ කරන බව ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඔහු කියාසිටියේ සජිත් ප්‍රේමදාසට සහ රනිල් වික්‍රමසිංහට එක්වී තුනෙන් එකක් ගෙන පෙන්වන ලෙසට අභියෝග කරන බවයි.

සජිත් ප්‍රේමදාස තම පළාත තුල දැක ගැනීමට හෝ නොමැති බව ඩිලාන් පෙරේරා මහතා ජන හමුවක් අමතමින් කියාසිටියා.

මේ අතර සමගි ජන බලවේගයේ අපේක්ෂක කබීර් හෂීම් මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් පළ කළා.

ඔහු පෙන්වා දුන්නේ රජය ආර්ථිකයෙන් කොරෝනාවෙන් මෙන්ම සමස්තයක් ලෙසට අසමත් බවයි.

***************************************

තවත් කොරෝනා ආසාදිතයන් 43 ක් හමුවෙයි – ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 2511 ක් වෙයි

(12.07.2020 – 06:15 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2511 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් ආසාදිතයන් 43 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

එම ආසාදිතයන්ගෙන් 13 දෙනෙකු කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් වන අතර 30 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියාසිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *